මාත්සර්යය: කැළඹිලිකාරී භාවයන් සම්බන්ධයෙන් කටයුතු කිරීම

13:54
මාත්සර්යයේ බොහෝ ස්වරූපයන් පවතී. එය සෙසු අයගේ සාර්ථකත්වයන් ඉවසා සිටීමේ නොහැකියාව හෝ එම සාර්ථකත්වය අප සතු වූයේ නම් කෙතරම් යහපත්දැයි යන පැතුමද විය හැක. වෙනෙකෙකු සතු දෙයකට ලොල්ව එය අප සතු වේවාය යන පැතුම සහිතව, ඔවුනට එය අහිමි වේවාය යන පැතුමද එයට එක්කළ හැක. මෙහිදී තරගකාරිත්වය හා අප "පරාජිතයන්" හා අනෙක් පාර්ශ්වය "ජයග්‍රාහකයන්" ලෙස නිරපේක්ෂ වශයෙන් සිතා බැලීමේ ද්විත්වවාදී සිතිවිල්ලද ඇතිවිය හැක. මෙකී සියලු සංඝටක විශ්ලේෂණය කිරීම මගින් අපගේ කැළඹිලිකාරී භාවයන් සිඳ දමා ඉන් මිදීමේ දියුණු විධික්‍රම බුදු දහම තුළ ඉදිරිපත් කෙරේ.

කැළඹිලිකාරී භාවයන්

කෙලෙස් හෙවත් කැළඹිලිකාරී භාවයන් අප සියලු දෙනා විසින් අත් විඳින්නෙමු. එ්වා වූකලි අප සිත් තුළ වැඩි වර්ධනය වූ කල අපගේ චිත්ත සාමය අහිමි කරවමින් ස්වයං පාලනය අතුරුදන් කෙරෙන පරිදි අප අකර්මණ්‍ය කරවන්නාවූ චිත්ත ස්වභාවයන්‌ වේ. තණ්හාව, ඇල්ම, එදිරිවාදිත්වය, කෝපය, මාත්සර්යය හා ඊර්ෂ්‍යාව මේ සම්බන්ධ පොදු උදාහරණ වේ. එ්වා මගින් සාමාන්‍යයෙන් හානිකර චර්යාවන් වෙත අප යොමු කරවන්නාවූ විවිධාකාර මානසික පෙළඹීම් (කර්ම) ඉස්මතු කරවනු ලබයි. මෙම පෙළඹීම් අන්‍යයන් කෙරෙහි හානිකර ලෙස ක්‍රියා කිරීමට හෝ ස්වයං විනාශකාරී ආකාරයකින් කටයුතු කිරීමට හේතුවන එ්වා විය හැක. එහි ප්‍රතිඵලය වනුයේ අප විසින් ගැටලු නිර්මාණය කරගනිමින් අන්‍යයන් වෙත මෙන්ම අනිවාර්යයෙන් අප වෙතද දුක් ඇති කරලීමයි.

සුවිශාල සංඛ්‍යාවක කැළඹිලිකාරී භාවයන් පෙළක් පවතී. සෑම සංස්කෘතියක් විසින්ම එහි සමාජය තුළ සිටින බොහෝ පුද්ගලයන් අත්විඳින පොදු භාවමය අත්දැකීම් සමූහයක් වටා අතාර්කික රේඛාවක් ඇඳ එය යම් කාණ්ඩයක් ලෙස විස්තර කරන්නාවූ යම් අර්ථ නිරූපණ ලක්ෂණ  තීරණය කොට ඉනික්බිති එම කාණ්ඩය යම් නාමයකින් නම් කරනු ලබයි. එ් එක් එක් සංස්කෘතියක් විසින් එකිනෙකට වෙනස් ලෙස පොදු භාවමය අත්දැකීම් සමූහයක් තෝරාගෙන, එ්වා විස්තර කරනු පිණිස විවිධ වූ අර්ථ නිරූපණ ලක්ෂණද තෝරා ගනිමින් ඉන්පසු විවිධ වර්ගයේ කැළඹිලිකාරී භාව කාණ්ඩයන් හඳුන්වා දෙනු ලබයි.

විවිධ සංස්කෘතීන් විසින් නිශ්චිතව දක්වනු ලබන කැළඹිලිකාරී භාව කාණ්ඩ සාමාන්‍යයෙන් එකක් මත එකක් නොවැටේ. මක් නිසාද, එම භාවයන් අර්ථ නිරූපණය කර ඇති ආකාරය යම් තරමකින් එකිනෙකට වෙනස් වන බැවිනි. නිදසුනක් ලෙස, සාමාන්‍යයෙන් "ඊර්ෂ්‍යාව" ලෙස පරිවර්තනය කෙරෙන වචනය සඳහා සංස්කෘත භාෂාවෙන් ඊර්ෂ්‍යා යන වදනද තිබ්බත භාෂාවෙන් ෆ්රැග්-ඩොග් යන වචනයද යොදනු ලබන අතර බොහෝ බටහිර භාෂාවන්හි එ් සඳහා වචන දෙක බැගින් පවතී. ඉංග්‍රීසි භාෂාවේ “jealousy” හා “envy,” යන වචනද, ජර්මන් භාෂාවේ “Eifersucht” හා“Neid” යන වචනද එ් සඳහා යෙදේ. ඉංග්‍රීසි වචන දෙක අතර පවත්නා වෙනස වූකලි ජර්මන් වචන දෙක අතර පෙන්වන වෙනසම නොවන අතර, සංස්කෘත හා තිබ්බතීය භාෂාවන්හි වචනද එකිනෙක හා මුළුමනින්ම සමාන්තර අරුත් දනවන වචන නොවේ. බටහිර ජාතීන් වශයෙන් අපි අපගේම සංස්කෘතීන් හා භාෂාවන් විසින් නිර්මිත කාණ්ඩයන් විසින් පිහිටුවන ලද මෙම පොදු කාණ්ඩයේ භාවමය ගැටලු අත් විඳින්නේ නම්, හා එ්වා මැඩ පැවැත්වීමේ බෞද්ධ විධික්‍රම ඉගෙනීමට අපේක්ෂා කරන්නේ නම්, එ්වා සංකල්පීයකරණය කරන අතරතුර විග්‍රහ කරමින් අපගේ භාවයන් කැබලිවලට වෙන්කොට බුදු දහම තුළ අර්ථ නිරූපිත කැළඹිලිකාරී භාවයන් ගණනාවක් තුළට ඇතුළත් කළ යුතුවේ.

‍මෙහිදී "මාත්සර්යය" නමැති අරුත දෙන බෞද්ධ වදන සම්ප්‍රදායික අර්ථ නිරූපණයට වඩාත් සමීපස්ථ වන බැවින් එ් පිළිබඳ අවධානය යොමු කරමු. "අත්‍යවශ්‍ය කරුණු" නමැති කොටසේදී සම්බන්ධතාවයන්හිදී ආදී වශයෙන් ඇතිවන ඊර්ෂ්‍යාව පිළිබඳව වෙනම සාකච්ඡා කළෙමු (සම්බන්ධතාවයන්හිදී ඇතිවන ඊර්ෂ්‍යාව සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය බලන්න).

මාත්සර්යය යනු කවරක්ද?

"මාත්සර්යය" යන්න එදිරිවාදිත්වයේ කොටසක් ලෙස බෞද්ධ ග්‍රන්ථ තුළ කාණ්ඩගත කෙරේ. "පුද්ගලයන්ගේ යහගුණ, හිමිකම්, හෝ සාර්ථකත්වයන් ඈ වශයෙන් එන ජයග්‍රහණයන් මත අවධානය යොමු කරමින් තමා ලබන ලාභයන් හෝ ගෞරවය කෙරෙහි පවත්නා අධිකතර ඇල්ම හේතුකොට අන්‍යයන්ගේ පෙරකී ආකාරයේ සාර්ථකත්වයන් දරාසිටීමේ නොහැකියාව ඇසුරින් ඉස්මතුවන කැළඹිලිකාරී භාවයක්" ලෙස ඔවුහූ එය අර්ථ නිරූපණය කරති.

මෙහිදී ඇල්ම යනුවෙන් අරුත් ගැන්වෙනුයේ අපට වැඩියෙන් අන්‍යයන් විසින් සාර්ථකත්වයක් අත්පත් කරගත් ඇතැම් ක්ෂේත්‍රයන් කෙරෙහි අවධානය යොමු කරවමින් එහි ධනාත්මක පැතිකඩයන් අතිශයෝක්තියට නැංවීමයි. අපගේ සිත තුළ මෙම ක්ෂේත්‍රය ජීවිතයේ වැදගත්ම පැතිකඩයක් බවට පත්කරමින් අපගේ ස්වයං වටිනාකම පිළිබඳ හැඟීම එ් මත රඳවන්නෙමු. එමගින් "මා" පිළිබඳව පවත්නා අධිකතර සිහි කල්පනාව හා සැලකිල්ලක් හා ඇල්මක් අඟවනු ලබයි. එ් අනුව, මෙම විෂය ක්ෂේත්‍රයේදී අපි "අපගේ ලාභයට හෝ අප ලබන ගෞරවයට ඇලී සිටින" බැවින් මාත්සර්යය ඇතිවේ. නිදසුනක් ලෙස, අපි අප සතු මුදල් සම්භාරය කෙරෙහි හෝ අප කෙතරම් යහපත් පුද්ගලයන්ද යන අදහස කෙරෙහි බොහෝ සෙයින් ඇලී සිටිය හැක. එදිරිවාදිත්වයේ එක් පැතිකඩයක් වශයෙන් මාත්සර්යය විසින් මෙම ඇල්ම තුළට සෙස්සන් විසින් මෙම ක්ෂේත්‍රයේදී ලබා ඇති සාර්ථකත්වයන් කෙරෙහි දැඩි නුරුස්නා බවක් එක් කරනු ලබයි. එය වූකලි අන්‍යයන් විසින් අත්කරගෙන ඇති සාර්ථකත්වය දැක සතුටු වීමේ හැඟීමට ප්‍රතිවිරුද්ධ හැඟීමයි. බොහෝ විට මාත්සර්යය යන්නට අපට වැඩියෙන් යම් වාසියක් අත් විඳින්නේ යැයි අපට හැඟෙන පුද්ගලයා කෙරෙහි ඇතිවන එදිරිවාදිත්ව ලක්ෂණයක්ද ඇතුළත්ය. සැබැවින්ම එකී වාසිය සත්‍ය වශයෙන්ම පවතින්නක් හෝ නොපවතින්නක්ද විය හැකි නමුත් එම දෙ අවස්ථාවේදීම අපි අප කෙරෙහිම හා අපට ලැබී නොමැති දෙය කෙරෙහි වූ සිතිවිල්ලක ගැලී සිටින්නෙමු.

තවද, බුදු දහමේ විග්‍රහ කෙරෙන මාත්සර්යය තුළ ඉංග්‍රීසි “envy” යන වචනයේ අර්ථය මුළුමනින්ම නොවුවද කොටසක් ආවරණය කෙරේ. ඉංග්‍රීසි සංකල්පය තුළ මෙයට වැඩි යමක් ඇතුළත් වේ. එතුළ බුදු දහම තුළ "අභිධ්‍යාව" හෙවත් "තෘෂ්ණාව" ලෙස හඳුන්වන දෙයද ඇතුළත් වේ. "තෘෂ්ණාව" යනු "වෙනත් අයෙකු සතුව පවත්නා දෙයක් සම්බන්ධයෙන් පවත්නා අධිකතර ඇල්ම"යි. එ් අනුව, මාත්සර්යය හෙවත් envy යන්නට යෙදෙන ඉංග්‍රීසි අර්ථ නිරූපණය වනුයේ "වෙනත් අයෙකු විසින් යම් වාසියක් අත් විඳින්නේය යන වේදනාකාරී හෝ නුරුස්නා ස්වභාවයේ දැනුවත්භාවය සමගින් එම වාසියම තමාටද භුක්ති විඳීම සඳහා ඇතිවන ආශාවයි". වෙනත් අයුරකින් පවසන්නේ නම්, බුදු දහම තුළ පෙන්වා දෙන පරිදි අප විසින් වැදගත්කම අතිශයෝක්තියට නංවාලන ක්ෂේත්‍රයක වෙනයම් අයෙකු අත්පත් කරගෙන ඇති සාර්ථකත්වය දරා සිටීමේ නොහැකියාවට අමතරව, මාත්සර්යය යන්නෙන් මෙම සාර්ථකත්වයන් අප වෙතට ලබා ගැනීමේ පැතුම වේ. අප මෙම ක්ෂේත්‍රය විෂයයෙහි දුගී හෝ කිසිවක් නොමැති තත්ත්වයක පසුවිය හැකි අතර නොඑසේ නම් දැනටමත් අප සතුව සාමාන්‍ය තත්ත්වය ඉක්මවූ හෝ ප්‍රමාණාත්මක තරම් එ් දේ පවතිනවාද විය හැක. අපි මාත්සර්ය සහගත නම් හා එයට වැඩියෙන්ද එ් දේ අපේක්ෂා කරන්නෝ නම්, අපගේ ලෝභය තෘෂ්ණාව දක්වා වැඩි වර්ධනය වී ඇත. අවශ්‍යයෙන්ම නොවුවද, බොහෝ විට අන්‍යයන් විසින් අත්පත් කරගෙන ඇති දේ අපට ලබාගැනීමට හැකිවනු පිණිස එය ඔවුන්ට අහිමි වේවාය යන ඉදිරි පැතුමක්ද මාත්සර්යය තුළ අන්තර්ගත වේ. මෙහිදී එදිරිවාදිත්වය නමැති තවත් අන්තර්ගතයක් මෙම භාවයට එක්වේ. තෘෂ්ණාව හා සම්බන්ධිත වන මාත්සර්යය මගින් තරගකාරිත්වයක් ඇති කෙරේ. මෙලෙසින්, ටෘන්ගා රින්පෝෂේ විස්තර කරන ආකාරයට මාත්සර්යය යනු බොහෝ සෙයින් තරගකාරීව අනුන් හෝ අපවම අභිබවා යාම සඳහා වියරුවෙන් මෙන් කටයුතු කිරීම සඳහා අප යොමු කරවන කැළඹිලිකාරී භාවය වේ. එය බලහත්කාරී ක්‍රියාව හෙවත් "කර්ම පවුල" නමින් හැඳින්වෙන අංගය සමගින් සම්බන්ධ වේ. අනුන් විසින් සාක්ෂාත් කරගත් දේ සම්බන්ධයෙන් පවත්නා මාත්සර්යය හේතුකොට, ව්‍යාපාර හෝ ක්‍රීඩාවන්හි පවත්නා අධිකතර තරගකාරිත්වයේදී මෙන් අප විසින් අපවම හෝ අප යටතේ සේවය කරන්නන් එම තරගතාරිත්වය කරා තල්ලු කරවනු ලබයි. මේ අනුව, බුදු දහම තුළ මාස්තර්යය නියෝජනය කරනු සඳහා අශ්වයෙකු දක්වනු ලබයි. ඌ මාත්සර්යය හේතුකොට වෙනත් අශ්වයන් සමගින් තරඟ ධාවනයක නිරත වේ. වෙනත් අශ්වයෙකු වඩා වේගයෙන් දිව යන්නේ නම් ඌට එය දරාගත නොහැකි වේ.

මාත්සර්යය හා තරගකාරිත්වය

මාත්සර්යය විසින් අවශ්‍යයෙන්ම තරගකාරිත්වයක් ඇති නොකළද බුදු දහම තුළ මාත්සර්යය හා තරගකාරිත්වය සමීපව සම්බන්ධ කොට දක්වනු ලබයි. යමෙකු තවත් අයෙකු සම්බන්ධයෙන් මාත්සර්යයෙන් පසු වුවද, අඩු ස්වයං ඇගයීම හේතුකොට තරග කිරීමට උත්සාහයක් පවා නොදැරිය හැක. එමෙන්ම, තරගකාරී වීම තුළද අවශ්‍යයෙන්ම මාත්සර්යයක් අන්තර්ගත නොවිය හැක. කිසි විටෙකුදු ලකුණු ලබා ගැනීමේ අදහසකින් තොරව ඇතැම් පුද්ගලයෝ හුදෙක් විනෝදය, ආස්වාදය හා අන්‍යයන්ගේ ඇසුර අපේක්ෂාවෙන්මද තරගයට ප්‍රවේශ වෙති.

බුදු දහම තුළ මාත්සර්යය හා තරගකාරිත්වය එකිනෙකට වෙනස්ව සම්බන්ධ කෙරේ. නිදසුනක් ලෙස බෝධිසත්ත්ව චර්යාවෙහි නියැළීම නම් කෘතියේ මහා ඉන්දියානු ගුරු ශාන්තිදේයවන් විසින් මාත්සර්යය යන්න ඉහළ තත්ත්වයන්හි සිටින පුද්ගලයන් කරා වූ මාස්තර්යය, සමානයන් සමගින් පවත්නා තරගකාරිත්වය හා පහළ තත්ත්වයන්හි සිටින අය කෙරෙහි දක්වන උඩඟු භාවය යන ත්‍රිත්වය එකම සාකච්ඡාව තුළට සම්බන්ධ කරනු ලබයි. ඔහුගේ සාකච්ඡාව සිදුවනුයේ සියලු සත්ත්වයෝ සමානයන් සේ දැකීමට ඉගෙනීමේ සන්දර්භය තුළය.

බුදු දහම තුළ මෙහිලා "මා" විශේෂ අයෙකුය යන හැඟීම ඇමන්ත්‍රණය කරනු ලබයි. එහි පදනමෙහි තෙයාකාරයේම කැළඹිලිකාරී භාවයන් පවතී. ජීවිතයේ ඉදිරි ගමනක යෙදීම වැනි යම් නිශ්චිත දියුණුවක් ලැබිය යුතුවන එකම පුද්ගලයා "මා" වන බවක් සිතන්නේ නම් හා හැඟෙන්නේ නම් සහ වෙනයම් අයෙකුගේ සාර්ථකත්වය දැක මාස්තර්යයක් උපදින්නේ නම්, අපි තරගකාරී වෙමු. අප දැනටමත් සාමාන්‍ය වශයෙන් සාර්ථකත්වයක් ලබා ඇති නමුදු අනෙකා පරයා නැගී සිටිය යුතුවේ. මෙහිලා මාත්සර්යය යනු "මා" පිළිබඳ දැඩි හැඟීමක් හා අප පිළිබඳවම වූ සිතිවිල්ලෙහි ගිලී සිටීමයි. අපි අප හා සමානයන් ලෙස අන්‍යයන් පිළිබඳ සලකා නොබලන්නෙමු. අපි අප විශේෂ පුද්ගලයන් සේ සලකමු.

මෙයාකාරයේ මාත්සර්යයන්, තරගකාරිත්වයන් හා උඩඟුබව විසින් ඇතිකරන ගැටළු හා අසතුට විෂයයෙහි බුදු දහම විසින් ලබාදෙනු ලබන ප්‍රතිකර්මය වනුයේ "මා" හා "ඔබ" පදනමෙහි පවත්නා මිථ්‍යා විශ්වාසයයි. අප විසින් සියලු දෙනා සමානයන් සේ අවබෝධ කරගෙන සැලකිය යුතුය. සියලු දෙනා කෙරෙහි බුදුවරයෙකුගේ ස්වභාවය හෙවත් බුද්ධත්වය සාක්ෂාත් කරගැනීමට අවකාශ සලසන්නාවූ විභවයන් පවත්නේය යන අරුතින් සියලු දෙනා තුළ සමාන මූලික හැකියාවන් පවතී. තවද, සියලු දෙනා තුළම සතුටින් සිටීමේ හා සාර්ථක වීමේ සහ අසතුටින් නොසිටීමේ හෝ අසාර්ථක නොවීමේ සම පැතුමක් පවතී. ඕනෑම අයෙකු හට සාර්ථක වීමේ හා සතුටින් සිටීමේ හිමිකමක් මෙන්ම අසතුටින් නොසිටීමේ හෝ අසාර්ථක නොවීමේ සම හිමිකමක්ද පවතී. මෙම කෝණයෙන් සලකන කල "මා" සම්බන්ධ කිසිදු විශේෂත්වයක් නොමැත. බුදු දහම තුළ සියලු දෙනා සමාන සේ නිදුක් වෙත්වාය යන පැතුම හෙවත් ආදරයද දේශනා කරනු ලබයි.

බුද්ධ ස්වභාවය හා ආදරය ප්‍රකාර සියලු දෙනා සමානයන් සේ දකින්නට ඉගෙන ගත් විටදී, බුද්ධ ස්වභාවය හා ආදරයට අනුව, අපට වැඩියෙන් සාර්ථකත්වයක් අත්පත් කරගත් හෝ අප අත්පත් කර නොගත් සාර්ථකත්වයක් සාක්ෂාත් කරගත් අයෙකු සම්බන්ධයෙන් ඇතිකර ගන්නා ආකල්පය කවරේද යන්න වටහා ගැනීමේ ඉඩකඩ විවර වේ. සියලු දෙනා සතුටින් සිටීවාය යන්න අපගේ පැතුම වන බැවින් ඔහුගේ හෝ ඇයගේ සාර්ථකත්වයේදී අපිද සතුටු වෙමු. අපගේ සමානයන් සමගින් තරග කරනු හෝ ඔවුන් අභිබවා යනු වෙනුවට ඔවුන්ටද සාර්ථක වීමට අවශ්‍ය උපකාරයන් ලබාදීමට උත්සාහ කරන්නෙමු. අපට අඩුවෙන් සාර්ථකත්වයක් අත් කරගත් අය ගත් කල අපගේ ප්‍රගතිය සම්බන්ධයෙන් අභිමානයට පත්වීම හෝ ඔවුනට වඩා ඉහළින් වැජඹෙන්නේය යන හැඟීම ඇතිකර ගැනීම වෙනුවට ඔවුනටද යහපත සිදු කිරීමට උත්සාහ කරමු.

මාත්සර්යය හා තරගකාරිත්වයට අදාළ සංස්කෘතික ප්‍රතිබලය

ඇතැම් බටහිර සංස්කෘතික වටිනාකම් විසින් අපගේ ස්වයංක්‍රීයව ඉස්මතුවන මාත්සර්යය හා තරගකාරිත්වය ප්‍රතිබල ගන්වමින්, සවිමත් කරමින් එයට ප්‍රශංසා කිරීමට පවා පෙළඹෙන විටදී මෙසේ යෝජිත බෞද්ධ විධික්‍රම ක්‍රියාත්මක කිරීම අතිශයින් ඉහළ මට්ටමේ හා විශේෂයෙන් දුෂ්කරද වූ එ්වා වේ. එක්තරා අයුරකින් සියලුම ළමුන් පාහේ ජයග්‍රහණය ප්‍රිය කරන අතර පරාජයේදී හඬා වැටෙති. එනමුත් එ් සියල්ලටම ඉහළින්, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයේ ස්වභාවිකවම වඩාත් යහපත් ආකෘතිය වශයෙන් බොහෝ බටහිර සංස්කෘතීන් තුළ ධනවාදය උගන්වනු ලබයි. එහි පදනමෙහි පවත්නේ ආදරය හා සෙනෙහසට වඩා ජීවිතයේ මූලික ධාවන බලය ලෙස තරගකාරිත්වය පනවන්නාවූ, ශක්තිමත්ම පුද්ගලයා ජය ගන්නාවූ න්‍යායකි. තවද, බටහිර සංස්කෘතීන් තුළ තරගකාරී ක්‍රීඩාවන්, හොඳම මලල ක්‍රීඩකයන් සහ ලොව පොහොසත්ම පුද්ගලයන් අභිනන්දනයේ වැදගත්කම පිළිබඳ චෛතසිකයන් බලගන්වනු ලබයි.

මෙයට අමතරව, ප්‍රජාතන්ත්‍රවාදයේ සමස්ත දේශපාලන ක්‍රමය හා ඡන්දය ප්‍රකාශ කිරීම තුළද තරගකරිත්වයක් අන්තර්ගත වේ - අදාළ ධුරය සඳහා අපගේ ප්‍රතිවාදීන්ට වඩා අප කෙතරම් යහපත් වන්නේද යන්න සමාජගත කරමින් අපේක්ෂකයන් ලෙස අපගේ ප්‍රතිරූපය ලබාදී එය අලෙවි කිරීම ආදී වශයෙනි. බටහිර රටවල පොදුවේ සිදු කරන ආකාරයට, පෞද්ගලික ජීවිතයද ඇතුළත්ව ප්‍රතිවාදී අපේක්ෂකයන්ගේ හඳුනාගත හැකි සියලු දුර්වලතා සොයා ගනිමින් ඔහු හෝ ඇය නින්දාවට පත් කරනු පිණිස එ්වා ප්‍රමාණය ඉක්මවා පුම්බා එ්වාට පුළුල් ප්‍රතිචාරයක් ලබාදීමද එම ව්‍යාපාරය තුළට ඇතුළත් කෙරේ. ඊර්ෂ්‍යාව හා තරගකාරිත්වය මත  පදනම් වූ එවන් චර්යා රටාවන් ප්‍රශංසා කටයුතු හා සාධාරණ බවටද බොහෝ අය සිතති. භාවමය ගතිකය එක සමාන වුවද මෙහිලා යෙදෙන බෞද්ධ යෙදුම "මාත්සර්යය" ලෙස පරිවර්තනය කිරීමට වඩා "ඊර්ෂ්‍යාව" ලෙස පෙරළීම වඩාත් සුදුසු වේ.

අනෙක් අතින් තිබ්බතීය සමාජය තුළ අන්‍යයන් අවප්‍රමාණය කරමින් ඔවුනට වඩා තමා යහපත් අයෙකිය යන්න ප්‍රකාශ කරන්නා පිළිකුල් කරනු ලබයි. මේවා සෘණාත්මක චරිත ලක්ෂණ ලෙස සැලකේ. සත්‍ය වශයෙන්ම පළමු මූලික බෝධිසත්ත්ව ශික්ෂාව වනුයේ කිසි විටෙකුදු තමා උසස් කොට සලකා අන්‍යයන් අපට වඩා අඩු තත්ත්වයේ පුද්ගලයන් ලෙස පහත් කොට නොසැලකිය යුතු බවයි. මෙහිලා ඡන්දය පිණිස පොදු ජනතාව වෙත එවන් වදන් වෙළඳ දැන්වීම්කරණයද ඇතුළත් වේ. මෙම භාවය ආමන්ත්‍රණය කරන පුද්ගලයා පාර්ශ්වයෙන් ලාභ ලැබීමේ, ප්‍රශංසා ලැබීමේ, ආදරය, ගෞරවය ආදියද ලැබීමේ ආශාව ලෙසද පහත් කොට සලකන පුද්ගලයා සම්බන්ධ ඊර්ෂ්‍යාව ලෙසද නිශ්චිතව දක්වනු ලැබේ. අප ප්‍රකාශ කරන දෙය සත්‍ය වුවද, අසත්‍ය වුවද වෙනසක් නොමැත. එයට ප්‍රතිවිරුද්ධව අප පිළිබඳවම කථා කිරීමේදී, අතිශයින්ම නිහතමානී වෙමින් "මගේ ළඟ එච්චර යහපත් ගුණාංග නැහැ; මං දන්න දේකුත් නෑ"යි පැවසීම ප්‍රශංසා කටයුතු තත්ත්වයක් සේ සැලකේ. එ් අනුව ප්‍රජාතන්ත්‍රවාදය හා ඡන්ද ව්‍යාපාරය සාමාන්‍ය බටහිර ආකෘතියෙන් ක්‍රියාත්මක කළහොත් එය තිබ්බතීය සමාජය තුළ සම්පූර්ණයෙන්ම ආගන්තුක හා සාර්ථක නොවන දෙයක් වේ.

කාර්යාලයේ සේවය සඳහා ඉක්මනින් යා යුතුය වැනි දෙයක් පැවසීම වුවද අහංකාරය පිළිබඳ සැක කළ හැකි ලක්ෂණයක් හා ජන හිතකාමී නොවන අභිලාශයක් ලෙස සලකනු ලැබේ. කළ හැකි එකම දෙය වනුයේ නාම යෝජනා ලැබූවන් නොව, ඔවුන්ගේ නියෝජිතයන් විසින් සිය නාම යෝජකයන්ගේ යහපත් ගුණාංග හා සාර්ථකත්වයන් එම ධුරය සඳහා ඉදිරිපත්ව සිටින ප්‍රතිවාදීන් සමගින් සන්සන්දනයකින් තොරව හා ඔවුන් පිළිබඳ කිසිදු වරදක්ද ප්‍රකාශ නොකරමින් ඉදිරිපත් කිරීමය. කෙසේ වුවද, මෙය සිදුවනුයේ ඉතාමත් කලාතුරකිනි. සාමාන්‍යයෙන් ලාමාවරුන් වශයෙන් සිටින අය හා උත්තුංග පවුල්වලින් එන්නාවූ, ජනප්‍රිය අපේක්ෂකයන් ඔවුන්ගෙන් තරගයට ඉදිරිපත් වීමට අපේක්ෂා කරන්නේද යන්න විමසීමකින් පවා තොරවම නාම යෝජනා කරනු ලැබේ. තමා එම ධුරය සඳහා ඉදිරිපත් වීමට අපේක්ෂා නොකරන්නේ යයි ඔවුන් විසින් ප්‍රකාශ කළහොත්, එය නිහතමානිත්වයේ ලකුණක් සේ හඳුනාගනු ලැබේ. මක් නිසාද, ක්ෂණිකවම "ඔව්" යැයි පැවසීම අහංකාරය හා බලය සඳහා ඇති කෑදරකමක් සේ පෙනෙන බැවිනි. නාම යෝජනා කරන ලද්දෙකු හට එය ප්‍රතික්ෂේප කිරීම සිදුකළ නොහැකි තරම්ය. ඉන්පසු, ඡන්ද ව්‍යාපාරයෙහි යෙදීමකින් තොරවම ඡන්ද විමසීම සිදුකරනු ලබයි. ජනතාව විසින් සාමාන්‍යයෙන් වඩාත් ප්‍රසිද්ධ අපේක්ෂකයා වෙත සිය ඡන්දය ප්‍රකාශ කරනු ලබයි.

මෙලෙසින්, ධනවාදයේ හා බටහිර ඡන්ද ව්‍යාපාර ක්‍රමයේ පවත්නා යහගුණ ඉතා තදින් සිතට කාවද්දාගෙන සිටින බටහිර ජාතීන් වෙත අන්‍යයන්ගේ ජයග්‍රහණයේදී සතුටු වීමේ - හා ඉන්පසු බලවත්ම පුද්ගලයා අන්‍යයන් වෙත සිය ජයග්‍රහණය ලබා දෙමින් තමා වෙත පරාජය භාර ගැනීමට පවා යෙදෙන - බෞද්ධ ක්‍රමය යෝග්‍යතම පළමු ප්‍රතිකර්මය නොවිය හැක. බටහිර ජාතීන් වශයෙන් අප විසින් පළමුව අපගේ සංස්කෘතික වටිනාකම් නැවත තක්සේරු කොට ස්වයංක්‍රීයව ඉස්මතුවන මතවාදාත්මකව පදනම්ගත ආකෘතීන් ආමන්ත්‍රණයට පෙර එම වටිනාකම් පිළිගැනීමෙන් ඉස්මතුවන ඊර්ෂ්‍යාව, මාත්සර්යය හා තරගකාරිත්වය සම්බන්ධයෙන් කටයුතු කළ යුතුය.

ඉන්දියාවේ වෙළඳපල තුළින් බටහිර සංස්කෘතිය පදනම් කරගත් ඊර්ෂ්‍යාව, මාත්සර්යය හා තරගකාරිත්වයේ පවත්නා සාපේක්ෂතාවය දැකීමට යම් සහායක් ලබාගත හැක. ඉන්දියාවේ රෙදිපිළි වෙළඳසැල්, රත්‍රන් වෙළඳසැල්, එළවළු වෙළඳසැල් ආදිය වේ. එ් එක් එක් වෙළඳපල තුළ අලෙවි කුටි හා සාප්පු එකිනෙකට යාබදව පේළි ගණනින් ඇති අතර එ් සියල්ල තුළ බොහෝ දුරට එකම  ආකාරයේ භාණ්ඩ අලෙවි වේ. බොහෝ වෙළඳසැල් හිමියෝ එකිනෙකා සමග මිත්‍රශීලීව වාසය කරන අතර නිරතුරු සිය වෙළඳසැලෙන් පිටත සිට එක්ව තේ පානය කරති. ඔවුන්ගේ ආකල්පය වනුයේ සිය වෙළඳසැල්වල කටයුතු සාර්ථක වන්නේද නැත්ද යන්න හුදෙක් කර්මය මත රඳා පවත්නා බවයි.

මාත්සර්යයෙහි පදනමේ පවත්නා වංචාකාරී පෙනුම

පෙරදී දුටු පරිදි, මාත්සර්යය යනු යමෙකුගේ මූල්‍යමය ආදී අංශයන්ගෙන් ලබන සාර්ථකත්වය බඳු අප විසින් වැදගත්කම අතිශයෝක්තියට නංවන්නාවූ ක්ෂේත්‍රයක් තුළ යමෙකු ලබා ඇති සාර්ථකත්වයයි. එම සාර්ථකත්වය පිළිබඳ වූ මාත්සර්යය හේතුකොට ඔහු වෙනුවට අපට එම තත්ත්වය සාක්ෂාත් කරගත හැක්කේ නම් යහපත්ය යන අදහසක්, පැතුමක් අප තුළ ඇතිවේ. යමෙකු විසින් වෙනත් අයෙකුගෙන් ආදරය හෝ සෙනෙහස බඳු යමක් ලබන විටදී මෙයට වෙනස් වූ දෙයක් සිදුවේ. මෙහිදීද එය ඔහුට නොව අපට ලැබේවාය යන පැතුම අප තුළ ඇතිවේ.

ව්‍යාකූලත්වය හා හුදෙක් දේවල පැවැත්ම කවරාකාරද යන්න පිළිබඳ නොදැනුවත්භාවය හේතුකොට අපගේ සිත් තුළින් නිර්මාණය වී ප්‍රක්ෂේපණය කෙරෙන රැවටිලිකාරී දර්ශනයන් දෙකක් තුළින් මෙකී කැළඹිලිකාරී භාවය උත්පාදනය වේ. පළමුවැන්න වනුයේ (1) යමක් සාක්ෂාත් කරගැනීමේ හෝ ලබාගැනීමේ නෛසර්ගික හිමිකමක් පවත්නා දැඩි පැවැත්මක් ඇතැයි පෙනෙන්නාවූ නමුත් එවැන්නක් නොලද "මා" හා (2) එය නෛසර්ගිකවම ලැබිය යුතු නොවන, දැඩි පැවැත්මක් ඇතැයි පෙනෙන්නාවූ "ඔබ" නම් වූ ද්විවිධාකාර පෙනුමයි. නොදැනුවත්වම ලෝකය අපට යම් කිසි ණයගැතිභාවයක් ඇත්තේය හා අප වෙනුවට එසේ ලැබිය යුතු දේ අන්‍යයන් වෙත ලැබීම අසාධාරණ බව අපට හැඟේ. අපි ලෝකය ශක්තිමත් වූ කාණ්ඩ දෙකකට බෙදන්නෙමු: "පරාජිතයන්" හා "ජයග්‍රාහකයන්" වශයෙනි. ඉන්පසු, මෙසේ ශක්තිමත් හා සැබෑ වූ කාණ්ඩ තුළ වූ රාමු තුළ මිනිසුන් සැබැවින්ම සිටින අතර සොයාගත හැකි බවද සිතා ගන්නෙමු. ඉන්පසු අපි "පරාජිතයා යන ශක්තිමත් හා ස්ථිර කාණ්ඩය තුළට අප ඇතුළත් කරමින් අනෙක් පුද්ගලයා "ජයග්‍රායකයා" යන ශක්තිමත් ස්ථිර කාණ්ඩය තුළට ඇතුළත් කරන්නෙමු. අපි ඇතැම් විට අප හැර අන් සියල්ලන් ජයග්‍රාහක රාමුව තුළට ඇතුළත් කළ හැක. එහිදී අපට නුරුස්නා බවක් පමණක් නොව අප සාප ලද්දන්ය යන හැඟීමක්ද ඇතිවේ.  මෙමගින් "අසරණ මා" යන වේදනාත්මක සිතිවිල්ල දරා සිටීමේ නැඹුරුවක් ඇතිවේ.

චර්යාත්මක හේතු ඵලවාදය පිළිබඳ නොදැනුවත්භාවය මගින් සාමාන්‍යයෙන් මාත්සර්යය ඇති කෙරේ.  නිදසුනක් ලෙස, උසස් වීමක් හෝ යම් සෙනෙහසක් ලද පුද්ගලයා එය ලබාගැනීමේ සුදුසුකම් සපුරාලනු වස් යම් කිසිවක් සිදු කළේය යන සත්‍යය අපි වටහා නොගන්නා අතර ඇතැම් විට ප්‍රතික්ෂේපද කරන්නෙමු. තවද, ලබාගැනීම සඳහා කිසිවක් සිදු නොකරම එය අපට ලැබිය යුතුය යන හැඟීමක්ද ඇතිවේ. මෙයට විකල්ප ලෙස, අප විසින් බොහෝ දේ කළ නමුත් එයට ලැබිය යුතු ප්‍රතිලාභය නොලැබුණේය යන හැඟීමක් ඇතිවේ. මේ අනුව අපගේ සිත් තුළින් දෙවන වංචනික දර්ශනයක් නිර්මාණය කොට එය ප්‍රක්ෂේපණය කරනු ලබයි. අපගේ ව්‍යාකූල සිත් මගින් කිසිදු හේතුවක් නොමැතිවද, නොඑසේ නම් අප විසින් සිදුකරන ලද කාර්යය හේතුවෙන් පමණක් දේවල් සිදුවන ආකාරයක් පෙන්වනු ලබයි.

රැවටිලිකාරී දර්ශන විඛන්ඩනය කිරීම හෙවත් කොටස්වලට ගලවා බැලීම

මෙකී වංචනික දර්ශන දෙක කොටස්වලට ගලවා බැලිය යුතුවේ. සජීවී සත්ත්වයන්ගේ ලෝකයේ නෛසර්ගික ධාවක මූලධර්මය තරගකාරිත්වය හෙවත් ජයග්‍රහණය කිරීමේ පෙළඹීම හා ශක්තිමත්ම පුද්ගලයා ජය ගැනීම යන්නක් අපගේ සංස්කෘතීන් විසින් උගන්වා තිබෙන්නට පිළිවන. එනමුදු එම පැතිකඩ සත්‍ය නොවිය හැක. එසේ වුවද, එය පිළිගත හොත්, ලෝකය ස්වභාවයෙන්ම ජයග්‍රාහකයන් හා පරාජිතයන් යන දෙකොටසකට නිසගයෙන්ම බෙදී ඇති බව විශ්වාස කරමින් එම සංකල්පීය රාමුව තුළින්ම අප පිළිබඳවද සලකන්නෙමු.

පරිණාමය විස්තර කිරීම සඳහා ජයග්‍රාහකයන්, පරාජිතයන් හා තරගය යන සංකල්ප ප්‍රයෝජනවත් විය හැකි නමුදු, එ්වා හුදෙක් අත්තනෝමතික චිත්ත නිර්මිතයන් පමණක් බව අප විසින් අවබෝධ කරගත යුතුය. "ජයග්‍රාහකයා" සහ "පරාජිතයා" යනු හුදු චිත්ත ලේබල් පමණි. එ්වා වූකලි තරග දිවුමකින් පළමුවැනියා වීම, වෙනයම් කෙනෙකු වෙනුවට තමාම සේවා ස්ථානයේ උසස්වීමක් ලැබීම, හෝ අපගේ ගනුදෙනුකරුවෙකු හෝ සිසුවෙකු වෙනයම් අයෙකු වෙත ආකර්ශනය වී යාම වැනි යම් සිදුවීම් විස්තර කිරීම සඳහා භාවිත කෙරෙන පහසු චිත්ත කාණ්ඩයන් වේ. අප විසින් "යහපත්" යන්න අර්ථ නිරූපණය කරන ආකාරය මත පදනම්ව "යහපත් පුද්ගලයන්" හා "යහපත් නොවන පුද්ගලයන්" යන කාණ්ඩ දෙකකට පුද්ගලයන් පහසුවෙන් වෙන්කර තැබිය හැක.

එ් සියලු ද්විවිධාකාර කාණ්ඩ කට්ටලයන් සියල්ල හුදෙක් සිතින් නිර්මිත එ්වා පමණක් බව වටහාගන්නා විටදී, අප දැඩි කාණ්ඩයන් තුළ බහා සිර කරලන්නාවූ "මා" හෝ "ඔබ" යන්න තුළ කිසිවක් ‌හෝ නෛසර්ගිකවම නොපවත්නා බව අවබෝධ කරගන්නෙමු. ඉන් අදහස් වනුයේ අප මූලික වශයෙන් නෛසර්ගිකවම පරාජිතයන්ය යන්නක් නොවන අතර අප පිළිබඳව පරාජිතයන් වශයෙන් සලකා බැලීම මගින් අවසන සැබෑ "මා" පරාජිතයෙකුය යන සත්‍යය සොයාගත් බවක් නොවේ. අපගේ ගනුදෙනුකරුවෙකු වෙනත් අයෙකු වෙත යාම තුළින් එම ගනුදෙනුකරු අහිමි වීමට අමතරව වෙනත් බොහෝ ගුණයන්ද අප තුළ පවත්නා බැවින් එම පරාජිත කරුණම සැබෑ "මා" ලෙස සලකමින් එතුළ ගැලී සිටින්නේ මන්ද?

තවද, "අසරණ මා" හා "නුඹ පරයා" ලෙස වූ සිතිවිල්ලක ගැලී සිටීමේ සීමිත මනස් හේතුවෙනි කිසිදු හේතුවක් නොමැතිව හෝ අදාළ නොවන හේතු මත සාර්ථකත්වය හා අසාර්ථකත්වයද, ලාභය හා අලාභයද සිදුවන බවක් පෙනෙනුයේ. එබැවිනි අපට සිදුවූ දේ අසාධාරණ බවක් සිතෙනුයේ. කෙ‌සේ වුවද මෙම විශ්වය තුළ සිදුවන දේ සිදු වනුයේ සුවිශාල හේතු ඵල ජාලයක් හේතුවෙනි. අපට හා අන්‍යයන්ට සිදුවන දෙයට බොහෝ දේ බලපායි. එ් සියලු සාධක ඇතුළත් කරලීම අපට සිතාගත නොහැකි තරම් සංකීර්ණ වූවකි.

මෙකී (ජයග්‍රාහකයන් හා පරාජිත්යන් සහ කිසිදු මනා හේතුවකින් තොරව දේවල් සිදු වන්නේය යන) රැවටිලිකාර දර්ශනයන් දෙක විඛන්ඩනය කොට එ්වා ප්‍රක්ෂේපණය කිරීම නවතාලන විටදී, අසාධාරණයක් සිදුව ඇත්තේය යන හැඟීම ඉහිල් කරගන්නෙමු. අපගේ ඊර්ෂ්‍යාවට යටින් පවතින්නේ හුදෙක් සාක්ෂාත් කරගත් හා සිදුවූ දෙය පිළිබඳ දැනුවත් භාවයයි. අපගේ ගනුදෙනුකරුවෙකු වෙනයම් අයෙකු වෙත හැරී ගිය බැවින් ඔහු දැන් එකී අනෙකා සතු ගනුදෙනුකරුවෙකු වේ. මෙමගින් සාක්ෂාත් කරගත යුතුවන අරමුණක් පිළිබඳ දැනුවත්භාවයක් අප තුළ ඇති කරලනු ලබයි. වෙනයම් අයෙකු විසින් ලබන සාර්ථකත්වය හෝ ලබන දෙයක් සම්බන්ධයෙන් ඊර්ෂ්‍යා නොකරන්නේ නම්, ඇතැම් විට එම පුද්ගලයා එම සාර්ථකත්වය ලද ආකාරය අපට උගත හැකිවනු ඇත. එමගින් එම සාර්ථකත්වය පුද්ගලිකවම ලබාගන්නා ආකාරය දැකීමේ හැකියාව ලබාදෙනු ලබයි. මෙම දැනුවත්භාවය ද්විත්වවාදී දර්ශනයන්ගෙන් හා දැඩි අනන්‍යතාවයන්ගෙන් වසාලීම හේතුවෙනි මාත්සර්යය හා ඊර්ෂ්‍යාව ඇති වන්නේ.

සාරාංශය

මෙලෙසින් අදාළ කැලඹිලිකාරී භාවය වන මාත්සර්යය බෞද්ධ හෝ බටහිර ක්‍රමයට අර්ථ නිරූපණය කළද එකී මාත්සර්යය සම්බන්ධයෙන් කටයුතු කළ යුතුවන විධික්‍රම ගණනාවක් බුදු දහම මගින් ඉදිරිපත් කරනු ලබයි. යම් කැළඹිලිකාරී භාවයකින් කරදරයට පත්වූ විටදී, ඉස්මතුවන අභියෝගය වනුයේ එය අර්ථ නිරූපණය කරන ලක්ෂණ හා අපගේ සංස්කෘතික පසුබිම නිවැරදිව හඳුනා ගැනීමයි. ක්‍රම ගණනාවක් පිළිබඳව භාවනාව තුළින් පුහුණුව ලද පසු, අත් විඳීමට සිදුවන ඕනෑම භාවමය දුෂ්කරතාවයක් හරහා ඉදිරියට ගමන් කිරීම සඳහා සුදුසුවන ක්‍රමය තෝරාගත හැකිවේ.

Top