මානසික සැනසීම මඟින් සාමය ළඟා කරගැනීම

Study buddhism universal values 06

කායික සහ මානසික අපහසුතා

පෙරදිග හිටියත් බටහිර හිටියත් උතුරේ හිටියත් දකුණේ හිටියත් කවුරුත් හොයා බලන කරුණක් තමා සාමය කියන්නේ. දුප්පත් වුණත් පෝසත් වුණත් කාටත් අවංකවම අවශ්‍යයි සාමයෙන් ඉන්න. අප හැමෝම මනුෂ්‍යයන් නිසා අප කාටත් පොදුවේ එකසමාන ඕනෑ එපාකම් තියෙනවා: සතුටින් ඉන්න, සතුටින්පිරි ජීවිතයක් ගතකරන්න වගේ. අපි මේ කතා කරන්නේ ඒ මට්ටමේ ඉඳන්. හැමෝටම හැඟීමක් තියෙනවා “මා” නැතිනම් “ආත්මීය බව” ගැන. ඒත් අප හරිහැටි තේරුම් අරගෙන නැහැ මොකද්ද මේ “මම” නැතිනම් “ආත්මීය බව” කියන්නේ කියා. එහෙම නැතිවත් අපට බරපතල හැඟීමක් තියෙනවා “මම” කියා. මේ හැඟීම සමග සතුට ළඟා කර ගැනීමට ආශාවක් එනවා, දුක ළඟා කර ගන්න නෙවේ. මේක ඉබේම මතුවෙනවා, නැතිනම් ඇතිවෙනවා. ඒ පදනමින් බැලුවාම, අපට අයිතියක් තියෙනවා සතුටින් ඉන්න.

මේක මෙහෙම වුණත්, අපේ ජීවිතවල හුඟාක් සතුටක් නැති දේවල්, බාධාකාරී දේවල් සිද්ධ වෙනවා. එහෙම ඒවා වර්ග දෙකක් තියෙනවා. එක් වර්ගයක් තමයි කායික හේතු නිසා හටගන්නා වේදනා. උදාහරණයක් විදිහට ලෙඩ වීම, වයසට යාම වගේ ඒවා. හරියට මේ මා වගේ. මටත් මේ ගැන අත්දැකීම් තියෙනවා. මට හරියට ඇහැන්නේ නැහැ, පේන්නෙ නැහැ, ඇවිද ගන්නත් අමාරුයි. මේවා වෙන්න තියෙන දේවල්. අනිත් වර්ගයේ ඒවා ප්‍රධාන වශයෙන්ම මානසික මට්ටමේදී ඇති වෙන්නේ. කායික මට්ටමේදී හැම සුවපහසුවක්ම, සුඛෝපභෝගී බවක්ම තිබුණත් අප තුළ යම් ආතතියක්, චකිතයක් තියෙනවා නම්, අපට පාළුවක් දැනෙනවා. අපට ඉරිසියාව, බිය, වෛරය තියෙනවා. ඒ නිසායි අපි නොසතුටින්. ඉතිං කායික මට්ටම කුමක් වුණත් මානසික මට්ටමේදී අප හුඟාක් පීඩා විඳිනවා.

සල්ලි තියෙනවා නම්, ඔවු, කායික සැහැල්ලුව උදෙසා, පීඩාකාරී තත්ත්වය අවම කර ගැනීමට අපට භෞතික සන්තර්පණයක් ගේන්න පුළුවන්. බලය, නම, කීර්තිය කියන මේ හැමදේම ඇතුළත් ඒ භෞතික මට්ටමට බැහැ අපට මානසික සැනසීම ගේන්න. සමහර වෙලාවට, ඇත්තෙන්ම, ධනය, වස්තුව ගොඩක් තිබීමෙන් අප තුළ සංතාපය වැඩි වෙනවා. අපි අපේ නම ගැන, කීර්තිය ගැන ඕනෑවටත් වඩා හිතනවා. ඒකෙන් අපව තරමක කුහකකමක් වෙත, තරමක අපහසුතාවක් වෙත, යම් ආතතියක් වෙත තල්ලු වෙනවා. මේ නිසා, මානසික සතුට කියන දේ බාහිර උපායමාර්ග මත නෙවේ, කාලාන්තරයක් තිස්සේ අප හිතන විදිහ මත තමා රැඳෙන්නේ.

අපට දකින්න පුළුවන්, සමහර දුප්පත් මිනිසුන් ඉන්නවා, ඒ අය දුප්පත් වුණත්, ආධ්‍යාත්මික මට්ටමේදී හුඟාක් ශක්තිමත්, ඒ වගේම සතුටින් ඉන්නවා. ඇත්තටම මානසිකව සැනසුණු බවක් තියෙනවා නම් ඕනෑම ආකාරයක අසීරු කායික පීඩාවක් වුණත් අපට දරා ගන්න පුළුවන්, ඒක වෙනත් අතකට පෙරළා ගන්නත් පුළුවන්. ඉතිං, මං හිතනවා, මේ කායික සහ මානසික යන වේදනා දෙකින් මානසික වේදනාව තමා වඩාත් දරුණු වෙන්නේ. එහෙම වෙන්නේ, කායික අපහසුතාවක් මානසික සුවතාවෙන් යටපත් කර ගන්න පුළුවන්. ඒත් මානසික අපහසුතාවක් කායික සුවතාවෙන් ඉවත් කර ගන්න බැහැ.

මිනිසුන්ගේ මානසික වියවුල් සහ ගැටලු සතුන්ගේ ඒවාට වඩා ප්‍රබලයි, ඒ වගේම දරුණුයි. කායික වශයෙන් ඇතැම්විට දෙගොල්ලන්ගේම පීඩාව එකවගේ. ඒත් මිනිසුන් ගැන හිතා බලද්දි, අපේ බුද්ධිය නිසා, අපට සැකසංකා, අනාරක්ෂිත බව, ආතතිය ඇති වෙනවා. මේවායින් මානසික අවපීඩනය ඇති වෙනවා. මේ හැම දෙයක්ම එන්නේ අපේ විශිෂ්ට බුද්ධිය නිසා. මේකට එරෙහි වෙන්නත්, අප මිනිස් බුද්ධිය භාවිත කළ යුතුමයි. මනෝභාවයන් (emotions) ගැන හිතද්දි වුණත්, සමහර මනෝභාවයන් තියෙනවා ඒවා ඇති වුණ ගමන්ම අපේ හිතේ තිබුණ සැනසීම නැති වෙනවා. අනෙක් අතට සමහර මනෝභාවයන් අපට ලොකු ශක්තියක් පවා ගෙන එනවා. ඒවා තමා අපේ ශක්තියේත් ආත්මවිශ්වාසයේත් පදනම වෙන්නේ. ඉතා තැන්පත්, සංසුන් මානසික තත්ත්වයක් වෙත ඒවායින් අපව යොමු වෙනවා.

දෙවැදෑරුම් මනෝභාව

මේ විදිහට මනෝභාවයන් වර්ග දෙකක් තියෙනවා. එක වර්ගයක් හිතේ සැනසීමට අතිශයින් හානිදායකයි. ඒවා තමයි කෝපය, වෛරය වගේ විනාශකාරී මනෝභාව (destructive emotions). ඒවා මේ මොහොතේ අපේ හිතේ තියෙන සැනසීම විනාශ කරනවා විතරක් නෙවේ, අපේ කතාබහට, අපේ ශරීරවලට විනාශකාරී ලෙස බලපානවා. වෙනත් වචනවලින් කියනවා නම්, අප ක්‍රියාකරන විදිහට ඒවා බලපානවා. හානිදායක විදිහට ක්‍රියා කිරීමට අපව යොමු කරවන නිසා තමයි ඒවා විනාශකාරී වෙන්නේ. කොහොම නමුත් අනෙක් මනෝභාවයන් මානසික ශක්තිය සහ සැනසීම ගෙන දෙනවා, හරියට කරුණාව වගේ. උදාහරණයක් විදිහට ඒවා සමාවදීමේ ශක්තිය ගෙන දෙනවා. යම් කිසි පුද්ගලයෙකු සමග එක්තරා අවස්ථාවකදී අපට යම් යම් ආරවුල් තිබුණත් ඒවාට සමාවදීමෙන් අපව තැන්පත් තත්ත්වයකට යොමු වෙනවා, හිතේ සැනසීම ඇති වෙනවා. අප ඉතා කේන්තියෙන් සිටි පුද්ගලයා අපේ හොඳම මිතුරා වෙන්නත් පුළුවන්.

බාහිර සාමය

සාමය ගැන කතා කරද්දි, අප මේ මනෝභාවයන් ගැනත් මානසික සැනසීම ගැනත් කතා කළ යුතුයි. ඒ කියන්නේ, අපට සොයා ගන්න වෙනවා කුමන මනෝභාවයන්ද මානසික සැනසීමට යොමු කරවන්නේ කියා. ඒත් ඊට කලින් මට බාහිර සාමය ගැන යමක් කියන්න අවශ්‍යයි.

බාහිර සාමය කියන්නේ නිකම්ම නිකං ප්‍රචණ්ඩත්වය නැති වීම නෙවේ. බාගදා, සීතල යුද්ධය කාලෙදිත් අපට සාමය පේන්න තිබුණා. ඒත් ඒ සාමය තිබුණේ බිය මත, න්‍යෂ්ටික සංහාරයක් පිළිබඳ බිය මත. දෙපැත්තටම බිය තිබුණා අනෙක් පැත්තෙන් බෝම්බ දායි කියා. ඒ නිසා ඒක අවංක සාමයක් නෙවේ. අවංක සාමය එන්නේ මානසික සැනසීම තුළින්. ගැටුමක් තියෙන හැම තිස්සේම මට හිතෙනවා අප සාමකාමී විසඳුමක් සොයා ගත යුතුයි කියා. ඒ කියන්නේ සාකච්ඡා මාර්ගයෙන්. ඒ කියන්නේ, සානුකම්පිත හදවතක් සහ අනුන්ගේ ජීවිතවලට ගරු කිරීමක් ඇතිව, අන් අයට හිංසා කිරීමට විරෝධතාව පෑමෙන්, ඒ වගේම අනෙක් අයගේ ජීවිතත් අපේ ඒවා තරම්ම පූජනීයයි කියන ආකල්පය ඇති කර ගැනීමෙන්, සාමය උදෙසා කරන්න වැඩ ගොඩක් තියෙනවා.  අප ඒකට ගරු කරන්න ඕනේ, ඒ පදනම මත පිහිටා අප අනෙක් අයට උදවු කරන්න ඕනේ. ඉතිං අපි එහෙම කරන්න උත්සාහ ගමු.

අප දුෂ්කරතාවලට මුහුණ දෙන විට කවුරු හරි අපට උදවු කරන්න එනවා නම් ඇත්තටම අප ඒක අගය කරනවා. කවුරු හරි වෙනත් කෙනෙකු පීඩා විඳිනවා නම්, එතනදීත් අප මේ මානව අවබෝධයම දිගු කරනවා නම්, ඒ පුද්ගලයා එය අගය කරනවා, ඒවගේම හුඟාක් සතුටට පත්වෙනවා. මේ විදිහට ආධ්‍යාත්මිකව හටගන්නා කරුණාවෙන් සහ හිතේ සැනසීමෙන් හැම ක්‍රියාවක්ම සාමකාමී වෙනවා. අපට හිතේ සැනසීම පිහිටුවා ගන්න පුළුවන් නම් අපට පුළුවන් බාහිර සාමය පවා ගෙන එන්න.

මිනිසුන් හැටියට, අනෙක් අය සමග අන්තර්ක්‍රියා කරද්දි අපට විවිධ අදහස් ඇති වෙනවා. ඒත් “මා” සහ “ඔවුන්” යන ප්‍රබල සංකල්ප මත පදනම් වෙලා “මගේ යහපත” සහ “ඔබේ යහපත” යන සංකල්ප අප අරගන්නවා. ඒ පදනමින් අපට යුද්ධයක් වුණත් ඇති කරන්න පුළුවන්. අප හිතනවා, මගේ සතුරාව නැති කිරීමෙන් මට ජයක් අත් වෙනවා කියා. ඒත් දැන් අලුත් යථාර්ථයක් තියෙනවා. ආර්ථිකය පැත්තෙන් ගත්තාමත් පාරිසරික පැත්තෙන් ගත්තාමත් අප එකෙකා මත බරපතල විදිහට යැපෙනවා. මේ නිසා, “අප”, “ඔවුන්” වගේ සංකල්ප තවදුරටත් අදාළ නැහැ. අප “ඔවුන්” කියා සලකපු අය, අද “අප” කියන අයගේම කොටසක් වෙලා. මේ නිසා, මේ පෘථිවි තලය මත සිටින බිලියන හයක් පමණ මිනිසුන් තමා අප කියා කියන්නේ, ඒ වගේම අප හැමෝටම සතුටින් ජීවත්වීමට එකසමාන අයිතියක් තියෙනවා. මේ හැඳිනීම පාදක කර ගත් කරුණාව තමා හිතේ සැනසීම වැඩිදියුණු කර ගැනීමට ඇති ප්‍රමුඛම සාධකය. ඒ පදනම මත පිහිටලා අප හැම කෙනාවම බරපතල විදිහට ගන්නවා නම්, ඒ පදනම මතින්ම, අපට පුළුවන් වෙනවා බාහිර සාමය පිහිටුවන්න.

පුංචි තැනින් පටන් ගැනීම

සාමය ඇති කරගන්න නම්, අප අප තුළම සාමය වර්ධනය කරගැනීම ආරම්භ කරන්න අවශ්‍යයි. ඊට පස්සේ අපේ පවුල තුළ, ඊටත් පස්සේ අපේ ප්‍රජාව තුළ. උදාහරණයක් විදිහට, මෙක්සිකෝවේ එක්තරා මිතුරෙකු “සාමකලාපයක්” ගොඩනැඟුවා ඔහුගේ ප්‍රජාව ඇතුළේ. ඔහුගේ ප්‍රජාව ඇතුළේ  හැමකෙනෙකුගේම එකඟ බවක් ඇති කරගෙන තමා ඔහු මෙය පිහිටවූයේ. සාමකලාපය ඇතුළෙදි උවමනාවෙන්ම ප්‍රචණ්ඩත්වයෙන් වැළකී සිටීම පිණිස උත්සාහ කිරීමට හැම කෙනෙකුම එකඟ වුණා. ඒ අයට ගහගැනීමට හෝ විරුද්ධ වීමට අවශ්‍ය නම්, ඒ අය එකඟ වුණා කලාපයේ සීමාමායිම්වලින් ඉවතට යන බවට. මේක හරිම හොඳයි.

අවසානය ලෙස, ලෝක මට්ටමෙන් හිතීම කොයිතරම් හොඳ වුණත් ‘ලෝක සාමය’ හදන්න කියා ඉල්ලීම අපහසුයි. ඒත්, වඩාත් යථාර්ථවාදී වන්නේ තමා, පවුල, ප්‍රජාව, දිස්ත්‍රික්කය යනාදි ක්‍රමයට සාම කලාප වැනි දේවල් පිහිටුවීමෙන් දැන්ම පුංචි තැනින් පටන් ගැනීම.  මේ විදිහට, මානසික සැනසීම හුඟාක්ම කරුණාව සමග සම්බන්ධ වෙනවා.

මේ වන විට, ලෝකයේ දේවල් ඇත්තටම හුඟාක් වෙනස් වී ගෙන යනවා. මට මතක් වෙනවා වසර කීපයකට පෙර, මා ගුරුවරයෙකු ලෙස පවා සැලකූ, එක්තරා ජර්මානු මිතුරෙකු, ඒ කියන්නේ දැනට ජීවතුන් අතර නැති ෆෙඩ්රික් ෆොන් වීට්සේකර් (Friedrich von Weizsäcker) මට කීවා, ඔහු කුඩා කාලයේදී සෑම ජර්මානුවෙකුගේම දෘෂ්ටියට අනුව, ප්‍රංශජාතිකයන් කියන්නේ හතුරන්, ඒ වගේම සෑම ප්‍රංශජාතිකයෙකුගේම දෘෂ්ටියට අනුව, ජාර්මානුවන් කියන්නේ හතුරන් කියා. දැන් අපට තියෙනවා ඒකාබද්ධ බලවේගයක්, යුරෝපා හවුල කියා. මේක ගොඩාක් හොඳයි. එදා හැම රාජ්‍යයක්ම තමුන්ගේ දෘෂ්ටියට අනුව  ඒ අයගේ පරමාධිපත්‍ය තමා වඩා අනර්ඝයි කියා සැලකුවේ. ඒත් අද යුරෝපයේ අලුත් යථාර්ථයක් තියෙනවා. පෞද්ගලික යහපත වෙනුවට පොදු යහපත වඩා වැදගත් වෙලා තියෙනවා. ආර්ථිකය ඉහළ යනවා නම්, සෑම සාමාජික රාජ්‍යයක්ම එහි ප්‍රතිඵල භුක්ති විඳිනවා. ඉතිං දැන් මේ සිතුවිල්ල පෘථිවි තලයේ ඉන්න බිලියන හයක් පමණ සෑම මිනිසෙකු වෙතම පතුරුවා හැරීම වැදගත්.  හැම කෙනෙකුම එකම විශාල මිනිස් පවුලක සාමාජිකයන් කියා අප හිතන්න අවශ්‍යයි.

කරුණාව ජෛවීය සාධකයක් ලෙස

දැන් කරුණාව ගැන හිතා බැලුවොත්, මව්කුසින් ඉපදෙන හැම ක්ෂීරපායියෙකුටම - මිනිසුන්, ක්ෂීරපායී සතුන්, පක්ෂීන් වගේ - ඔවුන්ගේ වැඩීම රඳා පවතින්නේ සෙනෙහස සහ රැකවරණය ලැබීම මත. මුහුදු කැස්බෑවා, සමනලුන්, බිත්තර දාලා මිය යන සැමන් මත්ස්‍යයා වගේ සත්ත්ව වර්ග කීපයකට හැරුණාම මේක තමයි ඇත්ත තත්ත්වය. මේ සතුන් තරමක විශේෂ අවස්ථාවක්. උදාහරණයක් විදිහට මුහුදු කැස්බෑවා අරන් බලන්න. අම්මලා ඉවුරෙ බිත්තර දාලා පිටත් වෙලා යනවා. මේ නිසා පුංචි කැස්බෑවන්ගේ පැවැත්ම තීරණය වෙන්නේ තනිකරම ඔවුන්ගේ පරිශ්‍රමය මත. උන්ට අවශ්‍ය නැහැ මව් සෙනෙහස, ඒත් උන් ජීවත් වෙනවා. ඉතිං මා මේ අහන් ඉන්න කාට හරි කියන්නේ, මේක හොඳ විද්‍යාත්මක පර්යේෂණයක් වේවි, කැස්බෑ බිත්තරයක් කැඩිලා එළියට එන පැටියාවයි අම්මාවයි එකට තියා බලන්න ඒ අය අතර එකිනෙකාට සෙනෙහසක් ඇති වෙයිද කියා. මා හිතන්නේ නැහැ උන්ට එහෙම වෙයි කියා. සොබාදහම උන්ව හදලා තියෙන්නේ එහෙම. ඒ නිසා සෙනෙහස පිළිබඳ අවශ්‍යතාවක් නැහැ. ඒත් ක්ෂීරපායී සතුන්, විශේෂයෙන්ම මිනිසුන් ගත්තාම, මව් රැකවරණය නැතිව අප හැමෝම මැරෙන්න ඉඩ තියෙනවා.

පුංචි ළමයින්ව බලා ගන්න නම් කරුණාවත්, සෙනෙහසත්, සොයා බැලීම සහ රැකවරණය පිළිබඳ හැඟීමත් කියන මනෝභාවයන් අවශ්‍ය වෙනවා.  ළදරුවාගේ මොළයේ වර්ධනය සඳහා උපතින් පසු සති කීපයක් යන තුරු මවගේ ස්පර්ශය අත්‍යවශ්‍ය වෙනවා කියා විද්‍යාඥයන් කියනවා. ආදරණීය, සෙනෙහසින්පිරි, කරුණාබර පවුල්වලින් එන දරුවන් වඩාත් සතුටින්පිරි ජීවිතයකට නැඹුරු වෙනවා කියා අපට පේන්න තියෙනවා. කායික වශයෙන් ගත්තාමත් ඒ අය වඩාත් නීරෝගිමත්. ඒ වුණාට සෙනෙහස අඩුවෙන් ලැබුණු දරුවන්, විශේෂයෙන්ම ඒ අය කුඩා අවධියේදි, බොහෝ දුෂ්කරතාවන්ට නැඹුරු වෙනවා.

සමහර විද්‍යාඥයන් පුංචි වඳුරන්ව උන්ගේ අම්මලාගෙන් වෙන්කර පර්යේෂණ පවත්වා තියෙනවා. එහිදී ඒ පුංචි වඳුරන් හැමවිටම කණස්සල්ලෙන්, කලහකාරී ලෙස හිටිය බව ඔවුන් නිරීක්ෂණය කර තියෙනවා. ඔවුන් එකෙකා සමග හොඳින් සෙල්ලම් කර නැහැ. ඒ වුණාට තමුන්ගේ අම්මලා සමග සිටි උන් සතුටින් වගේම අනෙක් උන් සමග හොඳින් සෙල්ලම් කරමින් ඉඳලා තියෙනවා. ඒ වගේමයි විශේෂයෙන්ම ළදරු අවධියේදී සෙනෙහස නොලැබූ මිනිස් දරුවන් - ඒ අය හැඟීම් විරහිත බවට පත්වෙනවා. අනෙක් අයට සෙනෙහස පෙන්වීම ඒ අයට අසීරුයි. ඇතැම් අවස්ථාවලදී ඒ අය සෙසු අයත් සමග ප්‍රචණ්ඩ වෙනවා. මේ නිසා සෙනෙහස කියන්නේ ජෛවීය සාධකයක්, ජෛවීය පදනමක් ඇති සාධකයක්.

තව දෙයක්, කරුණාව සහ මනෝභාවයන් ජෛව-භෞතික මට්ටමට අදාළ වන නිසා, මා හිතනවා, සමහර විද්‍යාඥයන්ට අනුවත්, අප නිතරම කේන්තියෙන් නම් ඉන්නේ, නිතරම වෛරය, බිය තියෙනවා නම්, එමඟින් අපේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය කා දමනවා, එය දුර්වල කරනවා.  ඒත් කරුණාවන්ත මනසක් ප්‍රතිශක්තීකරණ පද්ධතියට උදවු කරනවා, බලගන්වනවා.

වෙනත් උදාහරණයක් ගන්න. අප වෛද්‍ය ක්ෂේත්‍රය බැලුවොත්, එක පැත්තකින් හෙදහෙදියන් සහ වෛද්‍යවෘත්තිකයනුත් අනෙක් පැත්තෙන් රෝගීනුත් අතර විශ්වාසය ගොඩනැඟෙනවා නම් ඒක සෑහෙන වැදගත් වෙනවා රෝගීන්ගේ සුවවීමට. ඉතිං, විශ්වාසයේ පදනම මොකද්ද? වෛද්‍යවරියගේ සහ හෙදියන්ගේ පැත්තෙන්, ඒ අය රෝගියා සුවකර ගැනීම සඳහා අවංකව සොයා බලනවා නම් සැලකිලිමත් වෙනවා නම්, එවිට විශ්වාසය එනවා. ඒත් අනෙක් අතට, වෛද්‍යවරිය ප්‍රවීණයෙකු වුණත්, රෝගියාට වෙදකම් කරන්නේ යන්ත්‍රයකට වගේ නම්, එතැන තරමක විශ්වාසයක් තමා ඇති වෙන්නේ. මෙහෙමත් වෙන්නත් පුළුවන්, වෛද්‍යවරියට හුඟාක් අත්දැකීම් තියෙනවා නම් එතැනත් යම් විශ්වාසයක් තියෙනවා. ඒත් වෛද්‍යවරිය වඩාත් කරුණාවන්ත නම් එතැන විශ්වාසය වැඩියි. රෝගීන් වඩා හොඳින් නිදා ගන්නවා, කලබල වෙන්නේ අඩුවෙන්. වඩා ගැඹුරු මට්ටමකදී ඒ අය කලබල වෙනවා නම්, ඒ අය වඩාත් ගැහැටට පත් වෙනවා. ඒ තත්ත්වය ඒ අයගේ සුවවීමට බලපානවා.

ඒත් ඇත්ත වශයෙන් ගැටලු කියන ඒවා ජීවිතයක අනිවාර්යෙන් තියෙනවා.  ශාන්තිදේව කියන ශ්‍රේෂ්ඨ භාරතීය බෞද්ධ ආචාර්යවරයා උපදෙස් දෙනවා, අප ප්‍රශ්නවලට මුහුණ දෙන විට ඒවා විශ්ලේෂණය කර ගන්න අවශ්‍යයි කියා. ඉදින් ඒවා කිසියම් ක්‍රමෝපායකින් මැඩපවත්වන්න පුළුවන් නම් කණගාටු වෙන්න දෙයක් නැහැ, ඒ ක්‍රමෝපාය යොදා ගන්නයි තියෙන්නේ. ඒවා එහෙම මැඩපවත්වන්න බැරි නම්, එතැනත් කණගාටු වෙන්න අවශ්‍ය නැහැ, මොකද එහෙම කළා කියා අපට කිසිදු ප්‍රතිලාභයක් නැහැ. මේ ක්‍රමයට සිතීම බොහොම උපකාරී වන දෙයක්. අපට බරපතල ගැටලු තිබුණත් අප මේ විදිහට හිතනවා නම් අපට පුළුවන් එය අවම කර ගන්න.

අපට අනුන්ගේ රැකවරණය අවශ්‍ය වෙලා තියෙන තාක්, ඒ කියන්නේ අප පුංචි එවුන් කාලේ, අපට සෙනෙහස සහ කරුණාව තියෙනවා. ඒත් අප ලොකු වෙන කොට, වඩා ස්වාධීන වීමත් සමග, අපේ දේවල් කරගන්න කරුණාවට වඩා ආවේගශීලි වීම වඩා වැදගත් කියා හිතන්න නැඹුරු වෙනවා. ඒත් මේ බිලියන හයක් පමණ සියලු මිනිසුන් මව්වරුන්ගෙන් නේ එන්නේ. හැම කෙනෙකුම මව්සෙනෙහසින් ලැබෙන රැකවරණය යටතේ සතුට සහ සෑහීම අත්විඳිනවා. එහෙම නැතිනම්, අම්මාගෙන් නොවේ නම්, අප කුඩා කාලයේදී වෙන කෙනෙකුගෙන් හෝ ඒ සෙනෙහස ලබනවා. අප ලොකු වෙනකොට ටික ටික මේ ගති ගුණ තුනී වෙනවා, අප ආවේගශීලී වෙන්න පෙලඹෙනවා, වැඩියෙන් දාමරිකකම් කරන්න ගිහිං අප හුඟාක් ගැටලු නිර්මාණය කරගන්නවා.

යථාර්ථය දැකීමේ අවශ්‍යතාව

ස්විඩනයේ සිටින එක්තරා විද්‍යාඥයෙකු මට කීවා, හිත කෝපාවිෂ්ට වෙන විට, මොළය කෝපයෙන් පාලනය වන විට, අපේ  කෝපයට ලක් වෙන ඒ භයානක පුද්ගලයාගේ පෙනුම 90%ක්ම මනසින් තමා ප්‍රක්ෂේපණය වෙන්නේ කියා. වෙනත් විදිහකට කීවොත්, ඍණාත්මක බවින් 90%ක්ම මානසික ප්‍රක්ෂේපණයක් තමා. අප කාට හරි ඇලෙනවා නම්, දැඩි කැමැත්තක් ඇති කරගන්නවා නම් මේකම තමා වෙන්නේ. එයිනුත් විශාල ප්‍රතිශතයක් මානසික ප්‍රක්ෂේපණයක් තමා. අප මේ යථාර්ථය දකින්නේ නැහැ. මේ නිසා, මේ යථාර්ථය දැකීම ඉතාම වැදගත්.

තවත් වැදගත් කරුණක් තමා කාටවත්, කරදර අවශ්‍ය නැහැ. එහෙනම් ඇයි කරදර මතු වෙන්නේ? අපේ තියෙන බොළඳකම නිසා, අපේ තියෙන නොදන්නාකම නිසා, අපේ එළඹුමේ වරදක් නිසා, අපට යථාර්ථය පේන්නේ නැහැ. අපට තියෙන සීමාසහිත දැක්මෙන් යථාර්ථයේ සම්පූර්ණ චිත්‍රය දකින්න බැහැ. අප දකින්නේ මාන දෙකක් විතරයි. ඒත් ඒක මදි. අපට දේවල් මාන තුනකින්, හතරකින්, හයකින් දකින්න පුළුවන් වෙන්න ඕනේ. වාස්තවිකව යමක් විමර්ශනය කරන්න, අප මුලින්ම අපේ මනස සංසුන් කරගන්න අවශ්‍යයි.

මෙහිදීද මේ හැම කරුණක්ම තේරුම් ගන්න හිතකර සහ විනාශකාරී මනෝභාවයන් අතර වෙනස වැදගත් වෙනවා. අප ලොකු වෙන කොට, ටික ටික මේ කරුණාව පිළිබඳ ජෛවීය සාධකය ක්ෂය වෙලා යනවා. ඒ නිසා අපට කරුණාව පිළිබඳ අධ්‍යාපනය සහ පුහුණුව අවශ්‍ය වෙනවා එය නැවත මතු කර ගන්න. ඒ කොහොම වුණත් කරුණාව පිළිබඳ ජෛවීය රූපය එක පැත්තකට බර වූ දෙයක්. එය පදනම් වෙලා තියෙන්නේ අනෙක් අයගෙන් සෙනෙහස ලබා ගැනීම කියන කරුණ මත. ඒත් එය පදනමක් ලෙස යොදා ගෙන, ඉන් අනතුරුව අපේ විමර්ශනවලින් තාර්කික සහ විද්‍යාත්මක සාධක එකතු කරගෙන, අපට මේ ජෛවීය මට්ටමින් ඇති කරුණාව ඉදිරියට පවත්වා ගෙන යන්න විතරක් නෙවේ එය වැඩි කරගන්නත් පුළුවන් වෙනවා. ඉතිං මේ විදිහට, පුහුණුව සහ අධ්‍යාපනය මඟින්, සීමිත, එක පැත්තකට නැඹුරු වූ කරුණාවක් බිලියන හයක මිනිසුන්ට හෝ ඊටත් එහාට පතුරුවා හැරීමට තරම් අනන්ත වූ අපක්ෂපාතී කරුණාවක් බවට පත්කරගන්න පුළුවන්.

අධ්‍යාපනයේ වැදගත්කම

මේ හැමදේටම යතුර වෙන්නේ අධ්‍යාපනය. නූතන අධ්‍යාපනය අවධානය යොමු කරන්නේ මොළයේ සහ බුද්ධියේ වර්ධනය ගැන. ඒත් ඒක මදි. සානුකම්පිත හදවත් තිබීමත් අපේ අධ්‍යාපන පද්ධති ඇතුළේ වර්ධනය කරන්න අපට පුළුවන් වෙන්න ඕනැ. අපට මෙය පෙරපාසලේ සිට විශ්වවිද්‍යාලය දක්වා අවශ්‍යයි.

ඇමරිකාවේදී, ඇතැම් විද්‍යාඥයන් කරුණාව සහ සතිපට්ඨානය වැඩි වැඩියෙන් වර්ධනය කරන්න දරුවන්ව පුහුණු කරවීම සඳහා අධ්‍යාපන වැඩසටහන් සංවර්ධනය කර තියෙනවා. මේක හදල තියෙන්නේ මේ ළමයින්ගේ මතුභවය යහපත් කරවන්න හෝ නිර්වාණය අවබෝධ කරවන්න නෙවේ, මේ ජීවිතයේ ඵලප්‍රයෝජනය සඳහා. සමහර විශ්වවිද්‍යාලයවල පවා සානුකම්පිත හදවත් සහ කරුණාව වර්ධනය කරන්න දැනටමත් ඇතැම් අධ්‍යාපන වැඩසටහන් තියෙනවා. එක් පැත්තකට බර නොවුණු එබඳු කරුණාවක් කාගේවත් ගතිපැවතුම් අරමුණු කරගෙන නැහැ, හුදෙක්ම ඔවුන් මිනිසුන් කියන කරුණ මතයි තියෙන්නේ. අප හැමෝම මේ පෘථිවිතලය මත සිටින බිලියන හයක මිනිසුන්ගේ කොටසක්. මෙන්න මේ සමානකම් කියන සාධකය මත පිහිටා හැම කෙනෙකුම අපේ කරුණාව ලැබීමට සුදුසුයි.

ආධ්‍යාත්මික සහ බාහිර අවිහරණය

මානසික සැනසීම සහ ලෝක සාමය උදෙසා අපට ආධ්‍යාත්මික සහ බාහිර කියන දෙවැදෑරුම් අවිහරණයම අවශ්‍යයි. මේකෙන් අදහස් කරන්නේ මෙහෙම දෙයක්. මානසික වශයෙන් අප කරුණාව වර්ධනය කරනවා සහ අවසානයේදී ඒ මත පිහිටා බාහිර වශයෙන් හැමදේම, හැම රටක්ම, ආයුධ බිමතබන තත්ත්වයට ගේන්න අපට පුළුවන් වෙනවා. ඒක හරියට ප්‍රංශ-ජර්මානු යුරෝපා යුද්ධහමුදා බලඇණියේ ඒකාබද්ධ බලසේනාවක් වගේ. ඒක නියමයි. සමස්ත යුරෝපා හවුලටම ඒකාබද්ධ බලසේනාවක් තියේ නම් සාමාජිකයන් අතර අවි ගැටුමක් ඇති වෙන්නේ නැහැ.

වතාවක් බ්‍රසල්ස්වල විදේශකටයුතු ඇමතිවරුන්ගේ රැස්වීමක් තිබුණා. අනාගතයේදී යුරෝපා හවුලේ මූලස්ථානය වඩා නැඟෙනහිර දෙසට ගමන් කරනවා නම්, ඒ කියන්නේ පෝලන්තය වගේ නැගෙනහිර යුරෝපීය රටවලට යනවා නම්, හුඟාක් උපකාරී වේවි කියා මා කීවා. ඊට පසුව අන්තිමේදී, රුසියාවත් ඇතුළු කර ගන්න තරම් එය දිගු වෙනවා නම්, ඊටත් පස්සේ අන්තිමේදී නේටෝ මූලස්ථානය මොස්කව්වලට මාරු වෙනවා නම් හොඳයි. ඒක එහෙම වෙනවා නම්, ඇත්තටම සාමය තියේවි, මේ යුරෝපයේ යුදබිය නැතිවේවි. වර්තමානය වන විට, රුසියාව සහ ජෝර්ජියාව අතර යම් යම් දුෂ්කරතා තියෙනවා. ඒත් අප බලාපොරොත්තු තියා ගන්න ඕනැ.

සාමය දිගින් දිගටම ව්‍යාප්ත කරනවා යන පදනම මත පිහිටා, උදාහරණයක් විදිහට මේ ප්‍රංශයේ තියෙන අවිආයුධ නිෂ්පාදන කර්මාන්තය අන්තිමේදී වහල දාන්න පුළුවන් වේවි. ආර්ථිකය වඩාත් ඵලදායී පැත්තකට යොමු කරන්න අපට පුළුවන් වේවි. උදාහරණයක් කීවෝත්, යුද්ධ ටැංකි වෙනුවට ඒ කර්මාන්තශාලා බුල්ඩෝසර් හදන ඒවා බවට පෙරළන්න පුළුවන් වේවි.

අප්‍රිකානු ජාතීන්ට පවා අපේ උදවු හුඟාක් අවශ්‍යයි. දුප්පත් පෝසත් පරතරය කියන්නේ විශාල ප්‍රශ්නයක්. ලෝකයක් වශයෙන් ගත්තාම පමණක් නෙවේ, ජාතික මට්ටමෙන් ගත්තාමත් මේ දුප්පත් පෝසත් පරතරය හරිම ඛේදනීයයි. උදාහරණයක් විදිහට මේ ප්‍රංශයේමත් දුප්පතුන් සහ පෝසතුන් අතර විශාල විෂමතාවක් තියෙනවා. සමහර මිනිසුන් හාමතට පවා මුහුණ දෙනවා. ඒත් අපි හැමෝම මිනිස්සු. අපට තියෙන්නේ එකවගේ බලාපොරොත්තු, අවශ්‍යතා සහ ගැටලු. මානසික සැනසීම මඟින් ලෝකසාමය සංවර්ධනය කර ගැනීම උදෙසා මේ සෑම කාරණයක් ගැනම අප සලකා බලන්න අවශ්‍යයි.

Top