Study buddhism aryadeva 400

ආර්යදේවපාදයෝ

ශ්‍රී ලංකාවේ රජපවුලක උපත ලද ආර්යදේව (’Phags-pa’i lha) ව්‍ය.ව. 2වන සියවසේ සහ 3වන සියවසේ මැදභාගයේ ජීවත් වූහ. ඇතැම් වාර්තාවලට අනුව, ඔහු නෙළුමකින් උපන් අයෙකි. කුඩා කාලයේදීම පැවිදි වූ උන්වහන්සේ සමස්ත ත්‍රිපිටකය මනාකොට හැදෑරූහ. අනතුරුව, එවක උදායීභද්‍ර රජුගේ සාතවාහන රාජ්‍යයේ සිටි නාගාර්ජුන හාමුදුරුවන් වෙතින් හැදෑරීමට දකුණු ඉන්දියාවට පිටත් වූහ. නාගාර්ජුනපාදයන්ගේ සුහෘල්ලේඛා (මිතුරු ලිපිය) සහ රත්නාවලී යන කෘති දෙකේම අමතන තැනැත්තා උදායීභද්‍ර රජ ය. එවක සාතවාහන රාජධානියට අයත් වර්තමාන ආන්ද්‍ර ප්‍රදේශ්වල නාගාර්ජුනකොණ්ඩ මිටියාවතේ ශුද්ධ කඳුපන්ති අතර පිහිටි ශ්‍රීපර්වතයේදී එදා ආර්යදේවපාදයෝ නාගාර්ජුනපාදයන් සමග අධ්‍යයන කටයුතු කළහ.

එකල මාතෘචේට නම් ශිව බැතිමතෙක් වාදයෙන් නාලන්දාවේ සිටි සියලු දෙනා පැරදවීය. ආර්යදේව හාමුදුරුවෝ එම අභියෝගය බාර ගැනීමට ගියහ. අතරමඟදී ඔහුට මායාබල ලබා ගැනීමට වෙර දරන මහලු ස්ත්‍රියක මුණ ගැසිණි. ඇයට ඒ සඳහා උගත් භික්ෂුවකගේ ඇසක් අවශ්‍ය වී තිබුණි. කරුණාභරිත වූ උන්වහන්සේ ඇයට තම ඇසක් දුන්හ. එහෙත් ඇය එය ගෙන ගලකින් තලා දැමීය. මේ සිදුවීමෙන් අනතුරුව ආර්යදේව හාමුදුරුවෝ කාණදේව ලෙස ප්‍රකට වූහ. වාදයෙන් සහ ඍද්ධිබලයෙන් යන දෙකින්ම ආර්යදේව හාමුදුරුවන් මාතෘචේටව පරාජය කළ අතර මාතෘචේට ඔහුගේ අනුගාමිකයෙක් විය.

වසර ගණනාවක්ම ආර්යදේව හාමුදුරුවෝ නාලන්දාවේ වැඩ විසූහ. කෙසේ වෙතත් ජීවිතයේ පසුකලෙක, උන්වහන්සේ නාගාර්ජුනපාදයන් වෙත වැඩම කළහ. අපවත් වීමට පෙරාතුව නාගාර්ජුනපාදයෝ තමුන්වහන්සේගේ සියලු ඉගැන්වීම්වල භාරකාරත්වය ආර්යදේව හාමුදුරුවන් වෙත පැවරූහ. ආර්යදේව හාමුදුරුවෝ දකුණු ඉන්දියාවේ එම ප්‍රදේශය තුළ බොහෝ වෙහෙරවිහාර කරවූහ. විශේෂයෙන්ම තමුන්වහන්සේගේ බෝධිසත්ත්වයෝගාචාර්ය-චතුශ්ශතකශාස්ත්‍ර-කාරිකා (Byang-chub sems-dpa’i rnal-’byor spyod-pa bzhi-brgya-pa’i bstan-bcos kyi tshig-le’ur byas-pa) නම් කෘතිය උපයෝගි කොට ගෙන මධ්‍යමක ප්‍රතිපදාවද ස්ථාපනය කළහ. එම කෘතිය චතුශ්ශතකය හෝ චතුශ්ශතකශාස්ත්‍රය හෝ ලෙස කෙටියෙන් හැඳින්වේ. නාගාර්ජුනපාදයන් සේම ආර්යදේවපාදයෝද ගුහ්‍යසමාජතන්ත්‍රයට අටුවා ලියූහ.

Top