ජීවිතය පිළිබඳ බෞද්ධ දෘෂ්ටිය

එදිනෙදා ජීවිතයේ වඩාත් වැදගත් කාර්යය වුයේ හැකිතාක් දුරට සියලු පාපකාරී ක්‍රියාවන්ගෙන්, කථාවන්ගෙන් හා සිතිවිලිවලින් වැළකී හැකිතාක් දුරට සියලු ධනාත්මක, කුසල පාර්ශ්වය වැඩිදියුණු කරගැනීමයි. මෙය සිදුකිරීම පිණිස යථාර්ථය හා චර්යාත්මක හේතු ඵල දහම පිළිබඳ ව්‍යාකූලත්වයෙන් සිත මුදවා ගනිමින් සිත දමනය කරගැනීම අවශ්‍ය වේ. මෙයාකාරයෙන් අපගේ ජීවිත ගතකරන විටදී, අප විසින් ජීවිතය පිළිබඳ බෞද්ධ දෘෂ්ටියක් ඇතිකරගත්තා වේ.

ජීවිතය පිළිබඳ බෞද්ධ දෘෂ්ටිය නමැති අපගේ මාතෘකාව මූලික වශයෙන් අපගේ එදිනෙදා ජීවිතයට බුදුන් වහන්සේගේ දේශනා අදාළ කරගන්නා ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන්නකි. අප කෙරෙහි එ්වා තුළින් සැබැවින්ම අර්ථවත් කෙරෙනුයේ කුමක්ද? මෙය අතිශයින්ම තීරණාත්මක කාර්යයකි. අප විසින් දේශනා ඉගෙන ගනිමින් දෛනික භාවනා පිළිවෙත් අනුගමනය කළ හැකි නමුදු, මේවා අපගේ එදිනෙදා සැබෑ ජීවිතවලට අදාළ කරගන්නා ආකාරය අපැහැදිලිය. ප්‍රායෝගිකව එ් මගින් සැබෑ ලෙසම අදහස් වනුයේ මෙනවාද? එමගින් අපගේ ජීවිත කවරාකාරයෙන් වෙනස් වන්නේද හෝ අපගේ ජීවිතවලට කවරාකාර බලපෑමක් ඇති කරන්නේද? බෞද්ධ පිළිවෙත් යනු හුදෙක් අප විසින් අමතර කාර්යයක් වශයෙන් පමණක් හෙවත් විනෝදාංශයක් වශයෙන් හෝ ජීවිතයේ දුෂ්කරතාවන්ගෙන් පලා යාම සඳහා සිදු කරනු ලබන්නක්ද? අප විසින් හුදෙක් සුන්දර දසුන් හෝ මනෝ ලෝකයන් නැරඹීමක් පමණක් සිදු කරන්නද? එසේ නොවන්නේ නම්, අපගේ පිළිවෙත් යනු ඉතා ප්‍රයෝජනවත් වූද, අපගේ ජීවිතයේදී සැබෑ ලෙසම අපට උපකාරී වන්නක්ද? එක් අතකින්,අපට අපගේ ජිවිතයේ අත් විඳීමට සිදුවන ගැටලු හා දුක් වේදනාවන් මැඩ පැවැත්වීමට උපකාරී වීමේ මෙම අරමුණ උදෙසාය බෞද්ධ දේශනාවන් සැබැවින්ම සිදු කරන ලද්දේ.

ප්‍රයෝජනවත් මාර්ගෝපදේශයක්

බොහෝ දේශනාවන්ට පෙර සාමාන්‍ය‌යෙන් සජ්ජායනය කෙරෙන, ක්‍රියාත්මක කළ යුතුවන පිළිවෙත් තුන හෙවත් ත්‍රිවිධ ප්‍රතිපදාව ලෙස හැඳින්වෙන කෙටි යැදුමකින් එදිනෙදා ජීවිතය තුළ දේශනාවන් අදාළ කරගැනීම පිණිස වූ ඉතා වැදගත් මාර්ගෝපදේශයක් හඳුනාගත හැක. එතුළ අපට මෙම පදය හමුවේ:

සියලු පාප ක්‍රියාවන්ගෙන් වළකින්න. මනා කොට කුසල කර්මයන්හි නිරත වන්න. සිත පූර්ණ වශයෙන් දමනය කරගන්න. මෙයයි බුදුන්ගේ දේශනාවන්හි අන්තර්ගතය.

මේවා බෞද්ධ දේශනාවන්හි වැදගත්ම කරුණු වේ. සියලු පාපකාරී ක්‍රියාවන්ගෙන් වළකින්න නම් වූ පළමු පදය තුළ, පාපකාරී යන්නෙන් අදහස් කෙරෙනුයේ ස්වයං විනාශකාරී සෙස්සනටද, දිගු කාලීනව අප වෙතටමද ගැටලු හා දුක් ඇති කරන්නාවූ දෙයකි. එබැවින්, බෞද්ධ ප්‍රතිපදාවෙහි අප විසින් සිදු කරනු ලබන පළමු කාර්යය වනුයේ සෙස්සනට හෝ අප වෙතටම හෝ වරදක් නොකිරීමට උත්සාහ කිරීමයි. මනා කොට කුසල කර්මයන්හි නිරත වන්න නම් වූ දෙවන පදය තුළ, කුසල යනු සෙස්සනට මෙන්ම අප කෙරෙහිද යහපත සලසන්නාවූ හා සතුට උදා කරන්නාවූ කාර්යයන් වේ.‍

මෙම කාර්යයන් සිදු කරනු පිණිස, තෙවන පදයෙන් ප්‍රකාශ කරනුයේ ඔබ විසින් සිත පූර්ණ වශයෙන් දමනය කරගත යුතු බවයි. මෙමගින් අපගේ පාපකාරී හා කුසල ක්‍රියා යන ක්‍රියා දෙවර්ගයේම මූලාශ්‍රය පෙන්වනු ලබයි. පළමු ක්‍රියා වර්ගයෙන් වැළකී දෙවැනි වර්ගයෙහි නිරත වනු පිණිස අපට - ආකල්ප හා හැඟීම් ලෙස වූ - අපගේ ප්‍රගතිය උදෙසා කටයුතු කිරීමට සිදු වන අතර, මේවා අපගේම සිත් තුළින් ඉස්මතු වේ. අපගේ ආකල්ප හා හැඟීම් අන්‍යයන් හා ඇසුරු කරන ආකාරය හා ජීවිතයේ ක්‍රියා කරන, කථා කරන හා සිතන ආකාරය කෙරෙහි බලපායි. එබැවිනි, මෙයයි බුදුන්ගේ දේශනාවන්හි අන්තර්ගතය ලෙස වූ අවසන් පදය සාක්ෂාත් කෙරෙනුයේ.

යථාර්ථාවබෝධය

මාගේ මිත්‍ර එක්තරා බෞද්ධ ගුරුතුමෙකු විසින් පෙන්වා දෙන ලද පරිදි, අප විසින් මෙය යම්තාක් තවදුරටත් ගැඹුරින් අධ්‍යයනය කරන්නේ නම්, බුදු දහමේ මූලික ප්‍රවේශය යථාර්ථවාදී වීම කෙරෙහි යොමු වේ. එනම්, පවත්නා ස්වභාවය එසේම අවබෝධ කරගනිමින් යථාර්ථවාදී ලෙස එය සමගින් කටයුතු කිරීමයි. වෙනත් වචනවලින් ප්‍රකාශ කරන්නේ නම්, අප හට අපගේ චර්යාව හා දේවල් පිළිබඳ අවබෝධය යථාර්ථය මත පදනම්ව පිහිටුවා ගැනීමට සිදු වේ.

යථාර්ථය යනු කුමක්ද? යථාර්ථය යනු හේතුව හා ඵලය හෙවත් සාමාන්‍යයෙන් “හේතු ඵලවාදය” ලෙස හඳුන්වනු ලබන කරුණ වේ. දේවල් හේතුව හා ඵලය අනුව එකිනෙක මතා රඳා පැවැත්මක් සහිතව සිදු වේ. වෙනත් වචනවලින් ප්‍රකාශ කරන්නේ නම්, අපගේ පාපකාරී හෝ කුසල ක්‍රියා හේතූන්ගෙන් ඉස්මතු වේ. අපගේ චර්යාව විමසා බලන්නේ නම්, එමගින් අප කෙරෙහිම හා සෙස්සන් කෙරෙහිද එක්කෝ ගැටලු ඇති කිරීම හෝ නොඑසේ නම් සතුට හා ඵල ප්‍රයෝජන ඇතිකිරීම සිදු කරනු ලබයි. එසේ වුවද අපට අපගේ ක්‍රියාවන් කෙරෙහි අපක්ෂපාතීව විමසා බැලීමට සිදු වේ. ජීවිතය සම්බන්ධයෙන් ක්‍රියාත්මකවන ආකාරයක් වශයෙන් අපක්ෂපාතිත්වය ඉතා වැදගත් වේ.

බෞද්ධ ආචාර ධර්ම යම් දිව්‍යමය සත්ත්වයෙකු විසින් හෝ ව්‍යවස්ථාදායකයක් හෝ පාලකයෙකු විසින් පනවන ලද නීතියක් අනුව කටයුතු කිරීම මත පදනම් නොවන්නකි.  අපගේ ආචාර ධර්ම එවන්  නීති මත පදනම් වන්නේ නම්, එ්වා අපගේ විනිශ්චයනට යටත් වන එ්වා වේ. අප විසින් නීති හා නියමයන් අනුගමනය කරන්නේ නම්, යහපත් පුරවැසියන් ලෙස සලකා ඇගයීමට ලක් කෙරෙනු ඇත; අප එ්වා අනුගමනය නොකරන්නේ නම්, හෙවත් එ්වා කඩ කරන්නේ නම්, අප අයහපත් පුද්ගලයන් ලෙස සැලකෙනු ඇති අතර, දඬුවමට ලක්විය යුතු වේ. බෞද්ධ ආචාර ධර්ම හෝ ජීවිතය සම්බන්ධයෙන් බුදු දහමට අනුව කටයුතු කරන ආකාරය මෙය නොවේ. අප අප කෙරෙහිම විනිශ්චය කරන තත්ත්වයක පසුවන විටදී මෙම කරුණ අවබෝධ කරගැනීම වැදගත් වේ. අප වැරදිකරුවන්ය, අයහපත්ය, එතරම් යහපත් නැත හෝ අප විසින් කරන ලද කටයුතු අතිශයින් අමනෝඥ එ්වාය ආදී වශයෙන් සිතමින් අප පිළිබඳවම විනිශ්චය කරන්නාවු මෙම ආකල්පය නවතාලීම අප විසින් ඇතිකර ගැනීමට උත්සාහ කළයුතු ගැඹුරු ආකල්පමය වෙනස්කම් අතරින් එකකි.

එ් වෙනුවට, අප විසින් ජීවිතය සම්බන්ධව කටයුතු කරන ආකාරය හේතු ඵල න්‍යායට අනුව දැකිය යුතු වේ. ගැටලු ඇති කරගත්තේ නම් හා යම් අවුල් සහගත බවක් ඇතිකර ගන්නා ලද්දේ නම්, මෙය ඉස්මතු වූයේ හේතු ප්‍රත්‍ය මගිනි. නොඑසේව අප අයහපත් පුද්ගලයන් බැවින් එසේ වූ බවක් ඉන් අදහස් නොකෙරේ. වඩාත් ගැඹුරට යන්නේ නම්, අප පවත්නා තත්ත්වය පිළිබඳ යම් ව්‍යාකූලත්වයකින් පසුවන්නේය යන්න අපට අවබෝධ වේ. එනම් තත්ත්වය අවබෝධ කර නොගත් බවයි. එය සැබෑ ලෙසම යොමුවන්නේ අපගේ චිත්ත ප්‍රක්ෂේපණයන් කෙරෙහිය. අප විසින් දේවල් අතිශයෝක්තියට නංවා අප කෙරෙහිමද, අවස්ථාවන් කෙරෙහිද අප වටා සිටින්නන් කෙරෙහිද සියලු ආකාර විකාර සිතිවිලි ප්‍රක්ෂේපණය කරන්නෙමු. ඉන්පසු සැබෑ ලෙසම යථාර්ථවාදී නොවන්නාවූ එකී ප්‍රක්ෂේපණයන් යථාර්ථය ලෙස විශ්වාස කරන්නෙමු. අප පිළිබඳවම අධ්‍යයනයක නිරත වෙමින් අප පාපකාරී ක්‍රියාවන්හි නිරත වනුයේ මක් නිසාද යන්න විමසා බලන්නේ නම්, අදාළ අවස්ථාවට ඇතුළත් කරුණු කෙරෙහි යම් විකාර රූපී අදහසක් ප්‍රක්ෂේපණය කරමින් එම ප්‍රක්ෂේපණයනට හෙවත් චිත්ත නිමිතිවලට අප විසින් ප්‍රතිචාර දක්වන ආකාරයක් සාමාන්‍යයෙන් අපට අවබෝධ කරගත හැකි වේ.

දෙ සත්‍යය

ජනතාවට ඔවුන්ගේ ජීවිත වඩාත් අඩුවෙන් ගැටලුකාරී අයුරින් පවත්වාගෙන යාමට හැකිවන අයුරු උපකාර කිරීමේ වඩාත් විශ්වීය විධික්‍රමය කවරක් විය හැක්කේද යන්න පිළිබඳව පරම පූජනීය දලයි ලාමා වහන්සේ විසින් බොහෝ සෙයින් කථා කොට ඇත. උන් වහන්සේ හුදෙක් බෞද්ධ ශ්‍රාවක පිරිසකට පමණක් සිය ආමන්ත්‍රණය සීමා නොකරන අතර විශ්වමය වශයෙන් සිය පණිවිඩය රැගෙන යයි. උන් වහන්සේ ප්‍රකාශ කරනුයේ අප විසින් සත්‍යයන් දෙකක් අවබෝධ කරගනිමින් අපගේ ආරම්භය ලබාගත යුතු බවයි. මෙය මූලිකම අවස්ථාවයි.

මෙම දෙසත්‍යය පිළිබඳව ඕනෑම අයෙකු හට අවබෝධ කරගත හැකි අයුරින් විනා බොහෝ සංකීර්ණ අයුරින් සලකා බැලිය යුතු නොවේ.  එක් අතකින් අතිශයෝක්තීන් හෝ අපගේ හුදු අපවිත්‍ර අදහස් මත පදනම් වූ අපගේ ප්‍රක්ෂේපණයන් ද අනෙක් අතින් යථාර්ථයද වේ. දෙසත්‍යය වනුයේ මේවාය.

ව්‍යාකූල මනසකට “මං පරාජිතයෙක්, කමකට නෑ, කවුරුවත් මට ආදරේ නෑ” බඳු හෝ අපගේ බත පිළිස්සුණු විට හෝ අප ඇණවුම්  කළ භෝජනාගාරයේ එම ඇණවුම් කළ ආහාර අලෙවි වී අවසන්ව ඇති බව දැනගත් විට හෝ කිසිදින නිවසට යා නොහැකි වනු ඇතැයි සිතෙන තරමට වාහන තදබදයකට හසුවී සිටින අවස්ථාවකදී “මේක තමයි ලෝකෙ වෙන්න පුළුවන් ලොකුම විපත” ආදී ලෙස වූ ප්‍රක්ෂේපණයන් සත්‍ය සේ පෙනේ.

සිදුවිය හැකි වඩාත්ම බරපතල සිදුවීම් මේවා වන අතර, නිදසුනක් ලෙස වාහන තදබදයට හසුවී සිටීමේදී එම තදබදය කිසිදින අවසන් නොවනු ඇතැයි සිතිමින් අපි පවත්නා තත්ත්වය අතිශයෝක්තියට නංවමින් සිතිවිලි ප්‍රක්ෂේපණය කරන්නෙමු. මෙම චිත්ත නිමිති හෙවත් ප්‍රක්ෂේපණයන් සත්‍ය එ්වා වශයෙන්ද භාර ගන්නෙමු. ව්‍යාකූල මනසක් තුළින් සාවද්‍ය දේ  සත්‍ය සේ ලෙස සලකන්නාවූ මෙය සම්මුති සත්‍යයයි. ඉන්පසු යථාර්ථය හෙවත් ගැඹුරුම සත්‍යය පිළිබඳව සලකා බැලිය හැක. යථාර්ථය නම් එහි වාහන තදබදය පවත්නේ හේතු හා සාධක හේතුකොටගෙන බවයි. එනම් එය මාර්ගයේ කාර්ය බහුල කාල වේලාවක් වන අතර, සැම අයෙකුම සිය නිවෙස බලා යාමේ අරමුණින් කටයුතු කරයි. අපි මෙහිදී අපේක්ෂා කරන්නේ කුමක්ද? මෙය හුදෙක් ශීත සෘතුවේදී සීතල පිළිබඳ මැසිවිලි නැගීමකට සමානය. එම සෘතුවේදී අන් කුමක් අපේක්ෂා කරන්නද? එය සිසිරයේ ස්වභාවයයි.

අප විසින් මෙම සත්‍යයන් දෙක අතර වෙනස හඳුනාගත යුතුව පවත්නා අතර,  පවත්නා තත්ත්වය අතිශයෝක්තියට නංවමින් විකාර රූපී අදහස් ප්‍රක්ෂේපණය කරන බව අවබෝධ කරගන්නා විටදී, මෙම විකාර රූපී තත්ත්වය බිඳ හෙළිය හැක. ලුහුඬින් ප්‍රකාශ කරන්නේ නම්, අපගේ ජීවිතවල සිදුවන්නේ කවරක්ද යන්න අවබෝධ කරගනු පිණිස, සත්‍යයන් දෙක අතර වෙනස හඳුනාගත යුතු අතර, මෙම අවබෝධය අපගේ ජීවිත තුළට එ්කාබද්ධ කළ යුතුය. මෙය අත්‍යවශ්‍ය කරුණකි.

මෙම කරුණ එම ගාථාවේ ඊළඟ පේලියෙන් දක්වා ඇත:

බාහිර බලපෑමෙන් ඇතිවන සංසිද්ධීන් තාරකාවකට, අඳුරු පැල්ලමට, භ්‍රමණය වන විදුලි පහනකට, මායාවකට, පිණි කැටවලට, පෙණ බුබුලකට, සිහිනයකට, අකුණු සැරයකට හෝ වළාකුළුවලට සමාන සේ සලකන්න. 

කිසිදු සැලකිය යුත්තක් නොමැතිව හෝ ඉතා සුළු දෙයක් හේතුකොට කරුණු අතිශයෝක්තියට නගන විටදී හා ප්‍රක්ෂේප්‍රණය කරන විටදී ජීවිතය තුළ එම අවස්ථාවන් හඳුනාගත යුතුය. එතරම් සැබෑ ලෙස පෙනෙන දෙය, මායාවක්, සිහිනයක්, දිය බුබුලක් ආදී වශයෙන් අවබෝධ කරගත යුතුය. එය පෙනෙන තරම් පැහැදිලි කරුණක් නොවේ. එබැවින්, මෙහිදී එය යථාර්ථය හා අනුගත වන්නේයැයි විශ්වාස කිරීමට නොයන්නෙමු. එසේ විශ්වාස නොකිරීම වූකලි අපගේ මනෝ ලොව බැලූනය පුපුරුවා හැරීමක් මෙනි. 

චිත්ත නිමිත්ත හෙවත් ප්‍රක්ෂේපණය

මූලික වශයෙන් ප්‍රක්ෂේපණ වර්ග දෙකකි: එක් වර්ගයක් ප්‍රයෝජනවත් වන අතර අනෙක් වර්ගය හානිකර වේ. ප්‍රයෝජනවත් වනුයේ කවර ප්‍රක්ෂේපණයන්ද? අප තුළ ධනාත්මක හෝ උදාසීන අදහසක් පැවතිය හැක: නිදසුනක් ලෙස, අපට චාරිකාවක් සංවිධානය කිරීමේ අදහසක් පැවතිය හැක. එ් අනුව, මෙහි සිට එම චාරිකාවේ ගමනාන්තය දක්වා සිතින් ගමන් කොට එ් පිළිබඳ කල්තබා සිතන්නෙමු. එය ප්‍රක්ෂේපණයකි: එනම්, අප විසින් මෙය කළ යුතුය, අර දෙය කළ යුතුය, මෙය රැගෙන යා යුතුය, ඉඩකඩ වෙන්කරගත යුතුය ආදී වශයෙනි. අප සාප්පු සවාරියක යන විටදී මිලදී ගතයුතුවන භාණ්ඩ ලැයිස්තුව සම්බන්ධයෙන් හෝ රාජකාරි කාර්ය සැලැස්මක් සම්බන්ධයෙන්ද මෙයාකාර ප්‍රක්ෂේපණ අදාළ වේ. මේවා වූකලි අප සිදු කිරීමට අදහස් කරන්නාවූ දේවල් හෝ යමක් සාර්ථක කරගැනීම සඳහා වූ සැලැස්මකට සම්බන්ධ ප්‍රක්ෂේපණයන් වේ. වසර සඳහා ඉටු කරගත යුතුවන අරමුණු වෙනුවෙන් සැලසුම් සකස් කිරීම් වශයෙන් අපගේ රාජකාරි කටයුතුවලදීද නිතරම මෙම කාර්යය සිදු කරන්නෙමු.

එසේ නමුදු, එවිට අප විසින් අවබෝධ කරගත යුත්තේ අපගේ ප්‍රක්ෂේපිත සැලැස්ම සිහිනයක් මෙන් වන බවයි. ප්‍රායෝගික මට්ටමකදී ඉන් අදහස් කෙරෙනුයේ කවරක්ද? එමගින් අදහස් කෙරෙනුයේ නම්‍යශීලී විය යුතු බවයි. යැදුම තුළ ප්‍රකාශිත පරිදිම මේවා වූකලි බලපෑම් හේතුවෙන් ඇතිවන සංසිද්ධීන් වේ. එ්වා නිරතුරු හේතු ප්‍රත්‍ය බලපෑමට යටත්වන අතර ඇතැම් විට “හේතු-ප්‍රත්‍ය මගින් සිදුවන සංසිද්ධීන්” ලෙසද හැඳින්වේ. දේවල් හේතු ප්‍රත්‍ය හේතුකොට ඉස්මතුවන බැවින් අප විසින් යම් සැලැස්මක් සාදන විටදී, අදාළ තත්ත්වයට හේතු ප්‍රත්‍ය මගින් සිදුවන බලපෑම හේතුවෙන් මේවා වෙනස් විය හැක. වෙනස් වීමකට නිදසුනක් ලෙස නිශ්චිත ගුවන් යානයක ආසන වෙන්කොට අවසන්ව ඇති තත්ත්වයක් ගත හැක. අප විසින් එම ගුවන් යානයෙහි ගමන් කිරීමට සැලසුම් කරන ලද්දේ වුවද, දැන් අපට එම සැලැස්ම වෙනස් කිරීමට සිදුවේ. එ් පිළිබඳ මැසිවිලි නඟමින් සිත අවුල් කරගනු වෙනුවට, කළ යුත්තේ යථාර්ථය පිළිගැනීමයි. පුහුණු කළ යුත්තේ මෙයයි. අපගේ මුල් සැලැස්ම තුළ හිරවී, එම මුල් සැලැස්ම මායාවක් හෝ දිය බුබුලක් හෝ අප දැක්වූ යැදුමේ එන සෙසු උපමා මෙන් බව අවබෝධ කරගැනීමේ නම්‍යශීලිත්වයෙන් තොරව කල්ගත කරන විටදී, අපි එය දැඩිව ග්‍රහණය කරගත්තෝ වෙමු.

එමගින් ඇති කරනුයේ කවර තත්ත්වයක්ද? එමගින් ඉතා දුක්ඛදායක චිත්ත ස්වභාවයක් නිර්මාණය කරනු ලබයි. බොහෝ සෙයින් කෝපයට හෝ ඉච්ඡා භංගත්වයට පත්වීම සිදුවිය හැක. එමගින් හුදෙක් අභාග්‍ය සම්පන්න තත්ත්වයකට ඇද දැමීම පමණක් සිදු කෙරෙන අතර, පවත්නා තත්ත්වයෙහි කිසිදු වෙනසක් සිදු නොවේ. මාර්ග තදබදයකට හසුවී සිටින අවස්ථාවේ එම වාහන තදබදය පිළිබඳ දෙස් දෙවොල් තැබීමෙන් කිසිදු පලක් සිදු නොවේ; වාහනයේ නලාව නාද කිරීමෙන්ද පලක් නොවේ. උපකාරී වන්නාවූ එකම දෙය නම් අපේක්ෂා කළ තත්ත්වය වෙනස්වී ඇත්තේය යන යථාර්ථය පිළිගැනීම පමණි.  නිදසුනක් ලෙස, අපි යම් නිශ්චිත වේලාවකට යම් ස්ථානයකට පැමිණීමට සැලසුම් කොට තිබුණද යාමට අදහස් කරගෙන සිටි දුම්රිය අපට මඟ හැරීම හෝ එම දුම්රිය ප්‍රමාද වීමක් සිදු වන අතර, අපට එ් පිළිබඳ කළහැකි කිසිවක් නොමැත. අපගේ ජීවිත කෙරෙහි බුද්ධ දේශනාවන් ප්‍රයෝජනවත් පරිදි යොදාගත යුත්තේ මේ අයුරිනි.
 
දේවල් පිළිබඳ සිතා බැලීමේ හෙවත් සලකා බැලීමේ නිවැරදි හා සාවද්‍ය ක්‍රමයක්ද පවත්නා බව අවබෝධ කරගත යුතුය. වෙනස් වන්නාවූ තත්ත්වයන්ගේ අනවරත බලපෑමට ලක්වන්නාවූ යම් කිසිවක් ස්ථාවරව හා ස්ථිතිකව පවත්නේය යනුවෙන් සිතීම සාවද්‍ය ක්‍රමයයි. එනම් යම් සැලැස්මක් ස්ථාවරව පැවතිය යුතුය ලෙස සිතීම මෙනි. එලෙස සිතීම බොහෝ සාමාන්‍ය හා පොදු තත්ත්වයකි. අපගේ සැලසුම් වෙනස් කළ යුතුවන අවස්ථාවන්හි එ්වා වෙනස් කිරීමට සූදානම්ව සිටිය යුතු අතර, දේවල් අපගේ සැලැසුම්වලට අනුවම සිදු නොවේ. පෙරකී පරිදි වාහන තදබදයකට හසුවීම, හෝ යොදාගත් හමුවීම් අවලංගු වීම ආදී වශයෙනි. බෝධිසත්ව චර්යාව අනුගමනය කිරීම නම්වූ කෘතියෙහි ශාන්තිදේවයන් විසින් මේ සඳහා ඉතාමත් යෝග්‍ය උපදේශය ලබාදෙනු ලබයි:

යමක් සඳහා ප්‍රතිකර්ම කළ හැක්කේ නම්, එ් පිළිබඳ සිත් තැවුල් ඇතිකර ගන්නේ ඇයි? අනෙක් අතට, එයට ප්‍රතිකර්මයක් නොමැත්තේ නම්, එ් පිළිබඳ සිත් තැවුල් ඇතිකරගැනීමෙන් ඇති ඵලය කුමක්ද?

එම උපදේශය සැබැවින්ම මූලික කරුණක් වන අතර, ‍ජීවිතයට සම්බන්ධ කරගනිමින් අපගේ ජීවන කාර්යයන්හි කොටසක් බවට පත්කර ගත යුතුය. ජීවිතයේ දුෂ්කර අවස්ථාවකට මුහුණ පා සිටින විටෙකදී ‍එය වෙනස් කළ හැක්කේ නම්, එය වෙනස් කරන්න. එනමුත් එය වෙනස් කළ නොහැක්කේ නම්, හා එ් පිළිබඳ අපට කළ හැකි කිසිවක්ද නොපවත්නේ නම්, එවිට සිත අවුල් කරගැනීමෙන් කිසිදු පලක් සිදු නොවේ. නිදසුනක් ලෙස, අපගේ චාරිකාවක් අතරතුර ‍ගමන් මල්ල අස්ථානගත වන අතර, දින කිහිපයක් යනතුරු අපට එය නැවත ලබාගත නොහැකි වේ. එවිට කළ යුත්තේ එම යථාර්ථය පිළිගැනීම පමණි.

සති කිහිපයකට පෙර මා ලද සිත් ගන්නා සුළු අත්දැකීමක් මෙසේය. පරම පූජනීය දලයි ලාමා වහන්සේගේ දේශනා කිහිපයකට සහභාගි වීම පිණිස නෙදර්ලන්තය වෙත චාරිකා කරමින් සිටියෙහි. ඇම්ස්ටර්ඩෑම් බලා ගුවන් ගමන පිටත් වීමේ අදහසින් ගුවන් තොටුපලට ගොස් පරීක්ෂා කරවා ගැනීම සඳහා වූ පෝලිමට එක්වීමි. පරිගණක පද්ධතිය අක්‍රියව තිබූ අතර එ් හේතුවෙන් දිගු පෝලිමක් නිර්මාණය වී තිබිණි. සිය ගුවන් ගමන සඳහා කල් ඇතිව පරීක්ෂා කරවා ගැනීම සිදුකරගත නොහැකි වේය යන කලබලය සෑම අයෙකු තුළම පැවතිණි. එක් අවස්ථාවක, මා ඉදිරියෙන් පෝලිම් ගැසී සිටි අය සිය ප්‍රවේශ පත්‍ර හා විදේශ ගමන් බලපත්‍ර එළියට ගත් අතර, මාද එසේ කිරීමට සූදානම් වන අවස්ථාවේය මා හට සිහි වූයේ මාගේ විදේශ ගමන් බලපත්‍රය රැගෙන එ්මට අමතකව ඇති බව. විදේශ ගමන් බලපත්‍රයකින් තොරව පරීක්ෂා කරවා ගැනීමේ කාර්යය කරගත නොහැකි අතර, මාහට ජර්මන් හැඳුනුම්පතක්ද නොතිබිණි.

මෙය මාහට මෙවන්නක් සිදුවූ ජීවිතයේ පළමු අවස්ථාව වේ. කුමක් කරන්නද? මා දැන් ගුවන් තොටුපලේ සිටින අතර, ආපසු නිවසට ගොස් එම ගුවන් ගමන සඳහා විදේශ ගමන් බලපත්‍රයද සමගින් නැවත පැමිණීමේ කිසිදු හැකියාවක්ද නොමැත. මෙවැන්නක් පිළිබඳ සිත අවුල් කරගත යුතුද? ඉන් පලක් නොමැත. මා කෝප විය යුතුද? ඉන්ද පලක් නොවේ. විමසීම් කවුළුවට ගොස් මින් පසු වෙනත් ගුවන් යානයක් එම ගමනාන්තයට පිටත් වන්නේදැයි විමසුවෙමි. එ් ගුවන් තොටුපලින් එම ගමනාන්තයට පිටත්වන වෙනත් ගුවන් යානයක්ද නොතිබිණි. කෙසේ වුවද, එදින රාත්‍රියේ එම ගමනාන්තය බලා එම නගරයේ අනෙක් පස පිහිටි ගුවන් තොටුපලෙන් පිටත්වන ගුවන් යානයක් තිබිණි. එහි අදහස නම්, ඉන් පිටත්ව ගියද සහභාගි වීමට සැලසුම් කර සිටි උත්සවය මාහට මඟ හැරෙන බවයි. කළ යුත්තේ කුමක්ද? ආපසු නිවසට ගොස්, අනිත් ගුවන් යානයේ අසුනක් වෙන් කරවාගෙන එදින සවස් යාමයේ ගමන පිටත් වූයෙමි. එපමණි.

මෙයාකාරයේ අත්දැකීම් මගින් පරීක්ෂාවට ලක් කෙරෙනුයේ අප විසින් අපගේ ජීවිතවලට බුද්ධ දේශනා කොපමණ ප්‍රමාණයකින් බද්ධ කොටගෙන ඇත්තේද යන්නයි. සමස්තය කෙරෙහිම සිත අවුල් කරගනිමින් කම්පාවට පත් වමුද? කෝප වීමෙන් සිදුවන එකම දෙය නම් අප වෙතම වේදනාවක් ඇතිකර ගනිමින් වඩාත් අභාග්‍ය සම්පන්න තත්ත්වයකට පත්වීම පමණි. පවත්නා තත්ත්වයට අදාළ යථාර්ථය වහා පිළිගනිමින් එම අවස්ථාවට අනුකූලව කළ යුතුදේ කළ යුතුය. නිදසුනක් ලෙස මවිසින් යම් නිශ්චිත ගුවන් යානයක අසුනක් වෙන්කරවාගෙන ඇම්ටර්ඩෑම් ගුවන් තොටුපලින් රොටර්ඩෑම් වෙත දුම්රියෙන් ගොස් සැඳෑ උත්සවයට සහභාගි වීමට කළ සැලැස්ම මෙන් අපගේ ප්‍රක්ෂේපණයන් කෙරෙහි ඇලී සිටීමෙන් තොරව අනිත්‍යය පිළිබඳ බුදුන් වහන්සේගේ දේශනා ප්‍රායෝගික මට්ටමින් ජීවිත තුළට එ්කාබද්ධ කරගනිමින් ඉන් ප්‍රයෝජන ගැනීම කළ යුත්තේ මෙපරිදිය. එය සිහිනයක් මෙන් එයාකාරයෙන්ම සිදු නොවන්නකි. එසේ නම් අප කළ යුත්තේ විකල්ප සැලැස්මක් ක්‍රියාත්මක කිරීමයි.
 
මෙය භාවනා පිළිබඳ ඉතා මූලික මට්ටමේ උපදේශයකටද අදාළ වේ: භාවනාවෙහි නිරත විය යුත්තේ කිසිදු අපේක්ෂාවකින් තොරවය. අපේක්ෂා විරහිත නම්, කලකිරීම්ද නොමැත. එය බුදු දහම ප්‍රායෝගිකව භාවිත කිරීමෙහි ලා ඉතා මූලික වූ න්‍යායකි.

මාගේ සොයුරියට පුතුන් දෙදෙනෙකු හා මුණුපුරු මිණිපිරියන් සිවු දෙනෙකුද සිටී. ඇයගේ පුතුන් හෝ මුණුපුරු මිණිපිරියන් ඇය අමතනු ඇතැයි බලාපොරොත්තු තබා නොගන්නා ලෙස මම නිරතුරු ඇය පොළඹවමි. එවන් අපේක්ෂාවක් තබා ගතහොත්, ඔවුන් එසේ නොකරන බැවින් ඉන් කළකිරීමට පත් වන්නෙමු. අපට යමෙකු හා කථා කිරීමට අවශ්‍ය වන්නේ නම්, ඔවුන් ඇමතිය හැක. එය එතරම් සරල දෙයක් වන අතර, එම යථාර්ථය පිළිගත යුතුය. එය වෙනස් කළ හැක්කේ නම්, වෙනස් කරමු. වෙනස් කළ නොහැකි නම්, වෙනස් කළ නොහැකිය. අස්ථානගතවූ ගමන් මළු එ්වාහි නියමිත ක්‍රමවේදයට ගතවන කාලය ගතකිරීමෙන් පසු පමණි නැවත අප වෙත ලැබෙනුයේ. එම තත්ත්වය අප විසින් පිළිගත යුතුය.

නැවතද ප්‍රකාශ කරන්නේ නම්, ප්‍රක්ෂේපණ හෙවත් චිත්ත නිමිති වර්ග දෙකකි. එකක් ප්‍රයෝජනවත් එකකි - අප විසින් යම් සැලසුම් සකස් කරගැනීම අවශ්‍ය වේ. යම් ගමනාන්තයකට යා යුතුව පවත්නේ නම්, ගුවන් ආසන වෙන්කර ගැනීම අවශ්‍ය වේ. කෙසේ වුවද, අනෙක් ප්‍රක්ෂේපණ වර්ගය ප්‍රයෝජනවත් නොවනවා පමණක් නොව හානිකරද වේ. 

සිතා බැලීම හා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම

අපගේ හානිකර ප්‍රක්ෂේපණයන් විමසා බැලීමට පෙර, අප දැනට සිටින තත්ත්වය පිළිබඳ කල්පනා කර බැලීම සඳහා මොහොතක් යෙදවීමට කල්පනා කිරීම යහපත් අදහසකි. අප කොතරම් නම්‍යශීලීද? අප සැලසුම් කළ පරිදි කටයුතු සිදු නොවන විට අපි කොතරම් නම් කලබල වන්නෙමුද? යමක් යම් ආකාරයකින් සිදුවිය යුතු බවට වූ නිශ්චය කළ සැලැසුම්වල කොපමණ නම් අප ඇලී සිටින්නේද? නිදසුනක් ලෙස, මෙම කටයුත්ත මෙම නිශ්චිත අවස්ථාවේ කළ යුතුය හෝ ආපන ශාලාවකට ගිය විට අපට අවශ්‍යම ආහාර වර්ගය වහ වහා අප වෙත ලබාදිය යුතුය ආදී වශයෙනි. යම් ආකාර සැලසුමකට හෝ අපේක්ෂාවකට අපි කෙතරම් නම් ඇලී සිටින්නෙමුද? කලකිරීමට පත්වන විටදී එම තත්ත්වය කෙතරම් නම් අමිහිරිද යන්න අවබෝධ කරගැනීමට උත්සාහ කරන්න. කලකිරීමට පත් කරවනුයේ අපගේ අපේක්ෂා මගිනි. අපගේ සැලසුම් දේවල් සැබෑ ලෙසම ක්‍රියාත්මකවන ආකාරය හා අනුගත විය යුතුය යන්න අපගේ සිතිවිල්ලයි.

එනමුදු සියල්ල හේතු ප්‍රත්‍ය මත රඳා පවතී. ආපන ශාලාවන්හි අපට අවශ්‍ය ආහාර වර්ග අහවර වී තිබිය හැක. මේවා හේතු ප්‍රත්‍ය වේ. දුම්රිය ප්‍රමාද විය; වාහන තදබදයට හසු වී ගුවන් යානය අල්ලා ගැනීමට අපට නොහැකි විය. මේවා හේතු ප්‍රත්‍ය වේ. ඔබ කෙතරම් නම්‍යශීලීද යන්න මොහොතක් පරීක්ෂා කර බලන්න. මෙය ඔබ විසින් නිවැරදි කරගත යුතු තත්ත්වයක්ද? අනිත්‍යතාවය පිළිබඳ ඉගෙන ගැනීම හෝ හුස්ම පිළිබඳ අවධානය යොමුකොට හුස්ම අනිත්‍ය බව අවබෝධ කරගැනීම පමණක් ප්‍රමාණවත් නොවේ. එම අවබෝධයද ඉතා යහපත් නමුත් එ්වා අප විසින් අපගේ ජීවිතවලට අදාල කරගනුයේ කෙසේද? එයයි අනිත්‍යතාවය අවබෝධ කරගැනීමේ තීරණාත්මක සාධකය.

පිළියෙල කළ ආහාර බඳුන බිම වැටී කැඩී බිඳී යාම වැනි ප්‍රායෝගික නිදසුනක් පිළිබඳව සිතා බලන්න. එයට ඔබගේ හැඟීම් හෙවත් භාවමය ප්‍රතිචාරය කුමක්ද? පිළියෙල කරන ආහාරය පිළිස්සී යයි. ඔබ එ් සම්බන්ධයෙන් භාවමය වශයෙන් කටයුතු කරන්නේ කෙසේද? එයිනි ඔබගේ ප්‍රගතිය හෙළි වනුයේ. පරිගණකයෙන් හෝ දුරකථනයෙන් යම් කාර්යයක් කිරීමට උත්සාහ ගන්නා අතර, යන්ත්‍රය ක්‍රියාත්මක නොවේ. ඔබට වහා වෙනත් විකල්පයක් යෙදිය හැකිද? හෝ ඔබ වියවුල් වන්නේද? සාප කරන්නේද?

දේශනා ප්‍රායෝගිකව යොදාගනුයේ මෙසේය. එම අවස්ථාවන්හි චිත්ත ව්‍යාකූලත්වයකට පත් වී දෙවන සැලැස්මක් වෙත යොමුවීමට සමත් නොවන්නේ නම් - නිරතුරු දුරකථනයෙන්, පරිගණකයෙන් ආදී ලෙස යම් කාර්යයක් සිදු කිරීමේ විකල්ප මගක්ද පවතී- චිත්ත ව්‍යාකූලත්වයට පත් වන්නේ නම්, වැඩිදියුණු කරගත යුතු ක්ෂේත්‍ර මේවාය යන්න ඉන් දක්වනු ලබයි.

හානිකර ප්‍රක්ෂේපණයන්

පෙරදී සඳහන් කරන ලද පරිදි, ප්‍රක්ෂේපණ වර්ග දෙක අතරින් එක් වර්ගයක් සැලසුම් හා පූර්ව සූදානම් සඳහා ප්‍රයෝජනවත් වන අතර, අනෙක් වර්ගය හානිකර වේ. “ම පරාජිතයෙක්. කවුරුවත් මට ආදරේ නෑ. මේ මිනිහා හරි නරුමයෙක්” ආදී ලෙස සිතීම හෝ ආහාරයක් පිළිස්සීම හෝ දුම්රිය මඟ හැරීම ආදිය මහා ආපදාවක් ලෙස සිතීමද හානිකරය. එවන් හානිකර ප්‍රක්ෂේපණයන්හි පදනම අතිශයෝක්තිය වේ.

කෝප වූ විට යම් කිසිවක පවත්නා නිශේධනාත්මක ගුණ අතිශයෝක්තියට නංවමින් එම ගුණ පුම්බා ලන්නෙමු. භූගත හෝ නගර මාර්ගවලදී මෙම තත්ත්වය බොහෝ අය විසින් අත්දැක ඇත: පඩිපෙළ බැස එන විටදීම දුම්රිය වේදිකාවෙන් පිටත් වේ. මෙම තත්ත්වය සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කෙසේද? සාප කරමුද? විනාඩි පහක් හෝ දහයක් නැවතී බලා සිටීමට සිදුවීම ලෝකයේ සිදුවිය හැකි අයහපත්ම දෙය නොවේ. එසේ නමුදු එය වඩාත් පුම්බාලමින් එ් වෙත කෝපයෙන් යුතුව ප්‍රතිචාර දක්වමින් චිත්ත ව්‍යාකූලත්වයක් ගොඩනගා ගන්නෙමු. මෙමගින් දුකට පත්වන අතර ඉන් කිසිදු පලක් සිදුවේද?

ලෝභය හා ඇලීම හේතුකොට යම් කිසිවක් ලොව වඩාත් ආකර්ශනීය දෙය ලෙස හෝ අප සමග සිටින පුද්ගලයා ලොව වඩාත්ම අපූර්ව පුද්ගලයා ලෙස සිතන්නෙමු. අතිශයෝක්තියට නංවමින්, පෙමින් වෙළෙමින් අපි එම පුද්ගලයාගේ අතිශයෝක්තිගත යහපත පමණක් දකින්නෙමු. එම පුද්ගලයා අප විසින් මවාගත් අතිශයෝක්ති තත්ත්වය සුරකිමින් ජීවත්විය යුතුයැයි සිතන නමුත් කිසිවෙකුට හෝ එ් අනුව ජීවත් විය නොහැක. එවිට කලකිරීමට පත් වන්නෙමු.

එවන් ආකල්ප පවත්වාගෙන යාම ගැටලුකාරීය. නිරතුරු සිදුවන දෙයනම් පමණ ඉක්මවූ පටු දෘෂ්ටි කෝණයකින් දේවල් දෙස බැලීම පමණි. නිදසුනක් ලෙස, අපගේ ජීවිතවල යම් පසුබෑමක් ඇතිවන කල්හි, යමෙකු විසින් අප ප්‍රතික්ෂේප කෙරෙන කල්හි හෝ යමෙකු විසින් අප කෙරෙහි යම් අප්‍රසන්න කාර්යයක් සිදු කරන විටදී මෙය සිදුවිය හැක. අප ඇසුරු කරන පුද්ගලයකු විසින් අප අකමැති වන්නාවූ දෙයක්, එනම් අපගේ උපන් දිනයට අප අමතා සුභ පැතීමක් සිදු නොකිරීම හෝ අප සමග තරහා සිතින් බැණ අඬ ගැසීම ආදී  යම් කිසිවක් සිදු කරයි. අපි එහිදී එම තනි සිදුවීම මත පමණක් අවධානය යොමු කරන්නෙමු. සමස්ත සම්බන්ධතාවයට අදාළ විශාල පින්තුරය අපට එ් අවස්ථාවේ නොපෙනේ. මෙම පටු දෙයට අදාළව පමණක් ඔවුන් හඳුනා ගනිමින් එ් අනුව වඩ වඩාත් කෝප වන්නෙමු.

යම් දුෂ්කරතාවයකින් හෝ අසනීප තත්ත්වයකින් පෙළෙන්නේ නම් “දෙවියනේ මං විතරනෙ මේ විදිහට දුක් විඳින්නෙ”යි සිතිවිලි ඇතිවිය හැක. නැවතද එය ඉතා පටු දෘෂ්ටියක් බව පැවසිය යුතුය. එය වඩා විශාල දෘෂ්ටි කෝණයෙන් නොදැකීමෙන් ඇතිකර ගන්නා ප්‍රක්ෂේපණයකි. නිදසුනක් ලෙස,  “කවුරුවත් මට ආදරේ නෑ” යන සිතිවිල්ල සලකා බලමු.  අපි අපගේ සමස්ත ජීවිත කාලය පරීක්ෂාකර බලන්නේ නම්, කිසිවෙකු කිසිදා අපට ආදරයෙන් සලකා නොමැත්තේද? අපගේ බල්ලා අපට ආදරය නොකරන්නේද? කිසිවෙකු කිසිදා අපට යහපත් ලෙස සැලකිල්ලෙන් සොයාබලා නොමැත්තේද? තවත් නිදසුනක් ලෙස, “මං හරිම පරාජිතයෙක්” යන සිතිවිල්ල සලකා බලමු. එය සත්‍යද? අප කිසිදා කිසිදු කරණක් සම්බන්ධයෙන් සාර්ථක වී නොමැත්තේය යන්න සත්‍යද? ඇවිදීමට උගැනීම හා වැසිකිලි, කැසිකිලි භාවිතය පිළිබඳව අපි සාර්ථකව උගත්තෝ නොවෙමුද? එබැවින් යම් කිසි තැනෙකදී හෝ අපි සාර්ථක වී ඇත්තෙමු.

නැවතද ප්‍රකාශ කළ යුත්තේ අපගේ චිත්ත නිමිති හෙවත් ප්‍රක්ෂේපණයන් යථාර්ථය හා අනුගත නොවන්නේය යන්නයි. එනමුදු, අපට එ්වා යථාර්ථයට අනුගත වන බව සිතීමට අවශ්‍ය බැවින් එසේ සිතන්නෙමු. අපගේ ජීවන සහකරු ලොව අපූර්වතම, විශේෂිතම පුද්ගලයා විය යුතුයැයි අපි සිතන්නෙමු. ඇන්ටාක්ටිකාවේ පෙන්ගුවින්ලා ජීවිත කාලය පුරා එක් සහකරුවෙකු හෝ සහකාරියක සමග ජීවත්වන තත්ත්වය මේ පිළිබඳ මනා උදාහරණයකි. අපට එ් සියල්ලන් එකහා සමානව දර්ශනය වුවද, පෙන්ගුවින්ලා හට එ් අතරින් ඔවුන් තෝරාගන්නා එම සහකරු විශේෂ වේ. නිසැක වශයෙන්ම පෙන්ගුවින්ලාගේ දෘෂ්ටි කෝණයෙන් සලකා බැලුවහොත්, මනුෂ්‍යයන්ද එසේම දිස්වනු ඇත. එසේ වුවද, අපට අන් කිසිවෙකු හෝ අප කෙරෙහි දක්වන ප්‍රේමය අදාල නැත. අවශ්‍ය වනුයේ මා විසින් විශේෂ කොටගත් ඔබ මා හට ආදරය කිරීම පමණි. මෙයාකාරයේ අතිශයෝක්තියට නැංවීම් එතරම් යහපත් හෝ ප්‍රයෝජනවත් නොවේ.

යථාර්ථය ප්‍රතික්ෂේප කිරීම

සෙසු අය පිළිබඳ යථාර්ථය නොදකිමින් යථාර්ථය ප්‍රතික්ෂේප කිරීම හානිකර ප්‍රක්ෂේපණයේ තවත් ආකාරයකි. සෙස්සන්ද හැඟීම්,දැනීම් සහිත මනුෂ්‍යයන්ය යනුවෙන් නොසලකා ඔවුන් ද්‍රව්‍ය හෝ භාණ්ඩ ලෙස  ගෙන සැලකීමේදී මෙය සිදුවේ. බුදු දහම තුළ ඉතා ප්‍රසිද්ධ පදයක් ඇත. එයනම්: “සියල්ලෝ සැපයට කැමැත්තාහ. කිසිවෙකු හෝ දුකට නොකැමැත්තේය.” යන්නයි. අන්‍යයන් සම්බන්ධයෙන් මෙම කරුණ අප විසින් කෙතරම් බරපතලව සලකන්නේද? බොහෝ විට මෙය නොසලකා හරිමින් යමෙකුට අප සලකන හෝ අන්‍යයන්ට කථා කරන ආකාරය එතරම් ගණන් නොගනිමින් කටයුතු කරන්නෙමු. එනම්, මෙහිදී හේතු ඵල දහම අදාළ නොවන අතර අන් කිසිවෙකු හැඟීම් දැනීම් නැත්තන්ය වැනි ආකල්පයකි එහි ඇත්තේ.

නිදසුනක් ලෙස, අපගේ කාර්යාලයේ යම් කිසිවෙකු ඉතා අමනෝඥ හා අප්‍රසන්න අයෙකු වේ. කෙසේ වුවද, එම පුද්ගලයා හටද සතුටින් සිටීමටද දුකට පත් නොවීමටද අවශ්‍ය වේ. ඔවුන් හටද අන් අය ප්‍රිය මනාප අයුරින් සැලකීම අවශ්‍ය වන අතර නොසලකා හැරීම හෝ ප්‍රතික්ෂේප කිරීමට කැමති නොවෙති. ඔවුන් අප්‍රසන්න ආකාරයෙන් කටයුතු කරනුයේ තමා වෙත සතුට ගෙන එන්නේ කවරක් මගින්ද යන කරුණ කෙරෙහි ඔවුන් තුළ පවත්නා ව්‍යාකූලත්වය හේතුවෙනි. නැවතද, මෙහිදී අප විසින් අන්‍යයන් විනිශ්චයට භාජනය නොකිරීමේ අවශ්‍යතාවය ඉස්මතු‌ කෙරේ. ශාන්තිදේවයන් විසින් ප්‍රකාශ කරන ලද පරිදි,  සතුරෙකු ලෙස සලකා අපි අපගේ සතුට විනාශ කරන්නෙමු. වෙනත් අයුරකින් ප්‍රකාශ කරන්නේ නම්, අපි දුක් වීමට හේතු සොයමින් දුව යන්නෝ වෙමු. යමෙකු ඉතාමත් ආත්මාර්ථකාමී ආකාරයකින් කටයුතු කරන්නේ නම්, එමගින් සිදුවන්නේ සියල්ලන් විසින් ඔහු ප්‍රතික්ෂේප කරනු ලැබීමයි. කිසිවෙකු හෝ ඔහු කටයුතු කරන ආකාරය අනුමත නොකරන නමුත් එම පුද්ගලයා සිතනුයේ එම ක්‍රියා මගින් අන්‍යයන් සතුටු වන බවයි.
 
මෙය ඉතා වැදගත් කරුණකි: සෙසු අය සමග කටයුතු කිරීමේදී “මා මෙන්ම ඔබත් සතුටු වීමට කැමතියි. මා මෙන්ම ඔබටද හැඟීම් දැනීම් ඇත. මා මෙන්ම ඔබද දුක් වීමට අකමැති අතර, අනුන්ට ප්‍රිය වීමට කැමතියි. මා මෙන්ම ඔබද අනුන්ට අප්‍රිය වීමට හෝ අන්‍යයන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමට අකමැතියි.”ලෙස ඔවුන් අවබෝධ කරගැනීමට උත්සාහ කරන්න. මෙය බස් රථයක හෝ වාහන තදබදයකට හසුවී හෝ සිටින විටදී පුහුණු කිරීම ඉතා ප්‍රයෝජනවත් වේ. අපට මෙන්ම සියල්ලන් හට සිය ගමනාන්තය දක්වා ගමන් කිරීමට අවශ්‍ය වන අතර, කිසිවෙකු හෝ තදබදය තුළ සිරවී සිටීමට කැමති නොවේ. අන්‍යයන් කෙරෙහි කෝප වීමට කිසිදු හේතුවක් නොමැත. අප මෙන්ම අන් සියල්ලන් හටද හැඟීම් ඇත.  

“බුදුන් වහන්සේ පවා සියල්ලන්ට ප්‍රිය නොවූ සේක. එබැවින් අප සියල්ලන්ට ප්‍රිය විය යුතුයැයි අපේක්ෂා කරන්නේ මන්ද?” හෝ “ඔවුන් යේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගැසුවා, එබැවින් අපට අපගේ ජීවිතවල කුමක් අපේක්ෂා කළ හැකිද?” ලෙස කල්පනා කිරීම ඉතා උපකාරී වේ. සියල්ලන් අපට ආදරය කරනු ඇත්ද? කිසිවෙකු අපට කැමති නොවන හෝ අප කැමති වන ධනාත්මක ආකාරයකින් අපට ප්‍රතිචාර නොදක්වන අවස්ථාවන්හි මෙය ඉතා වැදගත් වේ. අපගේ යථාර්ථවාදී නොවන අපේක්ෂාවන් හා ප්‍රක්ෂේපණයන්ට මුහුණ දීම සඳහා ප්‍රායෝගිකව මෙම පද ඉතා ප්‍රයෝජනවත් විය හැක. “මා නිරතුරු නිවැරදි විය යුතු අතර, සියල්ලන් මා හට ඇහුම්කන් දිය යුතුය” යන්න අපගේ සිතිවිල්ල විය හැක. එනමුදු ඔවුන් එසේ කළ යුත්තේ මන්ද?
 
යථාර්ථවාදී දෙය හා එසේ නොවන දෙය අතර වෙන්කොට සැලකීමක් හෙවත් වෙනස හඳුනාගැනීමක් මෙහිදී සිදුකරන බව සිහි තබා ගන්න. අපට වඩාත් යහපත් ලෙස කටයුතු කිරීමට, අපගේ තත්ත්වය වර්ධනය කරගැනීමට හෝ වඩා ඉහළ මට්ටමේ සිහි කල්පනාවක් පවත්වා ගැනීම ආදිය සිදු කිරීමේ අපේක්ෂා පැවතිය හැක. වඩා යහපත් ලෙස යම් කාර්යයක් කිරීමේ අපේක්ෂාව ඉටුකරගත හැක්කක් වන අතරම එය යථාර්ථවාදී අපේක්ෂාවක්ද වේ. එසේ වුවද, “මා නිරතුරු ඔබගේ ජීවිතයේ වඩාත් වැදගත් පුද්ගලයා විය යුතුය. ඔබ නිරතුරු මා වෙනුවෙන් මා සමග සිටිය යුතුය.” යන සිතිවිලි දරා සිටින අතර, දවසේ වැඩ කටයුතු නිමවා නිවසට පැමිණි ඔබගේ බිරිඳ හෝ සැමියා ඉන්පසු දවස පුරා ඔබ වෙනුවෙන් හා ඔබ සමග සිටිය යුතුය යනාදී අපේක්ෂාවක සිටීම යථාර්ථවාදී නොවේ.
 
අපගේ අපේක්ෂාවන් යථාර්ථවාදී නොවන අවස්ථාවන් පිළිබඳව මොහොතක් සලකා බලමු. අප තුළ මෙවන් යථාර්ථවාදී නොවන අපේකෂාවන් කොපමණ පවත්නේද, හා අපට කෙතරම් සොඳින් එ්වා හඳුනාගත හැකිද? එ්වා විශ්වාස කරන විටදී එ්වා මගින් අපට හානි සිදුවන බව අපි අවබෝධ කරගන්නේද? එ්වා මගින් භාවමය වේදනාවන් ඇතිකරන ආකාරය අවබෝධ  කරගන්නේද? දලයි ලාමා වහන්සේ විසින් හැඳින්වීමට වඩාත් ප්‍රිය කරන වදනින් ප්‍රකාශ කරන්නේ නම් එ්වා අපගේ අභ්‍යන්තර කරදරකාරයෝ වෙති.

බටහිර රටවල බොහෝ මිනිස්සු එම සංස්කෘතියේ පවත්නා විනිශ්චයට නැඹුරුවූ දර්ශනවල බලපෑමට ලක්වූවෝ වෙති. බොහෝ දෙනෙකු වඩාත් පෙළීමට ලක්වන සිතිවිල්ල වනුයේ අපි අවශ්‍ය පමණට යහපත් අය නොවන්නේය යන්නයි. මෙය ඉතා විනිශ්චයකාරී සිතිවිල්ලකි. කිසිවෙකු විසින් හෝ අප විනිශ්චය නොකරන අතර, අප විසින් සත්‍ය වශයෙන්ම අපවම හෝ විනිශ්චය කළ යුතු නොවන්නේය යන්න අවබෝධ කරගත යුතුය. අප ව්‍යාකූලව සිටිය හැක. එනමුදු, ඉන් අප යම් ඌණතාවයකින් පෙළෙන බවක් හෝ අප අයහපත් බවක් නොඇඟවේ. මෙය ඉතා ස්වයං-විනාශකාරී  ප්‍රක්ෂේපණයකි.
සත්‍යයන් දෙක අතර වෙනස දැකීමේ හැකියාව ලබාගැනීම අත්‍යවශ්‍යය. නිදසුනක් ලෙස, අප අවශ්‍ය පමණට යහපත් අය නොවේය ආදී වශයෙන් අපට සත්‍ය සේ පෙනෙනෙ දේ සැබැවින්ම අසත්‍ය වේ. එය විශ්වාස කිරීමට කිසිදු හේතුවක් නොමැති බැවින් එය විශ්වාස කිරීම නතර කළ යුතු අතර හේතු ඵල දහමට අනුකූල දිවියක් ගතකළ යුතු වේ. අපට යම් කිසි කාර්යයක් සාර්ථක කරගැනීමට අවශ්‍ය වන්නේ නම්, එ් සඳහා වූ හේතු සොයාගත යුතු වේ. එය සිදුකළ හැක්කේ නම්, සිදු කරන්න; කළ නොහැක්කේ නම්, යථාර්ථය පිළිගන්න. නිදසුනක් ලෙස, වඩා හොඳ රැකියාවක් ලබාගැනීමට අවශ්‍ය නම්,  යම් කිසිවක් අහසින් කඩා වැටෙන තෙක් හෝ යම් කිසිවෙකු ඉදිරිපත් වී  ලබාදෙන තුරු නොසිට එය සොයා ගැනීමට සිදුවේ.  එහි හේතු ඵල දහමක් පවතී. විය හැකියාවන් භාර ගනිමින් ඉන් ප්‍රයෝජන ලබමින්, අප හරිම අවාසනාවන්තයන් බැවින් කිසි දින ඉදිරියට යා නොහැකි අතර එ් පිළිබඳ කළ හැකි කිසිවක් නොමැති බව සිතමින් එවන් සිතිවිලි මාලාවක සිරවී සිටීමෙන් වැළකිය යුතුය. මෙයාකාරයේ සිතිවිලි ඇතිකර ගැනීම ඉතා නිශේධනාත්මක වේ. ගාථාව තුළ ප්‍රකාශිත පරිදි: නිශේධනාත්මක හෝ පාපකාරී කිසිවක් සිදු නොකරන්න. මෙය ක්‍රියාව හෝ කථාව සම්බන්ධයෙන් පමණක් නොව සිතිවිලි සම්බන්ධවද එකසේ අදාලය. එතුළ අප පිළිබඳව හා අන්‍යයන් පිළිබඳවද සලකා බලන ආකාරය අන්තර්ගත වේ.

චතුරාර්ය සත්‍යය

ප්‍රක්ෂේපණයන් හා යථාර්ථය අතර වෙනස හඳුනාගැනීමේ මෙම ප්‍රවේශය අපගේ ජීවිත තුළට චතුරාර්ය සත්‍යයන් ගලපා ගැනීම හා අදාල වේ. පරම පූජනීය දලයි ලාමා වහන්සේ විසින් අවධාරණය කරන පරිදි, අප විසින් දෙසත්‍යය වෙතින් චතුර් සත්‍යය වෙත ගමන් කළ යුතුව පවතී. පළමු ආර්ය සත්‍යය වන අපගේ ගැටලු දෙවන ආර්ය සත්‍යය වන එ්වාහි හේතු තුළින් ඉස්මතුවන බව අවබෝධ කරගත යුතුය. අප තුළ මෙම ප්‍රක්ෂේපණයන් හා එයට අමතරව, මෙම ප්‍රක්ෂේපණයන් මගින් යථාර්ථය පිළිබිඹු නොකරන්නේය යන සත්‍යය පිළිබඳ නොදැනුවත්භාවයක් හෝ අනවබෝධයක් පවතී. තෙවන ආර්ය සත්‍යය වන එම තත්ත්වය නතර කරලීමක් අප හට අවශ්‍ය වන්නේ නම්, හෙවත් ඉන් මිදීමක් අවශ්‍ය වන්නේ නම්, අපට සතරවන ආර්ය සත්‍යය නමැති යථාර්ථය අවබෝධ කරගනිමින් අපගේ කාල්පනික ලෝකය නමැති බැලූනය පුපුරවා හැරීමට සිදුවේ.

මෙය ක්‍රියාත්මක කිරීම සඳහා බෞද්ධයන් වීම අවශ්‍ය නොවේ. දලයි ලාමා වහන්සේ විසින් ප්‍රකාශ කරන  පරිදි, මෙය විශ්වීය ප්‍රවේශයක් වන අතර එය චතුරාර්ය සත්‍යය ලෙස හැඳින්වීමද අවශ්‍ය නොවේ. එය කිසිදු යෙදුමකින් හැඳින්වීම අවශ්‍ය නොවේ. මෙලෙසින්, එ්වා කවරක්ද යන්න පවා ප්‍රකාශ නොකරමින් මාර්ගය තුළින් සැබැවින්ම තෙරුවන් කරා යොමු කිරීමක් සිදුවේ. අපගේ ගැටලුවල හේතුව මුලිනුපුටා දමන්නේ නම්, ගැටලුද ඉවත්ව යන බව අවබෝධ කරගනු ලබයි. සියලු හේතු හා ගැටලු ඉවත්ව ගොස් ඇති අතර, මේ පිළිබඳව ලබන අවබෝධය ධර්ම රත්නය වේ. මේවා තෙවන හා සතරවන ආර්ය සත්‍යයන් වේ. බුදුවරුන් යනු එ්වා සම්පූර්ණ කළ උත්තමයන් වන අතර, සංඝයා වහන්සේ යනු මෙය යම්තාක් දුරට සාක්ෂාත් කරගත් උත්තමයෝ වෙති.

මෙලෙස අප සතුව දෙසත්‍යයක්, චතුර් සත්‍යයක් හා තෙරුවණක් ඇති අතර, එය අත්කර ගැනීම සඳහා අපට බෞද්ධයන් වීම පවා අවශ්‍ය නොවේ. බෞද්ධයෙකු වීමේ බෙදුම් රේඛාව වනුයේ මතු ජීවිත වැඩි වර්ධනය කරගනු පිණිස කටයුතු කිරීමේ අරමුණයි. කෙසේ වුවද මෙම ප්‍රවේශය සඳහා පෙර හා මතු භවයන් පිළිබඳ විශ්වාසයක් පැවතීම අවශ්‍ය කෙරේ. දලයි ලාමා වහන්සේ විසින් පෙන්වා දී ඇති පරිදි‌ අතීෂයන්ගේ කාලයේ තිබ්බතය තුළ හඳුන්වා දෙන ලද පරිදි අපගේ සම්ප්‍රදායික සූත්‍ර ප්‍රවේශය වනුයේ ලම්-රිම්, හෙවත් පොළඹවාලීමේ අදියර තුනයි. මේවා නම්, මතු භවයන් වැවඩිදියුණු කරගනිමින්, පාලනයකින් තොරව නැවත නැවතත් ඇතිවන මතු භවයන් වෙතින් විමුක්තිය ලබමින් අන් සියල්ලන් වෙත මතු භවයන් වෙතින් විමුක්තිය ලැබීමට වඩාත් හොඳින් උපකාර කිරීමට හැකිවනු පිණිස බුද්ධත්වය සාක්ෂාත් කරගැනීමයි. මෙකී සමස්ත ව්‍යුහය මතු ජීවිත හා පුනර්භවය මත රඳා පවතී. ධර්මය වෙත සිත හරවාලන්නාවූ චතුරාර්ය සත්‍යය තුළද ප්‍රකාශ කෙරෙනුයේ පුනර්භවය නමැති එම කරුණම වේ. පුනර්භවය නමැති දෙයක් පවත්නේය යන විශ්වාසය මතය සමස්ත මාර්ගය පදනම් වනුයේ.

බටහිර රටවල වැසියන් වෙනුවෙන් හෝ වඩාත් පොදු වූ ප්‍රවේශයක් ගන්නේ නම්, සත්‍යයන් දෙකක්, චතුර් සත්‍යයක් හා තෙරුවන් සමගින් ආරම්භය ගැනීම වඩාත් යහපත්ය. මිනික්බිති හේතු ඵල සාකච්ඡාව හඳුන්වාදිය හැකි නමුදු නිරපේක්ෂ ආරම්භයක් පවත්නේ නම් හේතු ඵල යන්න තුළින් කිසිවක් හෝ අර්ථවත් නොවේ. මෙමගින් ආරම්භයක් රහිත සිතක් පිළිබඳ අදහසක් ඉස්මතු කරවයි. ආරම්භයක් රහිත සිත අවබෝධ කරගන්නේ නම් පුනර්භවයද අවබෝධ කරගන්නෙමු. මෙම අදියරේදී අපට අවංකවම මතු භවයන්හි යහපත අපේක්ෂා කරමින් පාලනයකින් තොරව නැවත නැවතද ඇතිවන පුනර්භවයෙන් හෙවත් සංසාරයෙන් විමුක්තිය හෙවත් ගැලවීම ලැබිය හැක. ලම්-රිම් ශ්‍රේණිගත මාර්ගය හා සම්බන්ධ අපගේ කටයුතු හුදෙක් පුනර්භවය පිළිබඳ විශ්වාසය මත පදනම් වන විටදී, එය ස්ථාවර නොවේ. මෙම පදනමින් ලම්-රිම් පිළිවෙත් පිරීම නිරර්ථකය යන්නක් මින් අදහස් නොකෙරේ; එසේ නමුදු, පුනර්භයව පිළිබඳ විශ්වාසය නමැති සම්ප්‍රදායිකව තිබ්බතීයයන් ආරම්භ කරන්නාවූ ස්ථානයෙන් ආරම්භය ගත හැකි නම් එය වඩාත් ස්ථාවර වනු ඇත.

දෙසත්‍යය ආදී වශයෙන් වු මෙකී වැඩ පිළිවෙල මගින් දක්වනුයේ අපගේ ජීවිතවලට බුද්ධ දේශනා ගලපාගත හැකි ආකාරයයි.  එය ප්‍රක්ෂේපණයන් සහ ප්‍රක්ෂේපණයන් ඇති කරගන්නා අවස්ථාව හා සාවද්‍ය ලෙස ප්‍රක්ෂේපණයන් අප විසින් විශ්වාස කරන බවට වූ එම යථාර්ථය හඳුනා ගැනීම අතර වෙනස හඳුනා ගැනීමත් සමගින් ආරම්භ වන්නකි. මේ සියල්ල විනිශ්චය කරන්නෙකු බවට පත්වීමෙන් තොරව සාක්ෂාත් කරගත යුතුවන කරුණු වේ. නිදසුනක් ලෙස, “මං හිතුවේ ඔයා මට උදව් කරන්න හදනව කියලා. එ්ත් ඔයා එහෙම කළේ නෑ.” හෝ “මං හිතුවෙ ඔයා එ්ක හරියට කරන්න හදනව කියල. එ්ත් ඔයා එහෙම කළේ නෑ” ආදී වශයෙනි. අපගේ කාර්යය තුළදී අදාළ කටයුත්ත හොඳින් සිදු කරනු ඇතැයි විශ්වාස කරමින් අප විසින් යමෙකු වෙත යම් කාර්යයක් පවරන ලද අතර, ඔවුන් විසින් එසේ සිදු නොකරන ලදී. මෙහිදී කුමක් කරමුද? එය අප විසින්ම සිදු කරන්නෙමු. අපි එම පුද්ගලයා සමගින් කෝප වන්නෙමුද? ඉන් පලක් නොවේ. කළ යුත්තේ මින් ඉදිරියට එවන් පැවරුමක් ඔවුන් වෙත භාර නොදීම හෝ එය නිවැරදිව කරනා ආකාරය ඔවුන් වෙත ඉගැන්වීමයි. යථාර්ථය සමගින් කටයුතු කරන්න. කිසිදු මාර්ගෝපදේශයකින් තොරව අදාල පුද්ගලයා විසින් එම කාර්යය නිවැරදිව සිදු කරනු ඇත යන අපේක්ෂාව හේතුවෙනි අප වියවුලට පත් වනුයේ. ඔවුන් එසේ සිදු කරනු ඇතැයි බලාපොරොත්තු වීම කළ හැකිය යන්න වෙනම කරුණකි. අපේක්ෂා නොපවත්නේ නම් කලකිරීම්ද නොමැත.

කැළඹිලිකාරී හැඟීම්

සියලු පාපකාරී හෙවත් නිශේධනාත්මක ක්‍රියාවන් සිදු නොකරන්න යන පදයේ උපදෙස අනුගමනය කිරීමට අපේක්ෂා කරන විටදී, කැළඹිලිකාරී හැඟීම්වල බලපෑමට යටත්ව ක්‍රියා කරන, කථා කරන හෝ සිතන අවස්ථාවන් හඳුනාගත යුතු වේ. කැළඹිලිකාරී හැඟීම යන්නෙහි අර්ථ නිරූපණය වනුයේ, වර්ධනය වුවහොත් අපගේ චිත්ත සාමය හා ස්වයං පාලනය අහිමි කිරීමට හේතු වන්නාවූ චිත්ත ස්වභාවයක් යන්නයි. කෝප ගන්නා විටදී අපට අපගේ චිත්ත සාමය අහිමි වන අතර පසුව පසුතැවීමට හේතුවන කථා හා ක්‍රියාවන් කරන්නෙමු. යමෙකු කෙරෙහි ලෝභ සිතින් ඔහු කෙරෙහි ඇලී සිටින විටදී පවතින්නේ චිත්ත සාමයක් නොවන අතර, පසුව ඉතා හාස්‍යජනක සේ පෙනීයන දේ ප්‍රකාශ කරන්නෙමු. නිරතුරුවම, මෙහිදී පවත්නා පමණ ඉක්මවූ ඉල්ලුම හා ඇලීම හේතුකොට අනෙකා අප කෙරෙන් ඉවත් කරනු හෙවත් පලවා හරිනු ලබයි.

කැළඹිලිකාරී හැඟීමකට යටත්ව කටයුතු කරන අවස්ථාවන් අප විසින් හඳුනාගත යුතු වේ. අපගේ ශක්තිය කෙරෙහි යම්තාක් සංවේදී වන විටදී, පදනමෙහි පවත්නා යම් විරෝධතාවයක්, සතුරු ස්වභාවයක් හෝ ඇලීමක් හේතුකොට යම්තාක් දුරට කලබලකාරී ස්වරූපයකින් පසුවන බව අපට හැඟේ. මෙකී විනාශකාරී හා කැළඹිලිකාරී හැඟීම් ඉස්මතු වනුයේ අපගේ අවිද්‍යාව හෙවත් නොදැනුවත්භාවය හේතු කොටගෙනය. අපි හේතු ඵල දහම පිළිබඳ අනවබෝධයෙන් පසුවන්නෙමු. මින් අදහස් කෙරෙනුයේ අපි මෝඩයන් බව නොව, දේවල් හේතු ඵල දහමකට අනුව සිදුවන්නේය යන්න පිළිබඳ අපට අවබෝධයක් නොමැති අතර අපගේ ප්‍රක්ෂේපණයන් යථාර්ථය හා අනුගත නොවන්නේය යන්න පිළිබඳ අවබෝධයක්ද අපට නොමැති බවයි.
 
සප්තවිධ චිත්ත පුහුණු අදියරයන් පිළිබඳව ලුහුඬින්:

සියලු දොස් පැවරිය යුතු දෙය මමායනයයි.

මින් අදහස් වනුයේ නිරතුරු අපට රිසි සේ සියල්ල සිදුවිය යුතුය, එ්වා පැවතිය යුතුයැයි අප කල්පනා කරන අයුරින්ම පැවතිය යුතුය යන අර්ථයෙන් දේවල් ග්‍රහණය කොටගෙන සිටින්නේය යන්නයි. එය “පළමුව මා” යන ආකල්පයයි : “දේවල් සිදුවිය යුතුයැයි මා අපේක්ෂා කරන ආකාරයට එ්වා සිදුවිය යුතුය” යන්න එම ආකල්පයයි. අපගේ ගැටලුවලට හේතුව ලෙස එම ආකල්පයට දොස් පවරන්න යැයි පවසන්නේ නම් එය ඉතා යෝග්‍ය උපදේශයක් වේ. නිදසුනක් ලෙස, “මට මේ ආපන ශාලාව සර්ව සම්පූර්ණ වීම අවශ්‍ය වුණා,” හෝ “මට මේ සන්ධ්‍යාව සර්ව සම්පූර්ණ එකක් වීම අවශ්‍යව තිබුණා,” හෝ “ඔයා මා සම්බන්ධයෙන් මේ විදිහට කටයුතු කළ යුතුව තිබුණා” ආදී සියලු අදහස් “මා” කේන්ද්‍ර කොට ඉස්මතු වේ. අපි හුදෙක් “මා” පිළිබඳව විනා “ඔබ” පිළිබඳව නොසිතන්නෙමු. වෙනයම් අයෙකු අද දවස අසීරුවෙන් ගත කරන්නට ඇතැයි හෝ වෙනයම් ආකාර සිතිවිල්ලක නිමග්නව නොසිටින්නෙමු. සියලු සිතිවිලි හුදෙක් “මා” හා අපට අවශ්‍ය දේ පිළිබඳව වේ. මේවාය අප විසින් අවධානයට ලක්කොට අපගේ එදිනෙදා ජීවිතයේදී වෙනස් කරගත යුතු ගැටලු වනුයේ. ජීවිතය පිළිබඳ බෞද්ධ දෘෂ්ටිය වනුයේ අපගේ සියලු ගැටලුවලට දොස් පැවරිය යුතු වනුයේ මමායනය කෙරෙහි වන බවයි. මින් අදහස් කෙරෙනුයේ ආත්මාර්ථකාමිත්වය හා ආත්ම කේන්ද්‍රීය ආකල්පයයි. මෙමගින් මුළුමනින්ම අපගේ අවශ්‍යතා නොසලකා හරින්නේය යන්නක් අදහස් නොවේ. සැලකිය යුතු එකම දෙය අපගේ අවශ්‍යතාය යනුවෙන් ගෙන අන්‍යයන්ගේ අවශ්‍යතාවයන් නොසලකා හැරීමයි. මෙය ඉතා මූලික මට්ටමේ ප්‍රවේශයකි.

මනා කොට කුසල ක්‍රියාවන්හි නිරත වන්න යන්නෙන් අර්ථවත් වනුයේ අවබෝධයෙන් හා ලෝභ, ද්වේෂයන්ගෙන් තොරව කටයුතු කිරිමයි. නිරතුරු අනුමැතිය හා අවධානය අපේක්ෂා කරන්නෙකු වීමෙන් වැළකීමට අපට අවශ්‍ය වේ. එම ආකල්පවල බලපෑමට යටත්ව කටයුතු කරන විටදී, අප කරදරකාරයන් නොවන්නේද? අපි අන්‍යයන් මත යථාර්ථවාදී නොවන ඉල්ලීම් පටවමින් කළකිරීමට පත් වන්නෙමු. කුසල ක්‍රියාවන්හි නිරතවීම යනු ඉන් මිදී කටයුතු කිරීමයි. එ්වාහි ප්‍රබල බලපෑමට යටත් නොවී කටයුතු කිරීමේ හැකියාවක් අප වෙත පවත්නේය යන්න විනා ගැඹුරුම මට්ටමේදී මෙකී කැළඹිලිකාරී හැඟීම් හා ආකල්ප නවතාලීමේ තත්ත්වයක් සාක්ෂාත් කරගෙන ඇත්තේය යන්නක් මින් අදහස් නොකෙරේ.

දිවිය අපගේ පුහුණු බිමයි

අමනෝඥ ලෙස අන්‍යයන්ගේ ගුණ හඳුනා නොගෙන සිටීමට අපට අවශ්‍ය නොවේ. අපට මෙන්ම අන්‍යයන් හටද හැඟීම් පවත්නේය යන්න හඳුනාගත යුතු වේ. අප මෙන්ම අන්‍යයන්ද ප්‍රතික්ෂේප වීමට හෝ නොසලකා හැරීමට ලක් වීමට නොකැමති වෙති. මේවාය අපගේ ජීවිතවලට අදාළ කරගත යුතු අවබෝධයන් වනුයේ. එසේ කරනු පිණිස, යැදුමේ තුන්වන පෙළින් ප්‍රකාශිත පරිදි අපගේ සිත් මුළුමනින්ම දමනය කරගත යුතු වේ.

පුහුණු බිම් ලෙස සලකා අපගේ ජීවිත දෙස බැලීම බොහෝ සෙයින් වැඩදායකය. පිළිවෙත් මගින් මුළුමනින්ම අදහස් කෙරෙනුයේ මෙයයි. ඉටි පන්දම්, සුවඳ කූරු, නිහඬතාවය සහිතව හඬා වැටෙන කුඩා දරුවන් රහිත අලංකාර පරිසරයක මෙට්ටයක් මත හිඳ සිටීමට පමණක් එය සීමා නොවේ.


වරෙක මාගේ සිසුවෙකු විසින් දේශනා පවත්වනු ලබන බෞද්ධ මධ්‍යස්ථානයකට මා ගිය අතර, යම් අයෙකු විසින් සිය දෙවසරක් වයසැති ළදරුවාද රැගෙනවිත් තිබිණි. සැසිය පවත්වමින් තිබෙන අතරතුර දෙවස් වියැති බිලිඳා ඔබ මොබ දිව යන්නට විය. වසර දෙකක් වයසැති ළදරුවෙකුගෙන් පැය එකහමාරක් නිහඬව නිශ්චලව හිඳගෙන සිටීමේ තත්ත්වයක් අපේක්ෂා කළ හැකිද? ගුරුවරයා පැවසුවේ එම පන්තියට ළදරුවා රැගෙන එ්ම අතිශයින් යහපත් කටයුත්තක් බවයි. අපගේ භාවනා ප්‍රයත්නය අතරතුර හඬ නගමින් ඔබ මොබ දිවයන මෙම ළදරුවා අප හට අපූරු අභියෝගකරුවෙක් විය. මෙයයි සැබෑ පිළිවෙත. අපට පුහුණු වන අතර වියවුල් හා සිත වෙනතක යොමුවීම් රහිතව සිටිය හැකිද? ළදරුවා තුවාල කරගැනීමෙන් වළක්වාලීම සඳහා මව/පියා විසින් අවශ්‍ය අවධානය යොමු නොකරන බවක් ඉන් අදහස් නොවේ. එසේ වුවද, බාහිරින් ඝෝෂාවන් මධ්‍යයේ හෝ වාහන තදබදයකට හසුවී සිටින අවස්ථාවේ පවා පිළිවෙත් පිරිය හැකිද?

මෙයයි ජීවිතය. අපගේ මෝහය, නොදැනීම හා සිත් අවුල් කරන්නාවූ හැඟීම්වලට එරෙහි සැබෑ සටන් බිම වන මෙම ජීවිතය අපගේ පිළිවෙත් භූමිය විය යුතුය. බෝධිසත්වයන්ගේ මැණික් මාලය නමැති ග්‍රන්ථයෙහි අතීෂයන් විසින් එය ඉතා පැහැදිලිව ප්‍රකාශ කරනු ලබයි:

බොහෝ පිරිස් මැද සිටින කල්හි මාගේ වචනය ද හුදෙකලාව සිටින කල්හි මා‌ගේ සිතිවිලිද පාලනය කරගැනීමට මා හට හැකිවේවා.

මෙය ඉතා ප්‍රයෝජනවත්ය. සෙස්සන් සමගින් සිටින කල්හි ඔවුන් සමග කථා කරන ආකාරය පිළිබඳ සිහිය පිහිටුවා ගන්න. එහිදී හුදෙක් වචන පිළිබඳව පමණක් නොව, එ් පිටුපස පවත්නා අපගේ හඬ, භාෂා විලාසය, හැඟීම් හා ආකල්ප පිළිබඳවද සිහියෙන් සිටිය යුතු වේ. අප එදිරිවාදී හෝ අහංකාර විලාසයකින් කථා කරන්නේ නම්, එය හඳුනා ගනිමින් පාලනය කරන්න. අප හුදෙකලාව වාසය කරන විටදී අපගේ සිත සම්බන්ධයෙන්ද පවත්වාගත යුත්තේ එම සිහිය පෙරදැරි කරගත් පාලනයයි. “අනේ මේ දුප්පත් මාව කවුරුවත් අගය කරන්නෙ නෑනෙ” ලෙස වූ රෝග ලක්ෂණ සහිත අපගේ සිතිවිලි පරීක්ෂා කරන්න.

මෙමගින් දුෂ්කර කාර්යයන් තුනක් පවත්නා බවට ප්‍රකාශිත සප්ත විධ චිත්ත පුහුණුව කරා යොමු වේ: එදිරිවාදී සිතිවිලි පිළිබඳව සිහියෙන් සිටීම (සිහියෙන් සිටීම යනු එ්වා මතක තබා ගැනීමයි), එ්වා ක්‍රියාවෙහි යෙදවීම සඳහා සිහිය පිහිටුවීම හා එ්වා පවත්වාගෙන යාම පිණිස සිහිය පිහිටුවීමයි. සිහිය පිහිටුවාගත යුතු වඩාත් දුෂ්කර හා වැදගත් කරුණු වනුයේ මේවාය. සතිපට්ඨාන පිළිවෙත් පිළිබඳ අසා ඇති මුත් මෙමගින් අදහස් කෙරෙනුයේ බටහිර රටවල අවබෝධ කරගන්නා අර්ථයට අනුව පවත්නා මේ මොහොත පිළිබඳව පමණක් සිහිය පවත්වාගෙන යාම නොවේ. “සිහිය” යන වදන මෙහිදී භාවිත වනුයේ මතක තබාගැනීම සඳහා පමණි. ප්‍රක්ෂේපණය කරන දේ හුදෙක් කුණු කන්දල් වන බව සිහිතබා ගනිමින් මෙකී අවබෝධය යොදා එය නොකඩවා පවත්වාගෙන යාම කළ යුතු වේ. එයයි එදිනෙදා ජීවිතයේ සැබෑ පිළිවෙත.

අසංකල්පීය හා සංකල්පීය ස්වභාවයන්

අසංකල්පීය වීම හා සංකල්පීය නොවීම පිළිබඳ මෙකී සියලු බෞද්ධ උපදෙස්වලට අපි ඇහුම්කන් දෙන්නෙමු. ඉන් අදහස් කෙරෙනුයේ කුමක්ද? සැබැවින්ම, අපට එ් සම්බන්ධ ඉතාමත් තාක්ෂණික අර්ථ නිරූපණයක්ද විග්‍රහයක්ද ජප කළ හැකි නමුත් එ් දෙස ප්‍රායෝගික මට්ටමකින් බලන්නේ නම්, ප්‍රයෝගිකව අත්දකිනු පිණිස එ්වා පිළිබඳව සිතමින් සිටීමට අවශ්‍ය නොවන තත්ත්වයකි අප විසින් ඉලක්කගත කරනුයේ. අපගේ ගුවන් යානය හෝ දුම්රිය මඟ හැරුණු තත්ත්වයකදී, අපගේ ඉලක්කය වනුයේ අනිත්‍යතාවය මෙනෙහි කරමින් සියල්ල හේතු ප්‍රත්‍යයන්හි බලපෑමට ලක්වන අයුරු විමසීම නොවන අතර මෙහිදී කෝපයට පත්වීමද අප්‍රයෝජනවත් දෙයකි. පළමු පියවරක් වශයෙන් මෙම කරුණු පිළිබඳ සිතීමට අවශ්‍ය විය හැක; එසේ නමුදු අවශ්‍ය වනුයේ එම කාර්යය ඉබේ සිදුවන්නක් බවට පත්කර ගැනීමයි. එවිට එ් පිළිබඳ සිතීමට අවශ්‍ය නොවන අතර, සිදුවීම සිදුවන අවස්ථාවේදීම එම අවබෝධය ඇතිවේ. ස්වයංක්‍රීයවම අධි ප්‍රතිචාරීත්වයෙන් මිදී එ් වෙනුවට නම්‍යශීලී වන්නෙමු.

මෙයයි අපගේ ඉලක්කය. එය යම් අද්භූත තත්ත්වයක් නොවේ. මෙය ඇතැම් විට සම්පූර්ණ ගැඹුරු අසංකල්පීය තත්ත්වය නොවිය හැකි නමුත් තාක්ෂණික නොවන ආකාරයකින් ප්‍රකාශ කරන්නේ නම් මෙයයි අප විසින් සාක්ෂාත් කරගැනීම සඳහා පිළිවෙත් පුරනු ලබන්නේ. අප වෙතම හා අන්‍යයන් වෙතද වඩ වඩාත් දුක් නිර්මාණය කිරීමේ තත්ත්වයෙන් වළකනු පිණිස අපගේ ජීවිතවලට මෙකී සියලු දේශනාවන් එ්කාබද්ධ කරගැනීමට හැකිවනු සඳහා පිළිවෙත් පුරන්නෙමු. එයයි එ් සම්බන්ධ සමස්ත තත්ත්වය. 

ප්‍රශ්න

යම් සැලැස්මකට අනුව කටයුතු කිරීමේදී නම්‍යශීලී විය යුතු අවස්ථා

මා නම්‍යශීලී අයෙකු යැයි සිතීමට මා හට අවශ්‍ය වුවද මට යථාර්ථයට මුහුණ දීමට අවශ්‍යය. එය සැම විටම සත්‍ය තත්ත්වය නොවේ. වෙනස් කළ හැකි හා නොහැකි දේ පිළිබඳ දැන සිටිමින් යම් සැලැස්මකට බැඳී සිටීමේ තත්ත්වය අත් නොහැර සිටිය යුත්තේ කවර අවස්ථාවන්හිදීද අත් හළ යුත්තේ කවර අවස්ථාවන්හිදීද යන්න යථාර්ථය දැන සිටීම තුළ මා මුහුණ දෙන එක් ගැටලුවකි. නිදසුනක් ලෙස, දුම්රිය මඟ හැරුණු විට දිව ගොස් කුලී රියක් ගෙන එයින් ගමන් කොට ඊළඟ දුම්රිය ස්ථානයේදී දුම්රිය අල්ලා ගතිමි. අපගේ සැලැස්ම වෙනුවෙන් සටන් කිරීම ප්‍රයෝජනවත් වන්නේ කවර අවස්ථාවන්හිදීද පිළිබඳව තීරණය කරන්නේ කෙසේද?

සැලැස්මක් අනුව කටයුතු කිරිම හෝ එය අත්හැර දැමීම සම්බන්ධයෙන් අදාල වන සාධක කිහිපයක් පවතී. කුලී රථයක් ගෙන ඊළඟ දුම්රිය ස්ථානයේදී දුම්රිය අල්ලා ගැනීම සම්බන්ධ ඔබගේ නිදර්ශනයේදී මෙන් විකල්ප පවතීද සහ එය වෙනස් කළ හැක්කේද යන්න පිළිබඳව විමසා බැලිය යුතුය. කුලී රථ නොපවත්නේ නම්, එවන් අවස්ථාවන්හි උත්සාහය අත්හැර දැමීමට සිදුවේ. එය ප්‍රායෝගික මට්ටමේ නිදසුනකි. එසේ වුවද, වෙනත් මට්ටමකදී පාසැලකට ඇතුළත් වීමට අයැදුම් කොට මේ වසරේ ප්‍රතික්ෂේප වූයේ යැයි සිතමු. මෙහිදී අපි එය අත්හැර දමන්නේද, හෝ ඊළඟ වසරේ නැවත අයැදුම් කරන්නේද? මේ පිළිබඳ තක්සේරු කොට බැලීමට සිදුවේ. අන් ස්ථානයක අපගේ අයැදුම්පත පිළිගැනීමක් සිදු නොවන්නේ නම්, ඊළඟ වසරේ අයැදුම් කිරීමේ කිසිදු වරදක් හෝ සෘණාත්මක ගුණයක් නොමැත. යථාර්ථවාදී වනුයේ කවරක්ද යන්න පිළිබඳ තත්ත්වය විග්‍රහ කර බැලීමක් එතුළ අන්තර්ගතය. අපි අපගේ සුදුසුකම් අතිශයෝක්තියට නංවන්නෙමුද? අපට අන් අයගේ අදහස්ද විමසා බැලීමට සිදුවේ.

එ් එ් විකල්පය වෙන් වෙන් වශයෙන් විග්‍රහ කළ යුතු වේ. සියල්ල ආවරණය කරන්නාවූ තනි බලධාරී පිළිතුරක් නොමැත. දේවල් හේතු ප්‍රත්‍ය හේතුකොට හටගන්නා බැවින් අපගේ අභිමතාර්ථ සාධනය රඳා පවත්නේ කුමක් මතද යන්න පරීක්ෂා කර බැලිය යුතු වේ. එම හේතු ප්‍රත්‍ය සාක්ෂාත් කරගත හැක්කේද? මේ අවස්ථාවේ සාක්ෂාත් කරගත නොහැක්කේ නම්, එ්වා අනාගතයේදී සාක්ෂාත් කරගැනීමේ හැකියාවක් පවතීද? විකල්ප ඇත්තේද? අපට මෙම තීරණ හා වෙනස්කම් වෙත ඉතා තාර්කික ආකාරයකින් ප්‍රවේශ වීමට සිදුවේ.

ඉතා හැඟීම්බර පුද්ගලයෙකු වීම

දුක්ඛ තොණ්ඩුව ගෙලලාගෙන මා සිටිනායුරු දැකීම මා හට නව අත්දැකීමකි. මාගේ ප්‍රක්ෂේපණයන් තාර්කික නොවන්නේය යන්න සිහි කිරීමට උත්සාහ කරන නමුදු මාගේ හැඟීම් වෙනස් එ්වා වන අතර, මම නොකඩවා පසු බසිමින් සිටින්නෙමි. මේවන විට සිහි කිරීම දුෂ්කර වන බැවින් ස්වයං අවතක්සේරුවක් සිදුකර නොගැනීමේ පිළිවෙත පිරීම වෙනුවෙන් මා හට කළ හැක්කේ කවරක්ද?

නිරතුරුවම උපකාරී වනුයේ කවරක්ද හා වඩාත් යහපත් වනුයේ කවරක්ද යන්න පිළිබඳ දැනුවත්ව සිටින නමුදු, එ් සම්බන්ධයෙන් සැබැවින්ම කිසිවක් කිරීම දුෂ්කර වන තරමට අපගේ භාවමය හැඟීම් ප්‍රබල වේ. එය සැබැවින්ම ඉතා සාමාන්‍ය සිදුවීමකි. ඉතා හැඟීම්බර හා චිත්තාකූල ආදී තත්ත්වයනට පත්විය හැකි නමුදු මෙය එතරම් තදබල ලෙස ගණන් ගත යුතු නොවන්නේය යන කරුණ එත්තු ගනු පිණිස වඩාත් තීරණය කිරීමේ හැකියාවෙන් යුත් අය බවට පත්වීමට අප විසින් උත්සාහ කළ යුතුය.

මෙමගින් අදහස් කෙරෙන දෙය වරදවා නොවටහා ගැනීම වැදගත්ය. අප යමක් පිළිබඳ ඉතා සිත් තැවුලට හෝ කම්පනයට පත්විය හැකි නමුත් මේ තත්ත්වයන් වෙනස් වේ. දුක් සැප හා හැඟීම් ගෙවී යාම හා වෙනස් වීම සිදුවේ. එ්වා ග්‍රහණය කොටගනිමින් එ්වා සමග එ්කාත්මික වීම අවශ්‍ය නොවේ. නිදසුනක් ලෙස “මං ආයිත් අවුල් කරගත්තා. බලාපොරොත්තු වෙච්ච විදිහට වැඩ කළේ නෑ. එ්කයි මේ සිත් තැවුලට හේතුව. මගෙ ගන්න කාරියක් නෑ” ආදී ලෙස නොසිතිය යුතුය. එලෙස සිතීම තුළ අපි එම චිත්ත ස්වභාවය මගේ හා මා කරගන්නිමින් එය ග්‍රහණය කරගනු ලබයි. අපට දැනෙන හැඟීම ඉතා වැදගත් හෝ විශේෂ දෙයක් ලෙස පෙනීයා හැකි නමුදු එය එසේ නොවේ. එය හුදෙක් අනිත්‍ය දහමට යටත් චිත්ත ස්වභාවයක් පමණි. එය සැබෑ ලෙසම අපට අවශ්‍ය දේ නොවන්නේය යන්න පිළිබඳව එ්ත්තු ගත යුතුය. මෙම චිත්ත ස්වභාවය ගෙවී යන එකක් බව එ්ත්තු ගනිමින් එයට ඉවත්වී යාමට අවකාශ සලසන්න. සිත පතුලේම අපගේ අවබෝධය විය යුත්තේ අප සතුව පැවති අපේක්ෂාව යථාර්ථවාදී නොවන්නක්ය යන්නයි. සිත් වේදනාවක් ඇතිවිය හැකි නමුදු එයද අනිත්‍යය. එම වේදනාව ලෝකයේ අවසානය සේ බරපතල ලෙස නොසැලකිය යුතුය.

සම්ප්‍රදායිකව චිත්ත ස්වභාවයක් ආකාශයේ වළාකුලක් ලෙස විස්තර කළ හැකි අතර එය ගෙවී යනු ඇත. එයයි සැබෑ ලෙසම එම තත්ත්වය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ ආරම්භය ගතයුතු එකම ආකාරය. හැඟීම් මතුවී බැසයන ස්වභාවයේ එ්වා බව අප විසින් අවබෝධ කට යුතුය. අප අතුරින් ඇතැමෙක් සෙස්සනට වඩා හැඟීම් බර වන අතර, අපි එහි හරි, වැරදි සෙවීමට යා යුතු නැත. එය යථාර්ථය එලෙසම අවබෝධ කරගැනීමේ එක් ආකාරයකි. යථාර්ථය වනුයේ අප දැන් සිටින ස්ථානය මෙය වන අතර, කඩිනමින් සහ පහසුවෙන් ඉතා හැඟීම්බර හා චිත්ත ව්‍යාකූල ස්වභාවයට පත්විය හැකි නමුදු එ්වා ග්‍රහණය කරගෙන සිටිය යුතු නොවේ. වඩ වඩාත් යථාර්ථය කවරක්ද යන්න පිළිබඳ එ්ත්තු ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරන්න.

නිදසුනක් ලෙස, “මං වස් වසන්නට සහභාගි වුණා. එහෙම සහභාගි වෙලා හොඳින් සතිය වඩන්න පුළුවන් වෙයි කියලා හිතුවා. එ් වුණාට මගේ සිත හැම තැනම දුවන්න පටන් ගත්තා” යන්න පිළිබඳ විමසා බලමු. මෙහිදී අපගේ අපේක්ෂාව යථාර්ථවාදී නොවන්නක් විය. සැබැවින්ම සිත නොයෙක් තැන්වල සැරි සැරීමට සූදානම් අතර එය තවමත් හොඳින් පාලනය වූවක් නොවේ. අපේක්ෂාව තවදුරටත් අඩු කොට එ් පිළිබඳ අවංක වන්න. නිදසුනක් ලෙස, “මට ඉහළම මට්ටමට ළඟා වෙන්න පුළුවන්. එ් වුණත් හේතු ඵලවාදය මත රඳා පැවැත්මකින් තොරව එ්ක සිදු වෙන්නෙ නෑ. මට මහන්සි වෙලා වීරිය කරන්න වෙනවා” ආදී වශයෙනි.

අපි ඉතා හැඟීම්බර වන්නේ නම්, එම නැඹුරුතාවය වෙනස් කොට එය ධනාත්මක හැඟීම් උත්පාදනය සඳහා භාවිත කළ හැක. එවිට අපට වඩා ප්‍රබල ප්‍රේමයක් හා කරුණාවක් දැනීමේ හැකියාව පවතී. මේ අදහසින් සලකන කල, හැඟීම්බර වීමද ධනාත්මක දෙයකි. ඇතැම් අවස්ථාවන්හි කිසිදු හැඟීමක් දැනීමට නොහැකි තරමට තාර්කික පුද්ගලයෝ වෙති. ඔවුනට ප්‍රේමය හා කරුණාව දැනීම ඉතා අසීරු දෙයකි. ඔබ ඉතා හැඟීම්බර අයෙකු නම්, එහිද යම්කිසි ධනාත්මක දෙයක් පවතී. කළ යුත්තේ එය පරිවර්තනයකට ලක් කිරීම පමණි. හේතු ඵලවාදය මනාව යොදා ගන්නේ නම් එය ක්‍රමානුකූලව සිදුවනු ඇත.

අපගේ සුවපහසු කළාපයන්ගෙන් බැහැරව කටයුතු කිරීම

මේ සියලු පුහුණු කටයුතු සිදුකරගෙන යන අතර සමාජයේ බොහෝ අවස්ථාවන්හිදී පුද්ගලයන් හට වගකීම් දැරීමේ අවශ්‍යතාවයක්ද පවත්නේය යන්න අපට අවබෝධ වේ. අපගේ සුවපහසු කළාපයන්ගෙන් බැහැරව අපට භාවමය වශයෙන් අභියෝග කරන්නාවූ දේවල් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පියවර නැඟීමට අප සූදානම්ද යන්න දැනගන්නේ කවර අවස්ථාවේදීද?

මෙය කුසලය කවරක්ද, පාපය කවරක්ද යන්න පිළිබඳ ගැටලුවකි. නිදසුනක් ලෙස තැබෑරුමට ගොස් බීමතින් පසුවන්නන් සමග කල් ගත කිරීම සඳහා අපගේ සුව පහසු කළාපයන්ගෙන් හෙවත් පුරුදු කරගත් සුව පහසු දිවි පෙවෙතින් බැහැර වීම කුසල ක්‍රියාවක් නොවිය හැක. බෝධිසත්ත්වයන් වහන්සේ විසින් නිරි සතුනට උපකාර කරනු පිණිස අපාගත වීමට වුව සූදානම් බව අපට ප්‍රකාශ කළ හැකි නමුදු, එය අප වැන්නන් සම්බන්ධයෙන් තරමක් බරපතල වැඩි තත්ත්වයක් විය හැක. වීදියේ සැරිසරන නිවෙසක් අහිමි යම් අසරණයෙකු හට යම් කාරුණික වදනකින් ඇමතීම වැනි යම් කුසල කර්මයක් සිදුකරනු පිණිස අපගේ සුව පහසු කළාපයන්ගෙන් බැහැරට ගමන් කිරීම යනු වෙනමම කාරණයකි.

වෙනස හඳුනාගත යුතුවන පළමු දෙය වනුයේ ඉටුකර ගැනීම සඳහා උත්සාහ කරන්නාවූ කාරණය ප්‍රකාර තත්ත්වය අපගේ සුව පහසුකළාපයෙන් බැහැරව කෙතරම් දුරට උපකාරී එකක් වනු ඇත්තේද යන්නයි. ඇතැම් තරුණයෝ සමාජ ශාලාවනට ගොස් රාත්‍රිය පහන් වනතුරු ටෙක්නෝ සංගීතයට අනුව නර්තනයේ යෙදෙති. අපටද අපගේ සුව පහසු කළාපයෙන් බැහැරට ගොස් එසේ කිරීමෙන් යම් ප්‍රයෝජනයක් අත්වනු ඇත්තේද? අපගේ නිශේධනීය තීරණ ගැනීමේ ආකල්පය මැඩ පැවැත්වීමේ යම් උත්සාහයක නිරත වන්නේ නම් විනා සුව පහසු කළාපයෙන් බැහැර වීමෙන් කිසිදු ධනාත්මක වෙනසක් සිදු නොවනු ඇත. එනමුදු, රෑ පහන් වනතුරු නර්තනයේ යෙදීමකින් හෝ සංගීත ඝෝෂාවෙන් කන් බිහිරි කරගැනීමකින් තොරව අපට එ්වා මැඩ පැවැත්වීම සඳහා කටයුතු කළ හැක. කෙසේ වුවද,  සරණාගතයන් සමගින් කටයුතු කිරීම වැනි අපගේ සුව පහසු කළාපයෙන් බැහැර සෙසු දේවල්ද පවතී. එ්වා සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා අපගේ සුව පහසු කළාපයෙන් බැහැරට යාම  කුසලයක් හා ධනාත්මක දෙයක් මෙන්ම අපගේ ත්‍යාගශීලිත්වය වැඩිදියුණු කරගැනීම සඳහාද උපකාරයක් වනු ඇත.
 
මම බර්ලිනයේ කුඩා සතිපතා පන්තියක් පවත්වාගෙන යමි. සියලු දෙනා මිතුරන් වන අතර පන්ති වේලාවෙන් පසුව ආහාරය ගැනීම සඳහා එක්ව බැහැරට යන්නෙමු. එදිනෙදා ජීවිතයේදී ධර්මය උපකාරී වන්නේ කෙසේද යන පැනය මම ඔවුනගෙන් විමසීමි. යහපත් අය සේ පෙනෙන අය වෙත වැඩි අවධානය යොමු කරමින් ඔවුනට වඩාත් සමීප වීමේ නැඹුරුවක් තමා තුළ පවත්නා බවට විස්තර කරමින් පන්තියේ එක් සිසුවෙකු පැවසුවේ ඔහු එකී සිය සුව පහසු කළාපයෙන් බැහැර වීම සඳහා වූ ප්‍රයත්නයක නියැළෙන බවයි. එක් අතකින්, ඔහු විසින් එම කාණ්ඩයේ පුද්ගලයන් සෙසු අයට වඩා වැදගත් සේ සලකා ඇත. එ් අනුව, යම් කාර්යයක නිරතව සිටි, මුහුණේ යම් අද්භූත පෙනුමක් සහිත, ආකර්ශනීය නොවූ, මහත්සේ තරබාරු අයෙකු හා මිතුරු වීමට ඔහු අදිටන් කර ගත්තේය. මොහුද සතුටින් සිටීමට හා අන්‍යයන් විසින් ප්‍රිය කරනු ලැබීමට කැමැත්තක් දක්වන හා අන්‍යයන් විසින් අකමැති වීමට හෝ නොසලකා හැරීමට අකමැති මනුෂ්‍යයෙකුය යන්න සැබෑ ලෙස දැකීමට ඔහුට අවශ්‍ය විය. මෙම පුද්ගලයා උසස් මට්ටමේ නව මිතුරෙකු හෙවත් මිත්‍ර මාණික්‍යයක් බවට පත්විය හැක. මෙම පුද්ගලයා නොසලකා නොහැරීමට ඔහු තීරණය කළේය. මේ වූකලි අපගේ සුව පහසු කළාපයෙන් බැහැර යාම පිළිබඳ ධනාත්මක හා ඉතා හොඳ උදාහරණයකි. මෙවන් දේ බොහෝ කොටම කළ හැකි දේය. අපි අපගේ සාමාන්‍ය සීමා ඉක්මවන්නට යන්නේ නම්, එය සිදුකළ හැකි හා ප්‍රවේශ විය හැකි අයුරින් පියවරින් පියවර පදනමට සිදු කරන්න.

තවත් මිතුරෙක් මෙහි අන්තයටම ගමන් කළේය. ඔහු නිරතුරුවම සිය සුව පහසු කළාපයෙන් බැහැර වීමට කැමැත්තක් දක්වන්නෙකි. එ් අනුව, නිදසුනක් ලෙස, උද්‍යානයන්හි මත් ද්‍රව්‍ය අලෙවි කරන මත් ලෝලීන් සමග ඔහු ඇසුරු කරයි. ඔහු මෙය කරනුයේ එවන් පුද්ගලයන් සමගින් ගැවසීම අපහසු කටයුත්තක් වන බැවිනි. එහෙත් එම කාර්යයෙන් අත්වන කිසිදු ප්‍රතිලාභයක් නොපෙනේ. මෙවැන්නක් සිදු කිරීම හුදෙක් කාය වර්ධන ප්‍රදර්ශනයක් වැනි ප්‍රදර්ශනාත්මක දෙයකට සමානය.

අපගේ සුව පහසු කළාපයන්ගෙන් බැහැර වන්නේ කෙසේද හා අපගේ සුව පහසු කළාපයන් යන්නෙන් සැබෑ ලෙසම අර්ථවත් කෙරෙනුයේ කවරක්ද යන පැනය සිත් ගන්නා සුළු පැනයකි. අපගේ සුව පහසු කළාපය යනු අපට ආරක්ෂිත බව දැනෙන ස්ථානයය යනුවෙන් සිතීම කෙතරම් ප්‍රක්ෂේපණයක්ද? සුව පහසු කළාපයක් යනු කුමක්ද? එ් වූකලි අප තුළම විග්‍රහ කොට බැලිය යුත්තකි. කවර අවස්ථාවක හෝ ඕනෑම වර්ගයේ පුද්ගලයෙකු සමගින් අපට සුව පහසුව ගතකළ හැක්කේද?
 
එහි යතුර සොයාගනු පිණිස ඔබ වරද පැටවිය යුත්තේ එක් තනි කරුණක් මතය: එනම් ස්ව-පෝෂණයයි. සෙස්සන් හෝ අවස්ථාවන් සමගින් අපි සුව පහසුව ගත කරන විටදී එසේ සිදුවනුයේ මමායනය හෙවත් මා පිළිබඳව වූ හැඟීම හේතුවෙනි. නිදසුනක් ලෙස, “මං මේකට කැමති නෑ. මට එ්ක කරන්න බෑ” යනුවෙන් අපි සිතන්නෙමු. සෙස්සන් පිළිබඳව නොසිතන්නෙමු. මෙය වූකලි සෙස්සන් පිළිබඳවද යම් ඇල්මක් ඇතිකර ගනිමින් සියල්ලෝ මනුෂ්‍යයෝය යන්න අවබෝධ කරගැනීම සම්බන්ධ කාරණයකි.

සාරාංශය

මේවා ඉතා මූලික මූලධර්ම කිහිපයකි. මෙතරම් ආත්මාර්ථකාමී හා ආත්ම කේන්ද්‍රීය වීමෙන් වැළකීමට හැකිනම් අපි මෙයට වඩා සතුටින් ජීවත් වන්නෙමු. අප පිළිබඳව පමණක් කථා කරමින් පසුවීමට වඩා වෙනත් පුද්ගලයෙකු සමගින් කල් ගත කරන විටදී එම පුද්ගලයා පිළිබඳව අවංක ඇල්මක් දක්වමින් ඔවුන්ගේ ජීවන තොරතුරු විමසා බලන්නේ නම් අපි මෙයට වඩා බොහෝ සතුටින් සිටින අය විය හැකි අතර, නිසැක වශයෙන්ම එම සෙසු පුද්ගලයාද වඩාත් සතුටට පත්වනු ඇත. මේවා වූකලි අපට අපගේ ජීවිත හා සෙසු පුද්ගලයන් සමගින් කටයුතු කිරීමේ අපගේ විධික්‍රමයන්හි මූලික හා ප්‍රායෝගික විපර්යාසයන් වේ. මෙය සිහි තබාගැනීම යනු අප විසින් සාක්ෂාත් කරගන්නා සතියයි. අපි ආත්මාර්ථකාමී වන විටදී හෝ අප පිළිබඳව සිතන විටදී පමණක් මෙම මූලධර්මය ක්‍රියාත්මක කිරීමට සිහි තබා ගැනීමට උත්සාහ කරන්නෙමු. නිදසුනක් ලෙස අනෙත් පුද්ගලයා හට කාර්ය බහුල තත්ත්වයක් පවත්නා බැවින් ඔහුට ඉවත්ව යාමට අවශ්‍ය නමුත් අපි නොකඩවා ඔහු සමග දොඩමින් සිටින්නෙමු. අපට පැවසීමට ඇති දේ එතරම් වැදගත්ය යන්න අපගේ සිතිවිල්ලයි. අනෙත් පුද්ගලයා හට සැබැවින්ම එය ඇසීමට අවශ්‍යද? නැත. එසේ වුවද, ඔවුනට එය අවශ්‍යය යනුවෙන් ප්‍රක්ෂේපණයක් අපි ඇතිකර ගන්නෙමු. අප ධර්මය ප්‍රායෝගිකව යෙදවිය යුත්තේ අපගේ ජීවිතයටයි.

Top