බෞද්ධ - මුස්ලිම් සහජීවනයේ යතුර අධ්‍යාපනයයි

බුදු දහම හා ඉස්ලාම් දහම යන දෙදහම තුළම ප්‍රේමය, කරුණාව, ඉවසීම හා සමාව ලබාදීම යන විශ්වීය වටිනාකම් උගන්වනු ලබයි. අධ්‍යාපනය තුළින් බෞද්ධයන් හා මුසල්මානුවන්ද මෙම පොදු ස්වභාවය හඳුනා ගැනීමට හා ඇගයීමට පටන් ගන්නා විටදී, ඔවුන්ගේ දාර්ශනික වෙනස්කම් කවරේ වුවද, එතුළ ආගමික සහජීවනය උදෙසා අවශ්‍ය පදනම සැකසේ.

පරම පූජනීය දලයි ලාමා වහන්සේ විසින් නිරතුරු ප්‍රකාශ කර ඇති දෙයක් වනුයේ අන්තර් ආගමික සහජීවනයේ යතුර අධ්‍යාපනය බවයි. මක් නිසාද, බොහෝ කොටම සෙසු ආගම් කෙරෙහි වූ අවිශ්වාසය හා එදිරිවාදිත්වය නිරතුරු එකී ආගම්වල දේශනාවන් පිළිබඳ පවත්නා නොදැනුවත්භාවය මත පදනම් වන බැවිනි. සියලු ආගම් තුළ ප්‍රේමය, කරුණාව, සමාව ලබාදීම හා කාරුණිකත්වය පිළිබඳ විශ්වීය වටිනාකම් පිළිබඳ විශ්වාසයක් බෙදා හදාගනු ලබයි. එ්වා තුළ එකම අරමුණ බෙදා හදාගනු ලබයි: එනම් පුද්ගලයන් හා සමාජය වෙනුවෙන්ද ජීවිතය වඩාත් සතුටුදායක එකක් බවට පත් කිරීමයි. ඔවුන් තුළ පවත්නා දාර්ශනික වෙනස්කම් තුළින් කිසි විටෙකුදු එකී අරමුණු සාක්ෂාත් කරගැනීමෙහි ලා එම වටිනාකම්හි පවත්නා වැදගත්කම ප්‍රතික්ෂේප කිරීමක් සිදු නොවේ. එ්වා මගින් හුදෙක්ම මෙම ශීලයන්, යහ ගුණයන් ගොඩනංවා ගැනීම සඳහා පිළිවෙත් පුරන්නන් විෂයයෙහි එක සමාන ඵලදායකත්වයක් සහිත රාමු හා හේතු ගණනාවක් දැක්වීම පමණක් සිදු කරනු ලබයි. එබැවින්, ආගමික සහජීවනය පෝෂණය කරනු පිණිස, විවිධ ආගම් අදහන්නන් විසින් එකිනෙකාගේ ආගම් විසින් එකම වර්ගයේ පව්-පින් පිළිබඳ වටිනාකම් තහවුරු කරන්නේය යන කරුණ උගත යුතුවේ. ඔවුන් තුළ එම විශ්වාසය, ගෞරවය හා සහජීවනය වර්ධනය විය හැක්කේ මෙම පොදු පදනම බෙදා හදා ගන්නාවූ නිවැරදි දැනුම පදනම් කරගෙන පමණි. 

අන්තර් ආගමික අධ්‍යාපනයේ අවශ්‍යතාවය, ජන වාර්ගික ගැටුම් ඉස්මතුවී ඇති මියන්මාරය, තායිලන්තය හා ශ්‍රී ලංකාව යන කලාපයන් විශේෂ කොටගෙන පවත්නා බෞද්ධ-මුස්ලිම් සම්බන්ධතා විෂයයෙහි විශේෂයෙන් අදාළ වේ. ගිහි සමාජය තුළම වුව ජන වාර්ගික හිංසනය පිළිකුල් සහගත එකක් වුවද,  ආගමික භික්ෂු සමාජය තුළ එය පෝෂණය කරන්නේ නම් එය නොඉවසිය යුතු තත්ත්වයක් වේ.මෙම තත්ත්වය දුරැලීම උදෙසා ගත හැකි පියවර කවරේද යන්න විමසා බලමු.

වසර 700කට වැඩි කාල පරිච්ඡේදයක් පුරා, නාලන්දා විශ්වවිද්‍යාලය බෞද්ධ ලෝකය තුළ ඉගෙනීමේ ප්‍රධාන ආසන අතර එකක් විය. සතරවිධ භාරතීය ඇදහිලි පද්ධතීන් ඉදිරිපත් කරන සිය නිබන්ධන ලිවීම හා ඉගැන්වීම එහිලා මහා බෞද්ධ ගුරුවරුන් විසින් සිදුකරන ලදී; එහිදී ඔවුහූ සිය සමයේ පැවති වෙනත් සම්ප්‍රදායන් හා විශ්වාසයන් දේශනා කළ ගුරුවරුන් හමුවී  වාද විවාද කළහ. එහිදී පරාජයට පත්වන පාර්ශ්වයට ජයග්‍රාහකයාගේ අදහස් දැක්වීම අවසන් සත්‍යය ලෙස පිළිගැනීමට සිදුවිය. ඉන් ලබන ලාභාලාභ ඉහළ මට්ටමක විය: මෙම වාද විවාදයන්ගෙන් ජය ලබන්නන් වෙත පමණක් රාජ්‍ය අනුග්‍රහය පිරිනමන ලදී.

නාලන්දාහිදී ශිෂ්‍ය භික්ෂූන් විසින් වාද විවාද සඳහා පුහුණුව ලද අතර අබෞද්ධ ඉන්දියානු ඇදහිලි ක්‍රමයන්හි ප්‍රකාශිත කරුණුද අධ්‍යයනය කළහ. ඔවුන්ගේ අධ්‍යයනයන්හි අරමුණ වූයේ මෙම අදහස් ප්‍රතික්ෂේප කිරීමයි. විවාද මගින් ඉගෙනීමේ හා පෞරාණික භාරතීය අබෞද්ධ ඇදහිලි ක්‍රමයන්හි පවත්නා දර්ශනයන්, ප්‍රකාශනයන් බෞද්ධ එ්වා සමගින් සසඳා වෙනස දැකීමේ නාලන්දා සම්ප්‍රදාය තිබ්බතීය ආරාමික ආයතන විසින්ද නොකඩවා ඉදිරියට ගෙනගොස් ඇත.

ආරාමික හා ලෞකික අධ්‍යාපන ක්ෂේත්‍ර දෙක තුළම අබෞද්ධ චින්තනයන් පිළිබඳ වූ බෞද්ධ අධ්‍යයනය විෂයයෙහි මෙකී නාලන්දා සම්ප්‍රදාය තවදුරටත් විකාශනය කිරීමට මේ කාලයයි. යම්කිසි වැදගත් වෙනස්කම් සහිතව වුව ඉස්ලාම් දහම අධ්‍යයනය කිරීම විෂය මාලාව තුළට ඇතුළත් විය යුතුය. අධ්‍යයනයේ අරමුණ විය යුත්තේ ආගම් දෙකෙහිම පොදුවේ දක්නට ලැබෙන විශ්වීය වටිනාකම් පිළිබඳ පොදු පදනම ගාවේෂණය කිරීමයි. දාර්ශනික වටිනාකම් ඉගෙනීම විවාදයක සිය ප්‍රතිවාදියාගේ තර්කය ප්‍රතික්ෂේප කිරීම උදෙසාම පමණක් යොමුවූ එකක් නොවිය යුතුය. එ් වෙනුවට විවාදය තුළ අවධානය යොමුකළ යුත්තේ එකිනෙකට මුළුමනින්ම වෙනස් වූ විවිධ චින්තන ක්‍රම මගින් ප්‍රේමය, කරුණාව ආදී විශ්වීය වටිනාකම් නගා සිටුවිය හැක්කේ කවරාකාරයෙන්ද යන්න කෙරෙහිය.

සිය අධ්‍යයනයන්හි ප්‍රතිඵලයක් වශයෙන් බෞද්ධයන් විසින් ඉස්ලාම් දහමේ දේශනාවන් වටහාගෙන, ඇගයීමට ලක්කොට එ්වාට ගරු කිරීමට යොමුවනු ඇති අතර, ඉස්ලාම් දහම තුළ සිය විශ්වාසයනට තර්ජනයක් එල්ල නොකෙරෙන බව අවබෝධ කරගනු ඇත. මෙමගින්, විශේෂයෙන් පෙරදී ගැටුම් පුපුරා ගිය දකුණු හා ගිණිකොනදිග ආසියානු කලාපයන්හි වඩාත් ඉහළ මට්ටමේ ජනවාර්ගික සහජීවනයක් ඇති කිරීමට දායකත්වයක් ලබාදෙනු ඇත. මෙයාකාරයෙන්, භික්ෂු සමාජය විසින් නිසි ආදර්ශය ලබාදී සාමය ඇති කිරීමේ නායකත්වය ගත හැක.

බුදු දහම හා ඉස්ලාම් දහම යන දෙදහමේම ඉගැන්වීම් තුළින් මෙකී විශ්වීය වටිනාකම් නංවාලනු ලබන ආකාරයට නිදසුන් කිහිපයක් කෙටියෙන් විමසා බලමු.

ඉස්ලාම් දහමට අනුව, දෙවියන් වහන්සේ අදහමින් උන් වහන්සේට යටහත් වෙමින් දෙවියන් වහන්සේගේ ඉගැන්වීම් අනුගමනය කිරීමේ ශුද්ධ වූ පූර්ව හුරුවක් හා නැමියාවක් සහිතව ස්ත්‍රී-පුරුෂ සියලු දෙනා දෙවියන් වහන්සේ විසින් මවන ලදී. දෙවියන් වහන්සේගේ කැමැත්ත වනුයේ ඔවුන් තමන් වහන්සේ විසින් ඇති කරන ලද ආචාර ධාර්මික නීතිවලට අනුගතව කටයුතු කරමින් විශිෂ්ට චරිතයක් තුළින් හා සේවයන් සිදු කිරීම තුළින් උන් වහන්සේට නමස්කාර කිරීමයි. දෙවියන් වහන්සේට සේවය කිරීමේ අති විශිෂ්ට ක්‍රියාවන් යන්නෙන් අදහස් කෙරෙනුයේ දෙවියන් වහන්සේගේ සියලු නිර්මාණයන් කරා ප්‍රේමයෙන් කටයුතු කිරීමයි. එසේ කිරීම වූකලි නමස්කාර විධියක් වන අතර එමගින් දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුකූලව දෙවියන් වහන්සේ වෙත නමස්කාර කරන්නා වඩාත් ආසන්න කරවනු ලබයි.

එනමුත් දෙවියන් වහන්සේ විසින් මනුෂ්‍යයන් බුද්ධිය හා නිදහස් කැමැත්තක්ද සහිතව නිර්මාණය කරන ලදී. සිය නිදහස් කැමැත්ත හා බුද්ධිය මෙහෙයවීම තුළ දෙවියන් වහන්සේගේ කැමැත්තට කීකරු වන්නේද යන්න මිනිසුන් හට තීරණය කළ හැක. එසේ කීකරු නොවීම ඔවුන්ගේ කැමැත්ත, තේරීම වන්නේ නම්, එවිට ඔවුහූ පාපකාරී භාවයන්ගේ බලපෑමට යටත්ව ආත්මාර්ථකාමීන් බවට පත්වේ. මෙමගින් දෙවියන් වහන්සේ විසින් අනුමත නොකරන ලද පාපකාරී චර්යාවන් ඔවුන් තුළ ඇති කරවනු ලබයි.

සෙස්සන් කෙරෙහි වූ ප්‍රේමයෙන් කටයුතු කිරීමද නිදහස් කැමැත්තට අනුව සිදුවන ක්‍රියාවක් වන අතර එම තේරීම සිදු කිරීම සඳහා මිනිසුන් හට සිය බුද්ධිය මෙහෙයවිය හැක. සෙස්සන් කෙරෙහි වූ ආදරය හා කරුණාව තුළින් කටයුතු කරන්නේ නම්, දෙවියන් වහන්සේ වෙත සමීප වීමේ සිය අභ්‍යන්තර හුරුව ඔවුන් විසින් අනුගමනය කළා වේ. ඉස්ලාම් දහම තුළ, වඩාත් ශුද්ධ අයුරින් විශ්වය කෙරෙහි හා මනුෂ්‍ය වර්ගයා කෙරෙහි වූ ප්‍රේමය ගොඩනගා ගන්නා විටදී, එම ආදරය හෙවත් ප්‍රේමය හුදෙක් විශ්වය හෝ මනුෂ්‍යයා කෙරෙහි පමණක් යොමුවූ දෙයක් නොව, ඔවුන් තුළ එම අති විශිෂ්ටත්වය ඇතිකළ දෙවියන් වහන්සේ වෙතද වූ ප්‍රේමයක් වේ.

බුදු දහමට අනුව, සියලු සත්ත්වයන් තුළ ආරම්භයක් නොපෙනෙන ශුද්ධ වූ බුද්ධ ස්වභාවයක් පවතී : එමගින් ඔවුන් හටද බුදුවරුන් බවට, බුද්ධත්වයට පත්වීමේ හැකියාව ලබාදෙනු ලබයි. ඉස්ලාම් දහම තුළ, ඔවුන්ගේ පිරිසිදු සහජ ස්වභාවය විසින් දෙවියන් වහන්සේට සමීප වීමේ අවකාශය ජනතාව වෙත ලබාදෙන අතර, ඇතැම් සුෆි ක්‍රමයන් තුළ, එමගින් දෙවියන් වහන්සේ සමගින් එ්කාත්මික වීමක්ද සිදුවන නමුදු, ඔවුන් කිසි විට හෝ දෙවිවරුන්ම බවටද පත් නොවෙති. බුදු දහම තුළ, කිසිවෙකු විසින් හෝ ඔවුන් තුළ මෙම බුද්ධ ස්වභාවය නිර්මාණය කර නොමැත. එය හුදෙක් යථාර්ථයේ කොටසක් ලෙස පවතින්නකි.

ඉස්ලාම් දහම මෙන් බුදු දහම තුළද ජනතාව තුළ සහජ කරුණාව හා ප්‍රයෝජනවත් දෙයින් හානිකර දෙය වෙන්කොට හඳුනා ගැනීමේ වෙන්කොට දැකීමේ හැකියාවද වැනි යහගුණ පවත්නා බව ප්‍රකාශ කරනු ලබයි. එනමුත් බුදු දහම තුළ ආචාර ධාර්මික විනය කවර ක්‍රියාවන් මගින් දුක හා කවර ක්‍රියාවන් මගින් සැප ඇති කරන්නේද යන වැටහීම මත පදනම් වේ. සිය බුද්ධිය මෙහෙයවීම තුළ පුද්ගලයන් හට ප්‍රයෝජනවත් කවරක්ද, හානිකර වන්නේ කවරක්ද යන්න විග්‍රහ කොට, වෙන්කොට දැකිය හැකි වේ. ඉස්ලාම් දහම තුළ, දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව කටයුතු කරන්නේද යන්න තීරණය කිරීම සඳහා බුද්ධිය යොදාගනු ලබයි. මෙම අවස්ථා දෙකේදීම, ප්‍රයෝජනවත් හෝ හානිකර ආකාරයකින් කටයුතු කිරීමට තෝරාගැනීම හා කළ යුත්තේ කවරක්ද යන්න තීරණය කිරීම සඳහා සිය බුද්ධියේ වෙන්කොට දැකීමේ හැකියාවන් යොදා ගැනීමේ නිදහස ජනතාව සතුවේ. දෙවියන් වහන්සේ හා බුදුන් වහන්සේ යන දෙදෙනා වහන්සේම සර්වඥතාවය සහිත උතුමන් වුවද, ජනතාව විසින් කවර තෝරා ගැනීමක් සිදු කරනු ඇත්තේද යන්න එතුමන් වහන්සේලා දෙදෙනා විසින්ම පූර්වයෙන් තීරණය කරනු නොලබයි.

ඉස්ලාම් දහමට අනුව, දෙවියන් වහන්සේ විසින් ආචාර ධාර්මික හැසිරීම සම්බන්ධ නීති නිර්මාණය කරන ලද අතර, සම්මාන හා දණ්ඩනයන්ද සමගින් දෙවියන් විසින් තීන්දු ලබාදීම සිදුකරනු ලබයි. එනමුත් දෙවියන් වහන්සේ අනුකම්පා සහගත හා කාරුණික අයෙකු වන අතරම සිය අයහපත් ක්‍රියාවන් පිළිබඳ පසුතැවෙමින් දෙවියන් වහන්සේගේ කැමැත්තට නතුවන්නාවූ අය වෙත සමාව ලබාදෙනු ලබයි. බුදු දහමට අනුව, කිසිවෙකු විසින් හෝ කර්ම හා චර්යාත්මක හේතුඵල නියාමයන් නිර්මාණය නොකරන ලදී. එ්වා හුදෙක් යථාර්ථයේ ස්වභාවයයි. දුක යනු මෝහයෙන් සිදුකරන හානිකර චර්යාවන් තුළින් ස්වභාවිකව ඇති වන්නකි; අනෙක් අතින් සතුට යන්න ප්‍රඥාව හා කරුණාව තුළින් ඇතිවන ධනාත්මක චර්යාව තුළින් ප්‍රභවය වන්නකි. ඉස්ලාම් දහම තුළ මෙන්, කෙසේ වුවද, ජනතාව විවෘතව සිය අයහපත් චර්යාවන් පිළිගනිමින් අවංකවම එ් පිළිබඳ පසුතැවෙන්නේ නම්, ඔවුනට සිය පාප ක්‍රියාවන්හි දුක් සහගත ඵලයන් අත් විඳීමෙන් වැළකිය හැක. කෙසේ වුවද, එම පාරිශුද්ධත්වයට පත්වීම සඳහා බුදුන් වහන්සේගෙන් සමාව ඉල්ලා එය ලබා ගැනීමක් අවශ්‍ය නොවේ.

බුදු දහම තුළ ප්‍රේමය යනු අනකා සතුටින් සිටීවා යනුවෙන්ද ඔවුන් වෙනුවෙන් සතුටට හේතුවන කරුණු පහළ වේවා යනුවෙන්ද වූ පැතුමයි. එය සියලු දෙනා සමානයන් බවට අවබෝධ කරගැනීම මත පදනම් වේ: සෑම අයෙකු හටම සතුටින් සිටීමට අවශ්‍ය වන අතර කිසිවෙකු හෝ දුක නොපතති. ඉස්ලාම් දහම තුළ, සියලු සත්ත්වයෝ දෙවියන් වහන්සේගේ නිර්මාණයන්ය යන අදහසින් සියලු දෙනා සමානයන් වේ. මෙම දෙඅවස්ථාවේදීම, සියලු සත්ත්වයෝ සමානයෝ වෙති.

සියලු දෙනා තුළ බුද්ධ ස්වභාවය පවත්නා බැවින් සතුටින් සිටීමේ හැකියාව හා හිමිකම සියලු සත්ත්වයන් සතුවන බව බුදු දහම තුළ දේශනා කරනු ලබයි. එබැවින්, අන්‍යයන් කෙරෙහි ප්‍රේමය ගොඩනගා ගැනීම වූකලි ඔවුන්ගේ සතුට කෙරෙහි වූ සැලකිලිමත්භාවය තුළින් ඉස්මතු වන්නකි. ප්‍රේමය හා අන්‍යයන්ට සේවය කිරීම වූකලි බුදුන් වහන්සේ වන්දනා කිරීමේ ක්‍රියාවක් නොවේ. අනෙකාට ප්‍රේම කිරීම තුළ පුද්ගලයෝ බුදුවරුන් බවට පත්වීමේ ධනාත්මක බලය ගොඩනගා ගනිති. මෙම අදහසින් ගත්කල, ඔවුන් බුද්ධත්වයට සමීප වන නමුත්, ඉස්ලාම් දහමේදී මෙන් බුදුන් වහන්සේ වෙත සමීප නොවෙති.

මෙම නිදසුන් තුළින් පැහැදිලි වන කරුණ වනුයේ දාර්ශනික වෙනස්කම් පැවතියද, බුදු දහමේ හා ඉස්ලාම් දහමේද එන ඉගැන්වීම් තුළ ප්‍රේමය, කරුණාව හා සමාව දීම යන මූලික විශ්වීය වටිනාකම් සමාන ලෙස පෝෂණය කෙරෙන බවයි. කෙසේ වුවද, අන්තර් ආගමික අධ්‍යාපනය පමණක් ආගමික සහජීවනය ගෙන එ්ම සඳහා ප්‍රමාණවත් නොවේ. බෞද්ධ-මුස්ලිම් ගැටුම්වලට හේතු බහුවිධ හා සංකීර්ණ එ්වා වේ. තවද, ගැටුම් ඉස්මතුවී ඇති සියලු ප්‍රදේශයන්හි තත්ත්වය එක සමාන නොවේ. වර්තමානයේ ගැටුම් සදහා ආගමික විශ්වාසයන් තුළ පවත්නා වෙනස්කම් එතරම් අදාළ නොවේ. එයට වඩා බහුල වශයෙන් එදිරිවාදිත්වයන් ඇති කිරීමෙහි ලා වැඩි කාර්ය භාරයක් ආර්ථික, දේශපාලනික, භාෂාමය, ජන වාර්ගික හා ඉතිහාසගත ගැටලු විසින් ඉටු කරනු ලබයි. කෙසේ වුවද, සෑම පාර්ශ්වයකටම අනෙකා කෙරෙහි වූ ගෞරවයක් ඇති කරගනු පිණිස අන්තර් ආගමික අධ්‍යාපනය අතිශයින්ම වැදගත් වේ. එනමුත් වඩාත් පෘථුල අධ්‍යාපනයක් තුළින් පමණි ගැටුම්වලට වූ එකම හේතුව ආගමික වෙනස්කම්ය යන මතයෙන් ඉවත්ව, එ්වාහි පදනම්ගතව පවත්නා සමාජමය, ඉතිහාසගත හා ආර්ථික හේතු ආමන්ත්‍රණය කිරීම සඳහා අවධානය යොමු කරවිය හැකි වන්නේ. දේශපාලනික හෝ ආර්ථිකමය වශයෙන් වන කවර වූ හෝ ප්‍රතිපත්තිමය වෙනස් කිරීමක් සාර්ථක වන්නට නම්, පොදුවේ බෞද්ධයන් හා මුසල්මානුවන් විසින් අනුගමනය කරනු ලබන මූලික විශ්වීය වටිනාකම් පිළිගැනීමක් මත එ්වා පදනම් විය යුතුවේ. අධ්‍යාපනය මේ සඳහා වන යතුර වන අතර, මෙම ක්ෂේත්‍රයෙහි නියමු කාර්ය භාරයක් නැවතද වරක් නාලන්දාවට ඉටුකළ හැක්කේය යන විශ්වාසයක් පවතී. ස්තුතියි.

Top