ආධ්‍යාත්මික ගුරුවරයෙකු සමගින් ඉගෙනීම

ආධ්‍යාත්මික සිසුන් හා ආධ්‍යාත්මික ගුරුවරුනට අදාළ බොහෝ මට්ටම් පවතී. ශිෂ්‍යභාවය අපේක්ෂා කරන්නවුන් විසින් තමා හා/ හෝ තම ගුරුවරුන් ඔවුන් පිළිබඳව සැබෑ ලෙස පවත්නා සුදුසුකම් මට්ටමට ඉහළ සුදුසුකම් සහිත වූවන් සේ සලකන විටදී හෝ ඔවුන් විසින් ගුරුවරයා චිකිත්සකවේදියෙකු ලෙස සලකන විටදී බොහෝ ව්‍යාකූලත්වයන් ඉස්මතු‌ වේ. නිර්ව්‍යාජ අන්තර් දර්ශනයකින් හා යථාවාදී විමසා බැලීමකින් අනතුරුව අපගේ සැබෑ මට්ටම විමසා දැනගත් විටදී අපට මනා ගුරු-සිසු සබඳතාවයක් ගොඩනගාගත හැක.

ආධ්‍යාත්මික ගුරු - සිසු සම්බන්ධතාවය පිළිබඳ ප්‍රත්‍යක්ෂමූල කරුණු 

ආධ්‍යාත්මික ගුරු-සිසු සබඳතාවය පිළිබඳ ව්‍යාකූලත්වයන් මඟ හරවනු පිණිස ඇතැම් ප්‍රත්‍යක්ෂමූල කරුණු පිළිගැනීමට සිදුවේ:

  1. සියලුම ආධ්‍යාත්මික මාර්ග ගවේෂකයන් විසින් පාහේ ආධ්‍යාත්මික මාර්ගයෙහි අදියරෙන් අදියර ඉදිරි ගමනක නිරතවන බව
  2. බොහෝ පිළිවෙත් පුරන්නන් විසින් සිය ජීවිත කාලය තුළ ගුරුවරුන් ගණනාවකගෙන් ඉගෙනීම් සිදුකරන අතර එ් එක් එක් ගුරුවරයා සමගින් එකිනෙකට වෙනස් සම්බන්ධතාවයන් ගොඩනගා ගන්නා බව
  3. සෑම ආධ්‍යාත්මික ගුරුවරයෙකුම එකම සාර්ථකත්ව මට්ටමක් සාක්ෂාත් කොටගෙන නොමැත්තේය යන කරුණ
  4. නිශ්චිත ආධ්‍යාත්මික මාර්ග ගවේෂකයෙකු හා නිශ්චිත ගුරුවරයෙකු අතර පවත්වා ගැනීමට සුදුසු සම්බන්ධතාවයේ ස්වරූපය එකිනෙකාගේ ආධ්‍යාත්මික මට්ටම මත රඳා පවතින බව
  5. සාමාන්‍යයෙන් පුද්ගලයෝ සිය ආධ්‍යාත්මික මාර්ගයෙහි ලබන්නාවූ ප්‍රගතියත් සමගින් ක්‍රමිකව වර්ධනය වන ආකාරයන්ගෙන් සිය ගුරුවරුන් හා සම්බන්ධ වෙති.
  6. එක් එක් ආධ්‍යාත්මික ගවේෂකයාගේ ආධ්‍යාත්මික ජීවිතය තුළ එකම ගුරුවරයා විවිධ කාර්ය භාරයන් ඉටුකළ හැකි බැවින්, එම ගුරුවරයා සමගින් එක් එක් ගවේෂකයා තුළ පැවතිය හැකි සම්බන්ධතාවය එකිනෙකට වෙනස්විය හැක.

ආධ්‍යාත්මික ගුරුවරුන්ගේ හා ආධ්‍යාත්මික ගවේෂකයන්ගේ මට්ටම්

මේ අනුව, ආධ්‍යාත්මික ගුරුවරුන් හා ආධ්‍යාත්මික ගවේෂකයන් සම්බන්ධ බො‌හෝ මට්ටම් පවතී. 

  • විශ්වවිද්‍යාලයකදී මෙන් තොරතුර ලබාදෙන බුද්ධ ධර්මය පිළිබඳ මහාචාර්යවරු
  • ධර්මය ජීවිතයට අදාළ කරගන්නා ආකාරය පෙන්වන දහම් උපදේශකවරු
  • ටයිචි හෝ යෝග හා සමාන ක්‍රම උගන්වන භාවනා පුහුණුකරුවන්
  • ගිහි හෝ භික්ෂු ශික්ෂාපද, බෝධිසත්ව ශික්ෂාපද හෝ තන්ත්‍ර ශික්ෂාපද වශයෙන් ශිෂ්‍යයා වෙත ලබාදෙනු ලබන ශික්ෂාපද මට්ටමට අනුව එකිනෙකින් වෙන් වන්නාවූ ආධ්‍යාත්මික මැදිහත්කරුවන්

වෙති.

එ් අනුව, 

  • තොරතුරු ලබාගැනීමට අපේක්ෂා කරන බුද්ධ ධර්මය ඉගෙන ගන්නා සිසුන්
  • ධර්මය ජීවිතයට අදාළ කරගන්නා ආකාරය ඉගෙනීමට කැමැත්තක් දක්වන දහම් සිසුන්
  • ඉහිල් වීම හෝ චිත්ත පුහුණුවට අදාළ විධික්‍රම ඉගෙනීමට කැමැත්තක් දක්වන්නාවූ භාවනා අභ්‍යාසලාභීන්
  • මතු ජීවිත වැඩිදියුණු කරගැනීමට, අර්හත්ව ඵලය සාක්ෂාත් කරගැනීමට හෝ බුද්ධත්වය සාක්ෂාත් කරගැනීමට අපේක්ෂා කරන්නාවූ හා මෙම අරමුණු සාක්ෂාත් කරගනු පිණිස යම් ශික්ෂාපද මට්ටමකට එළැඹීමට සූදානම්ව සිටින අනුගාමිකයන්. (අනුගාමිකයන් මෙම ජීවිත කාලය වැඩිදියුණු කරගැනීටම අපේක්ෂා කළද, ඔවුහූ මෙය අර්හත්වය හෝ බුද්ධත්වය කරා වූ පිය ගැටයක් සේ දකිති.)

වෙති.

සෑම මට්ටමක් තුළම එයට අදාළ සුදුසුකම් පවත්නා අතර, ආධ්‍යාත්මික මාර්ග ගවේෂකයෙකු වශයෙන්, ආසියානු හෝ බටහිර, භික්ෂුවක, භික්ෂුණියක හෝ ගිහියෙකුද යන්න, අධ්‍යාපනික මට්ටම, පරිණතභාවයට අදාළ භාවමය හා ආචාර ධාර්මික මට්ටම, කැපවීම් මට්ටම ඈ වශයෙන් වූ අපගේ පෞද්ගලික හා ගුරුවරයාගේද පසුබිම සැලකිල්ලට ගත යුතු වේ. එබැවින්, ක්‍රමිකව හා ප්‍රවේශම්කාරී ලෙස ඉදිරියට ගමන් කිරීම වැදගත් වේ.

භව්‍ය අනුගාමියෙකුගේ හා භව්‍ය ආධ්‍යාත්මික ගුරුවරයෙකුගේ සුදුසුකම් 

භව්‍ය අනුගාමිකයෙකු ලෙස, අප සූදානම්ව නොමැති සම්බන්ධතාවයකට කැප නොවනු පිණිස අපට අපගේ පෞද්ගලික සංවර්ධන මට්ටම පිරික්සා බැලීමට සිදුවේ. අනුගාමිකයෙකු හට අවශ්‍ය ප්‍රධාන ගුණාංග වනුයේ:

  1. සිය පෞද්ගලික පූර්ව සංකල්පනා හා මතයනට ඇලී සිටීමකින් තොරව විවෘත මනසක් ඇති බව
  2. නිවැරදි හා නිවැරදි නොවන දේ අතර වෙනස වටහා ගැනීමේ සාමාන්‍ය දැනීම
  3. දහම හා නිසි සුදුසුකම් සහිත ගුරුවරයෙකු සොයාගැනීම උදෙසා පවත්නා දැඩි ඇල්ම
  4. ධර්මයට හා මනා සුදුසුකම් සහිත ගුරුවරුන් උදෙසා පවත්නා ඇගයීම හා ගෞරවය
  5. අවධානය සහිත මනසක්
  6. භාවමය පරිණතභාවය හා ස්ථාවරත්වයට අදාළ මූලික මට්ටමක්
  7. ආචාර ධාර්මික වගකීම සම්බන්ධ මූලික හැඟීමක්

ගුරුවරයාගේ මට්ටමට අනුව, ඔහු හෝ ඇය තුළ වඩ වඩාත් වර්ධනය වන සුදුසුකම් පැවතිය යුතුවේ. පොදුවේ ප්‍රධාන එ්වා වනුයේ:

  1. සිය ආධ්‍යාත්මික ගුරුවරුන් සමගින් සෞඛ්‍ය සම්පන්න සම්බන්ධතාවයක් පවත්වා ගැනීම
  2. ශිෂ්‍යයා ඉක්මවූ දහම් දැනුමක්
  3. එ් හා අදාළ විධික්‍රම භාවනාවේදී හා එදිනෙදා ජීවිතයේදී භාවිත කිරීමෙහි ලා පවත්නා අත්දැකීම හා යම් මට්ටමක සාර්ථකත්වයක්
  4. ධර්මය ජීවිතයට යෙදීමෙන් අත්පත්වන ප්‍රයෝජනවත් ප්‍රතිඵල විෂයයෙහි අනුප්‍රාණය දනවන සුළු ආදර්ශයක් බවට පත්වීමේ හැකියාව. මින් අදහස් වනුයේ පහත සඳහන් සාධකයන්හි පවත්නා බවයි:
  5. ආචාර ධාර්මික ස්වයං ශික්ෂණය
  6. දළ භාවයම ගැටලුවලින් නිදහස්වීම පාදක කොටගත් භාවමය පරිණතභාවය හා ස්ථාවරත්වය
  7. ඉගැන්වීමට අදාළ මූලික අභිප්‍රේරණය වශයෙන් ශිෂ්‍යයන් වෙත යහපත සැලසීමේ අවංක අභිලාශයක්
  8. ඉගැන්වීමෙහිදී දක්වන ඉවසීම
  9. ව්‍යාජ ඇඟවීම්වලින් තොරවීම (තමා සතු නොවන ගුණාංග පවත්නා බවට නොඇඟවීම) හා කුහකත්වයෙන් තොරවීම (දැනුවත්භාවයෙන් හා අත්දැකීම්වලින් තොර බව වැනි තමා තුළ පවත්නා දෝෂ සහගත තත්ත්වයන් නොසැඟවීම)

යන කරුණුය.

අපගේ නගරයේ ජීවත්වන ගුරුවරුන් සතුව පවත්නා සුදුසුකම් මට්ටම, අප සතු කාලය හා කැපවීම, අපගේ ආධ්‍යාත්මික අරමුණු (පරමාදර්ශීව නොවුවද යථාර්ථවාදීව ‘සියලු සත්ත්වයන් වෙත යහපත සැලසීම’) ආදී වශයෙන් පවත්නා යථා තත්ත්වයට දේවල් ගැලපිය යුතුවේ. ආධ්‍යාත්මික සම්බන්ධතාවයකට කැපවීමට පෙර භව්‍ය ගුරුවරයාගේ සුදුසුකම් පරීක්ෂාකර බැලුවහොත්, ගුරුවරයා දෙවියෙකු හෝ යක්ෂයෙකු ලෙස දැකීමේ අන්තයන්ගෙන් වැළකී සිටිය හැක. ආධ්‍යාත්මික ගුරුවරයා දෙවියෙකු බවට පත්කරන විටදී, අපගේ නියාලු ස්වරූපය තුළින් අප අපයෝජනයට විවෘත කරවනු ලබයි. ඔහු හෝ ඇය රාක්ෂයෙකු බවට පත් කළහොත් අපගේ මතිභ්‍රමය තුළ අපට නිසි ඵල නෙලා ගැනීමේ හැකියාව වළක්වනු ලබයි.

ආධ්‍යාත්මික උපදේශකයෙකුගේ ශ්‍රාවකයෙකු වීම හා චිකිත්සකවේදියෙකුගේ සේවාදායකයෙකු වීම අතර පවත්නා වෙනස

ආධ්‍යාත්මික උපදේශක චිකිත්සකවරයෙකු මෙන් විය යුතුය යන පැතුම ආධ්‍යාත්මික ගුරු-සිසු සබඳතාවය ආශ්‍රිත ව්‍යාකූලත්වයේ එක් ප්‍රධාන මූලාශ්‍රයක් වේ. නිදසුනක් ලෙස, සිය ජීවිතයේ ඉතිරි කාලය තුළ භාවමය සතුට හා මනා සම්බන්ධතාවයන් ඇතිකර ගැනීමේ අභිලාශයෙන් පසුවන්නෙකු සලකා බලන්න. මෙම අරමුණ සාක්ෂාත් කරගනු පිණිස ආධ්‍යාත්මික උපදේශකවරයෙකු ගේ ශ්‍රාවකයෙකු බවට පත්වීම බොහෝ පාර්ශ්වයන්ගෙන් එම අරමුණ උදෙසාම චිකිත්සකවරයෙකුගේ සේවාදායකයෙකු වීමට සමාන තත්ත්වයක් වේ.

බුදු දහම හා චිකිත්සාව යන විෂයයන් දෙකම:

  1. අපගේ ජීවිතය තුළ පවත්නා දුක හඳුනාගෙන පිළිගනිමින් එ් උදෙසා සහනයක් සැලසීමේ අපේක්ෂාව තුළින් ඉස්මතු වේ
  2. අපගේ ගැටලු හා එ්වාහි හේතු සාධක හඳුනා ගනිමින් වටහා ගැනීම උදෙසා යම් කිසිවෙකු සමගින් කටයුතු කිරීමට අවශ්‍ය විෂයයන් වේ. සැබැවින්ම චිකිත්සාව බොහෝ ආකෘතීන් තුළ අවබෝධය ආත්ම විපරිවර්තනයේ මූලික අවශ්‍යතාවයය යන කරුණෙහිදී බුදු දහම හා එකඟ වේ.
  3. අපගේ ගැටලුවලට හේතු, මෙම සාධක මැඩ පැවැත්වීමේ ප්‍රායෝගික විධික්‍රම අනුගමනය කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරන්නාවූ සම්ප්‍රදායන්, හා මෙම ප්‍රවේශයන් දෙකෙහි සමබර සංකලනයක් නිර්දේශ කරන්නාවූ ක්‍රම ගැඹුරින් වටහාගත යුතු බවට අවධාරණය කරන්නාවූ චින්තන ගුරුකුල ඇතුළත් වේ.
  4. ආත්ම සංවර්ධන ක්‍රියාවලියේ වැදගත් කොටසක් වශයෙන් උපදේශක ‌හෝ චිකිත්සක සමග සෞඛ්‍ය සම්පන්න භාවමය සම්බන්ධතාවයක් ස්ථාපනය කරගත යුතු බවට උපදෙස් දෙනු ලබයි.
  5. බොහෝ සම්භ්‍යාව්‍ය චිකිත්සක ක්‍රම තුළ සේවාදායකයාගේ චර්යාවන් හා චින්තන රටාවන් වෙනස් කරලීම උදෙසා ආචාර ධාර්මික මාර්ගෝපදේශ භාවිත කිරීමෙන් වැළකී සිටින නමුදු, පශ්චාත්-සම්භාව්‍ය ගුරුකුල කිහිපයක් තුළ බුදු දහමට සමාන ආචාර ධාර්මික මූලධර්මයන් නිර්දේශ කෙරේ. එම මූලධර්ම තුළට දුෂ්කෘතික හෙවත් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක නොවන පවුලක සියලු සාමාජිකයන් වෙත සමාන සාධාරණත්වයකින් සැලකීම හා ද්වේෂය වැනි විනාශකාරී හැඟීම් ක්‍රියාත්මක මට්ටමට මතුවීමේ අවකාශයන් වැළකීමද ඇතුළත් වේ.

මෙම සමානකම් එසේ පැවතියද, බෞද්ධ උපදේශකයෙකුගේ ශ්‍රාවකයෙකු වීම හා චිකිත්සකවරයෙකුගේ සේවාදායකයෙකුවීම අතර අවම වශයෙන් වැදගත් වෙනස්කම් පහක් අන්තර්ගත වේ:

(1) පුද්ගලයා සම්බන්ධතා ස්ථාපනය කරගන්නා භාවමය මට්ටම. ශක්‍ය සේවාදායකයෝ භාවමය කැළඹිල්ලකට පත්ව ඇති විටදී පොදුවේ චිකිත්සකවරයෙකු හමුවීමට යති. ඔවුන් ඇතැම් විට මානසික රෝගීන් පවා විය හැකි අතර එම සත්කාරයේ කොටසක් වශයෙන් ඖෂධ නිර්දේශ කිරීමක් පවා අවශ්‍ය විය හැක. එනමුදු භව්‍ය ශ්‍රාවකයෝ මෙයට වෙනස් මගක යමින් සිය ආධ්‍යාත්මික මාර්ගයන්හි පළමු පියවර වශයෙන් උපදේශකවරයෙකු සමගින් සම්බන්ධතාවයක් ස්ථාපනය කර නොගනිති. මෙයට පෙර, ඔවුන් විසින් බුදුන් වහන්සේගේ දේශනා අධ්‍යයනය කර ඇති අතර ආත්ම ශෝධන කාර්යය පෞද්ගලිකවම ආරම්භ කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුහූ ප්‍රමාණවත් මට්ටමක භාවමය පරිණතභාවයක් හා ස්ථාවරත්වයක් අත්පත් කරගෙන ඇති අතර එබැවින් වචනයේ බෞද්ධ දාර්ශනික අර්ථයට අනුව ඔවුන් විසින් ස්ථාපනය කරන්නාවූ ශ්‍රාවක-උපදේශක සම්බන්ධතාවය ධනාත්මක එකක් වේ. වෙනත් අයුරකින් ප්‍රකාශ කරන්නේ නම් බෞද්ධ ශ්‍රාවකයෝ මේවන විටද සාපේක්ෂ වශයෙන් නියුරෝසික ආකල්ප හා චර්යාවන්ගෙන් නිදහස් පුද්ගලයන් විය යුතුය.

(2) සම්බන්ධතාවය තුළ අපේක්ෂිත අන්තර් ක්‍රියාකාරිත්වය. භව්‍ය සේවාදායකයෝ බොහෝ විට සිය අදහස්වලට ඇහුම්කන් දීම අපේක්ෂා කරති. එබැවින්, කණ්ඩායම් චිකිත්සා සන්දර්භයක් තුළ පවා චිකිත්සක විසින් තමා ප්‍රකාශ කරන කරුණුවලට සාවධානයෙන් ඇහුම්කන් දීමක් හා සිය පුද්ගලික ගැටලුවලටද අවධානය යොමු කිරීමක් ඔවුහූ අපේක්ෂා කරති. මෙයට ප්‍රතිවිරුද්ධව ශ්‍රාවකයන් විසින් සාමාන්‍යයෙන් සිය පුද්ගලික ගැටලු උපදේශකවරුන් වෙත ප්‍රකාශ නොකරන අතර පුද්ගලික මට්ටමේ අවධානයක් අපේක්ෂා කිරීමක් හෝ ඉල්ලා සිටීමක්ද සිදු නොකරති. පුද්ගලික උපදෙස් උදෙසා උපදේශක හමු වුවද, ඔවුහූ නිතිපතා ඔහු හමුවීමට නොයති. සම්බන්ධතාවයේ අවධානය යොමු කෙරෙනුයේ දේශනාවනට සවන්දීම සම්බන්ධයෙනි. බෞද්ධ ශ්‍රාවකයෝ මූලික වශයෙන් සෑම දෙනා විසින්ම මුහුණ දෙනු ලබන පොදු ගැටලුවලට මුහුණ දීම සඳහා අවශ්‍ය විධික්‍රම සිය උපදේශකයන් වෙතින් උගනිති. ඉන් පසු එම විධික්‍රම තම තමාට සුවිශේෂී වූ අවස්ථාවනට අදාළ කිරීමේ පෞද්ගලික වගකීම ඔවුන් විසින් භාරගනු ලබයි.

(3) ක්‍රියාකාරී සම්බන්ධතාවයකින් අපේක්ෂිත ප්‍රතිඵල. චිකිත්සාව තුළ අපගේ ජීවිතයේ පවත්නා ගැටලු පිළිගනිමින් එ්වා සමග ජීවත්වීමේ හෝ එ්වා දරාගත හැකි මට්ටමක් දක්වා අවම කිරීමේ විධික්‍රම ඉලක්ක කරනු ලබයි. මෙම ජීවිත කාලය තුළ භාවමය යහසාධනය අත්පත් කරගැනීමේ අදහසින් බෞද්ධ ආධ්‍යාත්මික උපදේශකවරයෙකු වෙත පිවිසියහොත්, අප විසින්ද අපගේ ගැටලු අවම කරගැනීමක් අපේක්ෂා කරනවා විය හැක. බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද පළමු ආර්ය සත්‍යය හෙවත් ජීවිතයේ පළමු සත්‍යය ප්‍රකාර ජීවිතය දුෂ්කර එකක් වුවද, අපට එහි පවත්නා දුෂ්කරතාවය අවම කරගත හැක.

කෙසේ වුවද, අපගේ ජීවිත තුළ පවත්නා භාවමය දුෂ්කරතාවය අවම කරගැනීම වූකලි සම්භාව්‍ය බෞද්ධ මාර්ගයට පිවිසිමේ මූලික පියවරක් පමණි. ආධ්‍යාත්මික උපදේශකයන්ගේ ශ්‍රාවකයෝ අවම වශයෙන් සුගති තලයන්හි උත්පත්තිය, අර්හත්වය හා බුද්ධත්වය යන ශ්‍රේෂ්ඨ හා උසස් අරමුණු කෙරෙහි නැඹුරු වූවෝ හෝ විය යුතුය. තවද, බුදු දහම තුළ විස්තර කර ඇති පරිදි බෞද්ධ ශ්‍රාවකයන් තුළ පුනරුත්පත්තිය පිළිබඳ බුද්ධිමය අවබෝධයක් හාඅවම වශයෙන් එහි පැවැත්ම පිළිබඳ තාවකාලික හෝ පිළිගැනීමක්ද පැවතිය යුතු වේ. චිකිත්සා සේවාදායකයන් හට තමා ආශ්‍රිතව එ් මොහොතේ පවත්නා තත්ත්වයන් ඉක්මවා ගොස් පුනරුත්පත්තිය හා ඉන් ඔබ්බට පවත්නා ඉලක්ක පිළිබඳ සිතීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැත.

(4) ආත්ම පරිවර්තනය කරා කැපවීමේ මට්ටම. චිකිත්සක සේවාදායකයෝ ලබාගත් සිය සේවයට අදාළව ගාස්තුවක් ගෙවන නමුදු ජීවිත කාලය පුරා විහිදෙන පරිදි ආකල්පමය හා චර්යාත්මක පරිවර්තනයක් කරා කැප නොවෙති. මෙයට ප්‍රතිපක්ෂව බෞද්ධ ශ්‍රාවකයන් විසින් ගාස්තු ගෙවීම හෝ නොගෙවීම සිදුකළ හැකි අතර සිය ජීවිතයේ දිශානතිය විධිමත් පරිවර්තනයකට භාජනය කරවති. ආරක්ෂිත දිශානතිය ගැනීම හෙවත් සරණ යාම තුළ, ශ්‍රාවකයෝ බුදුන් වහන්සේ විසින් පූර්ණ ලෙස අත්හදා බලන ලදුව දේශනා කරන ලද හා උසස් අවබෝධ මට්ටම්වලට ළඟාවූ ආධ්‍යාත්මික සමාජය විසින් අනුගමනය කිරීමට උත්සාහ කරන්නාවූ ආත්ම සංවර්ධන ක්‍රියාවලියට කැපවෙති.

තවද, බෞද්ධ ශ්‍රාවකයෝ ජීවිතයේ ආචාර ධාර්මික වූද ධනාත්මක වූද කායික, වාචසික හා චෛතසික ක්‍රියාවලියකට කැපවෙති.  හානිකර හෙවත් පාපකාරී රටාවන්ගෙන් වැළකී සිටීමට හැකි සියලු උත්සාහයන් ගන්නා ඔවුහූ එ් වෙනුවට ධනාත්මක හෙවත් කුසල කාර්ය රටාවන්හි නිරත වීමට උත්සාහ කරති. සංසාරයේ නැවත නැවතද ඉස්මතුවන ගැටලුවලින් අත් මිදීමේ අවංක අපේක්ෂාවන් පෙරදැරි කරගත් විටදී ශ්‍රාවකයෝ විධිමත් පරිදි ගිහි හෝ පැවිදි ශික්ෂාපද සමාදන් වෙමින් වඩාත් ඉහළ තලයක කැපවීමක් සිදු කරති. ආත්ම සංවර්ධනයේ මෙම අදියරේදී ශ්‍රාවකයන් විසින් ස්වභාවිකවම පාපකාරී හා විනාශකාරීද වන හෝ නිශ්චිත අවශ්‍යතාවයන් උදෙසා නිශ්චිත පුද්ගලයන් විසින් වැළකී සිටිය යුතු බවට බුදුන් වහන්සේ විසින් පනවන ලද නිශ්චිත චර්යා රටාවන්ගෙන් ජීවිත කාලය පුරා වැළකී සිටින බවට වූ ශික්ෂාපද සමාදන් වෙති. මෙහිදී බුදුන් වහන්සේ විසින් පනවන ලද ශික්ෂාපදයනට නිදසුනක් ලෙස ඇල්ම අවම කරනු පිණිස භික්ෂූන් විසින් ගිහි ඇඳුමින් බැහැර වී එ් වෙනුවට චීවර දැරීම දැක්විය හැක. පූර්ණ විමුක්තිය උදෙසා වූ පැතුම ගොඩනගා ගැනීමට පෙර පවා නිරතුරු ශ්‍රාවකයෝ ගිහි හෝ පැවිදි ශික්ෂාපද සමාදන් වෙති.

චිකිත්සක සේවාදායකයෝ මෙයට වෙනස්ව යමින් විනාඩි පනහේ වෙන්කරගත් කාල සීමාවනට අනුගත විම වැනි චිකිත්සක ගිවිසුමේ කොටසක් වශයෙන් යම් නිශ්චිත කාර්ය පරිපාටිමය රීති අනුගමනය කිරීමට එකඟ වෙති. කෙසේ වුවද, මෙම රීති අදාළ වනුයේ සත්කාරයන් සිදු කෙරෙන කාල සීමාවට පමණි. එ්වා චිකිත්සක පරිශ්‍රයෙන් පිටතදී අදාළ නොවන අතර ස්වභාවිකවම පාපකාරී හෙවත් විනාශකාරී චර්යාවන්ගෙන් වැළකී සිටීමක් එතුළ අන්තර්ගත නොවන අතර, නිර්දේශිත චර්යාවන්ද ජීවිත කාලය පුරා අනුගමනය කළ යුතු ද නොවේ.

(5) ගුරුවරයා ‌හෝ චිකිත්සක කෙරෙහි වූ ආකල්පය. ගුරුවරයා හෝ චිකිත්සක කෙරෙහි පවත්නා ආකල්පය. අනුගාමිකයෝ තම ආධ්‍යාත්මික උපදේශකයන් තමා සාක්ෂාත් කරගැනීමට යත්න දරන්නාවූ අරමුණ පිළිබඳ ජීවමාන ආදර්ශයන් ලෙස සලකති. උපදේශකවරුන්ගේ යහගුණ පිළිබඳ නිසි හඳුනා ගැනීමක් මත පදනම්ව ඔවුන් විසින් සිය උපදේශකවරුන් පිළිබඳ මෙයාකාරයෙන් සලකනු ලබන අතර, බුද්ධත්වය කරා වූ සිය මාර්ගය පුරාවට ඔවුහූ මෙම දර්ශනය පවත්වා ගනිමින් බලගන්වති. මෙයට ප්‍රතිවිරුද්ධව සේවාදායකයන් විසින් භාවමය සෞඛ්‍යයට අදාළ මාදිලි වශයෙන් සිය චිකිත්සකයන් පිළිබ‍ඳ අදහස් පවත්වාගන්නා නමුදු ඔවුනට චිකිත්සකවරුන්ගේ යහගුණ පිළිබඳ නිසි වැටහීමක් අවශ්‍ය නොවේ. චිකිත්සකයා මෙන් වීම එම සම්බන්ධතාවයේ අරමුණ නොවේ. සත්කාරක ක්‍රියාවලිය තුළදී, චිකිත්සකයෝ සිය සේවාදායකයන් පරමාදර්ශ ප්‍රක්ෂේපණයෙන් ඔබ්බට යොමු කරවති.

‘ශ්‍රාවක’ හෝ ‘අනුගාමික’ යන යෙදුම පිළිබඳ  නුසුදුසු භාවිතයන්

අදාළ යෙදුමේ නිවැරදි අරුත සපුරාලීමට ඔවුන්, ගුරුවරයා හෝ දෙපිරිසම අසමත් වන්නේය යන කරුණ නොසලකා ඇතැම් විට පුද්ගලයෝ තමා සිය ආධ්‍යාත්මික උපදේශකවරුන්ගේ අනුගාමිකයන් හෙවත් ශ්‍රාවකයන් ලෙස හඳුන්වති. ඔවුන්ගේ නියාලු ස්වභාවය විසින් නිරතුරු ඔවුන් යථාර්ථවාදී නොවන අපේක්ෂාවන්, අනවබෝධයන්, සිත් වේදනාවන් හා අපයෝජනයන් කරා පවා යොමු කරවනු ලබයි. මෙම සන්දර්භය තුළ අපයෝජනයට විෂය කරුණක් වීම යන්නෙන් අදහස් කරනුයේ ලිංගිකව, භාවමය හෝ මූල්‍යමය වශයෙන් සූරා කෑමට බඳුන්වීම හෝ බලය විදහා දැක්වීමකදී යමෙකු විසින් මෙහෙයවනු ලැබීම වේ. නිරතුරු ආධ්‍යාත්මික ගුරුවරුන් ආශ්‍රිත ගැටලුවලට මුහුණ පෑමේ තත්ත්වයනට බඳුන් වන්නාවූ, බටහිර රටවලදී හමුවන ව්‍යාජ අනුගාමිකයන් පිළිබඳ පොදු වර්ග තුනක් මෙහිලා පරීක්ෂාකර බලමු.

(1) ඇතැම්හූ සිය මනෝ ලෝකයන් සාක්ෂාත් කරගනු පිණිස දහම් මධ්‍යස්ථාන වෙත එති. ‘අද්භූත නැගෙනහිරක්’ පිළිබඳව හෝ සුපිරි ගුරු තරු පිළිබඳ යම් කිසි තොරතුරු කිහිපයක් කියවා හෝ ශ්‍රවණය කොට ඇති ඔවුහූ උද්දීපනයකින් තොර යැයි පෙනී යන සිය ජීවිත විසිතුරු ‌හෝ අද්භූත අත්දැකීමක් එක්කර ගැනීමෙන් ඉදිරියට යොමු කරවීමට ප්‍රාර්ථනා කරති. ආධ්‍යාත්මික ගුරුවරුන් හමුවන ඔවුහූ විශේෂයෙන් ගුරුවරු ආසියානුවන් හෝ/හා චීවරධාරීන් නම් තමා අනුගාමිකයන් බව වහා ප්‍රකාශයට පත් කරති. ආසියානු ගෞරව නාමයන් හෝ නම් සහිත බටහිර ගුරුවරුන්ද චීවර දැරුවද, නොදැරුවද එම ගුරුවරුන් සමගින්ද එ් හා සමාන චර්යාවක නිරත වීමේ සම්භාවිතාවක් ඔවුන් විෂයයෙහි දක්නට ලැබේ.

අද්භූත දේ සොයා යාමේ අභිලාශය මගින් නිරතුරු එම විමුක්ති ගවේෂකයන් විසින් සිය ආධ්‍යාත්මික ගුරුවරුන් සමගින් පවත්වන්නාවූ සම්බන්ධතාවය අස්ථාවර කරවනු ලබයි. තමා නිසි පරිදි සුදුසුකම් ලත් උපදේශකයන්ගේ ශ්‍රාවකයන් බවට ඔවුන් විසින් ප්‍රකාශයට පත් කළද, ඇතැම් විට සිය සිතිවිලි තුළ විනා ඔවුන් විෂයයෙහි කිසිදු ආශ්චර්යමත් දෙයක් සිදු නොවන බව අවබෝධ කරගන්නා විට ඔවුහූ නිරතුරු මෙම ගුරුවරු හැර යති. තවද, ‘ක්ෂණික ශ්‍රාවකයන්ගේ’ අතාත්වික ආකල්ප හා ඉහළ අපේක්ෂා මගින් නිරතුරු ඔවුන්ගේ තාර්කික ඉන්ද්‍රියයන් ආවරණය කරනු ලබයි. එවන් පුද්ගලයෝ විශේෂයෙන් හොඳින් රඟපෑමේ දක්ෂතාවයන් සහිත ආධ්‍යාත්මික ප්‍රතිරූපකයන්ගේ රැවටීම්වලට විවෘත වෙති.

(2) තවත් ඇතැමුන් විසින් සිය භාවමය හෝ ශාරීරික වේදනාවන් මැඩ පවත්වා ගැනීම සඳහා අවශ්‍ය උපකාරයන් ලබාගැනීමේ අසරණ අපේක්ෂාවන් සහිතව මධ්‍යස්ථාන කරා පැමිණිය හැක. ඔවුන් විවිධාකාරයේ චිකිත්සක ක්‍රම අත්හදා බලා ඉන් කිසිදු ඵලයක් නොලැබූවන් විය හැක. දැන් ඔවුහූ ඉන්ද්‍රජාලිකයෙකු / සුව කරන්නෙකු වෙතින් ආශ්චර්යමත් සුව කිරීම් අපේක්ෂා කරති. ඔවුහූ තමා වෙත ආශිර්වාදකළ ගුලියක් ලබා දී, නැවත නැවතත් ජපකළ යුතුවන විශේෂ යැදුමක් හෝ මන්ත්‍රයක් කට පාඩම් කරවා ඔවුන්ගේ ගැටලු ස්වයංක්‍රීයව නිරාකරණය කරනු ඇත්තාවූ ලක්ෂ වාරයක් බිම වැතිරීම් වැනි කළ යුතුවන බලවත් පිළිවෙතක්ද ලබා දිය හැකි ඕනෑම අයෙකුගේ ශ්‍රාවකයෙකු බැව් ප්‍රකාශ කිරීමට පසුබට නොවෙති. ඔවුහූ ගුප්ත කරුණු සොයා යන්නාවූ ජනතාව වශී කරන්නාවූ එකම වර්ගයේ ගුරුවරුන් වෙත යොමුවෙති. හාස්කම් අපෙක්ෂා කරන්නවුන්ගේ ‘සුව කිරීම්’ මානසිකත්වය හේතුකොට සුදුසුකම් ලත් උපදේශකවරුන්ගේ උපදෙස් අනුගමනය කිරීමේදී පවා ආශ්චර්යමත් සුවවීම් ඇති නොවන විටදී එමගින් නිරතුරු කලකිරීම් හා අපේක්ෂා භංගත්වයන් ඇති කරවනු ලබයි. ‘සුව කිරීම්’ මානසිකත්වය මගින් නිරතුරු ආධ්‍යාත්මික ව්‍යාජ රංගධරයන් වෙතින් සිදුවන අපයෝජනයනටද මාර්ගය පාදනු ලබයි.

(3) කලකිරීමට පත්වූ රැකියා විරහිත තරුණයන් විශේෂ කොටගෙන තවත් ඇතැමුන් සාංදෘෂ්ටික බලගැන්වීම් ලබාගැනීමේ අපේක්ෂාවෙන් ගුප්ත ඇදහිලි ධර්ම මධ්‍යස්ථාන වෙත ඇදී එති. ජනකාන්ත අහංකාරෝන්මාදකයන් විසින් ‘ආධ්‍යාත්මික ෆැසිස්ට්වාදී’ විධික්‍රම භාවිතයෙන් ඔවුන් ආකර්ශනය කරගනිති. සිය ඇදහිලි ක්‍රමයනට පූර්ණ වශයෙන් පක්ෂපාතී වන්නේ නම් සිය ශ්‍රාවකයන් යැයි කියාගන්නා පුද්ගලයනට බලය හා ශක්තියද ලබාදෙන බවට ඔවුහූ පොරොන්දු වෙති. ඔවුහූ විශේෂයෙන් පහත් මට්ටමේ, අශුද්ධ බෞද්ධ සම්ප්‍රදායන් අනුගමනය කරන්නාවූ සිය සතුරන් විනාශ කරන භයංකර ආරක්ෂකයන් පිළිබඳ චමත්කාරජනක විස්තර ඉදිරිපත් කරමින් සිය ශ්‍රාවකයන් ඇද බැඳ තබා ගනිති. සිය ව්‍යාපාරයන්හි මූලාරම්භකයන්ගේ අධි මානුෂික බලයන් පිළිබඳ වගාඩම්බර කථාවන්ද සමගින් ශ්‍රාවකයන් ආධ්‍යාත්මික ප්‍රඥාවකට ඔසවා තබන බලවත් නායකයෙකු පිළිබඳ ශ්‍රාවකයන්ගේ සිහින සපුරාලීමට උත්සාහ කරති. මෙම පොරොන්දුවලට ප්‍රතිචාර දක්වමින්, එම පුද්ගලයෝ වහා තමා එම ඇදහිලි ක්‍රමයේ අනුගාමිකයන් බවට ප්‍රකාශ කරන අතර එම අධිකාරිවාදී ගුරුවරුන් විසින් තමා වෙත ලබාදෙන ඕනෑම උපදෙසක් හෝ නියෝගයක් අන්ධානුකරණයෙන් අනුගමනය කිරීමට පෙළඹෙති. මේවාහි ප්‍රතිඵල සාමාන්‍යයෙන් විනාශකාරී එ්වා වේ.

සාරාංශය

කෙටියෙන් පවසන්නේ නම්, බෞද්ධ මධ්‍යස්ථානයක උගන්වන්නාවූ ඕනෑම පුද්ගලයෙකු නිර්ව්‍යාජ ආධ්‍යාත්මික උපදේශකවරයෙකු නොවන්නාක් මෙන්, මධ්‍යස්ථානයක ඉගෙනුම ලබන සෑම පුද්ගලයෙකුම විශ්වසනීය ආධ්‍යාත්මික අනුගාමිකයෙකුද නොවේ. උපදේශක හා අනුගාමික යන වචන දෙක සම්බන්ධයෙන්ම නිවැරදි භාවිතයක් අවශ්‍ය වේ. මේ සඳහා ආධ්‍යාත්මික අවංකභාවයක් හා ව්‍යාජ රංගනයන්ගෙන් තොර වීමක් අවශ්‍ය වේ.

Top