සදාචාරය තුළින් සතුටින් පිරි මනසක් ළඟා කර ගැනීම

Studybuddhism universal values 01

මා අද කතා කරන්නට යන්නේ, කිසිදු ආගමකට අයති නැති (වීතාගමික) ක්‍රමෝපායන් යොදා ගනිමින් සතුටින් පිරි මනසක් ළඟා කර ගන්නේ කෙසේද යන කාරණය ගැන. විශාල මිනිසුන් පිරිසකට කතා කරන්නට මට ලැබුණු මෙම අවස්ථාව ගැන මා සතුටු වෙනවා. දැනට අප අතර නැති, මගේ හොඳම මිතුරෙකු වූ ඇමරිකානු විද්‍යාඥ ඩේවිඩ් ලිවිංස්ටෝ  වරක් මට කීවා සත්පුරුෂ හදවතක් ඇති මිනිසෙකුව වෙනත් අයෙකුට මුණ ගැසුණ විට ඔහුගේ හෝ ඇයගේ ඇස් ලොකු වෙනවා; ඒ පුද්ගලයාගේ ඇහේ කළු ඉඟිරියාව ලොකු වෙනවා කියා. ඔහු කීවා ඔහුට මාව මුණ ගැසුණ මොහොතේත් ඔහුගේ ඇස් ලොකු වුණා ලු, ඔහුගේ ඇහේ කළු ඉඟිරියාව ලොකු වුණා ලු. එහෙම වන්නේ පුද්ගලයන් දෙදෙනෙකු සමග විතරයි; මාව මුණ ගැහෙන විටයි, ඔහු ඔහුගේ බිරිඳව දකින විටයි. ඒත් මේ වන විට, මා යන හැම තැනම, මේ දේශීය මිනිසුන් එක වගේ. ඔවුන් මා කෙරෙහි අවංක, උණුසුම් හැඟීමක් පෙන්වනවා. මා එය අගය කරනවා, ස්තුතියි.

“වීතාගමිකවාදය” (secularism) යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? මා එය යොදා ගන්නේ ඉන්දීය සම්ප්‍රදායය තුළ එය භාවිත වන ආකාරයට අනුව. ඒ වුණාට, මගේ සමහර මුස්ලිම් සහ ක්‍රිස්තියානි මිත්‍රයන්ට දැනෙන්නේ “වීතාගමිකවාදය” යන පදයෙන් තරමක ආගම්-විරෝධී බවක් හැඟවෙන බවයි. ඒ නිසා, ඒ අය කැමති නැහැ මා එම පදය යොදනවාට. ඒ වගේම සමහරු හිතනවා, සදාචාරය කියන දේ ආගම මත පදනම් වෙන්න ඕනැ කියා. ඒත් ඉන්දීය ව්‍යවස්ථාව පදනම් වී තියෙන්නේ වීතාගමිකවාදය මත. එය ආගම්-විරෝධී නැහැ. ඉන්දියාවේ මිනිස්සු ආගමට බොහෝ ගරු කරන අය. ගාන්ධි සහ ඉන්දියානු ව්‍යවස්ථාව ලියූ අය හොඳ ආගමික මිනිස්සු. මෙතැන “වීතාගමික” යනුවෙන් අදහස් කරන්නේ එක ආගමක් අනෙක් ආගම්වලට වඩා උසස් කියා සැලකීමේ අදහසකින් තොරව සියලු ආගම්වලට ගෞරව කිරීම. ඒ පමණක්ද, වසර දහස් ගාණක් තිස්සේ මේ වීතාගමිකවාදය ඉන්දියාවේ සියලු (දිව්‍යමයභාවය) අවිශ්වාසකරුවන්ගේ අයිතීන්වලටත් ගරු කර තියෙනවා. ඉතින් මා “වීතාගමිකවාදය” යන පදය යොදා ගන්නේ මේ අදහස දීමට. (සදාචාරය යනු කුමක්ද? යන්නත් බලන්න)


මනුෂ්‍යයෙකු වශයෙන්, තිරිසන් සතෙකු හෝ කෘමිසත්ත්වයෙකු වශයෙන් හෝ, වැඩි වැඩියෙන් ශාන්තිය හා සැනසීම ලබාගැනීමට අප හැමෝටම ආශාවක් තියෙනවා. කාටවත් කිසිම කරදරයක් අවශ්‍ය නැහැ. සතුට ළඟා කර ගන්නත් කරදර, ගැටලු සහ දුක් විඳීම් මැඬලන්නටත් හැමදෙනාටම අයිතියක් තියෙනවා. මේ බව තාර්කිකව හෝ පර්යේෂණාත්මකව තහවුරු කරන්න අවශ්‍ය නැහැ. මේ තමයි සරලවම ස්වභාවික ක්‍රමය. පණ ඇති හැම සත්ත්වයෙකුම, කුරුල්ලන්, තිරිසන් සතුන්, මිනිසුන්, අප හැමෝම උත්සාහ කරන්නේ මේ අරමුණ ළඟා කර ගන්න. මේ අරමුණ ළඟා කර ගැනීමේ ක්‍රමෝපාය තමා වැදගත්. එය තාත්වික එකක් විය යුතුයි. අතාත්වික ක්‍රම යොදා ගැනීමෙන් අප මේ අරමුණ ළඟා කර ගැනීමට අසමත් වෙනවා. උදාහරණයක් විදිහට, ඇතැම් විට අපට හමුවෙනවා, බියෙන් තැති ගත්තු සතුන් වැරදි පැත්තට දුවනවා. උන් දුවන්නේ අනතුර තියෙන පැත්තට, එයින් ඉවතට නෙවේ. ඒත් අපි මිනිස්සු. අපට තියෙනවා පුදුමාකාර බුද්ධියක්. ඒ නිසා, තර්කයෙන් සහ බුද්ධියෙන් තාත්වික එලඹුමක් අනුගමනය කරන්න අපට ඊට වඩා හැකියාවක් තියෙනවා. ඒ නිසා, අප උන්ට වඩා සාර්ථකයි. අපට තියෙනවා දීර්ඝ කාලයක් තිස්සේ එන සාවධාන බවක්. ඒ නිසාම සමහර වෙලාවට ආසන්නයේ තියෙන ලාභප්‍රයෝජනය අප කැප කරනවා දීර්ඝ-කාලීන සාර්ථක බවක් උදෙසා. මෙය, තිරිසන් සතුන්ට වඩා අපේ බුද්ධිය ඉහළ බව පෙන්වා දෙන්නක්. මේ බුද්ධිය නිසා, දීර්ඝ-කාලීන ලාභප්‍රයෝජනයක් ළඟා කර ගන්න අපි, මිනිස්සු, උත්සාහ කරනවා.

ඊළඟට මතුවන ප්‍රශ්නය තමා කුමන මට්ටමේ අත්දැකීමකින්ද අපට හොඳම ලාභප්‍රයෝජනය ගෙන එන්නේ යන්න. ඉන්ද්‍රීයබද්ධ මට්ටමේ අත්දැකීමක් ප්‍රධාන වශයෙන්ම තාවකාලිකයි. උදාහරණයක් ලෙස කීවොත්, ඔබ චිත්‍රපටයක් හෝ ක්‍රීඩා අවස්ථාවක් හෝ බලනවා විය හැකියි, එහෙම නැතිනම් විවිධ ස්ථාන සහ ස්වභාවික දර්ශන, ඇඳුම්පැළඳුම්, මිනිසුන් බලන්න යන සංචාරකයෙකු විය හැකියි. ඇත්ත, මේ ආකාරයෙන්, යම් විධියක ඉඳුරන් පිනවීමක් ඔබට ලැබෙනවා; මෙතැනදී නම් ඔබේ ඇස්. උදාහරණයක් විදිහට දිල්හිවල ඉන්න මගේ  ඉන්දියානු ජාතික රියැදුරා ආසයි ක්‍රිකට්වලට. ක්‍රිකට් තරගයක් තියෙන දාට, මා ඔහුගෙන් ඇසුවාම ඔබ පැය කීයක් ඊයේ රෑ නිදා ගත්තාද කියා, ඔහු කීවා පැය හතරයි කියා. ඒ වෙලාවේ මා ඔහුට දොස් කිව්වා. මා කීවා ක්‍රීඩා තරග බලනවාට වඩා හොඳ නින්දක් ලැබීම හොඳ බව. එය මනසට වඩා හිතකරයි. මේවාට අමතරව, සංගීතය, ඒ වගේම ඉමිහිරි සුවඳවර්ග, ඒවගේම කෑමබීම, මේ වගේ කායික ඉන්ද්‍රීය පිනවීම් තියෙනවා. ඉන්ද්‍රීයබද්ධ මට්ටමේ තියෙන මේ පිනවීම් තාවකාලික ඒවා පමණයි. ඒවා ඉවර වුණාම, ඒවා ගැන මතකයක් විතරයි අප තුළ ඉතිරි වෙන්නේ.

අනෙක් අතට, සමහර අත්දැකීම් තියෙන්නේ මානසික මට්ටමේ. ඒවා ඉන්ද්‍රීයබද්ධ අත්දැකීම් මත යැපෙන්නේ නැහැ. ඒවගේම ඒවායින් ජනිත වන වින්දනය බොහෝ කලක් තියෙනවා. මේ නිසා, සතුට සහ නොසතුට අත්දැකීමේ මට්ටම් දෙකක් තියෙන බව අවබෝධ කර ගැනීම වැදගත්. එක, ඉන්ද්‍රීයබද්ධ මට්ටමේ තියෙන තාවකාලික එකක්, අනෙක වඩා ගැඹුරකට දිවෙන මානසික එකක්.

අප ජීවත්වන නූතනයුගයේ මිනිස්සු වැඩියෙන්ම සම්බන්ධ වෙන්නේ ඉන්ද්‍රීයබද්ධ මට්ටමට. මොකද ඒ අය ඒවා වඩා වැදගත් කියා කල්පනා කරන නිසා. මේ නිසා ඒ අය කොයි වෙලේත් සතුට උදෙසා බාහිර ද්‍රව්‍යමය මූලයන් සොයනවා, අභ්‍යන්තරයේ වඩා ගැඹුරින් ඇති මට්ටම නොසකලා හරිනවා. වසර ගාණකට පෙර, වතාවක්, මා ජර්මනියේ බර්ලින්වල හිටියා. මා නතර වී සිටිය හෝටලය තිබුණේ රාත්‍රී සමාජශාලාවකට එහා පැත්තෙන්. රාත්‍රී 7.30ට 8.00ට පමණ, මා නිදා ගන්න යනවා. මට ඒවෙලාවේ එළියෙන් පෙනුනා රතු, නිල් වගේ එක එක පාට විදුලිඑළි දිලිසෙනවා, ඒ වගේම විශාල කන්පැලෙන ශබ්දයක්. මා නිදාගන්න ගියත් මහරෑ අවදිවී බැලුවාම එය තවමත් තියෙනවා, හතරට විතර අවදිවී බැලුවාමත් එය ඒ වෙලාවෙත් තියෙනවා. එහි ඉන්න මිනිසුන්ගේ සම්පූර්ණ ශක්තියම ඒ ඉන්ද්‍රීයබද්ධ මට්ටමේ ගිලිලයි තිබුණේ. මා හිතන්නේ පහුවෙනිදා හැමෝම හොඳටම හෙම්බත් වී ඉන්න ඇති.

මෑතකදී, ළමයි කීපදෙනෙකුත් දෙමාපියනුත් සිටින ඉන්දීය පවුලක් මට මුණගැහුණා. ඔවුන් සමග සුහද කතාබහක නිතරවුණා. පසුගිය වසර දෙකක තුනක කාලයක සිට මා රූපවාහිනිය නරඹන්නේ නැති බවත් බීබීසි ගුවන්විදුලියේ ප්‍රවෘත්තිවලට පමණක් සවන්දෙන බවත් මා එතැනදී මතක් කළා. “ටීවී බලන්නේ නැතිව හිටියොත් ඔබවහන්සේට එපා වෙයි” කියා එ් පවුලේ සිටි පොඩිම කෙනා මට කීවා. එයින් මට තේරුණා ඒ අය ගොඩක් බලනවා ඇති කියා. විශේෂයෙන්ම ඇමරිකාවේ සහ යුරෝපයේ ළමයි ඕනෑවටත් වඩා රූපවාහිණි නරඹනවා. තියුණු බුද්ධියකින් යමක් විශ්ලේෂණය කිරීමට ඔවුන්ගේ මනසේ තියෙන හැකියාව විකෘති වෙන නිසා මේ වැඩෙන් ලොකු උදව්වක් වෙන්නේ නැහැ. මේ නිසා, සතුට ලබා ගැනීමේ ක්‍රමයක් හැටියට ඉන්ද්‍රීයබද්ධ මට්ටම නෙවේ, මානසික මට්ටම ගැන හිතා කටයුතු කිරීම තේරුමක් ඇති දෙයක් වෙනවා.

තව කරුණක් තියෙනවා, ඒ තමා ප්‍රධාන වශයෙන් මනෝභාවවලින් කරදර එන්නේ මානසික මට්ටමේදී වීම. මේ නිසා, සතුටින් පිරි ජීවිතයකට අපට සන්සුන් මනසක් අවශ්‍ය වෙනවා. ඒ තත්ත්වය ළඟා කර ගන්න අපට හැලහැප්පෙන්න ඕනැ වෙන්නේ මානසික මට්ටම සමගම තමා. මොකද කරදරවල මූලය එන්නේ මානසික මට්ටමේ දී නිසා. ඒ නිසා පළමුව, අප අපේ අභ්‍යන්තර ලෝකයට, අභ්‍යන්තර වටිනාකම්වලට අවධානය යොමු කරන්න අවශ්‍යයි. මොළයේ පුංචි අවකාශය ඇතුළේ අපට මනසේ විශාල අභ්‍යන්තර අවකාශය ගවේෂණය කරන්න පුළුවන්. ඒත් අප ඇත්තටම මේ අභ්‍යන්තර අවකාශය ගැන දන්නේ බොහෝදුරට පොඩිත්තයි. ඒ නිසා අපට මනෝභාවයන් පරීක්ෂා කර බලන්න අවශ්‍ය වෙනවා. බරපතල මනෝභාවයන් නැඟී සිටින විට මනසේ තවත් පැත්තකින් අපට ඒ මනෝභාවය පරීක්ෂාවට ලක් කරන්න අවශ්‍ය වෙනවා. එවිට, එය ක්‍රමිකව යට යන හැටි අපට හමුවෙනවා. කෝපයෙන් යටත් කරගත් මනසක් බලන්න අපට හැකියාව තියෙනවා. අප එය පරීක්ෂාවට ලක්කරන වහාම එහි ප්‍රබල බව අඩුවෙනවා. මනසේ වඩාත් ගැඹුරට බැලීම හරිම සිත්ගන්නාසුලුයි.

අප දැන් සිටින්නේ විසි-එක්වන සියවසේ. විසිවන සියවස මානව ඉතිහාසයේ වැදගත්ම සියවස වගේ පේනවා. එහෙම වෙන්නේ විද්‍යා හා තාක්ෂණික ක්ෂේත්‍රවල බොහෝ සංවර්ධන නිසා. මොකද අපේ දැනුම ඉහළ යන විට ජීවත්වීමේ ප්‍රමිතීන් ඉහළ යනවා. ඒ වුණාට, ඒ සමගම, එය තමා ලේගැලීම්වල සියවස. ඔබේ දෙමාපියන් සහ සීයලා, ආච්චිලා බොහෝ කරදර සහ දුක් අත්විඳල තියෙනවා. න්‍යෂ්ටික අවිවලින් මිය ගිය සමහරුත් ඇතුළත්ව මිලියන දෙසීයකට අධික මිනිසුන් පිරිසක් මැරුණා. මේ සා අතිවිශාල සාහසිකත්වයකින් යම්කිසි නව වැඩපිළිවෙළක් හැදුණා නම් ඇතැම්විට අපට එය සාධාරණීකරණය කරන්න තිබුණා. ඒත් එහෙම වුණේ නැහැ. අදටත්, මේ විසි-එක්වන සියවසේ ආරම්භයේදීත් ඉරාකයේ, ඉරානයේ සහ ඇෆගනිස්ථානයේ බොහෝ ප්‍රශ්න තියෙනවා, සෑහෙන්න ත්‍රස්තවාදය. මෙය අතීත වැරදි සහ නොසලකාහැරීම්වල නිමිත්තක්. නිකම් බාහිර දේවල් ගැන ඕනෑවටත් වඩා අවධාරණය කරනවා. දැන් අප අභ්‍යන්තර වටිනාකම් ගැන වැඩියෙන් සිතිය යුතුයි, බාහිර සිදුවීම් ගැන නෙවේ.

තව දෙයක්, සාමාන්‍යයෙන් ද්‍රව්‍යාත්මක දේවල ප්‍රගතිය හොඳ වුණත් දුප්පත්කම සහ පොහොසත්කම අතර පරතරය බරපතල ප්‍රශ්නයක්. මේ ඕස්ට්‍රියාවේ සමානාත්මකතා මට්ටම හුඟාක් හොඳයි. ඒත් ගිය වසරේ මා මෙක්සිකෝවට, ආර්ජෙන්ටිනාවට සහ බ්‍රසීලයට වැඩම කර දුප්පත්කම සහ පොහොසත්කම අතර පරතරය ගැන ඇහුවා, පොඩිද ලොකුද කියා. ඔවුන් කීවේ ඒක හුඟාක් ලොකුයි කියා. සමහර විට මේ ඕස්ට්‍රියාවේදී ඒක පොඩි වෙන්න පුළුවන්.

“වංචාදූෂණවල මට්ටම ලොකුද පොඩිද” කියාත් මා ඇසුවා. භාෂණ නිදහස, ප්‍රකාශන නිදහස ඇති ප්‍රජාතාන්ත්‍රික රටවල පවා තවමත් විශාල වශයෙන් වංචාදූෂණ තියෙන්න පුළුවන්. මෙසේ වන්නේ ආත්ම-දමනයක් නැතිකම සහ ආචාරාත්මක මූලධර්ම නැතිකම නිසා. උදාහරණයක් විදිහට ඉන්දියාව කියන්නේ හුඟාක් ආගමික මානසිකත්වය ඇති රටක්. ඒත් එහි ලොකුවට වංචාදූෂණ තියෙනවා. බොහෝ ඉන්දියානුවන්ට තමුන්ගේ නිවෙස්වල දෙවි-දේවතාවියන්ගේ ප්‍රතිමා තියෙනවා. ඔවුන් හඳුන්කූරු සහ මල්, එමෙන්ම ඔවුන්ගේ යාතිකා පූජා කරනවා. ඒත්, ඒ අය යාතිකා කරන්නේ “මගේ වංචාදූෂණ සාර්ථක වේවා” කියා’යි සමහර වෙලාවට මං විහිළුවට වගේ කියනවා. එය හරිම කණගාටුදනවන කරුණක්. ඔවුන් ආගමික මනසක් ඇති අය නමුත් බොහෝ දෙනෙක් දූෂිතයි. ඔවුන් ඇදහීමක් ඇති අය කියා කියන නමුත් ඔවුන්ගේ ආගමේ මූලධර්ම ක්‍රියාත්මක කරන තරමට, දෙවියන්ට බිය වන තරමට ඇදහීමක් ඇති අය නොවේ.

බහුජාතික සමාගම් ගැන සහ ඒවායේ ලාභය විනිවිද නොපෙනීම ගැන වසරක කීපයකට ඉහතදී මා විද්වතෙකු සමග සාකච්ඡාවක් කළා. අප මෙහෙම දේවල් සාකච්ඡා කළා. මා ඇහුවා, “මේ සමාගම් පවත්වාගෙන යන මිනිසුන් දෙවියන්ට බය අය වෙන්න ඕනැ. ඒ නිසා, ඒ අය තුළ කිසියම් ශික්ෂණයක් තියෙන්න ඕනැ නේද” කියා. ඔහු කීවා, “ඒක දහ-අටවන සියවසේ සිතුවිල්ලක්” බව. ඒ කියන්නේ, මේ අය දෙවියන්ට යාච්ඤා කරනවා වෙන්න පුළුවන්, ඒත් එය බැරූරුම්ව ගත් අය නෙවේ. ඔවුන් එය බැරූරුම්ව ගත්තා නම්, අවංක වීම, අනුන් ගැන සැලකීම, සදාචාරාත්මක වීම යන දෙවියන්ගේ උපදෙස් පිළිපදින්න ඕනැ. ඉතිං, අප අනුන් ගැන හිතන, පරිසරය ගැන හිතන අය විය යුතුයි. ඒ කීවේ, අප සදාචාරාත්මක චර්යාව ගැන වැඩියෙන් අවධාරණය කරන්න අවශ්‍යයි. එයින් අදහස් කරන්නේ තම කැමැත්තෙන්ම “මා මෙම කාර්යයෙහි නිරත වුණොත්, එය ආචාරාත්මක මූලධර්මයන්ට පටහැනියි” යන දැනුම මත පිහිටා ඇති වන ආත්ම-දමනය ගැන වැඩියෙන් අවධාරණය කිරීමක්; නැතිව යුතුකම හෝ බිය වීම හෝ යන හැඟීම නොවේ. තව තවත් ආචාරාත්ම චර්යාවන් උදෙසා අප වැඩි වැඩියෙන් පරිශ්‍රමයක් දැරීම අවශ්‍යයි. එසේ නැති වුවහොත් ජනගහනය වැඩිවීම සහ සම්පත්වල අඩුවීම සමග තව තවත් ගැටලු ඇති වෙනවාමයි. ඒ නිසා, මේ විසි-එක්වන සියවස කරුණාවේ සියවස බවට පත් කර ගැනීමට අපි ඉමහත් පරිශ්‍රමයක් දරමු. එය තමා ආචාරාත්මක චර්යාවේ, නැතිනම් විතාගමික සදාචාරයේ ප්‍රාථමික මූලධර්මය.

ආචාරාත්මක චර්යාවන් බොහෝ සෙයින් සම්බන්ධ වෙනවා සත්පුරුෂ හදවතක් තිබීම යන කාරණයට. මෙයින් අදහස් වෙන්නේ වඩ වඩාත් අනෙක් මිනිසුන් ගැන හිතා බැලීම ගැන. ඒ අයටත් සතුටින් සිටීමට අවශ්‍යයි. නොසතුට ළං කරගන්න ඒ අයට අවශ්‍ය නැහැ. අපි හැමෝම එකිනෙකාට සම්බන්ධයි. ඔවුන්ගේ සතුට අපේද සතුටට මූලයක්. අප මෙය තේරුම් අරගෙන ඔවුන්ට ගරු කරන විට, බොරුවට, රැවටීමට, තර්ජනය කිරීමට සහ සූරාකෑමට ඉඩක් නැහැ. මේ තේරුමින් තමා සත්පුරුෂ හදවතක් තිබීම සතුටේ මූලයක් වන්නේ. අපේ අම්මාවරුන්ගේ කාලයේ සිට ජෛවීය සාධකයක් ලෙසින් තමා එය එන්නේ. මව්කිරි මඟින් ලැබුණ අම්මාවරුන්ගේ සෙනෙහසින් තමා අපේ පණ රැකී තියෙන්නේ. එම අත්දැකීම අපේ ජානවලට, අපේ ලේවලට කිඳාබැසගෙනයි තියෙන්නේ. ප්‍රශ්නය තමයි, ළමයි කියන අය මුදල් සහ අන් අයගේ සංස්කෘතික කාරණාවලට වඩා අන් අයගෙන් ලැබෙන සෙනෙහස ගැන වඩාත් සැලකිලිමත් වෙනවා. ඒත් ඔවුන් ලොකු වෙන විට, ඔවුන් වඩා බුද්ධිමත් වීම හැරුණු කොට, ඔවුන්ගේ වටිනාකම් පහතට වැටෙනවා. ඇයි? මොකද කියනවා නම් ඔවුන් ආත්ම-කේන්ද්‍රීය (self-centred) වෙනවා. ඔවුන් අනෙක් අයට උදවු කරනවා නම් “මට මොනවද ලැබෙන්නේ?” යන බලාපොරොත්තුවෙන් තමා එහෙම කරන්නේ. “මා” කියා විශාල හැඟීමක් හදා ගන්න මේ ආත්ම-කේන්ද්‍රීය බව උදවු කරනවා. ඒ වුණාට එය විශාල ගැටලුවල මූලයක්. අප යුරෝපීය සංගමයේ කොටසක්, නැතිනම් සමස්ත ලෝකයේම කොටසක් යන කල්පනාවෙන් සමස්ත මානවප්‍රජාවම “අපි” කියා සලකා බලන්න අපට අවශ්‍යයි. මේ ලෝකයේ සිටින බිලියන හතක් වන සියලු මිනිසුන් දෙස බලා “අපි” කියා සිතන්නට අවශ්‍යයි. අප කියන්නේ “අපි” යන්නෙහි කොටසක්; නැතිව පුංචි “මා” දෙස පමණක් බලා සිතිය යුතු නැහැ. මේ නිසා අප හැමෝටම ගරු කළ යුතුයි, දුප්පත් පොහොසත් දෙපාර්ශ්වයටම. ආර්ථික සහ හැම ක්ෂේත්‍රයකම හැමෝටම සමාන අයිතිවාසිකම් තිබිය යුතුයි. අප අනෙකාගේ යහපත ගැන සිතා බැලීමේ ගුණය වර්ධනය කර ගන්නවා නම් ඒ ගෞරවය එළියට එනවා.

මෙය අනිවාර්යයෙන්ම ආගමික අංගයක් නොවේ. ආගම යනු පෞද්ගලික කටයුත්තක්. මේවා සමස්ත මනුෂ්‍යත්වය ගැන සලකා බලන කරුණු. අප අනෙක් සියලු දෙනාට ගරු කරනවා නම් එතැන සූරාකෑමට ඉඩක් ඇත්තේ නැහැ. ඒ විතරක් නෙවේ, සත්පුරුෂ හදවතක් තිබීම ශාරීරික සෞඛ්‍යයට පවා විශාල උපකාරයක් වෙනවා. සමහර විද්‍යාඥයන් කියනවා නිරන්තර අවදානම් බව සහ බය අපේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය අඩපණ කරනවා කියා. ඉතින්, අප ආත්ම-කේන්ද්‍රීය වන විට අපේ පැත්තෙන් අපට ලොකු බයක් දැනෙනවා, අනෙක් අය ගැන සැලකීමේදී අපට මහත් අවිශ්වාසයක් ඇති වෙනවා. මෙමඟින් හුදකලා බව සහ බය වෙත යොමු වෙනවා. එසේම එමඟින් ඉච්ඡාභංගත්වයට සහ අවසානයේදී කේන්ති ගැනීමටත් යොමු වෙනවා. ඒත්, වරක් අප අපේ හදවත් විවර කර අනෙකා ගැන සොයා බලන හැඟීමක් ඇති කර ගන්නවා නම් එවිට අප ආත්ම-විශ්වාසය වර්ධනය කර ගන්නවා. එමඟින් අපට පුළුවන් වෙනවා විවෘතව සහ විනිවිද බවකින් යුතුව ක්‍රියා කිරීමට. අපට මුණ ගැහෙන කවුරුන් වුණත්, දකින කවුරුන් වුණත්, අපි අප වටා සිටින සියලු දෙනාව අපේම සහෝදරයන් සහ සහෝදරියන් ලෙස සලකමු. ඒ වගේම අපට සත්පුරුෂ හදවතක් තියෙනවා නම් සහ අනෙක් අය ගැන සිතා බලන හැඟීමක් තියෙනවා නම් බොහෝ මිනිසුන් අපට සුබවාදීව ප්‍රතිචාර දක්වාවි. ඒත් එය හැම විටම එහෙම වෙන්නේ නැහැ. මා කාරයකින් එහෙ මෙහෙ යන හැම වෙලාවේම පාරදිගේ ඉන්න මිනිසුන් දිහා බලා ඔවුන් වෙත මද සිනහවක් පානවා. වතාවක් ජර්මනියේදී පදිකවේදිකවේ සිටි කාන්තාවක සමග මා සිනාසුන විට ඇයට සැකසහිත බවක් දැනුණා. ඉතිං මගේ සිනහව නිසා ඇයට සතුටක් දැනෙනවා වෙනුවට එමඟින් ඇය බිය වුණා. ඒ නිසා මා මගේ හිස හරවා ගත්තා. ඒත් හැමවිටම එහෙම දේවල් වෙන්නේ නැහැ.

සත්පුරුෂ හදවතක් තිබීම අප අපේ මව්වරුන්ගෙන් ඉගෙන ගන්නා දෙයක්. ඒ නිසා අප එය අපේ ජීවිතය පුරාම රැගෙන යන්නට අවශ්‍යයි. විද්‍යා සැසියක උද්‍යෝගපාඨයක් තියෙනවා “නීරෝගි මනසක්, නීරෝගි සිරුරක්” කියා. මේ සඳහා අප යථාර්ථය දත යුතුයි. අපට සන්සුන් මනසක් අවශ්‍යයි. අප කැලඹිලා නම් අප පක්ෂග්‍රාහී වෙනවා. අපට බැරි වෙනවා යථාර්ථය දකින්න. එමඟින් බොහෝ ගැටලු මතුවෙනවා. ඉතිං, සත්පුරුෂ හදවතක් තිබීම සන්සුන් මනසක් වර්ධනය කර ගන්න උදවු වෙනවා.

අපට සන්සුන් මනසක් නැතිනම් එමඟින් අපේ අධ්‍යාපනය තුළ ගැටලු මතු කරනවා. මනස සන්සුන්ව සහ සතුටින් නෙවේ නම් ඉගෙනීම අපහසු වෙනවා. සන්සුන් මනසක් අපේ සියලු වැඩකටයුතු සහ වෘත්තීන් කර ගෙන යාමට උපකාර වෙනවා, දේශපාලනය පවා. කෙටියෙන්ම, මනසේ සන්සුන් බව ආත්ම-විශ්වාසය වෙත යොමු කරවනවා. ආත්ම-විශ්වාසය සමග අපට යථාර්ථය වඩා පැහැදිලිව දකින්න පුළුවන් වෙනවා. ඒ මත පදනම්ව, අප වඩ වඩාත් සත්පුරුෂ හදවතක් වර්ධනය කර ගන්නවා.

මේවා වීතාගමික සදාචාරයේ ප්‍රාථමික මූලධර්ම. ඒ වගේම සතුටු වීමේ කලාවේ යතුර. මෙය හුඟාක් ප්‍රයෝජනවත් බව මා තුළම දැක තියෙනවා. ඔබට හිතෙනවා නම් මෙය තේරුමක් ඇති දෙයක් බව, එහෙම නම් එය පිළිපදින්න උත්සාහ කරන්න. ඔබට හිතෙනවා නම් මෙය තේරුමක් නැති දෙයක් බව, එහෙම නම් ඒ ගැන අමතක කරන්න. ඔබට ස්තුතියි.

Top