යම් කිසිවක් සිදු කිරීමේ හෝ ප්‍රකාශ කිරීමේ අදහසක් ඇතිවීම හා එය බලහත්කාරී ලෙස ක්‍රියාවෙහි යෙදවීම අතර අවකාශය තුළ අදාළ ප්‍රතිවිපාක තක්සේරු කොට අයහපත් පුරුදුවල වහලෙකු බවට පත්වීමේ තත්ත්වය නවතාලීමේ අවකාශයක් පවතී.
Meditations conquering compulsiveness

පැහැදිලි කිරීම

කර්මය යනු හුදෙක්ම අපගේ බලහත්කාරී හැඟීම් සම්බන්ධ කරුණකි. එමගින් යම් කැළඹිලිකාරී භාවයක් හෝ කැළඹිලිකාරී ආකල්පයක් මගින් යොමු කරනු ලැබ, කාන්දමක් මෙන් අප යම් කටයුත්තක් සිදු කිරීම, දෙයක් පැවසීම හෝ සිතීම කරා යොමු කරවන බලහත්කාරී පෙළඹීම් හෝ මානසික ආවේගයන් හඳුන්වනු ලබයි.

මෙකී බලහත්කාරී ආවේගයන් බලහත්කාරී ලෙස ක්‍රියාවෙහි යෙදවීම මගින් එකී ශාරීරික, වාචසික හෝ මානසික ක්‍රියාවන් නැවත නැවතද සිදු කිරීමේ බලහත්කාරී පෙළඹීමක්, නැඹුරුවක් ගො‍ඩ නැගේ. අභ්‍යන්තරව කැළඹිලිකාරී භාවයන් ඉස්මතුවීම හෝ බාහිරව අප සිටින තත්ත්වය හෝ අප සමගින් සිටින පුද්ගලයන් ඈ ලෙස විවිධ තත්ත්වයන් ඉස්මතුවන විටදී, මෙම නැඹුරුතාවයන් මගින් එම ක්‍රියාව නැවත සිදු කිරීමේ හැඟීමක් ඇති කරවයි.  ඉන්පසු, සාමාන්‍යයෙන් එම ක්‍රියාවේ ප්‍රතිවිපාක පිළිබඳ සිතා බැලීමකින් තොරව, අපි හුදෙක්ම බලහත්කාරී ලෙස එය නැවත නැවතද සිදු කරමු.මෙම බලහත්කාරී චර්යාව මගින් අසතුටක් දැනීම හෝ කිසි විටෙක හෝ තෘප්තියක් ලබා නොදෙන ආකාරයේ සතුටක් ඇතිවීම යන තත්ත්වයන් ඇති කරවයි. කර්මය යනු එවන් චර්යාවන් පසුපස පවත්නා බලහත්කාරී පෙළඹීම් හා බලහත්කාරිත්වයයි.

කැළඹිලිකාරී භාවයන් විසින් මෙම රටාවන් ඇති කරවන බැවින් මෙමගිනි ගැටලු ඇති කරවනුයේ:

  • බලහත්කාරී චර්යා රටාවන් – කිසිදු පණිවිඩයක් මඟහැර ගැනීමේ අකමැත්ත හේතුවෙන් ඇතිවන ඇල්ම හේතුකොට බලහත්කාරී ලෙස අපගේ දුරකථනයන්හි පණිවිඩ හා මුහුණු පොත් කවුළුව පිරික්සීම; හෝ අමනෝඥභාවය හා අන් අයගේ හැඟීම් පිළිබඳ‍ නොසැලකිලිමත් බව හේතුවෙන් දෙමවුපින් සමගින් එක්ව සිටින කෑම මේසයේදීද දුරකථනයෙන් කෙටි පණිවිඩ යවමින් සිටීම; හෝ මාර්ග තදබදයකට හසුවී වාහනයක සිටින අතර ඇතිවන කෝපය හේතුවෙන් බලහත්කාරී ලෙස අපගේ වාහන නළාව හඬවමින් අන් අය කපාගෙන ඉදිරියට යාමට දරන උත්සාහය මෙනි.
  • බලහත්කාරී කථා රටාවන් - බලහත්කාරී මැසිවිලි ඇති කරවන අතෘප්තිය ; දාමරිකයෙකු මෙන් බලහත්කාරී ලෙස විවේචනය කරමින් තර්ජනාත්මක ලෙස බලහත්කාරී ලෙස කථා කිරීම; ඉතා මෘදු ලෙස කථා කිරීමේ තත්ත්වයක් ඇති කරවන ලජ්ජාශීලිත්වය හා ස්වයං-වටිනාකම පිළිබ‍ඳ හැඟීමේ අඩුබව ආදියයි.
  • බලහත්කාරී සිතිවිලි රටාවන් - බලහත්කාරී තැවීමක් ඇති කරවන අනාරක්ෂිත බව ; බලහත්කාරී ලෙස දවල් සිහින දැකීමට මං පාදන යථාර්ථය පිළිබඳ පවත්නා අ‍මනෝඥ බව හෝ යථාර්ථයෙන් වැළකී සිටීමේ කැමැත්ත මෙනි.

ඉහත දැක්වූ මෙම නිදසුන් සියල්ල අසතුට හෙවත් අතෘප්තිය ඇති කරවන්නාවූ ස්වයං-විනාශකාරී බලහත්කාරී චර්යා රටාවන් වේ. එනමුත් සර්ව සම්පූර්ණතාවාදය, අන්‍යයන්ගේ තර්ක බලහත්කාරී ලෙස නිවැරදි කිරීම, කිසි විටෙක හෝ තමාට නොහැකි බව පැවසිය නොහැකි බලහත්කාරී යහපත් ක්‍රියාකරුවන් හා නිරතුරු කාර්යයන්හිම නියැලී සිටින්නන් වැනි ධනාත්මක වුවද නියුරෝසික වන්නාවූ අයද සිටිති. මේවා තුළද අන්‍යයන් වෙත උපකාර කිරීම හෝ කටයුතු හොඳින් ඉටු කිරීම වැනි ඒවා පසුපස පවත්නා ධනාත්මක භාවයන් පිළිබඳ සංගටකයක් පැවතිය හැකි නමුදු ඒවා පසුපස ('මා' යහපත් අයෙකු විය යුතුය, 'මා' අවශ්‍ය අයෙකු විය යුතුය, 'මා' සර්ව සම්පූර්ණ අයෙකු විය යුතුය ඈ වශයෙන්)  "මා " යන මනෝ නිමග්නයක් හා පුම්බාලීමක් පවත්නා බැවින් එමගින් යහපත් කාර්යයක නිරත වන විටදී මෙන් තාවකාලික සතුටක් අප තුළ ඇති කරවන නමුදු එම සතුට එතරම් කල් නොපැවතීම ගැටලුවකි. නිදසුනක් ලෙස, අපට අප තවමත් අවශ්‍ය තරම් යහපත් අය නොවන බවට වූ හැඟීමක් පවත්නා හෝ අපගේ වටිනාකම සනාථ කරනු පිණිස ගොස් යම් යහපත් කටයුත්තක් සිදුකළ යුතු බවට වූ හැඟීමක් පවතී. 

පළමුව අප සන්සුන්ව මන්දගාමී විය යුතුය. එවිට පමණි අපට යම් කිසිවක් පැවසිය හෝ කළ යුතු බවට හැඟීමක් ඇතිවන හා බලහත්කාරී ලෙස එය සිදුකරන තත්ත්වයන් අතර වෙනස වටහාගත හැකි වන්නේ. එවිට ඒ පසුපස යම් කැළඹිලිකාරී භාවයක් පවත්නේද, (නිරතුරු සර්ව සම්පූර්ණ අයෙකු වීම වැනි ලෙස) සිදුකළ නොහැකි දෙයක් කරා මවිසින් මා බලහත්කාරී ලෙස තල්ලු කරමින් සිටින්නේද, (කැසීම වැනි ලෙස) එය සිදු කිරීමේ යම් ශාරීරික අවශ්‍යතාවයක් පවත්නේද, එය ප්‍රයෝජනවත් හෝ හානිකර දෙයක් වන්නේද යන කරුණු ඇගයීම සඳහා ඒ අතර කාල අවකාශයක් පවතී. හුදෙක් නියුරෝසික හේතුවක් විනා කළ යුතු බවට හෝ පැවසිය යුතු බවට හැ‍ඟෙන දෙය ක්‍රියාවට නැංවීමේ යහපත් හේතුවක් පවතින බවක් අපට නොපෙනේ නම් වෙන්කොට දැකීමේ දැනුවත්භාවය සමගින් කරුණු ඇගයීමට ලක්කොට, තක්සේරු කොට එම හැඟීම ක්‍රියාවන නොනැංවීමේ ස්වයං පාලනයක් අභ්‍යාස කරන්න. මේ ස‍ඳහා අප විසින් කටයුතු කරන, කථා කරන හා සිතන ආකාරය සම්බන්ධ සතිමත්භාවයක් හා ඒ අනුව දවස පුරා තමා තුළ විමසා බැලීමක් සිදු කරමින් ස්වයං පාලනයක් පුහුණු කිරීම අවශ්‍ය වේ.

මෙහි අරමුණ වනුයේ අපගේ හැසිරීම පසුපස ධනාත්මක භාවයන් පවත්වා ගනිමින් අප හා යථාර්ථවාදී කරුණු සම්බන්ධයෙන් හැකිතාක් දුරට අඩු ව්‍යාකූලත්වයක් පවත්වා ගනිමින් හැකිතාක් දුරට වෙන්කොට දැකීමේ දැනුවත්භාවය යොදා ගනිමින් බලහත්කාරී නොවන ආකාරයෙන් කටයුතු කිරීමයි.

භාවනාව

  • හුස්ම මත අවධානය යොමු කරමින් සන්සුන් වන්න.
  • ඔබගේ බලහත්කාරී ක්‍රියා, කථා හා සිතිවිලි රටාවන් හඳුනා ගැනීමට උත්සාහ කරන්න.
  • ඉන් එකක් තෝරා ගනිමින් ඒ පසුපස යම් කැළඹිලිකාරී භාවයක් හෝ කිසි විටෙක හෝ අත් වැරැද්දක් සිදු නොකිරීම වැනි යම් සිදුවිය නොහැකි තත්ත්වයක එල්බ සිටීම වැනි දෙයක් පවත්නේද යන්න විග්‍රහ කර බලන්න.
  • ඔබ බලහත්කාරී ලෙස කටයුතු කරන විටදී, ඔබ තුළ පමණක් හෝ අන් අයටද ඔබ මගින් ගැටලු හා දුෂ්කරතා ඇතිවන අයුරින් හෝ එමගින් යම් ආකාරයේ ගැටලු ඇති කිරීමක් සිදුවන බව හඳුනා ගැනීමට උත්සාහ  කරන්න. එමගින් අසතුටක් දැනීමට හෝ අතෘප්තිකර ආකාරයේ කෙටිකල් පවත්නා සතුටක් පමණක් දැනෙන තත්ත්වයක් ඇති කරවයි.
  • ඔබ විසින් ප්‍රකාශ කිරීමට හෝ ක්‍රියාත්මක කිරීමට අදහස් කරන දෙය තක්සේරු කිරීමට හා, ශාන්තිදේවයන් විසින් උපදෙස් දෙන ලද පරිදි, එමගින් ස්වයං-විනාශකාරී ප්‍රතිඵලයක් හෝ ඔබගේ ආත්ම හැඟීම වර්ධනයක් ඇති කරවන්නේ කවර අවස්ථාවන්හිදීද යන කරුණුද තක්සේරු කරනු පිණිස වෙන්කොට දැකීමේ හැකියාව පුහුණු කරවන බවටද, ස්වයං පාලනයක් අභ්‍යාස කරමින් ලී කොටයක් සෙයින් සිටීමට උත්සාහ කරන බවටද අදිටන් කරගන්න.
  • භාවනාව සඳහා හිඳගෙන සිටින අතරතුර තුවාලයක් කැසීමේ  හෝ පාදය චලනය කිරීමේ අවශ්‍යතාවයක් දැනෙන අවස්ථාව හා ඔබ විසින් සැබෑ ලෙසම එම කැසීම හෝ චලනය සිදුකරන අවස්ථාව අතර කාල අවකාශය, ඔබට සිදු කිරීමට හැ‍ඟෙන දෙය සිදු කරන්නේද, නැත්තේද යන්න තීරණය කළ හැකි ආකාරය ආදිය නිරීක්ෂණය කරන්න. එකරුණ සිදු නොකිරීමේ ප්‍රයෝජනය එය සිදු කිරීමේ ප්‍රයෝජනය ඉක්මවා පවත්නා බවට තීරණය කරන විටදී ලී කොටයක් මෙන් සිටිමින් ස්වයං ශික්ෂණයක් පවත්වාගත හැකි බව නිරීක්ෂණය කරන්න.
  • ඔ‍බගේ එදිනෙදා ජීවිතයේ බලහත්කාරී චර්යාවන් සම්බන්ධයෙන් සලකා බලන කල, යම්කිසි ක්‍රියාවක් සිදු කිරීමේ හැඟීම ඇතිවීම හා එම හැඟීම ක්‍රියාවට නැංවීම අතර කාල අවකාශය තුළ වඩාත් සතිමත්ව සිටිමින් එම ක්‍රියාව සිදු නොකිරීමේ ප්‍රතිලාභය එය සිදු කිරීමෙන් අත්වන ප්‍රතිලාභය ඉක්මවා පවත්නා විටදී, ලී කොටයක් මෙන් නිශ්චලව සිටින බවට අදිටන් කරගන්න.

සාරාංශය

කැළඹිලිකාරී භාවයන් මගින් ඇති කරවනු ලබන අපගේ බලහත්කාරී ස්වයං-විනාශකාරී චර්යාව මගින් අසතුට හා ගැටලු ඇති කරවන බව පැහැදිලි විය. ධනාත්මක හා පුණ්‍යවන්ත අයුරින් පවා බලහත්කාරී පෙළඹීම් මත කටයුතු කරන විටදී පවා එය අප සම්බන්ධ අනාරක්ෂිත බව හා යථාර්ථවාදී නොවන අදහස් මගින් ඇති කරවන්නක් වන විටදී, යම් කටයුත්තක් හොඳින් ඉටු කිරීමෙන් හෝ ප්‍රයෝජනවත් කටයුත්තක් සිදු කිරීමෙන් හෝ ඈ ලෙස අප තුළ කෙටි කාලීන සතුටක් පැවතිය හැකි නමුත් ඉන්පසු අපගේ අවංකත්වය නැවතද සනාථ කළ යුතුවන බවක් බලහත්කාරී ලෙස හැ‍ඟේ.

නිසලව සිටිමින් අපට සිදු කිරීමට, කීමට හෝ සිතීමට අදහස්වන දෙය හා අප විසින් බලහත්කාරී ලෙස සිදුකරනු ලබන දෙය අතර පවත්නා අවකාශය හසුකර ගත යුතුය. අප අන්තර් විමර්ශනකාරී, සතිමත් හා වෙන්කොට දකින සුළුද විය යුතුය. ‍බෝධිසත්ත්ව රත්නාවලිය  (28) නමැති කෘතිය තුළ අතීෂයන් විසින් ප්‍රකාශ කරන පරිදි:

බොහෝ පිරිසක් අතර සිටින විටදී, මාගේ වචනය ප්‍රවේශමෙන් පාවිච්චි කිරීමටද; තනිව සිටින විටදී මාගේ සිත ප්‍රවේශමෙන් පාවිච්චි කිරීමටද අවකාශ සලසන්න.

අප විසින් නිරතුරු මෙම පරීක්ෂාව සිදුකරන බැවින් දැඩි වීමේ හා යාන්ත්‍රික වීමේ අන්තයට නොගොස් මෙකරුණ සිදු කිරීමටද උත්සාහ කරන්න. ඔබ මෙයාකාරයෙන් කටයුතු කරන්නේ නම් එවිට ඔබ නිරායාසයෙන් කටයුතු කරන්නෙක් නොවන බව පවසමින් එයට විරුද්ධත්වය පළකළ හැක. එනමුත් නිරායාසයෙන් කටයුතු කිරීම යන්නෙන් ප්‍රයෝජන හෝ සුදුසුභාවය තක්සේරු කිරීමකින් තොරව ඔබගේ සිතට ඇතුළුවන ඕනෑම දෙයක් සිදු කිරීම අදහස් වන්නේ නම්,  ඔබගේ දරුවා රෑ මැදියමේ හඬා වැටෙන විටදී නින්දෙන් අවදි වීමේ කැමැත්තක් ඇති නොවන්නේ නම් අපි එසේ සිදු නොකරමු. නොඑසේව දරුවා නිහඬ කරනු පිණිස ඔහුට පහර දීමේ අදහසක් ඇති වුවහොත්, හුදෙක් දරුවාට පහර දෙමු. ඒ අනුව, කර්මය සම්බන්ධයෙන් අප තුළ පවත්නා ගැටලු හෙවත් අපගේ බලහත්කාරී චර්යාවට අදාළ ගැටලු සම්බන්ධයෙන් කටයුතු කරනු පිණිස, හුදෙක් අපටම පොලිස් නිලධාරියෙකු හෝ නිලධාරිනියක මෙන් දැඩි හා රළු නොවනු පිණිස නැවත නැවතද කළ භාවනාවම සිදුකළ යුතුවන අතර එමගින් අප විසින් සිදුකළ යුතුයැයි හඟින දෙය සම්බන්ධ සතිමත් වීම ස්වයංක්‍රීය හා ස්වභාවික එකක් විය යුතුය.

Top