ලිං රින්පොචේ හිමිගේ සංදේශය

අන්තර්ජාලය හරහා වඩාත් පහසුවෙන් සහ වඩාත් පුළුල්ව තොරතුරු හමුවෙත්ම, බුදුදහම පිළිබඳව සහ ටිබෙට් සංස්කෘතියේ අනෙකුත් පැතිකඩ පිළිඳව උනන්දුවක් දක්වන ලොව වටා සිටින මිනිස්සු තමුන්ගේ ප්‍රථම තොරතුරු මූලාශ්‍රයය ලෙස එය වෙතට හැරෙති. තමුන්ගේ අධ්‍යයන කටයුතුවල වඩාත් ගැඹුරට යාමට ප්‍රාර්ථනා කරන අය, අවස්ථාවන් ලැබුණු විට, ඒ සඳහා සුදුසුකම් ලත් ගුරුවරුන් වෙත ගොස් ඔවුන් සමග අධ්‍යයන කටයුතු ආරම්භ කරති. එවැනි අයට, ඔවුන්ගේ අධ්‍යයන කටයුතුවලට උපකාරක තොරතුරු සපයන වැදගත් සම්පතක් ලෙස අන්තර්ජාලය මෙහෙයක් ඉටුකරයි. ඇතැම් පුද්ගලයෝ එතරම් භාග්‍යසම්පන්න නොවෙති. නොයෙකුත් හේතූන් නිසා සුදුසුකම් ලත් ගුරුවරයෙකු සොයා ගැනීමට නොහැකි වී යයි. ඇතැම් විට ගුරුවරයෙකු හමු වුවද, මූල්‍යමය හෝ ආයතනික හෝ හේතූන් නිසා, ඔහු නැතිනම් ඇය වෙතට ළඟා වීමට ඔවුන්ට ප්‍රමාණවත් පහසුකම් නැති විය හැකිය. එබඳු අයට, වැඩි වැඩියෙන් ඉගැන්වීම් දැනගැනීමේ අත්‍යවශ්‍ය මූලාශ්‍රයය බවට අන්තර්ජාලය පත්වෙයි.

බුදුදහම සහ ටිබෙට් සංස්කෘතිය පිළිබඳ බොහෝ වෙබ්අඩවි මඟින් අන්තර්ජාලය පිරී ඇත. ඇතැම් ඒවා නිවැරදි තොරතුරු සපයන නමුත්, අවාසනාවකට, ඇතැම් ඒවා එතරම් විශ්වාස කළ නොහැකිය. මෙබඳු තත්ත්වයකදී, විවිධ භාෂාවන්ගෙන්, නොමිලයේම, සැබෑ තොරතුරු ලබා ගත හැකි Berzin Archives නම් වෙබ්-අඩවිය ඇලෙක්ස් බර්සින් විසින් පිළියෙල කරමින් සිටීම ගැන මම ඉතා සතුටට පත්වෙමි. වැඩිවෙමින් පවතින පාඨක සමූහයක් වන, කණගාටු සගගත ලෙස, බොහෝ විට මඟහැරුණු, අබාධිතයන්ටද එම තොරතුරුවලට ළඟාවීමට කටයුතු කිරීම සඳහා ඔහු උත්සාහ කරන බව දැනගැනීමෙන් මම තවත් සතුටට පත්වෙමි.

ඇලෙක්ස් යනු මගේ පූර්වතමයාණන් වන යොංඩ්සින් ලිං රින්පොචේ හිමියන්ගේ ශිෂ්‍යයෙක්ද ඇතැම්විට භාෂාපරිවර්තකයෙක්ද විය. මේ ජීවිතයේදී පවා අපි අපේ සම්බන්ධතාව පවත්වාගෙන යමු. තොරතුරු සංනිවේදනය සහ ආධ්‍යත්මික පුහුණුව උදෙසා භාවිත සාම්ප්‍රදායික සහ නූතන ක්‍රමෝපායන්ගේ සුසංයෝගයක් ලෙස බුද්ධියෙන් සහ කරුණාවෙන් සිදුකරන මෙය, මෙම ලෝකයේ සාමය සහ සතුට සඵල කර දේවා.

2009 මැයි 19 දින
ලිං රින්පෝචේ හිමි

Top