දලයි ලාමා වහන්සේ ජැමියා මිලියා ඉස්ලමියා විශ්වවිද්‍යාලයේදී

ජැමියා මිලියා ඉස්ලමියා විශ්වවිද්‍යාලයටද, මෙහි සපැමිණි ප්‍රධාන ආරාධිතයා වන ඉන්දියානු මානව සම්පත් සංවර්ධන අමාත්‍ය ආචාර්ය කාබිල් සිබාල් මහතාටද, උප කුලපතිවරයාට, මහාචාර්යවරුන් හට, පීඨාධිපතිවරුන් හට, සිසුන්ට හා මෙහි එක්රැස්වූ සියලු අමුත්තන් හටද ස්තුති කිරීමට කැමැත්තෙමි. සියල්ලටම පළමු ඔබ සියලු දෙනා හට ආචාර කිරීමටද, මා වෙත මෙම සම්මානය (ගෞරව ආචාර්ය උපාධියක්) පිරිනැමීම වෙනුවෙන් ජැමියා මිලියා ඉස්ලමියා විශ්වවිද්‍යාලයට ස්තුති කිරීමටද කැමැත්තෙමි.

දැන් මම ඉංග්‍රීසි භාෂාවෙන් කථා කරන්නට උත්සාහ කරමි. සැබැවින්ම මෙම ප්‍රේක්ෂක පිරිස දතයුතු කරුණක් වන්නේ මාගේ ඉංග්‍රීසි බස බොහෝ සෙයින් කැඩුනු එකක් වන අතර, ඇතැම් විට මවිසින් වැරදි වචන යෙදිය හැකි බවයි. එබැවින්, මා කැඩුනු ඉංග්‍රීසියෙන් කථා කරන විට "ප්‍රවේශම් වන" ලෙස සාමාන්‍යයෙන් මාගේ ශ්‍රාවකයන් වෙත උපදෙස් ලබා දෙමි. වැරදි වචන යෙදීම මගින් මවිසින් යම් අනවබෝධයක් ඇතිකළ හැක. අත් වැරදීමකින් "සර්ව සුභවාදය" වෙනුවට "සර්ව අසුභවාදය" යන වදන යෙදිය හැක. එය බරපතල අත් වැරදීමකි. එවන් සැබෑ අනතුරක් පවත්නා බැවින් මාගේ කැඩුනු ඉංග්‍රීසියට සවන් දීමේදී ප්‍රවේශම් වන්න.

මෙම උපාධිය ලැබීමෙන් මා හට ඉමහත් ගෞරවයක් ලැබුණු බව මා හට හැ‍ඟේ. මෙම උපාධි මා වෙත ලැබෙන විටදී මම සාමාන්‍යයෙන් ප්‍රතිචාර වශයෙන් ප්‍රකාශ කරන දෙයක් වනුයේ මා සැබැවින්ම කිසි විටෙක හෝ අධ්‍යයන කටයුතු සඳහා කිසිදු කාලයක් වැය නොකළ අතර එවන් අධ්‍යයන කටයුතුවලින් තොරවම ඒවා ලබාගත් බවයි. සිය ආචාර්ය උපාධි ලබාගන්නා සිසුන් ඒ සඳහා බොහෝ කාල වේලාවක් වැයකොට මහත් උත්සාහයක යෙදුණේය යන්න මාගේ අදහසයි. එනමුත් එතරම් වෙහෙස වීමකින් තොරව විවිධ විශ්වවිද්‍යාලයන් වෙතින් මා වෙත මෙම උපාධි සහතික ලැබෙන බැවින් මා හට එය ඉමහත් ගෞරවයක් සේ හැ‍ඟේ. දැන් මෙහිදී මා වෙත ප්‍රසිද්ධ ඉස්ලාම් විශ්වවිද්‍යාලයක් වෙතින් ලැබෙන මෙම උපාධිය මාගේ ඉමහත් ඇගයීමට ලක් වන්නේ ආගමික සහජීවනය ප්‍රවර්ධනය කිරීම මා කැපවී සිටින එක් ක්ෂේත්‍රයක් වන බැවිනි.

සැප්තැම්බර් මස 11වන දින සිට මා දැඩිසේ ඉස්ලාම් දහම ආරක්ෂා කරන්නෙකුව සිටින්නේ මුස්ලිම් පසුබිමකින් එන කලහකාරී පුද්ගලයන් කිහිප දෙනෙකුගේ කටයුතු හේතුවෙන් සමස්ත ඉස්ලාමය සෘණාත්මක දෙයක් ලෙස සාමාන්‍යකරණය වී ඇති බැවිනි. මෙය මුළුමනින්ම සාවද්‍යය. ස්වභාවිකව හා යථාර්ථවාදීව කථා කරන්නේ නම්, ඉස්ලාම් දහම යනු මෙම ග්‍රහලෝකයේ ඉතා වැදගත් ආගම් අතරින් එකකි. අතීතයේ බොහෝ සියවස් ගණනාවක් පුරා සහ වර්තමානයේ හා අනාගතයේදීද ඉස්ලාම් දහම විසින් මිලියන ගණනින් වූ ජනතාව වෙත අපේක්ෂාව, විශ්වාසය හා අනුප්‍රාණයද ලබාදී ඇත, ලබා දෙමින් තිබේ, ඉදිරියේදීද ලබාදෙනු ඇත. එය සත්‍යයකි. මාගේ ළදරු වියේ සිටම මා හට සමීප මුස්ලිම් මිතුරන් සිට ඇත. නිදසුනක් ලෙස, අවම වශයෙන් සියවස් සතරකට පෙර මුස්ලිම් වෙළෙන්දන් තිබ්බතයේ, ලාසාහි පදිංචි වී එහි කුඩා මුස්ලිම් සමාජයක් නිර්මාණය කළේ යයි සිතමි. මෙම මුස්ලිම් ජන ප්‍රජාව වෙතින් කිසිදු ගැටුමක් පිළිබඳ‍ වාර්තා නොවන අතර ඔවුහූ ඉතා මෘදු පුද්ගලයෝ වූහ.

නැවතද, ඉස්ලාම් දහම අවංකව පිළිවෙතක් ලෙස පුරන්නෙකු නම් ඔහු විසින් සියලු සත්ත්වයන් වෙත ප්‍රේමය හා කරුණාව පතළ කළ යුතු බව මා හට පැවසූ මෙරටේ වාසය කරන ඇතැම් මුස්ලිම් පුද්ගලයන් පිළිබඳව දනිමි. තවද, යම් මුස්ලිම් ජාතිකයෙකු විසින් ලේ ගැලීමක් ඇති කළහොත්, සැබෑ ලෙසම ඔහු තවදුරටත් මුස්ලිම් ජාතිකයෙකු නොවේ. "ජිහාඩ්" යන්නෙහි අරුත "අනෙකාට පහර දෙනු" යන්නක් නොවේ. "ජිහාඩ්" යන්නෙහි වඩාත් ගැඹුරු අරුත වන්නේ අප තුළ පවත්නා අභ්‍යන්තර අරගලයයි:තමාගේ මානසික ස්වභාවය තුළ වඩ වඩාත් ගැටලුම නිර්මාණය කරමින් ඉන්පසු, එමගින් පවුල තුළ හෝ සමාජය තුළද වඩ වඩාත් ගැටලුම ඇති කරවන්නාවූ භාවයන් වන කෝපය, වෛරය, ඇල්ම වැනි සෘණාත්මක භාවයන් සියල්ලට එරෙහි අරගලයයි. ඒ අනුව, මෙකී සෘණාත්මක, හානිකර භාවයනට එරෙහිව අරගල කිරීම හෝ සටන් කිරීමයි වඩාත් ගැඹුරු මට්ටමකින් "ජිහාඩ්" යන්නෙහි අරුත වනුයේ.

එබැවින්, දර්ශනයේ පවත්නා වෙනස කෙසේ වුවද, එම ආගමේද සාරය වනුයේ අනෙක් ආගම්වල පවත්නා සාරයමය. සෙසු ආගම්වල අනුගාමිකයන් සමගින් වඩ වඩාත් සන්නිවේදනය කිරීමේ හා ඇසුරු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, දාර්ශනික ක්ෂේත්‍රය තුළ පවතින වෙනස කෙසේ වුවද, ප්‍රායෝගික මට්ටමේදී ඒ සියල්ල තුළ ප්‍රේමය, කරුණාව, සමාව දීම, ඉවසීම, ස්වයං විනය හා ලද දෙයින් සතුටු වීම යන ගුණයන්හි පිළිවෙත් පූරණය කරනු ලබයි. එබැවින්, අවස්ථාවක් ලැබෙන ඕනෑම විටෙකදී කලහකාරී මුස්ලිමුන් කිහිප දෙනෙකු හේතුවෙන් ඉස්ලාම් දහම පිළිබඳ සාමාන්‍යකරණයකට නොආ යුතු බව නිරතරු ජනතාව වෙත පවසමි. හින්දුන් අතරද කලහකාරීන් කිහිප දෙනෙකු ඇත. යුදෙව්වන් අතරද, ක්‍රිස්තියානින් අතරද, බෞද්ධයන් අතරද එවැන්නන් ඇති අතර, කුඩා තිබ්බතීය බෞද්ධ සමාජය තුළද එවැන්නන් ඇත්තේය යන්න පැහැදිලි කරුණකි. එබැවින්, ඉස්ලාම් විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබාගැනීමට හැකිවීම ඉමහත් ‍ගෞරවයක් සේ මා හට හැ‍ඟෙයි.

ඉන්පසු මාගේ කැපවීම් සම්බන්ධයෙන් සඳහන් කරන්නේ නම්, මරණය සිදුවන මොහොත දක්වාම මා කැපවී සිටින ක්ෂේත්‍ර දෙකක් පවතී. පෙරදී සඳහන් කළ පරිදි එක් කැපවීම් ක්ෂේත්‍රයක් වන්නේ ආගමික සමගිය ප්‍රවර්ධනයයි; මනුෂ්‍ය මට්ටමින් ‍අනෙක් කැපවීම් ක්ෂේත්‍රය නම් මනුෂ්‍ය ප්‍රේමය ප්‍රධාන කොටගෙන ජීව විද්‍යාත්මකව ගොඩනැගෙන්නාවූ අභ්‍යන්තර මානව වටිනාකම් හෙවත් යහපත් මනුෂ්‍ය ගුණාංග ප්‍රවර්ධනයයි. අපගේ උපත සිදුවූ විගසම, මවගේ පාර්ශ්වයෙන්, මව විසින් දරුවා වෙත ඉමහත් ආදරයක් ලබාදෙනු ලබයි. දරුවාගේ පාර්ශ්වයෙන්ද ඔහු උපත ලද විගසම, අදාළ පුද්ගලයා කවරුන්ද යන බවක් නොදැනම ජීව විද්‍යාත්මකව දරුවා එම පුද්ගලයා මත රඳා පවතී. මව මෙයාකාරයෙන් දරුවා භාරගන්නා විටදී, දරුවාට ඉමහත් ප්‍රීතියක් උපදී. ඔවුන් වෙන්වූ අවස්ථාවන්හි දරුවා හට අනාරක්ෂිත බවක් දැනේ. සතුන්ට පවා එයාකාරයේම අත්දැකීම් ඇති අතර ඒ අනුව අපගේ ජීවිත මෙයාකාරයෙන් ආරම්භ වේ. ඒ අනුව උපත ලබන අවස්ථාවේදි උපරිම ආදරයක් ලබන්නාවූ පුද්ගලයෙකු ඊළඟ වසර කිහිපය පුරා හා සමස්ත ජිවිත කාලය පුරාමද වඩාත් සෞඛ්‍ය සම්පන්න වූද, වඩාත් කාරුණික වූද පුද්ගලයෙකු වශයෙන් සිටී. එනමුත් එම පුද්ගලයන් විසින්ම එම කුඩා අවදියේදීම ආදරය නොලැබී ගියහොත්, හෝ අපචාරයනට ලක් වුව‍හොත් එවිට ඔවුන්ගේ සමස්ත ජීවිත කාලය පුරාම එම අත්දැකීම පවතී. ඔවුන්ගේ බාහිර පෙනුව කවරාකාර වුවද, ගැඹුරු ඇතුළාන්තය තුළ ඔවුහූ බියකින් හා අවිශ්වාසයකින් පෙළෙති. මනුෂ්‍යයන් අතර අවිශ්වාසය යන්න සැබැවින්ම මූලික මනුෂ්‍ය ස්වභාවයට එරෙහි වූවකි: අපි සමාජ සත්ත්වයෝ වෙමු. ඕනෑම සමාජ සත්ත්වයෙකු සම්බන්ධයෙන් ගත්කල, පුද්ගලයෙකුගේ යහපත උදෙසා පූර්ණ සහයෝගය අත්‍යවශ්‍ය වේ. පුද්ගලයා සමාජයේ කොටසක් වන අතර, පුද්ගල අනාගතය මුළුමනින්ම සමාජය හා ප්‍රජාව මත රඳා පවතී.

එසේ නම්, ඔබගේ සාර්ථක ජීවිතයේ පදනම සම්බන්ධයෙන් ගත්කල, ඔබ විසින් යම් ආකාරයේ අවිශ්වාසයක් හා බියක් ගොඩනගා ගන්නේ නම්, ඔබ දුරස්ථව සිටින්නේ නම්, එම පුද්ගලයා සතුටින් සිටින්නේ කෙසේද? එය ඉතා දුෂ්කර වූවකි. එබැවින්, අව්‍යාජ සහයෝගය ගොඩනගා ගැනීම සඳහා මිත්‍රත්වය ඉතා අවශ්‍ය වූවකි. මිත්‍රත්වයේ පදනම විශ්වාසයයි. විශ්වාසයේ පදනම විවෘතභාවය හා විනිවිද පෙනෙන සුළු බවයි. එවිට විශ්වාසය ගොඩනැගිය හැක. එහි පදනම වනුයේ උණුසුම් හෘදයාංගම හැඟීම හෙවත් අනෙකාගේ යහපත උදෙසා වූ යම් හැඟීමකි. එවැනි හැඟීමක් පවත්නා විටදී, අනෙකා සුරාකෑමේ, රැවටීමේ, වංචා කිරීමේ හෝ තලා පෙලා දැමීමේ අවශ්‍යතාවයක් ඉස්මතු නොවන්නේ ඔබ‍ විසින් ඔවුන්ගේ සුවසෙත සම්බන්ධ නිර්ව්‍යාජ හැඟීමක් දරා සිටින බැවිනි. ඒ අනුව එය අවශ්‍යයෙන්ම ආගම තුළින් ‍ඉස්මතු වන්නක් නොව ජීව විද්‍යාත්මක සාධක හරහා ඉස්මතු වන්නකි.

එබැවින්, මා කැපවී සිටින එක් ප්‍රධාන ක්‍ෂේත්‍රයක් වනුයේ "අපි සමාජ සත්ත්වයන් වන්නෙමු" යන පණිවිඩය ජනතාවට පැවසීම හා එම  අදහස ඔවුන් සමගින් බෙදා හදා ගැනීමයි. විශේෂයෙන් වර්තමාන ලෝකය තුළ, ලෝක ආර්ථිකය හා පාරිසරික ගැටලු සහ සමස්ත ලෝකය තුළ මේවන විට බිලියන හතකට ආසන්න මනුෂ්‍යයන් සංඛ්‍යාවක් සිටින්නේය යන හේතුව මත, එක් එක් පුද්ගලයා ඇලුම් කරන ක්ෂේත්‍රය එකිනෙක හා සම්බන්ධ වේ. එබැවින්, එම යථාර්ථයට අනුව, "අප" හා "ඔවුන්" යන සංකල්පය අදාළ නොවේ. දැන් අප විසින් මනුෂ්‍ය ජන වර්ගය එක් මනුෂ්‍ය පවුලක් ලෙස සැලකිය යුතුය. එබැවින්, මා නිරතුරු ජනතාවට පවසන දෙයක් වනුයේ සමස්ත ලෝකය මාගේ, අපගේ කොටසක්ය යන ආකල්පය පවත්වා ගන්නා ලෙසයි. "අප" හා "ඔවුන්" අතර දැඩි සීමාකරණයක්, වෙන් කිරීමක් ඇති විටදී භීෂණය, හිංසනය ඉස්මතු වේ. සමස්ත මනුෂ්‍ය වර්ගයා "මාගේ" කොටසක් ලෙස, "අපගේ" කොටසක් ලෙස වූ හැඟීමක් ගොඩනගා ගන්නේ නම්, එතුළ භීෂණය යොදාගැනී‍මට ඉඩක් ඉතිරි නොවේ.

ඒ අනුව, මාගේ සෙසු මිතුරන්ද සමගින් මාගේ ප්‍රධාන උත්සාහය මෙයයි. පසුගිය 20වන සියවස භීෂණයේ සියවසක් වූ අතර, එම සියවස තුළ මිලියන 200ක ජනගහනයක් භීෂණය තුළින් ජීවිතක්ෂයට පත්විය. මනුෂ්‍යයන් මත පළමු න්‍යෂ්ටික බෝම්බය හෙළන ලද හිරෝෂිමාවේ නොබෙල් ත්‍යාගලාභීන්ගේ රැස්වීමක සිට ඉතා මෑතකදී ජපානයෙන් ආපසු පැමිණියෙමි. එහි තත්ත්වය ඉතාමත් බියජනක එකක් විය. එම සියවස තුළ මනුෂ්‍යයන් මත න්‍යෂ්ටික බෝම්බ පවා හෙළන ලදී. එබැවින්, බොහෝ සංවර්ධනයන් සිදු වුවද, එම සියවස එක් අතකින් ලේ හලන සියවසක් බවටද පත්විය. මෙවන් ඉමහත් භීෂණයක්, ඉමහත් ලේ ගලනයක් තුළින් සැබැවින්ම මනුෂ්‍ය ගැටලු විසඳා යම් ප්‍රතිලාභයක් සැලසී නම්, ඒ හේතුවෙන් හෝ ඒ පිළිබඳ යම් සාධාරණීකරණයක් කළ හැකිව තිබිණි. එනමුත් එවැන්නක් හෝ නොමැත. එබැවින්, අපගේ අතීත අත්දැකීම් පාදක කො‍ටගෙන, මෙම 21වන සියවස සංවාදයේ සියවසක් බවත් පත් කරන බවට වගබලාගනු පිණිස හැකි සෑම ප්‍රයත්නයක්ම දැරිය යුතුය. ඒ අනුව සමස්ත මනුෂ්‍ය වර්ගයා අතරතුර පැතිර යන්නාවූ එකාවන් වූ හැඟීමක් අප තුළ පැවතිය යුතුය. වෙනස් වූ ජාතිකත්වය, වෙනස් වූ සංස්කෘතිය, වෙනස් ජන වර්ගය, වෙනස් ආගමික විශ්වාසය ආදිය මාගේ අදහසට අනුව නම් ද්විතීය ඒවා වේ. වැදගත් දෙය වනුයේ මූලික, පදනම්ගත මට්ටමේදී අප සියලු දෙනා එකම මනුෂ්‍ය වර්ගයකට අයත් වන්නේය යන්නයි.

ඒ අනුව වර්තමානයේ අප විසින් මුහුණ දෙනු ලබන නොයෙක් ආකාරයේ ගැටලු අවශ්‍යයෙන්ම අප විසින් නිර්මාණය කරන ලද ඒවාය. අප විසින්ම නිර්මාණය කරන ලද මෙම ගැටලු ඇතිවන්නේ ‍ද්විතීය මට්ටමේ වැදගත්කම අධි අවධාරණය කරමින් අප විසින් මූලික මට්ටම අමතක කරන බැවිනි. ඒ අනුව දැන් මෙය සුදුසු කාලයයි; ප්‍රීතිමත් ලෝකයක්, සාමකාමී ලෝකයක් ගොඩනගනු පිණිස, මනුෂ්‍ය මට්ට‍මේ වැදගත්කම අවධාරණය කළ යුතුය. අප සියලු දෙනා හටම සතුටින් සිටින පුද්ගලයෙකු ලෙස සිටීමේ සම අයිතියක් ඇත. එබැවින් අන් අයගේ අභිලාශයන් සැලකිල්ලට ගැනීමට අපට සිදුවේ. එයයි තමා උදෙසා උපරිම ප්‍රයෝජන නෙළා ගැනීමේ නිවැරදි විධිය.

ඒ අනුව එයයි මාගේ දෙවැනි කැපවීම් ක්ෂේත්‍රය. මාගේ පළමු කැපවීම් ක්ෂේත්‍රය වනුයේ ආගමික සමගිය ප්‍රවර්ධනයයි; දෙවැන්න වනුයේ මූලික මිනිස් වටිනාකම් ප්‍රවර්ධනයයි. ඒ අනුව, මාගේ මරණය දක්වාම මම මෙකී දේවල් සඳහා කැපවී සිටිමි.

ඒ අනුව තරුණයන් වන, සිසුන් වන ඔබ වෙත පළමුව මාගේ සුභපැතුම් පිරිනැමීමට කැමැත්තෙමි. ඔබගේ ඉමහත් උත්සාහයන්හි ප්‍රතිඵලයක් ලෙස, මේවන විට ඔබ උපාධිලාභීන් බවට පත්ව ඇත. ඇතැම් විට, අවසන් දින කිහිපය තුළ ඔබට තරමක් නිදි වර්ජිතව ගත කරන්නට සිදුවන්නට ඇත. පමණ ඉක්මවූ කලබල ස්වභාවයක් තිබෙන්නට ඇත. ඒ අනුව අද රාත්‍රියේ ඔබට වඩාත් සුවපහසු නින්දක් ලබාගත හැක්කේයැයි සිතමි. කෙසේ වුවද, ඔබට මාගේ සුභ පැතුම් පිරිනමන අතරම මෙකරුණද ඔබ සමගින් බෙදා හදා ගැනීමට කැමැත්තෙමි. ජීවිතය පහසු දෙයක් නොවේ. කිසිදු වගකීමේ සහතිකයක් එහි නොමැත. ඔබට බොහෝ ගැටලුවලට මුහුණ දීමට සිදුවනු ඇත. එනමුත් අපි මනුෂ්‍ය සමාජයේ කොටස්කරුවන් වෙමු. ඒ අනුව කවරාකාරයේ ගැටලුවලට මුහුණ දීමට සිදු වුවද, මෙම ගැටලු මැඩපැවැත්වීමේ හැකියාවද අප සතුවේ. ඒ අනුව ආත්ම විශ්වාසය හා සර්ව සුභවාදය අත්‍යවශ්‍ය වේ. තරුණයන් සම්බන්ධයෙන් ගත්කල ඔබ සියලු දෙනා හට වැඩි ඉවසිලිවන්තභාවයක් අවශ්‍ය වේ. ඇතැම් විට තරුණයන් හට අවශ්‍ය සියල්ල වහ වහා ලබාගැනීමට අවශ්‍ය වේ. යම් සීමාවක් හෝ බාධකයක් ඉදිරියට පැමිණි කල, ඔබ අධෛර්යයට පත්වේ. මේ සම්බන්ධ තිබ්බතීය කියමනක් ඇත: "නව වතාවක් අසාර්ථක වන්නේ නම්, නව වතාවක් උත්සාහ කරන්න". ඒ අනුව එය වැදගත්ය. කරුණාකර මෙකරුණ සිහි තබාගන්න.

ඉන්පසු තවත් දෙයක් සැලකිය යුතුය. සැබැවින්ම 21වන සියවසට අයත් පරපුර ඔබයි. මාද ඇතුළත් මෙම මහාචාර්යවරුන් අතරින් ඇතැමෙකුද 20වන සියවසට අයත් අය බව සිතමි. 21වන සියවසෙන් ගෙවී ගොස් ඇත්තේ වසර 10ක් පමණි. තවත් වසර 90ක් එළැඹීමට නියමිතව ඇත. එබැවින් මෙම සියවසේ නව හැඩතලයන් නංවන අය සැබැවින්ම ඔබලා වේ. එබැවින් ඔබ එයට සූදානම් විය යුතුය. වඩා යහපත් ‍ලොවක් , සාමකාමී ලොවක්, ප්‍රීතිමත් ලොවක් නිමවනු පිණිස, ඔබ තුළ දැක්මක් පැවතිය යුතු අතර අධ්‍යාපනය පමණක් නොව පව් පින් පිළිබඳ මූලධර්මද පැවතිය යුතුය. 20වන සියවසේ හා මෙම සියවසේ ආරම්භයේදී පවා අප විසින් නිර්මාණය කරන ලද බොහෝ ගැටලු අධ්‍යාපනයේ අඩුවක් හේතුවෙන් නොව, පව් පින් පිළිබඳ මූලධර්මයන්හි හිඟතාවයෙන් ඉස්මතු වූ ඒවාය යන්න මාගේ අදහසයි. එබැවින්, ප්‍රීතිමත්, සාමකාමී ලෝකයක් ගොඩනැගීම හා නිර්මාණය කිරීම පිණිස, අධ්‍යාපනය හා පව්-පින් පිළිබඳ ආචාර ධර්ම සමාන්තරව ගමන් කළ යුතුය.

ආචාර ධර්ම සම්බන්ධයෙන් සළකා බලන්නේ නම්, එහිදි මට්ටම් ගණනාවක් පවතී. එක් මට්ටමක් වන්නේ ආගමික විශ්වාසය පිළිබඳ මට්ටමයි. වඩාත් මූලික මට්ටමේදී, ආගමික විශ්වාසයකින් තොරව, හුදෙක්ම සාමාන්‍ය මනුෂ්‍ය අත්දැකීම් හා සාමාන්‍ය දැනීම හා ඉන්පසු නවීනතම සොයාගැනීම් යොදා ගන්නා විටදී උණුසුම්, ආදරණීය හදවතක් පැවතීම හා වඩා විවෘත බවක් පවත්වාගෙන යාම තමාගේම පෞද්ගලික ශාරීරික සෞඛ්‍යය සම්බන්ධයෙන් පවා ඉමහත් ප්‍රයොජනවත් බවක් ගෙනදෙන බව ඔබට ඒත්තු යයි. සෑම අයෙකුම සිය පෞද්ගලික සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් වේ. මනා සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධ ප්‍රධාන සාධකය වනුයේ ඔබගේ චිත්ත සාමයයි. එබැවින්, වඩාත් ඉහළ කාරුණික හැඟීම් ‍ගොඩනගා ගැනීම සඳහා දරන වැඩි ප්‍රයත්නයන් යනු සැබැවින්ම තමාගේ ශාරීරික සෞඛ්‍යය සඳහා අදාළ වන්නාවූ වැදගත්ම සාධකයක් වන අතර ප්‍රීතිමත් ජීවිතයක් නිර්මාණය කිරීම උදෙසාද ඉතා වැදගත් වේ.

එබැවින්, අධ්‍යාපනය සම්බන්ධයෙන් සලකා බලන කල, ඔබ විසින් දැනටමත් ඉහළ උපාධියක් ලැබ ඇත. දැන් කරුණාකර ඔබ‍ගේ අභ්‍යන්තර වටිනාකම් කෙරෙහි වැඩි අවධානයන් යොමු කරන්න. ඒ වූකලි සැබෑ මානව වටිනාකම් හා ආචාර ධර්මයි. උප කුලපතිතුමා විසින් දැනටමත් ආචාර ධර්ම, මානවවාදී ප්‍රවේශයක් සම්බන්ධයෙන් සඳහන් කර ඇත. මේවා ඉතාමත් වැදගත් වන අතර ඒවා මාහට ඔබ සමගින් හවුලේ බෙදා හදාගැනීමට අවශ්‍ය වේ. එපමණයි. ඔබට බොහොමත්ම ස්තුතියි.

Top