මරණය පිළිබඳ යථාර්ථවාදී වීම

ජීවිත කාලය කෙටි එකක් වන අතර එය ඕනෑම අවස්ථාවක අවසන් විය හැක්කේය යන සත්‍යය පිළිගනිමින්, එසේ සිදු කිරීමේ හැකියාවද ඇති අවස්ථාවේ අර්ථාන්විත දෙයක් සිදු කිරී‍මේ අගනා අවස්ථාව අපතේ යැවීම නතර කරන්නෙමු.
Meditation being realistic about death 1

පැහැදිලි කිරීම

මරණය යනු බොහෝ පුද්ගලයන් සිතීමට අකමැති වන්නාවූ මාතෘකාවකි. එනමුත් මරණය යනු ජීවිත යථාර්ථයක් වන අතර සියලු දෙනාට මුහුණ දීමටද සිදුවන්නකි. වැළැක්විය නොහැකි දෙයට අපි සූදානම්ව නොසිටිමු නම් බොහෝ දුරට අපට ඉමහත් බියකින් හා පසුතැවීමකින්ද මිය යාමට සිදුවිය හැක. එබැවින්, මරණානුස්මෘති භාවනාව අතිශයින්ම ප්‍රයෝජනවත් හා වැදගත් වේ.

අපගේ සිරුර තුළ බරපතල, සුවකළ නොහැකි රෝගයක් පවත්නේය යන්න හෙළිදරවු වීමකින් පසු එම තත්ත්වය සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය සිතින් සිතා ගැනීම ඈ වශයෙන් මරණය සම්බන්ධයෙන් අපට සිදුකළ හැකි බොහෝ භාවනාවන් පවතී. අප සතුව තවමත් අවස්ථාවන් පවත්නා තත්ත්වයක මේ අවස්ථාවේ අපගේ ආකල්ප හා හැසිරීම් වැඩිදියුණු කරගැනීම සඳහා කටයුතු කිරීමට පෙළෙඹෙනු සඳහා පහත දැක්වෙන භාවනාව උසස් මට්ටමේ එකක් වේ. මෙම භාවනාව තුළ, හුස්ම පිළිබඳ අවධානය යොමු කරගෙන සිටීමෙන් සිත සන්සුන් කරගැනීමෙන් අනතුරුව, පහත සඳහන් කරුණු පිළිබඳ සිතා බලමු:

භාවනාව

පහත කරුණු හේතුකොට මරණය අනිවාර්යයෙන් සිදුවේ: 

  • මරණය අනිවාර්යයෙන් සිදුවන අතර එය අපට යම් දිනෙක සිදුවීම කිසිදු හේතු සාධකයකට වළකාලිය නොහැක - ඉතිහාසය පුරා උපත ලද කිසිවෙකු විසින් හෝ මරණයෙන් පළාගොස් නොමැති බැවින් අපද මිය නොයන තරම් විශේෂ අය බවට පත්කරන බලවේගය කවරක්ද?
  • මරණාවස්ථාව පැමිණි කල අපගේ ජීවිතයේ කාලය දීර්ඝ කළ නොහැකි අතර, ඉතිරිව පවත්නා අපගේ ජීවිත කාලය නොකඩවා ගෙවී යමින් පවතී - ජීවිතයේ සෑම අවස්ථාවකම තරුණ වෙමින් මරණයෙන් දුරස් වෙමින් නොව, වයස්ගත වෙමින් මරණයට සමීප වෙමින් පවතී. එය නොකඩවා, නොනවත්වා ගමන් ගන්නා වාහක පටියක් මත සිටිමින් අපගේ නොවැළැක්විය හැකි මරණය දක්වා ගමන් කරමින් සිටින තත්ත්වයක් මෙනි.
  • චිත්ත සාමයක් සහිතව හා කිසිදු පසුතැවීමකින් තොරව මිය යාමේ අවකාශ සලසන්නාවූ ක්‍රියා මාර්ගයන් ජීවත්ව සිටින සමයේදී සිදු නොකළද, ඒ සඳහා කාලයක් නොපැවතියද, අපි මිය යන්නෙමු - හදිසි හෘදයාබාධයකින් හෝ රිය අනතුරකින් ඈ ලෙස හදිසියේ හා මුළුමනින්ම අනපේක්ෂිත පරිදි මරණය සිදුවිය හැක.

පහත හේතු මත අප මියයන අවස්ථාව පිළිබඳ නිශ්චිත බවක් නොමැත: 

  • පොදුවේ අපගේ ජීවිත කාලය පිළිබඳ නිශ්චිත බවක් නොමැත - මියයාම පිණිස වයස්ගත විය යුතුම නොවේ.
  • ජීවත්වීමට වඩා මියයාමේ අවස්ථාවන් වැඩි වේ -  ගෝලීය උණුසුම්වීමත් සමගින් වඩ වඩාත් ස්වභාවික විපත් හා වසංගත තත්ත්වයේ රෝගාබධ පැතිරෙමින් පවතී; ස්වභාවික සම්පත් නොකඩවා ‍ක්ෂය වෙමින් පවත්නා හා ආර්ථික අසමානතාවයන් පවත්නා තත්ත්වයක, වඩ වඩාත් භීෂණකාරිත්වයන් ඇති වෙමින් පවතී; අපේක්ෂා භංගත්වය සම්බන්ධ හැඟීම් වර්ධනය වන්නට වන්නට, වඩ වඩාත් මත්පැනට ඇබ්බැහි වීම් ආදිය සිදුවේ.
  • අපගේ සිරුරු අතිශයින්ම කැඩෙන, බි‍‍ඳෙන සුළුය - ඉතාමත් සුළු රෝගී තත්ත්වයන් යටතේ හෝ හදිසි අනතුරු මගින්ද අපගේ මරණය සිදුවිය හැක.

අපගේ ආකල්ප හා හැසිරීම් වැඩි වර්ධනය කරගැනීම සඳහා කටයුතු කිරීමේ වැළකුම් ක්‍රියාමාර්ග ගැනීම හැර අන් කිසිවක් විසින් හෝ චිත්ත සාමය සහිතව හා පසුතැවීම්වලින් තොරව මිය යාමට අපට උපකාරයක් නොලැබෙනු ඇත. මේ අවස්ථාවේදීම අපට අපගේ මරණයට මුහුණ දෙන්නට සිදුවුවහොත්:

  • අපගේ ධනයෙන් ප්‍රයෝජනයක් ඇති නොවනු ඇත - අපගේ මුදල් හුදෙක් පරිගණක තිරය මත දිස්වන ඉලක්කමක් පමණක් වනු ඇත.
  • මිතුරන්ගෙන් හා ඥාතීන්ගෙන් ප්‍රයෝජනයක් අත් නොවනු ඇත - අපට ඔවුන් හැරයාමට සිදුවනු ඇති අතර අප වටා රොක්වී ඔවුන් හඬන්නට වුවහොත් එමගින් හුදෙක් අප වඩාත් වියවුලට පමණක් පත්වනු ඇත.
  • අපගේ සිරුරෙන් පවා කිසිදු පලක් අත් නොවනු ඇත - සිරුරෙන් අතිරේක බර කිලෝ හෝ රාත්තල් ගණනක් අඩුකර ගැනීමෙන් ලබන සුවය කවරක්ද?

එබැවින්, ජීවිතයේ අරුතක් සහිත එකම දෙය වනුයේ බියෙන් හා පසුතැවීමෙන් මිය යාමේ හැකියාවන් වළක්වාලීමට අවශ්‍ය පියවර ගැනීමය යන තීරණයට එළැඹෙමු.

සාරාංශය

මරණයේ අනිවාර්ය ස්වභාවය පිළිබඳ දැනුවත්භාවයක් ලබාගැනීම අප මානසික අවපීඩනයට හෝ බියට පත් කිරීම උදෙසා සිදු කරන්නක් නොවේ. ජීවිතයේ ඉතිරිව ඇති කාලය සීමිත වන අතර එය කවර අවස්ථාවක අවසන් වනු ඇත්තේද යන වගකීම් සහතිකයක් කිසිවෙකුට හෝ ලබාදිය නොහැක්කේය යන කරුණ අවබෝධ කරගත් විටදී, මේ මොහොතේ පවත්නා අවස්ථාවන්ගෙන් හා කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමේ පෙළඹීමක් ඇතිවේ. මරණය පිළිබඳ සතිමත්ව සිටීම මතු අනාගතයේ කරුණු වඩාත් අයහපත් අතට හැරීමෙන් වැළැක්වීමට අවශ්‍ය ධනාත්මක පියවර ගැනීමෙන් අප වළකාලන්නාවූ කුසීතබව හා කටයුතු කල් දැමීමේ ස්වභාවය මැඩ පැවැත්වීමට උපකාරී වේ. 

Top