ආදරය, කරුණාව හා බෝධිචිත්තය යන ගුණයන්හි වැදගත්කම

අප සියලු දෙනා තුළ බෝධිචිත්තය වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය මූලික කාර්ය ද්‍රව්‍ය පවතී

"බෝධිචිත්ත" යනු සංස්කෘත වදනකි. එය පරිවර්තනය කිරීම එතරම් පහසු නොවේ. "‍චිත්ත" යන මෙහි අග කොටසින් "සිත" හෙවත් "මනස" හැඳින්වේ. එනමුත්, බුදු දහම තුළ සිත පිළිබඳව කථා කරන විටදී, අපි මනස හා හදවත යන අංශ දෙක පිළිබඳවම කථා කරමු. අපගේ බටහිර පන්නයේ සිතීම් විලාසයට අනුව වෙනස්කම් සොයන්නට උත්සාහ කළද බුදු දහම තුළ මෙම දෙක අතර වෙනසක් නොපෙන්වයි. ඒ අනුව අපි වැටහීම, චිත්ත ඒකාග්‍රතාවය ආදිය මගින් අපගේ බුද්ධිය හෙවත් සිතේ තර්කණ පාර්ශ්වය පමණක් ගොඩනගා ගැනීම සඳහා ඉලක්කගත නොකරන අතර එයට අමතරව අපගේ හදවත්ද ගොඩනගා ගන්නෙමු. ඉන් අදහස් කරන්නේ ‍'බෝධි' නමැති බෝධිචිත්තයේ පළමු කොටස සාක්ෂාත් කරගැනීමට හැකිවනු පිණිස අපගේ සමස්ත භාවමය පාර්ශ්වයද වැඩිදියුණු කරගන්නා බවයි.

"බෝධි" යනු වඩා ඉහළ වර්ධනයක් හා ශුද්ධවන්තභාවයක් හෙවත් පාරිශුද්ධකරණයක් අඟවන්නාවූ ස්වභාවයකි. ඒ අනුව පාරිශුද්ධකරණය යන්නෙන් අදහස් කෙරෙන්නේ මානසික හා භාවමය බාධකයන් ලෙසද අප සියලු දෙනා වෙත පවත්නා සියලු ආකාර බාධකයන්ගෙන් නිදහස් වීම වන අතර එමගින් ව්‍යාකූලත්වයෙන්, වැටහීම් විරහිතභාවයෙන් හා චිත්ත ඒකාග්‍රතා විරහිතභාවයෙන්ද මිදීමක් අදහස් කෙරේ. තවද, එමගින් අපගේ කැළඹිලිකාරී භාවයන්ගෙන් මිදීම සඳහා වූ භාවමය පාර්ශ්වය පවිත්‍රකරණයක්ද අදහස් කෙරේ. කැළඹිලිකාරී භාවයන් තුළට කෝපය, ලෝභය, ඇල්ම, ආත්මාර්ථය, අහංකාරය, ඊර්ෂ්‍යාව, මෝහය ආදිය ඇතුළත් වේ. මෙම ලැයිස්තුව බොහෝ දිගු එකකි. අපගේ ජීවිත‍යේ සැබෑ කරදරකාරයන් වනුයේ මේවාය. ඒ අනුව අප විසින් ඉලක්ක කරනුයේ අපගේ සිත හා හදවත ක්‍රියාත්මක කරවමින් මේ සියලු කරදරකාරයන්ගෙන් මිදීමේ තත්ත්වයකි.

මෙම වදනේ අනෙක් පාර්ශ්වය වන "බෝධි" යන්නෙන් "වර්ධනය" අදහස් කෙරේ. මින් අදහස් කෙරෙන්නේ අප සියලු දෙනා තුළ මූලික කාර්ය ද්‍රව්‍ය පවත්නා බවයි. අප සියලු දෙනා හට සිරුරක් ඇත. සන්නිවේදනය කිරීමේ හැකියාව ඇත. අපගේ සිරුරු උපයෝගයෙන් ක්‍රියා කිරීමේ, දේවල් සිදු කිරීමේ හැකියාව ඇත. අප සියලු දෙනා හට සිතක්ද (දේවල් වටහාගැනී‍මේ හැකියාව), හදවතක්ද (හැඟීම් හෙවත් අන්‍යයන් කෙරෙහි උණුසුමක් දැනීමේ හැකියාව) හා බුද්ධියක්ද (ප්‍රයෝජනවත් කවරක්ද, හානිකර කවරක්ද යන කරුණු වෙන්කොට දැකී‍මේ හැකියාව) ඇත.

ඒ අනුව අප සියලු දෙනා හට මෙකී සියලු යහ ගුණයන් පවත්නා අතර ඒවා උපයෝජනයෙන් කවර කටයුතුවල නියැළෙන්නේද යන කරුණ අපට භාර දෙයකි. අප ක්‍රියා කරන, කථා කරන හා සිතන ආකාරය එනුව අන්‍යයන් හට මෙන්ම අප හටද ගැටලු ඇති කිරීමට ඒවා යොදාගත හැක. නොඑසේ නම් අපටම හා අන්‍යයන් හටද වඩා වැඩි සතුටක් ගෙන එනු පිණිස ඒවා යොදාගත හැක. අප විසින් කටයුතු කරන, සන්නිවේදනය කරන හා සිතන ආකාරය චිත්ත ව්‍යාකූලත්වය හා කැළඹිලිකාරී භාවයන් හෙවත් කෙලෙස්වල බලපෑම යටතේ සිදුවන්නේ නම්, එවිට එමගින් ගැටලු නිර්මාණය කරනු ලබයි. අපි කෝපයේ බලපෑමට යටත්ව කටයුතු කරන විටදී, නිරතුරු පසුව පසුතැවීමට සිදුවන දේ නොකරන්නෙමුද? ආත්මාර්ථකාමී ලෙස කටයුතු කරන විටදී නිරතුරු එමගින් ඉමහත් ගැටලු ඇති කරවයි. ආත්මාර්ථකාමියෙකු හට කිසිවෙක් හෝ කැමති නොවේ.

එය එක් පැත්තකි. අනෙක් පාර්ශ්වය වනුුයේ ආදරය, කරුණාව, අන්‍යයන් පිළිබඳ සිතා බැලීම වැනි ධනාත්මක ගුණයන් මත පදනම්ව ක්‍රියා කිරීම, සන්නිවේදනය හා කථා කිරීම සිදුකළ නොහැක්කේ නම්, මෙමගින් ජීවිතයේ වැඩි සතුටක්, තෘප්තියක් අත්පත් කරදෙන බව දැකිය හැක; අන් අය අපට කැමති වන අතර එමගින් අන්‍යයන් වෙත වඩා වැඩි ප්‍රයෝජන සලසනු ලබයි. නිදසුනක් ලෙස අන්‍යයන් සමගින් අප විසින් පවත්වනු ලබන සම්බන්ධතාවයන් තුළ මෙකරුණ ඉතා පැහැදිලිව දැකිය හැක. අප නිරතුරු අන් අය විවේචනය කරමින් ඔවුන් සමගින් කෝප වන්නේ නම්, කිසිවෙකු හෝ අප සමගින් සිටීමට කැමති නොවනු ඇත. එනමුත් අපි ඔවුන්ට කාරුණිකව, ප්‍රියජනක සේ සලකන්නේ නම්, සැබැවින්ම ඔවුන් අපගේ සමාගමය ප්‍රිය කරනු ඇත. අපට මෙකරුණ අපගේ සුරතල් බල්ලා හෝ බළලාට සලකන ආකාරය තුළද නිරීක්ෂණය කළ හැක; එම සතුන් පවා නිරන්තරයෙන් බැණ අඬ ගසනු ලැබීමට හා සැර වැර කරනු ලැබීමට ප්‍රිය නොකරති; ඔවුහූද ප්‍රිය සේ සලකනු ලැබීමට කැමති වෙති. ඒ අනුව අප තුළ පවත්නා මෙම කාර්ය ද්‍රව්‍ය වර්ධනය විය හැක. අපට ඒවා වැඩි වැඩියෙන් ධනාත්මක ලෙස ගොඩනැගිය හැක.

ඒ අනුව බෝධිචිත්තය යනු අපගේ සිතට  හා හදවතට අදාළ චිත්ත ස්වභාවයක්, තත්ත්වයක්, අවස්ථාවක් වන අතර, ඒවා මෙකී බෝධිචිත්ත ස්වභාවය ඉලක්ක කරයි. එය අප තුළ පවත්නා මෙකී සියලු දුර්වලතා, කරදරකාරයන් සදාකාලිකව ඉවත් කරනු ලැබ හැකි උපරිම මට්ටමට අපගේ සියලු ධනාත්මක ගුණයන් වර්ධනය කරගන්නා තත්ත්වයක් ඉලක්ක කරනු ලබයි. මෙය වූකලි අප තුළ පැවතිය හැකි අසාමාන්‍ය චිත්ත හා හදවත් ස්වරූපයකි.

එය ඉතා ධනාත්මක භාවයන් මගින් සිදුකරනු ලබයි.මෙම භාවයන් යනු මොනවාද? මූලික වශයෙන්, මෙම චිත්ත ස්වභාවය ඉහළම මට්ටමේ ස්වභාවය වන අතර මා හට ඉහළම මට්ටම අවශ්‍ය බැවින් අපි එම චිත්ත ස්වභාවය ඉලක්ක කරන්නෝ නොවෙමු. එය වූකලි මා හට වඩාත්ම සතුටින් සිටින පුද්ගලයා වීමට අවශ්‍ය වන අතර, මෙය මාහට අත්කරගත හැකි සතුටුම තත්ත්වය වන බැවින් නොවේ. අපි ලෝකයේ  මනුෂ්‍ය, සත්ත්ව ඈ සියලු ආකාර නොගිනිය හැකි තරම් සංඛ්‍යාවක් වූ අන් සියලු දෙනා පිළිබඳව සිතන්නන් වන බැවිනි. සියලු දෙනා සතුටින් සිටීමට කැමතිව වන අතර කිසිවෙකු හෝ අසතුටින් සිටීමට කැමති නොවන්නේය යන අදහසින් අප සියලු දෙනා සමානයන් වන බව වටහා ගන්නෙමු. එය සතුන් සම්බන්ධයෙන් පවා සත්‍ය තත්ත්වයක් නොවේද? සියලු දෙනා තමාට හැකි මට්ටමින් තමා කෙරෙහි හා තමා ආදරය කරන අන් සියල්ලන් කෙරෙහිද සතුට අත්පත් කරගැනීමට උත්සාහ කරයි. එනමුත්, අවාසනාවන්ත ලෙස, කවරක් තුළින් සතුට ඇති කරනු ඇත්තේද යන්න බොහෝ දෙනෙකු සැබෑ ලෙස නොදනී. නිරතුරු අපි බොහෝ දේ උත්සාහ කොට බලන අතර එමගින් සතුටට වඩා තව තවත් ගැටලුම නිර්මාණය කරනු ලබයි.  අපි වෙනත් අයෙකු වෙනුවෙන් ත්‍යාගයක් වැනි යම් ප්‍රියජනක දෙයක් මිලදී ගන්නා අතර ඔවුන් එයට අකමැති වේ. මෙය ඉතා සරල අදහසකි. එනම්, සියලු දෙනා සතුටු කිරීම දුෂ්කර දෙයක් වන බවයි. එනමුත් උත්සාහය අත්හළ යුතු නොවේ.

අන්‍යයන් වෙත වඩාත් හොඳින් ප්‍රයෝජන සලසනු සඳහා බුද්ධත්වය සාක්ෂාත් කරගැනීමට අරමුණු කිරීම

වඩාත් වැදගත් දෙය වනුයේ අපගේ අපේක්ෂාවන්ය. අපට අන්‍යයන් හට උපකාර කිරීමට අවශ්‍ය වේ. සියලු දෙනා හට ඔවුන්ගේ ගැටලුවලින් හා එම ගැටලුවලට හේතුවන කරුණුවලින් නිදහස් වීමට අවශ්‍ය නම් කෙතරම් යහපත්ද? එයයි කරුණාව යනු. කරුණාව යනු අන් අය ඔවුන්ගේ ගැටලුවලින් හා ගැටලුවලට හේතුවන කරුණුවලින් නිදහස් වේවාය යන පැතුමයි.

සියලු දෙනා හටම සතුටින් සිටිමින් එම සතුටට හේතුවන කරුණුවලින්ද යුක්ත වන්නට හැක්කේ නම් කෙතරම් අසිරිමත්ද? එයයි ආදරය යන්නට බුදු දහම තුළ එන අර්ථ නිරූපණය. ආදරය යනු "මං ඔයාට ආදරෙයි ඔයා මටත් ආ‍දරේ නම්" ලෙස යම් කිසිවක් ලබැගැනීම මත පදනම් වූවක් නොවේ. එය "ඔයා හොඳ ළමයෙක් නම් මං ඔයාට ආදරෙයි. හැබැයි කියන දේ අහන්නෙ නැත්නම්, මං ඔයාට ආදරේ නෑ" ලෙස අනෙකා හැසිරෙන ආකාරය මතද රඳා පවත්නක් නොවේ. වැදගත් දෙය එය නොවේ. වැදගත් දෙය වනුයේ සියලු දෙනා හට සතුටින් සිටිය හැක්කේ නම් එය මහත් වැදගත් දෙයක් වන්නේය යන්නයි. එයයි ආදරය යනු.

සියලු දෙනා වෙත මෙම සතුට ගෙන එමින් ඔවුනට ඔවුන්ගේ සතුටින් සිටීමට හා ගැටලුවලින් මිදීම සඳහා උපකාර වන ආකාර‍යේ යම් වැදගත් කාර්යයක් මාහට සිදුකළ හැක්කේ නම් කෙතරම් යහපත්ද? මම බොහෝ සීමිත අයෙක්මි. මා තුළ ව්‍යාකූලත්වයද, ක්ලේශයන්ද පවත්නා අතර නිරතුරු කම්මැලි අයෙකු වෙමි. රැකියාවක් සොයා ගැනීම සම්බන්ධවද, සහකරුවෙකු සෙයාගැනීම සම්බන්ධවද ගැටලු ඇත. අප සියලු දෙනා ජීවිතයේ මුහුණ දෙන සියලු ආකාර ගැටලු එහි වේ. එනමුත් මෙකී සියලු දුර්වලතා, දුෂ්කරතා මා තුළින් සදාකාලිකව ඉවත් කෙරෙන ආකාර‍යේ චිත්ත ස්වභාවයක් සාක්ෂාත් කරගත හැක්කේ නම්, හා මාගේ ඉහළම විභවයට පැමිණිය හැක්කේ නම්,සියලු දෙනා හට උපකාර කිරීමට හැකිවන උපරිම මට්ටම සාක්ෂාත් කරගත්තා වේ.

ඒ අනුව බෝධිචිත්තය සහිතව මෙහි අපේක්ෂාව වනුයේ බුද්ධත්ව මට්ටම දක්වා වන සමස්ත මාවත පුරා අපට හැකිතාක් දුරට සියලු දෙනා කෙරෙහි ප්‍රයෝජනවත් අයෙකු වීමේ අපේක්ෂාවද පෙරදැරිව එම බුද්ධත්වය සාක්ෂාත් කරගැනී‍ම සඳහා වූ අපගේ සියලු ප්‍රයත්නයන්ද සමගින් කටයුතු කිරීමයි.

අප කිසිවෙකු හට හෝ සර්ව බලධාරී දෙවි කෙනෙකු විය නොහැක; එය සිදුකළ නොහැක්කකි. එය කළ හැක්කක් වීනම්, කිසිවෙකු හෝ තවදුරටත් දුක් විඳින්නෙකු නොවනු ඇත. අපට කළ හැකි එකම දෙය වනුයේ හැකි තරමින් උත්සාහ කිරීමයි. එනමුත් අන්‍යයන්ද අපගේ උපකාර ලබාගැනීමේ අදහස සහිතව එයට විවෘතව සිටිය යුතුය. අපට අන් අය වෙත දේවල් පැහැදිලිව විස්තර කළ හැකි වුවද, එය අවබෝධ කරගත යුතුවන්නේ ශ්‍රවණය කරන අනෙකා විසිනි. අපට ඔවුන් වෙනුවෙන් ඒවා වටහාගැනීම කළ හැකි නොවේ. අපට යහපත් උපදෙස් ලබාදිය හැකි වුවද, අන් අය විසින් ඒවා ලබාගැනීම කළ යුතුය.

ඒ අනුව අන් අයට හැකි උපරිමයෙන් උපකාර කිරීමට හැකි තත්ත්වයක පසුවීමයි අපගේ ඉලක්කය වනුයේ. එනමුත් එතුළ ඔවුන් වෙත එම උපකාරය සැබැවින්ම ලැබෙන්නේද යන්න ඔවුන් දරන උත්සාහය මත තීරණය වන්නේය යන යථාර්ථවාදී අදහස, අවබෝධය සහිතව සිදුකළ යුතුය. අපගේ සියලු ව්‍යාකූලත්වයන් ඉවත් කෙරෙන මෙම චිත්ත මට්ටමට ළඟා වූයේ නම්, එවිට අන්‍යයන් වෙත උපකාර කිරීමේ වඩාත් ඵලදායී ක්‍රමය වටහා ගැනීමේ හොඳම ශක්‍යතාවය අප සතුවනු ඇත. යම් පුද්ගලයෙකුගේ වර්තමාන තත්ත්වය තුළ අදාළවන සියලු සාධක අප විසින් වටහාගනු ඇත.

අප සියලු දෙනා බොහෝ සාධකයන්හි බලපෑමට ලක්වූවෝ වෙමු - අපගේ පවුලේ, අපගේ මිතුරන්ගේ, අප ජීවත්වන සමාජයේ, අප ජීවත්වන කාල වකවානුවේ ආදී වශයෙනි: ඇතැම් විට යුද්ධයන්ද, ඇතැම් විට ආර්ථික දුෂ්කරතාවයන්ද, ඇතැම් විට සමෘද්ධිමත් තත්ත්වයන්ද ඇතිවේ. ඒ සියල්ල අපට බලපායි. බුදු දහම තුළ පෙර භවයන්, මතු භවයන් පිළිබඳවද කථා කෙරේ. එම දෘෂ්ටි කෝණයෙන් සලකා බලන කල, අප සියලු දෙනා අපගේ පෙර භවයන්හි බලපෑමටද ලක්ව ඇත. එබැවින්, අපට සැබැවින්ම යමෙකුට උපකාර කිරීමට අවශ්‍ය වන්නේ නම්, ඔවුනට යම් යහපත් උපදේශයක් ලබාදීමට අවශ්‍ය වන්නේ නම්, අපට ඒවා දැන සිටීමට අවශ්‍ය වේ, ඒවා වටහා ගැනීමට සිදුවේ. ඔවුන්ගේ චර්යාවට බලපාන්නාවූ සියලු දේ වටහාගත යුතුවේ, ඒවා ක්‍රියාත්මකවන ආකාරයද ඔවුනට හැ‍ඟෙන ආකාරයද වටහාගත යුතුවේ. ඉන් අදහස් වන්නේ, ඒ පිළිබඳ ඇල්මක් ඇතිකර ගැනීමයි, අවධානය යොමු කිරීමයි, ඔවුන්ගේ සැබෑ ස්වභාවයට සංවේදී වීමයි.

එකිනෙකා සමගින් පවත්නා ඔබගේ සම්බන්ධතාවය තුළ පමණක් ඔබට එය පහසුවෙන්ම වටහාගත හැකි බව සිතමි. ඔබ යම් මිතුරෙකු සමගින් සිටින අතර ඔබ සැබැවින්ම ඔවුන් කෙරෙහි ඇල්මක් නොදක්වන්නේ නම්, ඔබ සැබැවින්ම ඔබ පිළිබඳව පමණක් කථා කරන අතර ඔබ ඔවුන් පිළිබඳව දැනුවත්ව සිටින්නේ මද වශයෙන් පමණි. ඔබ ඔබගේ මිතුරා කෙරෙහි අවධානය යොමු නොකරන්නේ නම්, නිදසුනක් ලෙස, ඔබ අනෙකෙකු සමගින් සිටින විටදී, ඔබ හුදෙක් ඔබගේ සෙල් දුරකථනයෙන් අනෙක් අය වෙත කෙටි පණිවිඩ යවන්නේ නම්, ඔබ ඔබගේ මිතුරා කෙරෙහි හෝ අවධානය යොමු කරවන්නේ නොවේ. ඔබ ඔවුන් වෙත අවධානය යොමු නොකිරීම පිළිබඳව ඔවුන් තරමක නොඉවසීමකින් පසුවිය හැකි බව හෝ ඔබ‍ගේ අවධානයට හසු නොවේ. එ් අනුව අපට යම් කිසිවෙකු හට සැබැවින්ම උපකාර කිරීමට අවශ්‍ය වන්නේ නම්, ඔවුන් වෙත අවධානය යොමුකළ යුතුවන අතර ඔවුන් පිළිබඳ ඇල්මක් දැක්වීමට සිදුවේ, සිදුවන දේ අවධානයට යොමු කරමින් ඒ අනුව ප්‍රතිචාර දැක්වීමට සිදුවේ. අන් අය අප බරපතල සේ ගනිමින් අප වෙත අවධානය යොමු කරන්නාක් මෙනි.

අප හා අන් අය අතර පවත්නා සමානත්වය වටහා ගැනීම

මේ සියල්ල අප හා අන්‍යයන් අතර සමානත්වය වටහා ගැනීම මත පදනම් වන බව දැන් ඔබට වැටහේ. මා හට හැඟීම් ඇත්තාක් මෙන් සියලු දෙනා හට හැඟීම් ඇත. අන් අය විසින් මා බරපතල සේ ගත යුතුයැයි මා සිතන්නාක් මෙන් අන් අයටද තමා බරපතල සේ ගනු ලැබීමට අවශ්‍ය වේ. අන්‍යයන් මා නොතකා හරිමින් මා හට අයහපත් අයුරින් සලකන්නේ නම් මා හට එය දැනෙන්නාක් මෙන් මවිසින් අන්‍යයන් නොතකා හරිමින් ඔවුන් හට අයහපත් අයුරින් සලකන්නේ නම්, ඔවුනට අයහපත් හැඟීමක් ඇතිවේ. මා හට මෙන්ම සෑම අයෙකු හටම කැමැත්තක් දක්වනු ලැබී‍මේ උවමනාවක් ඇත. කිසිවෙකු හෝ ප්‍රතික්ෂේප කරනු ලැබීමට හෝ ගණන් නොගනු ලැබීමට කැමති නොවේ. අපි එකිනෙකා අන්තර් සම්බන්ධකයෝ වෙමු. අපි සියලු දෙනා මෙහි එක්ව වසන්නෝ වෙමු.

ඇතැම් විට මෙය පෙන්වා දෙනු පිණිස තරමක් හාස්‍යජනක උදාහරණයක් යොදාගනු ලබයි: ඔබ දස දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් සමගින් සෝපානයක ගමන් ගන්නා අතර සෝපානය සිරවන්නේ යයි සිතමු. ඔබ මෙම පුද්ගලයන් සමගින් දවසක් පුරා එම සෝපානය තුළ සිරවී සිටී. අන් සියලු දෙනා සමගින් එම අවස්ථාවට මුහුණ දෙන්‍නේ කෙසේද? ඔබ තමා පිළිබඳවම පමණක් සිතන්නේ නම්, හා මෙම කුඩා ඉඩ හසර තුළ සිටින අන්‍යයන් පිළිබඳව නොසිතන්නේ නම් එතුළ බොහෝ සෙයින් ගැටුම් හා වාද විවාදයන් ඇතිවිය හැකි අතර ගතවන කාලය අතිශයින්ම අප්‍රසන්න කාලයක් ‍වනු ඇත. යම් ආකාරයකින් ඔබ මෙකරුණ වටහා ගන්නේ නම්: "අප සියලු දෙනා එක සමානම තත්ත්වයක් තුළ සිරවී සිටින අතර දැන් එකිනෙකා කෙරෙහි සැලකිලිමත් වෙමින් පණ රැකගනිමින් මෙම දුෂ්කර අවස්ථාවෙන් ගැලවී යාමට සහයෝගයෙන් කටයුතු කරන ආකාරය සිතිය යුතු" බව සලකන්නේ නම්, සෝපානයක් තුළ සිරවී සිටීම ප්‍රසන්න අත්දැකීමක් නොවුවද, එම අවස්ථාව නිසි පරිදි කළමනාකරණය කරගත හැකිවනු ඇත.

මෙම නිදසුන තවදුරටත් විකාශනය කරන්නේ නම්, සුවිශාල සෝපානයක් තුළ සිරවී සිටින සත්ත්වයන් සෙයින් අප සියලු දෙනාද මෙම ග්‍රහලෝකයේ සිරවී සිටින්‍නේ නම් හා අප විසින් එකිනෙකා වෙත උපකාර කරගැනීමක්ද සිදු නොකරන්නේ නම්, සියලු දෙනා එකම තත්ත්වයේ සිටින බැවින් එය එය බොහෝ කාලකණ්ණි තත්ත්වයක් වනු ඇත. සෝපානයක් තුළ සිටින පුද්ගලයන් දස දෙනෙකු වේවා, මෙම කුඩා ග්‍රහලෝකය තුළ සිටින සියලු දෙනා වේවා, එකිනෙකා සමගින් කටයුතු කරන ආකාරය අන් සියලු දෙනා හට බලපායි.  එබැවින්ම එකිනෙකා සමගින් සහයෝගයෙන් කටයුතු කිරීම තුළ යම් අරුතක් දනවනු ලබයි. හුදෙක් "සෝපානයේ සිරවී සිටින මෙම අප්‍රසන්න තත්ත්වයෙන් මා මිදෙන්නේ කෙසේද?" යනුවෙන් සිතීමට වඩා, "අප සියලු දෙනා හට මෙම දුෂ්කර තත්ත්වයෙන් මිදිය හැක්කේ කෙසේද?" යනුවෙන් සිතීම සිදුවන අතර, එය සෝපානයට පමණක් නොව, ජීවිතයටද අදාළ වූවකි.

(මා සම්බන්ධයෙන් ගත්කල කිසිදු විශේෂ දෙයක් නොමැති අතර මාද හුදෙක් සෝපානයේ සිරවී සිටින එක් අයෙකු පමණක් වන බැවින්) මාගේ ගැටලුව සම්බන්ධව පමණක් විසඳුමක් ලබාගැනීමට සිතන්නේ කෙසේද? සැබැවින්ම ගැටලුව මට පමණක් අදාළ වූ දෙයක් නොවේ. සියල්ලන්ටම අදාළ වන්නකි. මෙහිලා අප විසින් සාකච්ඡා කරනුයේ කෝපය, ආත්මාර්ථය, ලෝභය, මෝහය ආදී වර්ගයේ ගැටලු පිළිබඳවය. මේවා සියලු දෙනාගේ ගැටලු වේ. ඒවා කිසිවෙකු වෙත හෝ පෞද්ගලිකව හිමිව පවත්නා ගැටලු නොවේ.

සියලු සත්ත්වයන්, සමස්ත ජීවය ඇතුළත් කරගැනීම සඳහා අපගේ සිත් විකාශනය කිරීම

මෙබැවිනි බෝධිචිත්තය පිළිබඳව සිතා බැලීමේදී විශ්වමය මට්ටමේ සිතක් හා හදවතක් පිළිබඳව කථා කරනුයේ. මෙහිදී පසෙකට දමන කිසිදු සත්ත්වයෙකු නොමැති, කිසිවෙකුට හෝ පක්ෂපාතී නොවන අයුරින් සියලු දෙනා පිළිබඳව සිතන්නෙමු. ඒ අනුව මෙය වූකලි සුවිශාලතම ආකල්පයක් හා චිත්ත ස්වභාවයක් වේ. අපගේ සිත් විකාශනය කිරීම පිළිබඳව කථා කිරීමේදී, අපට එය විකාශනය කළ හැකි විශාලතම ප්‍රමාණය මෙයයි. අපි සියලු දෙනා පිළිබඳව සිතන අතර එහිදී මෙම ග්‍රහලෝකයේ සිටින මනුෂ්‍ය වර්ගයා පිළිබඳව පමණක් නොසිතන්නෙමු. අපගේ සිතිවිල්ල ග්‍රහලෝකයේ සමස්ත ජීවය, විශ්වයේ සමස්ත ජීවය පිළිබඳ එකක් වේ. නිදසුනක් ලෙස පරිසර හානිය පිළිබඳව සිතා බලන්නේ නම්, එය සමස්ත මනුෂ්‍ය ජීවිතයටද බලපායි.

ඒ අනුව අපගේ සැලකිල්ල යොමුවිය යුත්තේ කා වෙතද යන මෙම සුවිශාල පරාසයක් අප සතුවේ. සුළු කාලයක් සඳහා වූ ක්ෂණික විසඳුමක් පමණක් නොව වඩා දිගු කාලීන විසඳුම් ලබාගැනීමේ සුවිශාල පරාසයක් අප සතුවේ. අපගේ විභවයන් සම්බන්ධයෙන් සලකා බලන කල, අපි අපගේ විභවයන් සාක්ෂාත් කරගත හැකි විශාලතම පරාසයට අනුව සිතන්නෙමු. එය සුළු ප්‍රමාණයක් නොව සැබැවින්ම සිදුකළ හැකිතාක් විශාල ප්‍රමාණයකි.

මවිසින් ප්‍රකාශ කරන ලද පරිදි, එය අප කෙරෙහිම වූ ගෞරවය මත පදනම් වේ. අප සියලු දෙනා හටද, අන් සියලු දෙනා හටද මෙම තත්ත්වය සාක්ෂාත් කරගත හැකි කාර්ය කරුණු සතුවේ. එබැවින් අපි අපවම බරපතල සේ ගත යුතුවෙමු. අන්‍යයන්ද බරපතල සේ ගත යුතු වෙමු. ඒ අනුව සියලු දෙනා මනුෂ්‍යයන් වන බැවින් අපටම මෙන්ම අන්‍යයන්ටද ගරු කරමු. අප සියලු දෙනාටම සතුටින් සිටීමට අවශ්‍ය වන අතර, කිසිවෙකුට හෝ අසතුටින් සිටීමට අවශ්‍ය නොවේ. ඒ සියල්ල රඳා පවත්නේ අප විසින් සිදු කරනු ලබන දෙය හා අප විසින් අපගේ ජීවිත ගතකරන ආකාරයට අනුවය.

භාවනාව මගින් ප්‍රයෝජනවත් චිත්ත ස්වභාවයන් හා පුරුදු ගොඩනගා ගැනීම 

බුදු දහම යනු මෙම චිත්ත ස්වභාවයන් ගොඩනගා ගැනීම සඳහා බොහෝ වූ විවිධ ක්‍රම සපයන්නකි. එතුළ හුදෙක් "සියලු දෙනා හට ආදරය කරන්න" යන්නක් ප්‍රකාශ කරමින් ඉන් ඔබ්බට නොයන තත්ත්වයක් නොමැත. එය ඉතා ප්‍රසන්න තත්ත්වයකි. ඒ අනුව, සියලු දෙනා හට ආදරය කරන්නට අවශ්‍ය වන්නේ නම් අප විසින් එය සැබැවින්ම සිදු කරන්නේ කෙසේද? මේ සඳහා අපට භාවනාව ඇත. භාවනාව යනු ප්‍රයෝජනවත් පුරුද්දක් ගොඩනගා ගැනීමයි. අපට ක්‍රීඩාවක නිරත වීමට අවශ්‍ය වන්නේ නම්, හෝ සංගීත භාණ්ඩයක් වාදනය කිරීමට අවශ්‍ය වන්නේ නම්, එය පුහුණු විය යුතුය. එම කාරණයෙහි යහපත් ප්‍රවීණත්වයක් ඇතිවන තෙක් එය නැවත නැවතද සිදු කරමු. යම් වේලාවකට පසුව ඒ පිළිබඳ සිතීමට පවා අවශ්‍ය නොවන තරමට පුහුණුව තුළින් ඉගෙන ගන්නෙමු.

එමෙන්ම, අපගේ ආකල්ප පුහුණු කිරීම සම්බන්ධයෙන්ද මෙම දෙයම සිදු කරමු. මෙයයි භාවනාවේදී සිදු කරන්නේ. අපගේම ප්‍රගතිය අත්පත් කරගනිමින් යම් හැඟීමක්, යම් චිත්ත ස්වභාවයක් ජනනය කරගැනීමට උත්සාහ කරමු. ඔබ යම් ක්‍රීඩාවක් සඳහා පුහුණු වන විටදී මෙනි: පළමුව එයට පෙර සූදානම් අභ්‍යාසයන්හි නිරත වීමට සිදුවේ; ඉන්පසු, ඔබට සැබැවින්ම එම ක්‍රීඩා පිළිවෙතෙහි යෙදිය හැක. ඒ අනුව අපගේ චිත්ත ස්වභාවය මගින් සූදානම් වීමේ අභ්‍යාසය සිදු කරමු.

ධනාත්මක චිත්ත ස්වභාවයක් ජනනය කරගැනීමට හැකිවනු පිණිස, අපගේ සිතිවිලි විසිර ගොස් ඇත්තේ නම්, හෝ අපගේ හැඟීම් මිශ්‍රව ගොස් ඇත්තේ නම්, පළමුව අපට සන්සුන් විය හැකිවිය යුතුය, අප‍ගේ සිත් හා අපගේ භාවයන් සන්සිඳවා ගැනීමට හැකිවිය යුතුය. අපි එය හුදෙක් අපගේ හුස්ම රැල්ල පිළිබඳ අවධානය යොමු කරමින් සිදු කරමු. අපගේ හුස්ම නිරතුරු අප සමග පවතින අතර, ඒ පිළිබඳ අවධානය යොමු කරන්නේ නම්, අපගේ හුස්ම ගැනීමේ ස්ථාවර රිද්මය දක්වා සන්සුන් වීමට එමගින් අපට උපකාරයක් ලැබෙන අතර අපගේ සිතිවිලි විසිර ගොස් පවත්නා විට එමගින් අප අපගේ සිරුර සමග සම්බන්ධව පවත්වනු ලබයි. මෙයයි මූලික සූදානම්කාරිත්ව අභ්‍යාසය.

අපි භාවයනට අනුව සිතන්නෙමු. මම භාවනා කරන්නේ මන්ද? එයද මෙම සූදානම්කාරිත්ව කාර්යයේ කොටසකි. ක්‍රීඩාවක් පුහුණු වන්නේ නම් හෝ යම් සංගීත භාණ්ඩයක් පුහුණු වන්නේ නම් එවන් අවස්ථාවකදී මෙන්, සැබැවින්ම වටහා ගැනීම හා නැවත පරීක්ෂා කිරීම ඉතා වැදගත් වේ:"මම මෙය සිදුකරන්නේ මන්ද?" එය සතුටින් අත් විඳිය හැකි බැවින් හා එය විනෝදජනක දෙයක් වන බැවින්ම එය සිදු කරන්නේ වුවද, පුහුණුව යනු බොහෝ දුෂ්කර ක්‍රියාවන්ගෙන් සමන්විත වූවක් වන බැවින් ඒ පිළිබඳ අප වෙතම සිහි කැඳවිය යුතුවේ. ඒ අනුව භාවනාව තුළින් ධනාත්මක පුරුද්දක් ගොඩනගාගත යුතු වනුයේ මන්ද යන කරුණ නැවත තහවුරු කරමු. හේතුව වනුයේ එමගින් ජීවිතයේ ගැටලු සම්බන්ධයෙන් වඩාත් යහපත් පරිදි කටයුතු කිරීමට මා හට උපකාරයක් ලබාදෙන බැවිනි. නිදසුනක් ලෙස, එවිට මා පහසුවෙන් කෝපයට පත් නොවිය හැක. නිරතුරු කෝපයෙන් පසු වන්නේ නම් අන් කිසිවෙකු වෙත හෝ උපකාර කිරීමට මා හට නොහැකි විය හැක. මා භාවමය වශයෙන් අවුලට පත් වූවෙකු නම්, මා හට කිසිවෙකුට හෝ උපකාර කළ නොහැක.

ඒ අනුව අපි මෙකී සියලු සූදානම්කාරිත්ව අභ්‍යාසයන්හි නියැළෙන්නෙමු. ඉන්පසු සැබෑ භාවනාවෙහි නියැලෙමු: අපේක්ෂිත හෙවත් කැමැත්තෙන් පසුවන චිත්ත ස්වභාවය උත්පාදනය කරගනු පිණිස යම් ආකාර චින්තන මාර්ගයක ගමන් කරමු. මෙය අපගේ පෞද්ගලික ජීවිත හා සම්බන්ධ කිරීම සඳහා මෙකරුණ සිදු කරන විටදී එය බොහෝ සෙයින් වැදගත් වේ. අපි දුරස්ථ න්‍යායක් පිළිබඳව පමණක් කථා කරන්නෝ නොවෙමු: මාගේම ජීවිතයේදී මා හට උපකාරවන පියවරයන් පිළිබඳව සිතන්නෙමු.

නිදසුනක්

අපගේ මිතුරෙකු විසින් අපට රළු ලෙස කථා කිරීම, කථා නොකර සිටීම, නොසළකා හැරීම හෝ විහිලු තහලු කිරීම වැනි කටයුත්තක් මගින් ඉතා අප්‍රසන්න ලෙස අප සම්බන්ධයෙන් කටයුතු කළේ යයි සිතමු. සෑම දෙනා හටම සිදුවන මෙවන් අයහපත් දේ පවතී. විශේෂයෙන්ම අපි ඔවුන් අපගේ මිතුරන් යැයි සිතුවේ නම් මෙම පුද්ගලයන් විසින් සිදුකරන මෙවන් කටයුතු සම්බන්ධයෙන් අප්‍රසන්නතාවයක් දැනීම හෝ බොහෝ සෙයින් ගැහැටට පත්වීම වැනි ප්‍රතිචාර දක්වන්නෙමු.

භාවනාව තුළ හුස්ම පිළිබඳ අවධානය යොමු කරවීමෙන් අනතුරුව සිත තරමක් සන්සුන් වන විටදී මෙකරුණ විමසා බලන්නෙමු. මෙහිදී අපගේ මිතුරන්, අපගේ පන්තියේ සගයන් ආදීන්ද අප වැනිම පුද්ගලයන් වන අතර ඔවුනටද සතුටින් සිටීමට අවශ්‍යවන අතර, අසතුටින් සිටීමට අවශ්‍ය නොවන්නේය යන කරුණ නැවතද තහවුරු කරමු. ඒ අනුව මා හට එතරම් අප්‍රසන්න අයුරකින් සැලකීමට නම් ඔවුන් හට යම් කරුණක් මගින් අවුල් සහගත බවක් ඇති කළා හෝ හුදෙක් ඔවුන් මා පිළිබඳ චිත්ත වියවුලට පත්ව මාගේ යහගුණ ඇගයීමකින් තොරව මා හට විහිළු තහළු කළා වන්නට පිළිවන. ඔවුන් සමගින් කෝපයට පත්ව, මානසික අවපීඩනයට පත්වීම තුළින් කිසිදු පලක් සිදු නොවේ. ඒ වෙනුවට ඔවුන්ද මාද ඇතුළත් අප සියලු දෙනා හට සතුටින් සිටීමට හැකිවන පරිදි ඔවුන් මා වෙත ප්‍රිය මනාප අයුරින් සලකන අයුරු ඔවුන්ගේ සිත් අවුලට පත්කරන යමක් ඇත්තේ නම් එයින් ඔවුන් මිදේවායි පතමි.

ඒ අනුව ඔවුන් කෙරෙහි කෝපයට පත්වීම වෙනුවට, අප තුළ ආදරය හා කාරුණිකත්වය පිළිබඳ හැඟීමක් ඇතිවේ: "ඔවුන් පෙළන්නාවූ කවර වූ හෝ දෙයකින් ඔවුන් මිදෙන්නේ නම් යහපති. ඔවුන් සතුටට පත්වේවා. ඔවුන් සතුටින් සිටි‍යේ නම්, එතරම් අප්‍රසන්න අයුරින් නොහැසිරෙන්නට තිබිණි". මෙයාකාරයෙන් ඔවුන් කෙරෙහි කෝපයකට වඩා ආදරයක් ඇතිකර ගැනීම කෙරෙහි අප තුළ ස්වයං වර්ධනයක් ඇතිකර ගන්නෙමු. එමගින් ඔවුන්ගේ තත්ත්වය සම්බන්ධයෙන් වඩාත් ඉවසිලිවන්ත වීමට අපට උපකාරයක් ලැබේ. වඩාත් සන්සුන් හා ආදරණීය හා සමාව ලබාදෙන සුළු ආකාරයකින් අප විසින් කටයුුතු කළේ නම්, එමගින් ඔවුන්ද සන්සුන් කරවීමට බලපෑමක් ඇති කෙරෙන අතර, ඒ අනුව තත්ත්වය සම්බන්ධයෙන් කටයුතු කිරීම වඩාත් පහසු වේ.

අන් අය පෙ වෙත එල්ල කරන කුණු කන්දල් පෞද්ගලිකව භාර නොගැනීම 

බුදුන් වහන්සේ වරෙක සිය ශ්‍රාවකයෙකුගෙන් මෙසේ විමසීය: "යමෙකු ඔබට යමක් දීමට උත්සාහ කරන නමුත් ඔබ එය නොපිළිගන්නේ නම්, එය කාහට අයත් වේද?". පැහැදිලිවම එය ඔබ නොපිළිගන්නේ නම් එය ලබා දීමට උත්සාහ කරන පුද්ගලයා හට අයත් වේ. ඒ අනුව යමෙකු විසින් ඔබට යම් අයහපත් චිත්ත කම්පනයක් ලබාදීමට උත්සාහ කරන්නේ නම්, සෘණාත්මක හැඟීම් ලබාදීමට උත්සාහ කරන්නේ නම්, විවේචන සිදුකරන්නට උත්සාහ කරන්නේ නම් එවන් තත්ත්වයකදී එය නොපිළිගනිමින් පුද්ගලිකව භාර නොගැනීමට කටයුතු කිරීම වැදගත්ය. වෙනත් වචනවලින් පවසන්නේ නම්, එය සැබැවින්ම අනෙකාට හිරිහැරයක්ව පවත්නා කරුණක් ලෙස දැකිය යුතු බවයි. සත්‍ය වශයෙන්ම යමෙකු විසින් අප විවේචනය කරන්නේ නම්, එහිදී මවිසින් වැඩි වර්ධනය කරගත යුතුව පවත්නා මාගේ අඩුපාඩුවක් ඔවුන් විසින් පෙන්වා දෙනු ඇති හෙයින් අප තුළම කරුණු විමර්ශනයක යෙදීම ප්‍රයෝජනවත් වේ. ඒ අනුව අපි එය නොසලකා නොහරින නමුත් අනෙකා විසින් එල්ල කරන සියලු කුණු කන්දල් භාර ගැනීමේ තත්ත්වයකටම නොවැටීමට සිතට ගැනීමද වැදගත්ය.

අප්‍රසන්න වදන්, කිලිටි බැලුම් ඈ ලෙස අන්‍යයන් විසින් අප වෙත හෙලන ඕනෑම කුණු කන්දලක් භාර ගැනී‍මට යුහුසුළු වන අයුරින් අපි කටයුතු නොකරන්නේද? මෙය ප්‍රායෝගිකව සිදු කිරී දුෂ්කර කටයුත්තක් වන නමුත්, අපට සිදුවන මේ සියල්ල මා ප්‍රතික්ෂේප කරනු ලැබීමක් ලෙස පෞද්ගලිකවම භාර නොගනිමින් එය එල්ල කරන අනෙකා සතු ගැටලුවක් ලෙස ගැනීමට උත්සාහ කරමු. වෙනත් අයුරකින් ප්‍රකාශ කරන්නේ නම්, මෙකී අනෙකා අප්‍රසන්නයෙකු සේ දැකීමේ ආකල්පය වෙනුවට "අනේ එයා මොකක්ද අවුලකින් ඉන්නෙ. මොකක්ද ප්‍රශ්නයක් එයාට තිබෙනවා" යනුවෙන් එකරුණ දකින්නෙමු.

එය වයස අවුරුදු දෙකක හෝ තුනක දරුවෙකු රැකබලා ගන්නට උත්සාහ කරන අතර දරුවා බොහෝ සෙයින් වෙහෙසට පත්ව ඇති බැවින් නින්දට යාම ප්‍රතික්ෂේප කිරීම වැනි තත්ත්වයකි.  එවිට "දැන් නිදා ගන්න වෙලාව හරි" යි පවසමු. එවිට දරුවා "මට ඔයා එපා"යි පවසයි. අපි එය පෞද්ගලිකවම සිදුකළ අපහාසයක් ලෙස සලකමුද? දරුවා අධික සේ වෙහෙසට පත්ව ඇති අතර, දරුවා අප වෙත හෙළන මෙම අප්‍රසන්න වදන් පුද්ගලිකව භාර නොගනිමින් දරුවා කෙරෙහි වැඩි ඉවසීමක් හා ආදරයක් දක්වමින් ඔහු සන්සුන් කිරීමට උත්සාහ කරමු.

භාවනාවේදීද මෙකී වඩාත් ධනාත්මක ආකල්පයක් සහිතව අපට ගැටලු ඇති කරන පුද්ගලයා දැකීමට උත්සාහ කරන අතර, සැබෑ ජීවිතයේදී එවන් අවස්ථාවනට වඩාත් සාර්ථක ලෙස මුහුණ දීමට හැකිවන පරිදි මෙම දුෂ්කර අවස්ථාවේදී මෙම පුද්ගලයා කෙරෙහි වැඩි ඉවසිලිවන්තභාවයක්, ආදරයක් හා ධනාත්මක ආකල්පයක් පවත්වාගෙන යාමට උත්සාහ කරමු. කෙටියෙන් පවසන්නේ නම්, මෙම අසිරිමත් බෝධිචිත්ත මානසිකත්වය යනු හැකිතාක් දුරට මාගේ දුර්වලතාවයන්ගෙන් මිදී මාගේ පූර්ණ විභවය අවදි කරගැනීමට භාවනාව හා සෙසු ක්‍රම මගින් කටයුතු කිරීම මගින් අන්‍යයන් වෙත හැකිතාක් උපකාර කිරීමේ වගකීම භාරගන්නා ලෙස සාධනය කරගැනීමට හා සාක්ෂාත් කරගැනීමට උත්සාහ කළ යුතුවන්නාවූ දෙයකි. මක් නිසාද සියලු දෙනා හට සතුට අත්පත් කරගැනීමට උපකාර කරන්නේ නම්, එවිට මාද සතුටින්ම සිටින අයෙකු වනු ඇත. එනමුත් මවිසින් මාගේ සතුට උදෙසා පමණක් කටයුතු කරමින් එය අන්‍යයන් නොසලකා හරිමින් හෝ ඔවුන්ගේ කර මතින් ගමන් කරමින් සිදු කරන්නක් නම්, අප සියලු දෙනා හට දුක් විඳීමට සිදුවේ.

ඔබ තරුණ වියේ සිටින සිසුන් වන බැවින් මෙය වූකලි ඔබගේ විභවයන්, ඔබගේ ආකල්ප පිළිබඳ සැබැවින්ම ඉගෙන ඔබගේ විභවයන් හා හැකියාවනට ගරු කරමින් සෘණාත්මක දිශාවකට නොව ධනාත්මක දිශාවකට ඔබගේ අභ්‍යන්තර සංවර්ධනයක් ඇතිකර ගැනීමට අවශ්‍ය සියලු කාර්ය සාධක ඔබ තුළ පවත්නා බව වටහා ගැනීම සඳහා වූ සර්ව සම්පූර්ණ අවස්ථාවකි. අපි ලොව තනි වූවෝ නොවෙමු; මෙම තොරතුරු, සමාජ මාධ්‍ය යුගයේදී අප සියලු දෙනා එකිනෙකා හා සම්බන්ධ වූවන් වෙමු. සියලු දෙනා වෙත වඩ වඩාත් ධනාත්මක බලපෑම් ඇතිවන පරිදි අපගේ අභ්‍යන්තරය වඩ වඩාත් ධනාත්මක දිශාවට වර්ධනය කරගත හැක.

මෙය බෝධිචිත්තය පිළිබඳ යම් පැහැදිලි කිරීමකි. දැන් ප්‍රශ්න විමසීමේ වේලාවයි.

බෞද්ධ දෘෂ්ටි‍ කෝණයෙන් ආදරය යනු කවරක්ද?


ස්ත්‍රී-පුරුෂ සම්බන්ධතාවය විශේෂ කොටගෙන බෞද්ධ දෘෂ්ටි කෝණයෙන් ආදරය පිළිබඳ වැඩිදුර යමක් පැවසිය හැක්කේද?

බෞද්ධ දෘෂ්ටි කෝණයකින් ආදරය සම්බන්ධයෙන් කථා කරන විටදී, මවිසින් මාගේ සාකච්ඡාවේදී සඳහන් කළ පරිදි ආදරය යනු යමෙකු සතුටින් හා සතුටට හේතුවන කරුණුවලින් සම්පූර්ණව සිටීවාය යන පැතුමයි. මෙමගින් අනෙකාගේ ප්‍රබල හා දුබල යන ලක්ෂණ  දෙකම මුළුමනින්ම පිළිගැනීමක් අදහස් වේ. මෙහිදී ඔවුන් සතුටින් සිටීවාය යන මාගේ පැතුම ඔවුන් මා හට සලකන ආකාරය හෝ ඔවුන් හැසිරෙන ආකාරය මත පදනම් නොවේ. කිසිදු කරුණක් නොසලකා, එමගින් ඔවුනට යම් අවකාශයක් ලබාදීමක් අදහස් වුවද මා හට ඔවුන් සතුටින් සිටීම අවශ්‍ය වේ.

නිරන්තරයෙන් ආදරය යන්න ආශාව හා මිශ්‍ර වූවකි (ආශාව යනු අප සතුව නොමැති යම් කිසිවක් ලබාගැනීමේ ඇති ඇල්මයි). එය ඇල්ම සමගින් මුහුව පැවතිය හැක්කකි (ඇල්ම යනු අප සතුව පවත්නා යමක් අත් හැරීමට ඇති අකමැත්තයි).  එය ලෝභය සමගින්ද මුහුව පැවතිය හැක (ලෝභය යනු යමෙකු අපගේ මිතුරා වුවද, අප ආදරය කරන්නෙකු වුවද, අපට ඔවුන් වෙතින් තව තවත් දේ අවශ්‍ය වීමයි). මේ සියල්ල ඔවුන්ගේ යහගුණ පමණක් දැක, ඒවා අතිශයෝක්තියට නංවමින්, ඒවා මහා දෙයක් බවට පත්කර ගනිමින් ඔවුන් තුළ පැවතිය හැකි දෝෂ තත්ත්වයන් නොසලකා හැරීම මත පදනම් වේ. ඔවුන් සතු යහගුණ යනු හුදෙක් ඔවුන් මා හට කැමති වීම හා ඔවුන් සමග සිටින විට මා හට යම් සැනසීමක් දැනීම, ඔවුන්ගේ පෙනුම ප්‍රසන්න වීම, ලිංගික ආකර්ශනයක් සහිත අය වීම ආදිය විය හැක. ඒ අනුව අපි අදාළ පුද්ගලයාගේ ඉතා කුඩා කොටසක් පිළිබඳ පමණක් අවධානය යොමු කරන අතර එය අන් සියල්ලට වඩා වැදගත් කරුණ ලෙස සලකමු. ඒ අනුව මෙය ඉතා යථාර්ථවාදී ආකල්පයක් නොවේ. එය මෙම පුද්ගලයා මා හට සලකන ආකාරය මත බොහෝ දුරට රඳා පවතී: ඔවුන් මා හට ප්‍රියමනාප ලෙස සලකන්නේ නම්, මම ඔවුන්ට ආදරය කරමි; ඔවුන් මා හට ප්‍රියමනාප ලෙස නොසලකන්නේ නම්, ඔවුන්ට තවදුරටත් ආදරය නොකරමි. මෙය වූකලි ස්ථාවර ආදරයක් නොවේ.

මවිසින් ප්‍රකාශ කළ පරිදි, අප විසින් බුදු දහම තුළ සාකච්ඡා කරන ආකාරයේ ස්ථාවර ආදරය වූකලි සෑම දෙනෙකු තුළම ප්‍රබල හා දුබල ලක්ෂණ පවත්නා අතර කිසිවෙකු හෝ පරමාදර්ශී හෝ සර්ව සම්පූර්ණ අයෙකු නොවන බැවින්, යමෙකු තුළ පවත්නා යහපත් පාර්ශ්වය මෙන්ම අයහපත් පාර්ශ්වයද පිළිගන්නාවූ ආදරයකි. ඔබට වැටහෙන පරිදිම, මෙහි ඇති ගැටලුව වනුයේ අප බොහෝ දෙනෙකු තවමත් සුරංගනා කථා විශ්වාස කරන්නන් වීමයි. සුරංගනා කථාවල සුදු අසු පිට නැගි සර්ව සම්පූර්ණ ආකර්ශනීය හා ළගන්නා සුළු කුමරෙකු හෝ කුමරියක වේ. අපිද නිරතුරු එම කුමරා හෝ කුමරිය සොයන අතර නිරතුරු අප ආදරය කරන්නට පටන් ගන්නා පුද්ගලයන් වෙතට එම කුමරා හෝ කුමරියගේ චරිතය ආරෝපණය කරමු. එනමුත්, අවාසනාවකට මෙන්, එය හුදෙක් සුරංගනා කථාවක් වන අතර, කිසිදු යථාර්ථවාදී දෙයකට සම්බන්ධ නොවේ.

එය අවබෝධ කරගත යුතුවන කිසිදු ප්‍රියජනක දෙයක් නොවේ; එය පිළිගැනීම ඉතා දුෂ්කර දෙයකි. එනමුත් අපි කිසි විටෙක හෝ උත්සාහය අත් නොහරිමු: "මෙයා ඒ කුමාරයා හෝ කුමාරිය නොවුණත්, ඊළඟ වතාවෙදි එයා මට හම්බ වෙන්න පුළුවන්" ආදී ලෙසිනි. සුදු අසු පිට නැගි කුමරා හෝ කුමරිය සොයන තාක් අන්‍යයන් සමගින් පවත්නා අපගේ ආදරණීය සම්බන්ධතා තුළ ගැටලු ඇති වනු ඇත්තේ අප වෙනුවෙන් වූ සර්ව සම්පූර්ණ සහකරු/සහකාරිය සම්බන්ධ එම පරමාදර්ශය ජීවමාන කළ හැකි කිසිවෙකු හෝ නොමැති බැවිනි. ඔවුන් කුමරා හෝ කුමරිය ලෙස කටයුතු නොකරන විට අපි කෝපයට පත්වෙමු. ඔවුන්ද මා මෙන්ම ප්‍රබලතාවන්ගෙන්‍ මෙන්ම දුබලතාවයන්ගෙන්ද සැදි අය වන බවට වූ යථාර්ථය අප විසින් නොපිළිගන්නේය යන්නක් එමගින් අදහස් වේ. ඒ අනුව සැබෑ ආදරය, ස්ථාවර, නොවෙනස් ආදරය, පදනම් වනුයේ අනෙකා සමබන්ධ යථාර්ථය පිළිගැනීම මතය.

අප විසින් නිරතුරු අමතක කරන හා අප පෙමින් වෙළෙන පුද්ගලයා සම්බන්ධ යථාර්ථයේ තවත් පැතිකඩක් වනුයේ ඔවුන්ගේ ජීවිතවලට සම්බන්ධ එකම පුද්ගලයා අප පමණක් නොවන්නේය යන්නයි. හුදෙක් මා සමග ගත කිරීමෙන් ඔබ්බට ගිය ජීවිතයක් ඔවුන්ටද ඇත්තේය යන කරුණ නිරතුරු අපට නොපෙනී යන්නකි. ඔවුන් හටද සෙසු මිතුරන්, පවුලක්, වෙනත් වගකීම් ආදිය පවතී. ඒවාද ඔවුන්ගේ ජීවිතයේ කොටසක් වන ‍වෙනත් දේවල්ය. වැදගත්වන එකම පුද්ගලයා මා පමණක් නොවේ. ඒ අනුව ඔවුන් විසින් ඔවුන්‍ගේ ජීවිතවලට අදාළ වෙනත් පුද්ගලයන්, දේවල් සමගින් එක්ව කටයුතු කරන විටදී, කාලය ගතකරන විටදී ඊර්ෂ්‍යා සහගතව හෝ අවුල් සහගතව කටයුතු කිරීම යුක්ති යුක්ත නොවේ. නිදසුනක් ලෙස ඔවුන් අයහපත් චිත්ත ස්වභාවයකින් කටයුතු කරන විටදී හෝ අප සමගින් සිටීමට නොහැකි තත්ත්වයක සිටින විටදී හෝ එසේ වනුයේද මා හේතුවෙන්ම පමණක් නොවේ. මෙම අනෙකා හට දැනෙන හෝ ඔහු විසින් සිදුකරන සියල්ලෙහි හේතුව මා නොවේ. ඔවුන් අයහපත් චිත්ත ස්වභාවයක පසු වන්නේ නම්, එය ඔවුන්ගේ පවුුලේ සිදුවන දෙයක් හේතුවෙන් ඇති වූ තත්ත්වයක් විය හැක; ඔවුන්ගේ සෙසු මිතුරන්ගේ බලපෑමෙන් සිදුවූවක් විය හැක; රෝගී තත්ත්වයෙන්, අසනීප තත්ත්වයෙන් පසුවීම හේතුකොට එසේ සිදුවූවා විය හැක; බොහෝ වෙනත් හේතු මත සිදුවූවාද විය හැක. මේ පුද්ගලයාට හැ‍ඟෙන සියලු දේහි එකම හේතුව මා බවට මා සිතන්නේ මන්ද?

එමෙන්ම, මා හට මෙම පුද්ගලයා සමගින් දිගු කාලීන සම්බන්ධතාවයක් පවත්නේ නම්, අපගේ එදිනෙදා ගනුදෙනු තුළ බොහෝ දේ සිදුවේ. නිරන්තරයෙන්ම සිදුවන දෙය නම් "එයා මට අද කෝල් කළේ නෑ. මගේ කෙටි පණිවිඩයට පිළිතුරු එව්වේ නෑ" ලෙස සිතමින් එකී තනි සිදුවීමක වැදගත්කම අතිශයෝක්තියට නංවමු; කාලාන්තරයක් පුරා පැවති අපගේ සමස්ත සම්බන්ධතාවයේ දිගු කාලීන සන්දර්භය තුළ එය නොදකිමු. මෙම තනි සිදුවීම හේතුවෙන්, ඔහු මා හට තවදුරටත් ආදරය නොකරන්නෙක් බවට නිගමනය කරමු. එනමුත් මෙය වූකලි ඉතාමත්ම පටු දැක්මකි - හුදෙක් තනි කුඩා සිදුවීමක් ගෙන එය සමස්ත සම්බන්ධතාවයෙන්ම වෙන්කොට ගෙන කිරා මැන බැලීමකි.

යථාර්ථය වනුයේ සෑම අයෙකුගේම ජීවිතය, ඔවුන්ගේ චිත්ත ස්වභාවයන් ආදිය නිරන්තරයෙන් ඉහළ පහළ යන බවයි. එය අප පිළිබඳ සත්‍යයකි; සියලු දෙනා සම්බන්ධ සත්‍යයකි. ඒ අනුව මා ප්‍රේම කරන මෙම පුද්ගලයා හට මා සමගින් එක්ව සිටිය යුතු බවට හැඟීමක් ඇතිවීමද ස්වභාවිකය; තවත් විටෙක එසේ හැඟීමක් ඇති නොවීමද ස්වභාවිකය. ඔවුන් ඇතැම් විටෙක යහපත් චිත්ත ස්වභායකද, තවත් විටෙක අයහපත් චිත්ත ස්වභාවයකද පසුවෙති. ඔවුන් අයහපත් චිත්ත ස්වභාවයක පසු වූයේ නම්, මා‍ගේ කෙටි පණිවිඩය හෝ එවැනි දෙයකට වහා පිළිතුරු සැපයීමට නොහැකි වන තරමට වෙනත් කරුණු කෙරෙහි කාර්ය බහුල තත්ත්වයක පසු වූයේ නම්, එමගින් ආකස්මිකවම ඔවුන් මා හට තවදුරටත් ආදරය නොකරන බවක් අදහස් නොවේ. එය හුදෙක් ජීවිතයේ කොටසකි.

අපට අපගේ ආදරණීය සම්බන්ධතාවයන් ස්ථාවර කරගැනීමට අවශ්‍ය වන්නේ නම් මේ වූකලි උගත යුතුවන ඉතා වැදගත් දේවල් කිහිපයකි. නොඑ‍සේ නම්, බොහෝ වූ භාවමය කැළඹීම්වලට මුහුණ දීමට සිදුවේ.

මහා ඉන්දියානු බෞද්ධ ගුරුවරයෙකු විසින් දුන් මනා ආදර්ශයක් වේ. එයට අනුව අන්‍යයන් සමගින් අප විසින් පවත්වන සම්බන්ධතාවයන් සුළ‍‍ඟේ වැනෙන්නාවූ හා සරත් සමයේදී ගසින් බිමට වැටෙන්නාවූ පත්‍රයන් මෙනි. ඇතැම් විට එම පත්‍ර එක්ව සුළඟේ හමායාන අතර ඇතැම් විට වෙන් වෙන් වශයෙන් විවිධ දිශාවනට පාව යයි. එය හුදෙක් ජීවිතයේ කොටසකි. යමෙකු සමගින් පවත්වන සම්බන්ධතාවයක් වේනම් එය  අපගේ සමස්ත ජීවිත කාලය පුරාවටම පවත්නා හෝ නොපවත්නාවූ එකක් විය හැක.

අනෙකා අපගේ ජනෙල් පියන්පත මත වසා සිටින පක්ෂියෙකු සේ දැකීම වැදගත් වේ. අලංකාර වන පක්ෂියෙකු අපගේ ජනේලය මතට පියඹා එන අතර එය අසිරිමත් දසුනකි. මෙම වන පක්ෂියා සමගින් මොහොතක් ගත කිරීමට හැකිවීම කෙතරම් නම් අලංකාර හා සතුටුදායක දෙයක්ද? එනමුත් සැබැවින්ම එම කුරුල්ලා පිටතට, ඉවතට පියඹා යනු ඇත. ඌ නිදහස් සත්ත්වයෙකි. ඌ නැවතත් මා‍ගේ ජනේලය වෙත පියඹා එන්නේ නම් කෙතරම් අසිරිමත්ද, මා කෙතරම් වාසනාවන්තද? එනමුත් පක්ෂියා අල්ලාගෙන ඌ කූඩුවක සිරකර තබාගැනීමට උත්සාහ කරන්නේ නම්, කුරුල්ලා ඉතා අසතුටට පත්ව මියයාමට පවා පිළිවන.

අපගේ ජීවිතවලට සම්බන්ධවන හා අපගේ ආදරය දිනා ගන්නා පුද්ගලයන් සම්බන්ධවද තත්ත්වය එයම වේ. ඔවුන්ද මෙම අලංකාර වන පක්ෂියා මෙනි. අප‍ගේ ජීවිතවලට සම්බන්ධවන ඔවුහූ ඉමහත් සතුටක් හා අලංකාරයක් අපගේ ජීවිතවලට එක් කරති. එනමුත් වන පක්ෂියා මෙන් ඔවුන්ද නිදහස් සත්ත්වයන් වේ. එනමුත් ඔවුන් ග්‍රහණය කරගෙන අප සන්තක වස්තුවක් සෙයින් අල්ලාගෙන සිටීමට උත්සාහ කළහොත්, හා නිරතුරුවම "ඇයි ඔයා මට කෝල් කළේ නැත්තෙ? මාව බලන්න ආවෙ නැත්තෙ? ඇයි ඔයා මා එක්ක එච්චර වෙලා ඉන්නෙ නැත්තෙ?" ඈ ලෙස හිරිහැර කරන්නට වුවහොත්, එයද වන පක්ෂියා කූඩුවක සිර කිරීමට ගන්නා උත්සාහයට සමාන වූවකි.  එම වන පක්ෂියා උ‍ගේ හැකි වැ‍ර යොදා පලා යාමට උත්සාහ කරනු ඇත. වරදකාරී හැඟීමක් හේතුකොට අප සමගින් සිටින මෙම පුද්ගලයා මෙන් වන පක්ෂියාද අප සමගින් නැවතී සිටියහොත්, එසේ සිටිනු ඇත්තේද ඉතා අකමැත්තෙනි, අසතුටිනි.

මෙය වූකලි ඉතාමත් ප්‍රයෝජනවත් සිතිවිල්ලකි. එනම්, අප විසින් ආදරයෙන් වෙලෙන හා අපගේ ජීවිතවලට සම්බන්ධවන ඕනෑම අයෙකු මෙම අලංකාර වන පක්ෂියා සෙයින් සැලකීමයි. අප ඉහිල් වන්නට වන්නට, හා අපගේ ග්‍රහණය අවම වන්නට වන්නට, වන පක්ෂියා වඩ වඩාත් අපගේ ජනේලය කරා පියඹා ඒමට කැමති වනු ඇත.

Top