නව ආගම්වාදී යුද්ධවලට නව විසඳුම් අවශ්‍ය වේ

ආගමික ජාතිකවාදය නමැති නව මතවාදය මගින් බලගැන්වෙන නව ආගමික යුද්ධ මගින් ලෝක මට්ටමින් පුරවැසියන්ගේ සාමකාමී සහජීවනය වනසාලමින් පවතී.

මෙම නව මතවාදය ක්‍රිස්තියානු මූලධර්මවාදයේ ආකෘතියෙන් 1920 ගණන්වල පළමුවරට ඉස්මතුවූ අතර ඉන්පසු අරාබි සමාජවාදීන්ට එරෙහි පවුරක් ලෙස මුස්ලිම් පක්ෂ හා එකාධිපතීන් විසින් මැද පෙරදිග කළාපය තුළ යොදාගන්නා ලදී. මූලධර්මවාදය ඉන්දියාවේ ඛාලිස්තාන් ව්‍යාපාරයද සමගින් ජවයක් ලද අතර ඉරානයේ හා පාකිස්තානයේ ඉස්ලාම්වාදී පාලන කලාප තුළ දේශපාලනිකව සාර්ථක විය. මේවන විට මැලේසියාවේ, ශ්‍රී ලංකාවේ, ඉන්දියාවේ, මියන්මාරයේ, නයිජීරියාවේ, පාකිස්තානයේ, ප්‍රංශයේ, ජර්මනියේ, එක්සත් ජනපදයේ හා තවත් රටවලද දක්නට ලැබෙන වෙනත් ආගම් නුරුස්සන්නාවූ ආගමික ජාතිකවාදයක් දක්වා මූලධර්මවාදය නැවතද වෙනස් ස්වරූපයකින් ඉස්මතුව ඇත.

නව ආගමික ජාතිකවාදී යුද්ධ  ප්‍රොතෙස්තන්ත්‍ර ප්‍රතිසංස්කරණයෙන් අනතුරුව 1524-1648 සමයන්හි සිදුවූ ක්‍රිස්තියානි යුරෝපානු යුද්ධයන්ගෙන් වෙනස් වේ. එම යුද්ධ 1648 වෙස්ට්ෆේලියා සාමයෙන් අවසන් වූ අතර යටත් විජිතවාදය හරහා ආගම දේශපාලනයෙන් වෙන්කළ ලෞකිකවාදයක් ජාතික-රාජ්‍යයන්හි ලෝක මාදිලිය බවට පත්වනු පිණිස පැතිරිණී.

මේ අතර වර්තමාන ආගමික යුද්ධ ආගමික වශයෙන් අනෙකාට බිය වීමේ හා ගුප්ත විද්‍යාත්මක ශ්‍රේෂ්ඨත්වතාවාදයක් මත පදනම් වේ. ජපානයේ සිට මධ්‍යධරණී කලාපය දක්වා විහිදුණු පෞරාණික සේද මාවත මගින් ආදර්ශ සපයන්නාවූ සහජීවනය, ඉවසීම හා වෙළඳාමට අවකාශ සැලසූ පූර්ව යටත්විජිතවාදී ආගමික දෘෂ්ටි කෝණයන් තුළ මෙකී නව රෝග ලක්ෂණය නොපැවතිණි.

නව ආගමික යුද්ධ ලෞකිකවාදය විසින් පොදුජන අවකාශයෙන් ආගම් පලවා හැරීම තුළ මුල්බැසගෙන ඇත. ලෞකිකවාදය තුළ ආගම් අතුරුදන් වනු ඇතැයි අපේක්ෂා කළද, එකී යටපත් කිරීම තුළින් එ් වෙනුවට ජන වාර්ගික බහුතරයන්ගේ දේශපාලනික න්‍යාය පත්‍ර තවදුරටත් විකාශනය කිරීමට එ්වා හේතුභූත විය.

එබැවින්, ආගම සියලු යුද්ධයන්හි හේතුවය යන ජනප්‍රිය න්‍යාය ඓතිහාසික මිථ්‍යාවක් වන අතර එය අතීතයේ දහස් ගණනින් වූ අන්තර් ආගමික සහජීවනය පිළිබඳ නිදසුන් තුළින් දැක්විය හැක්කකි. එනමුත් වර්තමාන යුගයේදී, සුළුතර කොටස්වල සාපේක්ෂ කුඩා සංඛ්‍යාවක් වූ ජන පිරිස බහුතරය ඉක්මවා වර්ධනය වනු ඇතැයි යන මනඃකල්පිත බිය විහිදුවාලමින් සුළුතරය රකුසන් සෙයින් පෙන්වීම සඳහා ආගම් භාවිත වී ඇත. එවන් බිය විද්‍යාත්මකව සාවද්‍ය වන අතරම ජන විකාශ විද්‍යාත්මකව විශ්වාස කළ නොහැකිය.

1945න් පසු ඉතිහාසය තුළ කාශ්මීරය, පලස්තීනය, උතුරු අයර්ලන්තය, කුර්දිස්ථානය, දකුණු තායිලන්තය හා දකුණු පිලිපීනයේ මේ දක්වාද නොවිසඳුණු ජාතිකවාදී ගැටුම් උත්පාදනය කළ ජාතිය-ගොඩනැගීමේ රැල්ලක් ඇතිවිය. එ් සියලු අවස්ථාවන්හි කැරලිකරුවෝ ආගමික රාජ්‍ය ස්ථාපනය අපේක්ෂා නොකරති. එ් වෙනුවට මෙකී ගැටුම් ජාතිකවාදයේ වර්තමාන යුගයේ නොවිසඳුණු දේශපාලනික අවශේෂයන් වන අතර එ් අනුව දේශපාලන විසඳුම් අවශ්‍ය එ්වා වේ.

පශ්චාත් ශීතල යුධ සමයේ ආගමික ජාතිකවාදයන් විසින් ප්‍රතිපත්ති සම්පාදකයන් සඳහා වූ පෙර නුවූ විරූ හිසරදයන් නිර්මාණය කොට ඇති අතර එ් සඳහා පාඨ ග්‍රන්ථමය විසඳුම් නොපවතී. එ්වා අයර්ලන්තයේ, පාකිස්ථානයේ, ඉන්දියාවේ, මැලේසියාවේ, ඉන්දුනීසියාවේ හා එක්සත් ජනපදයේ බලාලින්දයනට ඇතුළු වූ ජනවාර්ගික ආගමික න්‍යාය පත්‍ර සහිත ජාතිකවාදීන් විසින් නායකත්වය සපයන එ්වා වේ. මූලධාරාගත ලෞකික ජාතිකවාදය නමැති සංසිද්ධිය ආගමික එකක් බවට පරිවර්තනය වී ඇත. නවීන ලෝකයේ සියලු දෙනා අන්තර්ගත හා බහුත්වවාදී රාජ්‍යයක පදනම වන විශ්වමය පුරවැසිභාවය සඳහා වූ සංකල්පය, පිළිවෙත හා ගෞරවය විනාශ කිරීමෙන් එය වළකාලන්නට අවශ්‍ය වන්නේ නම් මෙකී දෙබිඩි "නව සාමාන්‍යකරණය" විග්‍රහ කරගනිමින් වටහාගත යුතුය.

මෙහිදී අනතුරට ලක්ව ඇත්තේ ආගමික ජාතිකවාදී ව්‍යාපාරයන්හි ඉස්මතුවීම හා සුවිශාල වාණිජ භෞතිකවාදයේ බලපෑම මගින් නාය යාමට ලක් කරවන ලද සාර්ව භෞමික ආසියාවේ අනාගතයට අඩුතර දෙයක් නොවේ. සමාජ න්‍යායවාදීන් හෝ ආගමික පූජකයන් මෙම අභියෝගයට විසඳුම්වලින් සන්නද්ධව නොමැත. අවශ්‍යව ඇත්තේ අන්තර් ක්ෂේත්‍රමය අධ්‍යාපනික ප්‍රවේශයකි.

වර්තමාන ප්‍රතිපත්ති මගින් ආගමික ජාතිකවාදයේ ඉස්මතුවීම සම්බන්ධයෙන් හා භීෂණය සම්බන්ධයෙන් කටයුතු කිරීම ආරක්ෂක ගැටලුවක් සේ සලකා කටයුතු කරයි. මෙය අප්‍රමාණවත් වන අතර දුකට විසඳුම එයට හේතුව සොයාගැනීම මත රඳා පවත්නා බවට වූ බෞද්ධ ඉගැන්වීම් නොසලකා හරින්නකි.

ගිණිකොනදිග ආසියාව මහ බලවතුන්ගේ භූ-දේශපාලනික තරගයක් හා ජනවාර්ගිකකරණය වූ හා පුරවැසියන් එකිනෙකා අතර ගැටුම් ඇතිකර ගන්නාවූ භීෂණකාරී ආගමික ජාතිකවාදයකින් පෙළෙමින් සිටින ක්‍රිස්තියානි, මුස්ලිම් හා බෞද්ධ ජනතාවන් අතර සිරවී ඇත. මනා සේ පුහුණුව ලද මානව සම්පත් හා මනා යටිතල පහසුකම්වලට ස්තුති වන්නට වඩ වඩාත් වැදගත් ගෝලීය ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත්වෙමින් පවත්නා මෙම කලාපයේ අනාගතය මෙමගින් අවදානමේ හෙළනු ලබයි. අසියාන් රටවල් කණ්ඩායම ශීතල යුද සමයේ හානියට පත් නොවී බේරී සිටියේය. ඔවුනට අභ්‍යන්තර ආගමික ජාතිකවාදයන් හරහා සිය විනාශය ඇතිකර ගැනීමට නොහැකිය.

ආගමික ජාතිකවාදයේ නැගීම පුරවැසිභාවයට ඉමහත් තර්ජනයක් වන අතර භීෂණකාරී අනාගතයක් ඇතිවීම වළක්වාලීමට අවශ්‍ය වන්නේ නම් රාජ්‍යයන් විසින් මෙයට එරෙහිව අධ්‍යාපනය මගින් කටයුතු කළ යුතුවේ. වර්තමානයේ තාක්ෂණය කෙරෙහි අවධානය යොමුකළ අධ්‍යාපනය හා සමාජ මාධ්‍ය මගින් හැඩ ගස්වනු ලබන එදිනෙදා ජීවිතය තුළ ජන වාර්ගික අධිපතිවාදයන් හා භීතීන් ආමන්ත්‍රණය කිරීමට අවශ්‍ය ගැඹුර නොපවතී. ඉස්මතු වෙමින් පවත්නා පෙදෙසිවාදය, අන්තර් ආගමික නොදැනුවත්භාවය, නොඉවසීම හා එහි ප්‍රතිඵලයක් ලෙස ඇතිවන භීෂණයට විෂබීජ නාශකයක් ලෙස විෂය මාලා මානුෂවාදී අන්තර්ගතයන් ඇතුළුවන පරිදි ප්‍රතිශෝධනය කළ යුතුවේ. අපගේ පූර්වගාමීහූ වර්තමාන පරපුර සඳහා වඩා සාමකාමී ලොවක් ඉතිරි කරනු පිණිස නිදහසේ හා සංවර්ධනයේ මහා ව්‍යාපාරය තුළ ඉමහත් කැප කිරීම්ද, ජීවිත පූජාවන්ද සිදු කළහ. අප විසින් අපගේ දුවා දරුවනට භීෂණකාරී අනාගතයක් පවරා නොදිය යුතුය.

මින් මිදිය හැකි මඟ කුමක්ද? ලෞකිකවාදීන් විසින් ආගම යන්න ජනතා අවකාශය තුළ බහාලීමට උගත යුතු අතර ආගමික නායකයන් විසින් ආගම නමැති ජනතා කාර්ය භාරය ආධ්‍යාත්මිකත්වය සමගින් සමබර කිරීමට උපකාර කළ යුතුය. මේ අතර, තමාගේ සාමාජිකයන් විසින් වපුරමින් පවත්නා භීෂණ ක්‍රියාවන් ආගමික නායකයන් විසින් හෙළා දැකිය යුතුවේ. ජාතික ප්‍රමුඛතාවය වනුයේ ආත්මාභිලාශී කණ්ඩායම් නොව පුරවැසියන්ගේ හිමිකම් ආරක්ෂා කිරීමයි.

ගෝලීයකරණය තුළ විවිධත්වයට, ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කිරීම හා සෑම මනුෂ්‍යයෙකුගේම අත්‍යවශ්‍ය අවශ්‍යතාවන් ආරක්ෂා කිරීම අපේක්ෂා කරනු ලබයි. නව ආගමික ජාතිකවාදී යුධ යනු අප විසින් පශ්චාත්-ලෞකිකවාදී ලෝකයකට පිවිසෙමින් පවත්නේය යන්න පිළිබඳ භයානක ලකුණකි. එහි මූලයන් පවත්නේ ආගම තුළ නොව ආගම මත පිහිටුවනු ලබන ලෞකික ලෝකය තුළය. පැරණි  යුරෝපානු ආගමික යුද්ධයන් මගින් ලෞකිකවාදය, සංවර්ධනය හා මූලධර්මවාදයනට මං විවර කරන ලදී. ලෞකිකවාදී හා ආගමික මූලධර්මවාදයන් විසින් එ්වාහි ගමන් මග අවසන් කොට ඇත. දැන් හදිසියෙන් සිදු කිරීමට ඇති දෙය වනුයේ ගෝලීයකරණය වූ ලෝකය සඳහා නව මානුෂවාදයකි - හුදෙක් වාණිජ ව්‍යාපාරයක් හෝ ත්‍රස්තවාදයට එරෙහි ප්‍රතිචාරාත්මක ආරක්ෂණ ව්‍යාපාරයක් හෝ නොව නිදහස, කරුණාව, සාධාරණත්වය හා හේතු යුක්තිය නංවාලන්නාවූ සියල්ලන් අන්තර්ගත ශිෂ්ටාචාරයක් ගොඩනගන එකකි. එම දැක්ම ඉන්දියානු නොබෙල් ත්‍යාගලාභී රබීන්ද්‍රනාත් තාගෝරයන් විසින් මෙසේ දක්වන ලදී:

දැනුම නිදහස් වූද, පටු ප්‍රාදේශීය සීමා මායිම් තුළින් ලෝකය කැබලිවලට බිඳී නොගිය, සත්‍යයේ ගැඹුරුම තැනින් වදන් මිමිණෙන,  වෙහෙස නොබලා දරන වීරිය තුළින් පරිපූර්ණත්වය කරා දෑත් දිගුවන, හේතු යුක්තියේ සුපැහැදිලි ජල ධාරාව මළගිය සිරිත් විරිත්වල භයානක කාන්තාරය තුළ අතරමං නොවූ, සදාකල් පුළුල් වන චින්තනය හා ක්‍රියාකාරිත්වය තුළ ඉදිරියට සිත මෙහෙයවනු ලබන - එවන් නිදහසේ ස්වර්ග රාජ්‍යයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනි.
Top