What%20is%20buddhist%20practice

බුදුදහම තුළ ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ අපගේම අඩුලුහුඩුකම් මැඩපවත්වා අපගේ ධනාත්මක හැකියාවන් අවබෝධ කරගැනීම කෙරෙහිය. ජීවිතය පිළිබඳව අපව මුළාවට පත්කරන නොපැහැදිලිකම සහ මනෝභාවයන්ගේ අසමතුලිත බව මේ අඩුලුහුඩුකම්වලටම ඇතුළත්ය. ඒවායේ ප්‍රතිඵලයක් ලෙස කෝපය, ආශාව සහ බොළඳකම වැනි මනෝභාවයන්ගෙන් මෙහෙයවන ලදුව අපි හැඟීම්බර වී ක්‍රියා කරමු. පැහැදිලි සංනිවේදන හැකියාව, යථාර්ථය අවබෝධ කරගැනීම, අන් අයගේ වේදනාව ගැන සංවේදී වීම සහ අපවම නඟා සිටුවීම අපේ ධනාත්මක හැකියාවන්ට ඇතුළත් වේ.

බෞද්ධ ප්‍රතිපදාවේ ආරම්භය මනස සංසුන් කරගැනීම සහ සිහිය එලවා ගැනීමය. එනම්, අප ක්‍රියා කරන ආකාරය, අන් අය සමග කතා කරන ආකාරය, තනිවම සිටින විට හිතන ආකාරය ගැන නිරන්තර මතකයෙන් සහ අවධානයෙන් සිටීමය. ඒ දේවල් දෙස හුදෙක් බලා සිට ඒවා ඒ අයුරින් පවතින්නට ඉඩ හැරීම මෙයින් නොකියැවේ. අප සිහිබුද්ධියෙන් සිටින විට, සාධනීය දේ කුමක්ද නිෂේධනීය දේ කුමක්ද’යි අපට වෙන් කොට හඳුනාගත හැකිය. මෙය තමා වෙතම මුල්බැස ගැනීමක් නොවේය. අපි සැබැවින්ම අන් අය ගැන වැඩි වැඩියෙන් සොයා බලන, ඒ අය කෙරෙහි විවෘත වූ අය බවට පත් වෙමු.

අපගේ ආවර්ජනයේ සහ ස්වයං-අවධානයේ අරමුණ වන්නේ අපගේ ගැටලුවලට හේතු සොයා ගැනීමය. අපගේ දුෂ්කරතා බිහිකරවන අවස්ථා නිසැකයෙන්ම බාහිර සාධක සහ පුද්ගලයෝ අපට සපයා දෙති. අපගේ මානසික පුරුදු සහ අපගේ ධනාත්මක වූත් ඍණාත්මක වූත් මනෝභාව අප ජීවිතය අත්දකින විදිහ කෙරෙහි බලපායි.

වැඩ කටයුතුවලින් ආතතිය අත්විඳින විට, නැතහොත් මානසික අවපීඩනය, කාංසාව, හුදකලා බව සහ අනාරක්ෂිත බව අත්විඳින විට, ඒවා සමග ගනුදෙනු කිරීමට අපට අපහසුතාවක් මතු වන්නේ අපේ මානසික සහ මනෝභාවමය තත්ත්වවලිනි. ඒ මිස, එම ප්‍රශ්නවලින් නොවේය. ජීවිතයේ අනවරත අභියෝගවලින් ජය ගැනීමට අපට කළ හැකි හොඳම දේ නම් මනස සංසුන් කරගෙන, මනෝභාවවල සමතුලිත බව සහ මනසේ පැහැදිලිකම ලබා ගැනීමය.

අපට දුෂ්කරතාවන් සහ කම්කටොලු ගෙන දෙන මනෝභාව, ආකල්ප සහ චර්යාවන් පිළිබඳව අප වරක් සිහිබුද්ධියෙන් බලන්නේ නම්, එවිට අපට ඒවාට ප්‍රතිකර්ම කළ හැකිය.

යථාර්ථයේ වඩාත් පැහැදිලි අවබෝධය මත සහ මානසික ක්‍රියාකාරකම් මත පදනම් වූ මනෝභාවමය සෞඛ්‍යසම්පන්න බවක් භාවිත කිරීමට අවශ්‍ය වෙමු. – 14 වන දලයි ලාමා වහන්සේ

අපි සැවොම අපේ ශාරීරික සනීපාරක්ෂාව ගැන සොයා බලමු. එහෙත් අපගේ මානසික තත්ත්වය ගැන සොයා බැලීමත් ඒ තරම්ම වැදගත්ය. මනෝභාවික සෞඛ්‍යසම්පන්න බව වැඩීමට නම් කරුණු තුනක් ගැන අප සිහි එලවා සිටීම අවශ්‍යය: අපගේ කරදරකාරී මානසික තත්ත්වයන්ට යෙදිය හැකි ප්‍රතිනාශක මතක තබා ගැනීම අවශ්‍යය, අවශ්‍ය විට ඒවා උපයෝගී කරගැනීමටත්, ඒවා පවත්වාගෙන යාමටත් මතක තබා ගැනීම අවශ්‍යය.

සියලු ප්‍රතිනාශක මතක තබා ගැනීම පිණිස, අප:

  • ඒවා මොනවාදැයි උගත යුතුය
  • ඒවා අපට නිවැරදිව වැටහෙන තුරු කල්පනා කළ යුතුය, ඒවා යොදා ගන්නේ කෙසේද’යි දත යුතුය, ඒවා ක්‍රියා කරන බව අපට තහවුරු විය යුතුය
  • ඒවා පිළිබඳ හුරුවක් ලබා ගැනීමට භාවනාවෙන් ඒවා පුහුණු කළ යුතුය.

අප අපටම වෛද්‍යවරුන් වීම අවශ්‍යය: අපේ ආබාධ හඳුනාගැනීමට ඉගෙන ගෙන, ඒවායේ හේතු අවබෝධ කරගෙන, ඒවාට ගත හැකි ප්‍රතිකර්ම මොනවාද සහ ඒවා යොදා ගන්නේ කෙසේද’යි බලා, ඒවා සැබැවින්ම උපයෝගී කොට ගත යුතුය.

අප දීර්ඝ කාලයක් මුළුල්ලේ අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින්නේ නම්, සැබෑවටම යම් යම් වෙනස්වීම් කරගැනීමට පෙර, ජීවන රටාවේ පූර්ණ වෙනස්වීමක වාසිදායක බව ගැන අපට තහවුරු කර ගැනීමට සිදුවේ. පෝෂ්‍යපදාර්ථ ගැන ගැඹුරු හැදෑරීමකින් හෝ කායවර්ධන පුහුණුවකින් හෝ බොහෝ මිනිසුන් එය ආරම්භ කරන්නේ නැත. ඒ වෙනුවට, විධිමත් ආහාර වේලක් සහ දෛනික ව්‍යායාම සැලසුමක් ඔවුන් පළමුව අත්හදා බලනු ඇත. එය ආරම්භ කිරීමට පෙර ඔවුනට යම් උපදේශයක් අවශ්‍ය බව සැබෑවකි. එහෙත් ඒවා කරගෙන යාමෙන් ඇතැම් වාසිදායක ප්‍රතිඵල භුක්ති විඳීම ආරම්භ කළ වහාම තව දුරටත් ඉදිරියට යාමට ඔවුන් පෙලඹෙනු ඇත. 

මනෝභාවික නිරෝගි බව ලබා ගැනීම සඳහා අපගේ පරිශ්‍රමයට ඇත්තේද මෙවැනිම ක්‍රියාවලියකි. සිහිබුද්ධියෙන් සිටීමට පුරුදු පුහුණු වීමෙන් ඇති වන යහපැවැත්මේ රසය අපට දැනුණ විට, අපේ ජීවිතවල ගුණධර්ම මෙන්ම අන් අයට වඩ වඩාත් උදවු කිරීම වැඩිදියුණු කරවන බෞද්ධ ප්‍රතිපදාවන් ගැන තව තවත් ඉගෙන ගැනීමට උනන්දුවක් සහ පෙලඹවීමක් ඇති කරගැනීම ඉතා පහසුය.

ජීවිතයේ හැල හැප්පීම්වලට මුහුණ දෙන සාමාන්‍ය මිනිසෙකු ලෙස වරක් බුදුන්වහන්සේද විසූහ. අප සියලු දෙනාටම මෙන්, තමුන්වහන්සේගේ ජීවිතයත් තමුන්වහන්සේ වටා සිටින අයගේ ජීවිතත් වැඩි දියුණු කිරීමට උන්වහන්සේට අවශ්‍ය විය. තමුන්වහන්සේගේ ප්‍රත්‍යාවර්ජනයෙන්, අප අවට කුමක් සිදුවුවත් සංසුන්ව, සිහිකල්පනාවෙන් යුතුව, සහ අපගේ මනෝභාවයන් දමනය කොට ගෙන සිටීමේ ශක්තිය අප සතුව ඇති බව උන්වහන්සේ අවබෝධ කරගත්හ.

දලයි ලාමා වහන්සේ විසින් “මනෝභාවික සෞඛ්‍යසම්පන්න බව” යනුවෙන් හඳුන්වන මෙය සාංස්කෘතික සහ ආගමික සීමා බන්ධන ඉක්මවා යන්නකි. කුමක් නිසාද යත්, සතුටින්පිරි සාමකාමී ජීවිතයක්, ප්‍රශ්නවලින් නිදහස් වීමක් යන අප කවුරුත් කැමති දේ එමඟින් අපේ හදවතට ඇතුළු වන නිසාය.

Top