සතුට උදාකර ගැනීමේ විධික්‍රමයක් වශයෙන් ගැටලුවලින් මිදීමට අදිටන් කරගන්න

තොරතුරු යුගයේ පවත්නා ආතතිය සම්බන්ධයෙන් කටයුතු කරනු පිණිස, සමාජ මාධ්‍ය, පණිවිඩ ආදියද සහිතව අන්තර් ජාලය පරිහරණය කරන ආකාරයන් විමසා බැලිය යුතුවේ. වඩ වඩාත් ආතතියම ඇති කරමින් තමාම පරාජය කරවන්නාවූ පුරුදු හඳුනා ගත් විටදී, අපගේ අසතුටේ මූලය අපගේම සිත තුළ පවත්නක් බව හඳුනා ගත යුතුවේ. ආතතියට පත් නොවී සිටීමෙ අදිටන සහිතව හා ස්වයං විනය, සමාධිය, සතිය හා වෙන්කොට දැකීමේ හැකියාව සහිතව, වඩාත් පැහැදිලි ලෙස හා සන්සුන්ව නවීන ජීවිතයේ අභියෝග සම්බන්ධයෙන් අපට කටයුතු කිරීමට හැකිවනු ඇත.

මහා නගරවල, කුඩා නගරවල හෝ ගම් දනව්වල ජීවත් වුවද, නවීන ලෝකයේ අප සියලු දෙනා ගැටලුවලට මුහුණ දෙන්නෝ වෙමු. බොහෝ අය ඒවා “ආතතිය” යන තනි වචනයට ගොනු කරනු ඇත. තොරතුරු, චිත්‍රපට, රූපවාහිනී මධ්‍යස්ථාන, සංගීතය, සමාජ මාධ්‍ය පෝෂක, ක්ෂණික පණිවිඩ, මාර්ගගත නිර්මාණයන් හා තවත් දේ වශයෙන් බොහෝ දේ ක්ෂණිකවම අප වෙත ලැබෙන විටදී අපට වඩ වඩාත් දේවල් අවශ්‍ය වේ. මතුපිටින් ඒවා අපගේ ජීවිත වැඩිදියුණු කරවන දේ වශයෙන් පෙනී යා හැකි නමුත් විශේෂයෙන් තෝරා ගැනීම් බොහෝ ගණනාවක් පවත්නා විටදී ඒවා මගින් ජීවිතය වඩ වඩාත් සංකීර්ණ හා ආතතිමය තත්ත්වයක් ඇති කරවනු ලබයි. අපට පුවතක් වේවා, විද්‍යුත් තැපැල් පණිවිඩයක් වේවා, ක්ෂණික පණිවිඩයක් වේවා කිසිවක් හෝ මඟ හැර ගැනීමට අවශ්‍ය නැත. එම ක්‍රියාවලියෙන් හැලී යනු ඇතැයි බියකින් අපි පෙළෙන්නෙමු. රූපවාහිනී නාට්‍යයක් වැනි යම් කිසිවක් තෝරා ගත්තද, නැරඹිය යුතුම වන නමුත් අපට මඟ හැරුණු වඩා හොඳ යම් කිසිවක් ඇත්තේය යන සැකයෙන් පිරි සිතින් පසුවන්නෙමු. 

සමාජයට, මිතුරන් කණ්ඩායමකට අයත්ව සිටීමට අපට අවශ්‍ය වේ; අප කෙරෙහි සමාජය තුළින් පිළිගැනීමක් ලැබී ඇත්තේය යන හැඟීම ඇතිවනු පිණිස සමාජ මාධ්‍යයන් වෙත යොමු කරවන දේවලට “කැමතියි” යන්න දක්වන “likes” ලැබෙතැයි අපේක්ෂා කරන්නෙමු. පණිවිඩයක් ලද බව දුරකථනයෙන් පෙන්වන විටදී හෝ තවත් “කැමතියි” පෝස්ටුවක් ලැබී ඇත්තේදැයි පිරික්සනු පිණිස මුහුණු පොත පරීක්ෂා කරන විටදී, අලුතින් යමක් සිදුවී ඇත්තේද යන්න විමසා බලනු පිණිස තවත් එක් වරක් පුවත් පිරික්සීමේදී අපේක්ෂාවෙන් කැළඹිල්ලට පත් වන්නෙමු. අපට කිසිවක් හෝ මඟහැර ගැනීමට අවශ්‍ය නැති නමුත් ඉන් තෘප්තියක් නොලැබෙන බැවින් තව තවත් දේවල් අවශ්‍ය වේ.

අප වටා පවත්නා තත්ත්වය දරා ගැනීමට නොහැකි තරම් බරක් බව දැනෙන අතර අපගේ ජංගම උපකරණ පිරික්සමින් හා මාර්ගයේ ගමන් කරන හෝ වටපිට ගමන් කරන අතරතුර සංගීතයට සවන් දෙමින් ඉන් මිදීමට උත්සාහ කරන්නෙමු. අප වටා පවත්නා දේ සම්බන්ධ යථාර්ථය වසා දමමින් අපගේ පුද්ගලික මවාගත් ලොවට පැන යාමට උත්සාහ කරන්නෙමු. නිරන්තරයෙන් විනෝද වීමේ බලපෑම් සහගත උවමනාවද අපට දැනේ. අනෙක් අතින්, සාමය හා නිහඬතාවයට ඇලුම් කරමින් තවත් අතකින් තොරතුරු, සංගීතය ආදිය නොමැති තත්ත්වයක පවත්නා රික්තකයටද බිය වෙමු. බාහිර ලොව පවත්නා ආතතියෙන් මිදීමට අදිටන් කරගන්නා අපි ඒ අනුව එය අත් හරිමින් අන්තර්ජාලයේ මවාගත් ලොවට පසු බසින්නෙමු. එහි පවා සමාජ මාධ්‍යයන්හි අපගේ “මිතුරන්” යයි පැවසෙන අයගේ සමාගමය හා අනුමැතිය අපේක්ෂා කරන අතර ඒ අනුව කිසි විටෙකුදු ආරක්ෂිත බවක් නොදැනේ. එසේ වුවද, විසඳුම අපගේ ජංගම උපකරණ වෙත පැන යාමද?

මෙකී පුරුදු කරගත් දින චරියාවනට ඇලී එහි මූලාශ්‍රයන් හඳුනා ගන්නා විටදී අත් විඳින අසතුට හඳුනාගත යුතුය. මෙම අසතුටෙහි මූලාශ්‍රයන්ගෙන් මිදීමේ විධික්‍රම දනිමින් ඒවා ක්‍රියාත්මක වන බව දැන සිටීම මත පදනම්ව මෙම අසතුටින් මිදීමේ අදිටන ගොඩනගා ගත යුතුය. එසේ වුවද, කිසිවක් නොමැති තත්ත්වයකට පත් වීමටද අපි අකමැත්තෙමු. අපට සතුටින් සිටීමටද අවශ්‍ය වේ. සතුට යනු හුදෙක් අසතුට නොමැති තත්ත්වය නොවේ; එය වූකලි අසතුටින් මිදීමේ උදාසීන, දේවල් නොදැනෙන ස්වභාවයට අතිරේක වූ දෙයකි.

අසතුටේ මූලය අපගේම සිතයි

අප අත් විඳින අසතුටේ, දුකේ හා ආතතියේ මූලය බාහිර ද්‍රව්‍ය නොවේ;එසේ නම්, ඒවාට මුහුණ දෙන සියලු දෙනාගේ අත්දැකීම එකම ආකාර විය යුතුය.

අපගේ අසතුටේ මූලය ආකල්ප හා භාවයන්ද සහිත සිත හා නවීන ජීවිතයේ යථාර්ථයන් සම්බන්ධයෙන් අප කටයුතු කරන ව්‍යාකූල ආකාරයද වේ.

අනාරක්ෂිත බව, ඇල්ම, ද්වේෂය, බිය ආදිය වැනි කැළඹිලිකාරී භාවයන් හා ආකල්ප මගින් ඉදිරියට ගෙන එන ලද ස්වයං විනාශකාරී චර්යාවන් පිළිබඳ ප්‍රබල පුරුදු අප තුළ පවතී. ඒවා වඩ වඩාත් ආතතිය හා ගැටලුම ඇති කරන ආකාරයකින් කටයුතු කිරීමට අප පොළඹවාලනු ලබයි. එමගින් අපගේ කැළඹිලිකාරී භාවයන් හා ආකල්ප තවදුරටත් ශක්තිමත් කරනු ලබයි.

කැළඹිලිකාරී භාවයන් හා ආකල්ප නොදැනුවත්භාවය මත පදනම් වේ. එක්කෝ අපගේ චර්යාවන් මගින් අප වෙත ඇතිකරන බලපෑම පිළිබඳ නොදැනුවත්ව සිටිමින් අප සිටින තත්ත්වය පිළිබඳ යථාර්ථවාදී නොවන්නෙමු. නොඑසේ නම් ඒවා පිළිබඳ අප තුළ පවත්නා වැටහීම සාවද්‍ය වේ. නිදසුනක් ලෙස, වඩ වඩාත් “කැමතියි” යන ප්‍රතිචාර මුහුණු පොත තුළ ලැබීම මගින් අප වඩාත් ආරක්ෂිත වීමක් සිදු නොවන්නේය යන්න නොදන්නෙමු. ඒ වෙනුවට මෙමගින් අප ආරක්ෂිත කරනු ඇතැයි අපි සිතමු. මෙමගින් වඩා වැඩි “කැමැත්ත” ප්‍රකාශ කිරීම් ලැබීමේ ආශාවක් අප තුළ ඇති කරයි. එමගින් ඇති කරනුයේ අපගේ ගිණුමට ලැබී ඇති එම ප්‍රතිචාර සංඛ්‍යාව නොකඩවා පරීක්ෂා කරමින් කිසි විටෙකුදු තෘප්තියක් හෝ චිත්ත සාමයක් නොලැබීමේ තත්ත්වයකි. නොඑසේ නම්, පරිගණක ක්‍රීඩා ලෝකයට පළා යාම මගින් ජීවිතයේ මුහුණ දීමට සිදුව ඇති ගැටලුවලින් මිදිය හැක්කේ යන අඥාන අදහසෙහි පිහිටන්නෙමු. මෙකී සමස්ත නොදැනුවත්භාවය හා අඥාන බව සහ ඇල්ම වැනි එමගින් ඇති කෙරෙන කැළඹිලිකාරී භාවයන්ද මගින් ස්වයං විනාශකාරී චර්යාවන් හා කැළඹිලිකාරී චිත්ත ස්වභාවයන් නම් වූ අපගේ සෘණාත්මක පුරුදු බල ගන්වනු ලබයි.

මෙම රෝග ලක්ෂණයන් සම්බන්ධයෙන් කටයුතු කරනු පිණිස, කාර්ය බහුල රැකියාවක නිරත වීම වැනි, අප සිටින තත්ත්වය පිළිබඳ වෙන්කොට දැකීමේ හැකියාවක් පවත්වාගත යුතු වේ. අපට එය කළමනාකරණය කරගැනීමට සිදුවේ. යථාර්ථය එයයි; අපට හැකි පමණ හොඳින් එය කළ හැක. අපගේ තත්ත්වයට අදාළ යථාර්ථය හා අපගේ සීමා සහිතකම් පිළිබඳ යථාර්ථයද පිළිගත යුතු අතර, එම තත්ත්වය යම් රාක්ෂයෙකු වැනි භයානක එකක් යැයි ප්‍රක්ෂේපණය කරමින් පරිපූර්ණ අය විය යුතු බවට වූ අදහස හේතුකොට, එම තත්ත්වයට මුහුණ දීමට තරම් අප ශක්තිමත් නොවන බව සිතීමද නවතාලිය යුතුය. ඉන්පසු, මුහුණ දෙන තත්ත්වයට අදාළ යථාර්ථය අධි තක්සේරු කිරීමකින් හෝ අව තක්සේරු කිරීමකින් තොරව යථාර්ථය පිළිබඳ සිහිය පවත්වාගෙන යාමට තරම් වූ සිතේ එකඟතාවයක් ද, සත්‍ය කරුණු පිළිබඳ අපගේ අවධානය ගිලිහෙන අවස්ථාවන් පරීක්ෂාවට භාජනය කිරීමේ සුපරීක්ෂාකාරිත්වයද පැවතිය යුතුය. මෙයට අමතරව, ස්වයං විනාශකාරී පුරුදු ක්‍රියාවට නැගීමෙන් වැළකී සිටීම සඳහා ස්වයං විනයක් අවශ්‍යය. අපගේ ආරම්භය ස්වයං විනය තුළින් ලබාගන්නා අතර කුඩා දේවලින් ආරම්භ කරමු. ආතතියට පත්වූ විටදී අපගේ කොටිසෝල් මට්ටම (ආතති හෝමෝනය) ඉහළ නඟින අතර, යම් ආශ්වාදයක් අපේක්ෂාවෙන් සිගරට්ටුවක් දල්වා ගැනීම, සමාජ මාධ්‍ය පිරික්සීම හෝ අන්තර් ජාලයේ සැරිසැරීම ආදිය මගින් යම් සහනයක් බලාපොරොත්තු වෙමු. මෙමගින් අපට වඩාත් යහපත් හැඟීමක් දනවනු ඇතැයි අපේක්ෂාවෙන් ඇතිවන හැඟීම් උද්දීපනය හා සතුට දැනෙන අතර ඒ අනුව අපගේ ඩොපමීන් මට්ටම (යහපත් ප්‍රතිඵලයක් අපේක්ෂා කිරීමේ හෝමෝනය) ඉහළ නගී. එසේ නමුදු සිගරට්ටුව නිවී යාමෙන් අනතුරුව හෝ අන්තර් ජාලයේ සැරිසැරීමෙන් අනතුරුව, අපේක්ෂිත තෘප්තිය නොලැබෙන බැවින් අපගේ ආතතිය නැවත ඉස්මතු වේ.

සිගරට්ටුව මගින් ගැටලුව විසඳෙනු ඇත්තේය, හෝ මුහුණු පොතට ලැබෙන “කැමතියි” යන ප්‍රතිචාර මගින් ගැටලුව විසඳනු ඇත්තේය හෝ නවතම ප්‍රවෘත්ති කියවීම මගින් ගැටලුව විසඳෙනු අත්තේය යන සාවද්‍ය සංකල්පනාව විශ්වාස කිරීමේ අවාසි වෙන්කොට දැකිය යුතුය. ඒ අනුව අපි සිගරට් අත් හැරීම හෝ විද්‍යුත් තැපැල් හා පණිවිඩ පරීක්ෂා කිරීමේ අවස්ථාවන් නියාමනය කිරීම, සමාජ මාධ්‍ය හෝ පුවත් පරීක්ෂා කිරීමේ අවස්ථාවන් නියාමනය කිරීම සිදු කරන්නෙමු. සිගරට්ටුවක් දල්වා ගැනීමේ හෝ අන්තර්ජාලයට පිවිසීමේ බලහත්කාරී පෙළඹීම ඉස්මතුවන විටදී එය ක්‍රියාවට නොනංවමින් ඉන් වළකින්නෙමු.

ශාරීරික ස්ථුලතාවයෙන් මිදෙනු වස් ආහාර පාලනයක් කළ යුතු වන්නාක් මෙන්, මානසික ස්ථුලතාවයෙන් මිදෙනු වස් තොරතුරු පාලන ක්‍රමවේදයක්ද අනුගමනය කළ යුතුවේ.

ආහාර ලබාගැනීම පාලනය කරන්නාක් මෙන්ම තොරතුරු, පණිවිඩ, සංගීතය ආදියද ලබාගැනීම පාලනය කළ යුතුය.

පැරණි සෘණාත්මක පුරුදු ඉතා ප්‍රබල ඒවා වන බැවින් පැරණි ස්වයං-විනාශකාරී පුරුදුවලින් වැළකී සිටීමේදී මුළදී අපගේ සිරුරුවල කෝටිසෝල් මට්ටම ඉහළ නංවනු ඇත. එය සිගරට් පානයෙන්, අන්තර්ජාලයෙන් හා ජංගම දුරකථනවලින් හෝ සංගීතයෙන් ඉවත් වීමේදී මෙනි. එනමුදු අවසානයේ එසේ ඉවත් වීමේ ආතතිය මිය යනු ඇති අතර අපි සිතෙහි සාමකාමී සංහිඳියාවක් අත් විඳනු ඇත. සෘණාත්මක පුරුදු වෙනුවට අප සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ කොටසක් වන අතර අප සියලු දෙනා එකිනෙකා හා බැඳී සිටින බැවින් අපගේ සුභ සාධනය අන් සියල්ලන් මතද රඳා පවත්නේය ආදී වශයෙන් වූ ධනාත්මක පුරුදු ඇතිකර ගතහොත් එමගින් අන්තර්ජාල සමාජ ජාලයක පාර්ශ්වකරුවෙකුව සිටීමේදී ඇති නොවන ආකාරයෙන් සෙස්සන් සමගින් බැඳී සිටින්නේය යන හැඟීමක් ඇතිකර ගැනීමේ අවශ්‍යතාවය සංතෘප්ත කරනු ඇත. ඒ අනුව අපගේ ඔක්සිටොසින් මට්ටම (එකිනෙකා සම්බන්ධ කිරීමේ හෝමෝනය) වර්ධනය වන අතර ඒ අනුව වැඩි සතුටක් හා ආරක්ෂිත හැඟීමක් අත් විඳිනු ඇත.

ස්වයං විනාශකාරී පුරුදුවලින් මිදීම

කෙටියෙන් පවසන්නේ නම්, නිදහස් වීමේ අදිටන ගොඩනගාගත් පසු, පැරණි සෘණාත්මක පුරුදුවලින් මිදෙනු පිණිස “ත්‍රිවිධ පුහුණුව” වශයෙන් සඳහන් කරන ස්වයං විනය, සමාධිය හා වෙන්කොට දැකීමේ දැනුවත්භාවය පිළිබඳව පුහුණු විය යුතුය. මෙම අංග තුන එකට ක්‍රියාත්මක විය යුතු නමුත් ඒවා නිසි පරිදි ගොඩනගාගනු පිණිස, ඒවාට බාධක වන්නාවූ සාධකයන්ගෙන් නිදහස් විය යුතුය:

  • පසුතැවිල්ල අපගේ ස්වයං විනයට බාධාකාරී වේ. නිදසුනක් ලෙස, විද්‍යුත් තැපෑල පරීක්ෂා නොකිරීම හෝ ක්ෂණිකව දුරකථන පණිවිඩයට හෝ විද්‍යුත් තැපෑලට පිළිතුරු නොයැවීම පිළිබඳව පසුතැවෙමු. පරිගණකයේ හෝ ජංගම උපකරණයේ නිවේදන සංඥා නාදය හෝ දර්ශකය ක්‍රියා විරහිත කොට නිශ්චිතව යොදාගත් කාල පරිච්ඡේදයන් තුළ පමණක් එය පරීක්ෂා කිරීම හා වැදගත් පණිවිඩවලට පමණක් කියවූ විගස පිළිතුරු දීම ප්‍රයෝජනවත් ක්‍රමෝපායකි. අප එතරම් කාර්ය බහුල නොවන කාල වේලාවන් සෙසු අයට ප්‍රතිචාර දැක්වීම සඳහා වෙන් කිරීමේ හා පණිවිඩවලට පිළිතුරු ලබාදීම සඳහා නිතිපතා දවසේ නිශ්චිත වේලාවක් වෙන් කිරීමේ ස්වයං විනයක් අප තුළ පැවතිය යුතුය.
  • නිද්‍රාශීලිබව, මානසික උදාසීනත්වය හා මානසික අස්ථාවරත්වය අපගේ සමාධියට බාධාකාරී වේ. ඒ කවරක් හෝ පවත්නේ නම් නිරන්තරයෙන් අපගේ පණිවිඩ පරීක්ෂා කිරීමෙන් වැළකී සිටීමෙන් ජීවිතයේ සංකීර්ණත්වය අඩු වන්නේය යන්න සිහි තබාගැනීමට අපට නොහැකි වේ.
  • අස්ථිර වැනෙන සුළු බව මගින් අපගේ වෙන්කොට දැකීමේ දැනුවත්භාවයට බාධා පමුණුවනු ලබයි. නිශ්චිතව යොදාගත් කාල වේලාවන්හි අපගේ පණිවිඩ පරීක්ෂා කිරීම නිවැරදි තීරණයද යන්න පිළිබඳව අපගේ සිත ඉදිරියට හා පසුපසට වැනේ. පරීක්ෂා කිරීමෙන් වැළකී සිටීම දුෂ්කර හා ආතතිමය කරුණක් වන බැවින් එවැනි සැකයන් ඉස්මතු වේ. මෙම සැකයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී අපගේ ගති පුරුදු වෙනස් කිරීමේ වාසි පිළිබඳ සිහියට නගා ගත යුතුවේ.

අපගේ ජීවිත වඩාත් සතුටුදායක ඒවා බවට පත්කරනු පිණිස යොදාගත හැකි වෙනත් ක්‍රමෝපායන්ද පවතී. නිදසුනක් ලෙස අප පිළිබඳවම පමණක් වඩ වඩාත් අවධානය යොමු කරමින් අපවම ආරක්ෂා කරගනිමින් ජංගම දුරකථන ලෝකය කරා පලා යාමට අවශ්‍ය වන්නට වන්නට,අප ලෝකයට වඩ වඩාත් වැසී ඇති බවක් හැඟේ. ඒ අනුව අපගේ ශක්තිය මිරිකා හැරි බවක්ද වඩාත් ආතතිමය තත්ත්වයක්ද දැනේ. අවදානමක් මගින් තර්ජනයට ලක්ව ඇති බවක් හැඟෙන බැවින් ඉහිල්ව නොසිටිමු. ජංගම දුරකථනයේ කරන ක්‍රීඩාව හෝ අයිපොඩ් උපකරණයේ ඇසෙන ඝෝෂාකාරී සංගීතය තුළ ගිලී සිටියද අප විසින් අප වටා තාප්ප බැඳගෙන සිටින අතර එයට බාධා ඇතිකර ගැනීමට අකමැති බැවින් ස්වයං ආරක්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කරන්නෙමු. අනෙක් අතින් මාර්ගයේ ගමන් ගන්නා මුළු සෙනගෙහි එක් කොටසක් ලෙස පමණක් අප පිළිබඳ සලකා බලන්නේ නම්, හා අප මෙන්ම වූ තත්ත්වයක සිටින සියලු දෙනා කෙරෙහි සැලකිල්ල හා කරුණාව ගොඩනගා ගන්නේ නම්, අපගේ හදවත් හා මනස් විවෘත වේ. අවදානම් සම්බන්ධයෙන් සුපරීක්ෂාකාරී විය හැකි නමුදු එය හුදෙක් අප පිළිබඳවම පමණක් අවධානය යොමු කිරීමේ මතිභ්‍රමයෙන් තොරව සිදුකළ යුතුය - සියලු දෙනා සතුටින් සිටීම අපගේ අභිලාෂයයි. සංගීතය හෝ ක්‍රීඩාව තුළ අන් සියලු දෙනාද ගිල්වමින් අප අන් සියලු දෙනාගෙන් හුදෙකලා කරගැනීමට අවශ්‍ය නැත. එවන් උපාය මාර්ග මගින් සිදු කෙරෙනුයේ හුදෙක් අපගේ හුදෙකලාව වර්ධනය වීම පමණි. අප අප වටා සිටින අන් සියලු දෙනාටම අයත් කොටසක් පමණක්ය යන්න හැඟෙන්නේ නම්, රංචුවක වසන සතෙකු මෙන් වැඩි ආරක්ෂිත හැඟීමක් දැනෙනු ඇත. මෙම ක්‍රමෝපාය ඵලදායී ලෙස යොදාගනු පිණිස ස්වයං විනය, සමාධිය හා වෙන්කොට සැළකීමේ දැනුවත් භාවය නමැති පුහුණු තුනක් අවශ්‍ය වේ.

අපට අනුගමනය කළ හැකි තවත් ක්‍රමෝපායක් ලෙස, අපගේ කාර්යයන්ගෙන් යම් විවේකයක් අවශ්‍ය වන විටදී, ජංගම දුරකථනය පරීක්ෂා කිරීම වෙනුවට හැකිනම් කාමරය වටා ඇවිදීම සිදුකළ හැක. අන්තර්ජාලය හෝ දුරකථනය සමගින් වඩ වඩාත් කටයුතු කිරීමට වඩා අඩු උත්තේජනයක් සහිතව කටයුතු කරන්න.

සාරාංශය

නිදහස් වීමේ අදිටනින් ස්වයං විනාශකාරී පුරුදුවලින් ඇතිවන ආතතිය අවම කරනු පිණිස මෙකී ත්‍රිවිධ පුහුණු යොදාගන්නේ නම්, සේවා ස්ථානයේ, පවුලේ, ආර්ථික තත්ත්වයේ පීඩනයනට මුහුණ දීම සඳහා වඩා සන්සුන් චිත්ත ස්වභාවයකට පත්වනු ඇත. තොරතුරුවලට ඇබ්බැහි වීමෙන් නවීන ලොව තුළ ඇතිවන සංකීර්ණතාවයන් හේතුකොට අන්තර්ජාලය, සමාජ මාධ්‍ය, සංගීතය ආදිය කරා පලා යාමේ තත්ත්වය ඵලදායී ලෙස කළමනාකරණය කරනු පිණිස මෙය විශේෂයෙන් වැදගත් වනු ඇත. අප විසින් අන්තර්ජාලය අත් හැරීම හෝ ජංගම උපකරණ ඉවත ලිය යුතු බවක් මින් අදහස් නොවේ; ඒ වෙනුවට ඉන් අදහස් වනුයේ ඒවා ප්‍රයෝජනවත් හා සෞඛ්‍ය සම්පන්න අයුරින් පරිහරණය කිරීමේ වඩා යහපත් පුරුදු ගොඩනගා ගත යුතු බවයි.

Top