"අත්දැකීම් ලත් මහල්ලෙකුගේ උපදෙස්" හි අනුවාදයක්

දුක සම්බන්ධ මෙම දේශනා අගනා ගුරුවරයෙකු වූ ගුංටැන් රින්පෝෂේ විසින් රචිත අත්දැකීම් ලත් මහල්ලෙකුගේ උපදෙස් නමැති ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී (1762–1823). බොහෝ උපදේශ කථාවන් සහිත එ්වා ත්‍රිපිටකය මත පදනම්ව පද්‍යාකෘතියෙන් කථාන්තරයක් සේ ගලා යයි. දේශනාවේ ප්‍රධාන අදහස වනුයේ පොදුවේ අපට අත්හැර දැමීමේ හැකියාව හා නිදහස් වීමේ අදිටන වර්ධනය කරගනිමින් සියලු දෙනාගේ ප්‍රයෝජනය පිණිස බුද්ධත්වය සාක්ෂාත් කරගැනීම සඳහා වූ බෝධිචිත්තය කරා වූ පදනම සකස් කිරීමයි.

කර්මයේ හා කැළිඹිලිකාරී භාවයන්ගේ බලපෑමෙන් පාලනයකින් තොරව නැවත නැවතද සිදුවන උත්පත්ති බීජයන් අත්හැර දැමූ හා එහි ප්‍රතිඵලයක් ලෙස ජරාවට පත්වීමේ, ව්‍යාධියට ලක්වීමේ හා මරණයේ දුක අත් නොවිඳින්නාවූ නිකැළැල් බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
සුවිශාල වූද, හුදෙකලා වූද, වණ ගහණයෙන් යුත් සංසාරය නමැති තැනිතලාවේ වාසය කරන වයෝවෘද්ධයෙකු බැලීම පිණිස සිය තරුණ විය හා සෞඛ්‍ය සම්පන්න බව පිළිබඳ ආඩම්බරවන තරුණයෙකු පැමිණේ. මේ ඔවුන්ගේ සාකච්ඡාවයි.
"සීයෙ, ඇයි ඔයා අනෙක් අයට වඩා වෙනස් විදිහට වැඩ කරන්නෙ, බලන්නෙ, කථා කරන්නෙ?"
එයට වයෝවෘද්ධයාගේ පිළිතුර වූයේ "මං කථා කරන්නෙ, අවිදින්නෙ, එහෙ මෙහෙ යන්නෙ හා කථා කරන්නෙ වෙනස් විදිහට කියල හිතනව නම් ඔබ ඉහළ ආකාශයේ පියාසර කරන අයෙකු වැනි හැඟීමක් ඇතිකර නොගන්න. මා පය ගසා සිටින බිම පය ගසා මා පවසන දෙයට සවන් දෙන්න."

වයසට යාම හෙවත් මහළු වීම මහල්ලන්ට පමණක් උරුම දෙයක් වන අතර තමා කිසිදින එම තත්ත්වයට පත් නොවන බව ඇතැම් තරුණයන්ගේ හැඟීමයි. බොහෝ අහංකාර පුද්ගලයන් වන ඔවුහූ මහල්ලන් සමගින් කිසිදු සම්බන්ධතාවයක් පවත්වාගෙන යාමට අවශ්‍ය ඉවසීම රහිත පුද්ගලයෝ වෙති.

මහල්ලා නොකඩවා කථා කරයි: "වසර කිහිපයකට පෙර මම මෙයට වඩා බොහෝ ශක්ති සම්පන්නවද, කඩවසම් පෙනුමැතිවද ඔබට වඩා ශක්ති සම්පන්නවද සිටියෙමි. මම මා දැන් සිටින ස්වරූපයෙන් උපන්නෙකු නොවෙමි. මාගේ දිවීම කෙතරම් වේගවත්ද යත් වේගයෙන් දිවයන අශ්වයන් හා සමාන වේගයකින් දිවිය හැකි විය."

බොහෝ වයෝවෘද්ධ පුද්ගලයෝ මෙයාකාරයෙන් කථා කරති. වර්තමානය කිසි ලෙසකිනුදු අතීතය මෙන් යහපත් එකක් නොවිණි.

"මා හට නොමැඩ් බිම්වල වාසය කරන යැක් ගවයන් පවා අල්ලාගැනීමේ ශක්තියක් පැවතිණි. මාගේ සිරුර නම්‍යශීලී එකක් විය. ආකාශයේ පියාසර කරන පක්ෂියෙකු මෙන් ගමන් කිරීමේ හැකියාව තිබිණි. ශාරීරික යෝග්‍යතාවය කෙතරම්දැයි පැවසුවහොත්, මා තරුණ දෙවියෙකු සේ දිස්විය. දීප්තිමත්ම වර්ණයන්ගෙන් යුත් ඇඳුම් ඇඳි මා බොහෝ වූ රන්, රිදී ආභරණ පැළඳි අතර, ටොන් ගණනින් ප්‍රණීත ආහාර හා පැණිරස කෑම ආහාරයට ගත් අතරම බලසම්පන්න තුරඟුන් පැදවීමි. සෙල්ලමින්, සිනහවෙන් හා ප්‍රීතියෙන් නොසිටි අවස්ථාවක් නොවූ තරම්ය. මා අත් නොදුටු සතුටක් නොතිබි තරම්ය.
" එකල මම මාගේ ජීවිතයේ අස්ථිරත්වය හෝ මාගේ මරණය පිළිබඳ කිසි විටෙක හෝ නොසිතීමි. දැන් මෙන් මහළු වියේ පවත්නා දුක අත් විඳීමට කිසි විටෙකුදු අපේක්ෂා නොකළෙමි."

බොහෝ සැපවත් ජීවිතයක් ගත කළ හා නිරතුරු සුඛයම අනුභව කළ තරුණයෙකු මා ජීවත් වූ ප්‍රදේශයේ කලෙක විසීය. ක්‍රමයෙන් ඔහු වයෝවෘද්ධ වූ අතර, සිරුර කුදුවන්නට වූ අතර, ආදායමද පහළ වැටෙන්නට විය. "මහළු විය මෙතරම් ක්ෂණිකව මා වෙත පැමිණෙතැයි කිසි විටෙක හෝ නොසිතීමි"යි ඔහු සිය මිතුරන් වෙත පැවසීය.

"මිතුරන් සමගින්, සාද පවත්වමින් විනෝද වෙමින් ජීවත්වන කාලය අතරතුර ඔබ වෙත මාන බලමින් සිටින මහළු විය ඔබගේ සිනහ හඬ මැදම ඔබ මැඩලා නැගී සිටී."

ගේසේ කමාපා විසින් මෙසේ ප්‍රකාශ කරන ලදී: "මහළු විය ක්‍රමයෙන් ඔබ වෙත පැමිණීම පිළිබඳ කෘතවේදී විය යුතුය. එය ක්ෂණිකව පැමිණියේ නම්, දරාගත නොහැකි දෙයක් වනු ඇත. වයස අවුරුදු තිහක අයෙකු නින්දට ගොස් පසුදින අවදිවන විට වයස අවුරුදු අසූවක පුද්ගලයෙකුව සිටියහොත් අපට අපගේම පෙනුම විඳදරාගත නොහැකි එකක් වනු ඇත. අපට අපගේම මහළු විය නොවැටහේ. මහලු වියට පත්වීම වූකලි අපට සම්පූර්ණ අභිරහසකි. හිටි වනම අප වයසට ගොස් ඇති බව අවබෝධ වන විටදී, එය පිළිගැනීමට යම් කාලයක් ගනු ඇත. එවිට ප්‍රමාද වූවා වැඩිය. මරණයට පැය කිහිපයකට පෙර හෝ ධර්මයෙහි හැසිරීම ප්‍රයෝජනවත් දෙයක්ය යන කියමනක් ඇත්තේ වුවද, තන්ත්‍ර පිළිවෙත් පිරීම සඳහා ශාරීරික යෝග්‍යතාවයක් පැවතිය යුතුය. එබැවින්, තරුණ වියේදීම තන්ත්‍ර පිළිවෙත් පිරීම ආරම්භ කිරීම වැදගත්ය."

"බොහෝ වයස්ගතවූ පසු කණ්නාඩියක් ඉදිරිපිටට ගොස් බැලුවහොත් අපට අපවම අප්‍රසන්න බවක් දැනේ. එවිට, අපගේ සිරුරු හා සිත් දුර්වල වේ. සිරුරු කේශාන්තයේ සිට පාදාන්තය දක්වා දිරාපත් වන්නට පටන් ගනී. පූජා කටයුත්තකට සහභාගි වූවන් සෙයින් නිරතුරු අපගේ හිස් පහතට නැවී පවතී.
"මාගේ පැසුණු හා තනි සුදු පැහැ හිසකේ යනු ශුද්ධත්වයේ සලකුණක් නොවේ. එය වූකලි මාරයා ගේ මුවින් ගිළිහී මා හිසමත පත්ව ඇති හිම හීයකි. මාගේ නළලත වැටුණු රැළි මව්කිරි බොන ළදරුවෙකුගේ රැළි නොවේ. එය වූකලි මා දැනටමත් ජීවත්ව ඇති වසර ගණන පිළිබඳ මාරයාගේ ගණන් බැලීමයි. මා ඇස් කොනින් බලන්නේ නම් එසේ බලන්නේ මාගේ ඇස්වලට දුම් විසිවූ බැවින් නොවේ. එය වූකලි ඉන්ද්‍රිය බලයන්ගේ දිරාපත් වීම හේතුකොට ඇතිවූ අසරණ භාවයේ සලකුණකි. මාගේ අතින් කන ආවරණය කරගෙන යමක් ශ්‍රවණය කිරීම සඳහා ඉමහත් වෙහෙසක් දරන විටදී, එහි අදහස මා රහස් සාකච්ඡාවක නිරතවන බවක් නොවේ. එය වූකලි මාගේ ශ්‍රවණේන්ද්‍රිය දිරාපත්වීම පිළිබඳ සලකුණකි.
"නාසය බුරුල්වී සොටු දියර ගලන විටදී, එය වූකලි මාගේ මුහුණ මත රැඳි පබලු පටක් නොවේ. එය වූකලි තරුණ ජවය මහළු විය නමැති හිරු රැසින් දියවී යාම දක්වන සලකුණකි.  මාගේ දත් ගැලවී යාම යනු නව දත් පෙළක් ලැබීමට පෙර කුඩා දරුවෙකුගේ දත් හැලී යාම මෙන් වූවක් නොවේ. එය වූකලි මාර දිව්‍ය පුත්‍රයා විසින් ආහාර ගැනීමට මා යොදාගත් මෙවලම් ගෙවා දැමීම පිළිබඳ සලකුණකි. බොහෝ සෙයින් කෙළ උණන අතර මා කථා කරන විටදී නිරතුරු කෙළ ගසන තත්ත්වය යනු පොළව පිරිසිදු කිරීම සඳහා ජලය ඉසීමක් නොවේ. එය වූකලි මා පවසන සියලු වදන් අවසානයක් කරා පැමිණෙමින් පවත්නා බවට වූ සලකුණකි. මා එකිනෙක නොගැළපෙන වචන කථා කරන විටදී හා ගොත ගසන විටදී, ඉන් අදහස් වනුයේ මා අමුතු විදෙස් බසක් වහරණ බවක් නොවේ. එය වූකලි ජීවිත කාලයක් පුරා සිදුකළ හිස් වචන තෙපළීමෙන් මාගේ දිව වෙහෙසට පත්ව ඇති බවට සාධකයකි.
"මාගේ පෙනුම අවලස්සන වීම යනු මා වඳුරු මුහුණක් පැළඳ ගනිමින් වෙස්වලාගැනීමක් නොවේ. එය වූකලි මා ණයට ගත් සිරුර මුළුමනින්ම දිරාපත් වන බවට වූ සලකුණකි. මාගේ හිස බොහෝ සෙයින් වෙවුලන විටදී ඉන් දැක්වෙනුයේ ඔබ සමගින් එකඟ නොවන බවට කරන සන් කිරීමක් නොවේ. එය වූකලි මාගේ හිස මතට මාරයා විසින් දුන් පහරේ ප්‍රබලත්වය පිළිබඳ සලකුණකි. මා කොන්ද නමාගෙන ගමන් කරන්නේ නැතිවූ ඉදිකටුවක් සෙවීමට කරන උත්සාහයක් ලෙස නොවේ. එය වූකලි මාගේ සිරුර සැදි පඨවි ධාතුවේ දිරාපත් වීම පිළිබඳ පැහැදිලි දර්ශකයකි.
"මම අත් හා දණ බිම තබා නැගී සිටිමින් සිවුපාවෙකුගේ චරිත නිරූපණයක් ඉදිරිපත් කරන්නෙම් නොවෙමි. එය වූකලි මාගේ පා තුළින් ලබාදෙන සහාය තවදුරටත් ප්‍රමාණවත් නොවන බවට සලකුණකි. හිඳ ගන්නා විටදී එය යම් කිසිවක් පිරි මල්ලක් බිම පතිත කිරීමක් මෙනි. ඉන් අදහස් වනුයේ මා මාගේ මිතුරන් සමගින් කෝපයට පත්ව ඇති බවක් නොවේ. එය මාගේ සිරුරේ පාලනය අහිමි වීම පිළිබඳ සලකුණයි.
"මාගේ මන්දගාමී ගමන් විලාසය යනු මහා රාජ තාන්ත්‍රිකයෙකු සෙයින් ඇවිදීමට කරන උත්සාහයක් නොවේ. එසේ වනුයේ මාගේ සිරුරේ පූර්ණ සමබරතා හැඟීම වියැකී ගොස් ඇති බැවිනි. මාගේ අත් වෙව්ලනුයේ යම් කිසිවක් ලබාගැනීමේ කෑදරකමින් සිදුකරන අත් වැනීමක් ලෙස නොවේ.  එය වූකලි මාරයා විසින් මාගේ සියලු දේ බැහැර ගෙනයාමේ බිය පිළිබඳ සලකුණකි. මද පමණින් මා ගන්නා ආහාරය හා පානයන් තුළින් අදහස් කෙරෙන්නේ මා මසුරෙකු හෝ ලෝභයෙකු බව නොවේ. එය වූකලි සිරුරේ නාභියෙහි පවත්නා ආහාර ජීරණෝෂ්ණත්වය ක්‍රමයෙන් වියැකී යාමේ සලකුණකි. මා සැහැල්ලු ඇඳුම් අඳින්නේ මලල ක්‍රීඩකයන් අනුකරණයට නොවේ. මාගේ සිරුරේ පවත්නා දුර්වලත්වය හේතුකොට පළඳින ඕනෑම ඇඳුමක් සිරුරට බරක් සේ දැනෙන බැවිනි.
"හුස්ම ගැනීම අපහසුවී හුස්ම අදිමින් සිටින විටදී, ඉන් අදහස් වනුයේ මන්ත්‍රයක් ජපකොට පිඹිමින් යමෙකු සුවපත් කරන බවක් නොවේ. එය වූකලි මාගේ සිරුරේ දුර්වලත්වය හා ශක්තිය පිරිහී යාම පිළිබඳ සලකුණකි. මා සිදුකරන කටයුතු සංඛ්‍යාව ඉතා සීමිත වන විටදී ඉන් අදහස් වනුයේ මා සිතා මතා මාගේ කටයුතු සීමා කොට ඇති බවක් නොවේ. එය එසේ සිදුවනුයේ වයෝවෘද්ධයෙකු හට කළ හැකි කටයුතු සීමා සහිත වන බැවිනි. මා හට දේවල් ඉතා ඉක්මනින් අමතක වන විටදී, ඉන් අදහස් වනුයේ අන් අය නොවැදගතුන් සේ ගෙන ඔවුන් පහත් කොට සලකන බවක් නොවේ. එය වූකලි මාගේ සිහිය අඩුවී යමින් පවත්නේය යන්න දක්වන සලකුණකි.
"යෞවණය, මා කොළොප්පමට ගනිමින් මා හට විහිලු නොකරන්න. මා දැන් අත්විඳින දෙය මා හට පමණක් සුවිශේෂී වූ දෙයක් නොවේ. සියලු දෙනා හට මෙය අත් විඳීමට සිදුවේ.  මදක් සිතා බලන්න. වසර තුනකින්, මහලු බවේ පළමු පණිවිඩකරුවන් කිහිප දෙනා ඔබ වෙත පැමිණෙනු ඇත. ඔබ මා පවසන දේ විශ්වාස නොකරනු ඇති අතර, එ්වාට කැමතිද නොවනු ඇති නමුත් ඔබට ඔබගේම අත්දැකීමෙන් එය ඉගෙනීමට හැකිවනු ඇත. පංචවිධ දිරාපත්වීම් සහිත මෙම කාලය තුළ, මා මෙන් වයෝවෘද්ධයෙකුව ජීවත් වීමද ඔබට වාසනාවක් වනු ඇත. ඔබ මා තරම් කලක් ජීවත් වුවද, ඔබට මා තරම් කථා කිරීමට හෝ නොහැකි වනු ඇත."
තරුණයා මෙසේ පිළිවදන් දෙයි: "ඔබ තරම් දිගු කලක් ජීවත් වෙමින් ඔබ තරම් අවලස්සන හා සුනඛයෙකුගේ මට්ටමට හෙළනු ලැබ නොසලකා හැරීමට ලක්වූ අයෙකු බවට පත්වනවාට වඩා මියයාම යහපති."
මෙහිදී සිනහසෙන මහල්ලා මෙසේ පවසයි: "යෞවණය, දීර්ඝායුෂ හා සතුට පතමින්ම මහළු වියට පත් නොවන ලෙස පැතීම ඔබගේ නොදැනුවත්කම හා අඥානකම විදහා පාන සලකුණකි.  මරණය යන්න සරල වදනක් සේ පෙනී යා හැකි නමුත් එය එතරම් පහසු දෙයක් නොවේ. සාමකාමීව හා සතුටින් මිය යාමට හැකිවනු පිණිස, ඔබ වැරදි ලෙස හරි හම්බ කොට පූජා කළ දේ පිළි නොගත් හෝ දස පුණ්‍ය  ක්‍රියා පිළිබඳ ශීලය බිඳ නොගත් හා මනාකොට ධර්මය ශ්‍රවණය කළ, එය මෙනෙහි කළ හා භාවනා කළ අයෙකුද විය යුතුය. එවිට මරණය සරල දෙයක් වනු ඇත.
"කෙසේ වුවද, මා හට මෙයාකාරයෙන් නොහැඟේ. මවිසින් කිසිදු පුණ්‍ය කටයුත්තක් සිදුකළ බවට විශ්වාසයක් මා හට නොමැත. මම මරණයට බියවන අතර ජීවත්ව සිටීමට හැකිවන සෑම දිනයක් පිළිබඳවම කෘතවේදී වෙමි. මාගේ දැඩි පැතුම වනුයේ සෑම දිනකම ජීවත්ව සිටීමට හැකි වේවාය යන්නයි."
මේ අවස්ථාවේ සිය සිත වෙනස් කරගන්නා තරුණයා මෙසේ පවසයි: "මහල්ල, ඔබ පවසන සියල්ල සත්‍යයි. මහලු වියේ දුක සම්බන්ධව අන් අය විසින් මා හට පවසා ඇති දෙය මා ඔබ තුළින් දුටු දෙයට සමානය. මහලු විය සම්බන්ධව ඔබ විසින් මා හට කළ කරුණු ඉදිරිපත් කිරීම මාගේ මනසට ඉතා ප්‍රයෝජනවත්ය. මහලු වියේ පවත්නා දුක සම්බන්ධයෙන් මවිතයට පත්වීමි. ප්‍රඥාවන්ත මහල්ල, මහලු වීමෙන් මිදිය හැකි, පලායා හැකි යම් විධික්‍රමයක් අසා ඇත්නම් එය රහසක් සේ තබා නොගෙන හෙළි කරන්න; මා හට සත්‍යය පවසන්න."
මින් සතුටුවන මහල්ලා මෙසේ පවසයි: "නිශ්චිතවම මගක් ඇත. එය දන්නේ නම් අනුගමනය කිරීම පහසුය. සුළු උත්සාහයකින් පමණක් අපට ක්ෂණිකව මෙම දුකින් විමුක්තිය ලැබිය හැක. උපන් සියලු දෙනා මියයන නමුත් වයස්ගතවී මිය යන්නේ ඉතා සුළු පිරිසක් පමණි. මහලු වියට පැමිණීමේ අවස්ථාව නොලබාම බොහෝ දෙනා තරුණ වියේදීම මියයති. අදාළ විධික්‍රම බුද්ධ දේශනා තුළ පවතී. එ්වා තුළ අර්හත් ඵලයට හා සම්මා සම්බුද්ධත්වයට පත්විය හැකි බොහෝ ක්‍රම පවතී. එනම්, නැවත උත්පත්තිය නොලැබීමේ , වයසට නොයැමේ, රෝගී නොවීමේ හෝ මිය නොයාමේ ක්‍රමයි. එනමුත් අප විසින් එ්වා පුහුණු කර නොමැත."

වරෙක තමාගේ උත්සාහයෙන්ම ලාමාවරයෙකු බවට පත්වූ අයෙකු ආරාමයක විසීය. ඔහු එම ආරාමයේ කණිෂ්ඨ සාමාජිකයෙකු වූ අතර බොහෝ භික්ෂූහූ උන් වහන්සේ කෙරෙහි අවධානය යොමු නොකළහ. එම ආරාමයේ අනාගතය පිළිබඳ සාකච්ඡා කිරීමේ රැස්වීමක් ඔවුන් විසින් පවත්වන ලදී. මළ මිනී බැඳ තබනු පිණිස ලණු හා ඇතිරිලි සූදානම් කරගන්නා ලෙස ඔහු විසින් පවසන ලදී. මෙය අසුභ නිමිත්තක් යැයි පවසමින් සියලු දෙනා උන් වහන්සේ සමගින් කෝපයට පත්විය. ඉන්පසු ආරාමයට උපකාරවනු පිණිස සියලු දෙනා විසින් සිදුකළ යුතුවන දෙය පිළිබඳ සාකච්ඡා කළහ. උන් වහන්සේ විසින් අනිත්‍ය භාවනාවේ යෙදෙන ලෙස ඔවුනට උපදෙස් දෙන ලදී. මෙසේ ප්‍රකාශ කිරීමේදී, උන් වහන්සේ විසින් ඔවුන් වෙත මහා දේශනාවක් සිදුකරන ලදී. පසු කාලීන බො‌හෝ දලයි ලාමාවරුන් විසින් උන් වහන්සේ වෙත ප්‍රශංසා කරන ලදී. අනාගතය වෙනුවෙන් සූදානම් වනු පිණිස, ඔබ විසින් මරණයට සූදානම් විය යුතුය.

"සෑම අයෙකු හටම අමරණීයත්වය හා එය සාක්ෂාත් කරගැනීමේ විධික්‍රම අවශ්‍ය වේ. එනමුත් උපත ලැබ මිය නොයා සිටිය නොහැක. ශාක්‍යමුණි බුදුරජාණන් වහන්සේද ඇතුළත් දහස් ගණනක් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේලා පවා මරණයට පත්වූහ. අතීතයේ විසූ බෝධිසත්ත්වයන් වහන්සේලා හා මහා ගුරුවරුන් සම්බන්ධයෙන් සලකා බලන කල, ඔවුන්ගේ නාමයන් පමණක් නොනැසී පවතී. එය ලෝක ඉතිහාසය තුළද පැහැදිලිව පෙනෙන්නකි. සියලු මහා ඉතිහාසගත චරිතද මියගොස් ඇති අතර ඔවුන්ගේ නෂ්ඨාවශේෂ පමණක් ශේෂව පවතී. මෙලෙසින්, අපගේ ළඟ ළඟ එන මරු සම්බන්ධයෙන් වූ සත්‍යය අමතක නොකළ යුතුය. වර්තමානයේ ජීවත්වන මහා ගුරුවරුන්ද නික්ම යනු ඇත. අද උපදින ළදරුවන් සියලු දෙනාද වසර සියයක් ඇතුළත මරණයට පත්වනු ඇත. එසේ නම්, තරුණය, ඔබට පමණක් සදාකල් ජීවත් වීමට හැකිවෙතැයි අපේක්ෂා කිරීමට හැකිද? එබැවින්, ආධ්‍යාත්මිකව මරණය සඳහා සූදානම් වීම ප්‍රඥා ගෝචරය.
"දීර්ඝායුෂ යනු මිලදීගත හැකි හෝ ශාරීරික සුවය තුළින් අත්කරගත හැකි දෙයක් නොවේ. ඔබ තුළ ආධ්‍යාත්මික විශ්වාසය ඇත්තේ නම් හා ජීවිතයෙන් ලබාගත යුතු දෙය කවරක්ද යන්න දන්නේ නම්, වයස්ගත වන්නට වන්නට වඩ වඩාත් සතුට හා මානසික තාරුණ්‍යයක් දැනෙනු ඇත. ඔබ මහා ශාරීරික සුවයක් අත් විඳින්නේ නම් හා එනමුත් හිස් දිවියක් ගතකොට ඇත්නම්, වයස්ගත වන්නට වන්නට, ඔබ වඩ වඩාත් අසතුටටම පත්වනු ඇත. මරණය පිළිබඳ සිත් වදයෙන් සිත මුදවාගනු පිණිස සංචාරකයෙකු මෙන් සංචාරය කිරීමට සිදුවනු ඇත. අනෙක් අතින්, ඔබ තුළ සුළු ආධ්‍යාත්මික විශ්වාසයක් පමණක් පැවතියද, මරණයට සමීප වන්නට වන්නට, සිය ප්‍රීතිමත් නිවහන කරා ආපසු සමීපවන පුත්‍රයෙකුගේ හැඟීමක් ඔබට ඇතිවේ. ඔබ මරණයෙන්  විකර්ශනය වී නොමැති වුවද, නොකඩවා ප්‍රීතිමත් ජීවිත අපේක්ෂාවෙන් සිටින්නෙකු වේ."

වරෙක මහා ආධ්‍යාත්මික ගුරුවරයෙකු විසින් පැවසූ පරිදි, "මා හට මාගේ මතු පුනරුත්පත්තීන් සම්බන්ධ පූර්ණ විශ්වාසයක් පවත්නා බැවින්, කණගාටුවක් නොමැත. මරණය ඕනෑම අවස්ථාවක එළැඹිය හැකි අතර මම එය සාදරයෙන් පිළිගනිමි."

"මරණයේ වේදනාව නොවැළැක්විය හැක්කක් වන බැවින්, එ් සම්බන්ධයෙන් යමක් කළ යුතුය. හුදෙක් හිඳගෙන සිටිමින් මානසික අවපීඩනයට පත්වීමෙන් පලක් නොමැත. මනුෂ්‍යයන් වශයෙන්, අපට බොහෝ වු විධික්‍රම උත්සාහ කොට බැලීමේ හැකියාව ඇත. තරුණය, බුදුන් වහන්සේට පවා මෙයට වඩා පැහැදිලි දේශනාවන් ඔබට ලබාදිය නොහැක. මම මාගේ හදවතින්ම කථා කළෙමි. මෙය මාගේ සත්‍යවාදී, හෘදයාංගම උපදෙස වුවද, මාගේ වචන මත පමණක් උත්සාහ නොකරන්න; ඔබම එ්වා විග්‍රහ කොට බලන්න. අනිත්‍යය පිළිබඳ ස්වේච්ඡාවෙන්ම පිළිවෙත් පුරන්න. මෙවැනි කියමනක් ඇත: 'අන්‍යයන්ගේ අදහස් විමසන්න. එනමුත් තීරණය ඔබම ගන්න' යනුවෙනි. බොහෝ අයට ඔබ වෙනුවෙන් තීරණ ගන්නට අවකාශ සැලසුවහොත්, බොහෝ අය එකිනෙකට වෙනස් වූ උපදෙස් ලබාදෙනු ඇත."
එවිට තරුණය මෙසේ පවසයි: "ඔබ පැවසූ සියලු වදන් ඉතා ප්‍රයෝජනවත් හා සත්‍ය එ්වාය. එනමුත්, එළැඹෙන වසර කිහිපය තුළ මා හට මේවා සිදුකළ නොහැක. මවිසින් කළ යුතු තවත් කටයුතු ඇත. මා හට මහා බූදලයක්ද, ධනයක්ද ඈ වශයෙන් වූ දේවල් ඇත. මවිසින් කළ යුතුවන බොහෝ ව්‍යාපාර ඇති අතර, මාගේ දේපළ බලාගත යුතුය. වසර කිහිපයකට පසු ඔබ නැවත හමුවී පිළිවෙත් පුරමි."
මින් බොහෝ සෙයින් අසතුටට පත්වන මහල්ලා මෙසේ පවසයි: "මා වෙත ඔබ පැවසූ සියලු දේ හුදෙක් හිස් හා අර්ථ ශුන්‍ය වදන් බවට පත් වී ඇත. මා හටද එවැනිම ලෙස වසර කිහිපයක් ඇවෑමෙන් යම් අර්ථවත් දෙයක් සිදු කිරීමේ පැතුමක් පැවතිණි. එනමුත් මා කිසිවක් හෝ සිදු නොකළ අතර, දැන් මහලු වියට පත්ව සිටිමි.  ඔබ පවසන දේ කෙතරම් ඵල රහිත දෙයක්ද යන්න මම දනිමි. වසර කිහිපයකින් පසුව සිදු කරන්නේයැයි පවසන දෙයට අදාළ කාලය කිසිදින අවසන් නොවනු ඇත. ඔබ විසින් නිරතුරු එ්වා කල් තබනු ඇත. වසර කිහිපයකින් සිදු කිරීමට නියමිත දේ යනු හුදෙක් මහල්ලෙකුගේ රැවුල මෙනි. එය අද ගා දැමුවහොත්, හෙටදින වඩාත් වැඩෙනු ඇත. නොකඩවා හෙට දිනයන් දක්වා කල් තැබීමෙන් අනතුරුව, ඉතා ඉක්මනින් ඔබගේ ජීවිතාවසානයට ඔබ එළැඹෙනු ඇත. මෙයාකාරයෙන් ධර්ම පිළිවෙත් පිරීම කල් තැබීම මගින් සියලු දෙනා රැවටීමට ලක්ව ඇත. ඔබ කිසි දිනෙක හෝ ධර්ම පිළිවෙත් පුරනු ඇතැයි යන විශ්වාසයක් මා හට නොමැත. එබැවින්, ඔබගේ කථාවද හුදෙක් කාලය නාස්තියක් පමණි. ආපසු ගොස් ඔබට රිසි දෙයක් සිදු කරන්න. මම මන්ත්‍ර කිහිපයක් ජප කරන්නම්."
මින් මහත් සේ පුදුමයට පත්වන තරුණයා හට යම් පමණක සිත් රිදීමක්ද ඇතිවේ. ඔහු මෙසේ පවසයි: "ඔබ එවැන්නක් මා හට පවසන්නට සිතන්නේ පවා කෙසේද? මේ ජීවිතයේ කෙතරම් විගසින් භෞතික දේ සාක්ෂාත් කරගත හැකිද?" 
මෙම ප්‍රකාශයට මහල්ලා සිනාසේ. " ඔබ මාගෙන් මෙම ප්‍රශ්න අසන නිසා කිසිවක් හෝ සාක්ෂාත් කරගැනීමට කෙතරම් කල් ගතවන්නේදැයි පවසමි. දකුණු දිශාවෙන් මාරයා වාසය කරන අතර, ඔහු ඔබගේ කාර්යයන් ඉටුකර අවසන්ද, නැත්ද යන්න පිළිබඳ තැකීමක් නැත්තෙකි. ඔහු සිය සිතැඟි පරිදි කටයුතු කරන්නෙකි. ඔහු සමගින් මිත්‍රත්වයක් ඇත්නම් හා ජීවිතයේ යම් කටයුත්තක් සාර්ථක කරගනු පිණිස ඔහුගේ අවසරය ලබාගත හැකිනම් පමණක් ඔබට විවේකීව කටයුතු කළ හැක. නොඑසේ නම් ඔබට කිසි දින ඉහිල් විය නොහැක. පානය කරමින් සිටින තේ කෝප්පය පානය කොට අවසන් වන්නට පෙරද, මේසයට බෙදූ ආහාර අවසන් වන්නට පෙරද, සක්මන් කරමින් සිටින අතරද, දුම් පයිප්පයෙන් උගුරක් ඉරීමට පෙරද මිනිස්සු මියයති.
"මෙය සියලු දෙනාටම, මහා ගුරුවරුන් හට පවා සිදුවන්නකි. ඔවුන් සිය කෘතීන් ලියා අවසන් කරන්නට පෙර මියගිය බැවින් ඔවුන්ගේ ඉගැන්වීම්වලින් බොහොමයක් අසම්පූර්ණය. එ් අනුව, මරණය පැමිණෙන විටදී, ඔබට 'මට මහා බූදලයක් ඇති අතර කරන්නට බොහෝ දේ පවතී' යැයි පැවසිය නොහැක. ඔහුට කිසිවක් පිළිබඳ හෝ වගාඩම්බර දෙසිය නොහැක. සියල්ල හැරයාමට සිදුවේ. මේ අනුව බලන කල අපි මුළුමනින්ම දුබලයන් වෙමු. අපට අපගේ ජීවිත කාලයද තීරණය කළ නොහැක. එබැවින්, ඔබට කිසිවක් හෝ සිදුකළ හැක්කේ නම්, මේ දැන් පිළිවෙත් පිරීම ආරම්භ කරන්න. එය අර්ථවත් වනු ඇත. නොඑසේ නම්, හුදෙක් ඔබගේ බූදලය පමණක් අර්ථවත් දෙයක් නොවනු ඇත. එනමුත් වර්තමානයේ ඔබට ප්‍රයෝජනවත් වන දේ පවසන අය සිටින්නේ අතළොස්සක් පමණි.  අවංකව ලබාදෙන උපදෙස්වලට සවන් දෙන අය එයටද වඩා දුර්ලභය."
මින් ගැඹුරින් සලිතවන තරුණයා මහල්ලා කෙරෙහි ඉමහත් ගෞරවයක් ඇතිකර ගනිමින් පියවර කිහිපයක් පසුපසට ගොස් ඔහුට නමස්කාර කරයි. ඔහු මෙසේද පවසයි: " ස්වර්ණ බැනරයන්ගෙන් වටවූ අන් කිසිදු ලාමාවරයෙකුට, ගේෂේවරයෙකුට හෝ යෝගියෙකුට ඔබ දැන් පැවසූ දෙයට වඩා වැඩි ගැඹුරු දේශනයක් පැවැත්විය නොහැක. සාමාන්‍ය මහල්ලෙකුගේ පෙනුම සහිත ඔබ සැබැවින්ම මහා ආධ්‍යාත්මික මිතුරෙක්. හැකි උපරිමයෙන් ඔබ විසින් දැන් පැවසූ සියලු දේ පුහුණු කරන බවට මාගේ නමින් සපථ කරන අතර, මින් මතුද කරුණාකර මා හට තව තවත් දේශනාවන් ලබා දෙන්න."
මහල්ලා මෙයට එකඟ වී එය පිළිගනී. ඔහු මෙසේද පවසයි:" මා එතරම් දෙයක් නොදන්නා නමුත් ඉමහත් සේ අත්දැකීම් ලබා ඇත්තෙමි. එතුළින් ඔබට ඉගැන්විය හැක. වඩාත් දුෂ්කර දෙය වනුයේ ආරම්භයක් ගෙන ධර්මය තුළ තහවුරු වීමයි. වයස්ගතවූ පසු ධර්ම පිළිවෙත් පිරීම ආරම්භ කිරීම වඩාත් දුෂ්කර කාර්යයකි. එබැවින්, තරුණ වියේදී ආරම්භය ගැනීම වැදගත්ය."
"යෞවනයේදී ඔබගේ මතකය අලුත් එකකි; නමස්කාරයන් තුළ ධනාත්මක බලයක් ගොඩනැගීම සඳහා ප්‍රාණවත් වූ බුද්ධියක්  හා ශාරීරික ශක්තියක්ද ඔබ තුළ පවතී. තන්ත්‍රයනට අනුව, තරුණ වියේදී ශක්ති නාලිකාවන්හි බලය හා ප්‍රාණවත් බව ඉතා යහපත් වේ. තරුණ වියේදී භෞතික සන්තකයන් පිළිබඳව පවත්නා ලෝභය හා ඇල්ම නමැති බාධකය බිඳ ඉදිරියට යා හැක්කේ නම්, හා ආධ්‍යාත්මික කටයුතුවල නියැළිය හැක්කේ නම්, එය ඉතා අගනා දෙයකි. ධර්මය පිළිගත් පසු, එහි සාරාර්ථයන් වටහාගත් පසු, හා එහි හරය වටහාගත් පසු, ඉන්පසු ඔබ කරන, කියන හා සිතන සියල්ල ධර්මය බවට පත්වනු ඇත."

මිලරේපා හා රා ලොට්සාවා විසින්ද එකරුණම පවසන ලදී: "මා ආහාර ගන්නා, සක්මන් කරන හෝ නිදන ඕනෑම අවස්ථාවක් වේවා එය ධර්ම පිළිවෙත් පිරීමකි."

"ධර්මය තුළ දැඩි නීති නොමැත. එබැවින්, පමණ ඉක්මවා සිතිවිලි ඇතිකර ගැනීම හෝ චපල සිතක් පවත්වා ගැනීම යන කරුණුවලින් වැළකීමට උත්සාහ කරන්න. දැන්ම ආරම්භය ගෙන ධර්මය තුළ ඔබගේ ඇල්ම පවත්වා ගැනීමට කටයුතු කරන්න. විනාඩියෙන් විනාඩියට සිත වෙනස් කර නොගන්න. මේ මොහොතේ සිටම ඔබගේ සිත, කය හා වචනය යන සමස්ත ජීවිතය ධර්ම පිළිවෙත් පිරීමට කැප කරන්න."
දැන් මහල්ලා විසින් ධර්මයෙහි අන්තර්ගතවන දෙය තරුණයා හට පවසයි: "පළමුව, මනාසේ සුදුසුකම් ලත් ආධ්‍යාත්මික උපදේශකවරයෙකු සොයාගෙන ඔබගේ සිතින් හා ක්‍රියාවෙන් ඔහු වෙත නිවැරදිව කැප වන්න. ඔබට අන්‍යයන් වෙත කෙතරම් නම් ප්‍රයෝජන සැලසිය හැක්කේද යන කරුණ නිවැරදි ආධ්‍යාත්මික උපදේශකවරයෙකු සොයාගැනීම හා ඔහු කෙරෙහි වූ ඔබගේම හෘදයාංගම කැපවූ සම්බන්ධතාවය මත රඳා පවතී."

අතීෂයන් විසින් මෙකරුණ අවධාරණය කරන ලදී. තමා තුළ සිය ගුරුවරුන් 155 දෙනා පිළිබඳවම සමාන හෘදයාංගම කැපවීමක් පැවති බව ඔහු විසින් නිරතුරු ප්‍රකාශ කරන ලදී.

"ඉන්පසු දස පුණ්‍ය ක්‍රියා සම්බන්ධ පිළිවෙත් පිරීමේ පොරොන්දුව හා සිකපදයන් පිළිපැදිය යුතුය. එ්වා ඔබගේ දෑස් මෙන් රැකගන්න. වන හස්ති රාජයෙකු ඌගේ රැහැන් බිඳ දමන්නාක් මෙන් මෙම ජීවිතයට පවත්නා බැඳීම කපා හෙළන්න. ඉන්පසු ඇහුම්කන් දීම, මෙනෙහි කිරීම හා භාවනාව එ්කරාශි කරගනිමින් එම කර්තව්‍යයන් ත්‍රිත්වයම එක්ව, සමාන්තරව සිදු කරන්න. මේ සියල්ලට සප්ත ගාත පිළිවෙත තුළින් සහාය ලබාගන්න. මෙය වූකලි ධනාත්මක බලයක් ගොඩනගා ගැනීමේ, පින් පුරවා ගැනීමේ මගයි. මෙසේ සිදු කිරීමෙන් අනතුරුව, බුද්ධත්වය ඔබගේ ඇඟිලි තුඩු මත පවතින්නක් වේ."

සුදුසුකම් ලත් උපදේශකවරයෙකු විසින් සුදුසුකම් ලත් සිසුවෙකු හට මාර්ගෝපදේශ සපයන්නේ නම්, බුද්ධත්වය සියතින්ම හැඩකරගත හැකි බව පස්වන දලයි ලාමා වහන්සේ විසින් පවසන ලදී. ඔබට සුදුසුකම් ලත් උපදේශකවරයෙකුද, ඔහුගේ සුදුසුකම් ලත් දේශනාවන්ට අනුව පිළිවෙත් පුරන සුදුසුකම් ලත් සිසුවෙකුද සිටින්නේ නම්, එවිට බුද්ධත්වය යනු තවදුරටත් ඔබට එපිටින් පවතින්නක් නොවන බව මිලරේපා විසින්ද ප්‍රකාශ කරන ලදී. එවිට බුද්ධත්වය යනු ඔබ තුළ පවත්නකි. එනමුත්, ගුරුවරයා නිසි සුදුසුකම් ලත් අයෙකු විය යුතු බවට නිරතුරු අවධාරණය කරගත යුතුය.

"මෙයයි සතුට; මෙයයි ප්‍රීතිය. ප්‍රිය පුත්‍රයාණනි, ඔබ මෙයාකාරයෙන් පිළිවෙත් පුරන්නේ නම් ඔබගේ සියලු පැතුම් ඉටුවනු ඇත."

සිත කීකරු කරගනු පිණිස මෙම දේශනා ඉතා ප්‍රයෝජනවත් වේ. එ්වා මගින් දැඩි සිතක් මෘදු බවට පත් කරයි. එක්තරා ආප්තෝපදේශයකට අනුව "බටර් බහාලූ සම් බෑගයක් සේ නොවන්න. ගංගාවක බොරළු කැටයක් සේ නොවන්න." ඇතුළත කෙතරම් බටර් බහාලුවද සම් බෑගයක් මෘදු නොවේ. බොරලු කැටයක් කෙතරම් කලක් ගංගාවක් තුළ රැඳී තිබුණද, එයද මෘදු නොවේ.

එවක් පටන්, ලෞකික, ළදරු හැඟීම් අටෙන් නුමුහු  වූ පුද්ගලයෙකු සේ එම තරුණයා විසින් පිරිසිදු ධර්ම පිළිවෙත් පුරන ලදී.

අප විසින්ද එසේම කටයුතු කිරීමට උත්සාහ කළ යුතුය. දේශනා අසන්නට අසන්නට වඩ වඩාත් එ්වා මගින් අපගේම ආධ්‍යාත්මික ගුණ වගාවන් වැඩිදියුණු කරගන්නටද, කිසිදින මෘදු බවට පත් නොවන බොරළු කැට මෙන් නොවන්නටද කටයුතු කළ යුතුය.

මෙහිදී මහල්ලා මෙසේ පවසයි: "මවිසින් මේවා මාගේ ආධ්‍යාත්මික උපදේශකවරුන් වෙතින් අසා ඇති අතර එ්වා මාගේ පෞද්ගලික අත්දැකීම මතද පදනම් වේ. අසීමිත ජීවීන් හට ඔවුන්ගේ සතුට උදෙසා මෙය ප්‍රයෝජනවත් වේවා."

කතුවරයා මෙසේ අවසන් සටහන තබයි:

මවිසින් සුළු වශයෙන් පිළිවෙත් පුරා ඇති අතර ධර්ම අත්දැකීම් නොමැති නමුත්, ජීවී සතුන්ගේ චරිත ස්වභාවයන් තුළ පවත්නා විවිධත්වය හේතුකොට, ඇතැම් විට මෙම දේශනා සමහරුන් වෙත ප්‍රයෝජනවත් වනු ඇත. සීමිත සත්ත්වයන්ගේ සිත් වෙත ප්‍රයෝජන සලසනු පිණිස මවිසින් මෙකරුණ නිර්ව්‍යාජව හා ශුද්ධ අභිප්‍රේරණයක් සහිතව ලියන ලදී. අනිත්‍යය සම්බන්ධ මෙකී දේශනා හුදෙක් මවිසින් පැවසීමට සිතට ගත් ළගන්නා සුළු කථාන්තරයක් පමණක් නොව, ආර්යදේවයන්ගේ ගාථා හාර සියය නමැති කෘතිය මතද පදනම් වන එ්වාය.
Top