සම්මා දිට්ඨි (යහපත් හෝ නිවැරදි දැක්ම) හා සංකප්ප (සංකල්පය)

විචක්ෂණ දැනුවත්භාවය යනු නිවැරදි හා සාවද්‍ය දේ ද යහපත් හා අයහපත් දේ ද වෙන්කර හඳුනාගැනීමේ හැකියාවයි. මෙම අවශ්‍යතාවය සඳහාය අෂ්ඨාංගික මාර්ගයේ අවසන් අංග යුගලය වන නිවැරදි දැක්ම හා නිවැරදි සංකල්පය (නිවැරදි පෙළඹුම් සිතිවිල්ල) යොදාගනු ලබන්නේ.

නිවැරදි දැක්ම නිවැරදි හා වැරදි හෝ හානිකර හෝ උපකාරී දේ අතර නිවැරදිව වෙන්කොට දැකීම මත පදනම්ව අප සත්‍ය සේ අදහන දෙය හා සම්බන්ධ වේ. නිවැරදි සංකල්පය යනු මෙමගින් යොමු කරනු ලබන ධනාත්මක චිත්ත ස්වභාවයයි.

දැක්ම

අප තුළ නිවැරදි හෝ වැරදි සහගත විචක්ෂණ දැනුමක් පැවතිය හැක:

  • නිවැරදිව විමංසනය කරමින් එය සත්‍ය සේ ඇදහීම හෝ
  • සාවද්‍ය සේ විමංසනය කරමින් එය සත්‍ය සේ ඇදහීමද අපට කළ හැක.

වැරදි දැක්ම යනු අප අපගේ වෙන්කොට දැක්ම හෙවත් විමංසනය සාවද්‍ය වන නමුදු එය නිවැරදි ලෙස ග්‍රහණය කොටගෙන සිටීම වන අතර නිවැරදි දැක්ම යනු නිවැරදි විමංසනයක් පවතින අතර එයම සත්‍ය සේ දරා සිටීමයි.

වැරදි දැක්ම

වැරදි දැකීම් යනු, නිදසුනක් ලෙස, ඇතැම්වා පාපකාරී හෙවත් විනාශකාරී ලෙසද ඇතැම්වා පුණ්‍ය හෙවත් ධනාත්මක ලෙසද අපගේ ක්‍රියාවන්හි ආචාර ධාර්මික මානයක් නොමැති බවද, ඒවා අප අත් විඳින ප්‍රතිඵල ලබා නොදෙන බවද පැවසීම හා විශ්වාස කිරීමයි. මෙය වර්තමානයේ පුද්ගලයන් සතු “වෙන දෙයක් වුණාවේ” යන මානසිකත්වය මගින් නිරූපණය වේ. ඒකට කමක් නෑ; ඕනැ එකක් ආදී වශයෙනි. එහි අදහස නම් මවිසින් අදාළ කාර්යය සිදු කළද නොකළද ගැටලුවක් නොවන බවයි. මෙය සාවද්‍ය තත්ත්වයකි. ඔබ දුම් පානය කරන්නේද, නොකරන්නේද යන්න සැලකිය යුතු ගැටලුවක් සහිත පැනයකි. ඔබ දුම් පානය කරන්නේ නම්, එමගින් ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට හානිකර ප්‍රතිවිපාක ඇතිවිය හැක.

තවත් වැරදි දැක්මක් වනුයේ අපට අපගේ තත්ත්වය හා අපගේ අඩු ලුහුඬුකම් වැඩිදියුණු කරගැනීමේ කිසිදු හැකියාවක් නොමැති බැවින් ඒ පිළිබඳ වෙහෙසීමෙන් පවා පලක් නොවන බවයි. මෙය සාවද්‍ය වන්නේ දේවල් ස්ථාවරව, නොවෙනස්ව, ගල්ගැසී නොපවතින බැවිනි. අන්‍යයන් හට කාරුණික වීමේ හෝ උපකාර කිරීමේ අර්ථයක් නොමැති අතර සැමගෙන් ප්‍රයෝජන ලබාගනිමින් හැකි උපරිම ලාභ ලැබීමට උත්සාහ කළ යුතු අතරම එමගින් සතුට උදාවන්නේය යන්න ඇතැමෙකුගේ විශ්වාසය වේ. එමගින් ගැටුම්, ඊර්ෂ්‍යාව හා සෙස්සන් විසින් අප සතු දේ සොරකම් කරනු ඇතය යන සිත් තැවුල් ඇති කෙරේ.

සාවද්‍ය විමංසන වර්ග ගණනාවකි. නිදසුනක් ලෙස, එය දුක හා එයට හේතු හා සම්බන්ධව විය හැක. ඔබගේ දරුවා පාසැල් කටයුතුවලට දුර්වල තත්ත්වයක සිටීම සලකා බලන්න. එහිදී “මං නිසානෙ මේ ඔක්කොම. අම්මා විදිහට ඒක මගේ වැරැද්ද.” ආදී ලෙස සිතීම සාවද්‍ය විමංසනය වේ. මෙය හේතු ඵල නියාමය පිළිබඳ සාවද්‍ය විමංසනයක් වේ. හුදෙක් එක් හේතුවක් නිසාවෙන් පමණක් දේවල් ඉස්මතු වීම හෝ ක්‍රියාත්මක වීම සිදු නොවේ. දේවල් සිදු වනුයේ හුදෙක් එකක් නොව ඉතා බොහෝ හේතු ප්‍රත්‍ය ගණනාවක සංකලනයක් හේතුවෙනි. අපගේ දායකත්වයක් ඇතිවා විය හැකි නමුදු අප ගැටළුවේ එකම හේතුව නොවේ.

අප විසින් යම් දායකත්වයක් ලබාදුන්නා විය හැකි නමුදු ගැටලුවේ එකම හේතුව අප නොවේ. ඇතැම් විට හේතුව කිසිසේත් අප නොවේ - එය සම්පූර්ණයෙන් සාවද්‍ය අදහසකි. බොහෝ සෙයින් කැළඹිල්ලට පත් පුද්ගලයෙකු පිළිබඳ නිදසුනක් මා හට සිහිවේ: ඔහු පාපන්දු  තරගයකට සහභාගි වූ අතර ඔහුගේ කණ්ඩායම ඉන් පරාජයට පත් විය. ඉන්පසු ඔහු සිය කණ්ඩායමේ පරාජයට එකම හේතුව තමා තරගයට සහභාගි වීම බව විශ්වාස කරමින් “කණ්ඩායම පැරදුණේ මගේ වරද නිසානෙ”යි සිතමින් තමා මහා අවාසනාවන්තයෙකු ලෙස දකින්නට විය. මෙය හාස්‍යජනක තත්ත්වයකි. මෙය හේතු ඵලවාදය පිළිබඳ සාවද්‍ය ලෙස කරුණු විමංසනය කිරීමකි.

නිවැරදි දැක්ම

නිවැරදි විචක්ෂණ අවබෝධය තීරණාත්මක සාධකයකි. මේ සඳහා අපට හේතු ඵලවාදයට අදාළ යථාර්ථය ආදී ලෙස යථාර්ථය පිළිබඳව ඉගෙනීමට සිදුවේ. බොහෝ හේතු ප්‍රත්‍යයන්හි බලපෑමට ලක්වන්නාවූ කාලගුණය මෙන් එක් තනි කරුණක් සාර්ථකව අවසන් කිරීමෙන් පසු අපගේ දරුවා පාසැල් කටයුතු හොඳින් ඉටු කරන තත්ත්වයේ සිට සෑම සියලු දෙයක්ම සාර්ථක වන දේවත්වයක් අප වෙත ආරෝපණය කරගැනීමද අප විසින් නොකළ යුතුය. කටයුතු එපරිදි සිදු නොවේ. 

නිවැරදි විමංසනයෙහි සිත යොමුකොට පවත්වාගෙන යාම පිණිස විචක්ෂණ අවබෝධයට සාමාන්‍ය දැනුම හා බුද්ධියද අවශ්‍ය වේ. මේ සඳහා අපට ශික්ෂණය අවශ්‍ය වේ. ඒ සියල්ල එකට ගැලපෙනුයේ මෙයාකාරයෙනි.

සංකල්පය (පෙළඹුම්කාරී සිතිවිල්ල)

උපකාරී වන්නේ කවරක්ද හා හානිකර වන්නේ කවරක්ද යන කරුණ හා යථාර්ථය කවරක්ද එසේ නොවන්නේ කවරක්ද යන කරුණු එකිනෙකින් වෙන්කොට හඳුනාගත් පසු අපගේ සංකල්පය හෝ පෙළඹුම්කාරී සිතිවිල්ල අදාළ වනුයේ අපගේ විමංසනය අප කථා කරන හෝ ක්‍රියා කරන විලාසය කෙරෙහි සහ දේවල් පිළිබඳ අපගේ ආකල්පය විෂයයෙහි බලපාන්නාවූ ස්වරීපය කෙරෙහිය. අපි සාවද්‍ය ලෙස කරුණු වෙන්කොට අවබෝධ කරගන්නේ නම්, එහි ප්‍රතිඵලයක් ලෙස ඇතිවන පෙළඹුම්කාරී සිතිවිල්ල සාවද්‍ය එකක් වන අතර නිවැරදිව අවබෝධ කරගන්නේ නම් ඇතිවන පෙළඹුම්කාරී සිතිවිල්ල නිවැරදි එකක් වේ.

අයහපත් හෙවත් වැරදි සංකල්පය

සංකල්පය හෝ පෙළඹුම්කාරී සිතිවිල්ල මගින් බලපෑමට ලක්වන ප්‍රධාන ක්ෂේත්‍ර තුනකි:

කාම රාගය

වැරදි පෙළඹුම්කාරී සිතිවිල්ලක් යනු පැහැපත් දේ, සංගීතය, ප්‍රණීත ආහාර, අලංකාර ඇඳුම් ආදී වශයෙන් වූ ඉන්ද්‍රියයන්ට ගෝචර වන අරමුණුවලට ලොල් වීම හා ඇලී සිටීම නම් වූ කාම රාගය මත පදනම් වූ එකකි. අපගේ ආශාවන් ඔස්සේ හඹායාමේ අදහස සහිත පෙළඹුම්කාරී සිතිවිල්ල ඒවා වඩාත්ම වැදගත් දේය යන සාවද්‍ය විමසා බැලීම මත පදනම් වූ එකකි. අපි නිවැරදි ‌ලෙස විමංසනය කරන්නේ නම්, අපට ඉන්ද්‍රිය ගෝචර අරමුණුවලට නොඇලී පවත්නා සමබර සිතක් හෙවත් උපේක්ෂාව ඇතිකරගත හැක.

අප ආහාරය ගත් ස්ථානය හා අප ගත් ආහාර ඉතා වැදගත් ඒ්වා ලෙස සලකා බැලීමේ අවස්ථාව මෙයට උදාහරණයකි. නිවැරදි ස්ථානය හා ආහාර ලේඛනයෙන් නිවැරදි ආහාර වර්ගය තෝරා ගතහොත් එමගින් අපට සැබෑ ලෙසම සතුට උදාවනු ඇතැයි අපි අදහස් කරන්නෙමු. අපි නිවැරදිව වෙන්කොට තෝරා ගන්නේ නම් එය එතරම් වැදගත් කරුණක් නොවන බව ඔබට වැටහෙනු ඇත. එනම්, රාත්‍රී ආහාරයට ගන්නේ කවරක්ද හෝ රූපවාහිනියේ විකාශනය වන්නේ කවර වැඩසටහනක්ද ආදියට වඩා බොහෝ වැදගත් වෙනත් දේ පවතී. මෙහිදී සිත වඩාත් ඉහිල් හා සමබර බවට පත්වේ.

ද්වේෂය

දෙවන වැරදි පෙළඹුම්කාරී සිතිවිල්ල හෝ සංකල්පය වනුයේ යමෙකුට රිදවීමේ හෝ හානි කිරීමේ අරමුණ පෙරදැරි කරගත් ද්වේෂයයි. යමෙකු අතින් යම් වරදක් සිදුවන විට ඉන් කෝපවී ඔවුන් සැබෑ නරුමයින් බවත් ඔවුනට දඬුවම් කළ යුතු බවත් ඔබ සිතන්නේ නම් මෙය වැරදි විමංසනයකි.

මිනිසුන් කිසි දින වැරදි නොකරන්නේය යන සාවද්‍ය විමංසනය අප විසින් සිදු කරන අතර එය හාස්‍යජනක සිතිවිල්ලකි. යමෙකු හට පහර දීමට තරම් වූ කෝපයක් ඇතිවිය හැකි නමුදු නිවැරදි විමංසනය පවත්නේ නම් එම අවස්ථාවන්හි වර්ධනය වනුයේ පරහිතකාමිත්වයයි. මෙය අන්‍යයන්ට උපකාර කොට ඔවුන් සතුටට පත් කිරීමේ පැතුම වන අතර එහි ශක්තියක් හා සමාව දීමේ ගුණයක් අන්තර්ගත වේ.  යමෙකු විසින් වරදක් සිදු කෙරෙන්නේ නම්, එහිදී එය ස්වභාවික තත්ත්වයක් බව අවබෝධ කරගන්නා ඔබ ඒ හේතුවෙන් කිසිදු කෝන්තරයක් පවත්වාගෙන නොයයි.

කෲරත්වය

තුන්වන වර්ගයේ වැරදි සංකල්පය නම් කෲරත්වයෙන් පිරි සිතයි. එහි විවිධ පැතිකඩ පවතී:

  • පාදඩකම – අන්‍යයන් කෙරෙහි හිංසාකාරී සිතිවිලි සහිතව ඔවුන්ගේ විඳවීම හා දුක ප්‍රාර්ථනා කරන කෲර, කරුණා විරහිත තත්ත්වයයි. නිදසුනක් ලෙස, වෙනත් පාපන්දු කණ්ඩායමක අනුගාමිකයන් වෙන්කොට සලකමින් හුදෙක් ඔවුන් වෙනත් කණ්ඩායමක් බැවින් ඔවුන් පිළිකුල් සහගත හා සටන් කොට පරාජය කළ යුතු වූවන් සේ සිතීම ගත හැක.
  • ස්වයං ඊර්ෂ්‍යාව– අප විසින් අපම අයහපත් අය සේ සලකමින් එබැවින් සතුටට පත්වීමට සුදුසු නොවූවන් සේ ගෙන අපගේම සතුට කඩාකප්පල් කරගන්නා කුරිරු ලෙස ස්වයං-ප්‍රේමයෙන් තොර තත්ත්වයකි. නුසුදුසු සම්බන්ධතා පවත්වාගෙන යාම, අයහපත් පුරුදු පවත්වාගෙන යාම, පමණ ඉක්මවා ආහාර ගැනීම ආදී වශයෙන් අපි නිතර මෙම ක්‍රියාවලියෙහි නිරත වන්නෙමු.
  • විකෘති සන්තුෂ්ටිය -  මෙහිදී අන් අයගේ දුක හෝ වේදනාව දැකීමෙන් හෝ ඇසීමෙන් අපි කුරිරු ලෙස සතුටු වන්නෙමු. මැතිවරණයන්ගෙන් පරාජය වීමට අකමැති දේශපාලනඥයෙකු මෙන් කිසිවෙකු අයහපත් ලෙස ගෙන ඔවුන් දැනට විඳින වේදනාව ඔවුනට ලැබිය යුතුම දෙයක් ලෙස සැලකීමයි. මෙහිදී ඇතැමෙකු අයහපත් වන බැවින් දඬුවමට ලක්විය යුතු හා දේවල් අසාර්ථක විය යුතු අතර අන් අය, විශේෂයෙන් අප, විෂයයෙහි සියල්ල සාර්ථක විය යුතු බවට වූ වැරදි ලෙස වෙන්කොට සැලකීමක් පවත්වාගෙන යනු ලබයි.

නිවැරදි සංකල්පය

නිවැරදි විමංසනය මත පදනම් වූ නිවැරදි සංකල්පය අවිහිංසාවාදී හා කෲර නොවූ ආකල්පයක් විය යුතුය. දුක් විඳින්නාවූ අන්‍යයන් වෙතද හානි කිරීමේ, වේදනා දීමේ හෝ ඔවුන් කෝප ගැන්වීමේ කැමැත්තක් නොමැති චිත්ත ස්වභාවයක් මෙහිදී ඔබ සතුවේ. ඔවුන්ගේ කටයුතු අසාර්ථක වන විට අපි සතුටු නොවන්නෙමු. සියල්ලන් දුක් විඳින නමුත් කිසිවෙකු දුකට කැමති නොවන අතරම කිසිවෙකු දුක් විඳිය යුතුද නොවන බව අප විසින් අවබෝධ කරගන්නා බැවින් අනුන් දුකින් හා එහි හේතූන්ගෙන්ද නිදහස් වෙත්වාය යන පැතුම සහිත මෙහි යම් කාරුණික ස්වභාවයක් ඇත. පුද්ගලයන් අතින් යම් වැරදි සිදු වන්නේ නම්, එසේ සිදුවන්නේ ඔවුන්ගේ මානසික වියවුල් හේතුකොටගෙන විනා ඔවුන් සහජයෙන්ම අයහපත් පුද්ගලයන් නිසාවෙන් නොවන බව මෙහිදී අපි අවබෝධ කරගන්නෙමු. යහපත් හෙවත් නිවැරදි විමංසනය හා නිවැරදි සංකල්පය මගින් අප ස්වභාවිකවම නිවැරදි කථාව හා නිවැරදි ක්‍රියාව වෙත යොමු කෙරේ.

සාධක අට එකට ගොනු කිරීම

මාර්ගයේ වූ සාධක අට එකිනෙක හා සම්බන්ධ වේ:

  • නිවැරදි දැක්ම හා සංකල්පය අපගේ ක්‍රියාකාරිත්වය හෙවත් හැසිරීම සඳහා වූ නිවැරදි පදනම සම්පාදනය කරන අතර අප ස්වභාවිකවම නිවැරදි කථාවේ, නිවැරදි ක්‍රියාවේ හා නිවැරදි ජීවන මාර්ගයන්හි නිරත කරවනු ලබයි. අන්‍යයන් කෙරෙහි අපගේ හැසිරීම් මගින් ඇතිකරන බලපෑම්වලට අනුව අපි නිවැරදි කුමක්ද යන්න වෙන්කොට හඳුනා ගන්නා අතර අන්‍යයන් වෙත උපකාර කිරීමේ විනා ඔවුනට හානි කිරීමේ කැමැත්තක් ඇතිකර නොගන්නෙමු.
  • මෙම පදනම මත, යහපත් ගුණාංග ගොඩනගා ගනිමින් අපගේ සිරුර හා හැඟීම් ආදිය පිළිබඳ අද්භූත අදහස්වලින් මුළා නොවෙමින් අභ්‍යන්තර ප්‍රවර්ධනයක් ඇතිකර ගැනීම සඳහා අපි යත්න දරමු. ප්‍රයෝජනවත් දේ පිළිබඳ අවධානය යොමුකොට ඒවා පවත්වාගෙන යාම සඳහා අපි සිහිය පාවිච්චි කරන අතර එවිට අපගේ සංකල්පය වඩාත් ප්‍රබලව වැඩේ. මෙපරිදි මේ සියල්ල එකිනෙක හා සම්බන්ධව පවතී.

අපට පුහුණු ත්‍රිත්වය හා අෂ්ඨාංගික මාර්ගය එක පෙළට ඉදිරිපත් කළ හැකි වුවද, අවසන් අරමුණ වනුයේ ඒ සියල්ල එකිනෙක සම්බන්ධ සමස්තයක් වශයෙන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ හැකියාව අත්පත් කරගැනීමයි.

සාරාංශය

උදෑසන අවදිවන අවස්ථාවේ සිට රාත්‍රියේ නින්දට යන අවස්ථාව දක්වා අපගේ ඉන්ද්‍රියයෝ විනෝද වීමේ හෙවත් තෘප්තියක් ලැබීමේ පිපාසාවකින් පෙළෙති. අපගේ ඇස ප්‍රිය රූපද, කන කර්ණ රසායන ශබ්දයන්ද, මුඛය නොහොත් දිව ප්‍රණීත රසයන්ද අපේක්ෂා කරයි. සතුටුදායක අත්දැකීම් අපේක්ෂා කිරිමේ කිසිදු විශේෂ වරදක් නොමැති අතර, මෙය අපගේ ජීවිතවල පරිමාණය සළකුණු කරන සාධකය නම්, අප කිසිදින තෘප්තිමත් නොවනු ඇත, කිසිදින දශමයක හෝ සිහියක් ගොඩනගා ගැනීමට අපට හැකි නොවනු ඇත.

ආචාර ධර්ම, සිහිය හා අවබෝධය පිළිබඳ පුහුණු ත්‍රිත්වය මගින් අපට සෑම මොහොතකම වඩාත්ම යහපත් අයුරින් ජීවත් වීම සඳහා අවකාශ සලසනු ලබයි. හුදෙක් ස්වකීය සතුට සොයා යෑම වෙනුවට අෂ්ඨාංගික මාර්ගය මගින් අපට අප කෙරෙහි පමණක් නොව අන්‍යයන් කෙරෙහිද ප්‍රතිලාභ සැලසීමේ ඉඩකඩ විවර කරනු ලබයි. පරීක්ෂාකර බැලීම මගින් නිවැරදි දැක්ම නිවැරදි වන අතර වැරදි දැක්ම එසේ නොවන්නේ මන්ද හා නිවැරදි ක්‍රියාවන් ප්‍රයෝජනවත් වන අතර වැරදි ක්‍රියාවන් හානිකර වන්නේ මන්ද ආදී වශයෙන් වූ විමංසන අවබෝධය ලබමින් ඒ අනුව ජීවත් වන විට අපගේ ජීවිත ස්වයංක්‍රීයව වඩා යහපත් දිශාවකට නැමී වැඩි වර්ධනය වනු ඇත. එමගින් අපගේ ජීවිත “සම්පූර්ණ බෞද්ධ ජීවිත” ලෙස හැඳින්විය හැකි ජීවිත බවට පත්වනු ඇත.

Top