සිත නිවන සිතිවිලි

06:51
සංකල්පීය සිතිවිලි අත්‍යවශ්‍ය වේ. එ්වායින් තොරව ගබඩාවේ ඇති ද්‍රව්‍ය ඇපල්ද, පෙයාර්ස්ද යනුවෙන් වෙන්කොට ගැනීමට හෝ "කරුණාකර මට චිත්‍රපටිය බලන්න ටිකට් දෙකක් දෙන්න" යන වාක්‍යය තේරුම් ගැනීමට හෝ නොහැකිවනු ඇත. එදිනෙදා ජීවිතයේදී සංකල්පීය සිතිවිලි අවශ්‍ය වන අතර, එය ඇතැම් විට බාධකයක්ද විය හැක. නිදසුනක් ලෙස, භාවනාව පිළිබඳ අවධානය යොමුකරගෙන සිටීමට නම් සියලු මානසික කසුකුසු හෙවත් සංස්කාර හා අත් විඳින දෙය හා සම්බන්ධ පූර්ව සංකල්පනාවන්ද නිහඬ කිරීම, සන්සුන් කිරීම අවශ්‍ය වේ.

සිත නිහඬ කිරීම

අවධානය හෙවත් සිහිය ඇතිකරගනු පිණිස අපගේ සිත් නිහඬ කළ යුතුවේ. එ් අනුව, ඇතැම් භාවනා උපදෙස් තුළ විස්තර කෙරෙන පරිදි අපට වඩාත් ස්වභාවික චිත්ත ස්වභාවයකට ළඟාවිය හැක. වඩාත් පැහැදිලි කරන්නේ නම්, අපි ගුවන්විදුලිය පවා ක්‍රියා විරහිත කරමින් සම්පූර්ණයෙන්ම හිස් හා නිහඬ සිතක් ඇතිකර ගැනීමට අදහස් කරන්නෙමු. තත්ත්වය එසේ නම්, නිදා ගැනීම වඩාත් යහපත්විය හැක. අරමුණ වනුයේ සම්පූර්ණ කළබලකාරී චිත්ත ස්වභාවයම නිහඬ කිරීමයි. සිත චංචල වී, කණගාටු වී හෝ බියවී සිටින අවස්ථාවලදී මෙන් ඇතැම් භාවයන් ඉතා කැළඹිලිකාරී වේ;අපගේ අරමුණ වනුයේ මෙම තත්ත්වයන් සන්සුන් කිරීමයි.

සිත් නිසංසල කිරීමේදී, අප සාක්ෂාත් කරගන්නා චිත්ත ස්වභාවය පැහැදිලි හා සූදානම්කාරී එකක් වේ. එහිදී අපට යම් ආදරයක් හා අවබෝධයක් උත්පාදනය කරගැනීමට හෝ අප සියලු දෙනා සතු ස්වභාවික, මනුෂ්‍ය ප්‍රේමය ප්‍රකාශ කිරීමට හැකිවේ. මේ සඳහා හුදෙක් ශරීරයේ මස් පිඬු ආශ්‍රිතව පමණක් නොව සිතේ ස්වභාවික උණුසුම හා පැහැදිලි බව හෝ ඕනෑම දෙයක් දැනීමේ තත්ත්වය වළක්වාලන්නාවූ චිත්ත හා භාවමය තද ගතිය ආශ්‍රිතවද ගැඹුරු ඉහිල් වීමක් අවශ්‍ය වේ.

ඇතැම්හූ භාවනාව සිතීමේ ක්‍රියාවලිය නවතාලීමක් ලෙස වරදවා වටහා ගනිති. සිතීමේ ක්‍රියාවලිය නතර කරලීමට වඩා, අනාගතය පිළිබඳ සිත වෙනතක යොමු කරන්නාවූ සිතිවිලි ("මං රෑට කන්නෙ මොනවද?") හා සෘණාත්මක සිතිවිලි ("ඔයා මට ඊයෙ හරි පහත් විදිහට සැලකුවෙ. හරිම නරකයි") ආදී වශයෙන් වූ සියලු බාහිර, අනවශ්‍ය සිතිවිලි භාවනාව මගින් නවතාලිය යුතුය. මේ සියල්ල සිත අයාලේ යාම හා කැළඹිලිකාරී සිතිවිලි යන කාණ්ඩය යටතට වැටේ.

කෙසේ වුවද, නිසංසල මනසක් ඇතිකර ගැනීම යනු හුදෙක් මෙවලමක් පමණි; එය අවසාන අරමුණ නොවේ. වඩා සන්සුන්, පැහැදිලි හා විවෘත මනසක් ඇති විටදී, එය පුණ්‍යවන්ත ලෙස යොදාගත හැක. අපට එය එදිනෙදා ජීවිතයේදී යොදාගත හැකි අතර, අපගේ ජීවන තත්ත්වය පිළිබඳ වඩා හොඳ වැටහීමක් ලබාගැනීමේ උත්සාහය සඳහා භාවනා ඉරියව්වෙන් හිඳ සිටින අතරම එය යොදාගත හැක. කැළඹිලිකාරී භාවයන්ගෙන් හා බාහිර සිතිවිලිවලින් නිදහස් සිතකින්, අපට "මං මගේ ජීවිතයේ මොනවද කළේ? මේ වැදගත් සම්බන්ධතාවයෙන් සිදුවන්නේ කුමක්ද? එ්ක හොඳයිද, නැත්ද?" ආදී වැදගත් මාතෘකාවන් පිළිබඳව වඩාත් පැහැදිලිව සිතිය හැකි වේ. අපට විග්‍රහාත්මක විය හැක - මෙය අන්තරාවලෝකනය ලෙස හැඳින්වේ. මෙයාකාරයේ ගැටළු වටහා ගනිමින් නිර්මාණාත්මක ලෙස අන්තරාවලෝකනය කරනු පිණිස මානසික පැහැදිලි බවක් තිබිය යුතුවේ. සන්සුන්, නිහඬ සිතක්  අවශ්‍ය වන අතර , භාවනාව යනු අප මෙම තත්ත්වයට ගෙන ආ හැකි මෙවලමකි.

සිතේ සංකල්පීය හා අසංකල්පීය ස්වභාවය

සංකල්පීය සිතිවිලිවලින් මිදී අසංකල්පීය ස්වභාවයක තැන්පත් වන ලෙස බොහෝ භාවනා ග්‍රන්ථ තුළ උපදෙස් දෙනු ලබයි. පළමුව, මෙම උපදේශය සියලු භාවනාවනට අදාල නොවේ. එය නිශ්චිතවම යථාර්ථය පිළිබඳ අවධානය යොමුකරගෙන සිටීමේ උසස් භාවනා ක්‍රමයකට සම්බන්ධ වේ. එසේ වුවද, සියලු භාවනා වර්ග මිදිය යුතුවන එක් සංකල්පීය ස්වරූපයක් පවතී. එ‌සේ වුවද, භාවනා ග්‍රන්ථයන්හි සාකච්ඡා කෙරෙන සියලු සංකල්ප ආකෘති වටහාගනු පිණිස, බුදු දහම තුළ "සංකල්පීය" යන්නෙන් අදහස් කෙරෙනුයේ කවරක්ද යන්න වටහාගත යුතුය.

සංකල්පීය සිතිවිල්ල යන්නෙන් හුදෙක් අපගේ හිස තුළ ඇති හඬ පමණක් අදහස් නොවේ

ඇතැමුන්ගේ කල්පනාවට අනුව අපගේ සිත් තුළ ගමන් කරන්නාවූ සාමාන්‍ය එදිනෙදා වාචික සිතිවිලි හෙවත් "හිස තුළ නැ‌ගෙන හඬ" සංකල්පීයත්වය වන අතර අසංකල්පීය වීම යනු හුදෙක් එම හඬ නිහඬ කිරීමයි. හිස තුළ ඇති හඬ නිහඬ කිරීම හුදෙක් ඉතා වැදගත් ආරම්භයක් පමණක් වන නමුත් එය පළමු පියවර පමණි. එ් වූකලි වඩා පැහැදිලි හා සන්සුන් සිතක් ඇතිකරගනු පිණිස බාහිර කැළඹිලිකාරී සිතිවිලිවලින් අපගේ සිත නිහඬ කිරීමේ ක්‍රියාවලියේ කොටසකි. යමක් සැබෑ ලෙසම වටහාගනු පිණිස එය අසංකල්පීය ලෙස වටහාගත යුතු අතර, සංකල්පීය සිතිවිලි හා නිවැරදි වැටහීම යන දෙකරුණ එකිනෙකින් වියුක්ත එ්වා වන බව වෙනත් අයගේ සිතිවිල්ල වේ. මෙයද සැබෑ තත්ත්වය නොවේ.

සංකල්පීයත්වය සම්බන්ධ සංකීර්ණතාවන්හි පැටලුම් ඇරගනු පිණිස හෙවත් නිරවුල් කරගනු පිණිස, අපගේ සිතිවිලි තුළ යමක් වචනවලට හැරීම හා යමක් වටහා ගැනීම අතර වෙනස පළමුව දැනගත යුතුය. වැටහීමක් සහිතව හෝ රහිතව අපට යමක් වචනවලට හැරවිය හැක. නිදසුනක් ලෙස, අදහස් කෙරෙන අරුත වටහා ගනිමින් හෝ නොගනිමින් අපට වෙනත් භාෂාවක යැදුමක් සිතින් ගායනා කළ හැක. ආදරය දැනෙන්නේ කවරාකාරවද ඈ ලෙස යමක් සිතින් වචනවලින් විස්තර කරමින් හෝ නොකරමින් නමුදු එය වටහාගත හැක.

භාවනාවේ සංකල්පීය හා අසංකල්පීය තත්ත්වයන් පිළිබඳ කරුණ වූකලි යමක් වටහා ගැනීම හෝ වටහා නොගැනීම සම්බන්ධ ගැටළුවක් නොවේ. භාවනාවේදී මෙන්ම එදිනෙදා ජීවිතයේදීද, සංකල්පීය වේවා, අසංකල්පීය වේවා, සිතින් වචනවලට පෙරළමින් හෝ එසේ නොකරමින් හෝ නිරතුරු වැටහීමක් පවත්වාගත යුතුවේ. ඇතැම් විට වචනවලට හැරවීම ප්‍රයෝජනවත් වේ; ඇතැම් විට එය කිසිසේත් ප්‍රයෝජනවත් නොවන අතර අවශ්‍යද නොවේ. නිදසුනක් ලෙස, ඔබගේ පාවහන්වල ලේස් ගැටගැසීම ගන්න: ඔබගේ ලේස් ගැටගසන ආකාරය ඔබට වැටහේ. එසේ ගැටගසන විටදී මේ ලේස් එක හෝ එ් ලේස් එක ගැටගසන්නේ කෙසේද යන කරුණ වචනවලට පෙරලීමක් අවශ්‍ය වන්නේද? නැත. මා සිතන ආකාරයට බොහෝ දෙනෙකු හට සිය ලේස් ගැටගසන ආකාරය වචනයෙන් විස්තර කරන්නට ගියහොත් එය මහත් අසීරු කරුණක් වනු ඇත. කෙසේ වුවද, අප තුළ වැටහීම ඇත. වැටහීමකින් තොරව, අපට ජීවිතයේ කිසිවක් හෝ කළ හැක්කේද? දොරක් හෝ විවර කළ නොහැක.

බොහෝ දෘෂ්ටි කෝණයනට අනුව, සිතිවිලි වචනවලට පෙරලීම සැබැවින්ම ප්‍රයෝජනවත් වේ; අන්‍යයන් සමගින් සන්නිවේදනය කරනු පිණිස අපට සිතිවිලි වචනවලට පෙරලීම අවශ්‍ය වේ. කෙසේ වුවද, අපගේ සිතිවිලිවලට අනුව සිතිවිලි වචනවලට පෙරලීම මුළුමනින්ම අවශ්‍ය දෙයකි; කෙසේ වුවද, සිතිවිලි වචනවලට පෙරලීම උදාසීන කාර්යයකි, එනම්, එය ප්‍රයෝජනවත් ‌හෝ හානිකර අයුරකින් යොදාගත හැකි බවයි. සත්‍ය වශයෙන්ම සිතිවිලි වචනවලට පෙරලීම අන්තර්ගත යම් ප්‍රයෝජනවත් භාවනාවන්ද පවතී. නිදසුනක් ලෙස, මන්ත්‍ර සිතින් නැවත නැවතද ජප කිරීම සිත තුළ යම් ආකාර රිද්මයක් හෝ කම්පනයක් උපදවා පවත්වාගෙන යනු ලබන එක්තරා ආකාරයකින් සිතිවිලි වචනවලට පෙරලීමකි. නිදසුනක් ලෙස, කරුණාව හා ආදරය උත්පාදනය කිරීමේදී, ඔබ "ඕම් මනි පද්මේ ඕම්" වැනි මන්ත්‍රයක් ජප කරන්නේ නම්, කිසිවක් හෝ මානසිකව ප්‍රකාශ කිරීමකින් තොරවද යම් ප්‍රේමණීය ආකාරයකින් සිය අවධානය යොමුකරගෙන සිටිය හැකි වුවද, එම ප්‍රේමණීය ස්වභාවය පිළිබඳ අවධානය යොමුකරගෙන සිටීම තරමක් පහසු වේ. එ් අනුව, සිතිවිලි වචනවලට පෙරළීමම නොවේ ගැටළුව. අනෙක් අතින්, සිත අනවශ්‍ය ලෙස වචන හසුරුවමින් කයිවාරුවක නියැලෙන්නේ නම් අපගේ සිත නිසංසල, නිහඬ කළ යුතුවේ.

සංකල්පීය සිතිවිල්ල යනු දේවල් මානසික පෙට්ටිවලට කාණ්ඩගත කිරීමයි

සංකල්පීයත්වය සම්බන්ධ ගැටළුව සිතිවිලි වචනවලට පෙරළීම හෝ වැටහීම සම්බන්ධ ගැටළුවක් නොවේනම් ගැටළුව කවරක්ද? සංකල්පීය සිතක් යනු කුමක්ද හා භාවනා උපදේශය මගින් ඉන් අප මිදිය යුතු බවට ප්‍රකාශ කරන විටදී ඉන් අදහස් වනුයේ කවරක්ද? මෙම උපදේශය භාවනාවේ සියලු අදියරයන් හා මට්ටම්වලට මෙන්ම එදිනෙදා ජීවිතයටද අදාල වන්නේද? මෙම කරුණු විමසා බැලීම වැදගත් වේ.

සංකල්පීය සිතක් යනුවෙන් අදහස් කෙරෙනුයේ දේවල් "යහපත්" හෝ "අයහපත්", "කළු" හෝ "සුදු", "බල්ලා" හෝ "බළලා" ලෙස පෙට්ටිවලට දැමීම මගින් කාණ්ඩ ලෙස ගෙන සිතීමයි.

අපි සාප්පු සවාරි යන විටදී, අපට ඇපල් ගෙඩියක් දොඩම් ගෙඩියකින් වෙන්කර ගැනීමට හෝ අමු පළතුරකින් ඉදුනු පළතුරක් වෙන්කර ගැනීමට හැකිවිය යුතුය. එවන් එදිනෙදා අවස්ථාවන්හිදී, මෙසේ කාණ්ඩවලට බෙදා සිතීම ගැටළුවක් නොවේ. එනමුත් ගැටළු බවට පත්වන වෙනත් කාණ්ඩ වර්ගද පවතී. "පූර්ව සංකල්පනාව" යනුවෙන් හැඳින්වෙනුයේ ඉන් එකකි.

"ඔයා හැම වෙලාවෙම මට පහත් විදිහට සලකයි කියන එක මං බලාපොරොත්තු වන දෙයක්. ඔයා එ්ක හරි මේක හරි ඉස්සර කරපු නිසා ඔයා එච්චර හොඳ මිනිහෙක් නොවෙයි. දැන් මං කල්තියා කියන්නම්, මොනව වුණත් ඔයා නම් නරක මිනිහෙක්ම තමයි" යනු පූර්ව සංකල්පනාවන් පිළිබඳ නිදසුනකි. මෙම පුද්ගලයා එතරම් යහපත් අයෙකු නොවන අතර නොකඩවා අප කෙරෙහි අයහපත් ලෙස හැසිරෙනු ඇති බවට අප විසින් පූර්ව විනිශ්චයක් කර ඇත - එය පූර්ව සංකල්පනාවකි. අපගේ සිතිවිලි තුළ අපද එලෙස සිතන්නේ නම් හා "එයා පහත් කෙනෙක්;හැම වෙලාවෙම මට නරක විදිහට සලකන්නෙ" යන සිතිවිල්ල යමෙකු කෙරෙහි ප්‍රක්ෂේපණය කරන්නේ නම්, එවිට අප හා එම පුද්ගලයා අතර සුවිශාල බාධකයක් පවතී. අපගේ පූර්ව සංකල්පනාව අප ඔහු හා සම්බන්ධවන ආකාරය කෙරෙහි බලපාන්නකි.  එ් අනුව, පූර්ව සංකල්පනාව යනු අප කාණ්ඩගත කරන්නාවූ චිත්ත ස්වභාවයකි; අපි මානසික පෙට්ටිවලට දේවල් දමන්නෙමු.

අසංකල්පීය වීම

අසංකල්පීයත්වය හා සම්බන්ධ මට්ටම් ගණනාවක් පවත්නා නමුදු එක් මට්ටමක් වනුයේ හුදෙක් යම් තත්ත්වයක් ඉස්මතුවන විටදීම එයට විවෘත වීමයි. සියලු සංකල්පීය වැටහීම් අත්හැර දැමිය යුතු බවක් ඉන් අදහස් නොවේ. නිදසුනක් ලෙස, බොහෝ අය සපා කා ඇති සුනඛයෙකු වේනම්, "සපාකන බල්ලෙකු" සම්බන්ධ කාණ්ඩයකට අනුව සිතීම හේතුකොට එම සුනඛයා අසලදී අපි ප්‍රවේශම් වන්නෙමු. එම සතා වටා සිටින විටදී අපි යම් යුක්ති සහගත ප්‍රවේශම් වීමක නියැළෙන නමුදු "එ් බල්ලා අනිවාර්යයෙන්ම මාව සපා කාවි, එ් නිසා උගේ ළඟටවත් යන්න උත්සාහ කරන්නෙ නෑ" යන පූර්ව සංකල්පයට ආසන්න වීමට පවා උත්සාහ නොකරන්නෙමු. ඉස්මතුවන තත්ත්වය පිළිගැනීම හා එ් අතරම එම තත්ත්වය සම්පූර්ණයෙන් අත් විඳීමෙන් අප වළකාලන්නාවූ පූර්ව සංකල්පනාවන්ද ඇතිකර නොගැනීම අතර මෘදු සමතුලනයක් මෙහි පවතී.

සියළු භාවනාවන්හි අවශ්‍ය වන්නාවූ අසංකල්පීයත්ව මට්ටම වනුයේ පූර්ව සංකල්පනාවන්ගෙන් මිදුනු සිතකි.

කිසිදු අපේක්ෂාවකින් හා කිසිදු කණගාටුවකින්ද තොරව භාවනා කළ යුතුය යන්න ඉතාමත් පොදු උපදෙස් අතරින් එකකි. භාවනා සැසියක් ආශ්‍රිත පූර්ව සංකල්පනා අතරට ඔබගේ භාවනා සැසිය අපූර්ව සාර්ථකත්වක් අත්පත් කරගනු ඇතැයි යන බලාපොරොත්තුව හෝ ඔබගේ පා වේදනා දෙනු ඇතැයි යන බිය හෝ "මට සාර්ථක වෙන්න බැරිවෙයි" යන සිතිවිල්ල හෝ ඇතුළත් විය හැක. ඔබ එ්වා සිතින් වචනවලට පෙරළුවද, නැති වුවද අපේක්ෂාව හා බිය සම්බන්ධ එම සිතිවිලි පූර්ව සංකල්පනාවන් වේ. එවන් සිතිවිලි මගින් ඉදිරියට එන භාවනා සැසිය මානසික පෙට්ටියකට හෝ "අපූරු අත්දැකීමක්" හෝ "වේදනාත්මක අත්දැකීමක්" යන කාණ්ඩයකට සම්බන්ධ කරනු ලබයි. භාවනාව සඳහා වූ අසංකල්පීය ප්‍රවේශයක් යනු සිදුවන කවර දෙයක් හෝ පිළිගනිමින් හුදෙක් අදාල තත්ත්වය පිළිබඳ විනිශ්චයක් සිදු කිරීමෙන් තොරව භාවනා උපදෙස්වලට අනුව එ්වා සම්බන්ධයෙන් කටයුතු කිරීම විය හැක.

සාරාංශය

විවිධාකාරයේ සංකල්පීය සිතිවිලි වටහාගැනීමකින් තොරව, එ් සියල්ල භාවනාවට හෝ එදිනෙදා ජීවිතයට පවා හානිකරය යන වැරදි සිතිවිල්ල ඇතිකරගත හැක. බොහෝ භාවනාවන්හිදී අපට අපගේ හිස තුළ ක්‍රියාත්මක හඬ නිහඬ කරමින් සියලු පූර්ව සංකල්පනා අත් හැරීමට සිදුවේ. වඩාත් උසස් පිළිවෙත් පුරන්නන් හැර භාවනාව තුළ හා පිටතද යමක් වටහා ගැනීම සඳහා එය වචනවලට හැරවූවද, නැති වුවද, මානසික කාණ්ඩයකට ගලපාලීම අවශ්‍ය වේ.

Top