බුදු දහම ඉගෙනීමේ අරමුණ කුමක්ද?

බෞද්ධ සන්දර්භයක් තුළ භාවනාව පිළිබඳව කථා කරන විටදී, අපි තරමක් නිශ්චිත කරුණක් පිළිබඳව කථා කරන්නෙමු. භාවනාව යන වදන කෙරෙහි මනා කීර්තියක් අත්පත්ව ඇති බැවින් හා ඉහිල් වීම පිණිස ආධාරකයක් ලෙස බොහෝ පුද්ගලයන් විසින් එය භාවිත කරනු ලබන්නේය ආදී කරුණු හේතුකොට වර්තමානයේ සෑම ස්ථානයකම පා‍හේ අපට භාවනාව යන වචනය නිරතුරු අසන්නට ලැබේ. කෙසේ වුවද, භාවනා පිළිවෙත් අනුගමනය කිරීම පිළිබඳව සලකා බලන කල, බොහෝ අය හට තමා කරන්නේ කවරක්ද යන්න පිළිබඳ කිසිදු අදහසක් නොමැත. අප හිඳගෙන නිහඬව සිටිය යුතුය යන අදහස ඇති නමුත් ඉනික්බිති කරන්නේ කවරක්ද? හුදෙක් හුස්ම පිළිබඳ අවධානය යොමු කරමින් කාරුණික සිතිවිලි දරා සිටීම ඉක්මවූ අන් කිසිවක් එහි තිබේද?

භාවනාව යන යෙදුමෙහි සංස්කෘත අර්ථය තුළ යම් කිසිවක් සැබෑ ලෙසම යථාර්ථයක් බවට පත් කිරීම යන අදහසක් ගැබ්වේ. තිබ්බතීයයෝ එය යම්කිසි පුරුද්දක් ගොඩනගා ගැනීම අර්ථවත් වන වචනයකට පරිවර්තනය කළහ. පුරුද්දක් ඇතිකර ගන්නා විටදී, අපි එය අපගේ ජීවිතයේ කොටසක් බවට පත් කරගන්නා අතර, භාවනාව විෂයයෙහි සැබෑ ලෙසම අප සිදු කිරීමට උත්සාහ කරනුයේ මෙයයි. අපට යම්කිසි ප්‍රයෝජනවත්, ඵලදායී වෙනසක් අප තුළම ඇතිකර ගැනීමේ අවශ්‍යතාවය ඇත. අප විසින් පළමුව විමසිය යුතු පැනය වනුයේ අපට වෙනස් වීමට අවශ්‍ය වනුයේ මන්ද යන්නයි. සාමාන්‍යයෙන්, එසේ අවශ්‍ය වනුයේ අප විසින් අපගේ ජීවිත ගත කරන ආකාරය හෝ අපට එය හැ‍‍‍‍‍ඟෙන ආකාරය, හෝ අප අපගේ කාර්යයන් හෝ සෙසු පුද්ගලයන් සමග සම්බන්ධවන ආකාරය පිළිබඳ යම් අසතුටක් අප වෙත පවත්නේ නම්ය. මෙම ලැයිස්තුව තවදුරටත් දිග් ගැස්සිය හැක. එනමුදු අප බොහෝ දෙනෙකුගේ ඉලක්කය වනුයේ අපගේ ජීවිත වැඩිදියුණු කරගැනීමයි.

ගැටලුවලින් පැනයාම වෙනුවට ඒවා සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කිරීම 

අපට වෙනස් වීමට හා වැඩිදියුණු වීමට අවශ්‍යය යන මෙය වැදගත් කරුණකි. ඉන් අදහස් වනුයේ අපගේ භාවනාව හරහා අපට යම් මනෝ ලෝකයකට පලා යාමට අවශ්‍ය වන්නේය යන්න නොවේ. ඒ සඳහා මත් ද්‍රව්‍ය, මත්පැන් වැනි සෙසු ක්‍රම යොදාගත හැක. අන් කිසිවක් පිළිබඳව හෝ සිහිපත් නොවන පරිදි දවස පුරා අපට සංගීතයට සවන් දිය හැක. නිරතුරු එවැනි යම් කිසිවක බලපෑමට යටත්ව සිටින විටදී, අපගේ ගැටලු සැබෑ ‍ඒවා තරම් ප්‍රබල බව නොපෙනේ. ගැටලු සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය සැබෑ ලෙසම අප විසින් ඉගෙන නොමැති බැවින් එම ගැටලු නිරන්තරයෙන් නැවත ඉස්මතු වේ. බොහෝ පුද්ගලයෝ භාවනාව මත් ද්‍රව්‍යයක් ලෙස ගෙන භාවිත කරන නමුත්, එය කල් පවත්නා උසස් උපකාරකයක් නොවනු ඇත. බෞද්ධ ඩිස්නිලන්තයක් මවා ගනිමින් අපට සීනු නද දෙමින් බෙර වාදනය කළ හැකි නමුත් එමගින් අප තුළ කිසිදු වෙනසක් ඇති නොකරනු ඇත. එය හුදෙක් පලා යාමක් පමණි.

කෙසේ වුවද, බෞද්ධ සම්ප්‍රදාය තුළ අපේක්ෂිත අයුරින් අප විසින් භාවනාව පුහුණු කරන්නේ නම්, එහිදී ගැටලුවලින් පලායාමේ උත්සාහයක් නොපවතින අතර, ඒ වෙනුවට ඒවා සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරමින් ඒවා ජය ගැනීමේ උත්සාහයක් පමණක් දක්නට ලැබෙනු ඇත. එය පහසු කටයුත්තක් නොවන බැවින් ඒ සඳහා සැබෑ ලෙසම දැඩි දිරියක් මෙන්ම ඉහළ උත්සාහයක් ගත යුතුය. එය අවශ්‍යයෙන්ම විනෝදජනක වූවක් නොවිය හැකි බැවින් ඒ සඳහාද අප සූදානම්ව සිටිය යුතුය. දැඩි හා අපගේ මස් පිඩු වේදනාවට පත් කරන ශාරීරික අභ්‍යාසයකටද අපට එය සමාන කළ හැකි අතර, කෙතරම් වේදනාකාරී වුවද, වඩාත් බලවත් හා සෞඛ්‍ය සම්පන්න වීමේ අදහසින් මෙම දුෂ්කරතාවය ඉවසා සිටීමට අපි කැමැති වෙමු.

අප විසින් කය වෙනුවට සිත දියුණු කරගැනීමේ අභ්‍යාසයක යෙදෙන්නේය යන කරුණ හැරුණු කොට, භාවනා කරන විටදීද සිදුවනුයේ මෙයට සමාන කාර්යයකි. ශරීරාරක්ෂක සටන් ක්‍රමවලදී මෙන් ශරීරය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදීද භාවනාව සම්බන්ධ කරගන්නා යම් බෞද්ධ ස්වරූපයන් පවත්නා නමුදු එය තිබ්බතීය බුදු දහමට අදාළ නොවේ. ශරීරය පුහුණු කිරීමේ කිසිදු වරදක් නොපවත්නා අතර සැබැවින්ම එය ඉතා ප්‍රයෝජනවත් කාර්යයකි. එසේ වුවද, මෙහිදී අපගේ බුද්ධිය පමණක් නොව අපගේ හැඟීම් හා හදවතද ඇතුළත් සිත කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරනු ලබයි. අප ක්‍රියා කරන, හැසිරෙන හා සන්නිවේදනය කරන ආකාරය ආදී සියල්ල අප‍ගේ සිත මගින් පාලනය කෙරෙන බැවින් බෞද්ධ පිළිවෙත් ආරම්භ කිරීමේදී වඩාත් මූලික කාර්යය විය යුත්තේ සිත දමනය කරගැනීමය යන්න මහා බෞද්ධ ගුරුවරුන් විසින් අවධාරණය කරන ලදී.

අප පිළිබඳව අවංකව විමසා බැලීම

අපට අපගේ ජීවිත තුළ දුෂ්කරතා පවත්නා අතර මෙහි හේතුව හෙවත් මූලාශ්‍රය අප සිත්තුළ පවත්නා යම්කිසි අතෘප්තිකර තත්ත්වයක්ය යන්න අවබෝධ වේ. අපි අප පිළිබඳවම අවංක හා සැබෑ පරීක්ෂාවක් කරන්නේ නම්, කෝපයේ සිට ලෝභය දක්වාද, ආත්මාර්ථය, ඊර්ෂ්‍යාව, ඇල්ම, අහංකාරය, අමනෝඥභාවය ආදී මෙකී නොකී විවිධ කැළඹිලිකාරී හැඟීම් අප තුළ පවත්නේය යන්න අවබෝධ වේ. වඩාත් ගැඹුරට සොයා බලන්නේ නම්, ජීවිතය යනු කුමක්ද යන්න පිළිබඳව යම් අනාරක්ෂිත බවක් හා ව්‍යාකූල බවක් පවතී. මෙකී අවුල් සහගත හැඟීම් අපගේ චිත්ත ස්වභාවය පාලනය කරමින් අප හා අන්‍යයන් කෙරෙහිද ගැටලු නිර්මාණය කරන්නාවූ ආකාරයකිකන් අන්‍යයන් සමගින් හැසිරීමට, කථා කිරීමට හා සබඳතා පැවැත්වීමට අවශ්‍ය පෙළඹවීම සිදු කරනු ලබන බව නිරතුරුවම පැහැදිලි වේ. අප තනිවම සිටින විටදී පවා, සියලු ආකාර කැළඹිලි සහගත සිතිවිලි සමගින් දුවන අපගේ සිත් නිරතුරු අපහසුතාවයකින් පසුවේ. සරලව ප්‍රකාශ කරන්නේ නම්, අපි සැබෑ ලෙසම සතුටින් ජීවත් නොවන්නෙමු.

භාවනාව තුළින් අදහස් කෙරෙනුයේ මෙකී තත්ත්වයෙහි යම් වෙනසක් ඇති කිරීමට උපකාරී වීමයි. යම් මත් ද්‍රව්‍යයක් ගෙන එහි බලපෑම මත කිසිදු කරුණක් පිළිබඳව නොසිතා සිටීමේ තත්ත්වයක් මින් අදහස් නොකෙරේ. භාවනාව මෙයාකාරයෙන් ඇතැම් පුද්ගලයන් විසින් දකින්නේ වුවද, එය විසඳුමක් නොවේ. ඔවුන්ගේ සිතිවිල්ල වනුයේ හුදෙක් හිඳ සිට ඇස් වසා ගනිමින් සියල්ල වෙතින් අවධානය ඉවත් කළ කල්හි යම් ආකාරයකින් ඔවුන්‍ගේ සියලු ගැටලු අතුරුදන් වනු ඇති බවයි. මෙය ක්‍රියාත්මක කළ නොහැකි, ප්‍රායෝගික නොවන දෙයකි. ඉන් ඔබ්බට ගොස්, අප විසින් සිදුකළ යුත්තේ සක්‍රීය ලෙස අපගේ ගැටලුවලට ප්‍රහාර එල්ල කිරීමයි.

සැබෑ සතුරා සොයා ගැනීම

අපගේ කැළඹිලිකාරී හැඟීම් අපගේ සැබෑ සතුරාය යන්න විස්තර කෙරෙන ඉතා දැඩි ලෙස කෙරෙන ප්‍රකාශනයන් අපට නිරතුරු බෞද්ධ සාහිත්‍යය තුළ හමුවේ. මෙහි අදහස ඒවා අප බියකොට මතිභ්‍රමයකට පත් කරන යම් රකුසෙක්ය යන්න නොවේ.  ඒ වෙනුවට අප වැඩිදියුණු කළයුතු පාර්ශ්වය මෙයය යන්න අප විසින් හඳුනා ගන්නෙමු. “නුඹ මා හට මේ සියලු ගැටලු හා කරදර ගෙන ආවෙහිය. දැන් ඇති. දැන් නුඹගේ කාලය අහවරයි.” යනුවෙන් මෙම කරදරකාරයන් අමතන ඉතා අලංකාර බෞද්ධ පාඨ අප සතු වේ. එබැවින්, හොඳින් සූදානම්ව බිම හිඳ ගනිමින් අපි අපගේ සිත වෙනස් කිරීමට උත්සාහ කරමු. මෙයයි භාවනාව යන්නෙන් සැබෑ ලෙසම අර්ථවත් වනුයේ.

භාවනාව යන්න සරලව විග්‍රහ කරන්නේ නම්, එය අපගේ අයහපත් පුරුදු වෙනස් කරගනිමින් ප්‍රයෝජනවත් පුරුදු වැඩි වර්ධනය කරගැනීම සඳහා අපවම පුහුණු කරවන විධි ක්‍රමයකි. මේවා දේවල් කෙරෙහි අප සිතන, අපට ‍හැ‍‍‍‍‍‍‍ඟෙන හා ඒවාට භාවමය වශයෙන් අපි ප්‍රතිචාර දක්වන ආකාරය සම්බන්ධ අපගේ පුරුදු වේ. මලල ක්‍රීඩාවන්හිදී පුහුණු වන විටදී, සංගීත භාණ්ඩයක් වාදනය කරන විටදී, හෝ නර්තනයක යෙදෙන විටදී මෙන්, ආරම්භයේදී එය ඉතා කෘත්‍රිම දෙයක් බවට පෙනී යා හැක. එසේ වුවද, යමක් හා සමීප හෝ පුරුදු වූ විටදී, එය අපට ඉතා ස්වභාවික දෙයක් බවට පත්වේ. අපගේ සිත්, හැඟීම් හා දැනීම් සම්බන්ධයෙන් කටයුතු කරන තත්ත්වයකටද මෙය අදාළ වේ. 

වෙනස් වීම සිදුකළ හැක්කක්ද?

දැන් විශාල ප්‍රශ්නයක් ඉස්මතු වේ. අපට සැබෑ ලෙසම වෙනස්විය හැකිද? සැබෑ ලෙසම, අපවම වෙනස් කරගැනීමේ කටයුතු සිදු කරනු පිණිස, පළමුව එය කළ හැක්කක්ය යන්න පිළිබඳ අප විසින් ඒත්තු ගත යුතුය. “මේක තමයි මගේ හැටි, එච්චරයි; මට මේක වෙනස් කරන්න පුළුවන් දෙයක් නෑ. ඒ නිසා මට මේ විදිහටම ජීවත් වෙන්න සිද්ද වෙනවා,” හෝ “මට හරියට තරහා යනවා. කුකුල් කේන්ති කාරයෙක්. මේක මගේ හැටි” ලෙස ප්‍රකාශ කරන අය අපට නිතර හමුවේ. අප එසේ තදබල ලෙස යම් ගුණාංගයක් හා අපවම අනන්‍ය කරගන්නේ නම්, එවිට තත්ත්වය වෙනස් කිරීමට දුෂ්කර වීම එහි ස්වභාවය වේ.

අප අප පිළිබඳවම අවංක විමසීමක නිරත විය යුතුය. අපි ඇතැම් දේ හා අනන්‍ය වනුයේ මක් නිසාද? අපි සැබෑ ලෙසම කෝප වන්නාවූ අය වේනම්, අපට සෑම කල්හිම කෝපය ඇතිවිය යුතු නොවේද? අපි අන්‍යයන් වෙත දොස් පැවරීමටද පෙළඹිය හැක: මට තරහා යන්නේ මගේ අම්මා හෝ තාත්තා මේක කරපු නිසයි ආදී වශයෙනි. මෙම ආකල්පයෙන් කිසිදු ප්‍රයෝජනයක් නොලැබේ. වඩා ගැඹුරින් විග්‍රහ කොට බලන්නේ නම්, අපට හැඟීම් සැබෑ ලෙසම ඉස්මතු වනුයේ කවර ස්ථානයේ සිටද යන්න සොයා ගැනීමේ උත්සාහයක නිරත විය හැක. “තරහ ගන්න එපා, ලෝභ වෙන්න එපා, ආත්මාර්ථකාමී වෙන්න එපා” ලෙස අප අප වෙතම සෑම දිනකම පැවසුවද, ඒවා වළක්වාලීම සැබෑ ලෙසම ඉතා අසීරු කටයුත්තක් නොවන්නේද? එබැවින් භාවාත්මකව අප වෙත හැඟීම් ඇතිවන ආකාරය වෙනස් කිරීම සඳහා ඉඩකඩ විවර කරන විධික්‍රමයක් අප විසින් සොයා බැලිය යුතුවේ.

අපගේ ආකල්පය සියල්ලට බලපායි

අපගේ “ආකල්පය” ලෙස හැඳින්විය හැකි දෙය අපගේ භාවමය ස්වභාවයට පදනම් වන දෙය වන බව බුදු දහම තුළ ප්‍රකාශිතය. මෙමගින් අදහස් කෙරෙනුයේ අප විසින් දේවල් දක්නා ආකාරයයි. අපට අපගේ රැකියාව අහිමි වන තත්ත්වයක් පිළිබඳව විමසා බලමු. අප විසින් විපතක් ලෙස ගෙන මේ දෙස බලන්නේ නම්, එවිට අපට කෝපයක් හා මානසික අවපීඩනයක් ඇතිවේ. මක් නිසාද? එම අවස්ථාවේ එය ලොව සිදුවිය හැකි වඩාත්ම අයහපත් දෙය ලෙස අපි සිතන බැවිනි.

අපට අපගේ රැකියාව අහිමි වී ඇත - එය සත්‍යයකි. අපට එය වෙනස් කළ නොහැක. අප‍ට වෙනස් කළ හැකි දෙය වන්නේ එ‍සේ රැකියාව අහිමිවීම පිළිබඳව අප කල්පනා කරන ආකාරයයි. මෙයයි ආකල්පය යන්නෙන් අර්ථවත් කෙරෙනුයේ.  එබැවින්, අපට එය වෙනස්ව දැකීමට උත්සාහ කළ හැක - දැන් අපට අපගේ දරුවන් සමග ගත කිරීමට හෝ රැකියාව වෙනස් කිරීමේ විකල්පයන් පිළිබඳව සිතා බැලීම සඳහා වැඩි කාලයක් වැය කළ හැක. සත්තකින්ම එමගින් අපට ආර්ථික ප්‍රතිලාභයක් නොලැබෙන නමුත්, එහිදී අවම වශයෙන් එම තත්ත්වය දෙස බැලීමේ ස්වරූපයෙහි යම් යහපත් පරිවර්තනයක් සිදුවේ. මෙයයි අපට අපගේ භාවනාව තුළදී අවධානයට ලක්කළ හැක්කේ - එනම් අපට දේවල් හැ‍‍‍ඟෙන ආකාරය කෙරෙහි බලපාන්නාවූ කරුණ වන අප දේවල් පිළිබඳව සිතන ආකාරයයි.

මගේ සමීපතම මිතුරා පසුගිය සතියේ මිය ගියේය. එය ශෝකී තත්ත්වයකි. මම ඒ පිළිබඳ ශෝක වෙමි - එය සෞඛ්‍ය සම්පන්න දෙයකි; එනම් එම හැඟී‍මේ කිසිදු වරදක් නොපවත්නා බවයි. මක්නිසාද, මම ඔහුගේ මරණය පිළිබඳ සතුටු නොවන බැවිනි. එසේ වුවද, මට මාගේ මානසික ස්වභාවය සම්බන්ධයෙන් මෙහිදී කටයුතු කළ හැක්කේ කෙසේද? ඔහු මියයාමට සතියකට පෙර ඔහුට දුරකථන ඇමතුමක් ලබාදීමේ හැඟීමක් මා තුළ වුවද, මා හට එය කළ නොහැකි විය. ඔහු සම්පූර්ණයෙන්ම සෞඛ්‍ය සම්පන්නව සිටි අතර, දිය නෑමට ගොස් සිටි අවස්ථා‍වේ හෘදයාබාධයකින් නාන කාමරය තුළම මිය ගියේය. එය මුළුමනින්ම අනපේක්ෂිත හා ක්ෂණික තත්ත්වයකි. සැබැවින්ම සතියකට පෙර ඔහුට කථා කිරීමේ සිතිවිල්ලක් නැගුණු අවස්ථාවේ කථා නොකිරීම පිළිබඳ මා හට මහත් පසුතැවිල්ලක් ඇතිවිය හැක. නොඑසේව, ඔහු මියයන බව දැන සිටියේ නම් ඔහුට පැවසීමට හැකිව තුබූ සියලු කරුණු පිළිබඳව සිතමින් මා හට මා සමගින්ම කෝප විය හැක. එවන් සිතිවිලි ඇතිකර ගැනීම තුළින් මා හට ව‍ඩ වඩාත් අයහපත් හැඟීම් ඇතිවිය හැක.

ඒ වෙනුවට, අප එක්ව ගතකළ සියලු ප්‍රීතිමත් කාලයන්ද, වසර 35ක මිතුරු ඇසුර තුළ අප එකිනෙකා සමගින් බෙදා හදාගත් අපූර්ව අත්දැකීම් හා එවන් සොඳුරු මිනිසෙකු ඉතා සමීපව ඇසුරු කිරීමට තරම් මා භාග්‍යවත් වීම පිළිබඳවද සිහි කළෙමි. ඔහු මා දැන සිටි බටහිර ජාතිකයන් අතර වඩාත්ම අවංක හා අව්‍යාජ ධර්ම පිළිවෙත් පුරන්නාද විය හැක. මා හට මාගේ පිළිවෙත් වඩ වඩාත් ප්‍රබලව පුරන්නට ඔහුගෙන් ලද ආභාසයද සිහි කරමි. ඔහු විසින් ඔහුගේ බිරිඳ රැකබලාගත් අයුරින්ම මාද දැන් ඔහුගේ බිරිඳ රැකබලාගන්නා බව දන්නේ නම් ඔහුට මහත් සැනසීමක් ඉන් ලැබෙනු ඇති බවද මම සිහිපත් කරමි. 

මෙයයි භාවන‍ා‍වේ ප්‍රතිඵලය. ඉන් ඔබට කිසිදු අධි මානුෂික බලයක් හෝ අසාමාන්‍ය කිසිවක් අත්පත් නොවේ. ඔබට ඉන් අත්වන ප්‍රයෝජනය නම්, දුෂ්කර අවස්ථාවකට මුහුණදෙන කල්හි ඔබ නිශේධනාත්මක හා දුක්ඛදායක චිත්ත ස්වභාවයකට පරිවර්තනය වන බව පෙනෙන විටදී පළමුව ඔබ මේ මානසික ස්වභාවය නොකඩවා පවත්වාගෙන යතහොත් තත්ත්වය වඩාත් භයානක වන බවට වූ ප්‍රමාණවත් අවබෝධයක් ලැබේ. මෙම දුෂ්කර අවස්ථාවන් අවබෝධ කරගැනී‍මේ වඩා යහපත් විධික්‍රම අප විසින් අවබෝධ කරගන්නා අතර, ප්‍රමාණවත් පුහුණුවක් මගින්, අපට මුළුමනින්ම දේවල් දක්නා ආකාරය වෙනස් කළ හැක. මාගේ මිතුරා මියගිය අවස්ථාවේදී මෙන් අපට තවදුරටත් ශෝකී හැඟීම් පහල විය හැකි නමුත් එම ශෝකී ස්වභාවය සමනය කරනු පිණිස යම් සතුටක් එක් කරන්නාවූ අදහස් ඇතුළත් කරගැනීමට අපට එහිදී හැකියාව ලැබේ.


අපගේම ශක්‍යතාවයන් පිළිබඳව ඒත්තු ගැනීම

එබ‍ැවින් අප විසින් අපගෙන්ම විමසිය යුතු කරුණ වන්නේ දේවල් දක්නා ආකාරය අපට වෙනස් කළ හැකිද යන්නයි. මෙයට ලබාදිය හැකි පිළිතුර නම් එසේ කළ හැක්කේය යන්නයි. අප පෙරදී ඉතා සිත් ගන්නා සුළු හා අපූර්ව වස්තූන් ලෙස දුටු අපගේ දරුවන් දැන් යම්තාක් දුරට අමන, අමනෝඥ හා කරදරකාරයින් ලෙසද අපට පෙනී යා හැක. වයස් ගතවීමත් සමගින් අපගේ ආකල්ප බොහෝ සෙයින් වෙනස්වී ඇත. තවදුරටත් වෙනස් වී‍මේ හැකියාවක් අප තුළ පවත්නා බවට අපට ඒත්තු ගැන්වෙන විටදී, එසේ සිදු කිරීමේ සැබෑ විධික්‍රම අප විසින් උගත යුතු වේ. මෙයට පියවර තුනක් අයත් වේ:

  • නිවැරදි තොරතුරු ලබාගැනීම – යමක් පිළිබඳව ඇහුම්කන් දීමෙන්, කියවීමෙන් හා ඉගෙනීමෙන් ලැබෙන වඩාත් ප්‍රයෝජනවත් පුරුද්දක් පිළිබඳව අප විසින් උගත යුතුවේ. මෙම පියවර මගින් අපි එය අවශ්‍යයෙන්ම ඉගෙන ගන්නා බවක් අදහස් නොවන අතර, එය බෞද්ධ ක්‍රමයක්ය යන්න වෙන්කොට හඳුනා ගැනීමට අපට හැකිවේ.
  • එහි අර්ථය මෙනෙහි කිරීම – අපට අප වෙත ලැබුණු තොරතුරු අවබෝධ කරගැනීමට හැකිවනු පිණිස ඒවා සලකා බැලීම, ඒ පිළිබඳ සිතීම හා ඒවා විවිධ කෝණයන්ගෙන් විග්‍රහ කිරීමට සිදුවේ. අප විසින් දකින දේ සත්‍ය වන අතර හුදෙක් කුණු කන්දල්ම නොවන්නේය යන සත්‍යය අවබෝධ කරගත යුතුවේ. එය අපට ප්‍රයෝජනවත් වන අතර, එය අපගේ ජීවිතවලට සම්බන්ධ කරගත හැකිවේය යන්නද ඒත්තු ගත යුතුය.
  • භාවනා කිරීම – උගත් හා අවබෝධ කරගත් දේ දැන් වඩාත් ප්‍රයෝජනවත් පුරුද්දක් බවට වැඩි වර්ධනය කරගනු පිණිස අවශ්‍ය භාවනා කිරීමට සූදානමින් සිටින්නෙමු.

නිවැරදි තොරතුරු හා මෙනෙහි කිරීම

නිවැරදි තොරතුරු ලබාගැනීම අප සිතන තරම් පහසු කටයුත්තක් නොවේ. නිර්ව්‍යාජ බෞද්ධ විධික්‍රම උගන්වන්නේයයි පවසන බොහෝ අය වෙත්; එනමුත්, හුදෙක් යමෙකු විසින් පොතක් ලියා එය පළ කොටගත් පමණින් එම පොතේ අන්තර්ගතය නිවැරදි වන්නේය යන්නක් ඉන් අදහස් නොවේ. ගුරුවරයෙකු ඉතා ජනප්‍රිය හෝ ආකර්ශනීය අයෙකු වූයේය යන හේතුව මතම ඔවුන් උගන්වන දෙය නිවැරදිය යන්නක් අදහස් නොවේ. හිට්ලර්ද ඉතා ආකර්ශනීය හා ජනප්‍රිය අයෙකු වූ නමුත් ඔහු ඉගැන්වූ දේ පැහැදිලිවම නිවැරදි දෙය නොවීය.

මෙලෙස, ‍බුදු දහම තුළ අප විසින් අපගේ බුද්ධිය භාවිත කරන්නේය යන්න අවධාරණය කරනු ලබයි. අප සතුන්ගෙන් වෙනස් වන්නේ කවර හෙයින්ද? සතෙකුටද බොහෝ දේ කිරීමට පුහුණු කළ හැකි නමුත්,  ඔවුන් ඉක්මවා අපට පවත්නා දෙය නම් බුද්ධියයි. අපට ප්‍රයෝජනවන් හා අප්‍රයෝජනවත් දේ අතර වෙනස දැකීමේ හැකියාව ඇත. යමක් අපට පළමු අවස්ථාවේ අවබෝධ නොවුවද, අපට එය අවබෝධ කරගැනීම සඳහා අපගේ බුද්ධිය මෙහෙයවිය හැකි අතර, එයයි අප යමකට ඇහුම්කන් දෙන විට හෝ දේශනා කියවන විටදීද සිදුකළ යුත්තේ.

බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද සියලු දේ තුළ අන්‍යයන් වෙත යම් ප්‍රතිලාභයක් සැලසීමේ අදහස විය. එසේ නමුදු, උන් වහන්සේ විසින් දේශනා කරන ලද දේ ප්‍රයෝජනවත්ද, නැත්ද යන කරුණ අපටම පරීක්ෂා කරගත හැක. කෙටි කාලීන ප්‍රතිඵල එතරම් ප්‍රිය මනාප නොවිය හැකි බැවින්, ඒ සඳහා අපට දිගු කාලීන ප්‍රතිඵල විමසා බැලීමට සිදුවේ. එය සිදුකර ගැනීම කිසිසේත් ප්‍රිය මනාප නොවන වෛද්‍ය සත්කාරයන් මෙනි. එනමුදු, රසායනික චිකිත්සාවන් හෝ පිළිකාවන්හිදී මෙන් එහි දිගු කාලීන ප්‍රයෝජන පවතී.

දේශනා විමසා බලමින් ඒවා අපගේ ජීවිත හා අපගේම අත්දැකීම් වෙත සම්බන්ධ කරගැනීමේ ඉහත කාර්යය අප විසින් ඉටුකොට නොමැත්තේ නම්, ඒ පිළිබඳ කෙසේ භාවනා කරමුද? එය වූකලි අපට අවශ්‍ය වන්නේද  හා සැබෑ ලෙසම ඉන් යහපතක් සැලසෙන්නේද යන්න ‍සිතා බැලීමකින් තොරව යමක් මිලදී ගැනීම මෙනි.

විධිමත් භාවනාව

සැබැවින්ම දේශනා පිළිබඳව සිතා බැලීමේ ක්‍රියාවලිය ඉතා ප්‍රයෝජනවත් එකක් වන අතර ඇතැමුන් විසින් මේ අදියරද යම්කිසි භාවනාවක් ලෙස සැලකිය හැක. එනමුදු, වඩා විධිමත් ලෙස “භාවනාව” ලෙස හැඳින්විය හැක්කේ මෙකී වඩාත් ප්‍රයෝජනවත් චිත්ත ස්වභාවය අපගේ පැවැත්ම හෙවත් සාමාන්‍ය ජීවිතය තුළට ඒකාබද්ධ කරගැනීමේ ක්‍රියාවලියයි. මෙතුළද පියවර දෙකක් ඇතුළත් වේ:

  • විපරම්කාරී භාවනාව – මෙම පළමු අදියර නිරතුරුවම “විග්‍රහාත්මක භාවනාව” ලෙස හැඳින්වෙන අතර, සියලු විස්තර හා ආධාරක සාධක පිළිබඳව විපරම් කරමින් වැඩි දියුණු වූ ආකල්පයකින් යම් කිසිවක් මත අපගේ අවධානය යොමු කරනුයේ මෙහිදීය.
  • ස්ථායිකරණ භාවනාව– දෙවන අදියරේදී අපි තව දුරටත් සක්‍රීයව සියලු විස්තර විපරම් නොකරන අතර හුදෙක් ඒ කෙරෙහි වූ අපගේ ආකල්පය ලෙස අපගේ විග්‍රහයේ ප්‍රධාන නිගමනය යොදා ගනිමින් අපගේ නිමිත්ත ලෙස වඩා සම්පීඩිත හෙවත් සංක්ෂිප්ත අයුරින් අවධානය යොමු කරන්නෙමු.

බොහෝ පුද්ගලයෝ, භාවනාව ආරම්භ කිරීමේදී, හුස්ම පිළිබඳ අවධානය යොමු කිරීමට උගනිති. අපි අපගේ සිත් නිහඬ කරමින් ආශ්වාස හා ප්‍රශ්වාස හුස්ම දෙස අවධානය යොමු කරන්නෙමු. ඉතා සරල වූවක් ලෙස හැ‍ඟෙන නමුත් එය සැබෑ ලෙසම විශ්වාස කිරීමට නොහැකි තරම් දුෂ්කර කාර්යයක් වේ. හුස්ම පිළිබඳව අවධානය යොමු කරන විටදී අප සිදුකිරීමට අදහස් කරන්නේ කුමක්ද? පළමුව, සියලු ආකාරයේ කැළඹිලිකාරී හැඟීම් හා භාවයන් අපතුළ ඇතිකරන්නාවූ අප හිස තුළ පවත්නා හඬ නිහඬ කිරීමට උත්සාහ කරන්නෙමු. මෙය පසුබිමේ පවත්නා ස්ථිතියෙන් මිදීමක් මෙනි. එසේ නමුදු, ඒ හා සමගින්ම, අපට අප අසා ඇති, මෙනෙහි කොට ඇති හා අවබෝධ කරගෙන ඇති හුස්ම පිළිබඳව යම් අවබෝධයක් සහිතව අවධානය යොමු කළ හැක. මෙහිදීය විපරම්කාරී හා ස්ථායිකරණ භාවනාව අදාළ වනුයේ. නිදසුනක් ලෙස, අපට අනිත්‍යය ගෙනහැර දක්වන පිළිබිඹුවක් ලෙස හුස්ම පිළිබඳව සලකා බැලිය හැක: එය සැම කල්හිම වෙනස් වේ. නොඑසේ නම්, හුස්මෙන් වෙන්වූ වෙනමම “මා”  යන්නෙක් නොමැතිය යන කරුණද අපට විමසා බැලිය හැක - සැබැවින්ම, හුස්ම ගනුයේ කවුරුන්ද? එ‍සේ වුවද, එවන් විග්‍රහයකින් මෙම පිළිවෙත ආරම්භකයන් හෙවත් නවකයන් වෙත වඩාත් සංකීර්ණ කරුණක් බවට පත්කළ හැක.

අප දෙස බැලීම නැවතද ආරම්භය ගැනීම සඳහා වඩාත් යහපත් ස්ථානයක් විය හැක. අපගේ කටයුතු, පවුල්, පොදුවේ සමාජය වෙතින් මතුවන මහත්වූ පීඩනයකට යටත්ව නිරතරුවම අපි වාසය කරන්නෙමු. ඒ අනුව, නිරන්තරයෙන් අපගේ සිත් කණගාටුව හා කරදරකාරී සිතිවිලි සමගින් තරග දිවුමක නිරත වේ. මෙම තත්ත්වය තුළ ඉහිල් වීම දුෂ්කර කාර්යයක් වේ. එබැවින්, හුදෙක් වඩාත් ඉහිල් වීම හා බිම්ගතව හෙවත් පොළවේ පය ගසා සිටීමට හැකියාව ලබාගැනීම පිණිස එය ඉතා ප්‍රයෝජනවත් වනු ඇත. මෙමගින් අවසන් වශයෙන් අපගේ ගැටලු නිරාකරණය කිරිමක් සිදු නොවුවද, ඒ වූකලි ධනාත්මක පළමු පියවරකි. අප‍ගේ හුස්ම රැල්ල පිළිබඳ අවධානය යොමු කරමින්,  සිරුර පිළිබඳ යථාර්ථය ස්පර්ශ කළ හැක - එනම්, “මම ජීවත් වෙමි!” යන්නයි. අප මියෙන තුරා හුස්ම ඉහළ පහළ යාම සිදුවන බැවින්, හුස්ම යනු එම කරුණ පිළිබඳ මනා දර්ශකයකි. ජීවිතය කෙතරම් දුෂ්කර වුවද, සැම කල්හිම හුස්ම එහි පවතී. ඒ පිළිබඳ වඩ වඩාත් දැනුවත්ව සිටීමට හැකිනම්, ජීවිතය තුළ කවරක් සිදුවුවද ජීවිතය නොකඩවා ගලායන බව අපට පසක් කිරීමට එය උපකාරකයක් වේ. මාගේ මිතුරා මියගිය අවස්ථාවේදී ජීවිතය නොකඩවා ගමන් කරන්නේය යන කරුණ මා අවබෝධ කරගත් බැවින් මෙයද ප්‍රයෝජනවත් දෙයකි.

අපට මෙම තොරතුරු පවත්නා අතර, ඒ පිළිබඳ සිතාබලා අවබෝධ කරගත්තේ නම් එය ‍ඒත්තු ගැන්වී යම් අර්ථවත් හැඟීමක් ලබාදේ. ජීවිතය නොකඩවා ගලායන බව දැක මාගේ බිය වූ හා පරිපීඩිත සිතිවිලිවල ගැලී නොසිට මාගේ සිරුර හා වඩ වඩාත් සම්බන්ධ වීම ප්‍රයෝජනවත් වේද? සැබැවින්ම එසේය. මා මාගේ හුස්ම පිළිබඳ අවධානය යොමු කරමින් ඒ පිළිබඳ දැනුවත්ව සිටී‍මේ හැකියාවෙන් යුක්ත අයෙක්ද? එසේය. තත්ත්පරයකට හෝ දෙකකට සෙසු කටයුතු නවතාලුවද අප‍ට අපගේ හුස්ම දැනේ: එය නිරන්තරයෙන්ම පවතී. එලෙස, අපට ඉතා ගැඹුරු හා සංකීර්ණ මට්ටමේ අවබෝධයක් පැවතීමද අවශ්‍ය නොවන බව පෙනේ. සත්‍ය වශයෙන්ම, අවබෝධය ගැඹුරු වන්නට වන්නට සිදුවන යහපතද වැඩි වන නමුත් ආරම්භයක් වශයෙන් එය ප්‍රමාණවත් වේ.

භාවනා ක්‍රියාවලිය

අපගේ අවධානය සමගින් දිවෙන මනෝ ස්වභාවයන් වන චෛතසිකයන් දෙකක් පවත්නා කල්හි හුස්ම පිළිබඳ අවධානයෙන් සිටීම පිළිබඳ අවබෝධයක් ඇති වේ:

  • දළ පරීක්ෂාව – යමක් දළ මට්ටමින් හඳුනා ගැනීම
  • තියුණු අවබෝධය – යමක් ඉතා සවිස්තරාත්මක මට්ටමින් අවබෝධ කරගැනීම.

මෙම මනෝ අවධීන් දෙක අතර පවත්නා වෙනස විස්තර කිරිම සඳහා භාවිත කෙරෙන සම්ප්‍රදායික උදාහරණය වනුයේ චිත්‍රයක් දෙස බලා සිටීමයි. දළ පරීක්ෂාව තුළදී, එය ඇතැම් විට යම් පිරිසක් අන්තර්ගත, පින්තූරයක් බව හඳුනා ගනී. මෙය දැනගැනීමෙන් සිත විසින් එය ප්‍රකාශ කරන බවක් හෝ නොපෙනෙන අතර බලා සිටීම තුළ දැනීම පමණක් සිදුවේ. මෙයයි ඉතා පොදු භාෂාවකින් “අවබෝධය” යනුවෙන් අප විසින් හඳුන්වාදෙනු ලබන්නේ. තියුණු අවබෝධය තුළදී චිත්‍රය වඩාත් සවිස්තරාත්මකව දකිමින් එම රූපය යම් යම් ලක්ෂණද සහිත අසුවල් පුද්ගලයාගේය යන්න අවබෝධ කරගනී.

හුස්ම පිළිබඳ අවධානය යොමු කරගෙන සිටීමේදී සිදු කරනුයේ මෙයයි. හුස්ම සැම කල්හිම ගලා යමින් පවත්නා දෙයක්ය යන්න පරීක්ෂාකර අවබෝධ කරගන්නා අතර, එය නාසය තුළින් ඉහළට හා පහළට ගලා යන්නේය යන විස්තරයද වෙන්කොට හඳුනා ගනී. කුමක් කෙසේ සිදු වුවද, මා ජීවත්වන තාක් කල් එය නොකඩවා සිදුවනු ඇති අතර ඒ අරුතින් ගත්කල එය ස්ථාවර, ආරක්ෂිත හා විශ්වසනීය එකක්ද වේ. එබැවිනි එය “පැහැදිලි අවබෝධය” ඇතිකරන භාවනාව ලෙස හැඳින්වෙනුයේ. මක් නිසාද, එය අප පැහැදිලිවම හඳුනාගන්නා දෙයක් වන බැවිනි. අපි එය විග්‍රහ නොකරන්නේ නමුදු, එය එක්තරා අයුරකින්, එක්තරා දෘෂ්ටියකින් දකිමින් අවබෝධ කරගන්නෙමු.

ස්ථායිකරණ භාවනාව නමින් යුත් දෙවන පියවර තුළ අපට සක්‍රීය ලෙස මේ අයුරින් දැකීමට අවශ්‍ය නොකෙරෙන අතර හුදෙක් දැනීම පමණක් පවතී. මෙය සක්‍රීය ලෙස යමක් අවබෝධ කරගැනීම හා හුදෙක් එය දැනීම අතර වෙනස් වූ මානසික තත්ත්වයකි. අපි භාවනා කරන අතර, එහි ප්‍රතිඵලය ලෙස අප වඩ වඩාත් බිම්ගතව හෙවත් පොළවේ පය ගසා සිටින තත්ත්වයකට පත්වන අතර වඩ වඩාත් ස්ථාවර හා ආරක්ෂිත බවට වූ හැඟීමක්ද ඇතිවේ. මෙම තත්ත්වය නැවත නැවතද - වඩාත් යෝග්‍ය ලෙස සෑම දිනකම- පිළිවෙත් පිරීම තුළ සිදුවේ.

අපගේ පිළිවෙත් දෛනික ජීවිතය තුළට යොදා ගැනීම

විශේෂයෙන් බොහෝ සෙයින් අවුල් සහගත බවක් හැ‍ඟෙන අවස්ථාවන්හිදී අපි මෙම පිළිවෙත සිහි තබාගැනීමට උත්සාහ කරමු. සැබැවින්ම එය දුෂ්කර කාර්යයක් වන නමුදු, (පෙරදී ශාරීරික අභ්‍යාස පිළිබඳ උපමාව යොදාගෙන ඇත) අවසානයේදී එම අවබෝධය සියලු අවස්ථාවන්හි දැනෙන දෙයක් බවට පත්වන තරම් ගැඹුරු තත්ත්වයකට වර්ධනය වේ. කවරක් සිදු වුවද ඉතා ගැඹුරු මට්ටමකින් ජීවිතය ගමන් කරමින් සිටින අතර එහි ගැටලුවක් නොපවත්නා බව අපි නිරතුරුව දැනුවත්ව සි‍ටින්නෙමු. අප මෙය කෙතරම් ගැඹුරට අවබෝධ කරගෙන සිටින්නේද යත් එය අප ජීවිතය දක්නා ආකාරය වෙනස් කරන්නාවූ පුරුද්දක් බවට පත්වේ. මෙය භාවනාවේ ප්‍රතිඵලයයි. අපි එය අමතක කරන්නේ නම්, අපට නිරන්තරයෙන් නැවත නැවතද අපගේ හුස්ම පිළිබඳ අවධානය යොමු කරමින් අප වෙතම සිහි කැඳවමින් අළුත් විය හැක. අප විසින් සිදු කරනු ලබන්නේ එදිනෙදා ජීවිතය සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය විෂයයෙහි ‍අපගේ චිත්ත ස්වභාවයන්හි සැබෑ වෙනසක් ඇතිකර ගැනීමයි. එය යම් මනෝ ලෝකයකට ගමන් කරමින් අපගේ ගැටලුවලින් පලා යාමක් නොවන අතර, අපගේ මානසික හා භාවමය තත්ත්වයන් හා අවසන අප ජීවත්වන තත්ත්වයන්ද වැඩිදියුණු කරගැනීමට හැකිවනු පිණිස අනුගමනය කරනු ලබන සක්‍රීය ක්‍රියාවලියකි.

මේ දැන් විමසා බලන ලද කරුණ මනෝ විද්‍යා‍වේ ඉතා සංකීර්ණ ක්‍රමයක් ලෙසද දැකිය හැක. එය මෙසේ දැකීම යහපත් වන නමුදු, බුදු දහම යනු මෙයමය යනුවෙන් නොසිතීමට ප්‍රවේශම් විය යුතුය. එය හුදෙක් මනෝ විද්‍යා‍වේ එක් ආකෘතියක් පමණි. බුදු දහම යනු මෙයට බොහෝ සෙයින් වැඩි දෙයකි. බුදු දහම තුළ -අර්හත්වය, සියල්ලන් වෙත උපකාර කිරීම වැනි- මෙයට වඩා බොහෝ වැඩි දේ ඉලක්ක කරන නමුදු අපට මෙකී ඉතා වැදගත් පළමු පියවර අනුගමනය කිරීමට සිදුවේ.

සාරාංශය

දවස පුරා සංගීතයට සවන් දීම හෝ නිරතුරුව කාර්ය බහුලව සිටීමේ සිට සියල්ල අමතකව යනු පිණිස මත්පැන් ‍හෝ මද්‍යසාර භාවිතය දක්වා හුදෙක් ගැටලුවලින් පැන යාමේ පහසු මං පවතී. මෙකී තාවකාලික ක්‍රියා මාර්ග එතරම් ප්‍රයෝජනවත් නොවන අතර, එහිදී ගැටලුව නැවත නැවතද ඉස්මතු වේ. සැබෑ ලෙසම මෙනෙහි කිරීම හා ඉන්පසු ධර්මය පිළිබඳව සිහි කිරීම මගින් අපට අප පිළිබඳවම මෙන්ම සෙස්සන් හා අප මුහුණ දෙන අත්දැකීම් පිළිබඳවද සලකා බලන ආකාරය මුළුමනින්ම වෙනස් කළ හැක. මෙමගින් අපගේ සියලු ගැටලු ක්ෂණිකව අතුරුදන් කළ නොහැකි නමුත්, ඒවා සමග කටයුතු කිරීමට තරම් අපි දැන් ප්‍රබල බව දනිමින් සෘජුවම ඒවාට මුහුණ දීමේ හැකියාව එමගින් අප වෙත ලබාදේ.

Top