පුරාණ භාරතීය වටිනාකම්වලට පුනර්ජීවනය ලබාදීම

පරම පූජනීය දලයි ලාමා වහන්සේ කැපවී සිටින ප්‍රධාන ක්ෂේත්‍ර සතර අතරින් එකක් වන පුරාණ භාරතීය වටිනාකම් පුනර්ජීවනය කිරීම පිළිබඳ කථා කරන ලෙස මා හට ආරාධනා ලැබී ඇත.

  • පළමුව, පුරාණ භාරතීය වටිනාකම් යනු මොනවාද?
  • දෙවනුව, එ්වා පුනර්ජීවනය කිරීමේ අරමුණ හා ප්‍රයෝජනය කවරක්ද?
  • තෙවනුව, එ්වා පුනර්ජීවනය කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
  • සිව්වනුව, එ්වා පුනර්ජීවනය කිරීමෙහි ලා යොදාගත හැකි ප්‍රායෝගික, ඵලදායී ක්‍රම කවරේද?

මෙම ගැටලු එකින් එක විමසා බලමු.

පුරාණ භාරතීය වටිනාකම් යනු මොනවාද?

පුරාණ ඉන්දියානු වටිනාකම් කවරේද යන්න විමසා බැලීමේදී, අපට ගතහැකි දිශානති දෙකක් වේ:

  • එකක් වනුයේ දලයි ලාමා වහන්සේ විසින් නිතිපතා ප්‍රවර්ධනය කරන්නාවූ පුරාණ ඉන්දියානු වටිනාකම් දෙකක් වන අහිංසාවේ හා කරුණාවේ දිශානතියයි. ඉන්දියානු ආගමික සම්ප්‍රදායන් තුළ ඉගැන්වෙන එ්වා මගින් වර්තමාන ලෞකික ආචාර ධර්මයන්හිද, විශ්වමය වටිනාකම්වලද, එමරි විශ්වවිද්‍යාලය විසින් ගොඩනගා ඇති සමාජ, භාවමය හා ආචාර ධාර්මික (SEE Learning) ඉගෙනුම් පිළිබඳ අධ්‍යාපන වැඩසටහනේද පදනම සකසනු ලබයි. මෙම වැඩසටහන වර්තමානයේදී භාරතයේ මෙන්ම ලොව වටා වූ වෙනත් රටවල් ගණනාවකද බොහෝ පාසැල්හි ක්‍රියාත්මක කෙරෙමින් පවතී.
  • අනෙක් දිශානතිය වනුයේ භාවමය සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ දිශානතියයි. එය වූකලි දලයි ලාමා වහන්සේ විසින් ප්‍රවර්ධනය කරනු ලබන හා සිත, භාවයන්, කටයුතු කිරීමේ විධි හා සාධාරණීකරණයේ විධි ලෙස එන පෞරාණික භාරතීය ඇදහිලි පද්ධතීන්හි දේශනාවන් තුළ මූලික වශයෙන් එන තවත් පුරාණ භාරතීය වටිනාකමකි.

පුරාණ ඉන්දියානු වටිනාකම් හෙවත් භාවමය සෞඛ්‍යාරක්ෂාව නමැති මෙම දෙවන පැතිකඩ පුනර්ජීවනය කිරීම පිළිබඳ මෙහිදී මාගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි. බෞද්ධ දේශනාවනට අදාළව දලයි ලාමා වහන්සේ විසින් සිදුකරන පරිදි භාරතීය විද්‍යාව, දර්ශනය හා ආගම පිළිබඳව කථා කරන්නේ නම්, බොහෝ කොටම භාවමය සෞඛ්‍යාරක්ෂාව භාරතීය විද්‍යාව නමැති විෂය පථය තුළට ඇතුලු වේ. කෙ‌සේ වුවද, තමා, සත්‍යය හා යථාර්ථයට අදාළ ගැටලු සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී මේවා ඉන්දියානු දර්ශනය සමගින් එකිනෙක පිට වැටෙන අවස්ථා ඇත. අප විසින් අපවම හා අන්‍යයන් පිළිබඳවද, අප විසින් යථාර්ථය හා සත්‍යය ලෙස සලකන දෙය පිළිබඳවද සලකා බලන ආකාරය පැහැදිලිවම අපගේ භාවමය යහ පැවැත්මට බලපායි.

පුරාණ භාරතීය ලබ්ධි පද්ධති තුළට බෞද්ධ ඇදහිලි ක්‍රම සතරක්ද, අබෞද්ධ ඇදහිලි ක්‍රම අටක්ද අන්තර්ගත වන අතර එ්වා කිහිපයක අනු-ගුරුකුල කිහිපයක්ද වේ. මේ ඇදහිලි ක්‍රම එක එකක්, කෙසේ වුවද, භාවමය සෞඛ්‍යාරක්ෂාවේ සියලු පැතිකඩයන් සම්බන්ධ එයටම අනන්‍ය ප්‍රකාශනයන්ද සහිත සම්පූර්ණ පද්ධතීන් වේ. එ් එක එකක් මගින්, තම ක්‍රමයට අනන්‍ය වූ සිත හා භාවයන් පිළිබඳ සිතියමක්ද,  සිත හා තමා අතර පවත්නා සම්බන්ධය පිළිබඳ ඔවුන්ගේම ප්‍රකාශනයක්ද, එයටම අනන්‍ය වැටහීම් න්‍යායක් හා එයටම අනන්‍ය තාර්කික සනාථකරණ ව්‍යුහයක්ද ඉදිරිපත් කරනු ලබයි. තවද, එ් සියල්ල තුළ තමා, සත්‍යය හා යථාර්ථය පිළිබඳ දාර්ශනික මාතෘකාවනට අදාළ එකිනෙකට බොහෝ සෙයින් වෙනස් වූ අදහස්ද ඇත.

මෙයට අමතරව, චාර්වක දර්ශනය හැරුණු කොට, එ් සියල්ල විසින්ම භාරතීය ආගම් නමැති ප්‍රධාන මාතෘකාවන්හි සන්දර්භය තුළ සිය විද්‍යාත්මක හා දාර්ශනික ප්‍රකාශනයන් ඉදිරිපත් කරනු ලබයි. මෙම මාතෘකාවන් තුළට කර්මය, පාලනයකින් තොරව නැවත නැවතද ඇතිවන පුනරුත්පත්තිය (වෙනත් වචනයකින් පවසන්නේ නම් සංසාරය), සාංසාරික දුක, සංසාරයේ හේතුව වශයෙන් තමා හා යථාර්ථය පිළිබඳ නොදැනුවත්භාවය සහ සංසාරයෙන් විමුක්තිය ලැබීමේ විධික්‍රමය වශයෙන් තමා හා යථාර්ථය පිළිබඳව නිවැරදිව වටහා ගැනීමද ඇතුළත් වේ. අපගේ භාවමය ස්වරූපයන් අපගේ මෝහයේ බලපෑමට ලක්වන අතර එමගින් අපගේ කර්ම හැසිරීමට බලපෑම් ඇතිවන බැවින්, එ්වා මගින් සාංසාරික පුනරුත්පත්තියේ දුක් ඇති කරනු ලබයි. මෝහය මත පදනම්ව මෙම භාවමය ස්වරූපයන්ගෙන් අප මුදවා ගැනීමේ විධික්‍රම සියල්ල සාංසාරික පුනරුත්පත්තියෙන් මිදීම කරා යොමුවීම කෙරෙහි සැලසුම් කර ඇත. එ් අනුව, භාවමය සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධ ඉන්දියානු විද්‍යාව ඉන්දියානු දර්ශනයේ හා ආගමේ මූලික ප්‍රකාශනයන්ගෙන් වෙන්කොට ගැනීම සරල කාරණයක් නොවේ.

පුරාණ ඉන්දීය විද්‍යාව, දර්ශනය හා ආගම විසින් පොදුවේ හවුල්කාරිත්වයක් දරන මූලික ප්‍රකාශනයන් සම්බන්ධ මෙකී පුළුල් විවිධත්වය තුළ සැබැවින්ම භාවමය සෞඛ්‍යාරක්ෂාවට අදාළ පුරාණ භාරතීය වටිනාකම් යනු මොනවාද? එ්වානම්:

  • සත්‍යය හා මනඃකල්පිතය අතර වෙනස දැක්වීම සඳහා තාර්කික, විශ්ලේෂණාත්මක චින්තනය යොදා ගැනීමේ වටිනාකම;
  • අප විසින් අපටමද, එ් අනුව අන්‍යයන් කරාද නිර්මාණය කරගන්නා දුක මැඩ පවත්වනු පිණිස අපගේ සිත් හා භාවයන් ක්‍රියාත්මකවන ආකාරය වටහා ගැනීමේ අගය වේ.

භාවමය සෞඛ්‍යාරක්ෂාව පවත්වාගෙන යනු පිණිස මෙකී පෞරාණික භාරතීය ආගමික ක්‍රම මගින් පොදුවේ යොදාගනු ලබන විධික්‍රම  මගින් තවදුරටත් හවුලේ බෙදාගනු ලබන වටිනාකම් ගණනාවක් හෙළි කරනු ලබයි.

  • පළමුවැන්න අධ්‍යාපනය නමැති වටිනාකමයි. සිය දේශනාවනට සවන් දීමෙන් හෝ කියවා බැලීමෙන් සිත පුහුණු කොට, ඉන්පසු එ්වා සත්‍ය හා ප්‍රයෝජනවත් එ්වාය යන කරුණ පිළිබඳ නිවැරදි වැටහීමක් හා අවබෝධයක් ලබාගැනීමට එ්වා පිළිබඳව තාර්කිකව සිතීමද මගින් මෝහය හා දුක මැඩ පවත්වාගන්නා ලෙස මෙකී සියලු පද්ධති තුළ උපදෙස් දෙනු ලැබේ. අධ්‍යයනය හා විවේචනාත්මක චින්තනය නිවැරදි අධ්‍යාපනයේ පදනම් වේ.
  • දෙවැන්න වනුයේ අප විසින් ඉගෙන, වටහාගෙන අවබෝධයක් ලද දෙය අපගේ ජීවිත තුළට එ්කාබද්ධ කරගැනීම නමැති වටිනාකමයි. මෙය සිදුකිරීම සඳහා යොදාගත යුතුවන ක්‍රමය වශයෙන් ප්‍රයෝජනවත් පුරුදු ගොඩනගා ගැනීම පිණිස භාවනාව සියලු භාරතීය ක්‍රම තුළ උගන්වනු ලබයි.
  • තෙවැන්න වනුයේ ආචාර ධාර්මික ස්වයං විනය, සමාධිය හා විදර්ශනාව නමැති වටිනාකම්ය. මේ සියල්ල තුළ අපගේ සිත් පුහුණු කිරීමේ විනය ලබාගනු පිණිස ආචාර ධාර්මික චර්යාවෙන් අපගේ කය හා වචනය ශික්ෂණය කරගැනීම උගන්වනු ලබයි. ඉනික්බිති අපගේ සිත් පුහුණු කරනු පිණිස, එ් සියල්ල තුළ සමාධිය වඩනු සඳහා සමථයද, අපගේ මෝහය ඉවත් කරවන්නාවූ විදර්ශනාය වඩවන විපස්සනාවද වශයෙන් වූ භාවනා ක්‍රම යොදාගනු ලබයි. සමථ යනු සියලු ආකාර සිත විසිර යාම්වලින් හා සිතේ අන්ධකාර ස්වභාවයෙන් සිත නිශ්චල කරවන ලද හා යම් අරමුණක් මත එ්කාග්‍රව පවත්වාගන්නා චිත්ත ස්වභාවයකි. යම් වස්තුවක් මත නිවැරදිව සිහිය පිහිටුවා ගනිමින් එහි අනිත්‍ය ස්වභාවය වැනි නිවැරදි ආාකරයකින් එ් පිළිබඳ සලකා බැලීමෙන් හෝ කරුණාව වැනි එ් කෙරෙහි ප්‍රයෝජනවත් වූ ආකල්පයක් පවත්වා ගනිමින් මෙම කාර්යය සිදු කරනු ලබයි. විපස්සනා යනු සමථ ස්වභාවයක් පවත්වාගෙන යන අතරම, අරමුණ කරා වූ සියලු ආකාර අවබෝධයන් හා ආකල්ප සවිස්තරාත්මකව හා ගැඹුරු අන්තර් ඥානයක් සහිතව දැකීමට හැකි සුවිශේෂී වැටහීම්ගත චිත්ත ස්වභාවයකි.

කෙටියෙන් පවසන්නේ නම්, භාවමය සෞඛ්‍යාරක්ෂාවට අදාළ පුරාණ භාරතීය වටිනාකම් වනුයේ,

  • අධ්‍යාපනය
  • තාර්කික, විශ්ලේෂණාත්මක චින්තනය
  • සිත හා භාවයන් වටහා ගැනීම
  • ආචාර ධාර්මික හැසිරීම
  • සිහිය හා අන්තර් ඥානය වඩවා ගැනීමේ භාවනාව, යන කරුණුය

භාවමය සෞඛ්‍යාරක්ෂාවට අදාළ පුරාණ භාරතීය වටිනාකම් පුනර්ජීවනය කිරීමේ අරමුණ හා ප්‍රයෝජනය කවරක්ද?

"වටිනාකම්" යන වදන තුළින් අර්ථවත් වනුයේ යම් ධනාත්මක අභිමතාර්ථයක් සාධනය කරගැනීමෙහි ලා වැදගත් බවට සැලකෙන දේවල් වේ. ශාරීරික සෞඛ්‍යාරක්ෂාව පිරිසිදුබව, සෞඛ්‍ය සම්පන්න ආහාර වේල, ව්‍යායාමය හා ආරක්ෂිත චර්යාව යන වටිනාකම් මත පදනම් වේ. එ්වා මගින් ලෙඩ රෝග වළක්වාලීමට උපකාරයක් ලැබෙන අතර අප මෙන්ම සමාජයේද යහ පැවැත්මට දායකත්වයක් ලබාදෙන බැවින් මේ සියල්ල වැදගත් වේ. එ් හා සමානවම, භාවමය සෞඛ්‍යාරක්ෂාව අධ්‍යාපනය, තාර්කික චින්තනය, නිවැරදි අවබෝධය, භාවමය සමතුලනය, ධනාත්මක චර්යාවන්, සමාධිය හා විදර්ශනාව මත පදනම් වේ. තමාටම මෙන්ම සමාජයටද හානිකර වන අතාර්කික සිතිවිලි, භාවමය කැළඹිලි, හා බලහත්කාරී චර්යාවන් වළක්වාලීමට උපකාරී වන බැවින් එ් සියල්ල වැදගත් වේ.

නිරන්තරයෙන්ම භාවමය සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධ පුරාණ භාරතීය දේශනාවන්හි අරමුණ හා ඉලක්කය වූයේ පුද්ගලයන් හට ඔවුන්ගේ දුකින් මිදීමට උපකාර කිරීමයි. අවසන් අරමුණ පාලනයකින් තොරව නැවත නැවතද සිදුවන පුනරුත්පත්තිය හෙවත් සංසාර දුක මැඩ පැවැත්වීම වන නමුදු, මෙම ඉගැන්වීම් එදිනෙදා ගැටලු හා දුක් මැඩ පැවැත්වීම කෙරෙහිද ප්‍රයෝජනවත් වේ. සිය සිත් හා භාවයන් කටයුතු කරන ආකාරය, තම චර්යාවන් තමාගේ හැසිරීමට සිදුකරන බලපෑම, කරදරකාරයන් ඔවුන්ගේ සිත් හා භාවයන් තුළ හඳුනා ගන්නා ආකාරය, හා මෙම කරදරකාරී දේවලින් මිදෙනු වස් වලංගු වැටහීම, තර්කණය හා සාධාරණීකරණයද, විනය හා භාවනාවද යොදා ගන්නා ආකාරය වටහා ගැනීමේ විශ්ලේෂණාත්මක යෝජනාක්‍රම ජනතාව වෙත සපයා දීමෙන් මෙම කාර්යය සිදු කෙරේ.

මෙම ඉගැන්වීම් නැවත පුනර්ජීවනය කිරීමේ අරමුණ හා ප්‍රයෝජනය වනුයේ මොළය ක්‍රියාකරන ආකාරය පිළිබඳ වර්තමාන විද්‍යාත්මක දැනුම සහ මනෝ විද්‍යාත්මක න්‍යායනට අනුපූරකයක් ලෙස යොදා ගනිමින් ජනතාව වෙත උපකාර කිරීම සඳහා පවත්නා විධික්‍රම තවදුරටත් පුළුල් කිරීමයි. ජනතාවට උපකාර කිරීම යන්නෙන් හුදෙක් බරපතල ලෙස කැළඹිල්ලට පත් රෝගීන් හට චිකිත්සා පසුබිමෙක සිදුකරන සත්කාරය පමණක් අදහස් නොවන අතර එතුළ සාමාන්‍ය ජනතාවට ඔවුනගේ එදිනෙදා කටයුතුවල වඩාත් හොඳින් නිරත වීමට කරන උපකාරයද ඇතුළත් වේ. සියලු සත්ත්වයන් හට ඔවුන්ගේ දුකින් මිදීමට උපකාර කිරීම වූකලි, ඇතැම් විට, දලයි ලාමා වහන්සේ වඩාත් කේන්ද්‍රීයව කැපවී සිටින කාරණයද වේ.

භාවමය සෞඛ්‍යාරක්ෂාවට අදාළ පුරාණ භාරතීය වටිනාකම් පුනර්ජීවනය කිරීම අත්‍යවශ්‍යයෙන්ම අපගේ වර්තමාන යුගය තුළ වැදගත් වන්නකි. නිරතුරුවම අපගේ වර්තමාන යුගයන් "පශ්චාත්-සත්‍ය යුගයන්" ලෙස හැඳින්වෙන බව අපට ඇසේ. වැරදි තොරතුරු හා "සාවද්‍ය පුවත්" ලෙස හැඳින්වෙන දේ බහුල වශයෙන් දක්නට ඇත. සත්‍යාපනය කළ හැකි, සනාථ කළ හැකි කරුණුවලට වඩා තමා භාවමය වශයෙන් සත්‍ය ලෙස විශ්වාස කරන්නාවූ දේ මත පදනම්ව බොහෝ දෙනා විසින් සත්‍යය එය බව සලකනු ලබයි. මෙමගින් අතාර්කික චර්යාවන් හා සමාජ ප්‍රතිවිරෝධතාවයන්ද, සමාජ ක්‍රියාකාරිත්වයෙහි දෝෂ තත්වයන් හා ගැටුම්ද ඇති කෙරේ. කෙටියෙන් පවසන්නේ නම්, එමගින් බොහෝ ගැටලුද බොහෝ දුක්ද ඇති කෙරේ. භාවමය සෞඛ්‍යාරක්ෂාවට අදාළ පුරාණ ඉන්දියානු වටිනාකම් පුනර්ජීවනය කිරීම තුළින්, යථාර්ථය පිළිබඳව පවත්නා සාවද්‍ය සංකල්ප සහ එ්වායින් පැන නැගී දුක් ඇති කරවන කැළඹිලිකාරී භාවයන් හා බලහත්කාරී, හානිකර චර්යාවන්ටද එරෙහිව කටයුතු කොට එ්වා මුළිනුපුටා දැමීමේ විධික්‍රම දක්වමින් මෙම තත්ත්වය විෂයයෙහි උපකාර ලබාගත හැක.

මෙහිදී නිදසුනක් දක්වමි. දලයි ලාමා වහන්සේ විසින් නිරතුරු බෞද්ධ චිත්තමාත්‍රා සිත පමණක්ය යන අදහස සහ කොන්ටම් යාන්ත්‍රණයන්හි ඇඟවෙන දෙය අතර සමානත්වය පිළිබඳ කථා කරනු ලබයි. මෙම අදහස් දෙක තුළින්ම විෂය මූලික යථාර්ථය නම් වූ දෙයක් නොමැති අතර, නිරීක්ෂණය කරන්නාගේ සිත එසේ නිරීක්ෂණය වන වස්තුවේ ස්වභාවයට බලපාන බව නිගමනය කෙරේ. මෙලෙසින්, පෝටෝනයක් යම් අංශුවක් හෝ ශක්ති තරංගයක් ලෙස එය මනිනු ලබන සංකල්පීය රාමුව සහ නිරීක්ෂකයා මත පදනනම්ව නිගමනය කෙරෙන්නාක් මෙන් විවිධ දෘෂ්ටි කෝණයන්ගෙන් විවිධ තත්ත්වයන් සත්‍ය වේ. මේ සම්බන්ධ සම්භාව්‍ය බෞද්ධ නිදසුනක් දක්වන්නේ නම්, අප විසින් ජලය ලෙස අත්දකින දෙය දෙවිවරුන් විසින් අමෘතය ලෙසද, ප්‍රේතයන් විසින් සෙම/සොටු ලෙසද අත්දකිති. පෝටෝනයක් යම් අංශුවක්ය යන්න හා ශක්ති තරංගයක්ය යන දෙකම සාපේක්ෂ වශයෙන් සත්‍ය වන්නාක් මෙන්, මෙම සත්ත්ව වර්ග එකිනෙකෙකු හට  ඔවුන් අත්විඳින දෙය සාපේක්ෂව සත්‍ය වන අතර හේතු ඵල න්‍යාය අනුව ක්‍රියාත්මකවේ. ජලය මිනිසුන්ගේ පිපාසාව නිවන අතර, අමෘතය දෙවිවරුන් හට තියුණු සතුටක් ගෙන දේ. එ් අතරම සෙම/සොටු මගින් ප්‍රේතයන් වෙත බරපතල වේදනාවක් ගෙනදේ.

කෙසේ වුවද, දෘෂ්ටි කෝණ හා අත්දැකීම සම්බන්ධ මෙම සාපේක්ෂතාවය අදළ වනුයේ සම්මුතික සත්‍යයට විනා ගැඹුරුම සත්‍යයට නොවේ. එනමුදු සාපේක්ෂ, සම්මුතික සත්‍යයට අනුව පවා වලංගු සම්මුතික සත්‍යය හා වලංගු නොවන සම්මුතික සත්‍යය අතර වෙනසක් පවතී. යම් කිසිවෙකු විසින් යම් කිසි දෙයක් සත්‍ය බවට විශ්වාස කරන හෙයින්ම එය සත්‍ය නොවේ. ගින්නකට තෙල් වත්කළහොත් එම ගින්න නිවී යනු ඇතැයි යමෙකු විසින් විශ්වාස කළ හැකි නමුත් යථාර්ථයට අනුව නම් එය එයාකාරයෙන් නිවී යාමක් සි‍දු නොවේ. තර්කය හා හේතු දැක්වීම මත පදනම්ව පෞරාණික ඉන්දියානු වටිනාකම් පුනර්ජීවනය කිරීමේ එක් ප්‍රයෝජනයක් වනුයේ මෙම පශ්චාත්-සත්‍ය යුගයේ අභියෝග හා වියවුල් මැදින් යාත්‍රා කිරීමට ජනතාවට උපකාර කිරීමයි.

භාවමය සෞඛ්‍යාරක්ෂාවට අදාළ මෙකී පෞරාණික භාරතීය වටිනාකම් පුනර්ජීවනය කිරීම යන්නෙන් අදහස් කරන්නේ කවරක්ද?

මෙකී විවිධාකාර බෞද්ධ හා අබෞද්ධ ඇදහිලි ක්‍රම එකිනෙකින් වෙන්ව, ස්වාධීනව වර්ධනය වූ එ්වා නොවේ.  නාලන්දාව වැනි ශ්‍රේෂ්ඨ ඉන්දියානු විශ්වවිද්‍යාල තුළ එ්වාහි එකිනෙක අතර වූ දීර්ඝ වාද ඉතිහාසයක් විය. දලයි ලාමා වහන්සේ කැපව සිටින තවත් ක්ෂේත්‍රයක් වනුයේ සියලු සම්ප්‍රදායන් කෙරෙහි වූ දැනුම හා ගෞරවය මත පදනම් වූ ආගමික සහජීවනයයි. එම කැපවීමේ දෘෂ්ටි කෝණයෙන් සලකා බලන විට හා උන් වහන්සේගේ ‌ගෞරවයට පාත්‍රවන නාලන්දා සම්ප්‍රදාය හා අනුගතව සලකා බලන්නේ නම්, බෞද්ධ හා අබෞද්ධ යන දෙවර්ගයේම මෙකී ඉන්දියානු ඇදහිලි ක්‍රමයන් සියල්ල තුළ සොයාගැනීමට ලැබෙන භාවමය සෞඛ්‍යාරක්ෂාවට අදාළ දේශනා පුනර්ජීවනය කිරීමක් පෞරාණික ඉන්දියානු වටිනාකම් පුනර්ජීවනය යන්නෙන් අදහස් කෙරේ.

සංස්කෘත කෘතීන් නවීන භාෂාවනට පරිවර්තනය කිරීම අදාළ කාර්යයේ වැදගත් කොටසක් වුවද, පෞරාණික ඉන්දියානු වටිනාකම් පුනර්ජීවනය යන්නෙන් හුදෙක් එය පමණක් අදහස් නොවේ. මුල් කෘතීන් හා එ්වාහි භාරතීය අටුවාවන් සහ බෞද්ධ අටුවාවනට කළ තිබ්බතීය අටුවාවන් පවා වටහා ගැනීම දුෂ්කරය. එ්වා අතිශයින්ම ගැඹුරු එ්වා වන අතර, අවබෝධ කරගැනීම සඳහා සුවිශාල පසුබිම් අධ්‍යයනයක් හා ඉගෙනීමක් අවශ්‍ය වේ. මෙම කෘතීන් තුළ අන්තර්ගත දැනුම පුනර්ජීවනය පි‍ණිස, ආරම්භක මට්ටමින් ඇරඹී එ්වාහි අන්තර්ගතය පිළිබඳ පියවරින් පියවර අනුක්‍රමයෙන් ගැඹුරට විහිදෙන විග්‍රහයන් අවශ්‍ය කෙරේ. එවන් අනුක්‍රමික ඉදිරිපත් කිරීම් තුළින් පමණි සම්ප්‍රදායික භාරතීය චින්තනය පිළිබඳ පසුබිම් දැනුමක් නොමැති අය වෙත එ්වා වටහා ගැනීමට හැකිවනු ඇත්තේ.

මෙම දේශනාවන්හි ශ්‍රේණිගත මට්ටම් ඉදිරිපත් කිරීම යන්නෙන් මෙම එක් එක් ක්‍රමය වඩ වඩාත් වැඩි පැහැදිලිතාවයක් හා වලංගුතාවයක් දක්වන්නක් සේ ගනිමින් මෙකී ක්‍රමයන් ශ්‍රේණිගත අනුපිළිවෙලකට සකසා අධ්‍යයනය කිරීමක් අදහස් නොවේ. එසේ කළහොත් එමගින් එක් ක්‍රමයක් අන් සියල්ලට වඩා ශ්‍රේෂ්ඨ වන බවක් හා "පහළ මට්ටමේ ක්‍රම" ලෙස සැලකෙන දේ ඉගෙනීම ඉහළම මට්ටමේ හා වඩාත් යෝග්‍ය ක්‍රමය අධ්‍යයනය කිරීමේ පියගැට පෙළක් ලෙස පවතින්නේය යන්නක් අදහස් කෙරෙනු ඇත. බෞද්ධ ඇදහිලි ක්‍රම පිළිබඳ කරන අධ්‍යයනයන් මෙකී ශ්‍රේණිගත ක්‍රමයට අනුපිළිවෙලගත කිරීම බොහෝ උගතුන් විසින් සිදු කරන නමුදු, මෙම ප්‍රවේශය බෞද්ධ හා අබෞද්ධ ඇදහිලි ක්‍රම අධ්‍යයනය කාර්යය සඳහා යොදා ගැනීම දලයි ලාමා වහන්සේ විසින් ප්‍රවර්ධනය කරන්නාවූ සමයාන්තර සහජීවන වටිනාකම්වලට මුළුමනින්ම පටහැනි වේ. බෞද්ධ හා අබෞද්ධ දේශනාවන් ශ්‍රේණිගත අනුපිළිවෙලකට ඉදිරිපත් කිරීම යන්නෙන් එක් එක් ඇදහිලි ක්‍රමය වෙන් වෙන්ව එහි සංකීර්ණතාවයේ අනුපිළිවෙලට ඉදිරිපත් කිරීමක් අදහස් කෙරේ.

බෞද්ධ විද්‍යාව හා දර්ශනය පිළිබඳ ඉගැන්වීම් ආගමින් වියුක්තව ශාස්ත්‍රාලීය විෂයයන් වශයෙන් අධ්‍යයනය කළ හැකි බවට නිරතුරු දලයි ලාමා වහන්සේ විසින් ප්‍රකාශ කරනු ලබයි. මෙය ඉන්දියානු විද්‍යාව හා දර්ශනයට ද අදාළය. කෙසේ වුවද, මෙකී ඉපැරණි ඥානය පුනර්ජීවනය යන්න ශාස්ත්‍රාලයීය ආයතනයක කෞතුකාගාර භාණ්ඩයක් සේ අධ්‍යයනය කිරීම සඳහා පමණක් එය ආරක්ෂා කරගැනීමකට සීමා නොවිය යුතුය. පෞරාණික ඉන්දියානු දර්ශනය සම්බන්ධ පාඨමාලා අන්තර්ගත දකුණු ආසියානු අධ්‍යයන සඳහා වූ අධ්‍යයනාංශ ලොව වටා වූ බොහෝ විශ්වවිද්‍යාලයන් තුළ ඇත. මෙම අධ්‍යයන කටයතු සම්බන්ධයෙන් විශේෂඥතාවයක් දක්වනු පිණිස නව නාලන්දා විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමෙන් ඉන්දියාව තුළ මෙම වැඩසටහන පුළුල් කිරීම වැදගත් පියවරක් වන නමුදු එය ප්‍රමාණවත් නොවේ.

දලයි ලාමා වහන්සේ විසින් නිරන්තරයෙන්ම ප්‍රවර්ධනය කරවන ආකාරයට, බාලාංශයේ සිට විශ්වවිද්‍යාලය දක්වා සියලු මට්ටම්වල පාසැල් විෂය මාලාව තුළට මෙම වටිනාකම් එ්කාබද්ධ කිරීමෙන් භාවමය සෞඛ්‍යාරක්ෂාවේ වැදගත්කම හා වටිනාකම් ළමුන්ටද හඳුන්වා දිය යුතුය. උන් වහන්සේගේ දැඩි විශ්වාසය වනුයේ සමාජයේ ධනාත්මක පරිවර්තනයක් සිදු කිරීමේ යහපත්ම මාර්ගය ළමා අධ්‍යාපනයෙන් කටයුතු ආරම්භ කිරීම බවයි. එ් අනුව උන්වහන්සේගේ උපදේශය වනුයේ අහිංසාව හා කරුණාව පිළිබඳ පමණක් නොව භාවමය සනීපාරක්ෂාව පිළිබඳවද වූ පෞරාණික භාරතීය වටිනාකම් මගින් වර්තමානයේ ළමා අධ්‍යාපනය තුළට එක්‌කොට ඇති භෞතිකවාදී අවධාරණයන් අනුපූරණය කළ යුතු බවයි.

ලෞකික අධ්‍යාපන ක්‍රමය තුළට පෞරාණික ඉන්දීය වටිනාකම් හඳුන්වාදීමේ දිගු කාලීන ක්‍රමෝපායක් අනුගමනය කිරීම වූකලි සමාජය මත පෘථුල ධනාත්මක බලපෑමක් සිදු කිරීමේ වඩාත් ස්ථාවර විධික්‍රමය වේ. මෙම වටිනාකම් ප්‍රවර්ධනය කරන්නාවූ ඉගැන්වීම් සියලු භාරතීය චින්තනයන්හි දක්නට ලැබෙන මූලික වටිනාකම් සමූහය පොදුවේ දක්නට ලැබෙන ඉන්දියානු මූලාශ්‍රයන් වෙතින් ප්‍රභවය ලබන බැවින්, මෙම වටිනාකම් මුලින්ම ඉන්දියාව තුළ පුනර්ජීවනය කළ යුතු බව දලයි ලාමා වහන්සේගේ උපදේශයයි.  මෙම වැඩසටහනේ ප්‍රතිඵල මත පදනම්ව, මෙම වටිනාකම් දක්නට නොලැබෙන අංශයන් වෙත ලෝක මට්ටමින් එ්වා හඳුන්වා දීම පිණිස ක්‍රමෝපායන් සකස් කළ හැක.

මෙම දේශනාවන් හා වටිනාකම් සැබෑ ලෙසම පුනර්ජීවනය කරනු පිණිස, ජනතාව විසින් සිය වර්තමාන ජීවිත තුළ මුහුණ දෙන ගැටලුවලට එ්වා යොදාගත හැකි ආකාරය පිළිබඳ විශ්ලේෂණයන් හා ප්‍රායෝගික මාර්ගෝපදේශ සමගින් එ්වා නැවත ජීවමාන කිරීමද කළ යුතුය. මේ සඳහා කර්මය, පුනරුත්පත්තිය හා විමුක්තිය සම්බන්ධ මූලික ආගමික පැතිකඩයන්ගෙන් තොර ලෞකික රාමුවකට ඉන්දියාව තුළ පවා මෙම දේශනා අනුවර්තනය කරගැනීම අවශ්‍ය වේ. විවිධ බෞද්ධ හා අබෞද්ධ ඇදහිලි ක්‍රම තුළ නිරන්තරයෙන් එකිනෙක ගැටෙන සුළු ක්‍රමයන්ගෙන් නිරතුරුවම මෙම මාතෘකා විස්තර කෙරෙන බැවින් මෙය විශේෂයෙන් වැදගත් කරුණක් වේ. කෙසේ වුවද, ආත්මය, සත්‍යය හා යථාර්ථය පිළිබඳ  වූ විවිධ බෞද්ධ හා අබෞද්ධ ඇදහිලි ක්‍රමයන්හි දාර්ශනික අවධාරණයන් පවා නිරන්තරයෙන්ම එකිනෙක හා ගැටෙන බැවින් පොදු පදනමක් සොයාගැනීමේ කාර්යය වඩ වඩාත් සංකීර්ණ එකක් වේ. ආගම හා දර්ශනය තුළ එන මෙකී විවිධ අවධාරණයන් ඉනික්බිති භාවමය සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධ විවිධ පැතිකඩයන් පිළිබඳ මෙම ඇදහිලි ක්‍රම තුළ දක්වන ඉදිරිපත් කිරීම්වලට බලපානු ලබයි.

නිදසුනක් ලෙස, සියලු ඇදහිලි ක්‍රමයන්හි පොදුවේ ප්‍රකාශ කෙරෙන කරුණක් වනුයේ යථාර්ථය පිළිබඳ නොදැනුවත්භාවය දුකට හේතුව බවයි. මෙම නොදැනුවත්භාවය හානිකර හා පුණ්‍යවන්ත යන දෙවර්ගයේම සියලු භාවයන්හි මෙන්ම සතුට හා අසතුට නමැති හැඟීම්ද පදනමෙහි පවත්නා බවද එ්වා තුළ පොදුවේ අවධාරණය කරනු ලබයි. එ් සියල්ල තුළ පහත කරුණු කෙරෙහි එකඟවීමක් දක්නට ඇත:

  • සිත විසින් දේවල් පිළිබඳ දැනුවත්ව සිටින ආකාරය වටහා ගැනීම මගින්,
  • දැනුවත් වීම පිළිබඳ වලංගු විධික්‍රම හා වලංගු නොවන විධික්‍රම අතර වෙනස දැකීම මගින්, හා
  • තර්කණය හා විචාරය මගින්

අපට මෙම නොදැනුවත්භාවය මුළිනුපුටා දමමින් දුක අවසන් කළ හැක. 

සමානතා මෙපමණි. අබෞද්ධ ක්‍රම තුළ අවධාරණය කෙරෙන පරිදි ආත්මය යනු දුක හා පුනරුත්පත්තිය යන දෙකරුණින් විමුක්තිය ලත් කල සිත - කය දෙකෙන් තොරව නොකඩවා පවත්නා වෙනස් නොවන ස්ථිතියකි. මෙම අවධාරණය හා අනුගතව, ඔවුන් ප්‍රකාශ කරනුයේ නොදැනුවත්භාවයෙන් හෙවත් මෝහයෙන් මිදීම යන්නෙන් අදහස් කෙරෙනුයේ සියලු භාවයන්ගෙන් හා හැඟීම්වලින් නිදහස්වීම බවයි. එබැවින්, විමුක්තිය ලබනු වස්, අප විසින් හානිකර හා පුණ්‍යවන්ත සියලු භාවයන්ගෙන්ද සතුට හා අසතුට යන සියලු හැඟීම්වලින්ද නිදහස් විය යුතුවේ. ඉනික්බිති ආත්මය සිරුරකින්, සිතකින්, භාවයන්ගෙන් හා හැඟීම්වලින්ද තොරව නොකඩවා පවතී.

මෙයට ප්‍රතිවිරුද්ධව බෞද්ධ ක්‍රම තුළ ඉගැන්වෙනුයේ විමුක්තිය ලත් පසු පවා සිත හා කය යන දෙක මත රඳා පැවැත්මක් ආත්මයට ඇති බවයි. මෝහය මුළිනුපුටා දැමූ කලද අප තුළ මෝහයෙන් නොකිළිටි මුණ්‍යවන්ත භාවයන්ද එ් හා සමානවම නොකිළිටි සතුටු හැඟීම්ද තවදුරටත් පවතී. එවිට විමුක්තිය ලත් ආත්මය මෝහයෙන් නොකිළිටි සිතක් හා කයක් තුළින් අත්විඳින එ් හා සමානවම නිකෙලෙස් භාවයන් හා නිකෙලෙස් හැඟීම්ද පදනම් කරගනිමින් නොකඩවා පවතී. මේ අනුව, තමා යථාර්ථය පිළිබඳ මෝහය හෙවත් නොදැනුවත්භාවයෙන් මිදීම වත භාවමය සෞඛ්‍යාරක්ෂාව රඳා පවත්නේය යන කරුණට බෞද්ධ, අබෞද්ධ ක්‍රම දෙක තුළම එකඟතාවයක් පැවතියද, එහි ප්‍රතිඵලයක් ලෙස ඇතිවන දෙය එකිනෙකට බොහෝ සෙයින් වෙනස් වේ. භාවමය සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ අබෞද්ධ පරමාදර්ශය වනුයේ කිසිදු භාවයක් හෝ හැඟීමක් නොමැති තත්ත්වයක් වන නමුත් භාවමය සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධ බෞද්ධ පරමාදර්ශය තුළ ප්‍රේමය හා කරුණාව වැනි නිකෙලෙස් පුණ්‍ය භාවයන් පවත්නා අතර නිකෙලෙස් සතුටක්ද පවතී. මෙයාකාරයෙන්, විවිධාකාර වූ ඉන්දියානු ඇදහිලි ක්‍රමයන්හි දාර්ශනික හා ආගමික අවධාරණයන් පරමාදර්ශී භාවමය සෞඛ්‍යාරක්ෂාවට අදාළ ඔවුන්ගේ අවධාරණයන් කෙරෙහි බලවත් සේ බලපායි.

භාවමය සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධ පෞරාණික භාරතීය දේශනාවන් විශ්වවිද්‍යාලයන්හි ශාස්ත්‍රාලයීය විෂයයක් ලෙස පුනර්ජීවනය තුළ සිත පිළිබඳ භාවමය සිතියමක්, හඳුනා ගැනීමේ න්‍යාය, දැනගැනීමේ හා විචාරණයේ විධික්‍රම විවිධ ඇදහිලි ක්‍රමයන් තුළ ඉදිරිපත් කෙරෙන ආකාරයට අදාළ ශුද්ධ විද්‍යාත්මක පැතිකඩයන්හි ආගමික හා දාර්ශනික සන්දර්භයන් පිළිබඳ ඉගැන්වීමද පහසුවෙන්ම ඇතුළත් කළ හැක. මෙම වෙනස්කම් සම්බන්ධයෙන් කටයුතු කිරීමට තරම් සිසුන් පරිණත විය යුතුය. කෙසේ වුවද, එකිනෙක වෙනස් වූ ආගමික හා දාර්ශනික දේශනා පාසැල් දරුවනට අධ්‍යයනය කිරීමට නොහැකි තරමට සංකීර්ණ හා අවුල් සහගත වනු ඇත.

එ් අනුව, අධ්‍යාපන ක්‍රමය තුළට හඳුන්වා දීමට යෝග්‍ය වන තරමට පොදු වන භාවමය සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධ පුරාණ භාරතීය වටිනාකම් කවරේද? එ්වානම්,

  • අපගේ සිත ක්‍රියාත්මකවන ආකාරය දැනගැනීමේ වටිනාකම හා වැදගත්කම
  • අපගේ භාවයන් සහ එ්වා අපගේ ආකල්පයන්හි හා අප සිතන ආකාරයෙහි බලපෑමට ලක්වන ආකාරය විශ්ලේෂණය කිරීමේ වටිනාකම හා වැදගත්කම
  • එ් අනුව අපගේ භාවමය ආකල්පයන් අපගේ චර්යාවට හා සුවසෙතට බලපාන්නාවූ ආකාරය වටහා ගැනීමේ වැදගත්කම හා වටිනාකම
  • තර්කය මත පදනම්ව විවේචනාත්මකව හා තාර්කිකව සිතීමේ වටිනාකම හා වැදගත්කම.

අපට පහත කරුණද එක්කළ හැක

  • සමාධිය හා විදර්ශනාව වඩනු පිණිස ආචාර ධාර්මික ශික්ෂණයේ හා භාවනාවේ වටිනාකම්.

මෙම වටිනාකම්වලට අදාළ සන්දර්භය නිර්මාණය කරන්නාවූ දාර්ශනික හා ආගමික වෙනස්කම් පාසැල් දරුවන් කෙරෙහි වැදගත් වනුයේ ද්විතීයික වශයෙනි.

මෙම පුරාණ භාරතීය වටිනාකම් නැවත ගෙනඒ්ම සඳහා ඇති ප්‍රායෝගික හා ඵලදායී විධික්‍රම කවරේද?

භාවමය සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධ බෞද්ධ දේශනා පුනර්ජීවනය කරනු පිණිස අවශ්‍ය පළමු පියවර දලයි ලාමා වහන්සේ විසින් දැනටමත් ගෙන ඇත. බුදුන් වහන්සේගේ වචන පිළිබඳ ඉන්දියානු ගුරුවරුන්ගේ අටුවාවන්හි තිබ්බතීය පරිවර්තනයන් හෙවත් ටෙන්යුර් වෙතින් බෞද්ධ විද්‍යාව හා දර්ශනයට අදාළ කරුණු රැස් කිරීම සඳහා උන් වහන්සේ විසින් තිබ්බතීය උගතුන් මෙහෙවරෙහි යොදවා ඇත. මෙම සුවිසල් කාර්යය මේවන විට අවසන් කොට තිබ්බතීය භාෂාවෙන් පළකොට ඇති අතර එහි කොටසක් ඉන්දියානු බෞද්ධ සම්භාව්‍ය කෘති සම්බන්ධ විද්‍යාව හා දර්ශනය නමින් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කොට ඇත. සෙසු නවීන භාෂාවනට පරිවර්තනය කිරීමටද සැලසුම් කොට ඇත. මෙම කෘතියේ සිත නමින් යුත් දෙවන වෙළුම දැනටමත් ඉංග්‍රීසි භාෂාවෙන් පළකොට ඇති අතර, එතුළ භෞතික හා භාවමය සෞඛ්‍යාරක්ෂාවට අදාළ කරුණු ආවරණය කෙරේ. මෙය වූකලි මෙකී පෞරාණික භාරතීය වටිනාකම් පුනර්ජීවනය කිරීමෙහි ලා දලයි ලාමා වහන්සේ තුළ වූ කැපවීම සාක්ෂාත් කරගැනීමට තබන ලද විශාල ඉදිරි පියවරකි. ඉන්දියානු අබෞද්ධ ඇදහිලි ක්‍රමයන් තුළ හමුවන මෙම වටිනාකම් පිළිබඳ දේශනා පුනර්ජීවනය කිරීම සඳහා එ්වාහි සම්භාව්‍ය කෘතීන් තුළින් කෙරෙන එ් හා සමාන රචනා කිරීම් හා පරිවර්තනය කිරීම්ද අවශ්‍ය වනු ඇත.

දැනටමත් ටෙන්යුර් වෙතින් එ්කරාශි කරගන්නා ලද භාවමය සෞඛ්‍යාරක්ෂාවට අදාළ කරුණු අතැතිව, එ්වා පරිවර්තනය කර ඇති තත්ත්වයක පවා එ්වා නවීන ලෝකයේ ශ්‍රාවක, පාඨක පිරිස් වෙත ලබාදීම සම්බන්ධ බොහෝ අභියෝග පවතී. පළමු කරුණ වන්නේ, ඉන්දියානු අටුවාවන් සහිත තත්ත්වයක පවා ඉන්දියානු කෘති වටහා ගැනීම ඉතා දුෂ්කර කාර්යයක් වීමයි. එ්වා තවදුරටත් විස්තර කළ යුතුවේ. එ්වා තුළ එන දේශනා පුනර්ජීවනය කිරීම වඩාත් සංකීර්ණ කාර්යයක් බවට පත් කරනුයේ නාලන්දා සම්ප්‍රදායේ උරුමකරුවන් වන විවිධ තිබ්බතීය ගුරුවරුන් විසින් මෙම ඉන්දියානු කෘතීන් එකිනෙක ඉතාමත් වෙනස්වූද, නිරතුරු එකිනෙක පරස්පර වන සුළුවූද ආකාරයන්ගෙන් අර්ථ නිරූපණය කොට තිබීම හේතුවෙනි. හැඳිනීම් න්‍යාය හා දැනුවත්වීමේ විධි සම්බන්ධ ඔවුන්ගේ විශ්ලේෂණයන් තුළ මෙකරුණ විශේෂයෙන් පැහැදිලි වේ.

නිදසුනක් ලෙස, ශාක්‍ය පණ්ඩිතයන්ගේ අටුවාවන් අනුගමනය කරන ශාක්‍ය, කාග්යු හා නිංමා අනුගාමිකයන් විසින් අසංකල්පීය දෘශ්‍යමය හැඳිනීම තුළ වරෙකදී, දොඩම් ගෙඩියක වර්ණ හැඩතල මොහොතක් ආදී ලෙස, වර්ණ හැඩතල මොහොතක් පමණක් හඳුනාගන්නා බව ප්‍රකාශ කරනු ලබයි. දෘශ්ටි හැඳිනීම තුළ මෙම වර්ණ හැඩතල සාමාන්‍ය අවබෝධයට ලක්වන වස්තුව ලෙස නිර්ණය නොකෙරේ. දොඩම් ගෙඩිය යනු කාලයත් සමගින් පුළුල්ව විහිදී යන්නාවූ දැකීම, සුවඳ දැනීම, රස දැනීම හා ස්පර්ශයට හසුවීම ඇතුළත් සාමාන්‍ය දැනීමට හසුවන වස්තුවක් ලෙස හඳුනා ගනු ලබන්නේ සංකල්පමය හැඳිනීම තුළ පමණි. එවන් සංකල්පීය හැඳිනීමක් තුළ පමණි එහි වස්තුව දොඩම් ගෙඩියක් ලෙස හඳුනාගනු ලබන්නේ.

මෙයට ප්‍රතිවිරෝධීව චාපාහි ගෙලුග් අනුගාමිකයන් විසින් ප්‍රකාශ කරනුයේ නිදසුනක් ලෙස, දෘශ්‍ය හැඳිනීම තුළ හඳුනා ගනුයේ දොඩම් ගෙඩියක වර්ණ හැඩතල මොහොතක් පමණක් නොව දොඩම් ගෙඩියමද වන අතර එමගින් එය සාමාන්‍ය දැනීමට අදාළ වස්තුවක් බවට නිර්ණය කරනු ලබන බවයි.  මෙම එකිනෙකට පරස්පර අදහස් දෙක එ්  අනුව, වලංගු හැඳිනීම කවරක්ද හා සැබෑ දෙය කවරක්ද ආදී වශයෙන් භාවමය සෞඛ්‍යාරක්ෂාවට අදාළ අන් බොහෝ පැතිකඩයන් අර්ථ නිරූපණයටද බලපෑම් එල්ල කරයි.

අදාළ ‌ඉගැන්වීම් පිළිබඳ වඩාත් පැහැදිලි වැටහීමක් ලබාගනු පිණිස ඉන්දියානු බෞද්ධ මූලාශ්‍රවලට පරිපූරකයක් වශයෙන් එවන් තිබ්බතීය අටුවාවන්ද එක්කළ යුතුය. නැවතද ඉස්මතුවන ගැටලුව නම් මෙම අතිරේක අටුවා විශේෂයන් හුදෙක් විශ්වවිද්‍යාල මට්ටමේ ශාස්ත්‍රාලීය අධ්‍යයනයන් සඳහා පමණක් එක්කළ යුතුද, නොඑසේ නම් එ්වා අවම වශයෙන් විශ්වවිද්‍යාල මට්ටමට පෙර එන වඩාත් ඉහළ මට්ටමේ මහජන අධ්‍යාපනය තුළට එක්කළ හැක්කේද යන්නයි.

භාවමය සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධ ඉන්දියානු වටිනාකම් පුනර්ජීවනය කිරීමේ එක් ප්‍රධාන අරමුණක් වනුයේ තාර්කික චින්තනය ප්‍රවර්ධනය වන බැවින්, විශ්වවිද්‍යාල හා පූර්ව-විශ්වවිද්‍යාල මට්ටමින්ද, මෙම පැනයට ලබාදිය හැකි පිළිතුරක් වනුයේ සිසුන් වෙත පෞරාණික ඉන්දියානු තර්කණ හා විවාදමය මෙවලම් ලබා දෙමින් ඔවුනටම මෙම විවිධ න්‍යායන්හි පවත්නා ගුණාගුණ පිළිබඳ විවාද කිරීමට අවස්ථාව සලසා දීමයි. පරමාදර්ශී භාවමය සෞඛ්‍යාරක්ෂාව කවරක්ද ඈ වශයෙන් විවිධ බෞද්ධ හා අබෞද්ධ ඇදහිලි ක්‍රම එකිනෙකින් වෙනස්වන්නාවූ මාතෘකාවටද මෙම ක්‍රියාවලියම අදාළ කරගත හැක.

කොතැනකින් ආරම්භය ගන්නේද?

කීර්තිමත් නාලන්දා ගුරුවරුන් දහහත්දෙනා වෙත කෙරෙන ඉල්ලීම් නමැති කෘතිය තුළ දලයි ලාමා වහන්සේ විසින් නවලොව මානසිකත්වයට වඩාත් යෝග්‍යවන නාලන්දා ගුරුවරුන්ගේ බෞද්ධ ඉගැන්වීම් අධ්‍යයනය කිරීමේ ප්‍රවේශයක් දක්වා ඇත. එය දෙසත්‍යය වටහා ගැනීමකින් ආරම්භ වන අතර, ඉන්පසු දෙසත්‍යයෙන් චතුර් සත්‍යයටද, චතුර් සත්‍යයෙන් තිසරණය කරාද විහිදේ. බුදු දහමේ තිසරණ ත්‍රවිධ රත්නයට අනුව අවසන් කරුණ නිශ්චිතව දැක්වීම අවශ්‍ය නොවුවද, ලෞකික ආකාරයකින් භාවමය සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ ඉගැන්වීම සඳහා ආරම්භක ලක්ෂ්‍යය වශයෙන් මෙම අනුපිළිවෙලද ප්‍රයෝජනවත් විය හැක. දුකින් ආරක්ෂා වීම සඳහා ජීවිතයට එක්කර ගත යුතු ආරක්ෂිත දිශානතියක් වශයෙන් එය ඉදිරිපත් කළ හැක.

දලයි ලාමා වහන්සේගේ නිර්දේශය විමසා බලමු. ඕනෑම අයෙකු හට පිළිගත හැකි වඩාත් සාමාන්‍ය ක්‍රමයකින් දක්වන්නේ නම්, දෙසත්‍යය වනුයේ එක් අතකින් අප විසින් සත්‍ය බවට විශ්වාස කරන්නාවූ ව්‍යාජ පෙනීම් හා අනෙක් අතින් සැබෑ යථාර්ථයයි. අපට සත්‍ය සේ පෙනෙන දේවල් අප විසින් විශ්වාස කරනුයේ එ්වා සැබෑ වශයෙන්ම සත්‍ය වන බවක් අපට භාවමය වශයෙන් දැනෙන බැවින් වන අතර එ් අනුව, අවිවේචනාත්මකව, එ්වා යථාර්ථය හා අනුගත වන බවට පිළිගන්නෙමු. එනමුදු මෙකී වංචාකාරී පෙනීම් විමසා බලන්නේ නම්, එ්වා මායාවක් වැනි බව අපට සොයාගත හැක; එ්වා යථාර්ථය හා අනුගත නොවේ. සැබෑ යථාර්ථය සත්‍ය කරුනු මත පදනම්වන අතර සත්‍යාපනය කළ හැක; වඩාත් සමීපව විමසා බලන කල්හි මායාව ව්‍යාජ එකක් බව සොයාගත හැක. බෞද්ධ, අබෞද්ධ දෙවර්ගයේම සියලු ඉන්දියානු ඇදහිලි ක්‍රමයන් තුළ මෙකරුණ පිළිබඳ එකඟතාවයක් ඇත. සිය නිදන යහන යට රාක්ෂයෙකු සිටින බව සිතින් සිතා ගනිමින් ඉන්පසු විමසා බැලීමෙන් එවන් රාක්ෂයෙකු නොමැති බව වටහා ගැනීම ප්‍රකාර මෙම වෙනස කුඩා දරුවන්ට පවා වටහාගත හැක.

දෙසත්‍යය අතර පවත්නා වෙනස ළමුන් විසින් වටහාගත් කල්හි, ඔවුන් වෙත චතුර් සත්‍යයෙහි වඩාත් පොදු අදහස් හඳුන්වා දිය හැක. ඔවුන් විසින් ඔවුන්ගේ මනෝ ලෝකයන් සැබෑ එ්වා බවට විශ්වාස කරන්නේ නම්, ඔවුන් බියවී නින්ද නොයන තත්ත්වයක් ඇති වේ. ඔවුහූ දුක් විඳිති. ඔවුන්ගේ දුකට හේතුව වනුයේ යථාර්ථය ලෙස ඔවුන් සිතින් සිතාගත් දෙය සැබෑ ලෙසම යථාර්ථය නොවීමයි. තමාගේ යහන යට රාක්ෂයෙකු නොමැති බව විමසා බලා දැනගත් කල්හි ඔවුන්ගේ බිය හා අසතුට අතුරුදන් වනු ඇත.

දුකට අදාළ මෙකී චතුර් සත්‍යය, එහි හේතුව යථාර්ථය පිළිබඳ නොදැනුවත්භාවයය යන කරුණ, හා යථාර්ථය වටහා ගැනීම තුළ දුකින් මිදීම අවබෝධ කරගැනීම මත පදනම්ව "ආයෙ කවදාවත් බයක් හෝ අසතුටක් නොදැනෙන්නේ නම් කොච්චර අපූරුද. දේවල් පැහැදිලිව වටහා ගැනීම කෙතරම් අපූරු දෙයක්ද. අධ්‍යාපනය හා සිත පුහුණු කිරීම මගින් මට එ් තත්ත්වය ලබාගන්න පුළුවන්. මා යා යුත්තේ එ් මගයි; ආරක්ෂිත දිශානතිය කරා යාමෙන් පමණයි මා හට බියෙන් හා දුකින් ආරක්ෂා විය හැක්කේ" යන සිතිවිල්ල ඇතිකරගන්නා තත්ත්වයක් කරා ළමුන් යොමුකළ හැක.

ජීවිතය තුළ අනුගමනය කිරීම සඳහා වූ ආරක්ෂිත දිශානතියක් කරා දෙසත්‍යයෙන් චතුර් සත්‍යයට මෙයාකාරයෙන් ඉදිරි ගමනක යෙදීමෙන් ළමුන්ට පමණක් නොව සියලු වයස් කාණ්ඩවල පුද්ගලයන් හට සිය බියෙහි හා අසතුටෙහි ප්‍රධාන මූලාශ්‍රය සැබැවින්ම සිය සිත හා එහි පවත්නා කැළඹිලිකාරී භාවයන්ය යන කරුණ ඉගෙනගත හැකි අතර එම ගැටලු මැඩපැවැත්වීම පිණිස භාවමය සෞඛ්‍යාරක්ෂාව ලබාගැනීමේ වටිනාකම අගය කිරීමට උගත හැක. භාවමය සෞඛ්‍යාරක්ෂණයේ ප්‍රයෝජන හා වටිනාකම අගයමින් එය සාක්ෂාත් කරගැනීම සඳහා වූ පැතුම හා අපේක්ෂාව ගොඩනගා ගැනීම වූකලි සියලු වැඩිදුර පුහුණු කටයුතුවල අත්‍යවශ්‍ය පදනම වේ.

රැවටිලිකාරී පෙනීම් හා යථාර්ථය අතර පවත්නා වෙනස වටහා ගැනීමේ මෙකී පදනම පිහිටුවාගත් පසු එළැඹෙන ඊළඟ පියවරයන් වනුයේ භාවමය සෞඛ්‍යාරක්ෂාවට අදාළ මෙවලම් හඳුන්වා දීමයි. බෞද්ධ හා අබෞද්ධ ඇදහිලි ක්‍රම එකිනෙකක් විසින් මෙකී මෙවලම් එක එකක් සම්බන්ධයෙන් වූ පුළුල් පරාසයක විහිදෙන විවිධ ප්‍රකාශන සිදුකරන බැවින්, ආරම්භයක් ලෙස, සියලු ක්‍රමවලට පිළිගත හැකි පරිදි හැකිතරම් සාමාන්‍යකරණය කළ ආකාරයෙන් විස්තර කෙරෙන පූර්ණ මෙවලම් කට්ටලයක් පිළිබඳ පොදු හැඳින්වීමක් සිදු කරමු. ඉන්පසු, වඩාත් ඉහළ මට්ට‌මේ සිසුන් සඳහා, එක් එක් ක්‍රමයට අදාළ සමස්ත මෙවලම් කට්ටලය ඉදිරිපත් කිරීම්, වරෙකට එක් ක්‍රමයක් බැගින් වනසේ සවිස්තරාත්මකව විස්තර කළ හැක. ඉස්ටුවක් සෙයින් එ් සියල්ල එකට මුහු කිරීම මෙකී පෞරාණික ක්‍රමයනට කරන අසාධාරණයක් වනු ඇත.

සිත හා භාවයන් වටහාගෙන පුහුණු කිරීම සඳහා පළමුව සිත හා භාවයන් යනු කවරක්ද යන්න වටහා ගැනීම අවශ්‍ය වේ. ශම්ඛ්‍ය හා වෛශේෂික වැනි අබෞද්ධ ක්‍රම තුළ සිත හා භාවයන් භෞතික ස්ථිති ලෙස හඳුනාගනු ලැබේ. මෙම අදහස තුළ සිත හා භාවයන් මොළයෙහි භෞතික ක්‍රියාවලීන් දක්වා අවම කරවන්නාවූ බටහිර විද්‍යාත්මක අදහස සිහි කැඳවනු ලබයි. අබෞද්ධ න්‍යාය ගුරුකුලය තුළ වෛශේෂික භෞතිකවාදී තර්කනය පිළිගන්නා නමුදු වෙනම ස්ථිතියක් ලෙස දැනගැනීම පිළිබඳ වලංගු විධික්‍රමද එක්කරනු ලබයි. මෙයට ප්‍රතිවිරෝධීව බෞද්ධ ක්‍රම තුළ සිත මුළුමනින්ම භෞතික ස්ථිතියක් බවට හෝ භෞතික ක්‍රියාවලියක් බවට අවම කිරීම ප්‍රතික්ෂේප කරමින් එ් වෙනුවට සිත යනු පැහැදිලිතාවය හා දැනුවත්භාවය වශයෙන් අර්ථ නිරූපණය කරනු ලබයි. දලයි ලාමා වහන්සේ විසින් විස්තර කරන පරිදි, පැහැදිලිතාවය යනු කණ්නාඩියක පෙන්වන පිළිබිඹුව සෙයින් යම් වස්තුවක හඳුනාගනු ලබන පැතිකඩ ඉස්මතු කරවන ක්‍රියාව වන අතර, දැනුවත්භාවය යනු එ් හා සමගින්ම වස්තුවක් සමග යම් ආකාරයක හැඳිනීමක් ඇතිකර ගැනීමේ ක්‍රියාව වේ.

සිත විසින් හැඳිනීම හා භාවයන්ද ඉස්මතු කරවන ආකාරය පිළිබඳ වූ සිය ඉදිරිපත් කිරීම් සම්පූර්ණ කිරීම සඳහා සියලු බෞද්ධ හා අබෞද්ධ ක්‍රම තුළ ආත්මය විසින් කරන කාර්ය භාරය දක්වනු ලබයි. ආත්මය හා සිත සහ භාවය සමගින් එහි ඇති සම්බන්ධතාවයට අදාළව මෙම ක්‍රමයන් තුළ පවත්නා එකිනෙක වෙනස් අදහස් ඉදිරියට ගෙන එ්මකින් තොරව, මෙම විවිධාකාර අදහස්වලට පොදුවේ පිළිගත හැකි දෙය වනුයේ, භාවමය සෞඛ්‍යාරක්ෂාව සඳහා, භාවය සහිත හඳුනා ගැනීම යන්නෙන් වස්තූන් මනෝ මූලිකව අත්විඳීම හැඳින්වේ. සරල අභ්‍යාසයන් තුළින් පුද්ගලයන් හට මෙම අර්ථ නිරූපණයෙන් අදහස් කෙරෙන දෙය වටහාගත හැක.

ඉනික්බිති එළැඹෙනුයේ පොදු පදනමින් චිත්ත හා භාවමය සිතියමක් ඇඳීමයි. වඩාත් සාමාන්‍ය සිතියමක් තුළට ඉන්ද්‍රියානුබද්ධ හා මානසික විඥාණ වර්ගද, අභිලාෂය, අවධානය, සිහිය, දුක හා සතුටට අදාළ හැඟීම් මට්ටම් ආදිය ඇතුළත් විය යුතුවනු ඇත. ආදරයේ සිට කෝපය දක්වා විහිදෙන විවිධ භාවයන් හා එ්වා අප සිතන, කථා කරන හා හැසිරෙන ආකාරයනට බලපාන්නාවූ ආකාරයද අවශ්‍ය වේ. සියලු ඉන්දියානු ක්‍රම මගින් පොදුවේ ප්‍රකාශිත මූලික චිත්ත සාධක හා භාවයන් ලැයිස්තුවක් සම්පාදනය කරනු පිණිස වඩ වඩාත් පර්යේෂණයන් සිදුකළ යුතු වුවද, මූලික කරදරකාරයන් වනුයේ රාගය, ද්වේශය හා මෝහයය යන කරුණ එ් සියල්ල තුළ හඳුනා ගැනේ.

ඊළඟ කරුණ තුළ අසංකල්පීය හා සංකල්පීය හඳුනාගැනීම් තුළට සම්බන්ධවන වස්තූන් වර්ග පිළිබඳ සාකච්ඡාවක්ද ඇතුළත්ව එකී සංකල්පමය හඳුනාගැනීම් ක්‍රියාත්මකවන ආකාරය ඉදිරිපත් කිරීමක් සිදු කළ හැක. මෙම ඉදිරිපත් කිරීම තුළ පියවි හැඳිනීම හා අර්ථ ගැන්වීම විශේෂ කොටගෙන වස්තූන් පිළිබඳ දැනගැනීමේ වලංගු හා ‍වලංගු නොවන විවිධ ආකාරයන් පිළිබඳ හැඳින්වීමක්ද සමගින් විකාශනය කළ හැකි වේ. අර්ථ ගැන්වීම් පිළිබඳ සාකච්ඡාව මගින් ස්වභාවිකවම වාදය සහ විචාරය කිරීමේ වලංගු හා වලංගු නොවන විධීන් ඉදිරිපත් කෙරේ. අවසන, සමාධිය හා විදර්ශනාව ගොඩනගා ගැනීමේ මූලික භාවනා ක්‍රම මෙම පොදු අධ්‍යයනයට පරිපූරකයක් ලෙස හඳුන්වා දිය හැක.

සියලු භාරතීය ක්‍රම තුළ පොදුවේ හුවමාරු වන්නාවූ භාවමය සෞඛ්‍යාරක්ෂාවට අදාළ මෙවලම් පිළිබඳ මෙම පොදු විමසීම සම්පූර්ණ කිරීමෙන් අනතුරුව, සිසුන් හට ඉනික්බිති, ඔවුන්ගේ යෝග්‍යතාවය මත පදනම්ව එ් එක් එක් ක්‍රමය එකින් එක අධ්‍යයනයන් හෝ හුදෙක් එක් ක්‍රමයක් පිළිබඳ විශේෂවේදී අධ්‍යයනයක් සිදුකළ හැක. එනමුදු, සියලු පුහුණු මට්ටම්වලදී සිය එදිනෙදා ජීවිත උදාහරණවලට ඔවුන් ඉගෙනගන්නා දේ හඳුනාගෙන අදාළ කරගැනීම සඳහා මාර්ගයේ එ් එ් පියවරේදී අභ්‍යාසයන් ලබාදිය හැක. අපගේ studybuddhism.com වෙබ් අඩවිය තුළ, බර්සින් ලේඛනාරක්ෂණ කණ්ඩායම විසින් දැනටමත් එවන් අභ්‍යාස ගණනාවක් ගොඩනගා ඇත.

මෙහි කෙටියෙන් දක්වා ඇති පරිදි එවන් පුහුණු වැඩසටහන් මගින් භාවමය සෞඛ්‍යාරක්ෂාවට අදාළ පුරාණ ඉන්දියානු වටිනාකම් පුනර්ජීවනය කිරීම සඳහා වූ දලයි ලාමා වහන්සේගේ කැපවීම සාක්ෂාත් කරගැනීම සඳහා බොහෝ දුර ගමනක් යා හැක. දලයි ලාමා වහන්සේ විසින් නිරතුරු පවසන පරිදි "මනුෂ්‍යයන් වශයෙන් අපි බුද්ධිමතුන් වන අතර දේවල් පිළිබඳ සිතීමේ හැකියාව ඇත. සතුට වගා කරගනිමින් දුක අවම කරගනු පිණිස අප සිතන ආකාරය වෙනස් කිරීම සඳහා අපගේ සිත් යොදාගත හැක". ස්තුතියි.

Top