අර්ථාන්විත දිවියක් ගත කිරීම
කාලයත් සමගම අපගේ සිරුරු වෙනස් වී ඇත. පොදුවේ කථා කරන්නේ නම්, එසේ සිදුවීම ආධ්‍යාත්මිකත්වය හෝ භාවනාව මගින් හෝ නතර කරලිය නොහැක. අපි අනිත්‍ය දහමට යටත්, නිරන්තරයෙන්, මොහොතින් මොහොත වෙනස් වන්නෝ වන අතර, එය ස්වභාව ධර්මයේ කොටසකි. කාලය නිරන්තරයෙන් ගමන් කරමින් පවතී; එය කිසිදු බලවේගයකට වෙනස් කළ නොහැක්කකි. එබැවින්, විමසිය යුතු සැබෑ ප්‍රශ්නය වනුයේ කාලය නිසි පරිදි උපයෝගී කරගන්නේද, නැත්ද යන්නයි. අනුන් වෙත තව තවත් ගැටලු ඇති කරමින් අවසන අප තුළමද ගැඹුරේ දුකක් ඇතිවන අයුරින් කාලය පරිහරණය කරන්නෙමුද? එය කාලය උපයෝජනය කිරීමේ සාවද්‍ය විධි ක්‍රමයක්ය යන්න මාගේ අදහසයි.
නිවැරදි පෙළැඹීමකින් සෑම දිනකම අපගේ සිත් හැඩ ගස්වා ගනිමින් එම පෙළැඹීමෙන්ම දිනයේ ඉතිරි කාලයද ඉදිරියට ගෙන යාමට උත්සාහ කිරීම වඩාත් යහපත් ක්‍රමයකි. එමගින් අදහස් කෙරෙනුයේ හැකිනම් අන්‍යයන් වෙතද සේවය සැලසීමයි; එසේ කළ නොහැක්කේ නම්, අවම වශයෙන් අන්‍යයන් වෙත හානි සිදු කිරීමෙන් වැළකී සිටීමයි. එ් අනුව සලකා බලන කල, වෘත්තීන් අතර වෙනසක් නොමැත. ජීවන වෘත්තිය කවරක් හෝ වේවා ඔබට ධනාත්මක අභිප්‍රේරණයක් හෙවත් පෙළැඹීමක් පවත්වාගෙන යා හැක. දින, සති, මාස හා වසර ගණනින් -හුදෙක් වසර පහක් වැනි කාලයක්ද නොව දශක ගණනක් ගතවන තුරුද - කාලාන්තරයක් පුරා එ් ආකාරයෙන් අපගේ කාලය ප්‍රයෝජනයට ගතහොත්, අපගේ ජීවිත අර්ථවත් වේ. අවම වශයෙන් එහිදී අපගේම පෞද්ගලික මානසික තත්ත්වය කෙරෙහි යම් ආකාර දායකත්වයක් ලබා දෙන්නෙමු. යම් දිනෙක අපගේ ජීවිතයේ අවසානය එළැඹෙනු ඇත. එදිනට අපට කිසිදු කණගාටුවක් ඉතිරිව නොපවතිනු ඇත; මක් නිසාද, අපගේ කාලය ධනාත්මක ලෙස යොදාගත් බව අප දන්නා බැවිනි.
මරණය පිළිබඳ යථාර්ථවාදී ආකල්පයක් පවත්වා ගැනීම
අප ගතකරන ජීවිතය සදාකල් පවතින්නක් නොවේ. එසේ වුවද "මරණය අපගේ සතුරාය" යනුවෙන් සිතීම සම්පූර්ණයෙන් වැරදි අදහසකි. මරණය යනු අපගේ ජීවිතයේ කොටසකි. සත්‍ය වශයෙන්ම, බෞද්ධ දෘෂ්ටි කෝණයකින් සලකා බලන කල, මෙම සිරුර යම් ආකාරයක සතුරෙකි. මෝක්ෂය හෙවත් විමුක්තිය උදෙසා නිර්ව්‍යාජ ඇල්මක් ඇතිකරගනු පිණිස, අපගේ ආකල්පය පිළිබඳ සිතා බැලිය යුතු වේ: එනම්, අපගේ උපත, මෙම සිරුර, එහි ස්වභාවයමද දුක වන අතර, එ් අනුව එය අවසන් කිරීම හෙවත් සන්සිඳීම කළ යුත්තක් වන බවයි. එනමුදු, මෙම ආකල්පය මගින් බොහෝ ගැටළු ඇතිකළ හැක. මරණය සතුරා වශයෙන් ගන්නේ නම්, මෙම සිරුරද සතුරෙකු වන අතර සමස්තයක් ලෙස ජීවිතයද සතුරෙකු වේ. එය පමණ ඉක්මවා ගමන් කිරීමකි.
සැබැවින්ම, මරණය යනු අවම වශයෙන් මෙම සිරුර සම්බන්ධ පැවැත්මේ අවසානයයි. මෙම ජීවිතය තුළ යම් සමීප සම්බන්ධතා සහිතව ගොඩනගාගත් සියලු දේ අතහැරීමට අපට සිදුවනු ඇත. සතුන් මරණය ප්‍රිය නොකරන අතර, එ් අනුව ස්වභාවිකවම මනුෂ්‍යයා සම්බන්ධ තත්ත්වයද එයම වේ. එනමුදු, අප ස්වභාව ධර්මයේම කොටසක් වන බැවින් මරණයද අපගේ ජීවිතයේ කොටසක් වේ. තර්කානුකූලව සලකා බලන්නේ නම් ජීවිතයට ආරම්භයක් හා අවසානයක් ඇත - උපතක් හා මරණයක් පවතී. එසේ නම් එය අසාමාන්‍ය තත්ත්වයක් නොවේ. එසේ නමුදු, මරණය පිළිබඳ අපගේ යථාර්ථවාදී නොවන ප්‍රවේශයන් හා අදහස් මගින් අමතර කණගාටුවක් හා සාංකාවක් ඇති කරනු ලබයි.
එබැවින්, බෞද්ධ පිළිවෙත් පුරන්නෙකු වශයෙන් මරණය හා අනිත්‍යය පිළිබඳ දිනපතා සිහි කිරීම ඉතා ප්‍රයෝජනවත් වේ. අනිත්‍ය දහමේ මට්ටම් දෙකකි: වඩා දළ මට්ටම [සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුය] හා සියුම් මට්ටම [හේතු ප්‍රත්‍යයන්හි බලපෑමට ලක්වූ සියලු සංඛත ධර්ම මොහොතින් මොහොත වෙනස් වන්නේය] වශයෙනි. සත්‍ය වශයෙන් අනිත්‍ය දහමේ සියුම් මට්ටම බුදු දහමේ සැබෑ ඉගැන්වීම වේ; එනමුදු අපගේ පැවැත්ම සදාකාලික වූවක්ය යන හැඟීම මත පදනම් වූ පාපකාරී භාවයන් සමහරක් අවම කරන බැවින් අනිත්‍යය පිළිබඳ දළ මට්ටමද පොදුවේ පිළිවෙතෙහි වැදගත් කොටසක් වේ.
බටහිර රටවල්හි සිට අන් සියලු ප්‍රදේශයන්හිද මහා බලකොටු හා පවුරු බැඳ වැජඹුණු මහා රජවරුන් හා පාලකයන් සලකා බලන්න. මෙම අධිරාජයෝ තමා කිසිදින නොමියෙන බව සිතූහ. එසේ නමුදු, මෙම ව්‍යුහයන් හෙවත් ආකෘතීන් සැලකිල්ලෙන් විමසා බලන විටදී එ්වාහි යම් අමනෝඥ බවක් පෙනේ. චීන මහා ප්‍රාකාරය සලකා බලන්න. එතුළින් එය ඉදි කිරීමට වෙහෙසුණු යටත් වැසියනට මහත් දුකක් ඇති කරන ලදී. එසේ වුවද, මෙම නිර්මාණ සිදු කරන ලද්දේ "මාගේ බලය හා රාජධානිය සදාකල් පවතිනු ඇත" හා "මාගේ අධිරාජයා සදාකල් වැජඹෙනු ඇත" යන හැඟීමෙනි. බර්ලින් තාප්පය පිළිබඳ සලකා බැලුවහොත්, එක් නැගෙනහිර ජර්මානු කොමියුනිස්ට් නායකයෙකු පැවසුවේ එය වසර දහසක් පවතිනු ඇති බවයි. මෙකී සියලු හැඟීම් ඉස්මතු වනුයේ තමා හා තම පක්ෂය හෝ ඇදහිලි කෙරෙහි පවත්වාගෙන යනු ලබන ග්‍රහණය හා එ්වා සදාකල් පවතිනු ඇත යන සිතිවිල්ල හේතුකොටගෙනය.
අපගේ පෙළැඹීමේ කොටසක් වශයෙන් ධනාත්මක ආශාවක් පැවතිය යුතුය යන්න සත්‍යයකි - ආශාවකින් හෙවත් කැමැත්තකින් තොරව චලනයක් සිදුවිය නොහැක. එසේ වුවද, මෝහ මිශ්‍රිත ආශාව හෙවත් කැමැත්ත භයානක එකකි. නිදසුනක් ලෙස, "මම සදාකල් ජීවත් වෙමි" යන අදහස නිරතුරු ඇති කරවන නිත්‍යතා හැඟීමක් පවතී. එය යථාර්ථවාදී නොවේ. එය මෝහයයි. එය ආශාව - නිරන්තරයෙන් තව තවත් දේවල් ඕනෑකම හෙවත් රැස්කිරීමේ අවශ්‍යතාවය - හා සම්බන්ධ වූ විටදී එමගින් වඩ වඩාත් කරදර හා ගැටළු ඇති කෙරේ. එනමුදු ප්‍රඥාවන්ත ආශාව හෙවත් අපේක්ෂාව ධනාත්මක එකක් වන අතර, එය පැවතිය යුත්තකි.
හිස් කබල් වැනි දේ මගින් ඇතැම් තන්ත්‍ර පිළිවෙත් තුළ අනිත්‍යය සිහි කැඳවීම් දක්නට ලැබෙන අතර ඇතැම් මණ්ඩලයන්හි සොහොන් පිටි සිතින් මවා ගන්නෙමු. මේ සියල්ල අනිත්‍යය පිළිබඳ අප වෙත සිහි කැඳවන සංකේත වේ. දිනක් සොහොන් පිටියක් හරහා මාගේ රථයෙන් ගමන් කළෙමි. පසු කාලීනව "මට සොහොන් පිටිය හරහා ගමන් කරන්නට සිදු වුණා. එ්ක තමයි අපේ අවසන් ගමනාන්තය. අපට එතනට යන්න වෙනවා"යි පවසන අවස්ථාවන්හි එම ගමන මා හට සිහිපත් විය. කුරුසිය මත සිට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින්ද සිය අනුගාමිකයන් වෙත පෙන්වා දෙන ලද්දේ අවසානයේ මරණය අප වෙත ළඟාවන බවයි. බුදුන් වහන්සේද එවැන්නක් සිදුකළ සේක. අල්ලාහ් දෙවියන් වහන්සේ පිළිබඳ මම නොදනිමි - උන්වහන්සේ රූපයකින් පෙනී නොසිටී - එනමුදු, සැබැවින්ම මුහම්මද් තුමා විසින් එය පෙන්වා දෙන ලදී.
එබැවින්, යම් දිනෙක මරණය අප වෙත ළඟාවනු ඇත යන කරුණ පිළිබඳ යථාර්ථවාදී විය යුතුය. මරණය උදාවන බවට වූ යම් ආකල්පයක් ආරම්භයේ සිට ගොඩනගා ගන්නේ නම්, මරණය සැබෑ ලෙසම පැමිණි කල ඔබ එතරම් කලබල නොවනු ඇත. එ් අනුව, මේ පිළිබඳ දිනපතා සිහි කිරීම බෞද්ධ පිළිවෙත් පුරන්නෙකු විෂයයෙහි ඉතා වැදගත් වේ.
මරණය අවස්ථාවේදී සිදුවන දේ
අවසානය ළඟාවන විටදී, එය ආගන්තුක දෙයක් ලෙස දැකීමෙන් තොරව පිළිගත යුතු වේ. එම අවස්ථාවේදී, දේවවාදී ආගමක් අදහන්නාවූ අයෙකු වේනම් "මේ ජීවිතයමද දෙවියන් වහන්සේගේ නිර්මාණයකි. එබැවින්, අවසානයද දෙවියන් වහන්සේගේ සැලැස්මට අනුව සිදුවනු ඇත. මා මරණයට අකමැති වුවද, දෙවියන් වහන්සේ විසින් එය නිර්මාණය කරන ලද බැවින් එයටද යම් අරුතක් පැවතිය යුතුය" යනුවෙන් සිතනු ඇත. මැවුම්කාර දෙවියන් වහන්සේ පිළිබඳ සැබෑ ඇදහිලිවන්තයන් සිතනු ඇත්තේ මෙයාකාරයෙනි.
භාරතීය සම්ප්‍රදාය අනුගමනය කරමින් පුනර්භවය විශ්වාස කරන්නාවූ අය විසින් දිගින් දිගටම එ් පිළිබඳ කණගාටු වනු වෙනුවට සිය මතු භවයන් පිළිබඳ සිතා බලා යහපත් පුනර්භවයක් ලැබීම පිණිස නිවැරදි හේතු නිර්මාණය කිරීමේ යම් උත්සාහයක නිරත විය යුතුය. නිදසුනක් ලෙස, මරණාසන්න අවස්ථාවේදී ඔබ ඔබගේ සියලු පුණ්‍ය කටයුතු සිහියට නගාගත යුතු අතර එ් අනුව ඔබගේ මතු භවය යහපත් එකක් බවට පත්වනු ඇත. අපගේ ඇදහිල්ල කවරක් වුවද, මරණාසන්න මොහොතේදී චිත්ත ස්වභාවය ශාන්ත එකක් විය යුතුය. කෝපය හෝ දැඩි බිය මගින් සෙතක් නොසැලසේ.
හැකිනම් මේ අවස්ථාවේ බෞද්ධ පිළිවෙත් පුරන්නන් විසින් සිය මතු භවයන් පිළිබඳ සලකා බැලීම සඳහා සිය කාලය යොදාගත යුතුය. බෝධිචිත්ත පිළිවෙත් හා ඇතැම් තන්ත්‍ර පිළිවෙත් මේ සඳහා යෝග්‍ය වේ. තන්ත්‍ර දේශනාවනට අනුව, මරණාසන්න අවස්ථාවේදී සතර මහා භූතයෝ අදියර අටකින් විසිර යති - සිරුරේ වඩා දළ භූත කොටස් දියවී විසිර යන අතර ඉනික්බිති වඩාත් සියුම් මට්ටම්හි විසිර යාම සිදුවේ. තන්ත්‍ර පිළිවෙත් පුරන්නන් විසින් මෙම කරුණ සිය දෛනික භාවනාවනට ඇතුළත් කරගත යුතුය. මම සැමදා මරණානුස්මෘති භාවනාවෙහි - විවිධ මණ්ඩල පිළිවෙත්හි - අවම වශයෙන් පස් වරක් නිරත වෙමි. එ් අනුව මම තවමත් ජීවත් වෙමි. අද උදෑසනද මරණ තුනක් පසු කළෙමි.
මෙය යහපත් මතු භවයක් සඳහා ඇපයක් ඇතිකර ගැනීමේ ක්‍රමයක් මෙනි. මා පෙරදී සඳහන් කළ පරිදි, නොඅදහන්නන් හට අනිත්‍යය නම් වූ සත්‍ය කරුණ පිළිබඳ යථාර්ථවාදී වීම වැදගත් වේ.
මිය යමින් සිටින්නන්ට උපකාර කරන අයුරු
සැබෑ ලෙසම මිය යමින් සිටින අය සම්බන්ධයෙන් සලකා බලන කල [උපකාර කරන ආකාරය පිළිබඳ] එ් වටා සිටින අයට යම් අවබෝධයක් ඇත්තේ නම් යහපත්ය. පෙරදී සඳහන් කළ පරිදි, මැවුම්කාර දෙවියන් වහන්සේ පිළිබඳ ඇදහිල්ලෙන් පසුවෙමින් මියයමින් සිටින අය වෙත දෙවියන් වහන්සේ සිහිපත් කළ හැක. බෞද්ධ දෘෂ්ටි කෝණයකින් සලකා බැලුවද එකහෙළා දෙවියන් වහන්සේ පිළිබඳ ඇදහිල්ලක් පවත්වාගෙන යාම තුළද අවම වශයෙන් යම්කිසි ප්‍රයෝජනයක් පවතී. ඇදහිල්ලක්, ආගමක් නොමැති අය සම්බන්ධයෙන් මා පෙරදී සඳහන් කළ පරිදි යථාර්ථවාදීව ඔවුන්ගේ සිත් ශාන්තව තැබීමට උත්සාහ කිරීම වැදගත්ය.
මරණාසන්න පුද්ගලයා වටා හඬමින් ගැවසෙන ඥාතීන් සිටීම ඔවුනට සන්සුන් මනසක් පවත්වා ගැනීමට බාධාවක් හෝ හානිකර බලපෑමක් ඇතිකළ හැක. මක්නිසාද, එමගින් පමණ ඉක්මවූ ඇල්මක්, බැඳීමක් ඇතිකරන බැවිනි. ඥාතීන් කෙරෙහි පමණ ඉක්මවූ ඇල්ම හේතුකොට, කෝපය වැඩී මරණය සතුරෙකු සේ දැකීමේ හැකියාවක්ද පවතී. එබැවින්, ඔවුන්ගේ මානසික තත්ත්වය සන්සුන්ව පවත්වා ගැනීමට උත්සාහ කිරීම වැදගත්ය.
බොහෝ අවස්ථාවන්හි මා හට බෞද්ධ ගිලන් හල් වෙත යාම සඳහා ඉල්ලීම් ඉදිරිපත් වේ. ඕස්ට්‍රේලියාවේ මෙන් මරණාසන්න අය හා බරපතල රෝගාබාධයන්ගෙන් පෙළෙන අය රැකබලා ගැනීමට පූර්ණ වශයෙන් කැපවූ භික්ෂුණීන් වෙසෙන භික්ෂුණී ආරාමයක් එහි වේ. මෙය වූකලි කරුණාව දිනපතා ක්‍රියාවෙයි යෙදවීමේ ඉතා යහපත් විධික්‍රමයකි. එය ඉතා වැදගත්ය.
සාරාංශය
මරණය අරුමයක් නොවේ. එය සෑම දිනකම ලොව පුරා සිදුවන්නකි. අපගේ මරණය නියත බව වටහා ගැනීම මගින් අර්ථවත් දිවියක් ගත කිරීමට දිරියක් ලැබේ. එය ඕනෑම අවස්ථාවක එළැඹිය හැකි බව වටහා ගන්නා විටදී, සුළු දේවල් සඳහා අරගල හා ආරවුල් කිරීමේ සම්භාවිතාවන් අවම වේ. එ් වෙනුවට හැකිතාක් දුරට අන්‍යයන් වෙත උපකාර කරමින් ජීවිතයෙන් ලද හැකි උපරිම ඵල නෙළා ගැනීම කෙරෙහි යොමු වන්නෙමු.