සමාජ, භාවමය හා ආචාර ධාර්මික (SEE) ඉගෙනුම: අපගේ භාවයන් වටහා ගැනීම

සමාජ, භාවමය හා ආචාර ධාර්මික ඉගෙනුම, එමරි විශ්වවිද්‍යාලය, සංක්ෂිප්ත රාමුව

සමාජ, භාවමය හා ආචාර ධාර්මික ඉගෙනුම (SEE) යනු එමරි විශ්වවිද්‍යාලයේ චින්තාපර විද්‍යා හා කරුණා පදනනම්ගත ආචාර ධර්ම මධ්‍යස්ථානය විසින් ගොඩනගනු ලබන වැඩසටහනකි. එහි අරමුණ වනුයේ භාවමය වශයෙන් සෞඛ්‍ය සම්පන්න හා ආචාර ධාර්මිකව වගකීමෙන් බැඳී සිටින පුද්ගලයන්, සමාජ කණ්ඩායම් සහ පුළුල් සමාජයන් පෝෂණය කිරීමයි. සමාජ, භාවමය හා ආචාර ධාර්මික ඉගෙනුම: අපගේ භාවයන් වටහා ගැනීම යන මෙම පළමු කොටස තුළ අපගේ භාවයන් සොයාගෙන ඒවා සම්බනධයෙන් කටයුතු කරන ආකාරය ඉගෙන ගන්නෙමු.

හැඳින්වීම

සමාජ, භාවමය හා ආචාර ධාර්මික ඉගෙනුම අපට අපගේ ජීවිතයේ පුද්ගලික, සමාජමය හා ගෝලීය වශයෙන් ක්ෂේත්‍ර තුනක් තුළ උපකාරී වනු පිණිස සැලසුම් කරන ලද්දකි. මෙම ක්ෂේත්‍ර තුන කරා එකිනෙකින් ස්වාධීනව හෝ ඕනෑම අනුපිළිවෙලකට ප්‍රවේශ විය හැක. කෙසේ වුවද, අප විසින් අන්‍යයන්ගේ හා පුළුල් සමාජයේමද, සමස්ත ලෝකයේම පවා වූ අවශ්‍යතාවයන් කෙරෙහි සැළකිල්ලක් දක්වන්නට ඉගෙන ගන්නේ නම්, අප විසින් පළමුව අපගේම අවශ්‍යතාවයන් හා අභ්‍යන්තර ජීවිතය කෙරෙහි යොමුවිය යුතුවේ.

අපි මෙය “භාවමය සාක්ෂරතාවය” ගොඩනගා ගනිමින් සිදු කරන්නෙමු. මෙය භාවයන් හා අප සහ අන්‍යයන් කෙරෙහි එකී භාවයන්ගෙන් ඇති කෙරෙන ප්‍රතිඵල හඳුනා ගැනීමේ හැකියාවෙන් සමන්විත වේ. මෙම හඳුනා ගැනීම මගින් අපගේ භාවයන් සාර්ථක ලෙස විමර්ශනය කිරීමේ හැකියාව අප වෙත ලබාදෙනු ලබයි.  අවසන, භාවමය සාක්ෂරතාවය මගින් අපගේම දිගු කාලීන යහපත උදෙසා වූ යහපත් තීරණ ගැනීමට අවශ්‍ය චිත්ත සංහිඳියාව පවත්වා ගනිමින් අපටම හා අන්‍යයන්ටද හානිකර විය හැකි බලහත්කාරී චර්යාවන්ගෙන් වැළකී සිටීම සඳහා අපහට අවකාශ සලසා දෙනු ලබයි. මේ අනුව, භාවමය සාක්ෂරතාවය යනු අපට අපවම පෝෂණය කිරීමට හැකියාව ලබාදෙන තීරණාත්මක වැදගත්කමකින් යුත් කුසලතාවයක් වේ.

දැනුවත්භාවය, කරුණාව සහ පුද්ගලික පරාසය තුළ ක්‍රියාත්මකවීම 

සමාජ, භාවමය හා ආචාර ධාර්මික ඉගෙනුම මගින් “මානයන්” ලෙස හැඳින්වෙන දැනුවත්භාවය, කරුණාව හා ක්‍රියාකාරිත්වය නමැති නිපුණතාවයන් තුන පෝෂණය කිරීම සිදුවේ. අපගේම පුද්ගලික ගැටලු සම්බන්ධයෙන් කටයුතු කිරීම, දිනෙන් දින සංකීර්ණ වන අපගේ ලෝකයට මුහුණ දීම හා වගකිවයුතු ගෝලීය පුරවැසියෙකු බවට පත්වීම සඳහා වූ දැනුම, කුසලතාවයන් හා පෙළඹීම සම්පාදනය කරනු පිණිස මෙම මානයන් ඒකරාශි වේ. පුද්ගලික විෂය පථය තුළ, මෙම මානයන් තුන කෙරෙහි එකිනෙක වෙනස් වූ දෘෂ්ටි කෝණයන් තුනකින් විමසා බලනු ලබයි: 

  • අවධානය හා ස්වයං දැනුවත්භාවය
  • ස්වයං - කාරුණිකත්වය
  • ස්වයං - නියාමනය

අවධානය හා ස්වයං - දැනුවත්භාවය යන්නෙන් වඩාත් හොඳින් අපගේ මානසික හා ශාරීරික තත්ත්වයන් පිළිබඳ දැනුවත් වන පරිදි අපගේ අවධානය යොමු කිරීම හැඳින්වේ. “චිත්ත සිතියමක්” ආධාර කොටගෙන අපගේ භාවයන් පිළිබඳ ඉගෙනීමක් එතුළ අන්තර්ගත වේ. ඉන්පසු, ස්වයං- කරුණාවක් සහිතව, අපි අපගේ හැඟීම් හා භාවයන් පරීක්ෂා කිරීමට උගන්නා අතර ඒවාහි විශාලතම සන්දර්භය තුළ ඒවායින් හැඟෙන දේ අවබෝධ කරගැනීමට උත්සාහ කරන්නෙමු. විවිධ හේතු ප්‍රත්‍යයන් තුළින් අපගේ භාවයන් ඉස්මතුවන ආකාරය පරීක්ෂා කිරීමක් මෙතුළ අන්තර්ගත වන අතර එමගින් ඉනික්බිති වඩාත් ඉහළ මට්ටමේ ස්වයං - පිළිගැනීමක් ඇතිකළ හැක. අවසන, පළමු දෘෂ්ටි කෝණ දෙක තුළින් ලබාගත් අන්තර්ඥානය තුළින්, ජීවිතයේ එදිනෙදා තර්ජනයනට ධනාත්මක ලෙස ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වර්ධනය කරගනිමින් ආවේග පාලනය සඳහා ස්වයං-නියාමන කාර්යයෙහි නියැළෙන්නෙමු.

සමස්තයක් ලෙස සලකා බලන කල, පෞද්ගලික විෂය පථය තුළ මෙම මාතෘකා මගින් භාවමය සාක්ෂරතාවය වගා කරවන බවක් දැකිය හැක. අපගේ සිත හා භාවයන් සම්බන්ධ සංකීර්ණ අභ්‍යන්තර ක්ෂේත්‍රය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ  හැකියාවකින් තොරව ගැඹුරින් මුල් බැසගත්, ආත්ම විනාශකාරී, පුරුදු රටාවන් මැඩ පැවැත්වීම කළ නොහැකි මට්ටමට පත්විය හැක.  මෙමගින් ස්වයං පාලනය හා අපගේ නිදහස සම්බන්ධයෙන් පවා පවත්නා ධාරිතාවය සීමා කරනු ලබයි. ආත්මාර්ථකාමී වනු වෙනුවට, ස්වයං-වගාවේදී අප විසින් වැඩි වර්ධනය කරගන්නා නිශ්චිත මෙවලම් හා කුසලතාවයන් භාවමය පැහැර ගැනීම් වළකාලීම සඳහා භාවිත කළ හැකි අතර ඒ වෙනුවට ඒවා අප පෝෂණය කරවමින් සාර්ථකත්වය කරා රැගෙන යන ඒවා බවට පත්කළ හැක. මෙම දෘෂ්ටි කෝණයන් තුන පිළිබඳව වඩාත් ගැඹුරින් සලකා බලමු.

අවධානය හා ස්වයං දැනුවත්භාවය

පෞද්ගලික විෂය පථයේ අරමුණ වනුයේ අපගේ සිරුරු තුළ හා මනස් තුළ සිරුර හා සිත පිළිබඳව ලබාදී ඇති තොරතුරු සම්බන්ධයෙන් සිදුවන දෙය පිළිබඳ පෞද්ගලිකවම සිදුවන දැනුවත්භාවයක් සම්බන්ධ කිරීමට හැකිවීමයි. නිදසුනක් ලෙස, කෝපය යනු කවරක්ද, එය ඉස්මතු වනුයේ මන්ද හා එය සන්සිඳුවිය හැක්කේ කෙසේද යන කරුණු පිළිබඳ බුද්ධිමය වැටහීමක් පවත්වාගන්නා අතරම අපගේ හැඟීම් හා භාවයන් කෙරෙහි අවධානය යොමු කරමින් අපගේ අත්දැකීම තුළ පවත්නා කෝපය හඳුනා ගැනීමට උගන්නෙමු. සෘජු අත්දැකීම හා උගත් දැනුම අතර වූ මෙම සම්බන්ධතාවය වූකලි භාවමය සාක්ෂරතාවය කරා වූ පළමු පියවර වේ.

අවධානය හා ස්වයං-දැනුවත්භාවය යන්නට හැකියාවන් තුනක් අන්තර්ගත වේ:

  • අපගේ සිරුර හා එහි සංවේදනයන් කෙරෙහි පවත්වාගන්නා අවධානය
  • අපගේ භාවයන් හා හැඟීම් කෙරෙහි පවත්වාගන්නා අවධානය
  • සිත පිළිබඳ සිතියමක් අනුගමනය කිරීම වශයෙනි.

අපගේ සිරුර හා එහි සංවේදනයන් කෙරෙහි අවධානය යොමු කිරීම

සංවේදනා මට්ටම්වලදී අපගේ සිරුරු තුළ සිදුවන දෙය පිළිබඳ අවධානය යොමු කරමින් ආරම්භය ගනිමු. භාවමය තත්ත්වයන් හෘද ස්ඵන්දනය, මස්පිඩුවල පවත්නා තදබව හෝ බුරුල් බව, උණුසුම හෝ සිසිල පිළිබඳ දැනීම ආදී සිරුර පුරා සිදුවන වෙනස්කම් සමගින් සාමාන්‍යයෙන් සිදුවන බැවින් සිරුර යනු අපගේ ස්නායු පද්ධතිය පිළිබඳ නිරන්තර තොරතුරු මූලාශ්‍රයක් වේ. සිරුර තුළ සිදුවන දෙය පිළිබඳ අවධානය යොමුකර සිටීම මගින් යම් අත්දැකීමක මානසික පැතිකඩයන් මතට පමණක් මුළුමනින්ම අනුගත වීමට වඩා වේගයෙන් අපගේ භාවමය ස්වභාවයන් පිළිබඳ අපට දැනුවත් විය හැක.

අපගේ ශරීරයෙන්හි පවත්නා සංවේදනාවන් පිළිබඳ දැනුවත්භාවය මගින් අපගේ ස්නායු පද්ධතිය කෙරෙහි අවධානය යොමු කිරීම මගින් අපි ක්‍රමානුකූලව ආතතියේ හා යහපත් තත්ත්වයේ ලක්ෂණ පරීක්ෂා කරගැනීමට උගන්නෙමු. අප පසුවන්නේ භාවයන් පිළිබඳ අධි-ඇවිස්සුම් සහගත (සාංකාව, අධිකතර කෝපය, කැළඹිල්ල) තත්ත්වයකද අව-ඇවිස්සුම් සහගත (නිදිමත ගතිය, මානසික අවපීඩන) තත්ත්වයකද යන්න වඩාත් වේගයෙන් හඳුනා ගැනීමට පටන් ගන්නෙමු. මෙම දැනුවත්භාවය සිරුර සමබර කරමින් මානසික යහ පැවැත්මේ මට්ටමකට ආපසු ඒමට ඉගෙනීමේ පළමු පියවර වන අතර, ඒවා අපගේම හා අන්‍යයන්ගේ යහපත උදෙසා කටයුතු කිරීම සඳහා අවශ්‍ය පූර්ව කොන්දේසි වේ.

අපගේ භාවයන් හා හැඟීම් පිළිබඳ අවධානය යොමු කිරීම

සිරුර පිළිබඳ අවධානය යොමු කරගෙන සිටිමින් එය නියාමනය කිරීමට ඉගෙනීම මගින් භාවයන් හා හැඟීම් පිළිබඳ අවධානය යොමු කිරීමේ පදනම සම්පාදනය කරනු ලබයි. සිරුර සන්සුන් හා තැන්පත් වන්නට වන්නට, සිත පිළිබඳ අවධානය යොමු කිරීම වඩාත් පහසු වේ.

භාවයන් ඉතා ඉක්මනින් ගොඩනැගිය හැකි බැවින්, සාමාන්‍යයෙන් ඒවා ගිනි පුපුරක් සේ ආරම්භ වී පසුව මහා ලැව් ගින්නක් බවට පත්වේ. හුදෙක් ගිනි පුපුර මට්ටමේදීම අපට අපගේ පාපකාරී භාවයන් ග්‍රහණය කොටගත හැක්කේ නම්, අපට ඒවා සම්බන්ධයෙන් ඉතා පහසුවෙන් කටයුතු කළ හැකිවේ. එනමුත්, මෙම කාර්යය සිදු කරනු පිණිස, අපට භාවයන් හා හැඟීම් ඉස්මතුවන අවස්ථාවේදීම දැකීමේ හැකියාව වර්ධනය කරගැනීමට සිදුවේ. සතිය පිළිබඳ භාවනාව වැනි පිළිවෙත් පිරීම මගින් කල්ගත වීමත් සමග මෙම හැකියාව ඉගෙන වැඩිදියුණු කළ හැකිවේ.

චිත්ත සිතියමක් අනුගමනය කිරීම

අපගේ භාවමය භූමි පිහිටීම විමසා බැලීමට උපකාරීවන සම්පතක් වන චිත්ත සිතියමක් පවත්වාගෙන යාම මගින් අපගේ භාවයන් හා හැඟීම් හඳුනා ගැනීමේ කාර්යයට ඉමහත් උපකාරයක් ලැබේ. චිත්ත සිතියමක් මගින් අපට විවිධ භාවමය පවුල්, ඒවාහි පොදු ලක්ෂණ හා මෙම භාවයන් ඉස්මතු කරන හා ප්‍රවර්ධනය කරන කරුණුද හඳුනා ගැනීමේ හැකියාව ලබාදෙන තොරතුරු සම්පාදනය කරනු ලබයි. සියලු භාවයන් නෛසර්ගිකවම පාපකාරී හෝ විනාශකාරී ඒවා නොවන අතර ඒවා අදාළ සන්දර්භයට හා අවස්ථාවට නුසුදුසු වන විටදී පමණක් හානිකර ඒවා බවට පත්වන බව ඉගෙන ගන්නෙමු. නිදසුනක් ලෙස, බිය යන භාවය මගින් යම් විෂකුරු සර්පයෙකු වෙත ළඟා නොවන ලෙසට අපට අවවාද කරන තත්ත්වයකදී එම භාවය ධනාත්මක එකක් වන නමුත්, නිරන්තර සාංකා තත්ත්වයකින් පෙළෙන ඉමක් දක්වා එය වර්ධනය වුවහොත් එය හානිකර එකක් වේ.

චිත්ත සිතියමක ආධාරයෙන් භාවමය දැනුවත්භාවය වගාකර ගැනීම මගින් නොරිස්සුම් සහගතභාවය යනු කෝපය දක්වා වර්ධනය විය හැකි මෘදු භාවමය ස්වභාවයක් වන බවත් නිසි පරිදි පරීක්ෂාවට ලක්කොට පාලනය කර නොගත හොත් කෝපය පූර්ණ වියරුවක් දක්වා වර්ධනය විය හැකි බවද වටහාගත හැක. කළමනාකරණය කරගත නොහැකි භාවමය ස්වභාවයන් බවට පරිවර්තනය වීමට පෙර වඩාත් සියුම් භාවමය ස්වරූපයන් හඳුනා ගැනීමට හැකිවීම යනු සමබර මානසික සෞඛ්‍යය සඳහා අවශ්‍ය තීරණාත්මක කුසලතාවයකි.

ස්වයං - කරුණාව

ස්වයං - කරුණාව යනු ආත්මානුකම්පාව, පමණ ඉක්මවා තමා සතුටු කරගැනීම හෝ හුදෙක් ඉහළ ආත්ම වර්ණනාවක් පවත්වාගෙන යාම නොවේ. ස්වයං කරුණාව යනු විශේෂයෙන් අපගේ අභ්‍යන්තර ජීවිතය සම්බන්ධ නිර්ව්‍යාජ ස්වයං සැලකිලිමත්භාවයකි. භාවයන් අපගේ අවශ්‍යතාවයන් හා සම්බන්ධවන ආකාරය වටහා ගැනීම වැදගත් වේ. භාවයන් ඉස්මතුවීමට හේතුව හා ඒවා ඉස්මතුවන ආකාරය පිළිබඳව වටහා ගන්නා විටදී, අඩු ස්වයං තීරණයන් සහිතව අපට ඒවා පිළිබඳ සලකා බැලිය හැකිවන බැවින්, භාවමය සාක්ෂරතාවය පිළිබඳ මෙම ස්ථරය මගින් වඩාත් ඉහළ ස්වයං පිළිගැනීමක් සඳහා අවකාශ විවර කරනු ලබයි. භාවයන් වහා වෙනස්වන සුළු බවද, සන්දර්භයන් තුළ ඉස්මතුවන බවද, ඒවා අපගේ සිත්වල වෙනස්කළ නොහැකි කොටසක් නොවන බවද අවබෝධ කරගත් විටදී, මෙමගින්ද ආත්ම විශ්වාසය හා අපගේම ප්‍රගතිය උදෙසා කටයුතු කිරීමේ පෙළඹීමද ඇති කරනු ලබයි.

ස්වයං පිළිගැනීම හා ආත්ම විශ්වාසය නමැති මෙකී ගති ලක්ෂණ දෙක මගින් ධනාත්මක ලෙස හා සැහැල්ලු ලෙස විවේචන පිළිගනිමින් පසුබැසීම් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ පදනමක් සකස් කරනු ලබයි. අධිකතර ආත්ම විවේචනය හෝ ස්වයං වටිනාකම අහිමි කරගැනීම දක්වා විහිදෙන කලකිරීම මෙමගින් වළක්වාලනු ලබයි. ස්වයං කරුණාවෙහි පැතිකඩ දෙකකි:

  • සන්දර්භය තුළ භාවයන් වටහා ගැනීම
  • ස්වයං - පිළිගැනීම

ආත්ම - කරුණාව අපගේ හැකියාවන් පිළිබඳ යථාර්ථවාදී තක්සේරුවක් මත රඳා පවතී. අප අපටම කාරුණික නොවන්නේ නම්, අපට සැබෑ ලෙසම නොහැකියාවක් පවත්නා විටදී අපට කළ හැකි දේට වඩා දේවල් කිරීමට හැකිවිය යුතු බවට හැඟීමක් ඇතිවිය හැකි අතර එමගින් කලකිරීමක් හා අවබලගැන්වීමක් ඇති කෙරේ. ලෞකික සාර්ථකත්වයට අනුව අප පිළිබඳ තක්සේරු කරගැනීමට වඩා අපි අවංකව, වැටහීමක් සහිතව හා ඉවසීමක්ද සහිතව අපගේ දුර්වලතා පිළිගන්නෙමු.

සන්දර්භයන් තුළ භාවයන් වටහා ගැනීම

අපගේ භාවයන් අපගේ වටිනාකම්, අවශ්‍යතාවයන් හා අපේක්ෂාවන් හා සම්බන්ධවන ආකාරය නමැති සන්දර්භය තුළ අපගේ භාවයන් වටහා ගැනීම සඳහා තාර්කික චින්තනය අවශ්‍ය වේ. පූර්වයෙහි අපගේ අභ්‍යන්තර ලෝකයට ඇතුළත් වීමට ඉගෙන ගෙන, මෙහිදී අපගේ බාහිර පෙළඹවීම තුළ පමණක් නොව අපගේම දෘෂ්ටි කෝණයන් හා ආකල්ප මගින්ද යම් අවස්ථාවකට අදාළව භාවමය ප්‍රතිචාරයන් පොළඹවනු ලබන ආකාරය ගවේෂණය කරන්නෙමු. මෙම දෘෂ්ටි කෝණ හා ආකල්ප අපගේම අවශ්‍යතාවයන් විෂය මූලිකව වටහා ගැනීම තුළ මුල්බැස ඇත. නිදසුනක් ලෙස, සාංකාව නමැති භාවය යම් අවස්ථාවකට අදාළව විය නොහැකි මට්ටමේ නිශ්චිතභාවයක් අපේක්ෂා කිරීම තුළින් ඉස්මතුවිය හැක. කෝපය යන්න ගරු කරවා ගැනීමේ අවශ්‍යතාවයක් මගින් ඉස්මතු විය හැක. කාල් ගතවන හා ඉවසීම අවශ්‍යවන තත්ත්වයක් හෙවත් අවස්ථාවක් වහා වෙනස් විය යුතු බවට වූ අපේක්ෂාව තුළින් බලාපොරොත්තු සුන්වීම ඇතිවිය හැක. මෙකී සියලු අවස්ථාවන්හිදී, ප්‍රධාන වශයෙන් භාවයන් අපගේම ආකල්ප හා අපේක්ෂාවන් තුළින් පැන නගී.

මෙම අන්තර්ඥානයන් අත්පත් කර ගන්නට ගන්නට, අපගේ වටිනාකම් අගයමින්, සෞඛ්‍ය සම්පන්න නොවන ස්වයං තීන්දු ඇතිකළ හැකි අතාත්වික අපේක්ෂාවන් හඳුනා ගැනීමට ඉගෙන ගන්නා අතරම ස්වයං වටිනාකම හා අභ්‍යන්තර විශ්වාසය පිළිබඳ ස්ථිර හැඟීමක් වගාකර ගැනීම සඳහා වූ වඩාත් යහපත් තත්ත්වයකට අපි පත්වෙමු. භාවමය ප්‍රතිචාරයන් නිරන්තරයෙන්ම අවශ්‍යතාවයන් තුළින් පැන නගින ආකාරය හඳුනා ගනිමින්, සියල්ලම එකිනෙකට සමාන නොවිය හැකි එම අවශ්‍යතා තීරණාත්මක ලෙස තක්සේරු කිරීමද ආරම්භ කළ හැක. මේ සඳහා අපගේම වටිනාකම් හා එම අගයන් හෙවත් වටිනාකම් ප්‍රකට කරන ජීවිතයක් කරා අප යොමු කරවන දේ වඩා ගැඹුරින් අගයමින් උවමනා සහ අවශ්‍යතා අතර වෙනස දැකිය යුතුවේ. මෙය දිගු කාලීන යහපත උදා නොකරන්නාවූ කෙටි කාලීන උවමනාවන් හඹා යාමෙන් වෙනස් වන්නකි.

ස්වයං පිළිගැනීම

අපගේ සමාජයන් තුළ කෝපය යන්න වඩ වඩාත් ඇතුළාන්තය කරාම විහිදෙන්නක් බවට පත්වෙමින් පවත්නා බැවින් ස්වයං පිළිගැනීම ඉමහත් වැදගත්කමක් උසුළන්නකි. අධිකතර ස්වයං විවේචනය, ආත්ම වෛරය හා ස්වයං පිළිකුල පුද්ගලික සෞඛ්‍යයට හා සතුටට අතිශයින්ම හානිකර වන අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් සෙස්සන් හට බොහෝ වූ හානි පැමිණවිය හැක. ස්වයං ඇගයීම යන්න අන්‍යයන් සමගින් සන්සන්දනය කිරීම මත පදනම්වන්නක් වන බැවින් හා ප්‍රචණ්ඩත්වය නිරතුරුවම පුද්ගලයෙකුගේ අධි ස්වයං ඇගයීම තර්ජනයට ලක්වන අවස්ථාවන්හි ප්‍රකට වන්නක් වන බැවින්, ස්වයං ඇගයීම ප්‍රතිබල ගැන්වීම වඩාත් යහපත් විසඳුම නොවේ. අපගේ භාවමය ජීවිතය හා අවශ්‍යතාවයන් පිළිබඳ වඩාත් ඉහළ වැටහීමක් ඇතිකර ගැනීම මගින් අභ්‍යන්තර ශක්තිය, සැහැල්ලුබව, නිහතමානිත්වය හා ධෛර්යය වගාකර ගැනීම වඩාත් යහපත් ක්‍රමයක් වේ. මෙසේ කිරීම තුළ සර්ව සම්පූර්ණතාවාදී පරමාදර්ශීකරණය ඉහිල් කිරීමට හා අප හා අන්‍යයන් සම්බන්ධයෙන්ද යථාර්ථවාදී අපේක්ෂාවන් පවත්වාගෙන යාමට අප වෙත අවකාශ ලබාදෙනු ලබයි.

වර්තමාන සංස්කෘතිය සමාජ මාධ්‍ය, රූපවාහිනිය, චිත්‍රපට ආදිය මගින් යථාර්ථවාදී නොවන භාවයන් ගණනාවක් අප වෙත ඉගැන්වීමෙහි ලා විශ්මයජනක ඵලදායකත්වයක් දක්වයි. නිරන්තරයෙන්ම පාහේ අපි පරමාදර්ශගත සැමරුම් සමගින් අප සන්සන්දනය කරගැනීම හෝ අපගේ කාර්ය සාධනය සර්ව සම්පූර්ණතාවන්ගෙන් පිරි හෝ සීමාවන්ගෙන් මිදුණු “සුපිරි මිනිසෙකුගේ” හෝ “සුපිරි ගැහැණියකගේ” ආකාරය ගතයුතු බවට විශ්වාස කරන්නෙමු. මෙකී ළඟාකරගත නොහැකි ප්‍රමිතීන් විසින් අනවශ්‍ය මානසික තැවුල් ඇති කරවයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඇතිවන ඉච්ඡා භංගත්වය ශාරීරිකව තමා වෙතම හානිකර ගැනීම හෝ  පිටත සමාජය දෙසට එල්ලවන එදිරිවාදිත්ය හෝ භීෂණයක් දක්වා පවා විහිදෙන අවපීඩනයක් හෝ ස්වයං දෝෂාරෝපණයක් ලෙස දිස්විය හැක.

අපට අපගේ භාවමය ජීවිතය සම්බන්ධ සීමිත වැටහීමක් පමණක් පවත්නා විටදී, අභියෝග, දුෂ්කරතා සහ පසුබැසීම් ඉවසීම වඩ වඩාත් දුෂ්කර වන අතර වෙනස් වීම හා ධනාත්මක කාර්යයන්හි නියැළීම සඳහා පවත්නා අවස්ථාවන් සොයා යාමේ හැකියාව වඩාත් අඩුවනු ඇත. අපගේම සීමා සහිතකම් පිළිබඳ යථාර්ථවාදී දෘෂ්ටි කෝණයක් මෙකී විෂකුරු චක්‍රයෙන් ගැලවීම සඳහා අත්‍යවශ්‍ය වේ. අපගේ දුෂ්කරතාවයන්, ඒවාහි ස්වභාවය හා මූලයන් පිළිබඳ ඉවසීම හා වැටහීම ගොඩනගා ගැනීම මගින්, මෙකී හානිකර මානසික ස්වභාවයන් හා චර්යාවන්ගෙන් බැහැරට අපවම යොමු කරවීමට පෙළඹෙන්නෙමු. ඒ අතරම, අපගේ කාර්ය සාධනයෙන් හෝ අප විසින් හෝ අන්‍යයන් විසින් පනවා ඇති අත්තනෝමතික ප්‍රමිතීන් සපුරාලනු පිණිස වූ අපගේ හැකියාව යන කරුණුවලින් වියුක්තවූ ස්වයං වටිනාකමක් අප තුළ පවත්නා බව ඉගෙන ගන්නෙමු. බාහිර තත්ත්වයන් මත රඳා නොපවත්නාවූ මෙකී ස්වයං වටිනාකම සැහැල්ලු බව සඳහා වූ බලවත් ආධාරකයක් වශයෙන් ක්‍රියාත්මක වේ.

යම් මට්ටමක කළකිරීමක් හා කණගාටුවක් ඇතිවීම නොවැළැක්විය හැකි තත්ත්වයක්ය යන කරුණ පිළිබඳ සිතා බැලීම මගින් මෙයාකාරයේ ස්වයං පිළිගැනීමක් වගාකර ගන්නෙමු. සෑම අවස්ථාවකදීම පළමුවැනියා වීම, සියලු අවස්ථාවන්හි ජයග්‍රහණයම අත්පත් කරගැනීම, සියල්ල දැනගැනීම හෝ කිසි දිනෙක හෝ වැරදීමක් සිදු නොවීම යන තත්ත්වය සාක්ෂාත් කරගැනීම කළ නොහැක්කකි. මෙම තත්ත්වයට මුහුණ දීමට සිදුවන්නේ අපට පමණක් නොවේ. මේවා වූකලි සියලු දෙනා සම්බන්ධ ජීවන සත්‍යයන් වේ.

ස්වයං-නියාමනය

පසුගිය කොටස් දෙක තුළ ආවරණය කරන ලද මාතෘකා සහ පිළිවෙත් මගින් ස්වයං නියාමනය සඳහා අවශ්‍ය පදනම සකසනු ලබයි. ස්වයං නියාමනය යන්නෙන් සිරුර, සිත හා භාවයන් සම්බන්ධයෙන් අත්පත් කරගන්නා අන්තර්ඥානයන් හා දැන්වත්භාවය ප්‍රතිබල ගන්වන්නාවූ පිළිවෙත් හා චර්යාවන් හැඳින්වේ. මෙහි අරමුණ වනුයේ අපගේ භාවයන් මගින් අපටම හෝ අන්‍යයන් වෙත අනවශ්‍ය ගැටලු ඇති නොකරන පරිදි අපගේ භාවයන් සාර්ථක ලෙස මෙහෙයවීමට හැකිවීමයි: අපගේ භාවයන් සීමාවන් වනු වෙනුවට අපගේ සහකරුවන් බවට පත්වේ. ස්වයං නියාමනය සංඝටක තුනකින් සමන්විත වේ:

  • සිරුර සමබර කරගැනීම
  • වැටහීම හා ආවේගයන් පිළිබඳ පාලනය
  • භාවයන් හැසිරවීම

සිරුර සමබර කිරීම

හැඟීම් පිළිබඳ අධි-ඇවිස්සුම් හෝ අව-ඇවිස්සුම් තත්ත්වයක හෝ ආතතිමය තත්ත්වයකින් පසුවන්නේ නම් අපගේ භාවයන් සාර්ථකව මෙහෙයවීම සඳහා අවශ්‍ය අවේග හා හඳුනා ගැනීම් පාලනය වගා කරගැනීම පහසු නොවේ. සිරුර පිළිබඳ යම් භෞතික නියාමනයකින් තොරව ස්ථාවරත්වයක් හා පැහැදිලිබවක් සිතේ ඇතිකර ගැනීම කළ නොහැකි තරම්ය. ඒ අනුව සිරුර සමබර කිරීමට උපකාරීවන්නාවූ පිළිවෙත් මගින් අප වෙත ඉමහත් ප්‍රයෝජනයක් අත්පත් වනු ඇත. චිත්ත කම්පනයෙන් හෝ හානිකර පූර්ව ළමාවිය අත්දැකීම්වලින් දුක් විඳ ඇත්තේ නම් හෝ අප ජීවත්වන තත්ත්වය එතරම් යහපත් නොවන්නේ නම් සිරුර සමබර කිරීම විශේෂයෙන් වැදගත් පියවරක් වේ.

සිරුර සමබර කිරීම හා හුදෙක් සිරුර ඉහිල් කිරීම හෝ නිද්‍රාශීලී බව ඇතුළත් කිරීම අතර වෙනස දැකිය යුතුවේ. මෙහි අරමුණ වනුයේ අවධානය හා ඉගෙනීම සඳහා මඟ පාදන්නාවූ ශාරීරික හා මානසික නියාමනයක් ඇති කිරීමයි. එය වූකලි කුසීත, නිද්‍රාශීලී හෝ ඇල් මැරුණු තත්ත්වයකට වඩා සක්‍රීය, උද්‍යෝගිමත් හා සමබර තත්ත්වයකි.

සිරුර සමබර කිරීම කරා වූ පළමු පියවර වනුයේ ආරක්ෂිත අවකාශයක් නිර්මාණය කිරීමයි. විශ්වාසය හා ආරක්ෂාව පිළිබඳ යම් හැඟීමකින් තොරවන්නේ නම් අපි ඉමහත් සූදානම්කාරී හා සුපරීක්ෂාකාරී තත්ත්වයකින් පසුවෙමු. කෙසේ වුවද අපට ආරක්ෂිත හැඟීමක් ඇතිවන විටදී, කුතුහලයකින් අපගේ සිතිවිලි හා හැඟීම් ගවේෂණය කිරීමේ නිදහසක් අප සතුවේ. ආරක්ෂිතබව පුරෝකථනය කළ හැකි බව තුළින් නිර්මාණය වන අතර පුරෝකථනය කළ හැකි බව සංගත හෙවත් ස්ථාවර චර්යාව මගින් නිර්මාණය කෙරේ. මෙහිලා සංගතබව යන්නෙන් අප කෙරෙහිම දක්වනු ලබන දැඩි බවක් අදහස් නොවේ. සංගත බව යනු අවබෝධයෙන් හා කරුණාවෙන් අප සමගින්ම කටයුතු කිරීමේ ස්ථාවර බවයි.

සිරුර සමබර කිරීමට හා ආරක්ෂිත හැඟීමක් ගොඩනගා ගැනීමට පහත සඳහන් කරුණු මගින් උපකාරයක් ලැබේ:

  • සම්පත්කරණය හෙවත් සම්පත් සම්පාදනය යනු අප විසින් ‘සම්පත්’ කරා ප්‍රවේශ වීමේ පිළිවෙත් පිරීමයි. මෙම සම්පත් බාහිර හෝ අභ්‍යන්තර ඒවා විය හැක. බාහිර සම්පත් යනු මිතුරෙකු, ප්‍රියතම ස්ථානයක්, මිහිරි මතකයක්, ආදරණීය සුරතලෙකු ආදිය විය හැක. අභ්‍යන්තර සම්පත් යනු අප සතු කුසලතාවයක් හෝ අප සතු හාස්‍යෝත්පාදක හැඟීම හෝ ශක්තිමත් බවක් හෝ හැකියාවක් ඇත්තේය යන හැඟීමක් ඇති කරන අපගේ සිරුරේ කොටසක් හෝ විය හැක. අප සතු මෙම සම්පත් සිත තුළට ගැනීම මගින් අප සැහැල්ලු, ආරක්ෂිත හා සුව පහසු ස්ථානයකට යොමු කරවනු ලබයි. මෙම කුසලතාවය ගොඩනගා ගත් පසු, අපගේ සම්පත් පිළිබඳ සිතීමේදී අපගේ අවේගයන් හසුකර ගනිමින් අප ආතතියට හෝ සාංකාවට පත්ව සිටින විටදී සිරුරට එය දැනෙන ආකාරය සමගින් මෙම තත්ත්වය සන්සන්දනය කළ හැක.
  • බිම්ගතකරණය යනු අප බිමට සම්බන්ධ කරවන්නාවූ වස්තුවක් අප විසින් ස්පර්ශ කිරීම හෝ ග්‍රහණය කරගැනීම කරන තත්ත්වයකි. නොඑසේ නම්, සිරුරට යම් සහායක් දැනෙන බවක් දැනෙන තත්ත්වයකි. මෙම වස්තුව හෝ ආධාරකය අපට දැනෙන ආකාරය කෙරෙහි අපගේ අවධානය යොමු කරවමින්, අපගේ ඉරියවු වෙනස් කරමින්, අපගේ හැඟීම් වෙනස්වන ආකාරය අවධානයට ගැනීමට උත්සාහ කරන්නෙමු.
  • යෝග, ටායි-චි, සංගීතයට සවන්දීම, චිත්‍ර ඇඳීම හා සඟරාකරණය වැනි ක්‍රියාකාරකම්ද සිරුර සමබර කිරීම සඳහා වූ වඩාත් විධිමත් ක්‍රම කෙරෙහි සංක්‍රමණය වීම සඳහා වූ මනා විධීන් වේ. අපට බොහෝවිට හුස්ම ගණනය හෝ ගැඹුරු හුස්ම ගැනීම් කටයුතුවලද  යෙදෙන ලෙස වූ ඇතැම් විට පැරණිතම වූ හා සරලතම වූද ක්‍රමයද යොදාගත හැක.

ඥානනමය හා අවේග පාලනය

ජීවිතයේ සාර්ථකත්වය උදාකරගනු පිණිස, නිරන්තරයෙන්ම අවධානය විසිර යාමට අවකාශ නොදෙමින් කර්තව්‍යයන් මත අපගේ අවධානය යොමුකරගෙන සිටීමේ හැකියාව අප වෙත පැවතිය යුතුය. මෙහිදී හුදෙක් වැදගත් රැස්වීම්වලදී අවධානය යොමුකරගෙන සිටීමට හැකිවීමක් පමණක් අදහස් නොකෙරෙන අතර සිදුකරන කටයුත්තට හානිකර වන අපගේ සිතිවිලි හා චර්යාවන්ද හඳුනා ගැනීමේ හැකියාවද අදහස් වේ. අපගේ ආවේගයන් පාලනය කරගනිමින් ඒවා ක්‍රියාවට නැංවීමෙන් වැළකී සිටීමට හැකිවීම වූකලි සිත විසිර යන්නාවූ කරුණුවලට හසු නොවෙමින් අවධානය නොකඩවා පවත්වාගත හැකිවන ඉමක් දක්වා අපගේ අවධානය වගාකර ගැනීම මත රඳා පවතින්නකි. වඩාත් වැදගත් කරුණ ලෙස මෙහිදී  අවධානය යනුවෙන් අදහස් වනුයේ අප තුළටම අවධානය යොමු කරවමින් අපගේ සිරුර හා සිත තුළ සිදුවන වෙනස්කම් ඒවා සිදුවන අවස්ථාවේදීම හසුකර ගැනීමේ හැකියාව අදහස් වේ. අපගේ අවධානය පුහුණු කිරීම තුළින් උත්තේජනය හා එයට දක්වන ප්‍රතිචාරය අතර යම් කාල අවකාශයක් නිර්මාණය කිරීමට උගන්වනු ලබයි: මෙම කාල අවකාශය වූකලි වඩාත් හොඳින් කරුණු සලකා බලා දැක්විය හැකිවන ප්‍රතිචාරයක් සකස්කර ගැනීමට හැකිවන කාලයයි.

අප විසින් දිගු කාලීන අරමුණු සම්බන්ධයෙන් නොකඩවා කටයුතු කරගෙන යමින් අප මුහුණ දෙන අභියෝග සාර්ථකව කළමනාකරණය කිරීමට යන්‌නේ නම් මෙම හැකියාව අවශ්‍ය වේ. හුදෙක් අපගේ ගුරුවරයා හෝ ප්‍රධානියා වෙත අවධානය යොමු කිරීම ඉක්මවා යන පරිදි අවධානය පිළිබඳ මනා පාලනයක් පවත්වාගන්නා විටදී, අපට අපගේ හැඳිනීම් පිළිබඳ ක්‍රියාවලි හා භාවයන් පාලනය කරමින් අපගේ කාර්යයන් වඩාත් හොඳින් ප්‍රකාශයට පත්කළ හැකි වේ. මෙයාකාරයෙන් අපට ජීවිතයේ ඉදිරි පිම්මක් භුක්ති විඳීමට හා අත්පත් කරගැනීමට හැකි වේ.

අපගේ අවධානය නංවාලීමට උපකාරී වන්නාවූ නිශ්චිත ක්‍රමෝපායන් පවතී. අවධානය යොමු කරවන නිශ්චිත වස්තූන් මත අරමුණ පවත්වා ගනිමින්, සිත හා කය තුළ සිදුවන දෙය පිළිබඳ දැනුවත්භාවය ගොඩනගා ගනිමින් හා සිතිවිලි හා භාවයන් පිළිබඳ සාක්ෂි දැරීමේ කාර්යයෙහි නිරත වෙමින් “පූර්ණ වශයෙන් වත්මන් මොහොත තුළ සිටීමට” උගත හැක.

භාවයන් මෙහෙයවීම

අපගේ භාවයන් මෙහෙයවීම සඳහා සිරුර සමබර කිරීමෙන් හා හැඳිනීම් පිළිබඳ පාලනයෙන් අත්පත් කරගත් කුසලතාවයන් යොදා ගන්නෙමු. මෙම අවසන් පියවර එකී දැනුම සැබෑ පිළිවෙතක් ලෙස ක්‍රියාවෙහි යෙදවීම සම්බන්ධ කරුණක් වන අතර භාවමය සාක්ෂරතාවයේ අවසන් පියවරින් සමන්විත වන්නකි.

මෙහිදී භාවමය අවබොධය ගොඩනගා ගන්නෙමු. මෙය වූකලි අප හා අන්‍යයන් කෙරෙහිද භාවයන් ඵලදායී වන සහ අපටම හා අන් අයටද ඒවා විෂකුරු හා හානිකරද වන අවස්ථාවන් හඳුනා ගැනීමේ හැකියාව වේ. අපගේ පුද්ගලික අත්දැකීම පිළිබ‍ඳ සිතා බැලීමෙන් හා චිත්ත සිතියම භාවිතයෙන් අපට මෙම කාර්යය සිදුකළ හැක. අතීතයේදී භාවයන් ක්‍රියාත්මකව ඇති ආකාරය සහ ඒවා මගින් ඇතිකරන ලද ප්‍රතිඵලවල ආකාරය සොයා බැලීමට උත්සාහ කරන විටදී, ස්වභාවිකවම ධනාත්මක හා හානිකර භාවයන් පිළිබ‍ඳ වැටහීමක් වර්ධනය වනු ඇත. මෙමගින් අපටම හා අන්‍යයන්ටද හානිකර වියහැකි චිත්ත ස්වභාවයන් සම්බන්ධයෙන් වඩාත් කල්පනාකාරී වීම කරා අප යොමු කරවනු ඇත. අප තුළම වර්ධනය කරගැනීමට දිරිමත් කළයුතු ආකල්ප කවරේද හා වෙනස් කිරීමට කැමති වන ආකල්ප කවරේද යන්න පිළිබකඳවද තීරණය කළ හැක. භාවයන් හඳුනා ගනිමින් නියාමනය කිරීමේ නිපුණතාවය ගොඩනගා ගන්නා විටදී, යම් උද්යෝගයක්, දිරියක් හා ආත්ම විශ්වාසයේ වර්ධනයක් අත්විඳීමට හැකිවනු ඇත.

සාරාංශය

අපගේ සිත, භාවයන් හා හැඟීම්ද පිළිබඳ වැටහීමක් හෙවත් භාවමය සාක්ෂරතාවයක් ගොඩනගා ගැනීම වූකලි ස්වයං ඇගයීමක් පිළිබඳ හැඟීමක් හා අපගේ පූර්ණ භාව පරාසය තුළින් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමේ හැකියාවක්ද ගොඩනගා ගැනීමේ අවශ්‍ය පියවරකි. අපගේ භාවයන් යනු අපගේ නෛසර්ගික කොටසක් නොවන බව වටහා ගන්නා විටදී, අපට ඒවා සම්බන්ධයෙන් සාර්ථකව කටයුතු කරමින් තමාවම පිළිගැනීමේ තත්ත්වයකට එළැඹිය හැක. කෝපයට පත්වීම පිළිබඳ වරදකාරී හැඟීමක් ඇතිකර ගැනීමට හෝ මානසික අවපීඩනයක් දැනීම පිළිබඳ සිත් අවුලකට පත්වීමට හේතුවක් නොමැති බව අපට අවබෝධ වනු ඇත. චිත්ත සිතියමක් සහිතව විවිධ භාවයන්ගේ හේතුඵල වටහාගන්නා විටදී, අපගේ චිත්ත සාමය ඇති කරනුයේ හා සන්තාපයන් ඇති කරනුයේ කවරක් විසින්ද යන්න අපටම සොයාගත හැක. එම සෘණාත්මක භාවයන් සම්බන්ධයෙන් ගත්කල, අපට ඒවා හසුකර ගනිමින් ඒවා පාලනයෙන් බැහැර වීමට පෙර ප්‍රතිකර්ම යෙදීමද සිදුකළ යුතුය. මෙම කරුණු පිළිබ‍ඳ පුහුණුව මගින් අප තුළ විශ්වාසයක් ඇති කරවමින් අපගේ විභවයන් හඳුනාගෙන සාක්ෂාත් කරගැනීමට උපකාරයක් ලබාදෙනු ලබයි.


වඩාත් ගැඹුරට කරුණු විමසා බැලීමට කැමැත්තේ නම් සමාජ, භාවමය හා ආචාර ධාර්මික ඉගෙනුම් රාමුවේ සම්පූර්ණ සංස්කරණය කියවා චින්තාපර විද්‍යා හා කරුණා පදනනම්ගත ආචාර ධර්ම මධ්‍යස්ථානයේ සෙසු වැඩසහන් පිළිබඳවද ඉගෙන ගන්න.

Top