Image%201

සරල අරුතින් ගත්කල, බෝධිසත්වවරයෙකු යනු අන් සියලු දෙනා අගය කරන්නාවූ ප්‍රඥාවන්ත, කාරුණික පුද්ගලයෙකි. සැබැවින්ම ලෝකයේ බොහෝ දක්ෂ, කාරුණික පුද්ගලයෝ සිටිති. එසේ නම් බෝධිසත්වවරයෙකුගේ පවත්නා වෙනස කවරේද? ආරම්භයක් ලෙස ගතහොත්, බෝධිසත්වවරු අනෙකාගේ යහපත ප්‍රාර්ථනා කිරීමෙන් පමණක් නොනැවතී, අනෙකා දුකට පත් අවස්ථාවේදී සැබැවින්ම උපකාර කරමින් ඔවුන්ගේ දුක අවසක් කිරීමේ බොහෝ කුසලතා පූර්ණ විධික්‍රමද දැන සිටිමින් එසේ සියලු සත්ත්වයන් වෙත සැබෑ ලෙසම උපකාරි වනු පිණිස වෙහෙස නොබලා කටයුතු කරති. සියලු ගැටලුවල ගැඹුරුතම මූලය වටහාගන්නා බෝධිසත්වයෝ මින් මතු කිසිදින සත්ත්වයන් හට කිසිදු ගැටලුවක් පැන නොනගිනු පිණිස මෙම මූලය ඉවත් කළ හැක්කේය යන විශ්වාසය දරන්නෝ වෙති. මෙම දැනුම හා අරමුණ හේතුවෙනි බෝධිසත්වවරයෙකුගේ කරුණාව එතරම් ප්‍රබල එකක් බවට පත් වනුයේ.

බෝධිසත්ව යන වදන සංස්කෘත වචන දෙකකින් ප්‍රභවය වූවකි: “බෝධි” යන්නෙන් “බුද්ධත්වය” අදහස් කෙරෙන අතර, “සත්ව” යන්නෙන් “සත්ත්වයා” අදහස් කෙරේ. මුල් කාලීන බුද්ධ දේශනා තුළ සම්මා සම්බුද්ධත්වයට පත්වීමට පෙර ශාක්‍යමුණි බුදුරජාණන් වහන්සේ හැඳින්වීම සඳහා “බෝධිසත්ව” යන වචනය භාවිත කරන ලදී. නිදසුනක් ලෙස, බුදුරජාණන් වහන්සේගේ පෙර ජීවිත සම්බන්ධ ජාතක කථා තුළ, උන් වහන්සේ බෝධිසත්වයෙකු ලෙස විස්තර කෙරේ. මෙලෙසින්, දහම් ඇස පාදාගනු පිණිස අපමණ ජීවිත කාලයක් ඉමහත් ශක්තියක් යොදමින් ඇදහිය නොහැකි ප්‍රයත්නයන්හි නිරත වූ බුදුන් වහන්සේ මෙන්, බෝධිසත්වවරයෙකු යනු සියලු සත්ත්වයන් වෙත සෙත සලසනු පිණිස බුද්ධත්වය කරා වූ මාර්ගයට පිළිපන් අයෙකි. තමා තුළ තවදුරටත් බොහෝ වූ සීමාසහිතකම් පවත්නේය යන දැනුවත්භාවය හේතුකොට ඔවුහූ මෙසේ කටයුතු කරති. අන්‍යයන් වෙත උපකාර සැලසීමේ බහුවිධ ක්‍රම දැන සිටියද, එක් එක් පුද්ගලයා උදෙසා වඩාත් යෝග්‍ය වනුයේ කවර විධික්‍රමයද යන්න දැකීමේ හැකියාවක් ඔවුන් සතු නොවේ. මෙය බුදුවරයෙකු විසින් පමණක් දැන සිටින දෙයකි. එබැවින්, තමාට හැකි පමණින් අනෙකාට උපකාර කරන අතර, බුද්ධත්වය සාක්ෂාත් කරගැනීමේ සිය අභිලාෂය උදෙසාද ඔවුහූ වැඩිදුර කටයුතු කරති.

බෝධිසත්වයෝ සියලු සත්වයන්ගේ විමුක්තිය උදෙසා කටයුතු කරන බවට ප්‍රතිඥාවක් ලබාදෙති. එබැවින් ඔවුන්ගේ අවසන් අරමුණ හුදෙක් සිය බුද්ධත්වය පමණක් නොව සියලු සත්ත්වයනටද බුද්ධත්වය සාක්ෂාත් කරගැනීමට උපකාර කිරීමයි. ඔවුන්ගේ මහා කාරුණිකත්වය හේතුකොට අන්‍ය සත්ත්වයනට උපකාර පිණිස සිය පෞද්ගලික බුද්ධත්වය කල් දමන්නාවූ ඔවුහූ ආධ්‍යාත්මික මඟ පෙන්වන්නන් හා ආරක්ෂකයන්ද ලෙස ගෞරවාදරයට පත්වෙති.

බෝධිසත්වවරයෙකුගේ පිළිවෙත් හා ගුණාංග

බුදුන් වහන්සේ තුළ පූර්ණ වශයෙන් වැඩී ඇති ගුණධර්ම බොහොමයක් බෝධිසත්වයන් තුළද යම්තාක් දුරකට දක්නට ලැබේ. බුද්ධත්වයට වඩාත් සමීප වනු පිණිස හා අන්‍යයන් වෙත වඩ වඩාත් උපකාර කරනු පිණිසද ඔවුහූ එම ගුණාංග තවදුරටත් වගා කරගනිති. බෝධිසත්වයන් සතු ගුණයන් අතරින් සමහරක් මෙහිලා විමසා බලමු:

  • කරුණාව - බෝධිසත්වයෝ අන් සියලු සත්ත්වයනට ප්‍රේම කරති. අප අතරින් බොහෝ දෙනෙකු සිය පෞද්ගලික යහ සාධනය මූලිකත්වයෙහි ලා සලකන නමුදු බෝධිසත්වයෝ තමාට පෙර අනෙකාගේ යහපතම පතති. ඔවුහූ සියලු සත්ත්වයන් සිය ප්‍රියතම දරුවන් සේ දක්නා මවක මෙනි. සිය දරුවා හට රෝගාබාධයක් වැළඳුණු අවස්ථාවකදී මවට එම දරුවාගේ වේදනාව ඉවසා සිටිය නොහැකි වන අතර ඔහු උදෙසා ඕනෑම කටයුත්තක නිරත වීමට පසුබට නොවනු ඇත. එයාකාරයෙන්ම, බෝධිසත්වයනටද අප කවරෙකු හෝ දුකට පත්ව සිටිනු බලා නිහඬව සිටිය නොහැක. ඔවුන් සියලු දෙනා සමානයන් සේ සලකා කටයුතු කිරීමට අදහස් කරනු පමණක් නොව, ඔවුනට හැකි පමණින් හැකි ඕනෑම අවස්ථාවක අපට උපකාරීද වෙති.
  • ප්‍රඥාව– බෝධිසත්වයන් හට ප්‍රයෝජනවත් හා හානිකර දේ අතර වෙනස හඳුනාගත හැක. ඔවුන් හට යථාර්ථය හා මනඃකල්පිතය අතර වෙනසද හඳුනාගත හැක. මෙම ගැඹුරු අවබෝධයන් ඔවුනට අන්‍යයන් විමුක්තිය කරා යොමු කරවීමට උපකාරී වේ.
  • කුසලතා පූර්ණ විධික්‍රම– අන්‍යයන් වෙත උපකාර කිරීමේ විධික්‍රම පිළිබඳ දැනුවත්ව සිටීමේ කුසලතාවයෙන් හෙබි බෝධිසත්වයෝ එම කර්තව්‍යය උදෙසා විවිධාකාර විධික්‍රම භාවිත කරති.
  • ත්‍යාගශීලිත්වය -  භෞතික වස්තු සම්බන්ධයෙන් මෙන්ම සිය කාලය හා ශ්‍රමය සම්බන්ධයෙන්ද බෝධිසත්වයෝ ත්‍යාගශීලීහූ වෙති. අන්‍යයන් වෙත උපකාරී වනු පිණිස තමා සන්තක සියලු දේ පරිත්‍යාග කිරීමේ කැමැත්තකින් පසුවන ඔවුහූ සිය සන්තකයනට හෝ සාර්ථකත්වයනට ඇලී සිටින්නෝ නොවෙති.
  • ඉවසීම - බෝධිසත්වයෝ තමා සම්බන්ධයෙන් මෙන්ම අන් අය සම්බන්ධයෙන්ද ඉවසීම ප්‍රකට කරන්නෝ වෙති. බුද්ධත්වය කරා වූ ගමන් මඟ දිගු ගමන් මඟක් බව වටහාගෙන සිටින ඔවුහූ, අන්‍යයන් හට එම අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා අවශ්‍ය ඕනෑම වේගයකට සරිලන සේ ඔවුනට උපකාර කිරීම සඳහා කාලය වැය කිරීමට සූදානම්ව සිටිති.
  • ආචාර ධාර්මික හැසිරීම - බෝධිසත්වයෝ ආචාර ධාර්මික හැසිරීමකට කැපවී සිටිති. එනම්, අන්‍යයනට හානිකර කටයුතුවලින් වැළකී සිටින ඔවුහූ සියලු සත්ත්වයනට සෙත සලසන්නාවූ ක්‍රියාවන් වගා දිගා කරගනිති.
  • විරිය - අන්‍යයනට උපකාර කරනු පිණිස අවහිරතා හා අභියෝගයනට මුහුණ දීමට සූදානම්ව සිටින බෝධිසත්වයෝ නිර්භීත හා විරියවන්තයෝද වෙති. දුෂ්කර තත්ත්වයනට හෝ අන්‍යයනට සෙත සලසනු පිණිස අවදානම්වලට මුහුණ දීමට ඔවුහූ බිය නොවෙති.
4වන සියවසේ චීනයේ මයිජිෂාන් ලෙන් තුළ බෝධිසත්ව ප්‍රතිමා

වර්තමානයේ ජීවමාන බෝධිසත්ත්වවරයෙක් 

පරම පූජනීය දහ හතරවන දලයි ලාමා වහන්සේ බෝධිසත්ත්වයෙකු පිළිබඳ ප්‍රශස්ත උදාහරණයකි. උන් වහන්සේ වෙහෙස නොබලා, අඛන්ඩව හිමිදිරි උදෑසන සිට රාත්‍රී පසු යාමය දක්වා කටයුතු කරති. පැය ගණනාවක් භාවනානුයෝගීව සිටිමින් සෑම දිනයක්ම පෙ.ව. 3ට ආරම්භ කරන උන් වහන්සේ ඉනික්බිති දවසේ ඉතිරි කොටස සෙස්සන් උදෙසා හමුවීම් හා උපකාර කිරීම් වෙනුවෙන් කැප කරති.

වරෙක උන් වහන්සේ දීර්ඝ චාරිකාවකින් අනතුරුව ස්පිටි වෙත පැමිණියහ. මේ අවස්ථාව වන විට උන් වහන්සේ දින ගණනාවක් පුරා ධර්ම දේශනාවන්හි නිරතව සිට තිබූ අතර එතරම් දේශනා ගණනකට සහභාගි වීම හේතුවෙන්ම උන් වහන්සේගේ කටහඬ වියැකී ගොස් තිබිණි. උන් වහන්සේ තවදුරටත් වෙහෙසට පත් කිරීමට අදහස් නොකළ මවිසින් හුදෙක් අසුන් ගෙනම ‘ඕම් මනි පද්මේ හම්’ නමැති කරුණාවේ මන්ත්‍රය එහි සිටි ශ්‍රාවක පිරිස වෙත සම්ප්‍රේෂණය කරන ලෙස ඉල්ලා සිටින ලද අතර, උන් වහන්සේ එයට එකඟ විය. එනමුදු දේශනාව ආරම්භ වූ පසු, එය පහසු ඉරියව්වෙන් සිදුකරන ලෙස මවිසින් ඉල්ලා සිටින ලද නමුදු, තමා හොඳින් සැතපුණු බව පවසා කිසිවෙකුගේ ‌හෝ කාලය නාස්ති කළ නොහැකි බව පවසමින් දේශනාව සිදු කිරීමට තීරණය කළ බව ප්‍රකාශ කරන ලදී. ඉන් අනතුරුව පැය 3කට ආසන්න කාලයක් ‘සියලු යහ ගුණයන්හි පදනම’ නමැති දේශනාව සිදුකළ උන් වහන්සේගේ කටහඬ එම දේශනාව අතරතුරම යහපත් අතට හැරී තිබිණි.

දේශනාවෙන් අනතුරුව, මා උන්වහන්සේ උන්වහන්සේගේ කාමරය කරා කැටුව ගිය අතර එහිදී සිය උඩු සිවුර ඉවත් කර සෝෆාව මත තැබූ උන් වහන්සේ තමා අතිශයින් වෙහෙසට පත්ව සිටින බැවින් දැන් මා හට ඉවත්ව යා හැකි බව දැනුම් දුන් සේක. එනමුදු උන් වහන්සේගේ මුහුණින් කිසිදු වෙහෙසක සළකුණක් දැකගත නොහැකි විය; සත්‍ය වශයෙන්ම, ඉමහත් ශක්තියකින් පිරි මුහුණක් පමණි මා හට දැකගත හැකිවූයේ. වයස අවුරුදු 80ක් වූ කිසිදු සාමාන්‍ය සත්ත්වයෙකු හට මෙසේ ක්‍රියාකළ නොහැකිය යන හැඟීම මා තුළ ඇතිවිය. පරම පූජනීය දලයි ලාමා වහන්සේ සැබැවින්ම විශ්මයජනක උතුමෙකි. 

මෙහි රහස කවරේද යන කුකුසක් මා තුළ ඇතිවිය. එය අන් කවරක් හෝ නොව කාරුණිකත්වයයි. අන්‍යයන්ගේ දුක ස්ථිරසාර ලෙස අවසන් කරනු පිණිස උන් වහන්සේ වෙහෙස නොබලා කටයුතු කරති. අපට කිසිදු වෙහෙසකින් තොරව පැය 4 – 5ක කාලයක් වීඩියෝ ක්‍රීඩා කළ හැකි නමුදු, උන් වහන්සේට අනුව ප්‍රයෝජනවත් එකම කර්තව්‍ය වනුයේ අන්‍යයනට උපකාර කිරීම වන බැවින් එම ක්‍රියාවන් හරහා උන් වහන්සේ වෙහෙසට පත් නොවෙති. කරුණාව, ප්‍රඥාව, වීර්යය ඈ වශයෙන් වූ බෝධිසත්ව ගුණ විමසා බැලීමේදී නිසැක වශයෙන්ම දලයි ලාමා වහන්සේ බෝධිසත්වවරයෙකු බව හඳුනාගත හැක.

අවසානය

බෝධිසත්වවරු යනු බුද්ධත්වය කරා වූ මාර්ගයෙහි සිය අනුගාමිකයනට උපකාර කරන්නාවූ බලවත් හා කාරුණික මාර්ගෝපදේශකවරු වෙති. ඔවුන්ගේ පරාර්ථකාමී ක්‍රියා හා දේශනා තුළින් ඔවුහූ බෞද්ධයනට පරමාදර්ශී චරිත බවට පත්වෙමින් අප තුළද මෙම ගුණාංග වගා කරගැනීමට අවශ්‍ය අනුප්‍රාණය සපයති. එබැවින්, සිය ජීවිත තුළ මහා ප්‍රඥාව හා කරුණාවද සාක්ෂාත් කරගැනීමට අපේක්ෂා කරන්නවුන් හට අනුප්‍රාණයේ හා මාර්ගෝපදේශකත්වයේද මූලාශ්‍රයක් සපයා දෙමින් ලොව පුරා වාසය කරන මිලියන ගණනක් වූ බෞද්ධයන්ගේ ආධ්‍යාත්මික ජීවිතයන්හි වැදගත් කාර්යභාරයක් බෝධිසත්වවරු නොකඩවා ඉටු කරති.

යමෙකු බෝධිසත්වවරයෙකුද, නැත්ද යන්න ප්‍රකාශ කළ හැකි කිසිදු බාහිර සාධකයක් නොපවත්නා අතර, සැබැවින්ම අප සෑම දෙනෙකුටම පෞද්ගලිකවම බෝධිසත්වයෙකු බවට පත්විය හැක. සියලු සත්ත්වයනට සෙත සැලසීමේ අරමුණ පෙරදැරිව බුද්ධත්වයට පත්වීම උදෙසා කටයුතු කරන්නේ නම්, අපි බෝධිසත්වයෝ වෙමු. අනුනට උපකාර කිරීමේ කැමැත්තක් පමණක් නොව හැකියාවක්ද අප සතු තත්ත්වයක සියලු සත්වයන් උදෙසා අපගේ කාලය හා ශක්තියද වැය කිරීමට හැකි වූයේ නම් එය කෙතරම් අසිරිමත් කරුණක් වනු ඇත්ද! අපට සත්‍ය වශයෙන්ම අන්‍යයන්ගේ යහපත උදෙසා කටයුතු කිරීමට අවශ්‍ය වන්නේ නම්, පළමුව බෝධිසත්වයෙකු බවට පත්විය යුතුවන අතර, ඉන්පසු බුද්ධත්වයට පත්වීම කරා අවශ්‍ය කටයුතු කළ හැක. මෙයට වැඩියෙන් ජීවිතය අර්ථාන්විත බවට පත්කළ හැකි අන් කිසිදු කර්තව්‍යයක් නොමැත.

Top