ත්‍යාගශීලිත්වය පිළිබඳ පරිපූර්ණත්වය : දාන පාරමිතා

දරුවන් වශයෙන් අපට නිරතුරු අපගේ සෙල්ලම් බඩු, රස කැවිලි ආදිය බෙදා හදාගෙන භුක්ති විඳින ලෙස උපදෙස් දී ඇති නමුත් වැඩිහිටි වියේදී ඉන් ඇඟවෙන ත්‍යාගශීලිත්වය නිරතුරු ස්වභාවිකව හෝ පහසුවෙන් ඇතිවන්නක් නොවේ. අපට නිරතුරුවම දැනෙන්නේ අප සතු අගනා දේ අනුන්ට දුනහොත් අපට භුක්ති විඳීමට කිසිවක් ඉතිරි නොවනු ඇත යන්නකි. කෙසේ වුවද, ත්‍යාගශීලිත්වය යනු අන්‍යයන්ට ප්‍රයෝජන සලසන්නක් පමණක් නොව අප වෙතද ඉමහත් සතුටක් හා තෘප්තියක් අත්කර දෙන්නක් ලෙස බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලදී. මෙම ලිපිය තුළ ත්‍යාගශීලිත්වය පාරමිතා හෝ බලවත් ආකල්පයන් සය අතරින් පළමුවැන්න ලෙස සලකනු ලබයි.

හැඳින්වීම

නිරතුරු “සය වැදෑරුම් පරිපූර්ණත්වය” හෝ “පාරමිතා සය” ලෙස හැඳින්වෙන මෙම බලවත් ආකල්ප සය වූකලි හැකි තරම් යහපත් ලෙස අපගේ දියුණුව උදෙසාද කටයුතු කරමින් අන්‍යයන් වෙතද උපකාර කිරීමේ හැකියාව ලබා දෙන්නාවූ චිත්ත ස්වභාවයන් වේ. මෙම ආකල්ප කුසීත බව හා කෝපය වැනි අපගේ සාර්ථකත්වය වළකාලන්නාවූ ප්‍රධාන බාධකයනට එරෙහිව සෘජුවම ක්‍රියාත්මක වන බැවින් ඒවා සියලු දෙනා හට ප්‍රයෝජනවත් වේ. ඒවා “බලවත්” සාධක ලෙස හඳුන්වනු ලබන්නේ බෞද්ධ සන්දර්භය තුළ ඒවා පූර්ණ වශයෙන් වැඩිදියුණු කළ කල්හි, එමගින් අපට අපගේ සීමාසහිතකම් හා ගැටළු පිළිබඳ සාගරයේ එපිටට පිහිනා යාමේ හැකියාව ලබාදෙන බැවිනි. සියලු දුකින් නිදහස් වීමේ අදිටන හෙවත් අත්හැර දැමීම මගින් පොළඹවනු ලැබ ඇති විටදී, ඒවා අප විමුක්තිය කරා ගෙන යයි. අන් සියල්ලන් වෙත ප්‍රයෝජන සලසනු පිණිස බුද්ධත්වයට පත්වීමේ අපේක්ෂාව හෙවත් බෝධිචිත්තයෙන් පොළඹවන ලදුව, ඒවා මගින් අප සම්බුද්ධත්වය කරා ගෙන යනු ලබයි.

බලවත් ආකල්ප සය වනුයේ:

  • ත්‍යාගශීලිත්වය
  • ආචාර ධාර්මික ස්වයං-විනය
  • ඉවසීම
  • නොපසුබස්නා උත්සාහය
  • මානසික ස්ථාවරත්වය (සමාධිය හෙවත් එකඟබව)
  • වෙන්කොට දැකීමෙ දැනුවත්භාවය (ප්‍රඥාව)

භාවනාව හා අපගේ එදිනෙදා කාර්යයන් තුළද මෙම අංග හයම පුහුණු වන්නෙමු. අපගේ මස්පිඩු වඩවාගනු පිණිස ශාරීරික අභ්‍යාස කරන්නාක් මෙන්,  සිදු කරන කවර කාර්යයක් තුළ හෝ මෙම චිත්ත ස්වභාවයන්හි නියැළී සිටින්නට සිටින්නට ඒවා වඩ වඩාත් බලවත්ව වැඩේ. අවසන සියලු අවස්ථාවන්හි අප කෙරෙහිම හා අන්‍යයන් කෙරෙහිද අප දක්වන ප්‍රතිචාරයේ ස්වභාවික කොටසක් බවට ඒවා පත්වන තරමට අපගේ ජීවිත හා ඒකාබද්ධ වේ.

ත්‍යාගශීලිත්වය

අන්‍යයන් හට අවශ්‍ය කවරක් වුවද එය ඔවුන් වෙත ලබාදෙන කැමැත්තක් ඇතිවන ආකල්පය ත්‍යාගශීලිත්වයයි. ඇතැම් ආගම් තුළ දක්නට ලැබෙන පරිදි දුගීබව යනුම ශීලයක් ලෙස සලකමින් තමා සතු සියල්ල අන්‍යයන් වෙත පුදා තමා යාචකයෙකුගේ තත්ත්වයට පත් වීමක් එතුළින් අදහස් නොකෙරේ. මෙහිලා ත්‍යාගශීලිත්වය යන්නෙන් අදහස් කෙරෙනුයේ දීමට සුදුසු අවස්ථාව එළැඹි කල කරුණු කාරණා විමසා බලා කිසිදු පැකිලීමකින් හෝ බාධාවකින් තොරව තමා සතු දේ අන්‍යයන් වෙත දීමට සූදානම් බවයි. “මං හරිම ත්‍යාගශීලියි. මෙන්න ඔයාගෙ තුවක්කුව පත්තු කරන්න ඕන අඩුම කුඩුම ගන්න සල්ලි”යි යන සිතිවිල්ල සහිතව දඩයක්කරුවෙකු හට තුවක්කුවක් හෝ දඩයමට අවශ්‍ය ආම්පන්න ලබාදීමක් මෙහිදී අදහස් නොවේ. නුසුදුසු ත්‍යාගශීලිත්වය සම්බන්ධ තවත් උදාහරණයක් දක්වන්නේ නම්, මත් ලෝලියෙකු හට මත් ද්‍රව්‍ය මිලදී ගැනීමට හැකිවන පරිදි මුදල් ලබා දීම දැක්විය හැක.

ත්‍යාගශීලිත්ව පිළිවෙත් පූරණය සඳහා අප පොහොසත් අය විය යුතු බවක් අදහස් නොවේ; අතිශයින්ම දුගී අය වශයෙන් සිටින අතර අනුන් වෙත ලබා දීම සඳහා තමා සතු කිසිවක් හෝ නොමැති තත්ත්වයක පසු වුවද, ත්‍යාග චිත්තය පවත්වාගත හැක. නොඑසේ නම්, දුප්පතුන් ත්‍යාගශීලිත්වය වර්ධනය කරගන්නේ කෙසේද? ඒ අනුව, අලංකාර ලෙස හිරු බැසයන අවස්ථාවක් දක්නා ඕනෑම අවස්ථාවක, අන් සියල්ලන්ටද එය දැකීමට හැකි වේවාය යන පැතුම තුළ ත්‍යාගශීලිත්ව චිත්තය වර්ධනය කරගත හැක. අලංකාර භූමි දර්ශන, යහපත් කාලගුණය, මිහිරි ආහාර වැනි දේ සම්බන්ධවද එම පැතුම වර්ධනය කළ හැක. මේ සියල්ල ත්‍යාගශීලිත්ව ගුණය යටතට වැටේ. අපගේ පෞද්ගලික සන්තකය තුළ පවත්නා දේ සම්බන්ධව පමණක් නොව කිසිවෙකුට හෝ හිමි නොවන දෙයක් සම්බන්ධව පවා ත්‍යාගශීලිත්ව ගුණය වර්ධනය කළ හැක. භාවනාව තුළ සෑම ආකාරයේම අසිරිමත් දේ අන්‍යයන් වෙත ලබාදීමේ තත්ත්වයන් සිතින් මවාගත හැකි නමුත් වෙනත් අයෙකුට අවශ්‍ය විය හැකි යම් දෙයක් අප සන්තකයේ පවත්නේ නම් හා ඔවුනට එය අවශ්‍ය වන්නේ නම්, එවිට හුදෙක් එය ඔවුනට ලබාදීම සිතින් මවාගැනීමකට වඩා සිදුකළ යුත්තේ එය සැබැවින්ම ලබා දීමයි.

ත්‍යාගශීලිත්වය යනු අන් කිසිවෙකු සමගින් හෝ කිසිවක් හවුලේ බෙදා හදා ගැනීමට හෝ අන් කිසිවෙකුට හෝ කිසිවක් ලබාදීමට අකමැති ස්වභාවය වන මසුරුබවේ ප්‍රතිවිරුද්ධ අදහසයි. අන් අයට දේවල් දෙන්නට ගියහොත් අපට කිසිවක් හෝ ඉතිරි නොවනු ඇත්තේය යන හැඟීම සමගිනි සාමාන්‍යයෙන් මසුරුබව ඉස්මතු වනුයේ. එනමුදු, මෙයට ප්‍රතිවිරුද්ධවූ තිබ්බතීය කියමනක් පහත පරිදි වේ:

මා වෙත සියල්ල රඳවා ගතහොත් අන් අයට දීමට කිසිවක් ඉතිරි නොවනු ඇත.

ආගමික උන්මත්තකයන් නොවීමටද ප්‍රවේශම් විය යුතුය. අන් අයට උපකාර කිරීම සඳහා කටයුතු කරන අතර, ප්‍රමාණවත් ආහාර හා නින්දක්ද ගත යුතුය. අප පිළිබඳවද මෙසේ සැලකිලිමත් විය යුතු බැවින් ත්‍යාගශීලිත්වය යනුවෙන් මෙහිදී කථා කරනු ලබන්නේ අප සතු දේ අන්‍යයන් හා බෙදා හදා ගැනීමේ කාර්යය පිළිබඳවයි. ඉහළම ආධ්‍යාත්මික ප්‍රගතියක් ලද බෝධිසත්ත්වන් වහන්සේලා හට අන්‍යයන්ට උපකාර කරනු පිණිස සිය ජීවිත පූජා කළ හැකි නමුත් අපගේ මට්ටමේදී මෙවැනි දේ කිරීම යථාර්ථවාදී නොවේ. ඒ අනුව, කුසගින්නේ මිය යන ඉමක් දක්වා අප සතු සියලු දේ දන් දිය යුතු නොවන අතර එසේ කිරීමේ හැකියාවක්ද නොමැත. කෙසේ නමුදු, දුෂ්කර හෝ වෙහෙසකර කාර්යයන් කිරීමේදී උපකාර කරමින් හෝ සිය ශාරීරික ශ්‍රමය වැය කිරීමේ ස්වරූපයෙන් අපගේ සිරුර අන් අයගේ යහපත පිණිස ලබාදීම කළ හැක්කකි. අපගේ සිරුර අපිරිසිදු වනු ඇතැයි එහිදී බිය නොවිය යුතුය.

අප විසින් ගොඩනගාගෙන ඇති යම් ධනාත්මක බලයක් වේ නම් එහි ධනාත්මක විභවයන් වන “ශීල මූලයන්” ලෙස හැඳින්වෙන දේ බෙදා හදා ගැනීම ත්‍යාගශීලිත්වයට ඇතුළත් වේ. මා හට මාගේ ජීවිතයෙන් උදාහරණයක් ගෙන භාවිත කළ හැක: පෙර භවයන්හි සිදු කරන ලද පුණ්‍ය ක්‍රියාවන් තුළින් ගොඩනගා ගත් ධනාත්මක විභවයේ ප්‍රතිඵලයක් වශයෙන්,මා හට භාරතයේ ශ්‍රේෂ්ඨතම බෞද්ධ ගුරුවරුන් හමුවීමට හා ඔවුන් සමග අධ්‍යයන කටයුතුවල යෙදීමටද, ලෝකයේ නන් දෙසින් ආරාධනාවන් ලැබ බොහෝ විශ්මය ජනක හැකියාවන්ගෙන් සමන්විත පුද්ගලයන් සමගින් ධනාත්මක සම්බන්ධතා ගොඩනගා ගැනීමටද හැකිවී ඇත. මෙමගින් වඩ වඩාත් ධනාත්මක විභවයන් ගොඩනංවා ඇති අතර මාගේ පිළිවෙත් පූරණයෙහි කොටසක් වශයෙන්, ඔවුන් තුළින් ඵල දරන “ශීල මූලයන්” මා වෙත පමණක් රඳවා ගැනීමකින් තොරව අන් අය හා බෙදා හදා ගැනීමට උත්සාහ කරන්නෙමි. සුදුසු අවස්ථාවේදී, මා හා සම්බන්ධතා පවත්වන පුද්ගලයන් මෙම ගුරුවරුන් හා හා සෙසු උගත් පුද්ගලයන් සහ ලොව වටා වූ උපකාරී පුද්ගලයන් හටද හඳුන්වා දෙමින් එම සම්බන්ධතා අන්‍යයන් හටද ලබා දෙන්නෙමි. විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් හා දශක ගණනාවක් භාරතයේ අධ්‍යයන හා භාවනා කටයුතුවල යෙදීමෙන් උගත් දේ අන්‍යයන් හා බෙදා හදා ගැනීමට උත්සාහ කරමි. එයයි අපගේ ශීල මූලයන් බෙදා හදා ගැනීම යන්නෙන් අදහස් කරනුයේ: එනම් අන්‍යයන් වෙත දොරගුලු විවර කිරීමයි.

පොදුවේ අපි සතර විධ ත්‍යාගශීලිත්වයක් පිළිබඳව කථා කරන්නෙමු:

  1. ද්‍රව්‍යාත්මක අධාර ලබාදීම
  2. ඉගැන්වීම් හා උපදෙස් ලබාදීම
  3. බියෙන් ආරක්ෂාව සැලසීම
  4. ආදරය ලබාදීම

වශයෙනි.

ද්‍රව්‍යාත්මක අධාර ලබාදීමේ ත්‍යාගශීලිත්වය

ද්‍රව්‍යාත්මක අධාර ලබාදීම යන්නෙන් අප සතු දේ, ආහාර, ඇඳුම්, මුදල් හා අන් කවර වූ හෝ සන්තකයක් සම්බන්ධ පරිත්‍යාගයන් අදහස් වේ. එතුළ සුනඛයෙකු වෙත මස් කටුවක් වීසි කර දැමීම මෙන් නොව සුදුසු අවස්ථාවේදී ගෞරවාන්විතව සිදු කරන පිරිනැමීමේ අදහසක් ගැබ්වේ. අපට අප සතු නොවන දේ පවා ලබා දිය හැකි බැවින් ද්‍රව්‍යාත්මක ආධාර ලබාදීමේ කාර්යය පුහුණු කිරීමේදී බොහෝ දේ අප සතුව පැවතීම හෝ අප පොහොසතුන් වීම අවශ්‍ය නොවේ. මෙමගින් නූතන රොබින් හුඩ් කෙනෙකු මෙන් ගොස් සොරකම් කිරීමක් අදහස් නොකෙරේ. මෙහිදී අපි කථා කරනුයේ අන් අයට භුක්ති විඳිය හැකිවන පරිදි පරිසරය පිරිසිදු කිරීම වැනි පොදු දේ පිළිබඳවය. එය අන්‍යයන් වෙත පිරිනමන ආශ්චර්යමත් ත්‍යාගයකි. “සියලු දෙනා මෙම මනරම් කාලගුණය සතුටින් භුක්ති විඳිත්වා” ආදී ලෙස ප්‍රීතිමත් අත්දැකීම්ද බෙදා හදාගත හැක.

අපි සැබෑ භෞතික වස්තූන් ලබාදීම පිළිබඳව පමණක් කල්පනා නොකළ යුතුය. අපගේ කාලය, ශ්‍රමය, ඇල්ම, ශක්තිය, දිරිදීම ඈ වශයෙන් අපගේ සිරුරද ලබාදිය හැක. මේ සියල්ල ද්‍රව්‍යාත්මක දේ සම්බන්ධ ත්‍යාගශීලිත්වය පවත්වාගෙන යාමේ සමත් විධික්‍රමයන් වේ.

මෙහිදී පැහැදිලිවම පුද්ගලයන් විසින් මාගේ හෝ අන්‍යයන්ගේ අයහපත පිණිස යෙදවිය හැකි වස විස, අවි ආයුධ හෝ එවැනි අන් යමක් ලබාදීම සුදුසු නොවේ.

දේශනා හා උපදෙස් ලබාදීමේ ත්‍යාගශීලිත්වය

බෞද්ධ සන්දර්භයක් තුළ මෙමගින් බෞද්ධ ඉගැන්වීම් හෙවත් ධර්මය දේශනා කිරීම හැඳින්වෙන නමුදු එය බෞද්ධ නොවන ක්ෂේත්‍ර කරාද විහිදාලිය හැක. එය හුදෙක් දේශනා පැවැත්වීම, පරිවර්තනය කිරීම, පිටපත් කිරීම, ප්‍රකාශයට පත් කිරීම, හෝ නිර්මාණය කිරීම සහ අධ්‍යාපන මධ්‍යස්ථානයන්හි කටයුත කිරීම පිළිබඳ කරුණක් නොවන අතර ජනතා ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම, ඔවුනට හැකිනම් හා හැකි අවස්ථාවල උපදෙස් හා තොරතුරු ලබාදීම ආදියද එයට ඇතුළත් වේ.

අපගේ ධර්ම පිළිවෙත් පූරණයෙහි විවිධ පැතිකඩයන් අන්‍යයන් වෙත ලබාදෙනු ලබන සමාධි පූජාව යන්නක්ද ශාක්‍ය සම්ප්‍රදාය තුළ ඇතුළත්ය. අධ්‍යයනය හා කියවීම මගින් උගත් සියලු දේ අන්‍යයන් වෙත පිරිනමමින් ඔවුනට උපකාර පිණිස එය භාවිත කරන්නෙමු. අපගේ සියලු දැනුම, වැටහීම, ශික්ෂණය, අන්තර් ඥානය හා සමාධිය සම්බන්ධයෙන්ද දේශනා පිළිබඳ අපගේ විග්‍රහයන් සම්බන්ධයෙන්ද එවැනිම කාර්යයක් සිදු කරන්නෙමු. මේ සියල්ල ධර්ම දානමය පිංකම යන කාණ්ඩය යටතට එන නමුදු අප දන්නා ප්‍රයෝජනවත් ඕනෑම දෙයක් අන්‍යයන් හා බෙදා හදා ගැනීම කෙරෙහිද එය විහිදුවාලිය හැක.

බියෙන් ආරක්ෂාව ලබා දීමේ ත්‍යාගශීලිත්වය

මෙයාකාරයේ ත්‍යාගශීලිත්වයකින් හඳුන්වනු ලබන්නේ අන් අය අයහපත් ස්වභාවයකින් පසුවන විටදී ඔවුන් වෙත උපකාර කිරීමයි. මරා දැමීමට නියමිත සතුන්ගේ දිවි බේරීම, කූඩුවල හා කුටිවල සිරකොට සිටින සතුන් නිදහස් කිරීමද එයට ඇතුළත් වේ. දියෙහි ගිලෙන මැස්සන් පිහිනුම් තටාකයකින් මුදා ගැනීම, දැඩි සීතලෙන් හා තාපයෙන් පුද්ගලයන් හා සතුන් ආරක්ෂා කිරීම - මේ සියල්ල මගින් ආරක්ෂාවක් සැපයේ. අප වාසය කරන තට්ටු නිවාසයේ කුරුමිණියෙකු සිටී නම්, තට්ටු පහක ගොඩනැගිල්ලෙන් බිමට වැටෙන විට ඌට වේදනාවක් ඇති නොවනු ඇතිය යන සාධාරණීකරණයක් යා කරමින් ඌ විගස ජනේලයෙන් ඉවතට විසි නොකරමු. බියෙන් ආරක්ෂාව ලබාදීමේ ත්‍යාගශීලිත්වය යනු මෘදු ලෙස ඌ පිටතට ගෙන යාමයි. ඌ සුවසේ ගලා යත්වාය යන පැතුම සහිතව වැසිකිලි බඳුනේ ජලය ඔබ්බවා පහළට ගලාගෙන යාමට සැළැස්වීම කිසිදින නොකරමු.

අපගේ දරුවන් වේවා, දඩයමට ලක්වූ සතෙකු වේවා බියෙන් පසුවන විටදී ඔවුන් සනසවාලීමද මේ ලැයිස්තුව තුළට ඇතුළත් කළ හැක. නිදසුනක් ලෙස, බළලෙකු මීයෙකුට හිංසා පමුණුවන්නේ නම්, මීයා ඉවතට ගෙනගොස් ඌ මුදවාලීමට උත්සාහ කළ යුතුය.

තන්ත්‍රයන්හි බියෙන් ආරක්ෂාව ලබාදීමේ ත්‍යාගශීලිත්වයට තවත් අර්ථ නිරූපණයක් ඇත. එනම් අපගේ සමචිත්තතාවය අන්‍යයන් වෙත ලබාදීමයි. අපි අන්‍යයන් කෙරෙහි ලෝභයෙන් ඇලී සිටීමට හෝ කෝපයෙන් හා විරෝධාකල්පයෙන් ප්‍රතික්ෂේප කිරීමට හෝ මෝහයෙන් ඔවුන් නොසලකා හැරීමට නොයන බැවින් ඔවුන්ට අප කෙරෙහි බියවීමට කිසිදු හේතුවක් නොමැත. මෙහිදී අපව සියලු දෙනා වෙත සමානව විවෘත වන අතර එය වූකලි ඕනෑම අයෙකු වෙත පිරිනැමිය හැකි අසිරිමත් ත්‍යාගයකි.

ආදරය පිරිනැමීමේ ත්‍යාගශීලිත්වය

තන්ත්‍ර තුළ ආදරය පිරිනැමීම වශයෙන් හැඳින්වෙන සතරවන ත්‍යාගශීලිත්වයක් පිළිබඳවද කථා කරනු ලබයි. මින් අදහස් කෙරෙනුයේ අප සියලු දෙනා සිඹිමින් යා යුතු බවක් නොව ඒ සියලු දෙනා දුකින් මිදෙත්වාය යන පැතුම ඇතිකර ගැනීමයි. තවත් අයෙකු සතුටු වේවාය සහ ඔහු තුළ සතුටට හේතුවන කරුණු උදාවේවාය යන පැතුම වන මෙය ආදරයේ අර්ථ නිරූපණයයි.

වස්තුව පිරිනමන ආකාරය

බලවත් ආකල්ප එක එකක් පුහුණු වන විටදී, සෙසු පංචවිධ කරුණුද එකිනෙක ඇතුළත් කිරීමට උත්සාහ කරන්නෙමු. ත්‍යාගශීලිත්වය පුහුණු කිරීමේදී:

  • ආචාර ධාර්මික ස්වයං විනය හා සම්බන්ධව, අපි සියලු වැරදි සහගත හෝ නුසුදුසු යටි අරමුණුවලින් මිදෙන්නෙමු.
  • ඉවසීම හා සම්බන්ධව, කාර්යයට අදාළ කවර වූ හෝ දුෂ්කරතාවයක් විඳ දරා ගැනීමට සූදානම්ව සිටින්නෙමු.
  • නොපසුබස්නා උත්සාහය හා සම්බන්ධව, රාජකාරියක් හෝ බැඳීමක් වශයෙන් සිදු කරන බව නොසිතා දේවල් දීමේ කාර්යය සතුටින් සිදු කරන්නෙමු.
  • මානසික ස්ථාවරත්වය හා සම්බන්ධව, දේවල් දන් දීම මගින් ගොඩනැගුණු ධනාත්මක බලයේ කැපවීම පිළිබඳ සිත එකඟ වීමක් පවතී.
  • වෙන්කොට දැකීමේ දැනුවත්භාවය හා සම්බන්ධව, දෙන්නා (අප), ලබන්නා සහ ලබාදෙන වස්තුව යන සියල්ලෙහි ස්වායත්ථ පැවැත්මක් නොමැති බව අවබෝධ කරගන්නෙමු. ඒ සියල්ල එකිනෙක මත රඳා පවතී. ලබන්නෙකු නොමැති නම් පිරිනමන්නෙකුද නොමැත.

ත්‍යාගශීලිත්වය හා නුසුදුසු අභිප්‍රාය

යමක් ලබාදෙන විට එය වැරදි අයුරින් සිදු කරන අතර මෙම වැරදි ක්‍රමයන්ගෙන් වැළකිය යුතු බව දක්වන අවස්ථා ගණනාවක් ඇත. අන්‍යයන්ට අපගේ පුණ්‍යවන්ත බව විදහා දැක්වීමේ අදහසින් හෝ අප සැබැවින්ම ආගමික හෝ අසිරිමත් අය ලෙස ඔවුන් සලකනු ඇතැයි යන අපේක්ෂාවෙන් දේවල් දන්දීම සිදුකළ හැක; දේවල් ලබාදෙන විටදී, යම් කිසි දෙයක් ආපසු ලබාගැනීමේ අදහසින් එසේ ලබාදීම නුදුසුදුය. ඔවුන්ගේ තත්ත්වය සැබැවින්ම දියුණු කරමින් එසේ කළ පරිත්‍යාගය වෙනුවෙන් ස්තුතියක් හෝ අපේක්ෂා නොකරන්න. එය ඔවුන්ගේ කර්ම බලය අනුව ඔවුන් විසින් කරන්නේ නම් කරනු ඇත. යම් උපකාරයක් අන් අයෙකුට ලබාදිය හැකි නමුත් එයට ප්‍රතිචාර වශයෙන් සාර්ථකත්වයක් හෝ කෘතවේදිත්වයක් අපේක්ෂා නොකළ යුතුය.

ඉන්දියාවේ ධර්මශාලාහි එක් කලෙක වස් සමයෙක ජල පහරකට හසුවී මීයෙකු දියේ ගිලෙමින් සිටියේය. ඌ ඉවතට ගත් මා තෙත වියලීම පිණිස ඌ පසෙක බිම තැබුවෙමි. එහි වැතිර සිටින අතර, විශාල උකුස්සෙකු පැමිණ ඌ ඩැගැගෙන ගියේය. යමෙකු හට උපකාර කිරීමට අප උත්සාහ කළද සියල්ල එම පුද්ගලයාගේ කර්මය මත රඳා පවතී. සාර්ථකත්වයට අවශ්‍ය සියලු අවස්ථාවන් හා සහාය ලබාදිය හැකි නමුත් එහිදීද ඔවුන් මුළුමනින්ම අසාර්ථක විය හැක.

තවද, යහපත් ප්‍රතිඵලයක් ඇති වුවහොත්, කිසි විටෙකුදු අනෙක් පුද්ගලයා හට සතුට පළ කිරීම හෝ අප ඔවුන් වෙනුවෙන් කළ හා දුන් සියලු දේ සිහිපත් කිරීම හෝ නොකළ යුතුය. වෙනෙකෙකු වෙත උපකාර කරන විටදී ඉමහත් අනුග්‍රහයක් දක්වන්නේ යැයි සිතමින් අන් අය පහත් කොට නොසැලකිය යුතුය. සැබැවින්ම අප බුද්ධත්වය කරා ඔසවා තබමින් හැකි තරමින් අන්‍යයන් වෙත උපකාර කිරීමේ හැකියාව ලබාදෙන ධනාත්මක බලය ගොඩනගා ගැනීමට හැකියාව ලබා දෙන පරිදි අපගේ උපකාරය පිළිගැනීමෙන් ඔවුන් විසින් අපට සිදු කරනුයේ/දක්වනුයේ අනුග්‍රහයකි.

යම් කිසිවෙකු විසින් යම් පරිත්‍යාගයක් සිදු කළහොත් අපද එසේ කළ යුතුය හෝ එයටද වඩා ඉහළින් එම කාර්යය සිදුකොට අනෙකා පරයා කැපී පෙනිය යුතුය යන හැඟීමෙන් දන් දීම රාජකාරියක් සේ සලකා කටයුතු කිරීමද, වරදකාරී හැඟීමකින් එසේ කිරීමද නුසුදුසුය.

ත්‍යාගශීලිත්වය හා නිසි අභිප්‍රාය

ත්‍යාගශීලිත්ව පිළිවෙත් පූරණයේදී, තාවකාලිකව මෙන්ම අවසානාත්මකවද ලබන්නාගේ ප්‍රයෝජනය පිණිස කටයුතු කිරීම අපගේ එකම සිතිවිල්ල විය යුතුය. අපි අපට හැකි පමණින් උත්සාහ කරන අතර එය සාර්ථක වුවද, නොවුවද, අවම වශයෙන් අපි උත්සාහයක නියැළෙන්නෙමු. මෙය හුදෙක් “ඔව්, මට සියලු සත්ත්වයන් හට උපකාර කිරීමට අවශ්‍යයි” යනුවෙන් සිතා ඉන්පසු අපගේ පිඟාන සේදීමට හෝ කරදර නොවන දුරස්ථ හැඟීමක් පමණක් නොවේ.

සත්‍ය වශයෙන්ම ත්‍යාගශීලිත්වය මෙම දෙයාකාරයටම සිදුවිය හැක. අපට උපකාර කිරීමට හා අප කෙරෙහි ත්‍යාගශීලී වීමට අන් අයට අවශ්‍ය නම්, අප උඩඟු බවින් යුතුව එම ආරාධනා හෝ ත්‍යාග පිළිගැනීම ප්‍රතික්ෂේප නොකළ යුතුය. කෑමකට ආරාධනා කිරීම වැනි සුළු දේවල් ද සහිතව තමා වෙනුවෙන් යම් කිසිවක් මිලදී ගැනීමට යමෙකු උත්සාහ කරන විටදී බොහෝ අය විසින් මෙම කාර්යය සිදු කරනු ලැබේ. එසේ කිරීමේදී ධනාත්මක බලයක් ගොඩනගා ගැනීමේ අවස්ථාව ඔවුන් වෙතින් අහිමි කරවීමක් සිදු වේ. අන්‍යයන් වෙත හානිකර වන්නේ නම් විනා, ඔවුන් විසින් අප වෙත ලබාදෙන ආරාධනා හා උපකාරයන් පිළිගත යුතුය යන්නද බෝධිසත්ත්ව සිඛපද තුළට ඇතුළත් දෙයකි.

මා ඉතාලියේ සර්කොං රින්පෝෂේ තුමා සමග සංචාරයක නිරතව සිටි අතරතුර යමෙකු පැමිණ උන් වහන්සේගෙන් යම් පැනයක් විමසීය. ඔවුහූ පිටව යන විට, දොරකඩ අසල මේසයක් මත යම් දෙයක් කවරයක බහා තබා ගියහ. මෙහිදී සර්කොං රින්පෝෂේ විසින් මා හට ඉතා වැදගත් කරුණක් ප්‍රකාශ කළේය. “මේක තමයි යම් යම් කිසි දෙයක් දෙන නිවැරදි ක්‍රමය. එහෙම නැතුව ලාමා වහන්සේ ඉදිරියට පැමිණ පුද්ගලිකවම උන් වහන්සේට යමක් ලබා දෙන අය නෙවෙයි. එතනදී ලාමා තුමාට පුද්ගලිකව පිරිනැමීමෙන් උන් වහන්සේ ත්‍යාගය දුන් කෙනා පිළිබඳ දැනගන්නා අතර එය අගය කර ඔවුනට යහපත ප්‍රාර්ථනා කරනවා. මෙතැනදී එවැන්නක් සිදු වන්නේ නෑ. මේක තමයි නියම ත්‍යාගය” ලෙසිනි. නිහඬව, නිර්නාමිකව හා ප්‍රදර්ශනාත්මක නොවෙමින් දන් දීම සෑම විටම වඩාත් යහපත් දෙයයි. මෙයාකාරයේ සතුටු කරවන හා ගෞරවාන්විත ආකාරයකින් එම කාර්යය සිදු කිරීම වඩාත් යහපත් වේ.

අප විසින් ලබා දෙන්නේ යැයි පොරොන්දු වන දෙය ලැබෙන තුරු එහි අපේක්ෂිත ප්‍රතිලාභියා බලා සිටින තත්ත්වයක් හෝ උපකාර කරන බව පවසා එය පසුදින දක්වා කල් දැමීමක් හෝ සිදු නොකරන්න. සර්කොං රින්පෝෂේ පරම පූජනීය දලයි ලාමා වහන්සේගේ එක් ගුරුවරයෙකු වූ අතර බොහෝ අය එතුමා බැහැ දැකීමට පැමිණීම සිරිතක් විය. එතුමා තමාගේ ඉදිරිපිටටම පැමිණෙන තෙක් බලා සිට හැඩ වැඩ සහිත නමස්කාරයන් සිදු කරන පුද්ගලයන් දුටු උන් වහන්සේගේ අදහස වූයේ එය නොවැදගත් හා හාස්‍යජනක බවයි. “ඒකෙන් සිදු වන්නේ මගේ කාලය නාස්ති වීම පමණයි. මට ඒ අය නමස්කාර කරනවා බලන්නට උවමනා නෑ. හේතුව ඒ අය නමස්කාර කරන්නේ මට ඕන නිසා නොවෙයි. ඒ අය ඒක කරන්න ඕන මා ගාවට එන්න කලිනුයි. එතකොට මම ඔවුන් ළඟට ආවම ඔවුන්ට තමන්ට කියන්න උවමනා දේ මා වෙත කෙළින්ම ප්‍රකාශ කරන්න පුළුවන්” යන්න එතුමාගේ ප්‍රතිචාරය විය. පූජෝපහාරී තුවායන් ලාමාවරුන් වෙත පුද කිරීමද තිබ්බතීයයන් අතර පොදු දෙයක් වුවද, එයද කළ යුත්තේ ඔවුන්ගේ සිත් ඇදගනු පිණිස නොවේ. සිහි තබාගත යුතු කරුණ වන්නේ අප කරන නමස්කාරයන්ගේ ප්‍රයෝජනය අපට විනා එම ගුරුවරුන්ට නොවන බවයි.

දේවල් පුද්ගලිකවම ලබාදීම

ලබා දෙන්නට අදහස් කරනුයේ කවරක් වුවද, එය පුද්ගලිකවම ලබාදීම වැදගත්ය. අතීෂයන් හට උපස්ථායකයෙකු සිටි අතර, ඔහුට සිය ගුරුවරයා වෙනුවෙන් වූ සියලු පූජාවන් සිදු කිරීමටද, ජල බඳුන් පිරවීම ආදියද සිදු කිරීමට අවශ්‍ය විය. අතීෂයන් මෙසේ ප්‍රකාශ කළේය: “ඒක මමම කරගන්න එක තමයි වැදගත්. ඔයා මං වෙනුවෙන් කෑමත් කනවද?” හැකි සෑම විටකම, එවන් දේ අප විසින් පෞද්ගලිකවම කරගත යුතුය.

යම් කිසිවක් ලබාදීමේ තීරණයක් ගතහොත් පසුව සිත වෙනස් කරගැනීම හෝ පසුතැවී එය ආපසු ලබාගැනීම හෝ සිදු නොකළ යුතුය. තවද, යම් කිසිවක් දුන් පසු, එය අපට අවශ්‍ය පරිදි හෝ අප පවසන පරිදි පරිහරණය කළ යුතු බවට අවධාරණය කිරීමද නොකළ යුතුය. පාවිච්චි කළ යුත්තේ කවර කටයුතු සඳහාද යන්න නිශ්චිතව දක්වමින් මුදල් ලබාදීමද මෙයට ඇතුළත්ය. අප යමෙකු හට පින්තූරයක් ලබා දී පසුව ඔහුගේ නිවසට ගිය විටෙක එය බිත්තියේ එල්ලා නොමැති බව දුටු කල වේදනාවක් දැනීම මෙනි. සැබැවින්ම යමක් දුන් පසු තවදුරටත් එය අපට අයිති නොවේ.

ධර්මශාලාහි වාසය කළ සමයෙහි එම ආරාමයේ ආහාරවල ගුණාත්මක බව ඉතා දුර්වල තත්ත්වයක පැවති අතර ඒ අනුව භික්ෂූන්ට අත් වූයේ එතරම් යහපත් කාලයක් නොවේ. බටහිර ජාතීන් වූ අප අතර මුදල් රැස්කොට වඩා යහපත් අහාර මිලදී ගැනීම සඳහා ඔවුන් වෙත පිරිනැමුවෙමු. අවසානයේ ඔවුහූ එම මුදල් වඩා විශාල, හොඳ පන්සලක් ගොඩනැගීමට අවශ්‍ය ගඩොල් මිලදී ගැනීමට යොදා ගත්හ. මේ හේතුකොට බටහිර ජාතීන් අතර මහත් කෝපයක් ඇතිවී ආහාර මිලදී ගැනීම සඳහා එම මුදල් නොයෙදවීම පිළිබඳ ඉමහත් කලබලයක්ද ඇතිවිය. මෙයට පිළියම ලෙස, ඔවුන් වඩා හොඳින් ආහාර ගැනීම අපගේ අපේක්ෂාව වූයේ නම් අපට සැබැවින්ම ඔවුන් වෙනුවෙන් ආහාර මිලදී ගත හැකිව තිබිණි. එවිට ඔවුන්ට එය කෑමට සිදුවේ. ඒ අනුව මෙම කාර්යයන්හිදී අපි තරමක් දක්ෂ පක්ෂ අය විය යුතුය. කෙසේ වුවද, අප විසින් මිලදී ගත යුත්තේ ඔවුන් ආහාරයට ගැනීමට කැමැත්තක් දක්වන දේවල්ය. බටහිර ජාතීන් විසින් අනුමත නොකළද තිබ්බතීයයන් සම්බන්ධයෙන් සලකා බලන කල ඉන් අදහස් වනුයේ මස් ආහාරයි. ඔවුන් විසින් ආහාරයට ගැනීමට අකමැති වන්නාවූ දෙයක් මිලදී ගැනීම සුදුසු දෙයක් නොවේ.

මා සෑම දිනකම පාහේ සර්කොං රින්පෝෂේ තුමා දුටුවද යම් කිසි දෙයක් එතුමා වෙනුවෙන් ගෙන ඒම මාගේ සිරිත විය. මදකට පසු මා හට බැණ වැදුණු උන් වහන්සේ මෙසේ පැවසීය. “මේ හැම දෙයක්ම ඔයා මට ගේන්නෙ ඇයි? මට මේ කුණු කන්දල් අවශ්‍ය නෑ. මේවයින් මොනව කරන්නද? මට මොනව හරි ගේන්න ඕන නම් මං කැමති හා මට පාවිච්චි කරන්න පුළුවන් දෙයක් ගේන්න” යනුවෙනි. උන් වහන්සේ කෙසෙල්වලට ප්‍රිය වූ බව දත් මා ඉන්පසු උන් වහන්සේ වෙත කෙසෙල් ගෙන ගියෙමි. යමෙකු වෙත යමක් පිරිනැමීමට අවශ්‍ය වන්නේ නම්, ඔවුන් කැමති වන්නාවූ දෙයක්ම පිරිනැමීමේ කුසලතාවය අප තුළ පැවතිය යුතුය. නිදසුනක් ලෙස, එම ලාමාවරුන් හට ඕනෑ තරම් හඳුන්කූරු ඇත. එසේ නම් ඔවුන්ට ඒවා පූජා කිරීමෙන් එතරම් පලක් නොමැත.

එම තර්කණයටම අනුව පැවසිය යුතු දෙයක් වනුයේ, යම් දෙයක් පිරිනමන්නේ නම් එය අප අකමැති හා අපට ප්‍රයෝජනයට ගත නොහැකි දෙයක් නොව යම් යහපත් හා ඉහළ ප්‍රමිතියක දෙයක් විය යුතු බවයි. කිසි දින කිසිවක් හෝ පිළි නොගන්නා පුද්ගලයන් ඇත. එවිට “මට මේක හම්බ වෙච්ච දෙයක්. ඒත් මට මේකෙන් ප්‍රයෝජනයක් නෑ. ඒක නිසා ඔයා ගන්න. ඒක විසි කරල දාන්න ඕන නෑනෙ” යි පවසා එය ඔවුනට දෙන්නෙමු. එළවළු ආහාර පමණක් ගන්නා අයෙකු හට මස් මාංශ ආහාරයක් ලබාදීම වැනි දීමට නුසුදුසු දේද පවතී. යමෙකු යම්කිසි ආහාර රටාවකට අනුගතව සිටින්නේ නම්, පිරිනමන අපද එය අනුගමනය කළ යුතුය. සීනි පාලනය කරන්නෙකු බලන්නට කේක් රැගෙන නොයා යුතුය.

ධර්ම දානය

ධර්ම දානය සම්බන්ධයෙන් කථා කරන්නේ නම්, යමෙකු හට කෝපය, ඇල්ම, උඩඟුකම හෝ හුදෙක් අර්ථ විරහිත විචිකිච්චාව හේතුවෙන් අප සමග වාද කිරීමට අවශ්‍ය වන්නේ නම්, ඔවුන් සමග වාද කිරීම හෝ බෞද්ධ පාඨ ගෙනහැර දැක්වීම හෝ නොකළ යුතුය. ගෞරව සම්ප්‍රයුක්ත පුද්ගලයන් සම්බන්ධව පමණි ධර්ම දේශනය හා ධර්ම සාකච්ඡාව අදාළ වනුයේ. යම් පුද්ගලයෙකු එම කරුණු භාර නොගන්නේ නම්, ඔවුනට ඉගැන්වීමෙන් හෝ ඔවුන් සමග සාකච්ඡා කිරීමෙන් පලක් නොවන අතර එය නුසුදුසුද වේ. සැබැවින්ම එය කාලය අපතේ යැවීමක් වන අතර, එමගින් හුදෙක් ඔවුන්ගේ සෘණාත්මක ආකල්පය හා විරෝධාකල්පය ශක්තිමත් කිරීමක් පමණි සිදුවනුයේ. ඒ අනුව ඉගැන්වීම විවෘත මනසක් සහිත හා ඉගෙනීමේ අවශ්‍යතාවය සහිත අය වෙත පමණක් සිදු කරමු.

ඉගැන්වීම සිදුකළ යුත්තේ ඉගෙන ගන්නාගේ මට්ටමෙහි සිටය. හුදෙක් අපගේ දක්ෂතාවය පෙන්වනු පිණිස අප ඉගෙන ගත් සියල්ල හා අපගේ මුළු දැනුම් සම්භාරයම ඔවුන් මත නොපටවමු. හුදෙක් සරල කරුණු පැහැදිලි කිරීමක් මගින් අපේක්ෂිත ප්‍රයෝජනය සැලසෙන්නේ නම් පමණ ඉක්මවා උසස් මට්ටමේ දේශනා නොකළ යුතුය. ඇතැම් විට වඩාත් වෙහෙස මහන්සි වී කටයුතු කරමින් අවබෝධ කරගැනීමට උත්සාහ කරනු පිණිස තරමක් උසස් මට්ටමේ දේශනාවකින් ප්‍රයෝජන සැලසිය හැකි අතර ලබන්නා තරමක් උඩඟු වූවෙකු නම්ද එම පිළිවෙත ප්‍රයෝජනවත් වේ. ඇතැම් විට පරම පූජනීය දලයි ලාමා වහන්සේ විසින් බෞද්ධ දේශනාවන් කෙතරම් සංකීර්ණ ඒවාද යන්න පෙන්වනු පිණිස විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් ආදීන් වෙත කරන දේශනා ඉතා සංකීර්ණ ස්වරූපයෙන් සිදු කරයි. බුදු දහම ප්‍රාථමික හා පසුගාමී එකක්ය යන මතයක් වේනම් එය බැහැර ලීමට මෙය උපකාරී වේ.

වරෙක සර්කොං රින්පොෂේ තුමා බටහිර ධර්ම මධ්‍යස්ථානයකට ගිය අවස්ථාව මා හට සිහිවේ. ශාන්තිදේවයන්ගේ ග්‍රන්ථයෙන් ශූන්‍යතාවය (හිස්බව) පිළිබඳ පරිච්ඡේදය ගෙන දින දෙකකින් එය ඔවුනට උගන්වන ලෙස ඔවුහූ ඉල්ලා සිටියහ. එය සැබැවින්ම විකාර අදහසක් විය. මක් නිසාද ග්‍රන්ථයේ මෙම කොටස හැදෑරීම සඳහා පමණක් වසරක කාලයක් ගතවේ. සෑම වදනක් තුළින්ම එය කෙතරම් නම් සංකීර්ණ වූවක්ද යන්න විදහා දක්වනු පිණිස උන් වහන්සේ විසින් පරිච්ඡේදයේ පළමු වචන කිහිපය පමණක් අතිශයින්ම උසස් හා සංකීර්ණ අයුරකින් විස්තර කිරීම ආරම්භ කරන ලදී. උන් වහන්සේ දේශනා කරන්නේ කවරක්ද යන්න කිසිවෙකුට හෝ තේරුම් ගත නොහැකි විය. මෙමගින්ද එම පාඩම හුදෙක් දින දෙකක දේශනයකින් ඉගැන්විය හැකි හෝ තේරුම් ගත හැකි දෙයක් ලෙස සිතීම කෙතරම් නම් උඩඟු කමක්ද යන්න පෙන්නුම් කෙරිනි. ඉන්පසු උන් වහන්සේ ඔවුන්ගේ මට්ටම දක්වා දේශනය මන්දගාමී කළ අතර ග්‍රන්ථයේ කුඩා කොටසක පොදු අර්ථය පමණක් විස්තර කළේය.

පරම පූජනීය දලයි ලාමා වහන්සේ විසින් විශාල සෙනගකට දේශනා කරන විටදී, එහි සිටින එක් එක් මට්ටම්වල පුද්ගලයන් වෙනුවෙන් වෙන් වෙන් වශයෙන් යම් කරුණු අවබෝධ කිරීමක් සිදු කරයි. එහි පැමිණ සිටින මහා ලාමාවරුන්, ගේෂේවරුන් හා කෙන්පෝස්වරුන් ඉලක්ක කරගනිමින් බොහෝ විට උන් වහන්සේ විසින් ඉතා ඉහළ මට්ටමින් සිය දේශනය සිදු කරනු ලබයි. උන් වහන්සේ අන් සියල්ලන්ට වඩා උසස් තලයක පසුවන බැවින් උන් වහන්සේට මෙම මට්ටමින් සිය දේශනය කළ හැකි අතර, ඉන්පසු ඔවුන් හට තම සිසුන් වෙත ගොස් වඩා සරල ආකාරයෙන් ඒවා ඉගැන්විය හැක. මෙවන් තත්ත්වයකදී ඉහළම තලයේ දේශකයා විසින් පහළම තලය ආමන්ත්‍රණය නොකරන අතර එම කාර්යය සිදු කිරීම සඳහා පෙරකී පරිදි අතරමැදි තලයන් වේ. ඉහළම මට්ටම්වල අයට ඔබ විසින් ඔබගේ දේශනය සිදු කරන අතර ඒ අනුව එම දේශනය ක්‍රමිකව පහළ මට්ටම් කරා විසිරී යයි.

අවසාන වශයෙන් පැවසිය යුතු දෙය නම්, ධර්මය ලබාදිය යුත්තේ එය අවශ්‍ය වන්නාට පමණක් වන බවයි. දවස පුරා ළමුන් විසින් චොක්ලට් ඉල්ලන්නාක් මෙන් යමෙකු හට එය අවශ්‍ය නොවන අතර හුදෙක් ලෝභය සහ ඇල්ම හේතුවෙන් එය උවමනා බව සිතන්නේ නම් එය ලබාදීම සුදුසු නොවේ. ලබාදීම සුදුසු හා නුසුදුසු වන්නේ කුමක්ද, කවර අවස්ථාවන්හිදීද හා කා හටද යන්න තීරණය කරනු පිණිස අපගේ වෙන්කොට සැළකීමේ දැනුවත්භාවය යොදාගත යුතුය. ටෘන්ගා රින්පොෂේ විසින් “ අමන කරුණාව” නමැති යෙදුමක් නිර්මාණය කරන ලදී: බොහෝ සෙයින් අමනෝඥ දෙයක් විය හැකි බැවින් සෑම අයෙකු හටම, සෑම අවස්ථාවකදීම අවශ්‍ය සියලු දේ සිදු කිරීමට උපකාර නොකරමු. අපගේ ත්‍යාගශීලිත්වය අපගේ ප්‍රඥාවට අනුකූලව ක්‍රියාත්මක විය යුතුය.

සාරාංශය

ත්‍යාගශීලිත්වය පිළිබඳ පිළිවෙත් පිරීම තුළ අප බොහෝ පොහොසත් අය හෝ බොහෝ දේ සන්තක අය හෝ විය යුතු බවක් අදහස් නොවේ. අප සිටින ස්ථානය කවරක් වුවද, කුමක් කරමින් සිටියද අප භුක්ති විඳින පිරිසිදු වාතාශ්‍රය, හිරු බැස යාමේ අසිරිමත් දසුන, භුක්ති විඳින ප්‍රණීත ආහාර ඈ අප භුක්ති විඳින සියලු දේ මානසිකව අනුන් සමගින් බෙදා හදා ගනිමින් ත්‍යාගශීලී සිතක් ගොඩනගා ගැනීමේ කාර්යය ආරම්භ කළ හැක. අප විසින් සිදු කරනු ලබන සියලු දේ අන් අයටද භුක්ති විඳින්නට ලැබේවායි ප්‍රාර්ථනා කිරීම වූකලි අනුන් හට අවශ්‍ය වන දේ අප විසින් ඔවුන් වෙත ලබා දෙන්නාවූ ඊළඟ පියවර සඳහා පදනම සකසනු ලබයි.

හැකියාවක් පවත්නේ නම් ද්‍රව්‍යාත්මක ආධාර ලබා දීම ඉතා යහපත් වුවද, අපගේ කාලය හා ශක්තිය යෙදවීමෙන්ද ත්‍යාගශීලී විය හැක. සතුටින් හා පිරිසිදු පෙළඹීමෙන් දන් දීම සිදු කරන විටදී, ත්‍යාගශීලිත්වය අපගේම හා අන් පුද්ගලයන්ගේද සමෘද්ධිය හා සතුට ආරක්ෂා කරන්නාවූ ශක්තිමත් බලවේගයක් බවට පත්වේ.

Top