සර්කොං රින්පෝෂේගේ ජීවිතය හා පෞරුෂත්වය

දලයි ලාමා වහන්සේගේ සහාය උපදේශකවරයෙකු වශයෙන් රින්පෝෂේගේ කාර්ය භාරය

ෂෙන්ෂැබ් සර්කොං රින්පෝෂේ සුවිශාල මිනිසෙකු විය. බූගෑ හිසින් යුක්තව රක්ත වර්ණ චීවරයක් දරා සිටි එතුමාගේ ගැඹුරු රැළි සහිත මුහුණ මගින් වයසට වඩා පෞරාණික බවක් සිරුරට ආරූඨ කරන ලදී. නිහතමානී, ප්‍රඥාවන්ත ගති ස්වභාවය හා මෘදු හාස්‍යජනක බව මගින් එතුමා තුළට උපමා කථාවල එන පුරාකෘතික ඉසිවරයෙකුගේ දැක්මක් ආරෝපණය කරන ලදී. මෙම ගුණය මගින් එතුමා හමුවූ බටහිර ජාතීන්ගේ අවධානය එතුමා වෙතින් බැහැර නොකෙරිණි. නිදසුනක් ලෙස එතුමා ධර්ම ශාලාවේදී දුටු ජනප්‍රිය ස්ටාර් වෝස් චිත්‍රපට නිෂ්පාදකවරුන් විසින් එම වීර කථාවේ ආධ්‍යාත්මික මාර්ගෝපදේශක යෝධාගේ ආදර්ශය ලෙ එතුමා යොදාගැනීමට තීරණය කරන ලදී. රින්පෝෂේ එම චිත්‍රපටය කිසිදා නොදුටු නමුත් දුටුවේ නම් එම විකෘතිය දැකීමෙන් නිසැකවම හාස්‍ය රසයක් විඳින්නට තිබිණි. කෙසේ වුවද, රින්පෝෂේගේ වඩාත් සුවිශේෂී ලක්ෂණය වූයේ පරම පූජනීය දලයි ලාමා වහන්සේ සමගින් පවත්වාගන්නා ලද සම්බන්ධතාවයයි.

දලයි ලාමා යනු තිබ්බතයේ ආධ්‍යාත්මික හා ලෞකික නායකයා වේ. එතුමාගේ පෙළපත පුනරුත්පත්තිය හරහා ගලා යන්නකි. දලයි ලාමාවරයෙකුගේ මරණයෙන් අනතුරුව, උන් වහන්සේ කුඩා දරුවෙකු ලෙස ලබන පුනරුත්පත්තිය හා ස්ථානය හඳුනා ගැනීම සඳහා වූ සංකීර්ණ ක්‍රියාවලියක් ඔහුගේ සමීපතම ආශ්‍රිතයන් විසින් අනුගමනය කරනු ලැබේ. ඉන් අනතුරුව එ් එක් එක් නව දලයි ලාමාවරයා ඉහළම සුදුසුකම් ලත් ගුරුවරුන් වෙතින් පවත්නා හොඳම අධ්‍යාපනයක් ලබයි. මෙම උපදේශකවරුන් අතරට ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ දේශකයෙකුද, පොදුවේ "සහායක දේශකවරුන්" වශයෙන් පරිවර්තනය කෙරෙන ෂෙන්ෂැබ්වරුන් සත් දෙනෙකුද ඇතුළත් වේ.

විවිධ පරම්පරාවන් හරහා ඉන්දියාවෙන් සම්ප්‍රේෂණය වූ ප්‍රධාන සම්ප්‍රදායන් සතරක් තිබ්බතීය බුදු දහම තුළ ඇති නමුදු, එ්වාහි මූලික දේශනාවන්හි විශාල පරස්පරයන් දක්නට නොමැත. දලයි ලාමාගේ ප්‍රධාන ගුරුවරුන් නවදෙනා සම්ප්‍රදායන් සතරින් විශාලතම සම්ප්‍රදාය වන ගෙලුග් සම්ප්‍රදායෙන් එන්නන් වේ. සිය මූලික අධ්‍යාපනය සම්පූර්ණ වූ පසු ඔහු අනෙක් සම්ප්‍රදායන් තුන වන නිංමා, කාග්යු හා සාක්‍ය සම්ප්‍රදායන්හි ගුරුවරුන් වෙතින්ද අධ්‍යයන කටයුතු හදාරයි. ෂෙන්ෂැබ්වරුන් සත්දෙනා තිබ්බතයේ අගනුවර වන ලාසාව ආශ්‍රිත ප්‍රධාන ගෙලුග් ආරාම සත වෙතින් අයෙකු බැගින් වනසේ එති. ඔවුන් ඔවුන්ගේ ඉගෙනුම, භාවනා සාර්ථකත්වය හා සියල්ලටම වැඩියෙන් ඔවුන්ගේ චරිත සංවර්ධනය මත පදනම්ව තෝරා ගැනේ. ගෙලුග් සම්ප්‍රදායේ සමාරම්භකයා වන ෂොංඛපා විසින්ම ස්ථාපනය කරන ලද ආරාමය වන ගැන්ඩන් ජැන්ට්සී වෙතින් පත් කරන ලද ෂෙන්ෂැබ්වරයා වූයේ සර්කොං රින්පෝෂේය. ඔහු 1948 දී මෙම තනතුර භාරගත් අවස්ථාව වනවිට 34 වියැති අයෙකු වූ අතර දලයි ලාමා 13 වියැති පුද්ගලයෙකු විය. 1959දී ඉන්දියාවේ විප්‍රවාසීව විසූ දලයි ලාමා වහන්සේ හා සම්බන්ධ වීමට හැකිවූ ෂෙන්ෂැබ්වරුන් සත්දෙනා අතරින් එකම ෂෙන්ෂැබ්වරයා වූයේද ඔහුය.

රින්පෝෂේගේ විශේෂඥතාවයේ ක්ෂේත්‍රයන්

1983 වසරේදී මියයන තෙක්ම පළමුව ලාසාහිදීද ඉන්පසු ධර්මශාලාහිදීද දලයි ලාමා වහන්සේ වෙත අවංකව සේවයක් සැලසීය. ඔහුගේ ප්‍රධාන කාර්යය වූයේ දලයි ලාමා වහන්සේ උගත් පාඩම් සියල්ල ඉගෙන ඉන්පසු දලයි ලාමා වහන්සේගේ වැටහීම නිවැරදි කරනු පිණිස එ් සම්බන්ධයෙන් උන් වහන්සේ සමගින් වාද කිරීමයි. සැබැවින්ම, අවම වශයෙන් තමා ලද සමස්ත අධ්‍යාපනය හා පුහුණුව තවත් එක් ලාමාවරයෙකු විසින් හෝ ලැබීමට හැකිවන පරිදි තමා ලබන සියලු ඉගෙනීම් අවස්ථාවනට සහභාගි වන ලෙස දලයි ලාමා වහන්සේ විසින් රින්පෝෂේ වෙතින් අවධාරණයෙන් ඉල්ලා සිටින ලදී. මේ අනුව, දලයි ලාමා වහන්සේ මෙන්ම, රින්පෝෂේද සියලු තිබ්බතීය සම්ප්‍රදායන් සතරේම පරතෙරට උගත්තෙකු විය. ඔහුගේ විශේෂඥතාවය සූත්‍ර හා තන්ත්‍ර ලෙස වූ බෞද්ධ පුහුණුවේ ප්‍රධාන අංශ දෙකෙහි පූර්ණ පරාසයම විදහා යන්නක් විය. සූත්‍රයන් තුළ මූලික දේශනා සම්ප්‍රේෂණය කෙරෙන අතර, ආත්ම පරිවර්තනය සඳහා අවශ්‍ය ගැඹුරටම විහිදෙන විධික්‍රම තන්ත්‍ර තුළ අන්තර්ගත වේ.

රින්පෝෂේ සම්ප්‍රදායික බෞද්ධ කලා හා විද්‍යාවන්හිද මනා විශාරදත්වයක් ලද්දෙක් විය. නිදසුනක් ලෙස, මිනුම් ශාස්ත්‍රයෙහි හා තන්ත්‍ර චාරිත්‍ර විධීන්හි යොදාගනු ලබන දෙමාන හා ත්‍රිමාන සංකේතමය ලෝක පද්ධති හෙවත් මණ්ඩල හා ධාතූන් ගබඩාකොට තැබීම සඳහා භාවිත කෙරෙන විවිධ වර්ගයේ ස්ථූප ඉදි කිරීමෙහිද ප්‍රවීණයෙකු විය. ඔහු කාව්‍ය, රචනා සහ තිබ්බතීය ව්‍යාකරණයෙහිද විශාරදයෙකු විය. එ් අනුව ඔහුගේ ඉගැන්වීම් විලාසය තුළ තාක්ෂණික විස්තර සඳහා වු  සැලකිල්ල අලංකාර ලෙස තුලනය කළ සොබාවක් හා සංවේදීතාවයක් විය.

සර්කොං රින්පෝෂේ පාරිශුද්ධත්වයට පත් කිරීමේ තිබ්බතීය ආකෘතියෙහි නිපුණයෙකුද විය. මෙම ක්‍රමයේදී අදාළ පුද්ගලයා සමාධිමත් භාවනා මට්ටමකට එළැඹෙන අතර දාදු කැට තුනක් කිහිප වතාවක් දමමින් පුද්ගලයන් හට දුෂ්කර තීරණ ගැනීමට උපකාරී වන පරිදි එහි ප්‍රතිඵලය අර්ථ නිරූපණය කරනු ලබයි. තවද, ග්‍රහයන්ගේ පිහිටීම ගණනය කිරීමේ සංකීර්ණ ගණිත ක්‍රම පිළිබඳ විශාරදත්වයක් ලැබිය යුතුවන තිබ්බතීය ජ්‍යෝතිෂ ශාස්ත්‍රයද ඔහු දැන සිටියේය. මෙම ගුප්ත විෂයයන් කෙරෙහි ඔහුගේ ප්‍රවේශය නිරන්තරයෙන්ම තර්කානුකූල වූ අතර යථාර්ථවාදී එකක්ද විය. එ්වා ඉගෙනීමද සාමාන්‍ය දැනුමින් කරනු ලබන විනිශ්චයනට උපකාර කරනු පිණිස විනා එ්වා වෙනුවට යෙදිය හැකි ශාස්ත්‍රයක් ලෙස යොදා නොගන්නා ලදී.

දලයි ලාමා වහන්සේගේ ගුරුවරයා වීම පිළිබඳ රින්පෝෂේ දැක්වූ නිහතමානිත්වය

තමාගේ නිල තනතුරෙහි වැදගත්කම හා අධ්‍යාපනයේ පුළුල්බව නොසලකා, රින්පෝෂේ නිරතුරු නිහතමානී අයෙකු විය. තන්ත්‍ර ක්‍රමයන්හි සංකීර්ණතම විෂයය වූ කාලචක්‍ර විෂයය විශේෂ කොටගෙන ඔහු දලයි ලාමා වහන්සේගේ විෂයයන් පිළිබඳ ප්‍රධාන ගුරුවරයෙකු වුවද, සිය මුල් පෙළේ දීප්තිමත් සිසුන් වෙත බොහෝ තන්ත්‍රමය බලයන් ඔහු විසින් ලබා දුන්නද, ඉංග්‍රීසි භාෂාවෙන් "ගුරු සහායකවරයා" ලෙස ඇමතීම ඔහුට රිසි නොවීය. ෂෙන්ෂැබ් නමැති සිය නිල නාමය සැබෑ ලෙසම "විවාද සහායකයා" ලෙස පරිවර්තනය කරනු ලැබීමට රිසි වූ ඔහු අවසන "ප්‍රධාන විවාද සහකරු" නමැති පරිවර්තනයට එකඟ විය.

සර්කොං රින්පෝෂේ විධිමත් හා අවිධිමත් යන දෙයාකාරයෙන්ම සිය සේවය දලයි ලාමා වහන්සේ වෙත ලබා දුන්නේය. නිදසුනක් ලෙස, පොදුවේ ලෝකයාට හා විශේෂයෙන් එතුමාගේ සිසුවනට සෙත සැලසෙනු වස් දලයි ලාමා විසින් නිරතුරු විශේෂ භාවනා පිළිවෙත් හා පූජාවන් පූරණය කරයි. මේවායින් ඇතැම්වා හුදෙකලාවද ඇතැම්වා තෝරාගත් භික්ෂූන් අතලොස්සක් සමගින්ද තවත් ඇතැම්වා විශාල පිරිසක් ඉදිරියේද සිදු කරනු ලබයි. මෙම ක්‍රියා මාර්ගයන්හිදී තමා සමග එක්වන ලෙසද, වෙනත් කාර්යයන් සිදු කිරීමෙහි නියැලී අතිශයින් කාර්ය බහුල නම් තමා වෙනුවෙන් එ්වාහි ප්‍රධානත්වය ගන්නා ලෙසද සිරිත් පරිදි දලයි ලාමා වහන්සේ විසින් රින්පෝෂේ වෙතින් ඉල්ලා සිටිනු ලබයි. තවද, දලයි ලාමා වහන්සේ විසින් දේශනාවන් සිදුකරන විටදී, උන් වහන්සේ විසින් ඉල්ලා සිටින්නේ නම්, එතුමාගේ ප්‍රශ්න හෝ සැක අවස්ථාවනට පිළිතුරු සපයමින්ද, එතුමාට අවශ්‍ය යම් වචන වේනම් එ්වා සපයමින්ද එතුමාගේ දකුණු පසින් රින්පෝෂේ හිඳගනී. දලයි ලාමා වහන්සේ වෙත සිය දේශනා හෝ පෙළපත් සෘජුවම ඉදිරිපත් කිරීමට අන් අය ලජ්ජාශීලී වන අවස්ථාවන්හි ඔවුන් විසින් එ්වා රින්පෝෂේ වෙත යවනු ලබයි. ආධ්‍යාත්මික පුනීලයක් මෙන්, රින්පෝෂේ විසින් එවිට එ්වා දලයි ලාමා වහන්සේ වෙත ඉදිරිපත් කරනු ලබයි.

රාජ්‍ය තාන්ත්‍රික කුසලතාවයන්

දලයි ලාමා වහන්සේ විසින් නිරන්තරයෙන්ම සිය ප්‍රතිපත්ති ආරාම හා ජනතාව වෙත ගෙන එ්මේ උපදේශකවරයා හා ප්‍රධාන ලුතිනන්වරයා ලෙස හඳුන්වන ලද්දේද සර්කොං රින්පෝෂේය. මක් නිසාද, රින්පෝෂේ ආගමික මෙන්ම ලෞකික කරුණු සම්බන්ධයෙන්ද විශාරදත්වයක් සහිත රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූ බැවිනි. නිරන්තරයෙන්ම ප්‍රාදේශීය මට්ටමේ ආරවුල්වලදී සිය මැදිහත්කාරිත්වය ලබාදුන් ඔහු තමා දන්නා ක්ෂේත්‍රයන්හිදී දේශීය ප්‍රොටෝකෝලය පිළිබඳ දලයි ලාමා වහන්සේගේ නිලධාරීන් වෙතද උපදෙස් දෙන ලදී.

උණුසුම් හාස්‍ය රසඥතාවයක් මගින් එතුමාගේ රාජ්‍ය තාන්ත්‍රික කුසලතාවයන් නංවාලන ලදී. එතුමා සිනා සෙමින් එ්වා ඉමහත් සේ අගය කළ බැවින්ම පමණක් නොව, අන්‍යයන් වෙතද එ්වා ඉතා හොඳින් පැවසීමට එතුමාට හැකිවන බැවින්ද නිරතුරු මිනිස්සු විහිලු හා හාස්‍ය කථා පැවසීමට ඔහු ඉදිරියට පැමිණියහ. ඔහුගේ මුළු සිරුරම සිනහවෙන් ඇලලී යන අතර එය ඔහු වටා සිටින අන්‍යයන්ටද මුළුමනින්ම ආසාදනය වේ. ප්‍රායෝගික ප්‍රඥාව හා හෘදයාංගම හාස්‍යය නමැති මෙම මුහුව තුළින් ඔහු මුණ ගැසුණු ඕනෑම අයෙකු හට ප්‍රිය විය.

ආරාම නැවත පිහිටුවීම හා අනාගත වක්තෘ තත්ත්වයන් සඳහා මාධ්‍ය පුහුණුව

තිබ්බතය තුළ සිදුවූ චීන ආක්‍රමණය විසින් විනාශ කර දමන ලද බොහෝ භික්ෂු ආරාම හා භික්ෂුණී ආරාමද ඉන්දියාව තුළ නැවත ස්ථාපනය කිරීමෙහි ලා රින්පෝෂේ උපකාරකයෙකු විය. ඔවුනට සිය සම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර නැවත ආරම්භ කිරීමට හැකිවනු පිණිස බලගැන්වීම් හා දේශනාවන් කරමින් ඔහු විසින් මෙම කාර්යය සිදු කරන ලදී. ඔහු විසින් සිය ජීවිත කාලය පුරා සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය නෙචුං හා ගැඩොං යන අනාගත වක්තෘ ස්වභාවයනට අදාළ ආරාම සම්බන්ධයෙන් මෙකරුණ විශේෂයෙන් සත්‍ය විය. රින්පෝෂේ විසින් දලයි ලාමා වහන්සේගේ මනුෂ්‍ය උපදේශකවරයා වශයෙන් සේවය කළාක් මෙන්, අනාගත වක්තෘ ස්වභාවයන් යනු දලයි ලාමා වහන්සේගේ සම්ප්‍රදායික අධිස්වභාවික උපදේශකවරුන් විය. ඔවුහූ එතුමා හට සමාධි මට්ටම් මාධ්‍යයක් තුළින් කතා කරති. එම මාධ්‍ය වඩා ඉහළ ප්‍රඥාවක් ලබාගැනීමේ ශුද්ධ නාලිකාවන් බවට පත්වනු පිණිස රින්පෝෂේ විසින් එම මාධ්‍යයන් සම්බන්ධ ආධ්‍යාත්මික පුහුණුව අධීක්ෂණය කරන ලදී.

බුදුන් වහන්සේගේ දේශනා ලබාගැනීමේ හෝ ලබාදීමේ අරමුණින් කටයුතු කිරීමේදී මුහුණ පෑමට සිදුවන දුෂ්කරතාවයන්ගෙන් රින්පෝෂේ කිසිදින පලා නොගියේය. නිදසුනක් ලෙස, කාලචක්‍රය පිළිබඳ කුනු ලාමා රින්පෝෂේ විසින් ලබාදුන් උපදෙස් ලබාගනු පිණිස එක් ග්‍රීෂ්ම සෘතුවක බුද්ධගයාවේ තියුණු උණුසුම් තත්ත්වය දරා සිටීම දැක්විය හැක. හිමාලය වනයේ ඉන්දියානු දිශාවට වන්නට පිහිටි තිබ්බතීය සංස්කෘතික ප්‍රදේශයක් වූ කින්නාවුර් වෙතින් ආ මෙකී මහා ගුරුවරයා වූකලි බෝධිසත්ත්වයෙකු වශයෙන් සියලු තිබ්බතීයයන් හඳුන්වන වර්තමානයේදී ජීවත්වන එකම ගුරුවරයා වේ. බෝධිසත්ත්වයෙකු යනු පූර්ණ පරාර්ථයෙන් යුතුව අන්‍යයන් වෙත යහපත සලසනු උදෙසා බුද්ධත්වය සාක්ෂාත් කරගැනීම සඳහා පූර්ණ වශයෙන් කැප වූවෙකි.  බුද්ධගයාව යනු බුදුරජාණන් වහන්සේ බෝ රුකක් පාමුළ බුද්ධත්වයට පත්වූ ශුද්ධ ස්ථානයයි. එය ඉන්දියාවේ දුප්පත්ම හා උණුසුම්ම ප්‍රදේශයෙහි පිහිටා ඇත. ගිම්හාන සෘතුවේදී, එහි උෂ්ණත්වය නිතිපතා ෆැරන්හයිට් අංශක 120ක් දක්වා හෙවත් සෙන්ටිග්‍රේඩ් අංශක 50කට ආසන්න අගයක් දක්වා ඉහළ යයි. නිරන්තරයෙන් සිදුවන විදුලිය ඇණ හිටුවීම්, ජල හිඟතාවයන් හා වායු සමීකරණ පහසුකම් නොමැති වාතාවරණය තුළ එහි ජීවත්වීම අභියෝගාත්මක පරීක්ෂණයක් වේ. කුනු ලාමා එහි විදුලි පංකාවකින් හෝ තොරව ජනේලයක් රහිත කුඩා කාමරයක් තුළ නිතිපතා ජීවත් විය.

ස්පිටි නම් වූ හිමාලයානු නිම්නයේ බුදු දහම ප්‍රතිසංස්කරණය

දේශනා පවත්වනු පිණිස රින්පෝෂේ විසින් ඉන්දියාවේ, නේපාලයේ හා දෙවතාවක් බටහිර යුරෝපයේ හා උතුරු ඇමරිකාවේද සංචාරය කරන ලදී. ඔහු ප්‍රධාන මධ්‍යස්ථාන වෙත පිය නැගුවද, ගුරුවරුන් එතරම් නොපැමිණි හා අන් අය යාමට එතරම් කැමැත්තක්ද නොදැක්වූ කුඩා, දුරස්ථ ස්ථානයන්හි කල් ගත කිරීම ඔහුට ප්‍රිය විය. නිදසුනක් ලෙස, ඇතැම් විට ඉන්දු-තිබ්බතීය දේශ සීමාවේ ඉන්දියානු හමුදාවේ තිබ්බත අංශයේ සොල්ලාදුවන් වෙත දේශනා පැවැත්වීම සඳහා පාරුවකින් ගමන් කරයි. දැරීමට සිදුවන දුෂ්කරතාවයන් කිසි විටෙකුදු ගණනකට නොගනිමින් ඔහු උස් භූමිවල කූඩාරම් ගසා නතරවීමද සිදු කරයි.

මෙම දුරස්ථ දේශ සීමා කළාපයන් අතරින්, කින්නාවුර්වලට යාබදව පැවති උස් ඉන්දියානු හිමාල නිම්නයක් වූ ස්පිටි ප්‍රදේශය හා විශේෂ සම්බන්ධතාවයක් රින්පෝෂේ විසින් පැවැත්වූ අතර, ඔහු මිය ගියේද, පුනරුත්පත්තිය ලැබුවේද මෙම ප්‍රදේශයේමය. වසර දහසකට පෙර මෙම මුඩු, දුහුවිල්ලෙන් වැසුණු දිස්ත්‍රික්කය තිබ්බතයට අයත් වූ අතර බුදු දහමේ පුනර්ජීවන මධ්‍යස්ථානයක් විය. සහශ්‍රකයකට පෙර පැවති එම ප්‍රමිතිය මෑත කාලීනව පහත බැස ඇත. භික්ෂූහූ බඹසර රැකීම හා සුරා පානයෙන් වැළකීම යන සිකපද නොසලකා හැරියහ. ඔවුහූ බුදුන් වහන්සේගේ ඉගැන්වීම් අධ්‍යයනය කිරීම හා එ් අනුව පිළිවෙත් පිරීම සිදුකළේද ඉතා අඩුවෙනි.

මෙම නිම්නය කරා පැමිණි ගමන් වාර පහ තුළ බුදු දහමේ දෙවන පුනර්ජීවනයක් ඇති කිරීම සඳහා වූ අපේක්ෂාවක් රින්පෝෂේ තුළ විය. ටැබෝ ගොංපා නමින් යුත්, ස්පිටිහි පිහිටි පැරණිතම ආරාමය නැවත කැප කිරීමෙන් හා එහි භික්ෂූන් වෙත බලගැන්වීම් හා එහි සම්ප්‍රදායික පිළිවෙත් විෂයයෙහි වාචික සම්ප්‍රේෂණයන් ලබාදීම මගින් ඔහු විසින් මෙම කාර්යය සිදු කරන ලදී. උගත් ආධ්‍යාත්මික ගුරුවරුන් පිටතින් ගෙන්වූ ඔහු එම ප්‍රදේශයේ දරුවන් උදෙසා පාසැලක්ද ආරම්භ කරන ලදී. අවසන, 1983 ජුලි මාසයේදී, ටැබෝහි කාලචක්‍ර මූලාරම්භය ඇති කරන ලෙස දලයි ලාමා වහන්සේ වෙත ආරාධනා කිරීමේ කාර්යයක් රින්පෝෂේ විසින් සංවිධානය කරන ලදී. 1027 වසරේදී ඉන්දියාවෙන් තිබ්බතය කරා කාලචක්‍ර දේශනා හඳුන්වා දීම දිගු ව්‍යාකූලත්ව කාල පරිච්ඡේදයකින් අනතුරුව එහි බුදු දහම නැවත ස්ථාපනය කිරීම තහවුරු කළ සුවිශේෂී සිදුවීම විය. මෙම බලගැන්වීම මගින්ද එම කාර්යයම සිදුවනු ඇතිය යන්න එතුමාගේ අපේක්ෂාව විය.

ආරාම වෙත බහුල වශයෙන් පූජාවන් සිදු කිරීම

සර්කොං රින්පෝෂේ දේශනාවන් සඳහා මහත් සේ අනුග්‍රහ දැක්වූවෙකි. නිදසුනක් ලෙස ස්පිටිහිදී ඔහුට ලැබුණු යම් පූජාවක් වේද, එ්වා ආරාමය වෙත නැවත ප්‍රදානය කරන ලදී. මෙකී ත්‍යාගශීලී උරුමය සමගින්, ඕම් මනි පද්මේ හම් නමැති මන්ත්‍රය දින තුනක් පුරා ජප කිරීමට ප්‍රදේශීය ජනයා එ්කරාශීවන වාර්ෂික යැදුම් උත්සවයක් ආරම්භ කිරීමට ටැබෝ ගොංපා හට හැකිවිය. මෙම පූජනීය වදන් මාත්‍රා හෙවත් මන්ත්‍ර තිබ්බත බුදු දහම අනුගමනය කරන සියලු දෙනා වෙත විශේෂයෙන් සමීප වූ, කරුණාවේ ප්‍රතිමූර්තිය වන බුදුන්ගේ රූපය වන අවලෝකිතේශ්වරයන් හා සම්බන්ධ වේ. මෙම මන්ත්‍රය ජප කිරීම මගින් සියලු සත්ත්වයන් කෙරෙහි ප්‍රේමය පතුරුවාගෙන එ් කෙරෙහි අවධානය යොමු කරවාගෙන සිටීමට උපකාරයක් ලැබේ.

බුද්ධ රූප කාලචක්‍රය දක්වන සුවිශාල ඇප්ලික ලියවැලක් මෙහෙවරෙහි යෙදවීම සඳහා රින්පෝෂේ විසින් තමා කළ පළමු බටහිර සංචාරයෙන් ලද සියලු පූජා යොදවන ලදී. මෙම භාවනා ක්‍රමය තුළට බලගැන්වීම ලබාදෙනු පිණිස විවිධ ප්‍රදේශයන් වෙත සංචාර කිරීමේදී භාවිත කරනු සඳහා ඔහු විසින් එය දලයි ලාමා වහන්සේ වෙත පිරිනමන ලදී. ඔහු විසින් මෙම මුදල් යොදා ගනිමින් ෂොංඛපාගේ ජීවිතය විදහා දැක්වෙන ලියවැල් සිත්තම් කට්ටලයක් මෙහෙවරෙහි යොදවන ලද අතර, එය ඔහුගේ ආරාමය වූ ගැන්ඩන් ජැංග්ස්ටේ වෙත පිරිනමන ලදී. ඔහුගේ දෙවන බටහිර සංචාරය තුළ ලද ත්‍යාග යොදා ගනිමින් ඉන්දියාවේ පළමු මොන්ලැම් උත්සවය සඳහා 1983 මාර්තු මාසයේදී මුන්ඩ්ගොඩ්හි ඩ්‍රෙපුන් ආරාමයට රැස්වූ 4000 ඉක්මවූ භික්ෂු භික්ෂුණීන් හට සුවිශාල වශයෙන් පූජාවන් සිදු කරන ලදී. මොන්ලැම් යනු මසක් පුරා පැවැත්වෙන ජන වාර්ගික කැප කිරීම් උදෙසා සියලු ආරාම වැසි භික්ෂූන් එ්කරාශි වන, ලාසාහි සම්ප්‍රදායිකව පැවැත්වෙන යාඥා උත්සවයයි.

විධිමත් ක්‍රමයනට අකමැත්ත හා සරලබවේ පිළිවෙත

රින්පෝෂේ සිරිත් විරිත් හා ප්‍රොටෝකෝලයන් පිළිබඳ විශාරදයෙක් වුවද, ඔහු ව්‍යාජ ඇඟවීම්වලින් තොරව ජීවත් වූ අතර, විධිමත් හා නිල තත්ත්වයේ කටයුතුවලට අකමැති අයෙකු විය. නිදසුනක් ලෙස ඔහු බටහිර රටවල සංචාරය කරන විටදී, කිසි විටෙකුදු අලංකාර චාරිත්‍රමය මෙවලම් හෝ සිතුවම් රැගෙන නොආවේය. එහි බලගැන්වීමේ කාර්යයක් සිදුකරන ඕනෑම අවස්ථාවක, ඔහු විසින් අවශ්‍ය රූප පෞද්ගලිකවම සිතුවම් කරන ලද අතර,  පූජාවන් සඳහා අවශ්‍ය කොකිස් හා කේක් ආදේශ කරමින් චාරිත්‍රමය මල් පෝච්චි වෙනුවට මල් පෝච්චි හෝ කිරි බෝතල් පවා යොදා ගත්තේය.  ට්සොග් චාරිත්‍රය නමින් ශුද්ධත්වයට පත්කළ මත්පැන්, මස්, ටෝමා, පළතුරු හා සූකිරි පූජා කෙරෙන උත්සවය සඳහා සංචාරය කිරීමේදී තමාට බෙදූ කවර හෝ මසක් නිහඬවම පූජා කිරීම සිදුකරන ලදී.

තවද, රින්පෝෂේ නිරතුරුවම සිය ශ්‍රාවකයනට අනුකූල වන පරිදි බුදුන් වහන්සේගේ දේශනා ඉදිරිපත් කරන ලදී. වරෙක නිව්යෝක් නුවර වුඩ්ස්ටොක් අසල මවුන්ට් ට්‍රෙම්පර් සෙන් මධ්‍යස්ථානය කරා රින්පෝෂේ වෙත ආරාධනා කරන ලදී. ප්‍රඥාවේ ප්‍රතිමූර්තිය වූ බුදු රුව වන මංජුශ්‍රී පිළිවෙත් පූරණය පිණිස අවසර ලබාදීමේ උත්සවයක් පවත්වන ලෙස සාමාජිකයෝ ඔහුගෙන් ඉල්ලා සිටියහ. සරලත්වයේ සෙන් සම්ප්‍රදාය අනුගමනය කරමින් රින්පෝෂේ සිය සිංහාසනය මත නොව, බිම හිඳගත් අතර, කිසිදු චාරිත්‍රමය උපකරණයකින් හෝ අලංකාරමය උත්සවයකින් තොරව අවසර ලබාදීමේ උත්සවය සිදුකරන ලදී.

මවා පෑමෙන් තොර, අවංක නිහතමානිත්වය

ෂෙන්ෂැබ් සර්කොං රින්පෝෂේ සැබෑ කඩම්පා ගේෂේවරයෙකු ලෙස නිරන්තරයෙන්ම දලයි ලාමා වහන්සේ විසින් විස්තර කරන ලදී. කඩම්පා ගේෂේවරුන් යනු සිය අවංක, සෘජු පිළිවෙත හා නිහතමානිත්වය හේතුවෙන් අවධානයට ලක්වූ, එකොළොස්වන සියවසේ සිට දහතුන්වන සියවස දක්වා කාලයේ ජීවත්වූ තිබ්බතීය බෞද්ධ ගුරුවරුන් විය. නිදසුනක් ලෙස, එක් දේශනාවකදී, රින්පෝෂේ පිළිබඳව සඳහන් කරමින් දලයි ලාමා වහන්සේ විසින් ප්‍රකාශ කරන ලද්දේ, අන් සියලු දෙනා යම් අහංකාරත්වයක් සහිතව මෙහි වාඩි ගෙන සිටින අතර, නිහතමානීව සිටින එකම පුද්ගලයා එසේ වීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති පුද්ගලයා බවයි. සිය ප්‍රධාන උපදේශය විමසා සිටි අවස්ථාවක රින්පෝෂේ විසින් ප්‍රකාශ කරන ලද්දේ නිරන්තරයෙන්ම නිහතමානී වන ලෙසත්, මවා පෑමෙන් තොරව, උණුසුම් හා මිත්‍රශීලී හදවතක් සහිතව සිටිමින් සියලු දෙනා බරපතල සේ පිළිගත යුතු බවයි.

රින්පෝෂේ විසින් සිය මුළු ජීවිතයම මෙම උපදෙසට අනුව ගත කරන ලදී. වරෙක ඉතාලියේ මිලානෝ නුවර ධනවත් පවුලක විශාල බද්ධ නිවසක රින්පෝෂේ නැවතී සිටියේය. මෙම නුවරට පැමිණි උසස් ලාමාවරුන් බොහෝ දෙනෙකු මෙම නිවසෙහි නතර වීම සිරිත විය. මෙම නිවසේ විසූ අත්තම්මා විසින් ප්‍රකාශ කරන ලද්දේ මෙම ලාමාවරුන් සියලු දෙනා අතරින් ඇය සර්කොං රින්පෝෂේට වඩාත් කැමති බවයි. අන් සියලු දෙනා ඉතා විධිමත් අයුරකින් සිය කාමරවල හිඳ තමා විසින්ම ආහාර ගත් අය වූහ. මෙයට ප්‍රතිවිරුද්ධව, සර්කොං රින්පෝෂේ හිමිදිරි උදෑසනම සිය අඳනය හා බැනියම පිටින් මුළුතැන්ගෙට පිවිසේ. ඇය විසින් උදෑසන ආහාරය පිළියෙල කරන අතර, ඔහු මවා පෑමෙන් තොරව නවගුණ වැල ගණිමින් පිරිත් ජප කරන අතරම මුළුතැන්ගේ මේසයේ හිඳ සිය තේ පානය කරයි. 

අන්‍යයන් වෙත නිහතමානිත්වය ඉගැන්වීමේ හා සියලු දෙනා බරපතල ලෙස ගැනීමේ කුසලතාවය

සියලු ආකාර මවාපෑම් ඉවතලන ලෙසද රින්පෝෂේ විසින් අන්‍යයන් වෙත උපදෙස් දෙන ලදී. වරෙක දින තුනක් තමා වෙත දේශනා පවත්වන ලෙස ප්‍රංශයේ ලවාවුර්හි නාලන්දා ආරාමයේ බටහිර භික්ෂූන් වෙතින් ආරාධනයක් ලැබිණි. අටවන සියවසේ විසූ ඉන්දියානු ගුරුවරයෙකු වූ ශාන්තිදේවයන් විසින් රචිත බෝධිසත්ත්වචර්යාවතාරයේ අතිශයින්ම දුෂ්කර ප්‍රඥාව පිළිබඳ පරිච්ඡේදය විස්තර කරන ලෙස ඔවුහූ ඉල්ලා සිටියහ. කිසිවෙකුට හෝ වටහා ගැනීමට නොහැකි තරම් වූ උසස් හා සංකීර්ණ මට්ටමමකින් ශූන්‍යතාවය පිළිබඳ විග්‍රහයකින් රින්පෝෂේ විසින් සිය දේශනය ආරම්භ කරන ලදී. ඉන්පසු, සිය දේශනය නතර කළ රින්පෝෂේ විසින් ව්‍යාජ මවාපෑම් සිදුකිරීම සම්බන්ධව භික්ෂූනට බැණ වදින්නට විය. ෂොංඛපා හට පවා ශූන්‍යතාවය පිළිබඳ නිවැරදි වැටහීමක් ලැබීම අතිශයින් දුෂ්කර කාර්යයක් වීනම් හා එහි මූලික පිළිවෙත් පූරණය උදෙසාම බොහෝ සෙයින් වෙහෙස වන්නට සිදු විණි නම්, එය පහසු කාර්යයක් හා සමස්ත විෂයය හුදෙක් දින තුනක් තුළ වටහාගත හැකිවනු ඇතැයි ඔවුන් සිතන්නේ කෙසේදැයි විමසීය. ඉන්පසු රින්පෝෂේ විසින් භික්ෂූන්ට වටහාගත හැකි වඩාත් සරල මට්ටමකින් කෘතිය විස්තර කරදීමේ කාර්යය නැවත ආරම්භ කරන ලදී.

බුදුන් වහන්සේගේ දේශනාවන් කෙරෙහි බොහෝ පුද්ගලයන් විසින් දක්වන උනන්දුව හැරෙන්නට අන් කිසිදු ආකර්ශනයක් බටහිර දේශයන්හි තමා නොදකින බව රින්පෝෂේ විසින් වරක් පවසන ලදී. එ් අනුව, උපදෙස් පතන්නා කවරෙකු වුවද, ඔහු විසින් ඔවුන්ගේ අභිලාශයට ගරු කරන ලදී. ඔවුනට වටහාගත හැකි මට්ටමින් දේශනය සිදු කළද, ඔවුන් විසින් තමාගේ හැකියාව මේ යැයි සිතූ මට්ටමට ඔබ්බෙන් වූ මට්ටමකට ඔහු විසින් ඔවුන් නිරන්තරයෙන් ඔසවා තබන ලදී. සර්කස් ලෝලියෙකු වූ රින්පෝෂේ විසින් පවසන ලද කරුණක් නම්, වලහෙකු හට පාපැදියක් පැද යාමට ඉගැන්විය හැක්කේ නම්, මනා කුසලතාවයෙන් යුත් විධික්‍රම හා ඉවසීම ඇති තැන ඕනෑම දෙයක් මනුෂ්‍යයන් හට ඉගැන්විය හැකි බවයි.

වරෙක බුදු දහමට නවකයෙකු වූ හා මත්පැන් ලෝලියෙකු වූද හිපියෙකුගේ පෙනුමක් සහිත බටහිර ජාතිකයෙකු විසින් නරෝපා පිළිවෙත් සය තමාට උගන්වන ලෙස රින්පෝෂේගෙන් ඉල්ලා සිටින ලදී. සාමාන්‍යයෙන් යමෙකු විසින් මෙම අතිශයින් උසස් මාතෘකාව ඉගෙන ගනුයේ වසර ගණනාවක තීව්‍ර භාවනා පිළිවෙත් පිරීමෙන් පසුව පමණි. අඥානයෙකු හා අහංකාරිකයෙකු ලෙස මෙම තරුණයා ප්‍රතික්ෂේප කිරීම වෙනුවට ඔහුගේ කැමැත්ත ඉතා විශිෂ්ට වූවක් බව පවසමින් රින්පෝෂේ විසින් එයට එකඟතාවය පළ කරන ලදී.  කෙසේ වුවද, අදාළ පුද්ගලයා පළමුව එ් සඳහා සූදානම් විය යුතු අතර, එ් අනුව රින්පෝෂේ විසින් ඔහුට මූලික පිළිවෙත් උගන්වන ලදී. ආත්ම සංවර්ධනයෙහි ලා පුද්ගලයන් දක්වන කැමැත්ත ඉතා බරපතල සේ ගනිමින්, රින්පෝෂේ විසින් බොහෝ බටහිර ජාතීන් හට තමා බරපතල සේ ගන්නා ලෙස වූ අභාසය ලබාදෙන ලදී. මෙය ඔවුනට ආධ්‍යාත්මික මාවතේ ඉදිරියට ගමන් කිරීමට ඉමහත් පිටුබලයක් විය.

සියල්ලන් වෙත සම ගෞරවය

අති උත්තම පාප් වහන්සේ වේවා, විථියේ ගමන් කරන බේබද්දෙකු වේවා, ළමුන් කණ්ඩායමක් වේවා තමාට හමුවන්නේ කවරෙකු වුවද, රින්පෝෂේ විසින් එ් සියල්ලන් හට සමචිත්තතාවයෙන් හා සම ගෞරවයෙන් සලකන ලදී. ඔහු විසින් කිසිවෙකු පහත් කොට සැලකීම, කිසිවෙකුගේ අනුග්‍රහය අපේක්ෂා කිරීම හෝ කිසිවෙකුගේ හෝ සිත් දිනා ගැනීමට කටයුතු කිරීමද නොකරන ලදී. වරෙක නිව්යෝර්ක්හි ඉතාකාහි විස්ඩම්ස් ගෝල්ඩන් රොඩ් කේන්ද්‍රයේ සාමාජිකයන් විසින් සිය දරුවනට කථා කරන ලෙස රින්පෝෂේ වෙතින් ඉල්ලා සිටින ලදී. ඔවුන් කුඩා දරුවන් හා විවෘත මනස් සහිත වූවන් වන බැවින් තමා ඔවුනට බොහෝ සෙයින් ගරු කරන බව එම දරුවනට ඔහු විසින් පවසන ලදී. ඔවුනට සිය දෙමවුපියන් ඉක්මවා යාමේ විභවය පවත්නා බවද පෙන්වා දෙන ලදී. මෙයාකාරයෙන්, තමාටම ගරු කරගන්නා මෙන් ඔහු විසින් දරුවන් වෙත ආභාසය ලබාදෙන ලදී.

විශේෂ කර්ම සම්බන්ධතා හඳුනා ගැනීමේ හැකියාව

තමාට හමුවූ පුද්ගලයන් සමගින් පවතින කර්ම සම්බන්ධතාවය නිරන්තරයෙන්ම දැකීමේ හැකියාව සර්කොං රින්පෝෂේ සතු වුවද, කිසි විටෙකුදු තමාට හැකි ඉම ඉක්මවා උපකාර කළ හැකි බවක් මවා නොපෙන්වන ලදී. වරෙක ධර්මශාලාහිදී ඔහු වෙත පැමිණි ස්විස් ජාතිකයෙකු විසින් තමා අවතාරවලින් බොහෝ කරදරයට පත්ව සිටින බව පැවසීය. ඔහු වෙත මෙම ගැටලුවේදී උපකාර කිරීමේ කර්ම සම්බන්ධතාවයක් තමා කෙරෙහි නොපවතින බව පෙන්වා දෙමින් රින්පෝෂේ විසින් එම සම්බන්ධතාවය සහිත ලාමාවරයෙකු වෙත ඔහු යොමු කරවන ලදී. වෙනත් පුද්ගලයන් රින්පෝෂේ විසින් වහා හඳුනාගත් බව පෙනුණු අතර, පළමු හමුවේදීම සිය සේවකයන් හට මෙම පුද්ගලයන්ගේ ලිපිනයන් ලියා ගන්නා ලෙස උපදෙස් දෙන ලදී. නිසැකයෙන්ම එ් අනුසාරයෙන් ගැඹුරු සම්බන්ධතා ගොඩනැගිණි. රින්පෝෂේ විසින් මාගේ ලිපිනය ලියා ගැනීමේ අවශ්‍යතාවයක් නොදුටු මුත් මමද මෙකී වාසනාවන්ත පුද්ගලයන් අතරින් අයෙකු වීමි. මම ආපසු මාගේ බිමට යනු ඇත.

Top