සර්කොං රින්පෝෂේ: සැබෑ ලාමාවරයා

ජර්මනිය බලා පිටත්වීමට පෙර පරම පූජනීය දලයි ලාමා වහන්සේ හමුවීම

මොංගෝලියාවේ හා බටහිර දේශයන්හි දීර්ඝ දේශන සංචාරයකින් හා සීඝ්‍රගාමී ලේඛන කටයුතු ගණනාවක නියැලීමෙන් අනතුරුව ඉන්දියාවේ ධර්මශාලාව වෙත ආපසු පැමිණියෙමි. හිමාලය කඳුවැටිය පාමුළ පරම පූජනීය දලයි ලාමා වහස්සේ වටා සමූහ වශයෙන් ගොනුව සිටි තිබ්බතීය සරණාගත ප්‍රජාව සමගින් අධ්‍යයන කටයුතු හා වැඩ කටයුතු සිදු කරමින් 1969 වසරේ සිට ජීවත් වූයෙමි. මා හට මාගේ ග්‍රන්ථ කෘතීන් වඩාත් කාර්යක්ෂමව සිදු කරමින් වඩාත් නිතිපතා පදනමකින් බුදු දහම දේශනා කිරීමට හැකිවන පරිදි ජර්මනියේ මූනිච් නගරය වෙත මා සතු දේ ගෙනයාමට සිදුව තිබිණි. මාගේ මෙම තීරණය දලයි ලාමා වහන්සේ වෙත දැනුම් දී උන් වහන්සේගේ උපදෙස් ලබාගැනීමට අදහස් කළෙමි. මාගේ ආධ්‍යාත්මික ගුරුවරයා වශයෙන්, සෙසු අය කෙරෙහි වඩාත් අර්ථාන්විත දායකත්වයක් ලබාදෙමින් මාගේ කාලය වඩාත් ඵලදායී ලෙස ගෙවා දැමීමට හැකිවන පරිදි මාගේ කාලය ගතකළ යුත්තේ කවර ප්‍රදේශයේද යන්න තීරණය කරන ලෙස මා හට උපදෙස් දී තිබිණි. අත්දැකීම මාගේ වඩාත් විශ්වසනීය ගුරුවරයා වනු ඇත.

වසර 29කට පමණ පෙර දලයි ලාමා වහන්සේ මාහට මුණ ගැසුණු අවස්ථාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ඈත නැගෙනහිරදිග භාෂා හා සංස්කෘත සහ ඉන්දියානු අධ්‍යයනයන් පිළිබඳ අධ්‍යයනාංශය සඳහා ආචාර්ය උපාධි නිබන්ධනයක් ලියනු පිණිස ෆුල්බ්‍රයිට් ශාස්ත්‍රාලීය සිසුවෙකු ලෙස ඉන්දියාවට පැමිණ සිටියෙමි. එකල, තිබ්බතීය බුදු දහම උගන්වන ලද්දේ ඊජිප්තු නෂ්ටාවශේෂ අධ්‍යයනය මෙන් මළ විෂයයක් ලෙස අධ්‍යයන කටයුතු සඳහා පමණි. මා හට මෙම ක්ෂේත්‍රය පිළිගත හැක්කක් නොවූ අතර බෞද්ධයෙකු වශයෙන් ජීවත් වෙමින් එ් අනුව සිතන්නට වුවහොත් කවර තත්ත්වයක් ඇතිවනු ඇත්තේදැයි උපකල්පනය කරමින් වසර ගණනාවක් ගත කොට තිබිණි. දලයි ලාමා වහන්සේ මුණ ගැසීමෙන් අනතුරුව, මෙම පෞරාණික සම්ප්‍රදාය තවදුරටත් සජීවීව පවත්නා අතර එය වටහා ගනිමින් එහි ජීවමාන ආදර්ශයක් වන ගුරුවරයෙකුද සිටිනා බවට වූ අවබෝධයෙන් මුසපත් වීමි.

මාස කිහිපයකට පසු දලයි ලාමා වහන්සේ වෙතින් මා හට නිර්ව්‍යාජ දේශනාවන් ඉගෙනීමේ හා පුහුණු වීමේ අවස්ථාව ලබා දෙන ලෙස වූ ඉල්ලීමද සමගින් උන් වහන්සේ වෙත කැප වීමි. උන් වහන්සේ වෙත සේවය කිරීමේ අපේක්ෂාවෙන් සිටි මා එම කාර්යය සිදු කළ හැක්කේ මාගේම ආධ්‍යාත්මික ප්‍රගතිය උදාකර ගැනීම සඳහා දරන්නාවූ වෙහෙස තුළ පමණක්ය යන කරුණද දැන සිටියෙමි. දලයි ලාමා වහන්සේ විසින් මෙම ඉල්ලීම කාරුණිකව පිළිගන්නා ලදී. අවසන, උන් වහන්සේ වෙත වරින් වර සේවය කළ භාෂා පරිවර්තකවරුන් අතරින් අයෙකු ලෙස සේවය කිරීමේ වරප්‍රසාදය ලත් මම ලොව පුරා සිටි ආධ්‍යාත්මික ගුරුවරුන් හා ශාස්ත්‍රීය ආයතන සමග උන් වහන්සේ සම්බන්ධ කිරීමට උපකාර කිරීමේ වරප්‍රසාදයද ලදිමි.

යුරෝපාකරය කරා මාගේ පදනම විතැන් කිරීම සඳහා වූ තීරණය කෙරෙහි සතුටට පත් දලයි ලාමා වහන්සේ මා ලිවීමට අදහස් කරන ඊළඟ කෘතිය කවරේදැයි විමසූ සේක. ආධ්‍යාත්මික ගුරුවරයෙකු සමගින් පවත්නා සම්බන්ධය පිළිබඳ ලිවීමට අදහස් කරන බව පැවසීමි. ධර්මශාලාහි දලයි ලාමා වහන්සේ සමගින් බටහිර බෞද්ධ ගුරු ජාලය විසින් පවත්වන ලද රැස්වීම් තුනට සහභාගි වී එ්වන විට මෙම විෂයය සම්බන්ධව බටහිර ජාතීන් මුහුණ දෙන ගැටළු හා බැඳි දලයි ලාමා වහන්සේගේ අදහස පිළිබඳ මනාව දැනුවත්ව සිටියෙමි. මේ අවස්ථාවේ දලයි ලාමා වහන්සේ විසින් එක් කරන ලද සුවිශේෂී විවේචනය වූයේ සැබෑ ලෙසම සුදුසුකම් ලත් ගුරුවරුන් සංඛ්‍යාව ඉතා සීමිත ගණනක් වීම ගැටලුවේ මූලය බවයි.

බෞද්ධ ගුරුවරයෙකු බවට පත්වීම සම්බන්ධ සර්කොං රින්පෝෂේගේ උපදේශය පිළිබඳ විමසා බැලීම්

ශ්‍රවණාගාරයෙන් නික්මුණු අවස්ථාවේදී මාගේ පළමු ප්‍රතිචාරය වූයේ බෞද්ධ ගුරුවරයෙකු බවට පත්වීම සඳහා මා සපුරා ඇති සුදුසුකම් කවරේද යන්න විමසා බැලීමයි. වසර ගණනාවක් පුරා ඉන්දියාවේ විප්‍රවාසීන්ව සිටි සුවිශේෂී තිබ්බතීය ගුරුවරුන් කිහිප දෙනෙකු සමගින් පුහුණු වීමේ සුවිශේෂී වරම ලද්දෙමි. මෙතුළට පරම පූජනීය දලයි ලාමා වහන්සේ පමණක් නොව උන් වහන්සේගේ අභාවප්‍රප්ත ගුරුවරුන් තිදෙනාද, තිබ්බතීය සම්ප්‍රදායන් කිහිපයක ප්‍රධානීන්ද ඇතුළත් විය. ඔවුන් හා සසඳා බලන කල, මා හට සුදුසුකම් නොතිබූ තරම්ය. කෙ‌සේ වුවද, 1983 වසරේදී දලයි ලාමා වහන්සේගේ ප්‍රධාන විවාද සගයා වූ ශෙන්ෂැබ් සර්කොං රින්පෝෂේ නම් වූ මාගේ ප්‍රධාන ගුරුවරයා විසින් ලබාදුන් උපදේශයක් සිහියට නඟා ගතිමි.

රින්පෝෂේ තුමාගේ දෙවන ලෝක චාරිකාවේදී එතුමාගේ කථා පරිවර්තකවරයා වශයෙන් හා ලේකම්වරය වශයෙන්ද සංචාරය කළ මා වෙනිසියුලාවේ කරකාස් වෙත කළ කෙටි සංචාරයකින් අනතුරුව ආපසු පැමිණ සිටියෙමි. රින්පෝෂේ විසින් සිදුකරන ලද දිරිගැන්වීමට අනුව, එහි අලුතින් ඇතිකළ බෞද්ධ කණ්ඩායමකට ඉගැන්වීමේ ආරාධනාවක් පිළිගත්තෙමි - එය මාගේ පළමු කාර්ය නියුක්තිය විය. දින කිහිපයක් විවේක ගනු පිණිස රින්පෝෂේ නිව් ජර්සිහි ගේෂේ වංයාල්ගේ ආරාමයේ නැවතිණි. ගැඹුරින් දහම් කරුණු එතුමා වෙතින් ඉගැනීමේ අවස්ථාවක් මා වෙත කිසිදින නොලැබුණද රුසියානු ජාතික කැල්මික් මොංගෝලිවරයෙකු වූ ගේෂේ වංයාල් යනු 1967 තරම් ඈත අතීතයේදී මා හමුවූ  තිබ්බතීය සම්ප්‍රදායට අයත් පළමු ගුරුවරයා විය.

මා ආපසු පැමිණි පසු මා කෙතරම් දුරට සාර්ථක වීද යන පැනය රින්පෝෂේ තුමා විසින් නොවිමසන ලදී. මෙය එතුමාගේ සාමාන්‍ය ක්‍රමය වූ බැවින් එය මටද විශ්මයට කරුණක් නොවීය. සතියකට පසුව, ලන්ඩන් නුවරදී රාත්‍රී ආහාරයෙන් අනතුරුව මුළුතැන්ගේ මේසයක් වටා හිඳ සිටින අතර, "මතු අනාගතයේදී ඔබ ප්‍රසිද්ධ ගුරුවරයෙකු බවට පත්වී ඔබගේ සිසුන් විසින් ඔබ බුදුවරයෙකු සේ සලකන්නට වන විටදී, ඔබ බුද්ධත්වයට පත්ව නොමැති බව ඔබ හොඳින්ම දන්නා තැනෙකදී, ඔබගේම ගුරුවරුන් වනුයේද බුදුවරුන්ය  යන විශ්වාසය එමගින් සොළවාලන්නට අවකාශ නොදෙන්න"යි පවසා සිටියේය. එතුමා ප්‍රකාශ කළේ එපමණි. ඉන්පසු අප දෙදෙනාම නිහඬ වීමු. මෙම වදන්වල පවත්නා ගැඹුර වටහා ගැනීමට වසර ගණනාවක් ගතවිය.

රින්පෝෂේ "සැබෑ ලාමාවරයෙකු" බවට වූ ලාමා ෂෝපාගේ සාක්ෂිය

ඔබට සැබෑ ලාමාවරයෙකු මුණ ගැසීමට අවශ්‍ය නම් එ් සඳහා ඇති හොඳම නිදසුන ෂෙන්ෂැබ් රින්පෝෂේ බව බටහිරවාසී ජනප්‍රිය තිබ්බතීය බෞද්ධ ගුරුවරයෙකු වන ලාමා ෂෝපා රින්පෝෂේ විසින් ප්‍රකාශ කරන ලදී. මෙහිදී ලාමා ෂෝපා විසින් 'ලාමා' යන තිබ්බතීය වදන හුදෙක් එහි සරල අරුතින් ගෙන භික්ෂුවක හෝ හුදෙක් තීව්‍ර භාවනා පුහුණුව වසර තුනක කාලයක් සම්පූර්ණ කරන ලද අයෙකු හැඟවීම පිණිස නොයොදන ලදී. "ලාමාවරයෙකුගේ ප්‍රතිඋත්පත්තිය" හෙවත් සිය පුනරුත්පත්තිය දිශාගත කිරීමේ හැකියාව සහිතව 'රින්පෝෂේ' යන නාමය දරන අයෙකුය යන අදහසින්ද මෙහිදී එතුමා විසින් එම යෙදුම නොයොදන ලදී. උන් වහන්සේ 'ලාමා' යන වදන යොදන ලද්දේ එම වචනයේ මූලික අදහස එන පූර්ණ වශයෙන් සුදුසුකම් ලත් ආධ්‍යාත්මික ගුරුවරයා යන අරුතිනි. එබැවින්, එවන් ගුරුවරයෙකු වීම යන්නෙන් අදහස් කරන්නේ කවරක්ද හා සිසුවෙකු වශයෙන් යමෙකු හඳුන්වන්නේ කවරාකාරවද යන්නෙහි අරුත පැහැදිලි කිරීම ඇරඹීමේ ප්‍රයෝජනවත් විධියක් වනුයේ වචනාර්ථයෙන් සර්කොං රින්පෝෂේගේ හා එතුමා සමග මා පවත්වන ලද සම්බන්ධතාවය පිළිබඳ රුවක් මවා පෙන්වීමයි. මෙම කාර්යය රූපක හා සිහිවටන සමූහයක් ආශ්‍රයෙන් සිදු කරන්නෙමි.

Top