චතුරාර්ය සත්‍යය හා තිසරණය තුළින්

සමාලෝචනය

දෙසත්‍යය වටහා ගැනීම හරහා චතුරාර්ය සත්‍යය වටහා ගැනීම දක්වාද ඉන් ඔබ්බට තිසරණය පිළිබඳ විශ්වාසයක් පවත්වා ගැනීම දක්වාද අපගේ ප්‍රගතිය සිදුවන ආකාරය විග්‍රහ කරන, පරම පූජනීය දලයි ලාමා වහන්සේ විසින් රචිත මෙම පැදිය පිළිබඳ සාකච්ඡාව තවදුරටත් ඉදිරියට ගෙන යමු. දෙසත්‍යය තුළ දේවල් සැබෑ ලෙසම පවත්නා ආකාරය සාකච්ඡා කෙරෙන බව පෙරදී දුටුවෙමු:

  • සාපේක්ෂ හෝ  සම්මුති සත්‍යය; අපට සැබෑ ලෙසම පෙනෙන දෙය හේතු ප්‍රත්‍ය මත රඳා පවතිමින් ඉස්මතු වේ. මෙලොව දේවල්හි සැබෑ ක්‍රියාකාරිත්වය දුටුවේ නම් දකිනු ඇත්තේ මෙයයි. අවාසනාවකට මෙයාකාරයෙන් සාමාන්‍යයෙන් අපි දේවල් නොදකින්නෙමු.
  • සත්‍යයේ ගැඹුරුම මට්ටමේදී, අපගේ චිත්ත ව්‍යාකූලත්වය මගින් අප වෙත ප්‍රක්ෂේපණය කරන, නොසිදුවිය හැකි, ආකාරයෙන් දේවල් නොපවතී. නිදසුනක් ලෙස, දේවල් අප දකින විටදී පෙනෙන අයුරින් ස්වායත්ථවම, කිසිදු හේතුවකින්, ප්‍රත්‍යයකින් හෝ අන් කිසිවකින් හෝ තොරව ඉස්මතුවන්නේයැයි අපි සිතන්නෙමු. එනමුදු, මෙය අසත්‍යය.

එ් අනුව මෙයයි පදනම.

යථාර්ථය නිවැරදිව දැකීම වටා පවත්නා අපගේ ව්‍යාකූලත්වය පිළිබඳව චතුරාර්ය සත්‍යය මගින් කථා කරනු ලබයි. යථාර්ථය පිළිබඳ චිත්ත ව්‍යාකූලත්වයට පත්ව සිටින විටදී මෙය දුකට හේතුවක් ලෙස ක්‍රියාත්මක වේ: හේතුව දෙවන ආර්ය සත්‍යය වන අතර දුකම පළමුවැන්න වේ. අනෙක් අතින්, අප නිවැරදි ලෙස යථාර්ථය දකිමින් සියලු අවස්ථාවන්හි එ් කෙරෙහි අවධානය යොමුකොට සිටිය හැක්කේ නම්, දුකෙහි සැබෑ නිරෝධය නම් වූ තෙවන ආර්ය සත්‍යය කරා ප්‍රවේශ වනු ඇත. සත්‍ය මාර්ගය වැටහීම හෙවත් සැබෑ නිරෝධයක් ගෙන එන්නාවූ සතරවන ආර්ය සත්‍යය එයයි.

යථාර්ථය පිළිබඳ අපැහැදිලි තත්ත්වයක සිටින විටදී, නොදැනුවත්භාවය හා ව්‍යාකූලත්වය පදනම් කරගනිමින් කටයුතු කරන අතර පාලනයකින් තොරව නැවත නැවතද සිදුවන පුනරුත්පත්තියට අඛන්ඩ පැවැත්මක්ද ලබා දෙන්නෙමු. මෙම නොදැනුවත්භාවයෙන් මිදෙන්නේ නම්, අපට ආපසු ගමන් කොට සාංසාරික පුනරුත්පත්තියෙන් මිදිය හැක.

ත්‍රිවිධ රත්නය

දැන් එම පැදියේ තුන්වන පේළිය විමසා බලමු:

වලංගු අවබෝධය මගින් වැඩිදියුණු වන, තිසරණය සත්‍යය යන වැටහීම ස්ථිරසාර වේ.

දැනටමත් දුටු පරිදි, තිසරණය යන්නෙන් බුද්ධ, ධර්ම හා සංඝ සරණයන් හැඳින්වේ. මේවා සංස්කෘත වදන් ය. ශාක්‍යමුනි බුදුරජාණන් වහන්සේ හා අන් සියලු බුදුවරයාණන් වහන්සේලා බුද්ධත්වය සාක්ෂාත් කරගනිමින් එය සිදුකරගන්නා ආකාරය අපටද උගන්වන අයයි. ධර්මය යනු උන් වහන්සේලාගේ දේශනාය. සංඝ යනු උසස් අවබෝධයක් ලද සමාජයයි. මෙය එක් වැටහීම් මට්ටමක් වන නමුත් එයට වඩා ගැඹුරු අදහසක්ද පවතී.

ගැඹුරුම අදහසට අනුව, ධර්මය යන්නෙන් සැබෑ ලෙසම සාක්ෂාත් කරගත් දේ අදහස් වේ - එනම් තෙවන හා සිවුවන ආර්ය සත්‍යයන් සාක්ෂාත් කරගැනීමයි. තෙවැන්න දුක හා එයට හේතූන් සැබෑ ලෙසම නවතාලීම වන බව ඔබට සිහිපත් වනු ඇත. එය අදියරෙන් අදියරට සිදුවන්නකි. එම තත්ත්වය පූර්ණ වශයෙන් සාක්ෂාත් කරගත් විටදී පාලනයකින් තොරව නැවත නැවතද සිදුවන පුනරුත්පත්ති තත්ත්වය හෙවත් සංසාරයෙන් විමුක්තිය ලබන්නෙමු. සියලු දෙනා විමුක්තිය කරා යොමු කරවන ආකාරය ඉතා හොඳින්ම දැනගන්නා පරිදි  හේතු ඵල න්‍යාය පිළිබඳ සියලු විස්තර දැනගැනීමෙන් අප වළකාලන්නාවූ හේතුවලින් මිදීම සඳහා කටයුතු කරන විටදී අපි බුද්ධත්වයට පත් වන්නෙමු. සතරවන සත්‍යය වනුයේ මෙම සත්‍ය නැවතුම් හෙවත් නිරෝධයන් ඇතිවන වැටහීම හා එකී සත්‍ය නැවතුම් මගින් ඇති කෙරෙන ප්‍රතිඵලයයි.

මෙම දෙක තුළ සරණක් අන්තර්ගත වේ. සරණ යනු අප ආරක්ෂා කරන්නකි. මෙහිදී දුකින් හා අන් අයට උපකාර කිරීමට වූ අපගේ අප්‍රමාණවත් බවින් ආරක්ෂා කරන්නකි. සත්‍ය නැවතුම් හා සත්‍ය මාර්ග චිත්තයන් සාක්ෂාත් කරගතහොත්, එවිට දුක අත් විඳීමෙන් හා අන් අයට කෙතරම් යහපත් ලෙස උපකාර කරන්නේද යන්න දැනගැනීමේ නොහැකියාවෙන් මිදෙන්නෙමු. මෙහිදී වෙනයම් අයෙකු එම තත්ත්වය සාක්ෂාත් කරගෙන ඇති අතර, ඔහු විශ්වාස කරමින් ඉන්ද්‍රජාලික ලෙස අපගේ ගැලවීම එමගින් සිදුවන තත්ත්වයක් නොමැත.

යුදෙව් දහම, කිතු දහම හා ඉස්ලාම් දහම ලෙස වූ "ආබ්‍රහම්වාදී ආගම්" ඉතිහාසය කෙරෙහි නැඹුරු වූ ආගම් ලෙස ප්‍රසිද්ධ එ්වා වේ. එ් එක් එක් ආගම තුළ දෙවියන් වහන්සේ වෙතින් යම් ඉතිහාසගත සිදුවීමක් තුළ යම් ආකාරයක අනාවරණයක් හෙවත් හෙළිදරව්වක් ලද ඉතිහාසගත පුද්ගලයෙකු ඇත. ඉන්පසු ඔවුන් සත්‍යය අනාවරණය කළ අතර එය අවසානයයි. මෝසස් හෝ යේසුස් වහන්සේ හෝ මුහම්මද්තුමා කළ දේ අපට කළ නොහැක. එවැන්නකදී කළ යුතුවන්නේ හුදෙක් අපගේ දුකින් අප ගලවාගනු පිණිස ඔවුන් කෙරෙහි ඇදහිල්ල තබාගැනීම පමණි. මෙහිදී ඇදහිල්ල යන්නෙන් පුද්ගලිකව අදාල පුද්ගලයන් කෙරෙහි ඇදහිල්ල හෝ නව තෙස්තමේන්තුව හෙළිදරවු කරමින් දෙවියන් වහන්සේ විසින් මෝසස්ට හෝ යේසුස් වහන්සේට දස පනත පිරිනැමීම හෝ මුහම්මද්තුමා විසින් කුරාණය හෙළිදරවු කිරීම වැනි මෙකී ඉතිහාසගත සිදුවීම් සම්බන්ධයෙන් ඔවුන් දේශනා කළ දේ හෝ අනාවරණය කළ දේ පිළිබඳ ඇදහීම අදහස් වේ. මෙකී වැදගත් ඉතිහාසගත සිදුවීම් මෙම ආගම්හි කේන්ද්‍රය වේ.

හින්දු ආගම, බුදු දහම හා ජෛනාගම වැනි භාරතීය ආගම් මෙයට මුළුමනින්ම වෙනස් වූ "ධර්ම ආගම්" ලෙස හැඳින්විය හැක. බුදුන් වහන්සේ, ක්‍රිෂ්ණා හෝ ජෛනාගමේ නිර්මාතෘ මහාවීරතුමා පිළිබඳ ඉතිහාසගත කරුණ මෙහි කේන්ද්‍රීය සිදුවීම නොවේ. එ් වෙනුවට, මෙම අයට සමාන සාර්ථකත්වයක් අපටමද සියලු දෙනා හටද සාක්ෂාත් කරගත හැක. බෞද්ධ සන්දර්භය තුළ අප සියලු දෙනා හට විමුක්තිය හා බුද්ධත්වය සාක්ෂාත් කරගත හැකි අතර සෙසු ආගම් විසින්ද විමුක්තිය පිළිබඳ ඔවුන්ගේ අර්ථ නිරූපණ ඉදිරිපත් කරනු ලබයි. මෙය වූකලි අපගේ බටහිර, ආබ්‍රහම්වාදී ආගම් හා භාරතීය ආගම් අතර පවත්නා  එක් මූලික වෙනසකි.

තිසරණය පිළිබඳ සලකා බැලීමේදී, අප හැදී වැඩුණු සංස්කෘතියට අයත් ආබ්‍රහම්වාදී ආගම්හි චිත්ත ප්‍රක්ෂේපණයන් මගින් එ්වා විමසා නොබැලීම වැදගත්ය. ඉන් අදහස් වනුයේ අර්හත්වය ලද එකම උත්තමයා බුදුන් වහන්සේ වන අතර උන් වහන්සේ අදහන්නේ නම් අපටද ගැලවීම ලද හැකි බව නොවේ. එ් අනුව සාමාන්‍යයෙන් මම "සරණ" යන යෙදුම භාවිතයෙන් වළකිමි. මක් නිසාද, අප කළ යුතු එකම දෙය වන්නේ "බුදුනි, මා බේරා ගන්න" යනුවෙන් අයැදීම වන අතර එ් අනුව අප ගලවාගනු ඇත්තේය යන උදාසීන අරුතක් එහි ගැබ්ව ඇති බැවිනි. බුදු දහම එවැන්නක් නොවේ. මම "ආරක්ෂිත දිශානතිය" යන යෙදුම භාවිතයට වඩාත් කැමති වෙමි. එහිදී බුද්ධ, ධර්ම හා සංඝ යන ත්‍රිවිධ සංකල්ප තුළින් අප යා යුතු ආරක්ෂිත දිශානතිය දක්වන අතර එමග යාම තුළ අපටද බුදුන් වහන්සේ සාක්ෂාත් කරගත් දේම සාක්ෂාත් කරගත හැක. බුදුන් වහන්සේ විසින් අපගේ ආරක්ෂාව පිණිස වූ ක්‍රමයක් දේශනා කරන ලද්දේ වුවද, අප විසින් එය ක්‍රියාවට නැගිය යුතුවේ. ඵලය සාක්ෂාත් කරගනු පිණිස අප දරන ප්‍රයත්නය මගිනි අපට දුකින් ආරක්ෂා වීමට උපකාර සැලසෙනුයේ.

ධර්ම රත්නය

ගැඹුරුම ධර්ම රත්නය හෝ රන් ආභරණය ඈ ලෙස ඔබ කැමති ආකාරයට පැවසිය හැකි දෙය පිළිබඳ කථා කිරීමේදී, රත්නය යන වදනෙහි තිබ්බතීය පරිවර්තනයට අනුව එය වූකලි දුර්ලභ හා වටිනා දෙයකි. සත්‍ය නැවතුම් සම්බන්ධ සැබෑ ස්වභාවය, එ්වා අප වෙත ළඟාකර දෙන්නාවූ හා එමගින් ඇති කෙරෙන සත්‍ය මාර්ග චිත්තයන් සාක්ෂාත් කරගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කරන්නෙමු. මේවා අප විසින්ම සාක්ෂාත් කරගත යුතු දේවල් වන බැවින් පළමුව එ්වා සාක්ෂාත් කරගත හැකි‌ දේය යන කරුණ එ්ත්තු ගත යුතුය. දෙසත්‍යය හා චතුර් සත්‍යය පිළිබඳ අපගේ සාකච්ඡාව තුළින්, විමුක්තිය හා බුද්ධත්වය නමින් යුත් දේ පවත්නා අතර අපට එ්වා සාක්ෂාත් කරගත හැකි බව වටහා ගැනීමට උපකාරයක් ලැබේ.

බුද්ධ රත්නය

බුදුවරුන් යනු පූර්ණ වශයෙන් විමුක්තියද ඉන් පසු බුද්ධත්වයද සාක්ෂාත් කරගත් උත්තමයෝ වෙති. එතුළට හුදෙක් ශාක්‍යමුනි බුදුරජාණන් වහන්සේ පමණක් නොව සෙසු බොහෝ බුදුවරුද ඇතුළත් වේ. එම තත්ත්වය අපටම සාක්ෂාත් කරගත හැකි ආකාරය උන් වහන්සේලා විසින් දේශනා කොට දක්වන ලදී. උන් වහන්සේලාගේ දේශනා ක්‍රම දෙකකි: එනම් උන් වහන්සේලාගේ වැටහීම හා අවබෝධය මත පදනම්ව සිදු කරන දේශනාවන් හා චරිත ආදර්ශය ලෙසිනි. මෙය වැදගත් කරුණක් වනුයේ අපට සෙස්සන් හට යමක් ඉගෙනීම සඳහා උපකාර කළ හැක්කේ වාචිකව කරනු ලබන දේශනාවන්ගෙන් පමණක් නොව එසේ දේශනා කරනු ලබන දෙය නියෝජනය කරන ජීවමාන ආදර්ශයන් ලෙසද පෙනී සිටීමෙන්ද එය කළ හැකි බව එමගින් පෙන්නුම් කරනු ලබන බැවිනි. ධර්මය යනු අපට දුරස්ථ වූ යම් දේශනාවක් නොව පුද්ගලයන් හට, අප හට, සැබෑ ජීවිතය තුළින් ගෙනහැර දැක්විය හැකි දෙයකි.

සංඝ රත්නය

ආර්ය සංඝ නමැති මෙකී තෙවන රත්නය අවශ්‍ය වන්නේ මන්ද යන පැනය ඇතැමුන් තුළ ඉස්මතුවනු ඇත. නිසැකවම බුද්ධ හා ධර්ම යන දෙරත්නය ප්‍රමාණවත් නොවේද? සංඝ යන්න තුළ භික්ෂු භික්ෂුණීන්ද නියෝජනය වන නමුදු සැබෑ සංඝ රත්නය එය නොවේ. පිළිම හා රූප තුළින් බුදුන්ද පොත්පත් මගින් ධර්මයද නියෝජනය වන නමුදු, එ්වා හුදෙක් නියෝජනයන් පමණක් වන්නාක් මෙනි. බුද්ධ, ධර්ම හා සංඝ රත්නයන් නියෝජනය වන දේ වශයෙන් ඉහත කී පිළිම, පොත්පත් හා භික්ෂූන් හා භික්ෂුණියන්ද මගින් ගෞරවය දැක්වීම සඳහා අප වෙත යම් ඉලක්කයක් ලබාදෙනු ලබයි. මක් නිසාද, අභෞතික හා දුරස්ථ සංකල්පීය දේ කෙරෙහි ගෞරවය දැක්වීම පහසු කටයුත්තක් නොවන බැවිනි. එ් අනුව එ් සියල්ල තුළ ගැබ්වූ වඩා ගැඹුරු අර්ථයක් පවතී.

සංඝ රත්නය ඉතා වැදගත් වේ. සංඝ යන්නෙන් දෙසත්‍යය මත පදනම්ව චතුරාර්ය සත්‍යය අසංකල්පීය වශයෙන් දැක ඇති ආර්යයන් වහන්සේලා හැඳින්වේ. මේවා අසංකල්පීය ලෙස හඳුනා ගන්නා බැවින් උන් වහන්සේලා විසින් යම් මට්ටමක සැබෑ නිරෝධයක්ද, යම් මට්ටමක සැබෑ මාර්ග චිත්තයක්ද සාක්ෂාත් කරගෙන ඇත්තේ වුවද එය පරිපූර්ණත්වයට පත්කරගෙන නොමැත. පිළිවෙලින් වඩ වඩාත් උසස් මට්ටමේ ආර්යයන් වහන්සේලා විසින් ඉහත කී අවබෝධයන් දෙකම වැඩි ප්‍රමාණයකින් සාක්ෂාත් කරගනිති. අවසන විමුක්තියද ඉනික්බිති අර්හත්වයද ලබති. ආර්ය සත්‍යය ලෙස හැඳින්වෙන මෙම සත්‍යයන් වූකලි ආර්යයන් වහන්සේලා හෙවත් යථාර්ථය පිළිබඳ අසංකල්පීය හඳුනා ගැනීමක් අති උතුමන් විසින් සත්‍ය ලෙස දකින්නා වූ දෙය වේ. මෙමගින් අප වෙත පහත කරුණු ප්‍රකාශ කෙරේ:

  • මේ සියල්ල දැක සැබෑ නිරෝධය හා මාර්ග චිත්තයන් සාක්ෂාත් කරගනුයේ බුදුවරුන් පමණක් නොවේ. තවද, එය ක්‍රමික ක්‍රියාවලියකි.
  • විමුක්තිය හෝ බුද්ධත්වය සාක්ෂාත් කරගැනීමට පෙර පවා සැබෑ දුකෙහි විවිධ පැතිකඩයන්ගෙන් ඉවත්වී මිදී යාමේ කාර්යය ආරම්භ කරන්නෙමු. මක් නිසාද, විවිධාකාර මට්ටමින් පවත්නා එ්වාහි සැබෑ හේතූන්ගෙන් අප මිදීම ලබන බැවිනි. 

විමුක්තිය හා බුද්ධත්වය යනු බුදුවරයෙකු හෝ විමුක්ති ලාභියෙකු වීමට කලකට පෙර සිටම ආරම්භ වන්නාවූ ක්‍රමික ක්‍රියාවලීන් වේ. ආර්යයන් වහන්සේලා හට ගැටලු ආදිය තවදුරටත් පවත්නා අතර ඔවුන් අතුරින් ඇතැමෙකු පාලනයකින් තොරව නැවත නැවතද සිදුවන පුනරුත්පත්තියෙන් මේ දක්වාද මුළුමනින්ම මිදී නොමැති නමුදු එයින් යම් තරමක් මිදී ඇති බැවින් බුදුවරුන් වහන්සේලාට වඩා උන් වහන්සේලා පිළිබඳව කථා කිරීම වඩාත් පහසු වේ.

උන් වහන්සේලා විසින් අනුගමනය කරනු ලබන ආරක්ෂිත දිශානතිය පියවරෙන් පියවර අනුගමනය කරන්නේ නම් අපටද එම විමුක්තිය හා බුද්ධත්වය නමැති අවසන් අරමුණුවලට ළඟා විය හැක්කේය යන දිරිය හා ආභාසය ආර්ය සංඝ රත්නය විසින් ලබාදෙනු ලබයි. අපට එම මුළු දුරම ගමන් කළ නොහැකි වුවද, දුක ඇති කරන නොදැනුවත්භාවයෙන් යම් තාක් දුරකට මිදෙනු ඇති බැවින්, සම්පූර්ණ ගමනාන්තය දක්වා යා නොහැකි වුවද අවස්ථාවට අනුව දුකින් යම්තාක් දුරකට මිදිය හැකිවනු ඇත. හුදෙක් එය යථාර්ථය පිළිබඳ පූර්ණ අවධානයක් කොතරම් දුරකට පවත්වාගත හැක්කේද යන කරුණ මත රඳා පවත්නකි. ඔබ තවදුරටත් ආර්යයන් වහන්සේ කෙනෙකු නම්, ඔබට සියලු අවස්ථාවන්හි අවධානය පවත්වාගත නොහැකි නමුදු බුදුවරයෙකු හට එය කළ හැකිය.

විමුක්තිය හා බුද්ධත්වය යනු එකම කරුණ නොවේ. විමුක්තිය යනු පාලනයකින් තොරව නැවත නැවතද සිදුවන පුනරුත්පත්ති තත්ත්වයෙන් මිදෙන අවස්ථාවයි. එනම්, අර්හත්වයට හෙවත් විමුක්තියට පත්වන අවස්ථාවයි. බුද්ධත්වය යනු කැළඹිලිකාරී භාවයන් හා අපගේ පැවැත්ම පිළිබඳ නොදැනුවත්භාවය නමැති භාවමය අපහැදිලිතාවයන්ගෙන් පමණක් නොව නොකඩවා පවත්නා බුද්ධිමය අපැහැදිලිතාවයන් හෙවත් නොදැනුවත්භාවය පිළිබඳ පුරුදුවලින්ද නිදහස් වන අවස්ථාවයි.

වෙනත් අයුරකින් ප්‍රකාශ කරන්නේ නම්, සිදුවිය නොහැකි දේ පිළිබඳව අපගේ සිත් තුළ පවත්නා ප්‍රක්ෂේපණයන් විශ්වාස කිරීමේ ගති පුරුදු හේතුකොට අපගේ චිත්ත ක්‍රියාකාරිත්වය මගින් එකී ප්‍රක්ෂේපණයන් නොකඩවා ඇති කරන අතර අප විසින්ද නොකඩවාම එ්වා යථාර්ථවාදී බව විශ්වාස කරයි. මෙතුළිනි අපගේ කැළඹිලිකාරී භාවයන් පැණ නැගෙනුයේ. මෙකී රැවටිලිකාරී දර්ශනයන් යථාර්ථවාදී එ්වා බවට විශ්වාස කිරීම නවතාලන අවස්ථාවේදී අපි විමුක්තිය ලබන්නෙමු. එ් සියල්ල හුදෙක් කුණු කන්දල් වන අතර දේවල් මෙයාකාරයෙන් දිස්විය හැකි නමුදු, එ්වාහි සැබෑ ස්වභාවය එය නොවන බව වටහා ගන්නෙමු. අපගේ දැක්ම තවදුරටත් සීමිත විය හැකි අතර දේවල් රාමු තුළ ස්වාධීනව පවත්නා ආකාරයක් දැකීමේ නැඹුරුතාවයක් අප තුළ තවදුරටත් පැවතිය හැක. එසේ වුවද, දේවල සැබෑ ස්වභාවය එය නොවන බවද එහිදී අපි දැනුවත්ව සිටින්නෙමු.

න්‍යෂ්ටික භෞතික විද්‍යාවේ ඉතා සරල මට්ටමකදී වුවද, න්‍යෂ්ටීන් හා බල ක්ෂේත්‍ර ආදිය හමුවේ. එසේ වුවද, "වස්තුව පවතින්නේ මෙම ඉරෙන් මෙපිටයි, එපිට නොවේ" යනුවෙන් පැවසෙන පරිදි කිසිදු වස්තුවක් වටා ගණ රේඛාවක් නොපවතී. දේවල් අපට පෙනෙන තරම් ග්‍රහණය කරගත හැකි දේ නොවේ. මෙකී රැවිටිලිකාර පෙනුම් නිර්මාණය කරවීම සඳහා අප යොමු කරන්නාවූ හඳුනා ගැනීමේ අපැහැදිලි ස්වභාවයන්ගෙන් මිදුනහොත්, එවිට සිත එ්වා ප්‍රක්ෂේපණය කිරීම නවතාලන අතර එ් අවස්ථාවේදී අපි බුද්ධත්වයට පත් වන්නෙමු. බුද්ධත්වයට පත්වූ කල්හි, සියල්ල තුළ පවත්නා අන්තර් සම්බන්ධතාවය එක්වරම නිරපේක්ෂව දකින්නෙමු. මෙමගින් අන් අය ඔවුන්ගේ විමුක්තිය හා බුද්ධත්වය කරා යොමු කළ හැකි වඩාත් කුසලතා පූර්ණ විධික්‍රමය අවබෝධ කරගැනීමේ අවකාශය සලසාලනු ඇත.

ආර්යයන් වහන්සේලා පිළිබඳව කථා කරන විටදී හුදෙක් බුද්ධත්වයට පත්වීමේ අරමුණින් පිළිවෙත් පුරන්නාවූ බෝධිසත්ත්ව ආර්යයන් වහන්සේලා පිළිබඳව පමණක් කථා නොකරමු. විමුක්තිය පමණක් අරමුණු කොටගෙන පිළිවෙත් පුරන්නාවූ ආර්යයන් වහන්සේලා පිළිබඳවද කථා කරන්නෙමු. ආරක්ෂිත දිශානතිය නමැති සන්දර්භය තුළ ත්‍රිවිධ රත්නය පිළිබඳව කථා කරන විටදී, හුදෙක් විමුක්තිය පමණක් අරමුණු කරන්නාවූ ආර්යයන් වහන්සේලා පිළිබඳව පමණක් හෝ විමුක්තිය හා බුද්ධත්වයද අරමුණු කරන ආර්යයන් වහන්සේලා පිළිබඳවද කථා කරන අතර, එ් අනුව එය බුද්ධත්වය ප්‍රාර්ථනා කරන බෝධිසත්ත්වයන් වහන්සේලාට පමණක් සීමා නොවේ.

ත්‍රිවිධ රත්නය පිළිබඳ දැඩි වැටහීමක් ගොඩනගා ගැනීම

සංසාරයේ අප ඇලී සිටින්නාවූ ආකාරය හා අපට ඉන් මිදීමට හැකි තත්ත්වය නම් වූ දෙසත්‍යය හා චතුර් සත්‍යය වටහා ගන්නේ නම්, එවිට ගැඹුරුම ධර්ම රත්නය සැබෑ ලෙසම පවත්නා අතර එය සත්‍යයක්ය යන කරුණ දැඩි සේ එ්ත්තු ගන්නෙමු. සිදු නොවිය හැකි දේ පිළිබදව වූ අපගේ රැවටිලිකාරී දර්ශනයන් ඇති කරන්නාවූ ව්‍යාකූලත්වය වූකලි අපගේ මානසික ක්‍රියාකාරිත්වයෙහි සහජ ලක්ෂණයක් නොවන බව ඉතා පැහැදිලිව වටහා ගන්නෙමු. එ් මන්ද? නොදැනුවත්භාවය පිළිබඳ පූර්ණ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය කෙරෙහි අවධානය යොමු කරන විටදී ඉන් මිදිය හැකිවන බැවිනි.

වෙනත් ආකාරයකින් ප්‍රකාශ කරන්නේ නම්, දේවල් පවත්නා ආකාරය සම්බන්ධ දෙසත්‍යය පිළිබඳ දැනුවත්භාවය මත අවධානය යොමුකරන විටදී, රැවටිලිකාර දර්ශනයන් දිස් නොවන අතර ඔබ නිසැක වශයෙන්ම එ්වා විශ්වාස නොකරන්නෙක්ද වෙයි. මෙම දැනුවත්භාවය හෙවත් සැබෑ මාර්ගය මත අවධානය පූර්ණ වශයෙන් පවත්වා ගැනීමට හැක්කේ නම්, එවිට තර්කානුකූල සැබෑ නැවතුමක් හෙවත් නිරෝධයක් සාක්ෂාත් කරගත හැක. මෙය යථාර්ථය හා අනුගත වන අතර එමගින් මෙම ඵලය ඇති කරන්නේය යන කරුණ ඔබට විමසා බැලිය හැක. තවදුරටත් ඔබට අසතුට හා සාමාන්‍ය සතුට අතර වූ පෙරකී ඉහළ පහළ යාමේ දුක නොපවතිනු ඇති අතර, පාලනයකින් තොරව නැවත නැවතද ඇතිවන පැවැත්මද සිඳී යනු ඇත.

එම අදහසට විරුද්ධ වෙමින් "නොකඩවා නොදැනුවත්භාවය යන කරුණ කෙරෙහි අවධානය යොමුකරගෙන සිටියහොත් වැටහීම හෝ දැනුවත්භාවය නොලැබෙනු ඇත" යි ඔබට පැවසිය හැක. එසේ නම්, වඩාත් බලවත් කවරක්ද - යථාර්ථවාදී නොවන නොදැනුවත්භාවය තුළින් අවධානය පවත්වාගෙන යාමද, නොඑසේ නම්, යථාර්ථවාදී වන්නාවූ දැනුවත්භාවය කෙරෙහි අවධානය පවත්වාගෙන යාමද?

මෙම කරුණ විග්‍රහ කොට බැලුවහොත්, නොදැනුවත්භාවයට සහාය දක්වන්නාවූ සැලකිය යුතු තරම් වූ කිසිවක් නොමැති වුවද, නිවැරදි වැටහීම යන කරුණට තර්ක ඥාණයෙහි සහාය ලැබෙන බව අපට පෙනී යනු ඇත. දේවල් හේතු ප්‍රත්‍ය මගින් ඉස්මතුවන අතර එ්වා ස්වායත්ථව හා ආකස්මිකව ඉස්මතු නොවේ. සැම කල්හි නිවැරදි වැටහීමක් සහිතව අවධානය යොමුකරගෙන සිටියහොත්, එමගින් නියමිත ප්‍රතිඵලය ඇති කරවනු ලබයි: එනම්, අපට තවදුරටත් දුක හෝ සාංසාරික පුනරුත්පත්තිය අත් විඳීමට සිදු නොවනු ඇත.

මෙමගින් අප නැවතද චතුරාර්ය සත්‍ය දෙසට ගෙන යනු ලබයි. අප ඉලක්ක කරනුයේ කවරක්ද? අපට සදාකල්, සැමදා දුක් විඳීමට අවශ්‍යද? එසේ නම්, අපට නොදැනුවත්භාවය මත අවධානය යොමුකරගෙන සිටිය හැකි අතර දුකද එ් අනුව අප තුළ පවතිනු ඇත; එය එතරම් සරල සූත්‍රයකි. ඔබට අවශ්‍ය එයනම් එය ලබාගත හැක. නොඑසේව, බෞද්ධ ආධ්‍යාත්මික මාර්ගයේ අරමුණ පරිදි ඔබට ඉන් මිදීමට අවශ්‍ය වන්නේ නම්, යථාර්ථය මත පදනම්ව දැනුවත්භාවයක් සහිතව අවධානය පවත්වාගත හැක්කේය යන කරුණ හොඳින්ම පැහැදිලි වේ. 

සරණය පිළිබඳ මාතෘකාවට පිවිසීමේ මෙම මාර්ගය වලංගු වැටහීම තුළින් ඇතිවන අතර, ඉන්පසු තිසරණය යනු සත්‍ය දෙයකි යන අපගේ එ්ත්තු ගැනීම තවදුරටත් ශක්තිමත් වේ.  "මාගේ ගුරුතුමා පැවසූ නිසාවෙන්" ඇතිවන විශ්වාසය හේතුකොට මෙම මාර්ගයෙහි ගමන් කළහොත් දුකින් මිදෙනු ඇත යන බලාපොරොත්තුවක් හෝ උපකල්පනයක් තවදුරටත් අප තුළ නොමැත. එය දැන් වලංගු වැටහීම, තේරුම් කළ හැකි වැටහීම හා තර්කණ ඥානය මත පදනම් වේ.

වලංගු වැටහීමක් ඇතිවීමේ විධි දෙකකි - එනම් තර්කණ ඥාණයෙන් හා දේවල් අසංකල්පීය ලෙස දැකීමෙන්, ඇසීමෙන් හෝ අත්දැකීමෙන් ඈ ලෙස එන හුදු දැකීම තුළින් වශයෙනි. මෙම දෙවන වර්ගයේ වැටහීමේදී පවත්නා ගැටළුව නම්, එය තමා විසින්ම අත්දකිනු පිණිස ඔබ බොහෝ සෙයින් උසස් තත්ත්වයකට පත්විය යුතු අතර, එ් අනුව වලංගු වැටහීම සඳහා වූ පදනම ලෙස අනුමානයෙන් කාර්යය ආරම්භ කළ යුතුය.

ආධ්‍යාත්මික මාර්ගයේ ඉදිරියට ගමන් කිරීම

දැන්, සිවුවන පේළිය සලකා බලමු:

විමුක්තිය කරා ගෙනයන්නාවූ මෙම මාර්ග චිත්ත මූලය පැළ කරවන්නට මා හට අනුප්‍රාණය ලබා දෙන්න .

විමුක්තිය කරා වූ මාර්ග චිත්තයන් පිළිබඳව කථා කිරීමේදී, එය බො‌හෝ ආකාරයන්ගෙන් ඉදිරිපත් කළ හැක. තිබ්බතීය "ලම්-රිම්" (ශ්‍රේණිගත අදියරයන්) යන වදනින් සාමාන්‍යයෙන් හැඳින්වෙන අභිප්‍රේරණයේ විෂය පථයන් තුන එ් අතරින් එකක් වේ. මෙම ශ්‍රේණිගත අදියරයන් වූකලි ප්‍රගතිශීලී අරමුණු තුනකි:

  • පළමු විෂය පථය වනුයේ වඩා අයහපත් පුනරුත්පත්තීන් වළකාලමින් වඩා යහපත් පුනරුත්පත්තීන් ලබාගැනීමයි. ආධ්‍යාත්මික මාර්ගයේ කටයුතු නොකඩවා සිදුකරගෙන යාමට හැකිවනු පිණිස අවශ්‍ය ප්‍රශස්ත තත්ත්වයන් ඇතිකර ගතයුතු වන බැවින් දුකින් අඩුවූ  හා වඩා යහපත් පුනරුත්පත්තීන් අවශ්‍ය වේ. කැරපොත්තෙකු ලෙස පුනරුත්පත්තිය ලැබුවහොත්, ආධ්‍යාත්මික සංවර්ධනය උදෙසා අපට එතරම් දෙයක් කළ නොහැකි වනු ඇත. වඩාත් අයහපත් පුනරුත්පත්තීන් වළක්වාලනු පිණිස, සාපේක්ෂ සත්‍යය හෙවත් හේතු ඵල දහම පිළිබඳ අපගේ චිත්ත ව්‍යාකූලත්වයෙන් මිදිය යුතුය. වඩා අයහපත් තලයන්හි පුනරුත්පත්තීන් ඇති කරන ප්‍රධාන හේතු කාරකය වනුයේ පාප ක්‍රියාවන් වන අතර අපි අපගේ ක්‍රියාවන්හි ප්‍රතිවිපාක නොදන්නා බැවින් හෝ එ්වා අපගේ සතුටට හේතුවනු ඇතැයි යන අපගේ සිතිවිල්ල හේතුකොටගෙන පාපකාරී ක්‍රියාවන්හි නිරත වන්නෙමු.
  • අන්තර්මධ්‍ය විෂය පථය වනුයේ අසතුට, අපගේ සාමාන්‍ය සතුට හා මෙම දෙකෙහි පදනම වන පාලනයකින් තොරව නැවත නැවතද සිදුවන පුනරුත්පත්තිය වශයෙන් වූ සමස්ත ත්‍රිවිධාකාර දුකින්ම විමුක්තිය ලැබීම අරමුණු කිරීමයි. මෙය සිදු කිරීම පිණිස ශූන්‍යතාවය වටහා ගනිමින් ගැඹුරුම සත්‍යය පිළිබඳ ව්‍යාකූලත්වයෙන් මිදිය යුතුවේ. සත්‍ය වශයෙන්ම, සියලු කල්හි සමස්ත චතුරාර්ය සත්‍යයම පිළිබඳ වැටහීමක් ලබාගත යුතුය. එ් සියල්ල පිළිබඳ එකම විට අවධානය යොමුකරගෙන සිටීම ඉතා දුෂ්කර කාර්යයක් වන බැවින් අප තවදුරටත් ඉදිරියට ගමන් කළ යුතුවේ. 
  • හැකි යහපත්ම ආකාරයෙන් සියලු දෙනා හට උපකාර කළහැකි වනු පිණිස බුදුවරයෙකුගේ සර්වඥතා මට්ටම සාක්ෂාත් කරගැනීම උසස් විෂය පථයයි. ගැඹුරුම සත්‍යය පිළිබඳ අවධානය පිහිටුවාගෙන සිටින අතර, සාපේක්ෂ සත්‍යය පූර්ණ වශයෙන් වටහා ගන්නෙමු. බුදුවරයෙකු හට පමණි සියලු කල්හි මෙම දෙසත්‍යය පිළිබඳවම අවධානය පිහිටුවාගෙන නිරතුරුව වාසය කළ හැක්කේ.

"දෙසත්‍යයෙන් චතුර් සත්‍යයද; චතුර් සත්‍යයෙන් තිසරණයද" ලෙස වූ මෙම පේළිය පිළිබඳව වඩා ගැඹුරින් සලකා බලන්නේ නම්, එය ඉහත විෂය පථයන් තුනෙහි මූලය හා මෙම අරමුණුවලට යොමුවූ පිළිවෙත් වේ. එමගින් ප්‍රකාශ කෙරෙන පරිදි, එය මූලය නොවන අතර, මූලය බීජයක්ද නොවේ. මූලයක් හෙවත් මුලක් මගිනි පැළයකට ස්ථාවරත්වය හා ශක්තිය ලබාදෙනුයේ. අරමුණු තුන සාක්ෂාත් කරගත හැකි එ්වාය, එ්වා සැබැවින්ම පවතින්නේය හා එ්වා අපටම සාක්ෂාත් කරගත හැකි එ්වාය යන්න යථාර්ථයකි යන තර්කණ පදනම එ්ත්තු ගැන්වී පැවතියහොත්, එමගින් අරමුණ කරා යන සමස්ත ආධ්‍යාත්මික ගමන් මගට සහාය වන ස්ථාවරත්වයක් අපට ලබාදෙනූ ඇත.

වෙනත් ඉදිරිපත් කිරීම් තුළ සඳහන් වන ආකාරයට මෙම විෂය පථයන් තුනෙහි මූල හේතුව ආධ්‍යාත්මික ගුරුවරයා සමගින් පවත්වාගන්නා යහපත් සම්බන්ධතාවය බව ප්‍රකාශ වන අතර, මෙම කරුණ මූලික වශයෙන් සියලු ලම්-රිම් පාඨ ග්‍රන්ථයන්හි සටහන් වේ. අපි ගුරුවරයා වෙතින් අනුප්‍රාණය ලබන අතර මෙම අනුප්‍රාණය මගින් අරමුණ සාක්ෂාත් කරගැනීම දක්වා ශක්තිය හා බලය ලබාදෙන බැවින් මෙම යහපත් සම්බන්ධතාවය සමස්ත ආධ්‍යාත්මික මාර්ගයේ මූලය වේ.

නැවතද, ස්ථාවරව ආධ්‍යාත්මික මාර්ගයෙහි ගමන් කළ හැකි ආකාරය පිළිබඳ විචල්‍යයන් දෙකක් හමුවේ:

  • පළමුවැන්න වනුයේ අපගේ ආධ්‍යාත්මික ගුරුවරයා සමගින් පවත්නා සම්බන්ධතාවයෙන් ලබාගත් ශක්තිය හා අනුප්‍රාණය යොදාගැනීමයි. මේ මත පදනම්ව, මෙසේ වූ හේතු යුක්ති දැක්වීමේ මඟක් අනුගමනය කරන්නෙමු: "මාගේ ගුරුවරයා වලංගු තොරතුරු මූලාශ්‍රයකි. එබැවින්, බුද්ධත්වය සාක්ෂාත් කරගත හැක්කේයැයි මාගේ ගුරුවරයා පවසන දෙය නිවැරදිය. මාගේ ගුරුවරයා හුදෙක් එවැනි කථාවක් ගොතා කීමට කිසිදු හේතුවක් නොමැත". එ් අනුව මෙහි යම් ආකාර තර්කණයක් පවතී. එනමුදු බොහෝ අය එය භාවමය මට්ටමින් අත් විඳිති. එ් අනුව, ගුරුවරයා විසින් අප බොහෝ සෙයින් භාවමය වශයෙන් අනුප්‍රාණය කරන අතර ඉන් නිසි මග ගමන් කිරීම සඳහා අප හට විශ්මයජනක ශක්තියක් ලැබේ. එය බෝධිචිත්තය ගොඩනගා ගැනීමේ මාර්ග දෙකෙහි පළමුවැන්නට සමාන වේ. මෙමගින් අපි අන්‍යයන් වෙත උපකාර කිරීම සඳහා පෙළඹෙන සාපේක්ෂ බෝධිචිත්තය ගොඩනගා ගැනීමේ තත්ත්වයෙන් අරඹා ඉනික්බිති බෝධි චිත්තය සාක්ෂාත් කරගත හැක්කක්ය යන විශ්වාසය මත පදනම්ව එය සාක්ෂාත් කරගැනීම කරා ආකර්ශනය වන්නෙමු. එය සාක්ෂාත් කරගත හැක්කක්ය යන තර්කණය මගින් එ්ත්තු ගැනීම සිදුවනුයේ පසුවය.
  • අනෙක් අතින්, ගැඹුරුම බෝධිචිත්තය පළමුව ගොඩනගා ගන්නා පිළිවෙත් මාදිලිය පිළිබඳව සිතා බලන විටදී, පැදි පෙළෙහි විස්තර කර ඇති ආකාරයෙන් ශූන්‍යතාවය එත්තු ගන්නෙමු. පළමුව එය සාක්ෂාත් කරගත හැක්කක්ය යන්න එ්ත්තු ගන්නා අතර ඉනික්බිති අපගේ හදවත් ආදිය විවර කරගනිමින් බුද්ධත්වය සාක්ෂාත් කරගැනීම කරා සැබෑ ලෙසම කටයුතු කිරීමේ භාවමය පාර්ශ්වයට අදාල කටයුතු කරන්නෙමු.

මෙම ක්‍රම දෙකම ආධ්‍යාත්මික මාර්ගය කරා ප්‍රවේශ වීමේ වලංගු ක්‍රමයන් වන අතර එ් සියල්ල අපගේ විෂය පථය හා ධාරිතාවය මත රඳා පවතී. ඉතා තියුණු ඉන්ද්‍රිය බලයන් හා බුද්ධිමය මට්ටම් සහිත අයට තාර්කික කරුණු ඉදිරිපත් කිරීම් මත රඳා පැවතීම ඔවුනගේ පෞරුෂයට වඩාත් යෝග්‍ය බව හඳුනාගනු ඇති අතර, එතරම් තියුණු මට්ටම්හි නොවන අය වඩාත් භාවමය මට්ටමින් කටයුතු කළ යුතු බව පාඨ ග්‍රන්ථයන්හි විස්තර කර ඇත. මෙම දෙවනු කී කණ්ඩායමට වඩාත් යෝග්‍ය වනුයේ ගුරුවරයා වෙතින් ලත් ආභාසය හා ආදරය සහ කරුණාව ලෙස වැඩි වර්ධනය කරගත් භාවය මත රඳා පවතිමින් කටයුතු කිරීමයි.

බොහෝ ආකාරයන්ගෙන් මෙම ප්‍රවේශයන් දෙකම සමබරව පවත්වාගෙන යාම යහපත්ය යන්න මාගේ අදහසයි. අපට මේ අතරට භක්තිමය පැතිකඩක් සහිත තෙවැන්නක්ද එක්කළ හැක. ඇතැම්හූ වසර දහස් ගණනාවක් පුරා පිළිවෙත් පුරන්නන් විසින් පූරණය කරන ලද වත් පිළිවෙත්වලට සහභාගි වීමෙන් හා එ්වා සිදු කිරීමෙන් බුද්ධත්වය කරා වූ මාර්ගය අනුගමනය කිරීම සඳහා ආභාසයක් ලබති. අපට බෞද්ධ මාර්ගයට යම්කිසි නිශ්චිත ආකාරයකට පිවිසීම වඩාත් පහසු වන බැවින්ම එම මාර්ගයට ප්‍රවේශ වීමේ සෙසු මාර්ගයන් හෙළා නොදැකිය යුතුය. අප හා අපගේ විභවයන් පූර්ණ වශයෙන් වැඩිදියුණු කරගැනීමට අවශ්‍ය වන්නේ නම්, මෙම ප්‍රවේශ තුනම සමබර කරගත යුතුය.

මෙයයි පරම පූජනීය දලයි ලාමා වහන්සේ විසින් සිදුකරන ලද එකී නිශ්චිත යැදුම තුළ එන මෙම පැදියේ මූලික කරුණු ඉදිරිපත් කිරීම. මාගේ ගුරුතුමා විසින් නිතර පැවසූ පරිදි, දෙනකගෙන් කිරි දොවන්නාක් මෙන් මෙම කෙටි පැදි තුළින් බොහෝ වූ අරුත් දොවාගත හැක.

ප්‍රශ්න හා පිළිතුරු

චතුරාර්ය සත්‍යය ප්‍රායෝගික භාවිතය

මාගේ මිතුරකු නිරන්තරයෙන්ම දුක් වන්නේ නම්, සන්සුන් වන්න හා ඕවා එතරම් ගනන් නොගන්නැයි ඔහුට පැවසිය හැක. එය අපටම මෙන්ම අන් අයටද දිය හැකි සිහිපත් කිරීමකි. එසේ වුවත් මා ආත්මාර්ථකාමීව අන් අය සමගින් කටයුතු කරන විටදී තත්ත්වය කුමක්ද? මාගේ ආත්මාර්ථකාමී චිත්තය පිළිබඳ චිත්ත ප්‍රක්ෂේපණය හා යථාර්ථය පවත්නේ කවර ස්ථානයකද යන්න මා හට අමතක නොවන පරිදි භාවිත කළ හැකි යම් මන්ත්‍රයක් හෝ සිහිපත් කිරීමක් පවත්නේද?

මහා තිබ්බතීය ගුරු ෂොංඛපාට අනුව, ශූන්‍යතාවය පිළිබඳව අසංකල්පීයව අවධානය යොමු කොටගෙන සිටින කල්හි හැර, අපගේ මානසික ක්‍රියාකාරිත්වය විසින් ප්‍රායෝගික නොවන පැවතුම් ආකාර ප්‍රක්ෂේපණය කරයි. එම ගැඹුරු භාවනාවේදී හැර අන් අවස්ථාවන්හි ප්‍රතික්ෂේප කළ යුතුවන වස්තුව වනුයේ අපගේ අත්දැකීමට අදාළ සෑම අවස්ථාවක්ම වේ.

අප දක්නා වංචනික දර්ශනයන් බිඳ හෙළීමට උපකාරී විය හැකි බොහෝ කුඩා දේ පවතී. ප්‍රයෝජනවත් වන එක් රූපකයක් වනුයේ මනෝ ලොව "බැලූනය පුපුරුවා හැරීමයි". එසේ වුවද, කටුව අතැති "මමෙකු" මෙහිද මහා බැලූනය එහිද පවතින අතර, "මා" ගොස් බැලූනය පුපුරුවා හැරීමක් වැනි දෙයක් එහි නොමැති අතර එය ‌දෙබිඩි නොවන ආකාරයකින් සිදු කළ යුතුය. එනම් හුදෙක් දෙවල්හි පැවැත්ම අතිශයෝක්තියෙන් ගැනීම නම් වූ බැලූනය පිපිරෙන බවයි. මෙහි රැවටිලිකාර දර්ශනය "ඔයා හරිම සවුත්තුයි" හෝ "මං දැන් ඉන්නෙ හරිම සවුත්තු තත්ත්වෙක" යන්නක් විය හැක. මෙහිදී සියලු හේතු ප්‍රත්‍ය හා එයට සමාන අත්දැකීම් සහිත අන් සියල්ලන්ද සහිත සන්දර්භය තුළ අපි එය නොදකින්නෙමු. එවිට "අනේ පව් මං" ලෙස සිතන්නෙමු. හුදෙක් මේ සියල්ල පිපිරී යන බව සිතා ගන්නෙමු.

වෙනත් රූපකයක් ගෙන බලන්නේ නම් විවරව ඇති පොතක් ගනිමු. එහි එක් පිටක "මේ දුක විඳින අසරණ මා " සිටින අතර අනෙකෙහි අපට පාලනය කළ නොහැකි අයහපත් තත්ත්වය පවතී. එය අමිහිරි හා භයානක සුරංගනා කථාවක් වැනිය. අප තුළ පවත්නා පොත අවසන් වන මනෝ චිත්‍රය වූකලි සුරංගනා කථාවේ අවසානයයි. වෙනත් පාරිභාෂික වචනයකින් ප්‍රකාශ කරන්නේ නම්, එය දෙබිඩි බව නමැති පොත අවසන් කිරීම ලෙස දකින්නෙමු.

ඔබට මන්ත්‍රයක් අවශ්‍ය වන්නේ නම්, අප‌ට දිස්වන දෙය හුදෙක් කුණු කන්දලක් බව සිහි තබාගනු පිණිස "ජරාව" හෝ "කුණු' ලෙස පැවසිය හැක. ප්‍රධාන ගැටළුව වනුයේ සිහි තබාගැනීමට සිදු වීමයි. අපට එය වඩාත් අවශ්‍ය වන අවස්ථාව වුනයේ දැඩි කැළඹිලිකාරී භාවයක් අත්දකින අවස්ථාවයි. තිබ්බතීයයන් විසින් භාවිත කරනු ලබන උදාහරණය වනුයේ ඔබ යම් කිසි කටයුත්තක් සිදුකළ බවට ඔබට එරෙහිව චෝදනා කරන අවස්ථාවකදී "අනේ මං එහෙම කළේ නෑනෙ. ඔයා හිතන්නේ මං බොරු කාරයෙක් හරි හොරෙක් හරි කියලද?" යන දැඩි හැඟීමයි. දැඩි මමෙකු පිළිබඳ තදබල හැඟීම මෙහිදීද පැන නගී.

බුදු දහම හා සෙසු ධර්ම ආගම් අතර පවත්නා වෙනස

සෙසු ධර්මාගම් පවත්නා අතර ගැටළු පවත්නා අතර ගැටළුවලින් විමුක්තියක්ද පවත්නා බව එ් එක එකක් තුළද ඉගැන්වෙන බව ඔබ පැවසුවා. සෑම ආගමක්ම තම ක්‍රමය වඩාත් යහපත් එක බව පවසනු ඇත. එ් අනුව මෙම දෘෂ්ටි කෝණයෙන් බුදු දහම තුළ පවත්නා නිශ්චිත දෙය කවරක්ද යන්න විග්‍රහ කළ හැකිද?

ඔබ නිවැරදියි. බුදු දහම හා ජෛනාගම වැනි සියල්ල තුළ පාලනයකින් තොරව නැවත නැවතද සිදුවන පුනරුත්පත්ති තත්ත්වයෙන් විමුක්තිය උදාකරගැනීම පිළිබඳ කථා කරන අතර විමුක්ති තත්ත්වය කවරක්ද යන්නද විස්තර කරනවා. එ් සැම තුළ තමා විස්තර කරන අකාරයට යථාර්ථය වටහා ගැනීම මගින් විමුක්තිය සාක්ෂාත් කරගැනීමේ මාර්ගයද ප්‍රකාශ කෙරෙනවා. මේ ආකාරයට බුදු දහමද සම්පූර්ණයෙන්ම භාරතීය ආගමක සන්දර්භයට ගැලපෙනවා. බුදු දහම තුළ සුවිශේෂත්වය වනුයේ චතුරාර්ය සත්‍යයයි. බුදු දහම තුළ දේශනා කෙරෙන ආකාරයට:

  • සෙස්සන් විසින්ද දුක යනු කවරක්ද යන කරුණ විස්තර කළ හැකි නමුත් බුදුන් වහන්සේ විසින් සැබෑ දුක පිළිබඳ දේශනා කරන ලදී;
  • යම් ආකාර නොදැනුවත්භාවයක් දුකට හේතුව ලෙස අන් අය විසින් ප්‍රකාශ කළ හැකි නමුත් බුදුන් වහන්සේ විසින් සැබෑ හේතුව වන ගැඹුරුම නොදැනුවත්භාවය පිළිබඳ සාකච්ඡා කරන ලදී.
  • සැබෑ නැවතීමක් වශයෙන් අන් ආගම් තුළ සැලකෙන දෙය තුළ සදාකාලිකත්වයක් නොමැත, හෙවත් එ්වාහි සම්පූර්ණ මිදීමක් නොමැත.
  • අන් ආගම් තුළ සාකච්ඡා කෙරෙන වැටහීම මගින් ඔබ යම් මට්ටමකට ගෙනයා හැකි නමුදු, එය විමුක්තිය කරාම ඔබ රැගෙන යා හැකි සැබෑ මාර්ග චිත්තයක් නොවේ.

ස්වභාවිකවම අන් සියල්ලන් විසින් බුදු දහම පිළිබඳවද එයාකාරයේ ප්‍රකාශයක් සිදුකළ හැකි බැවින් යථාර්ථය කවරක්ද යන්න සැබැවින්ම විමර්ශනය කළ යුත්තකි. අප සළකා බැලූ පැදිය තුළ දුටු පරිදි, ආධ්‍යාත්මික මාර්ගය සඳහා වූ සම්පූර්ණ පදනම යථාර්ථය පිළිබඳ දැක්මයි. මෙය බුදු දහමට පමණක් නොව හින්දු හා ජෛන ආගම් සම්බන්ධයෙන්ද සත්‍ය කරුණක් වේ. මෙම කරුණ තර්කණ ඥානයෙන්, අත්දැකීමෙන් හා වැටහීමෙන් පරීක්ෂාවට ලක්කළ යුතුවේ.

මෙම දිවිය තුළ වඩා කාරුණික, දයාන්විත පුද්ගලයෙකු වීම සඳහා ආධ්‍යාත්මික මාර්ගය අනුගමනය කිරීම හා විමුක්තිය සාක්ෂාත් කරගැනීමේ අවශ්‍යතාවය අතර වෙනසක් පවතී. බුද්ධත්වය පිළිබඳව කථා කරන්නේ නම්, ඔබට තර්කණ පදනම මත විමර්ශනය කොට වඩාත් වලංගු වනුයේ කවර විග්‍රහයද යන්න විමසනු පිණිස විවාද කළ හැකි වේ. කෙසේ වුවද, ආධ්‍යාත්මික මාර්ග පිළිවෙත් පුරන බොහෝ දෙනෙකුම සැබෑ ලෙස විමුක්තිය ඉලක්ක කළ අය නොවේ. ඔවුන් විසින් තමා එසේ බව පැවසිය හැකි නමුත් ඉන් කවරක් අදහස් වන්නේද යන අදහසක් ඔවුන් තුළ නොමැති අතර, හුදෙක් මෙම ජීවිත කාලය තුළ සිය ජීවිතය වැඩිදියුණු කරගැනීමට උත්සාහ ගැනීමක් පමණක් සිදු කරති. එයද යහපත්ය. එහි කිසිදු වරදක් නොමැත.

එ් අනුව, පරම පූජනීය දලයි ලාමා වහන්සේ වෙතින් වඩාත් යහපත් ආගම කවරේද යන පැනය විමසූ කල්හි, උන් වහන්සේ පැවසුවේ වඩාත් යහපත් ආගම වන්නේ ඔබට පෞද්ගලිකවම වඩාත් කාරුණික හා දයාන්විත අයෙකු බවට පත්වීමට උපකාර කරන ආගම බවයි. පුද්ගලයින් එකිනෙකාට වෙනස්වන අතර එ් අනුව දයාව, කරුණාව, ඉවසීම, සමාව ලබාදීම ආදිය වැඩි වර්ධනය කරගැනීමේ මෙයට වැඩියෙන් වලංගු මාර්ගයක් පවත්නේ යැයි අපට පැවසිය නොහැක. බොහෝවූ විවිධාකාර ආගම්වලට අනුව එ්වා සමාන මට්ටමින් ගොඩනගාගත හැක. මෙයයි ආගමික සමගියේ පදනම.

ආධ්‍යාත්මික මාර්ගයෙහි ඉදිරියට ගමන් කරන ආකාරය

මාර්ගයේ දියුණුව ලබන ආකාරය පිළිබඳ විමසන්නට කැමතියි. සෝවියට් සමූහාණ්ඩුවේ ආර්ථික සංවර්ධනය සඳහා වූ පස් වසර සැලසුමක් පවතිනවා. ඇතැම් විට වල්මත් නොවනු පිණිස වසර තුනකින් හෝ පහකින් කළ යුතු දේ කවරක්ද යන්න පිළිබඳ කරුණ බෞද්ධ පිළිවෙත් පිරීම ආරම්භ කරන අය හට උපදෙස් දිය හැකියි.

අඩුම තරමින් මා පුහුණු වූ සම්ප්‍රදායන් තුළ වඩාත් පොදු හා විශ්වසනීය මාර්ගය වනුයේ ලම්-රිම් හෙවත් ශ්‍රේණිගත අදියරයන්ට අනුව කටයුතු කිරීමයි. ආධ්‍යාත්මික මාර්ගය තුළ ප්‍රගතිය ලබනු පිණිස අප විසින් වටහාගත යුතුවන, උකහාගත යුතුවන හා වැඩි වර්ධනය කරගත යුතුවන දෙය එතුළ පියවරින් පියවරට පෙන්වා දෙනවා.

ලම්-රිම් පිළිවෙත් පිරීමේ සම්ප්‍රදායික මාර්ගය වනුයේ ඔබ එක් ලක්ෂ්‍යයකට එළැඹෙන අතර ඊළඟ ලක්ෂ්‍යය කවරක්ද යන්න නොදැනුවත්වම ඔබ පළමු ලක්ෂ්‍යය වැඩිදියුණු කිරීමයි. එක් කොටසක් වටහාගත් කල්හි ඊළඟ කොටසට ගමන් කරයි. වර්තමානයේ සමස්ත මාර්ගයම පොත් පත්වල ලියා පළකොට ඇති බැවින් එ් සමස්තයම එකවර කියවිය හැකි නමුත් එ් එක් එක් ලක්ෂ්‍යයක් සම්බන්ධව සැළකිය යුතු කාලයක් ගතකළ යුතුවේ. සමස්තයම කියවා අවසන් කළ පසුව පවා, නිස්කලංකව සිට එ් එක් එක් ලක්ෂ්‍යය අන් සියල්ල හා අන්තර් සම්බන්ධ වන ආකාරය විමසා බැලිය යුතුය.

ප්‍රගතිය යනු කිසි විටෙක හෝ සරල රේඛීය වූවක් නොවන අතර එය ඉහළ පහළ ගමන් කරන්නක්ය යන්න සිහි තබාගත යුතුය. එ් අනුව, දිනෙක තත්ත්වය යහපත් වන අතර ඊළඟ දිනයේ එසේ නොවන්නේ නම්, එහි කිසිදු විශේෂත්වයක් නොමැත. හුදෙක් කටයුතු නොකඩවා සිදුකළ යුතුය. මෙය මාගේ ගුරුවරයාගේ තරුණ පුනරුත්පත්ති ස්වරූපයෙහි වඩාත් කැමති වාක්‍යාංශය විය : "එ්කේ විශේෂත්වයක් නෑ". ඔබ අත්දකින දෙය තුළ කිසිදු විශේෂත්වයක් නොමැත. එය හොඳින් සිදුවන අතර, හොඳින් සිදු නොවන අවස්ථාද වේ. කම් නැත.

එ් අනුව පස් වසර සැලැස්මක් යෙදීම යථාර්ථවාදී නොවන්නේ ලබන ප්‍රගතිය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන බැවිනි. කෙසේ වුවද, පරම පූජනීය දලයි ලාමා වහන්සේ ප්‍රකාශ කරන පරිදි ප්‍රගතියක් ලබා ඇත්තේද යන්න දැනගත හැකි ක්‍රමය වනුයේ දිනෙන් දින හෝ මාසයෙන් මාසය විමසා බැලීම නොව පස් වසර බැගින් වූ කාල සීමාවන් අනුව විමසා බැලීමයි. එ් අනුව අපට දුෂ්කරතාවයන් සම්බන්ධයෙන් පෙරදී කටයුතු කළ ආකාරය හා දැන් කටයුතු කරන ආකාරය අතර සන්සන්දනයක් සිදුකළ හැක. අපි වඩාත් සන්සුන්ද? එසේ නම් අපටම අපගේ ප්‍රගතිය දැකගත හැක.

වෙනත් විධික්‍රමද වේ. වැතිරීම්, 100,00ක්, සරණ සූත්‍ර ආදිය අනුගමනය කරන ගොංඩ්‍රෝ වැනි මූලික පිළිවෙත් පූරණයන්ද පවතී. පුද්ගලයෝ බොහෝ විට ආරම්භය මෙලෙසින් ගනිති. මෙම ප්‍රවේශයන් දෙක මගින් ධර්ම දේශනාවන් කරා ප්‍රවේශ වීමේ මාර්ග දෙකක් නිරූපණය කරන්නේය යන්න මාගේ අදහසයි. ගොංඩ්‍රෝ ආරම්භ කරන විටදී, එසේ කරනුයේ සාමාන්‍යයෙන් ගුරුවරයෙකුගේ මූලික ආභාසය පදනම් කරගනිමිනි. ඔබ බොහෝ කරුණු නොදන්නේ වුවද, ගුරුවරයා වෙතින් විශ්වාස කළ නොහැකි තරම් වූ ආභාසයක් ලබා ඇති බැවින් ඔහු විස්තර කළ දේ ප්‍රයෝජනවත් වන අතර එ් අනුව ගොංඩ්‍රෝ පිළිවෙත් 100,000 පිරීම සිදු කරයි.

මා පුහුණු වූ ප්‍රවේශය නම් මෙම පැදිය තුළ මා විස්තර කළ ප්‍රවේශය හෙවත් දලයි ලාමා විසින්ම සාමාන්‍යයෙන් දේශනා කරන ප්‍රවේශයයි. පළමුව මාර්ගය අනුගමනය කළ හැක්කක්ය, එහි අරමුණ කවරක්ද ආදී ලෙස මාර්ගය පිළිබඳ දැක්මක් හා වැටහීමක් ලබන අතර ඉන් පසු ගොංඩ්‍රෝ පිළිවෙතක් සිදු කරයි.

පැහැදිලිවම එ්වා අතර මැදි මාවතක්ද තෝරාගත හැක. ආරම්භක සමයේදී ගොංඩ්‍රොවෙන් අරඹා, අදාළ අරමුණ සාක්ෂාත් කරගත හැක්කේය යන විය හැකියාව පිළිබඳ වැටහීමක් ලැබීම පිණිස කටයුතු කිරීම ආරම්භ කරයි. නොඑසේ නම්, මෙම අධ්‍යයනය හා පිළිවෙත් පූරණය සිදුකරන අතරම ගොංඩ්‍රෝ පුහුණුව ආරම්භ කළ හැක. එ් අනුව, මේවා ගැලපීමේ විවිධ විධික්‍රම පවතී. විවිධ තිබ්බතීය ගුරුවරුන් විසින් මා විස්තර කළ ආකෘතිය තුළ ධර්මය දේශනා කරන ආකාරය පිළිබඳ සිතා බැලීම ආරම්භ කළහොත් මෙය ගැළපෙන්නේය යන්න මාගේ අදහසයි. මෙහිදී නැවතද නාගාර්ජුනයන් වෙත හා පළමුව සාපේක්ෂ හා ඉන්පසු ගැඹුරුම හෝ, පළමුව ගැඹුරුම හා ඉන්පසු සාපේක්ෂ ඈ වශයෙන් බෝධිචිත්තය ගොඩනගා ගැනීමේ විවිධ මාර්ගයන් වෙත ගමන් කරමු. තමා හට වඩාත් යෝග්‍ය වන දෙය තමා විසින්ම තීරණය කිරීමට සිදුවේ.

සාරාංශය

දෙසත්‍යය හා ඉනික්බිති ත්‍රිවිධ රත්නය සම්බන්ධ යථාර්ථය පිළිබඳ බෞද්ධ දේශනාවනට චතුරාර්ය සත්‍යය ආදේශ වන ආකාරය වූකලි ඉතා ඉහළ මට්ටමේ විග්‍රහයකි. එමගින් සියලු සත්‍යයන් හා රත්නයන් පිළිබඳව යම් අනාවරණයක් සිදු කරනවා පමණක් නොව,බෞද්ධ දර්ශනය හා පිළිවෙත් පූරණය තුළට පැහැදිලි ව්‍යුහයක්ද සම්පාදනය කරනු ලබයි. මෙම අවබෝධයන් තවදුරටත් විමර්ශනය කිරීමේ පදනමක් වශයෙන් පරම පූජනීය දලයි ලාමා වහන්සේගේ කෙටි නමුදු තීක්ෂණ බුද්ධිය විනිවිද යන සුළු වූ පැදියක් යොදා ගත්තෙමු. මෙහි අපූර්ව ප්‍රතිඵලය මගින් අපගේ වැටහීම වර්ධනය කරගැනීම සඳහා වූ තාර්කික අනු පිළිවෙලක් පමණක් නොව එක් එක් අත්‍යවශ්‍ය බෞද්ධ අවබෝධයන් මගින් අනෙක් අවබෝධයනට සහාය දක්වන ආකාරයද පෙන්නුම් කරයි. මෙලෙසින්, සංකීර්ණ හා ආවශ්‍යක ආධ්‍යාත්මික මාර්ගයක් අනාවරණය කෙරේ.

Top