සරණාගමනය යනු කුමක්ද?

What ias refuge%20article

අපි සැවොම අපේ ජීවිතවල අරුත සොයා යමු. ඇතැම් මිනිස්සු තමුන්ගේ රැකීරක්ෂා තුළින් එය සොයති, ඇතැම්හු අලුත්ම විලාසිතාව සමග රැඳෙමින් එය සොයති, එසේම තවත් අයෙක් ඈත එපිට ප්‍රදේශවලට සංචාරය කරමින් එය සොයති. එහෙත් අවසානයේදී රැකීරක්ෂා විශ්‍රාම ගැනීමෙන් අවසන් වේ, විලාසිතා නිතර වෙනස් වේ, ඇසිපිය ගහන සැණකින් නිවාඩු කාලය අවසන් වේ. මේ කිසිවකින් අපට ස්ථිරව පවතින සංතෘප්තියක් හෝ සතුටක් හෝ සපයා දෙන්නේ නැත. අපේ නූතන ලෝකයේ සුලබව ඇති භෞතිකවාදී සහ ආධ්‍යාත්මවාදී තෝරා ගැනීම් මිලියන ගණනක් අතුරින් අපේ ජීවිතවලට කුමක් ගතයුතුද යන්න ගැන මහ පටලැවිල්ලක් ඇත.

බුදුදහම තුළ සරණාගමනය යනු අපේ ජීවිතවලට අර්ථාන්විත දිශානතියක් ලබා දීමය. අපගේ අඩුලුහුඩුකම් මැඩලීමට සහ අපටත් සියලු දෙනාටත් හොඳින්ම උපකාර කළ හැකි අපේ ශක්තිය අවබෝධ කරගැනීමට අපවම අරමුණු කොට ගෙන කටයුතු කිරීම මෙම දිශානතිය වේ. තාවකාලික එපාවීමකට, කුසගින්නට හෝ ආතතියට වඩා යමක් වෙනුවෙන් බෞද්ධ සරණාගමනය සෙවනක් සදන්න ක්‍රියා කරයි. එය බාහිරින් ඇති කිසිදෙයක් වෙනස් කරගැනීමක් නොවේ. අපට විශේෂ ඇඳුමක් ඇඳීමට හෝ අපගේ කොණ්ඩා මෝස්තරය වෙනස් කිරීමට හෝ අවශ්‍ය වන්නේ නැත. බුදුදහම තුළ සරණාගමනය යනු අපගේ මානසික තත්ත්වයන් වෙනස් කරගැනීමකි. මෙයින් අදහස් වන්නේ, ජීවිතයට අරමුණක් ලබා දෙන්නේ කුමකින්ද සහ දැනුත් මතුවටත් සතුට ගෙන එන්නේ කුමකින්ද යන කරුණ ගැන අපේ අවබෝධය ගැඹුරු කරවීමය.  කෙටියෙන්ම, බෞද්ධ සරණාගමනය අපව දුක්විඳීමෙන් ආරක්ෂා කරගනියි.

බෞද්ධයන් සාමාන්‍යයෙන් “සරණ යන්න” යන ක්‍රියාපදයක් සහිත භාෂා ව්‍යවහාරය යොදා ගන්නේ සරණාගමනය යනු සක්‍රීය ක්‍රියාවලියක් නිසාය. බෞද්ධ මාර්ගයට පිවිසීමේදී එය මූලිකම අදියරකි. එහෙත් අප එසේ කරන්නේ කුමක් නිසාද? අප සියලු දෙනා සතුට සොයා යන, සංතෘප්තිය සොයා යන අය වන අතර අප කිසිවෙකුටත් දුක අවශ්‍ය නැතිය යන මේ මනුෂ්‍ය ස්වභාවය අප තේරුම් ගත් විට, ඒ සඳහා උදවු කරන දෙයක් අපි සෙවිය යුතු වෙමු. ඒ අනුව බුදුදහමේදී අපි ත්‍රිවිධ රත්නය සරණ යාමට යොමු වෙමු.

මේ ත්‍රිවිධ රත්නය නම්, බුද්ධ, ධර්ම සහ සංඝ යන තුනය.

අප බුදුන්වහන්සේ සරණ යන්නේ උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් ගුරුවරයෙකු වශයෙන් අර්ථවිරහිත පැවැත්මෙන් ඉවත්වන මඟ අපට පෙන්වා දීම පමණක් නොව දුකින් සම්පූර්ණයෙන්ම නිදහස් වන සැටිත් පෙන්වා දුන් නිසාය. මනස මූලික වශයෙන් පිරිසිදු බවත් කරුණාව, ප්‍රඥාව වැනි ගුණධර්ම සමග ඕනෑම ආකාරයක මුළාවීම් සහ ඍණාත්මක මනෝභාවයන් නැවත නූපදින පරිදි සදහටම ඉවත් කිරීමට අපට හැකි බවත් උන්වහන්සේ ඉගැන්වූහ. ධර්මය යනු මේ දේ ළඟා කරගන්නා අයුරු දැක්වෙන බුදුන්වහන්සේගේ ඉගැන්වීම්ය. අපි සරණාගමනය යන විට, අපේ ජීවිතයේදී හමුවන සියලුම ගැටලු සමග ගනුදෙනු කිරීමට අවශ්‍ය බෞද්ධ ක්‍රමෝපාය වෙත නැඹුරු වීමද පිළිගැනීමද කරමු. සංඝ යනු භික්ෂු, භික්ෂුණීන් සහ අපගේ සහචරයෝය. ඔවුන් අතුරින් බුදුන්වහන්සේගේ ඉගැන්වීම් සැබෑවටම පුරුදු පුහුණු කරන තැනැත්තා අපගේ ආදර්ශවත් චරිතය බවට පත්වී බෞද්ධ මාර්ගය අනුගමනය කරමින් ඉදිරියට යාමට අපට පිටුබලයක් සපයයි.

මෙලෙස අප සරණාගමන යාම තුළින් අප අපේ මිතුරන්ගෙන් හෝ සමාජයෙන් හෝ වෙන් විය යුතුය යන්නක් අදහස් නොවේ. සත්‍යය වශයෙන්ම, ත්‍රවිධ රත්නයේ සරණ ගිය පසු අප අර්ථාන්විත ජීවිතයක් නිර්මාණය කර ගැනීම පමණක් නොව අන් අයට අප විවෘත වීමත් අප වටා සිටින අයට සහ සමස්ත ලෝකයටම උදවු උපකාර කිරීමට හැකි අයුරු සොයා බැලීමටත් ආරම්භ කරමු.

බුද්ධ, ධර්ම සහ සංඝ යන රත්නත්‍රය සරණ ගිය විට, අපි තවදුරටත් මුළා වීමේ අවශ්‍යතාවක් නැත්තෙමු. ආධ්‍යාත්මික වශයෙන් අපට තවදුරටත් රස්තියාදු වීමට අවශ්‍යතාවක් නැත්තෙමු. භෞතික සුවපහසුව සහ ඇතැම් බඩුබාහිරාදිය අපට අවශ්‍ය බව සැබෑවක් වන නමුත් අපි තවදුරටත් ඒවා මඟින් සදාකාලික සතුටක් ලැබෙතැයි සිහින මවමින් ඒ මත විශ්වාසය රඳවන්නේ නැත්තෙමු. බෞද්ධ මූලධර්ම අනුගමනය කිරීමට බැඳීම සැබෑවටම අපව ආතතියෙන් නිදහස් කරන අතර වැදගත්ම දේ වෙනුවෙන් වැඩ කිරීමට අපට වැඩියෙන් කාලයද ලබා දේ. එනම්, අපව මනෝභාවාත්මක ලෙස වඩා සතුටින් සහ නීරෝගිව තැබීම උදෙසාය.

සරණාගමනය යනු දැනටමත් ක්‍රියාත්මක වන සක්‍රීය ක්‍රියාවලියක් වන්නේ මේ නිසාමය. එය අප නිතර ක්‍රියාවේ යෙදවිය යුතු දෙයකි. එය, බුදුන්වහන්සේ එක්තරා ආකාරයක දෙවියෙකු සේ සලකා හුදෙක් විශ්වාස කරමින් වන්දනාමාන කිරීමක් නොවේය. එය, අපේ බෞද්ධ මිතුරන් අප වෙනුවෙන් වැඩ කටයුතු කරදීමට ඉදිරිපත් වීමක්ද නොවේය. ඉතාම ඉහළම සරණ යාම නම් බුදුන්වහන්සේගේ ඉගැන්වීම් හෙවත් ධර්මය සරණ යාම වන්නේ මේ නිසාය. අපට බුදුන්වහන්සේ කෙරෙහි සහ බුද්ධිමත් වූත් කරුණාවන්ත වූත් ඉමහත් බෞද්ධ මිතුරන් පිරිසක් කෙරෙහි ප්‍රබල විශ්වාසයක් ඇත්තේ නමුත් අපම ධර්මයේ දැක්වෙන ඉගැන්වීම් උපයෝගී කර ගනිමින් එය අනුගමනය කරන්නේ නැතිනම් අපට සරණාගමනයේ ප්‍රතිඵල නෙලා ගැනීමට නොහැකි වේ. අන් අයට හිංසා නොකිරීම, යහපත් ක්‍රියාවල පංගුකාරයන් වීම, අපේ සිත දමනය කර ගැනීම යන ප්‍රධාන උපදෙස් අප අනුගමනය කරන විට අපේ ජීවිත නියත වශයෙන්ම වඩාත් අර්ථාන්විත වෙයි.

බෞද්ධ මාර්ගයේ දිවෙන අපේ ගමන නිල වශයෙන් ආරම්භ කළ හැකි විශේෂ උත්සව අවස්ථා ඇති නමුත් සැබෑ ගමන්මඟ ඇරඹෙන්නේ හදවතිනි. අප ගැනම හිතා වැඩ කටයුතු ඇත්තටම අරඹන්නේ යම් දිනෙකද අපේ සැබෑ සරණාගමනය සිදුවන්නේද එදාමය.


Top