භාවනාවට පෙර දත යුතු දේ

අපගේ හැකියාවන් අවබෝධ කරගැනීම

මේ සියල්ල සාක්ෂාත් කරගත හැක්කේද සහ මා එය සාක්ෂාත් කරගැනීමට තරම් හැකියාවකින් යුත් අයෙක්ද යන්න පිළිබඳ එතරම් සාකච්ඡා නොකෙරිණි. බුදුවරයෙකු දක්වා පරිවර්තනය වීම පිණිස අවකාශ සලසන්නාවූ අප සියල්ලන් තුළ පවත්නා සාධක කෙරෙහි මූලිකව යොමු වන්නාවූ බුද්ධ ස්වභාවයට අදාල සමස්ත සාකච්ඡාවට නැවත මෙතුළින් යොමුවේ. මෙය මූලික වශයෙන් සිතේ ස්වභාවයන් හා සම්බන්ධ වේ.

අපි දේවල් අවබෝධ කරගැනීමේ හැකියාවෙන් යුක්ත වෙමුද? එසේය. අපි යමක් පිළිබඳ නිරන්තර දැනුවත්භාවයකින් පසුවීමේ හැකියාවෙන් යුක්ත වෙමුද? අපට යම් කාල සීමාවක් තුළ යමක් පිළිබඳ දැනුවත්ව සිටිය හැකි අතර, එම කාල සීමාව දිගුකළ හැකිද? එසේය. අපට එය භාවනාව හා පුරුදු කිරීම යන ක්‍රම මගින් වර්ධනය කරගත හැකි නමුත් ‍වඩාත් මූලික අර්ථයෙන් ප්‍රකාශ කරන්නේ නම්, මේ පිළිබඳ සාර්ථකත්වය අපගේ ඇල්ම හා අභිප්‍රේරණය මත තීරණය වේ. එය අපට වැදගත් හා අදාල දෙයක් විය යුතුය.

ඒ වූකලි ඔබට යම් සීමාවක් ඉක්මවා මුදල් වියදම් කළ නොහැකිවන බැවින් සාප්පු සවාරි යාමේදී ඔබ සතු මුදල් ප්‍රමාණය කවරක්ද යන්න පිළිබඳ දැනුවත්ව සිටීම මෙනි. ඔබ නිවසේ අසුන් ගෙන සිටින වෙනත් අවස්ථාවන්හි ඔබගේ සාක්කුවේ කෙතරම් මුදල් ඇත්තේද යන්න අදාල නොවේ. එය අදාල නොවන අතර, ඔබ එය ගණන් ගන්නේද නැත. එමෙන්ම, දේශනාවන් පිළිබඳ සිතා බැලීමේදී, ඒවා අපට අදාල විය යුතුය. ඒවා අදාල බව හැඟීමට නම්, අපට ඒවාහි ක්‍රියාකාරිත්වය හා ඒවා වැදගත් වන්නේ මන්ද යන්න අවබෝධ කරගැනීමට සිදුවේ. අපට එය “සැලකිල්ල දැක්වීමේ ආකල්පය” ලෙස හැඳින්වෙන මූලික චිත්ත ස්වභාවයක් දක්වා පටු කළ හැකි අතර, එහිදී අපි අප පිළිබඳවම හා අපට සිදුවන දේ මෙන්ම අප අත්දකින දේ පිළිබඳව සැලකිල්ල දක්වන්නෙමු.

අප පිළිබඳවම සැලකිල්ල දැක්වීම

අපට ඇතැම් විට මෙම සැලකිල්ල දැක්වීමේ ආකල්පය සෙසු අය කෙරෙහි යොමු කළ කල්හි එහි ක්‍රියාකාරිත්වය වඩාත් පහසුවෙන් අවබෝධ කරගත හැකි වේ. මා අනෙකා ගැන සැලකිල්ලක් නොදක්වන්නේ නම්, මා පවසන හෝ කරන දෙය හෝ ඔවුන් එයට කැමැත්තේද, නොකැමැත්තේද යන කරුණු කවරක් වුවද කම් නැත. එනමුදු, අපි ඒවා වැදගත් සේ සලකන්නේ නම්, එවිට මාගේ චර්යාවෙන් අන්‍යයන්ට බලපෑම් ඇතිවන ආකාරය පිළිබඳ සැලකිල්ල යොමු කරන්නෙමි. මවිසින් මාගේ සියලු කාල වේලාවන් අපතේ යවමින් මාගේ අගනා මනුෂ්‍ය දිවියෙන් ප්‍රයෝජන නොගන්නේ නම්, මේ මහා අපතේ යාම පිළිබඳ විශ්වාස කළ නොහැකි තරම් වු පසුතැවීමක් සහිතව මා හට යම් මොහොතක මිය යාමට සිදුවනු ඇතැයි සිතමින් මෙම සැලකිල්ලම අප කෙරෙහිද ගොඩ නංවාගත යුතු වේ.

අපට මෙය එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය දේ කෙරෙහිද යොමු කළ හැක. මම මාගේ දරුවන් ඇතිදැඩි කරන ආකාරය පිළිබඳවද, මා කටයුතු කරන ආකාරය පිළිබඳවද සැලකිල්ලක් දක්වමි. මම මාගේ පොදු මානසික හා ශාරීරික සුභ සාධනය පිළිබඳ සැලකිල්ල දක්වමි. දේශනා අපට වැදගත්ය යනුවෙන් සැලකිය යුත්තේ මේ ආකාරයේ ආකල්පයකිනි. මන්දගාමී ලෙස, දේශනා සිත්හි තබා ගනිමින්, අපට ඒ සියල්ල සියලු අවස්ථාවන්හි නොවුවද, බොහෝ අවස්ථාවන්හි සිහියේ තබාගැනීමට හැකිවනු ඇත. භාවනාව යනු දේශනා සිහි කිරීමට ප්‍රයත්නයක් දැරීමෙන් හෝ තොරව ඒවා අපගේ සිතේ ස්වභාවික කොටසක් වන තත්ත්වයකට ඒ හා සමීප වීමේ ක්‍රමයකි.

අප මෙම අන්තර්ඥාණයන් ලැබීමේ හැකියාවෙන් යුක්ත අය බවට ඒත්තු ගතහොත්, අපට එය සිදුකිරීම සඳහා මුළු හදින්ම යොමුවිය හැක. ඒත්තු නොයන්නේ නම්, ඒ වූකලි පියඹා යාමට උත්සාහ කරමින් අපගේ දෙඅත් වැනීම වැනි නිෂ්ඵල කාර්යයකි. ඒ පිළිබඳ කරදර වීමෙන් හෝ ඇති ඵලය කුමක්ද? ආරම්භයේදී විමුක්තිය හෝ බුද්ධත්වය යනු කවරක්ද යන්න හෝ බොහෝ විට අපි නොදැනුවත්ව සිටිය හැකි නමුදු, මරණය පිළිබඳ දැනුවත්භාවය අපගේ ජීවිතය අපතේ නොයැවීමේ පෙළඹවීමක් ඇතිකර ගැනීම සඳහා ප්‍රයෝජනවත් වන අතරම, මෙය අවබෝධ කරගැනීමට හා ඒ සඳහා උතාසාහ කිරීමට වූ දිගු කාලීන අභිප්‍රායක් අප තුළ පවතී.

කරුණා භාවනාව

දැන් අපි මෙම ක්‍රියාවලියේ තෙවන පියවර වන භාවනාව පිළිබඳ සලකා බැලීමට සූදානම්. මෙම මාතෘකාව හඳුන්වාදීමේ ක්‍රමයක් වශයෙන්, මහා තිබ්බතීය බෞද්ධ ආචාර්යවරයෙකු වූ ෂොංඛපා විසින් ඉතා වැදගත් උපදේශයක් සටහන් කොට තබන ලදී. සූත්‍ර හා තන්ත්‍ර පිළිබඳ ප්‍රායෝගික උපදෙස් අඩංගු ලිපිය නම් තේමාවෙන් යුත් මෙම ලිපිය තුළ එතුමා විසින් සටහන් කරන ලද පරිදි භාවනා කිරීම සඳහා අප විසින් “අප සාක්ෂාත් කරගැනීමට යත්න දරන චිත්ත ස්වභාවයේ හේතු සාධක කවරේද යන්න පැහැදිලිව තේරුම් ගත යුතුවේ”. එ් අනුව, කරුණාව වැඩිදියුණු කරගැනීමට අවශ්‍ය වන්නේ නම්, එය වර්ධනය කරගැනීමට හේතු සාධකවන කරුණු අප විසින් දත යුතු වේ.

මෙයයි රඳා පැවැත්ම පිළිබඳ සිද්ධාන්තය - එනම්, සෙසු අය දුකෙන් හා දුකට හේතුවන කරුණුවලින් මිදේවාය යන පැතුම (බුදු දහම තුළ කරුණාව පිළිබඳ අර්ථ නිරූපණය) ගොඩනගා ගැනීම පිණිස, අපද ඔවුන් හා අන්තර් සම්බන්ධතාවයක සිටින්නේය යන කරුණ අප විසින් අවබෝධ කරගත යුතුවේ. නොඑසේ නම්, අපි කිසිසේත් ඔවුන් පිළිබඳ නොතකන්නෙමු. එබැවින්, අපගේ බත සපයන, අපගේ මාර්ග ගොඩනගන ආදී ලෙස විවිධ කාර්යයන් ඉටු කරන සියල්ලන්ගේ වෙහෙස මහන්සිය හා කරුණාව මත අපගේ සමස්ත පැවැත්ම රඳා පවත්නා ආකාරය සලකා බැලිය යුතු වේ. ඒ සියල්ලන් අපගේ ජීවන පැවැත්ම වෙනුවෙන් සිදුකරන ලද සියල්ල සිහි කරමින් කෘතඥතාවය හා ඇගයීම නම් වූ ගුණාංග උත්පාදනය කරන්නෙමු. මෙම හැඟීම් අවංකව හා ගැඹුරින් ඇතිවන කල්හි, අපගේ කෘතඥ පූර්වක හැඟීම මගින් හෘදයාංගම ආදරයක් ස්වභාවිකව ගොඩ නංවන අතර එමගින් අපි ඔවුන් කෙරෙහි මහත් වූ ඇල්මකින් සිහි කරන බැවින් ඔවුනට යම් අයහපතක් සිදු වන්නේ නම් ඒ පිළිබඳ දුක් වන්නෙමු. මෙමගින් ප්‍රේමය ඇති කෙරේ: එනම් ඔවුන් නිදුක් වේවාය හා නිදුක් බවට හේතුවන කරුණු ඔවුන් උදෙසා ඉස්මතු වේවාය යන පැතුමයි. එසේ නමුදු, ඔවුන් නිදුකින් පසු නොවන අතර සියලු ආකාර දුකින් පෙළෙන බව අවබෝධ කරගන්නා විටදී, අප තුළ කරුණාව ගොඩනැගේ. අපතුළ කරුණාව ගොඩනැගීම මෙකී සියලු පියවර නිසි පිළිවෙලට පසුකර යාම මත රඳා පවතී.

අත්හැර දැමීම පුරුදු කිරීම මතද කරුණාව රඳා පවතී. එනම්, අපගේ දුක හඳුනා ගනිමින්, ඉන් මිදීමට අදිටන් කොට ඉනික්බිති අන් සියල්ලන්ද එයාකාරයේම දුකින් පෙළෙන හා එම පැතුමින්ම පසුවන බව අවබෝධ කරගැනීමයි. ලුහුඬින් දක්වන්නේ නම් අත්හැර දැමීම යනු දුකින් මිදීමේ අදිටන නම් වූ දෙයයි. අන්‍යයන්ගේ දුක කෙරෙහි එම අදිටනම යොමු කරනු ලබන කරුණාව, අප කෙරෙහිමද එකී අදිටන පවත්වාගෙන යාම මත පැහැදිලිවම රඳා පවතී.

ඒ අනුව අපගේ භාවනාව තුළ කරුණා ස්වභාවය උත්සාහයෙන් උත්පාදනය කරගැනීමට අවශ්‍ය වන්නේ නම්, මෙකී රඳා පැවැත්ම පිළිබඳ කරුණ සැබැවින්ම වැදගත් වනුයේ, අවසානයේ බොහෝ පුහුණු හා පුරුදු කිරීම් මගින් එය ක්ෂණිකව උත්පාදනය කරගැනීමට හැකි වුවද, ආරම්භයේදී එය අවංකවම අපට දැනෙන මට්ටමක් දක්වා අපවම වර්ධනය කරගැනීමේ පියවර පසුකර යාමට අපට සිදුවේ. සැබෑ ලෙසම කරුණා භාවනාවෙහි නියැලීමට නම්, එය රඳා පවත්නා පියවරයන් හා හේතු සාධක දැන සිටිය යුතු වේ.

ෂොංඛපා විසින් වැඩිදුරටත් විස්තර කරන පරිදි අප විසින් “පැතිකඩයන් දැන සිටිය” යුතු වේ. ඉන් අදහස් කෙරෙනුයේ, කරුණාව උත්පාදනය කිරීමට නම්, සියලු දෙනා දුකින් මුදවා ගැනීමට අපට අවශ්‍ය වන්‍‍නේ නම් දුකෙහි සියලු පැතිකඩයන් හා දුකට හේතුද අප විසින් දැන සිටිය යුතු වේ. මින් හුදෙක් ඔවුනට රැකියාවක් සොයා ගැනීමට හෝ ආහාරයට යමක් සොයා දීමට උපකාර කිරීමක් අදහස් නොවේ - අපගේ සාකච්ඡාව වනුයේ පාලනයකින් තොරව නැවත නැවතද සිදුවන භවය (සංසාරය) හා සම්බන්ධ පැතිර පවත්නා දුක්ඛ ස්වභාවය හා සාංසාරික පැවැත්ම ඇති කොට එය පවත්වාගෙන යන්නාවූ යථාර්ථය පිළිබඳ මූලිකම වූ නොදැනුවත් භාවය හා ව්‍යාකූලත්වය පිළිබඳවයි. ප්‍රේමය හා කරුණාව පිළිබඳව භාවනා කරනු පිණිස, ඔබ හුදෙක් අසුන් ගෙන“අනේ කොච්චර හොඳද, මං හැමෝටම ආදරෙයිනෙ”යි සිතීම ප්‍රමාණවත් නොවේ. එය ඉතා අපැහැදිලි හා විසුරුණු අදහසකි - අප විසින් උත්පාදනය කරගත යුතුවන තත්ත්වයන් ඉතා නිශ්චිත වේ. අප කටයුතු කිරීමට උත්සාහ කරන්නාවූ චිත්ත ස්වභාවය නිශ්චිතව පැවසිය හැකි සියලු දේ ෂොංඛපා විසින් සඳහන් කරනු ලබයි.  

චිත්ත ස්වභාවය ගොඩනගා ගැනීමට උත්සාහ කරන විටදී අපගේ අවධානයට ලක් කෙරෙන දෙය කවරක්ද යන්න දැන සිටීම ඉතා වැදගත් වේ. කරුණාව තුළ අපි සෙසු සත්ත්වයන් හා ඔවුන්ගේ දුක පිළිබඳ අවධානය යොමු කරන්නෙමු. මෙහිදී එයින් හුදෙක් කරුණාව පමණක් නොව සියල්ලන් කෙරෙහි සම සේ පැතිරවෙන “මහා කරුණාව” අදහස් කෙරේ. එතුළ බොහෝ සත්ත්වයන් - සැබෑ ලෙසම සියල්ලන්- ආවරණය කෙරේ. “මම විශ්වයේ සෑම කෘමියෙකු වෙතම උපකාර කිරීමට අදහස් කරමි” ලෙස සංකල්පනය කරන්නාවූ එය වූකලි සිතාගත නොහැකි තරම් සුවිශාල විෂය පථයක් වේ. ඔවුනගේ කර්මය හේතුකොට මේවන විට කෘමි ජීවිතයක් ලෙස පෙනී සිටින එක් එක් චිත්ත සන්තතිය පිළිබඳව මෙහිදී සලකා බැලේ. ඔවුන් සැම කල්හිම කෘමීන් වන බවක් ඉන් අදහස් නොවේ - මේ ජීවිතයේ කෘමියෙකු වුවද, පසුගිය ජීවිතයේදී මාගේ මව විය හැකි සත්ත්වයෙකු මුදාගැනීමට අපි උත්සාහ කරන්නෙමු. අනෙක් අතින්, මේ ජීවිතයේ මාගේ මව මුදා ගැනීම තුළ පසුගිය ජීවිත කාලය තුළ පණුවෙකු මුදවා ගැනීමක්ද අර්ථවත් විය හැක.

සෑම සත්ත්වයෙකුම යන්න සිතින් දැකීම අපහසු කාර්යයක් වුවද, මහා චිත්ත සංකල්පය සහිත මහායාන බෞද්ධ පිළිවෙත තුළ අප වටා සිටින මහා සත්ත්ව ශ්‍රාවක සමූහයක් පිළිබඳ සිතා ගැනීමට උත්සාහ කරන අතර ඒ සියල්ලන් ඔවුනගේ දුකින් මිදවීමේ උත්සාහයක් ගනු ලබයි. බොහෝ මහායාන සූත්‍රවල ආරම්භයේදී විෂය පථය පිළිබඳ අදහසක් ලබාදෙමින් අප වටා සිටින දස, සිය දහස් මිලියන ගණනින් වූ සත්ත්ව ශ්‍රාවක පිරිසක් විස්තර කරනු ලබයි.

සියල්ලන් කෙරෙහි සමසිත් සහිත මෙයාකාරයේ කරුණාවක් පවත්වාගෙන යාම විශ්වාස කළ නොහැකි තරම් වූ තත්ත්වයකි. එහි පදනම වනුයේ අන් සියල්ලන් වෙත අපගේ සිත් විවෘත කරන්නාවූ සම චිත්තතාවයයි. කරුණාව පිළිබඳ භාවනාවේ නිසි පරිදි යෙදීමට හැකිවනු පිණිස මේ සියල්ල අප විසින් දැන සිටිය යුතු වේ.

මෙයට අමතරව, අවධානය යොමු කරනු ලබන දෙයට සිත සම්බන්ධ වන ආකාරයද අප විසින් දැන සිටිය යුතු වේ. කරුණා භාවනා‍වේ යෙදෙන්නේ නම්, ඔවුන් දුකින් මිදේවාය හා ඔවුන්ගේ දුකට අදාල සියලු හේතු මැකී යත්වා යන පැතුම අප තුළ පැවතිය යුතුය. ඉන් අදහස් වනුයේ වෙනෙකෙකු ඉදිරිපත් වී ඔවුනට උපකාර කරනු ඇතැයි හෝ පොදුවේ ඔවුන්ගේ දුක් ඉවත් වේවාය යන පැතුමක් නොව අප විසින්ම ඔවුන්ගේ දුක් මැඩ පැවැත්වීමට උපකාර කිරීමේ උත්සාහයකි. ෂොංඛපා විසින් වැඩිදුරටත් පෙන්වා දෙනු ලබන්නේ කරුණාව වර්ධනය කරගනු පිණිස ප්‍රයෝජනවත් හා උපකාරී වන දේ හා එයට හානිකර වන දේ පිළිබඳ අප දැනුවත්ව සිටිය යුතු බවයි. අපට දුකින් මිදිය හැකි බවට එ්ත්තු යාම කරුණාව වර්ධනය කරගැනීම සඳහා උපකාරී වනවා පමණක් නොව සැබෑ ලෙසම අත්‍යවශ්‍ය සාධකයකි. එය සිදුකළ හැක්කක් ලෙස නොසිතන්නේ නම්, ඒ සඳහා ප්‍රාර්ථනා කොට එය ඉටුකර ගැනීම සඳහා කටයුතු කළ හැක්කේ කෙසේද? මේ සඳහා පාදක වනුයේ මා හට මාගේ දුකින් මිදිය හැකි බවට හා අන්‍යයන් හටද ඔවුන්ගේ දුක මැඩ පැවැත්වීමට උපකාර වීමේ හැකියාවක් මා සතු බවට වූ ස්ථිර විශ්වාසයයි. මේ සඳහා අපට කළ හැකි දේ කවරක්ද යන්න හා බුදුන් වහන්සේට පවා කළ හැක්කේ කවරක්ද යන්න පිළිබඳ තාත්වික අවබෝධයක් පැවතිය යුතුවේ. එසේනම් ආත්ම කේන්ද්‍රීය හැඟීම හා ආත්මාර්ථය පමණක් නොව ආත්ම විශ්වාසයක් නොපැවතීමද කරුණාව වැඩි වර්ධනය කරගැනීම විෂයයෙහි හානිකර වේ. දුක පුද්ගලයෙකුගේ පාදයේ ඇණුනු හුලක් මෙන් ඇද ඉවත හළ නොහැක්කක් බව බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලදී. බුදුවරයෙකුට පවා සිදුකළ හැක්කේ මාර්ගය පෙන්වා දීම පමණි. සෙස්සන් විසින් වඩා දුෂ්කර වූ ප්‍රතිපදාව අනුගමනය කළ යුතු වේ. අපට බුදුවරයෙකු ඉක්මවා කටයුතු කළ හැක්කේයැයි අපේක්ෂා කළ හැක්කේ කෙසේද?

කෙටියෙන් ප්‍රකාශ කරන්නේ නම්, කරුණාව ආදී ලෙස යම්කිසි චිත්ත ස්වභාවයක් උත්පාදනය කරගැනීමේ නිශ්චිත අවශ්‍යතාවයන් කවරේද යන්න පිළිබඳ වැටහීමක් අප තුළ නොපවත්නේ නම්, අපට වැඩි දුරක් ඉදිරියට යා නොහැක. මෙයාකාරයෙන් සාමාන්‍යයෙන් භාවනාව කෙතරම් නිශ්චිත හා සංකීර්ණ වන්නක්ද යන්න ඇගයීම ආරම්භ කළ හැක; අපට එය “චිත්ත විද්‍යාව‍” ලෙසද හැඳින්විය හැක.

භාවනා සැසි අතරතුර

භාවනා සැසි අතරතුර කාලයද ඉතා වැදගත් බව ෂොංඛපා විසින් පෙන්වා දෙනු ලබයි. අප භාවනා කරනු ලබන කරුණු සම්බන්ධයෙන් ලියවී ඇති විවිධ ධර්ම පාඨ ග්‍රන්ථ කියවා බලන ලෙසද ඔහු විසින් උපදෙස් දෙනු ලබයි. අනෙක් අතින්, එමගින් අප සිදුකරන කාර්යය සැබෑ ලෙසම බුදුන් වහන්සේ දේශනා කරන ලද්ද බවට වූ අපගේ ස්ථිර විශ්වාසය තවදුරටත් තහවුරු කරමින් අනෙක් අතින් මහා ගුරුවරුන් විසින් සාක්ෂාත් කරගත් දේ පිළිබඳ කියවා බැලීමට එමගින් අපට යම් අනුප්‍රාණයක් ලබාදෙනු ඇත.

ෂොංඛපා පවසන පරිදි මේ සියල්ලටම ඉහළින් ශුද්ධ වී‍මේ පිළිවෙත් මගින් අපගේ ධනාත්මක බලයන් ගොඩනගා ගනිමින් නිශේධනාත්මක බලයන් පිරිසිදු කරගත යුතුය.

“කුසලය” යන යෙදුම වෙනුවට මා විසින් මෙහිදී “ධනාත්මක බලය” යන වදන භාවිත කරනුයේ පෙරකී යෙදුම තුළ වැරදි අදහසක් ලබාදෙන බව මාහට හැ‍‍ඟෙන බැවිනි. කුසලය යන යෙදුමෙන් ඔබ ලකුණු රැස් කරන්නෙකු වන අතර ලකුණු සියයක් රැස්කර ගතහොත් ඔබ ජයග්‍රාහකයා වනු ඇති ආකාරයේ හැඟීමක් ලබාදෙනු ලබයි. අප විසින් සිදුකළ යුත්තේ සෙලියුලර් දුරකථනයක මෙන් දේවල් ක්‍රියාත්මක වනු පිණිස ප්‍රමාණවත් බලයක් ලබාගැනීම උදෙසා ධනාත්මක ආරෝපණයක් ගොඩනගා ගැනීමයි. එබැවින්, අපගේ සිත් සම්බන්ධයෙන් සලකා බලන කල, ඔබට කිසිවක් හෝ වටහාගත නොහැකි බව හැ‍ඟෙන මානසික බාධකයන් මැඩ පැවැත්වීමට උපකාරී වන පවිත්‍රකාරක පිළිවෙත්ද අප විසින් යොදාගත යුතු වේ. භාවමය බාධකයන්ද පැවතිය හැක. ධනාත්මක බලයක් ගොඩනගා ගනිමින් විවිධ පවිත්‍රකාරක පිි‍ළිවෙත් පිරීම මගින් අන්තර්ඥාණය හා වටහා ගැනීම උපදවාගත හැකි ආකාරයට මෙම බාධකයන් බිඳ ඉදිරියට යා‍මේ හැකියාව ලබාදෙනු ලබයි.

එමගින් ප්‍රායෝගික මට්ටකදී අදහස් කෙරෙනුයේ කවරක්ද? ප්‍රායෝගික මට්ටමකදී එමගින් අදහස් කෙරෙනුයේ අපගේ කටයුතුද ඇතුළුව යම් කිසිවක් වටහා ගැනීමට උත්සාහ කරන අතර එසේ වටහාගත නොහැකි විටදී යම් නිවාඩුවක් ලබාගත යුතු බවයි. යම් අයුරකින් සෙස්සනට උපකාරීවන කාර්යයක් සිදු කිරීමට උත්සාහ කරමු. එසේ සිදුකොට නැවත පැමිණි කල සාමාන්‍යයෙන් ඔබගේ සිත වඩාත් ධනාත්මක හා ප්‍රවර්ධිත ස්වරූපයකින් පසුවන අතර, ඉච්ඡා භංගත්වය වෙනුවට වඩා ඉහළ ස්වයං ඇගයීමේ හැඟීමක්ද සමගින් ඒ අනුව අපට යම්තාක් දුරට වඩා හොඳ වැටහීමක් ඇතිවේ. ඒ අනුව, අපි කවුරුන් වුවද, අපගේ දරුවන් සමග වැඩි වේලාවක් ගත කිරීම හෝ තනිවම ජීවත්වන රෝගී වූ වයෝවෘද්ධ නෑයෙකු බැලීමට යාම වැනි සෙස්සනට උපකාරී වන යම්කිසි ක්‍රියාකාරකමක අපට නිරත විය හැකි වේ. යම් ධනාත්මක දෙයක් සිදු කිරීම ඉතා වැදගත් වේ. අපට ඉටුකළ හැකි බොහෝ චාරිත්‍රමය පිළිවෙත් පැවතියද, සැබෑ ‍ජීවන පිළිවෙත් එයට වඩා බොහෝ සෙයින් ප්‍රබල වේ.

ප්‍රගතිය පිළිබඳ පරීක්ෂාකාරී වීම

අප අතරින් බොහෝ දෙනෙකු හට අපගේ ප්‍රගතිය විමසා දැනගත හැකි පුද්ගලික ගුරුවරයෙකු නොමැති නමුදු, ලෝජොං හෙවත් චිත්ත පුහුණු දේශනා තුළ නිරන්තරයෙන් ප්‍රකාශ කෙරෙනුයේ අපගේ හොඳම සාක්ෂිකරුවා අපම වන බවයි. අපට හොඳින් සිහිය පවත්වාගත හැකිවීද, නොහැකිවීද හෝ සිත බොහෝ සෙයින් අයාලේ යන්නේද හෝ නොයන්නේද ආදී වශයෙන් අපගෙන්ම විමසා දැනගත යුතුවේ. අන් කිසිවෙකුට හෝ මේ පිළිබඳ අප වෙනුවෙන් විනිශ්චයක් ලබාදිය ‍නොහැක. සියලු දේශනා හා පිළිවෙත් මගින් අපේක්ෂා කෙරෙනුයේ අපගේම භාවමය තත්ත්වයන් ප්‍රවර්ධනය කරගනිමින් අපගේම ප්‍රගතිය උදෙසා කටයුතු කිරීමයි. තවමත් කෝප ගන්නේද, කෝප ගැනීම අඩුවී ඇත්තේද ආදී වශයෙන් අප සම්බන්ධ විනිශ්චයන් ලබාදිය හැකි හොඳම විනිසුරුවරුද අපම වේ.

අප විසින් සිහි තබාගත යුතුවන මූලධර්මය නම් ජීවිතය ඉහළ පහළ ගමන් කරන අතර ඒ අනුව ප්‍රගතිය කිසි විටෙක හෝ සරල රේඛීයව ගමන් නොකරන බවයි. එය කිසි විටෙක හෝ දිනෙන් දින ප්‍රගතිය කරාම පමණක් ගමන් නොකරනු ඇත. විමුක්තිය ලබන තෙක්ම එය ඉහළ හා පහළ ගමන් කරන්නක් වනු ඇත. දිගු වේලාවක් පිළිවෙත් පුරන අතර සාමාන්‍යයෙන් කෝප නොගන්නා නමුදු අපටද ඇතැම් විට තරහාව ඇතිවේ. එසේ වුවද, එය ‍අධෛර්යමත් වීමට හේතුවක් නොවේ. එක් අතකින් අපට අපගේම ප්‍රගතිය උදෙසා කටයුතු කිරීමට සිදුවන අතර, අනෙක් අතින් අරමුණින් ලිස්සා වැටෙන විටදී ස්වයං දණ්ඩනයකට ලක්වීම හෝ ස්වං වරදකාරී හැඟීමක් ඇතිකර ගැනීම ‍හෝ නොකළ යුතුය. පරම පූජනීය දලයි ලාමා වහන්සේ විසින් ප්‍රකාශ කරන පරිදි, අප ලද ප්‍රගතිය ඇගයීමේදී හුදෙක් සතියක් වැනි කෙටි කාලයක් නොව ඒ සඳහා වසර පහක කාල පරිච්ඡේදයක් පිළිබඳ විමසා බැලිය යුතුය. වර්තමාන තත්ත්වය හා සන්සන්දනාත්මකව වසර පහකට පෙරදී යම් කාල පරිච්ඡේදයක අප විසින් කටයුතු කරන ලද ආකාරය විමසා බලන්නේ නම් අපට අප ලබා ඇති ප්‍රගතිය පැහැදිලිව දැකගත හැකිවනු ඇත. 

සාරාංශය

භාවනා කිරීම සඳහා කිසිදු විශේෂිත ස්ථානයක් අවශ්‍ය නොවේ. ඒ සඳහා අවශ්‍ය වනුයේ සාපේක්ෂව නිහඬ හා පිරිසිදු ස්ථානයක් වන අතර, එවැන්නක් පවා සොයාගත නොහැකි නම්, එයද කම් නැත. මාගේ එක් මිතුරියක සිය මව සමග කුඩා බද්ධ නිවෙසක විසීය. එහි මූලික වශයෙන් පැවතියේ එක් තනි කාමරයක් පමණක් වන අතර, එහි මවගේ රූපවාහිනිය හා ගුවන් විදුලියද විය. මාගේ මිතුරිය භාවනා කිරීමට හෝ ඒ හා සමාන කාර්යයක් සිදු කිරීමට සූදානම් වුවහොත් මව වියවුලට පත්වේ. කළ හැකි එකම කාර්යය වූයේ වැසිකිලියේ හිඳගෙන භාවනා කිරීම පමණි. ඇය සිය පිළිවෙත සෑම දිනකම පුරණ ලද්දේ එහි සිටය. එය යහපත් කාර්යයකි. ඔබට ඉටි පන්දම් හෝ හඳුන්කූරු හෝ එවන් අන් කිසිවක් හෝ අවශ්‍ය නොවේ - ඒවා වූකලි හුදෙක් “දේවල්” පමණි. තීරණාත්මක දෙයනම් අපගේ සිත් සම්බන්ධයෙන් අප විසින් සිදුකරන ක්‍රියාවයි. භාවනාව යනු යම්කිසි චිත්ත ස්වභාවයක් පුහුණු කිරීම වන අතර එය අපට ඕනෑම අවස්ථාවක ඕනෑම ස්ථානයක සිට කළ හැක්කකි. උප මාර්ගයක හෝ බස් රථයක ගමන් ගනිමින් සිටියදී ඇතැම් චිත්ත ස්වභාවයන් දියුණු කිරීම වඩාත් පහසු වන්නටද පිළිවන. සියල්ලන් සැපයට කැමති වන අතර දුක් වීමට කිසිවෙකු හෝ කැමති නොවන බව දකිමින් ඉවසීම දියුණු කිරීමේදී ඒ සඳහා පුද්ගලයන් පිළිබඳ සිතින් මවා ගනිමින් කාමරයට වී සිටීමට වඩා සෙනග පිරුණු බස් රථයක් සුදුසු නොවන්නේද?

භාවනා පිළිවෙත් පිරීම සම්බන්ධයෙන් වැදගත් දෙයනම් එය නොවලහා සෑම දිනකම සිදු කිරීමයි. දත් මැදීමට හෝ වැසිකිලියට යාමට අමතක නොවන්නාක් මෙන් භාවනා කිරීමටද අමතක නොකළ යුතුය. දිනකට විනාඩි පහක් ලෙස හෝ වේවා, එය ජීවිතයේ අඛන්ඩ කොටසක් බවට පත්විය යුතුය. එම කාර්යය සිදු කරනු පිණිස කවර තත්ත්වයක පසු වුවද, අපට උදෑසන විනාඩි පහකට පෙර නින්දෙන් අවදි විය හැක. එය මහා වෙහෙසකර කාර්යයක් විය යුතු නොවන නමුදු එමගින් අපගේ ජීවිතයට මහත් වූ ස්ථාවරත්වයක් එක්කළ හැක. එළැඹෙන ඉදිරි දිනය කෙතරම් වියවුල් සහගත එකක් විය හැකි නමුදු, ඔබට අඛන්ඩතාවය ලබාදෙන මෙම කාලය ඔබගේ ජීවිතයේ කොටසක් ලෙස නිරතුරුව පවතිනු ඇත.

Top