තුන්වන ආර්ය සත්‍යය: දුකේ සැබෑ නිරෝධය

ජීවිතයේදී අත් විඳින්නට සිදුවන සැබෑ දුක් හඳුනා ගනිමින් ඒවාහි සැබෑ හේතු හඳුනාගත් විටදී, අපට සැබැවින්ම ඒවායින් නිදහස් වීමට අවශ්‍ය නම්, ඒවා නැවත කිසි කලෙක හෝ ඉස්මතු නොවන පරිදි වළකාලිය යුතුවේ. බුදුන් වහන්සේ විසින් උන් වහන්සේගේ පෞද්ගලික අත්දැකීමෙන් අවබෝධ කොටගෙන දේශනා කරන ලද තුන්වන ආර්ය සත්‍යය නම් නැවත කිසිදින ඉස්මතු නොවන පරිදි දුක් හා ඒවාහි හේතු සැබෑ ලෙසම නිරෝධයට පත්කළ හැකි බවයි. සිතේ ස්වභාවය පිරිසිදු එකක් වන බැවින් එය සිදුකළ හැක්කකි.

සැබෑ දුක් හා මෙම දුක්වල සැබෑ හේතු

අප විසින් ජීවිතයේ මුහුණ දෙන බොහෝ පෞද්ගලික ගැටලු පවත්නේ නමුදු අප විසින් අපගේ දුක් නැවත නැවතද ඉස්මතුවන ලෙස ඒවා සදාතනිකත්වයට පත් කිරීම සැබෑ දුක වේ. අසතුට හා අතෘප්තිකර සතුට පාලනයකින් තොරව ඉහළ පහළ යාමේ තත්ත්වයක් අත් විඳිමින් අපි එය සදාතනිකත්වයට පත් කරමින් මෙකී භාවමය ඉහළ පහළ යාම් අත් විඳින පදනම ලෙස එක් එක් පුනරුත්පත්තියකදී සීමිත සිතක් හා කයක් පැවතීමේ තත්ත්වයද සදාතනිකත්වයට පත් කරන්නෙමු. මේවා සදාතනිකත්වයට පත් කිරීමේ සැබෑ හේතු අපගේම සිත් තුළ පවත්නා බවද බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලදී.

අප හා අන් අය මත අපගේ චර්යාවන් මගින් ඇතිකරන ඵලය හා අප, අන් සියලු දෙනා, හා සියලු සංසිද්ධීන් පවත්නා ආකාරයද සම්බන්ධයෙන් අපගේ සිත් මගින් ව්‍යාජ යථාර්ථයක් ප්‍රක්ෂේපණය කරනු ලබයි. අප ‘මා’ යනුවෙන් හැඳින්වෙන දැඩි, ස්වයං ස්ථාපිත ස්ථිතියක් ලෙස පවත්නා බවට වූ ව්‍යාජ සිතිවිල්ලක් පවත්වාගෙන යන්නෙමු. සිත තුළ පවත්නා හඬ අපගේ සිත් තුළ පවත්නා දෙයක් සේ පෙනෙන බැවින් හෝ දේවල් වටහා ගනිමින් සිතීම සඳහා භාවිත කරන උපකරණයක් සේ සලකන බැවින් අප අනන්‍යකරණය කරන්නාවූ යම් දැඩි ස්ථිතියක් ලෙස අපගේ සිත් පිළිබඳවද ව්‍යාජ සිතිවිලි ඇතිකර ගන්නෙමු. මේ කිසිදු ප්‍රක්ෂේපණයක් යථාර්ථය හා අනුගත නොවන නමුත් අයහපත්ම තත්ත්වය වනුයේ අප විසින් එය එසේ වන බවට විශ්වාස කිරීමයි.

‘කවුරුවත් මට ආදරේ නෑ; කාටවත් මාව ඕනිත් නෑ’ යි සිතමින් ඔබ පිළිබඳවම අසරණ බවක් ඔබට කිසිදින හෝ දැනිනිද? නොඑසේ නම් ආතතියකින් පෙළෙමින් ‘මට මේවා කරන්න බෑ; දරාගන්න බැරි තරම්’යි සිතුවේද? මේවා සතුටුදායක චිත්ත ස්වභාවයන්ද? පැහැදිලිවම නැත. අප ආත්මානුකම්පාවෙන් හා අසතුටින් බරිතව සිටිය හැකි නමුත් මෙම හැඟීම් ඉවත්ව යන්නේ නම් යහපත්ය යන කැමැත්තක්ද අප තුළ පවතී. ගැටලුව වනුයේ මෙම තත්ත්වය අප විසින් සැලකිල්ලට ගන්නා ආකාරයයි. මෙම අසතුට ඒ වටා දැඩි රේඛාවකින් වටව පවත්නා හා ‘මා’ වෙත පාත්ව එල්ලෙමින් පවත්නා අඳුරු වලාවක් ලෙස ගෙනහැර දක්වන්නාවූ පාට පොතක් සේ හැඟීමක් ඇති කරයි. මෙම මායාකාරී පෙනුම යථාර්ථය හා අනුගත වන බවක් හැඟෙන බැවින් එය එසේ වන්නේය යන විශ්වාසය මත පදනම්ව යමෙකු අපට ආදරය කරන්නේ නම් යහපත්ය යන ලෝභයෙන් හෝ ඔවුන් අප වෙත ආදරයෙන් නොසලකන විට ඔවුන් කෙරෙහි කෝපයකින් හෝ සමන්විත කැළඹිලිකාරී භාවයන් හෙවත් ක්ලේෂයන් ගොඩනගා ගන්නෙමු. යම් කිසිවෙකු විසින් අප සමග සිය කාලය ගතකොට අපට සෙනෙහස දැක්විය යුතුය යන අසාධාරණ ඉල්ලීමක් ඉදිරිපත් කිරීමේ බලහත්කාරී කර්ම පෙළඹීමක් මෙම කැළඹිලිකාරී භාවයන් තුළින් ජනිත කරවනු ලබයි. ඔවුන් අපගේ ඉල්ලීමට එකඟ වුවද, අත් විඳින කවර හෝ කෙටි කාලීන සතුටකින්ද තෘප්තියක් නොලබන අපි මෙම අසතුටුදායක තත්ත්වය සදාතනිකත්වයට පත් කරමින් වඩ වඩාත් එයම ඉල්ලා සිටිමු.

එවන් මළ පුඩුවක් තුළ අපගේ සිත් නිරතුරු ව්‍යාකූලව හා අඳුරු වලාවන්ගෙන් බරව පවතී. අපි කෙළින් නොසිතන අතර හැසිරීම පාලනයෙන් බැහැර වේ. එනමුත් ව්‍යාකූලත්වය සිතේ ස්වභාවයේ කොටසක්ද? මෙම පැණයට පිළිතුරු සපයනු පිණිස, බුදු දහම ‘සිත’ යන්නෙන් අදහස් කරන්නේ කවරක්ද යන කරුණ දත යුතුවේ. සිත යනු අපගේ හිස තුළ පවත්නා ස්වයං සංයුක්ත ‘දෙයක්’ නොවන අතර ඉන් මානසික ක්‍රියාකාරිත්වයක් අදහස් කෙරේ. ඒ වූකලි දේවල් අත් විඳීමේ පෞද්ගලික, මනෝ මූලික මානසික ක්‍රියාකාරිත්වයයි. විවිධ අවස්ථාවන්හි විවිධ දේ අත් විඳින බැවින් එය නිරතුරු වෙනස්වන නමුත් එහි සම්ප්‍රදායික ස්වභාවය නිරතුරු නොවෙනස්ව පවතී. එහි ගැඹුරුම ස්වභාවයද නිරතුරු නොවෙනස්ව පවතී - එය නොසිදුවිය හැකි ආකාරයේ පැවැත්මක් ස්ථාපනය කිරීමේ හැකියාවකින් තොරය.

අපගේ සිත් පවත්නේ යැයි අප විසින් සාවද්‍යව සිතන, සිදුවිය නොහැකි ආකාරයන් බොහෝ පවතී. නිදසුනක් ලෙස, ‘මා’ නමැති දෘඨ ස්ථිතියක් සමග අනන්‍ය වූ හෝ ‘මා’ ලෙස භාවිත කෙරෙන යමක් සමගින් අනන්‍ය වූ දෘඨ ස්ථිතියක් ලෙස සිත පිළිබඳ අදහස් කරන්නෙමු. මෙම සාවද්‍ය අදහස් දෙකින් එකක් හෝ සිතේ සැබෑ ස්වභාවය හා අනුගත නොවන බැවින් - ඒවා හුදු මනෝ විකාරයන් වන අතර සිතේ ස්වභාවයේ පිළිබිඹු නොවන බැවින්- මෙම සාවද්‍ය අදහස් මත පදනම් වන සියලු මානසික තත්ත්වයන්ද සිතේ ස්වභාවයේ කොටස් නොවේ. මෙම මානසික තත්ත්වයන් තුළට ‘මා’ සම්බන්ධ අපගේ සාවද්‍ය සංකල්පනාවන්, එකී ‘මා’ ආරක්ෂා කිරීමේ උත්සාහයක් සහිතව ඉස්මතුවන ක්ලේෂයන්, හා එකී ‘මා’ ඉස්මතු කිරීම සඳහා අප නිරර්ථක ක්‍රියාවන් කෙරෙහි ආකර්ශනය කරන්නාවූ බලහත්කාරී පෙළඹීම් ඇතුළත් වේ. මේ කිසිවක් හෝ සිතේ ස්වභාවයේ කොටසක් නොවන බැවින් හා එම ස්වභාවය පිළිබඳ සාවද්‍ය සංකල්පනාවන් මත පදනම්ව පවත්නා බැවින්, එම සාවද්‍ය සංකල්පනාවන් වෙනුවට නිවැරදි වැටහීම ආදේශ කළ විටදී එම සාවද්‍ය සංකල්පනාවන් සදාකාලිකවම ඉවත් කළ හැක. අනෙක් අතින් ආදරය හා කරුණාව වැනි ධනාත්මක භාවයන් සිතේ ස්වභාවය පිළිබඳ සාවද්‍ය සංකල්පනා මත පදනම් නොවේ. එම සුවිශාල වෙනස හේතුකොට, නිවැරදි වැටහීම තුළ ඒවා ඉවත් නොවේ.

ඒ අනුව සැබෑ දුක්ඛ නිරෝධය යනු අපගේ චිත්ත නිරෝධයක් නොවේ. ආදරය, කරුණාව හා නිවැරදි වැටහීම වැනි යහ ගුණ සියල්ලද සමගින් අපගේ සිත් ජීවිත කාලයෙන් ජීවිත කාලයට ඉදිරියට ගමන් කරයි. නොදැනුවත්භාවය, ක්ලේෂයන් හා බලහත්කාරී කර්ම පෙළඹීම්ද පාලනය කිරීම තුළ සීමිත සිත් හා කය සහිතව පාලනයකින් තොරව නැවත නැවතද සිදුවන පුනරුත්පත්තිය පමණක් මෙහිදී අවසන් වේ.

සැබෑ නිරෝධයේ චතුර්විධ පැතිකඩ

සැබෑ නිරෝධය නමැති තුන්වන ආර්ය සත්‍යය පැතිකඩ සතරකින් යුක්ත වේ. 

  • පළමුව එය වූකලි සියලු ආකාර දුක් ඉස්මතු වීමට සදාකාලිකත්වයක් ලබාදෙන සැබෑ හේතු සැබෑ ලෙස නතර කරලීමකි. හේතු ප්‍රත්‍යයන්ගේ බලපෑමෙන් ඇතිවන සියලු දේ අස්ථිර වන අතර නියත වශයෙන්ම නිරෝධ වන බැවින් දුක සම්බන්ධ කවර වූ හෝ නිශ්චිත ජවනිකාවක්ද නිරායාසයෙන්ම අවසානයක් කරා එළැඹෙනු ඇත. ‘සැබෑ නතර වීමක්’ යන්න තුළ, එසේ වුවද, අදහස් කෙරෙනුයේ එවන් ජවනිකාවන් නැවත කිසි දින ආපසු සිදු නොවන්නේය යන්නයි. මෙම සැබෑ හේතුවලින් මුළුමනින්ම නිදහස්ය යන අදහසින් සිතේ ස්වභාවය පිරිසිදු එකක් වන බැවින්, මෙකරුණ වටහා ගැනීම තුළ සැබෑ දුක ඉස්මතු වීමේ තත්ත්වයට සදාතනිකත්වයක් ලබාදීමේ තත්ත්වයෙන් මිදීමේ කිසිදු මඟක් නොමැත්තේය යන සාවද්‍ය සංකල්පනාව නිශේධනය කෙරේ.
  • දෙවනුව, සියලු ක්ලේෂ චෛතසිකයන් සන්සිඳෙන බැවින් සැබෑ නිරෝධය යනු සාමකාමී තත්ත්වයකි. මෙමගින් ප්‍රබල වේදනා නාශකයක් ගත්කල කිසිදු වේදනාවක් නොදැනෙන බැවින් එතුළ අපගේ සියලු ගැටලු අවසන් වූයේය යන අදහසක් ඇතිවීමක් සෙයින් ගැඹුරු ධ්‍යාන සමාධියකට එළැඹීම තුළ සියලු ගැටලු අවසන් වන්නේය යන සාවද්‍ය අදහස නිශේධනය කෙරේ. එවන් තත්ත්වයක කෙතරම් කලක් සමාධිගතව සිටියද, එම කාල පරිච්ඡේදය තුළ වේදනාවෙන් හා දුකින් තොරව වාසය කළද, එමගින් අපගේ ගැටලුවල සැබෑ හේතු ඉවත් කිරීමක් සිදු නොවේ. එය හුදෙක් කෙටි කාලීනව ඉවත්ව සිටීමක් පමණි. ඖෂධයේ බලය සිඳී යන්නාක් මෙන් සමාධියද අවසානයක් කරා එළැඹෙන අතර ඉන් පසු නැවතද අපගේ ගැටලු ඉස්මතු වන්නට පටන් ගනී.
  • තෙවනුව, සැබෑ නිරෝධයක් යනු ඉතා උසස් තත්ත්වයකි. එය ලෞකික තලයේ ලබන කවර සාර්ථකත්වයකට පවා ඉහළින් පවත්නා තත්ත්වයකි. අප විසින් කෙතරම් සාමකාමී අතථ්‍ය ලෝකයක් මවා එතුළට පලා ගියද එහි සැඟවීම තුළ අපට සැබෑ දුක් හා ඒවාහි සැබෑ හේතුන්ගෙන්ද පලායා නොහැක. ‘සැබෑ ලෝකය’ නමින් හැඳින්වෙන ලෝකයේ ගැටලු එහිදීද පවතී.
  • අවසන, සැබෑ නිරෝධය යනු සියලු සැබෑ දුක් හා ඒවාහි සැබෑ හේතුවලින්ද නිශ්චිත ලෙසම ඉහළට ඉස්මතු වීමක් වන අතර එය හුදු පාර්ශ්වීය හෝ තාවකාලික ඉස්මතු වීමක් නොවේ. අප, අන් අය හා සියලු දේහි පැවැත්ම පිළිබඳ නොදැනුවත්භාවය හා සාවද්‍ය සංකල්පනාවන්ද පුරුදු හා නැඹුරුතාවයන් ලෙස අප තුළ ගැඹුරින් කාවැදී ඇති බැවින් මෙම ඉස්මතු වීම හෙවත් නිදහස් වීම ස්ථර හා අදියර මට්ටමින් සිදු වුවද, නැවත ඉස්මතු නොවන පරිදි ඒවා මුළුමනින්ම ඉවත් කිරීමේ හැකියාව පවතී. මක් නිසාද ඒවා සිතේ ස්වභාවයට අදාළ කොටස් නොවන බැවිනි. සිත ස්වභාවයෙන්ම ප්‍රභාෂ්වර වන බැවින් ඒවා තාවකාලික කැළැල් පමණි.

සාරාංශය

අපගේ සැබෑ දුක්වලට සදාතනිකත්වයක් ලබාදීමේ සැබෑ හේතුවලින් සදාකාලිකව නිදහස් වීමේ හැකියාවක් පවත්නා කල, ඒවා හුදෙක් අවම කිරීමෙන් හෝ තාවකාලිකව යටපත් කිරීමෙන් පමණක් සෑහීමකට පත් වන්නේ මන්ද? සැබැවින්ම ඒවායින් සදාකාලික නිදහසක් ලැබීම සඳහා කටයුතු කරන අතර, ඒවා ඇතිවන වාර ගණන හා තීව්‍රතාවයද ක්‍රමානුකූලව අවම කිරීම සිදුකළ යුතු නමුත් අප සියලු දෙනා හට ඒවාහි සැබෑ නිරෝධයක් අත්කරගත හැකි බව බුදුන් වහන්සේ වදාළ සේක. අන් කිසිවක් හෝ ඉලක්ක කරන්නේ මන්ද?

Top