සමාජ, භාවමය හා ආචාර ධාර්මික ඉගෙනුම: සමාජ කුසලතාවයන් වගාකර ගැනීම

සමාජ, භාවමය හා ආචාර ධාර්මික ඉගෙනුම, එමරි විශ්වවිද්‍යාලය, සංක්ෂිප්ත රාමුව

සමාජ, භාවමය හා ආචාර ධාර්මික (SEE) ඉගෙනුම යනු එමරි විශ්වවිද්‍යාලයේ චින්තාපර විද්‍යා හා කරුණාව පදනම්ගත ආචාර ධර්ම සඳහා වූ මධ්‍යස්ථානය විසින් ගොඩනගන ලද වැඩසටහනකි. එහි අරමුණ වනුයේ භාවමය වශයෙන් සෞඛ්‍ය සම්පන්න හා වගකීමෙන් බැඳී සිටින පුද්ගලයන්, සමාජ කණ්ඩායම් සහ පුළුල් සමාජයන් පෝෂණය කිරීමයි. සමාජ, භාවමය හා ආචාර ධාර්මික ඉගෙනුම: සමාජ කුසලතාවයන් වගාකර ගැනීම නමැති මෙම දෙවන කොටස තුළ, අන්‍යයන් සමගින් අප විසින් පවත්වාගෙන යනු ලබන සම්බන්ධතාවයන්හි යහ පැවැත්ම හා සහයෝගිතාවය ප්‍රවර්ධනය කරන්නාවූ සමාජ කුසලතාවයන් පෙළක් ගොඩනැංවීමට ඉගෙන ගන්නෙමු.

පුද්ගලික වපසරිය තුළ අප විසින් ඉගෙන ගන්නා භාවමය සාක්ෂරතාවයට හා ස්වයං-නියාමනයට අදාළ කුසලතාවයන් නිසැකවම ජීවිතයේ ඉදිරියට ගමන් කිරීමේදී අපට ඉමහත් සේ ප්‍රයෝජනවත් වේ. කෙසේ වුවද, මනුෂ්‍යයෝ ස්වභාවයෙන්ම සමාජ සත්ත්වයන් වන බැවින්, අපට අන්‍යයන් සමගින් මනා ඇසුරක් පවත්වාගෙන යාමට හැකිවීමද ඒ හා සමානවම වැදගත්කමකින් යුක්ත වේ. සමාජ ගති ලක්ෂණ සහජයෙන් ඇතිවන අතර වෙනස් නොවන බව පෙරදී පැවති චින්තනය වුවද, මෑත කාලීන විද්‍යාත්මක පර්යේෂණ මගින් වඩ වඩාත් යෝජනා කරනුයේ ඉගෙනීම, සිතා බැලීම හා සිතා මතා සිදුකරන පිළිවෙත් පිරීම් මගින් සමාජ ගති ලක්ෂණ වගාකර ගත හැකි බවයි. “සමාජ” යන්න තුළින් අපගේ ක්ෂණික අන්තර් පුද්ගල අන්තර් සම්බන්ධතාද, පාසැලක්, කාර්යාලයක්, පවුලක් හෝ අසල්වැසි පිරිසක් වැනි සුළු පරිමාණ ජන ප්‍රජාවක් තුළ පවත්නා අන්තර් සබඳතාද හැඳින්වේ. නගරයක්, සමාජයක් හෝ සමස්තයක් ලෙස මුළු ලොවම වැනි වඩා විශාල ජන සමාජයන් ගෝලීය නමැති තෙවැනි හා අවසන් වපසරිය තුළ ආවරණය කෙරේ.

සමාජ සන්දර්භයක් තුළ දැනුවත්භාවය, කරුණාව හා කාර්ය නියුක්තිය

අවධානය යොමු කෙරෙනුයේ අප කෙරෙහි නොව අන්‍යයන් කෙරෙහිය යන කරුණ හැර අන් බො‌හෝ ආකාරයන්ගෙන් සමාජ වපසරියද පුද්ගලික වපසරියට සමාන වේ. නැවතද, මෙහි දැනුවත්භාවය, කරුණාව හා කාර්ය නියුක්තිය යන මානයන් තුන හරහා ගමන් කරන්නෙමු. මෙහි දැනුවත්භාවය යන්නෙන් අන්‍යයන් පිළිබඳ මූලික දැනුවත්භාවයක් මෙන්ම සමාජ සත්ත්වයන් වශයෙන් අප පිළිබඳවම වූ දැනුවත්භාවයක් හෙවත් අපගේ පැවැත්ම අන් අය හා සම්බන්ධ වන්නක්ය, අපට අන් අය අවශ්‍ය වන්නේය හා අපගේ ක්‍රියාවන් අන් අයට බලපාන්නේය යන දැනුවත්භාවය අදහස් වේ. මෙම දැනුවත්භාවය තුළට මනුෂ්‍යයන් වන අප තුළ පොදුවේ පවත්නා දේ හා අප එකිනෙකාගෙන් වෙන්කොට දක්වනුයේ කවර කරුණු විසින්ද යන්න ඇතුළත් වේ. කරුණාව යන්න තුළට අප වඩා අඩුවෙන් ප්‍රතිචාර දක්වන හා විනිශ්චයන් සිදුකරන ආකාරයට දැන් අන්‍යයන් හා ඔවුන්ගේ භාවයන් වටහා ගනු පිණිස පුද්ගල වපසරිය තුළ ලබාගත් දැනුම භාවිත කිරීම ඇතුළත් වේ. කෘතවේදිත්වය, සමාව දීම, ත්‍යාගශීලිත්වය හා නිහතමානිත්වය වැනි සෙසු සමාජ ගති ලක්ෂණ ගොඩනගා ගැනීමටද මෙම අන්තර් ඥානය යොදා ගන්නෙමු. අවසන් වශයෙන්, කාර්යයන්හි නියැළීම නමැති මානය තුළ අන්‍යයන් සමගින් ධනාත්මක හා නිර්මාණාත්මක ලෙස සම්බන්ධවන ආකාරය ඉගෙනීමට මෙම දැනුවත්භාවය හා අන්තර්ඥාණය යොදා ගැනීමක් ඇතුළත් වේ. මෙලෙසින්, සමාජ වපසරියෙහි සංඝටක තුන පහත පරිදි සලකා බැලිය හැක:

  • අන්තර් පුද්ගල දැනුවත්භාවය
  • සෙස්සන් කෙරෙහි වූ කරුණාව
  • සම්බන්ධතා පිළිබඳ කුසලතාවයන්

අන්තර් පුද්ගල දැනුවත්භාවය

අප සියලු දෙනා තුළ අපගේම වූ පටු ස්වයං අභිලාශයන් පිළිබඳ අවධානය යොමුකරගෙන සිටීමේ ස්වභාවික ප්‍රවණතාවයක් පවත්නා අතර, අන්‍යයන් කෙරෙහි යහපතක් සැලසීමේ අරමුණින් ඔවුන් සමගින් සම්බන්ධ වීමට පුහුණු වීම වූකලි කාලයත් සමගින් ඉගෙන ගත හැකි කුසලතාවයකි. මෙමගින් අන්‍යයන් වෙත පමණක් නොව, අප වෙතම පවා ඉමහත් ප්‍රයෝජන සලසනු ලබයි. නිදසුනක් ලෙස, අන්‍යයන් ඇගයී‌මේ හැඟීමක් උත්පාදනය කිරීම මගින් යහපත සැලසීමේ මෙන්ම අන්තර් පුද්ගල සම්බන්ධතා පිළිබඳ හැඟීම්ද නංවාලනු ලබයි. අන්තර් පුද්ගල දැනුවත්භාවය ප්‍රධාන මාතෘකා තුනක් හරහා ආවරණය කෙරේ:

  • අපගේ සමාජ යථාර්ථය කෙරෙහි අවධානය යොමු කිරිම
  • අන්‍යයන් සමගින් පවත්වාගන්නා අපගේ හවුල්කාරී යථාර්ථය කෙරෙහි අවධානය යොමු කිරීම
  • විවිධත්වය හා වෙනස ඇගයීම

අපගේ සමාජ යථාර්ථය කෙරෙහි අවධානය යොමු කිරීම යන්නෙන් අපගේ නෛසර්ගික සමාජ ස්වභාවය හා අන්‍යයන්ගේ වැදගත්කම සහ ඔවුන් අපගේ ජීවිත තුළ ඉටුකරන කාර්ය භාරයද අදහස් වේ. අපගේ හවුල්කාරී යථාර්ථය කෙරෙහි අන්‍යයන් සමගින් අවධානය යොමු කිරීම යන්න තුළට සතුටට කැමති වීම හා දුක ප්‍රතික්ෂේප කිරීම වැනි මූලික මට්ටමකින් අප අන්‍යයන් සමගින් හවුලේ බෙදාගන්නා හෙවත් අප හා අන්‍යයන් අතර පොදුවේ පවත්නා ගුණයන් ඇගයීම ඇතුළත් වේ. අවසන, විවිධත්වය හා වෙනස ඇගයීම යනු පුද්ගලයන්ගේ හා කණ්ඩායම්වල විවිධත්වය, පරම ස්වභාවය හා වෙනසට ගරු කරමින් ඒවා මගින් අපගේ සාමුහික ජීවිතයට වටිනාකම් එක්කරන ආකාරය දැකීමයි.

අපගේ සමාජ යථාර්ථය කෙරෙහි අවධානය යොමු කිරීම

“කිසිදු පුද්ගලයෙකු දූපතක් නොවේ” යනුවෙන් කිසිදු පුද්ගලයෙකු හට ස්වාධීනව හා තනිව ජීවත්විය නොහැකිය යන අදහස දෙන කියමනක් ඇත. යථාර්ථය වනුයේ මනුෂ්‍යයන් වන අප සමාජ සත්ත්වයන් වන අතර, අප විසින් අවබෝධ කරගත්තේ හෝ නොගත්තේ වුවද, නොගිණිය හැකි සංඛ්‍යාවක් වූ සෙසු පුද්ගලයන්ද අපගේ ජීවිතයේ වැදගත්කාර්ය භාරයක් ඉටුකරන බවයි. අප මෙන්ම පුරවැසියන් ලෙස අන් අයද සිටින අතරම ඔවුන්ද අප මෙන්ම ලෝකය අත් විඳින්නේය යන මූලික කරුණ ඇතැම් විට අපගේ අවධානයෙන් ගිලිහී යා හැක.මෙමගින් උවමනා සහ අවශ්‍යතා පවත්නා, ප්‍රවේශම් කළ යුතු, සැලකිලිමත් විය යුතු එකම පිරිස වනුයේ අප පමණක්ය ආදී වශයෙන් වූ සිතිවිලිවලට හසුවීම පහසුවෙන්ම සිදුවේ.

ආරම්භයක් ලෙස, අප අප ලෙසම හැඩ ගස්වන ලද අය, අපගේ පැවැත්ම කෙරෙහි නොකඩවා බලපාන අය, මතු බලපානු ඇති අය පිළිබඳ සිතා බැලීම ආරම්භ කළ හැක. නිදසුනක් ලෙස, මූලික අවශ්‍යතාවයන් හා ආරක්ෂාව අප වෙත සැලසූ හෝ තවදුරටත් සලසන්නාවූ අපගේ මව්පියන් හෝ සෙසු අය පිළිබඳව සිතා බැලිය හැක. සෙසු අය අපට සහෝදරත්වය හා මිත්‍රත්වය ලබාදේ. වඩාත් පුළුල් මට්ටමකින් සලකා බැලුවහොත්, අප ආහාරයට ගන්නා ආහාර නොගිණිය හැකි තරම් වූ පුද්ගල සංඛ්‍යාවක් විසින් වගා කරන අතර අපගේ ඇඳුම්ද එසේම නොගිණිය හැකි තරම් වූ පුද්ගල සංඛ්‍යාවක් විසින් නිෂ්පාදනය කරනු ලබයි. මෙම කරුණු පිළිබ‍ඳ සිතා බැලීම මගින් සෙසු අය කෙරෙහි ඇගයීම, සහකම්පනය හා කරුණාව වගාකර ගැනීම සඳහා වූ මූලික අඩිතාලම ගොඩනගනු ලබයි.

අන්‍යයන් සමගින් පවත්වාගන්නා අපගේ හවුල්කාරී යථාර්ථය කෙරෙහි අවධානය යොමු කිරීම

අන්‍යයන්ද සිටින අතර අප වෙනුවෙන් වූ අවශ්‍යතා ඔවුන් විසින් සම්පාදනය කරන්නේය යන යථාර්ථයෙන් ඔබ්බට, ඔවුනටද භාවමය ජීවිත ඇත්තේය යන කරුණ හඳුනාගත යුතුය. අපගේ මූලික සමානාත්මතාවයන් හඳුනා ගනිමින් යම් වෙනස්කමක් පැවතුණද එමගින් ඔවුන් ඇගයීමේ කාර්යය නතර නොවිය යුතුය යන කරුණ හඳුනා ගැනීම මගින් මෙහිලා මූලිකව අන්‍යයන් ඇගයීම ප්‍රවර්ධනය කෙරේ. අප විසින් අවධානය යොමුකරන සමානකම් අපගේ මූලික මනුෂ්‍ය අත්දැකීම් වේ. මේවා සියලු මනුෂ්‍යයනට පොදු කරුණු වේ. අප මෙන්ම සෙසු අයද සිය සුවසෙත පතන අතර දුෂ්කරතාවයනට හා දුකට අකමැති වෙති. ඔවුනටද උවමනා, අවශ්‍යතා, බිය, අපේක්ෂා ආදිය සහිත භාවමය ජීවිත ඇත. ඔවුහූ රෝගී වෙති, සීමාසහිතකම් ඇත්තෝ වෙති, බාධකවලට මුහුණ දෙති, සතුට හා පසුබැසීම්ද අත් විඳිති. මෙකී පොදු කරුණු හඳුනා ගැනීම වගා කරගත හැකි හා පුරුද්දක් කරගත හැකි කුසලතාවයකි.

චිත්ත සිතියම හා සෘජු භාවමය අත්දැකීම ඇතුළත් යම් මට්ටමක භාවමය සාක්ෂරතාවයක් ගොඩනගාගත් පසු අන්‍යයන් සමගින් පොදුවේ අපතුළ පවත්නා සමානතාවයන් සැලකිල්ලට ගැනීම පහසු කටයුත්තක් වේ. ඒ හා සමගින්ම, අන්‍යයන් අප හා සමාන නොවන ආකාරයද ගවේෂණය කළ යුතුය. සෑම අයෙකු සතුවම උවමනා, අවශ්‍යතා, බිය හා අපේක්ෂාවන් පවත්නා නමුදු, ඔවුන් අවශ්‍යයෙන්ම අපට අවශ්‍ය දෙයම අවශ්‍ය, අපට උවමනා දෙයම උවමනා හෝ අප බියවන දෙයටම බියවන්නාවූ අය විය යුතු නොවේ. මෙම කරුණ පිළිගෙන එයට ගරුකළ යුතුවේ. තවද, අන්‍යයන් සතුවද වෙනස්වූ ජීවන අත්දැකීම්, දෘෂ්ටි කෝණ හා දැනුම් පවත්නා අතර ඒ සියල්ලමද අගය කළ හැක. අපගේ විවිධත්වයන් හඳුනාගන්නා අතරම සමානතාවයන් ඇගයීම මගින් සම්බන්ධතා පවත්වාගෙන යාමේ කුසලතාවයන්හි වැදගත් පැතිකඩක් ලෙස ක්‍රියාත්මක වන අන්‍යයන් හා අප පිළිබ‍ඳවද වැටහීමක් ඇති කරනු ලබයි.

විවිධත්වය හා වෙනස ඇගයීම

අන්‍යයන් සමගින් හවුලේ හුවමාරු කරගන්නා යථාර්ථයෙහි එක් කොටසක් වනුයේ අප සියලු දෙනා සුවිශේෂී හා විවිධ අය වන අතර, තමාටම ආවේණික වූ ගති ලක්ෂණ සහිත හා සෙසු කණ්ඩායම්වලින් වෙනස්වන සමාජ කණ්ඩායම්වලට අප අයත්වන්නේය යන කරුණයි. අපගේ දෘෂ්ටි කෝණ, ආකල්ප හා අපේක්ෂාවන්ද හැඩ ගස්වන්නාවූ වෙනස්වූ පරිසරයක හැදී වර්ධනය වීමක්, වෙනස්වූ පවුල් පරිසරයක්, හා අපටම සුවිශේෂී වූ අත්දැකීම්ද අප එකිනෙකා සතුවේ. 

විවිධත්වය යනු ඒ අනුව, අපගේ සමූහ යථාර්ථයේ කොටසක් වන අතර, අප වෙන්කරනු වෙනුවට එක් කරන දෙයක් ලෙස ඇගයීමට ලක්කළ හැක. විවිධත්වයට හා අපගේ සාමුහික ජීවිතයට විවිධත්වය විසින් ලබාදෙන දායකත්වයට ගරු කිරීම වූකලි ක්‍රම ක්‍රමයෙන් බහුත්වවාදී වන හා ගෝලීයකරණය වන අපගේ ලොව තුළ විශේෂයෙන් වැදගත්වන දැනුවත්භාවයකි. එමගින් නිර්ව්‍යාජ සහකම්පනය හා කරුණාව සඳහා වූ පදනමක් සම්පාදනය කරනු ලබයි.

අන්‍යයන් කෙරෙහි දක්වන කරුණාව

සියලු සමාජ ගති ලක්ෂණ සෙසු අය කෙරෙහි දක්වන කරුණාව තුළින් උපදින හා එයට දායකත්වයක් දක්වන දෙයක් ලෙස දැකිය හැක. අන්තර් පුද්ගල දැනුවත්භාවය මගින් පුළුල් පරාසයක විහිදෙන සමාජමය ගති ලක්ෂණ පෙළක් වගාකර ගැනීම සඳ‍හා අවශ්‍ය මං පාදන අතර, කරුණාව ඒවා ආචාර ධාර්මික සන්දර්භයක් තුළ පිහිටුවීමට උපකාරී වේ. අන්‍යයන් සඳහා වූ කරුණාව ගොඩනගා ගැනීම සඳහා වූ මාර්ගයන් තුනක් පවතී:

  • සෙස්සන්ගේ හැඟීම් හා භාවයන් ඒවා පවත්නා සන්දර්භය තුළ වටහා ගැනීම
  • කරුණාව හා දයාව ඇගයීම හා වගාකර ගැනීම
  • සෙසු ආචාර ධාර්මික ගති ස්වභාවයන් ඇගයීම හා වගාකර ගැනීම

සෙස්සන්ගේ හැඟීම් හා භාවයන් ඒවා පවත්නා සන්දර්භය තුළ වටහා ගැනීම

අපගේ පෞද්ගලික භාවයන් වටහා නොගැනීම මගින් ස්වයං විනිශ්චයක් ඇතිකළ හැක; ඒ හා සමානවම, අප විසින් වටහා නොගන්නා හෝ අනුමත නොකරන ආකාරයන්ගෙන් සෙසු පුද්ගලයන් කටයුතු කරන බව දක්නා විටදී, අපි ස්වභාවිකවම විනිශ්චයක් සහිතව ප්‍රතිචාර දක්වන්නෙමු. උවමනා හා අවශ්‍යතා තුළින් අපගේ භාවයන් ඉස්මතුවන ආකාරය වටහා ගැනීම මගින් ස්වයං පිළිගැනීම හා ස්වයං කරුණාවක් ඇතිකරවන අයුරින්ම, මෙම ක්‍රියාවලිය සෙසු පුද්ගලයන් දෙස බැලීමේදීද එයාකාරයෙන්ම ක්‍රියාත්මක වේ.

සෙස්සන්ගේ ක්‍රියාවන් භාවයන් හේතුවෙන් ඇතිවන අතර මෙකී භාවයන් යම් සන්දර්භයක් තුළ, පදනම්ගත අවශ්‍යතාවයක් මගින් ඉස්මතුවන බව වටහා ගන්නේ නම්, එමගින් කෝපය හා විනිශ්චයට වඩා සහකම්පනය හා කරුණාව ඇතිකළ හැක. මෙහි එන අපේක්ෂාව නම්, නුසුදුසු චර්යාවන් සඳහා සමාව ලබාදීම නොව, මානුෂික මට්ටමකින් අන්‍යයන් හා ඔවුන්ගේ භාවයන් වටහා ගැනීමයි.

කරුණාව හා දයාව ඇගයීම හා වගාකර ගැනීම

අප විසින් කෲරත්වයට වඩා කරුණාව ඇගයිය යුතුය යන්න පැහැදිලි කරුණක් සේ පෙනීයා හැකි නමුදු, මෙම පදනම්ගත කරුණ තුළින් පහසුවෙන්ම භේදයක් ඇතිවිය හැක. අපගේ පෞද්ගලික අත්දැකීමෙන් හා ඓතිහාසික නිදසුන් තුළින් අප විසින්මද නිරතුරුවම කරුණාව යන්න ඇගයීමට ලක්කර නොමැති ආකාරය දැකිය හැක. ඉතිහාසය පුරා මනුෂ්‍යයන් විසින් අන්‍යයන්ගේ කෲරත්වය පිළිගත් හෝ සරලව තමාගේම කෲර ක්‍රියාවන් නොපිළිගත් අවස්ථාවන් පිළිබඳ අප්‍රමාණ නිදසුන් ඇත.

කරුණාව යනු අප වෙත ඉමහත් ප්‍රයෝජන සැලසිය හැකි බලවත් මූලධර්මයක් වන නමුත් හුදෙක් අපගේ සිත්වලට කාරුණික වන ලෙස අණ දීම පමණක් ප්‍රායෝගික නොවේ. කරුණාව හා කරුණාව නොවන්නේ කවරක්ද යන්න වටහා ගනිමින් එය අප වගාකරගැනීමට අපේක්ෂා කරන දෙයක් සේ ඇගයීමට පුරුදු විය යුතුය. කරුණාව දක්වා ගමන් කිරීමට පෙර සාමාන්‍යයෙන් සෙසු අය කෙරෙහි සැලකිලිමත් ආකල්පයක් ගොඩනගමින් කරුණා සහගත හැඟීමෙන් කටයුතු ආරම්භ කිරීම පහසුය. 

කරුණාව යන්න සෙසු අයගේ දුක සමනය කිරීමේ අපේක්ෂාව ලෙස අර්ථ කථනය කෙරේ. මානව පැවැත්මේ ප්‍රධාන පැතිකඩක් ලෙස බොහෝ දෙනෙකු විසින් කරුණාව යන්න නොදක්නා නමුදු, කරුණාවේ ජීව විද්‍යාත්මක මූලයන් පර්යේෂණ මගින් ගෙනහැර දක්වනු ලබයි. උපතින් පසු ස්වාධීනව ජීවත් විය නොහැක්කේය යන කරුණ හේතුකොට සියලු ක්ෂීරපායී සතුන්ට හා කුරුල්ලන්ට නොනැසී පැවතීම සඳහා මව් සෙනෙහස අවශ්‍ය වේ. මනුෂ්‍යයන්ද ඇතුළත් විවිධ සත්ත්ව කොට්ඨාශවල සත්ත්ව හිතවාදී චර්යාවන් මගින් පුද්ගල හා කණ්ඩායම් මට්ටම්වලින් නොනැසී පැවැත්ම හා පෝෂණය වීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙනු ලබයි. මනුෂ්‍යයන් තුළ ඉතා කුඩා වියේ සිටම කාරුණිකත්වය කෙරෙහි දැඩි කැමැත්තක් පවත්නේ මන්ද හා මනෝ විද්‍යාත්මක මට්ටමකදී පවා කරුණාවට අප විසින් එතරම් ධනාත්මක ප්‍රතිචාරයක් දක්වන්නේ මන්ද යන කරණු විග්‍රහ කරනු ලබයි.

වෙනත් ආචාර ධාර්මික ගති ලක්ෂණ ඇගයීම හා වගාකර ගැනීම

කරුණාව හැරුණු කොට, කෘතඥතාවය, සමාව දීම, ලද දෙයින් සතුටු වීම, ඉවසීම ආදී ගති ලක්ෂණද අපට වගා කරගත හැක. ඒවා අපගේ ජීවිතවලට ප්‍රතිලාභ හා සතුට සදා දෙමින් භෞතික වස්තු හිමිකම් හා සාර්ථකත්වයනට වඩා අභ්‍යන්තර ගුණාංග ඉන් අදහස් වන්නේය යන්න මෙකී ආචාර ධාර්මික ගති ලක්ෂණ සියල්ලට පොදු ලක්ෂණයක් වේ. මිනිසුන් අගය කරමින් ඔවුන් විසින් අපගේ ජීවිත පොහොසත් කරන ආකාරය ඇගයීමට ලක් කිරීම කෙරෙහි අවධානය යොමුකිරීම වූකලි තමා ප්‍රවර්ධනය කරගැනීම හා වස්තූන් අත්පත් කරගැනීම දිගු කාලීන තෘප්තියට හා සතුටට ප්‍රධාන හේතු වන්නේය යන අදහසට ප්‍රතිවිරුද්ධ එකකි. අප විසින් මෙම අභ්‍යන්තර ගුණාංග කෙතරම් වැදගත්ද යන කරුණ ඇගයීමට ලක් කළ යුතුවේ. යම් මට්ටමක භෞතික සුභ සාධනයක් අත්පත් කරගැනීමෙන් අනතුරුව ජීවන තෘප්තිය හීන වන බවක් පර්යේෂණ මගින් පෙන්වා දෙන අතර ළමුන් හා වැඩිහිටියන් අතරද කෘතඥතාවය හා සතුට අතර දැඩි සම්බන්ධයක්ද පවතී. කෘතඥතාවය වඩාත් උසස් තෘප්තියක් ගෙන දෙනු පමණක් නොව, සමාජ මාධ්‍ය, වෙළඳ දැන්වීම්කරණය හා රූපවාහිනිය මගින් යොමු කෙරෙන භෞතිකවාදී පණිවිඩයනට එරෙහි බලවත් විෂබීජ නාශකයක්ද විය හැක.

සෙසු පුද්ගලයෝ අපට බොහෝ ආකාරයන්ගෙන් ප්‍රයෝජන සලසන අතර ප්‍රයෝජන අත්විඳිනු ස‍ඳහා එම ප්‍රතිලාභ අත්විඳීම සිතා මතා සිදුකරන්නක් වීම පවා අවශ්‍ය නොවේ. සොරකම් නොකිරීම, අනුන්ට හානි නොකිරීම, හෝ අපහාස නොකිරීම ඈ ලෙස අන්‍යයන් විසින් සිදු නොකළ දේද අපට ඇගයීමට ලක්කළ හැක. වඩාත් උසස් මට්ටමකදී, අන්‍යයන් හානිකර ලෙස කටයුතු කරන විටදී අප ලබන ප්‍රයෝජනයන් අගය කිරීමට පවා අපට උගත හැක. සිය දෘෂ්ටි කෝණයන් සාර්ථකව වෙනස් කරගනිමින් වඩාත් සතුටින් හා තෘප්තිමත්ව, අති විශාල දුෂ්කරතාවයන් අත් විඳිමින් වුවද ජීවත්වන පුද්ගලයන් පිළිබඳ නිදසුන්ද අපට අධ්‍යයනය කළ හැක. අන්‍යයන්ගේ වැරදි සහගත චර්යාව නොසලකා නොහැරිය යුතු අතරම, නව දෘෂ්ටි කෝණයක් ගැනීමේ මෙකී හැකියාව කෝපය, නොරිස්සීම හා වෛරයද මුදා හැරීමේ බලවත් විධික්‍රමයක් වේ. අන්‍යයන් විසින් අප වෙත ප්‍රයෝජනයන් සලසන ආකාරයන් සම්බන්ධ අපගේ ගවේෂණය නිර්ව්‍යාජ හා කල් පවත්නා කෘතවේදී හැඟීමක් වගාකර ගැනීමට හැකියාව ලබාදෙනු ඇති අතර, එය ඉනික්බිති අන්‍යයන් සමගින් පවත්වාගන්නා බලවත් සම්බන්ධතාවයක් හා බැඳීමක් ලෙසද ක්‍රියාත්මක වේ.

ආත්මාර්ථකාමී ආකල්පයක අවාසි හා අන්‍යයන් විසින් විදහා දක්වන අප්‍රමාණ කාරුණික ක්‍රියාවන් මත අපගේ සතුට හා යහ පැවැත්ම රඳා පවත්නා ආකාරය පිළිබ‍ඳ සිතා බලන විටදී, අපට ස්වභාවිකවම කෘතවේදී හැඟීමක් ඇතිවනු ඇත.

අන්‍යයන්ගේ සතුට හා දුකද ඇතුළත්ව ඔවුන්ගේ අත්දැකීම් හඳුනා ගනිමින් ඒවාට සංවේදී වීමේ හැකියාව හෙවත් සහකම්පනයද අප විසින් වගාකරගත යුතුවේ. අප බොහෝ දෙනෙකු හට අපගේ මිතුරන් හා ආදරණීයයන් සම්බන්ධයෙන් සහකම්පනයක් ස්වයංක්‍රීයවම දැනෙන නමුදු එය පුළුල් පරාසයක විහිදෙන ලෙස හා අපක්ෂපාතී වන ලෙස ව්‍යාප්ත කරලිය හැකිවේ. අපගේ මූලික සාමුහික සමානකම් පිළිබඳ දැනුම සමගින් සහකම්පනය සම්බන්ධ කරන විටදී, පක්ෂපාතිත්වය විසින් එතරම් සීමා නොවුණු නිර්ව්‍යාජ සහකම්පනයක් ඉස්මතු විය හැක. සහකම්පනීය ලෙස අන්‍යයන් සමගින් කටයුතු කිරීම තුළට ඔවුන්ගේ දෘෂ්ටි කෝණය හා තත්ත්වය වටහා ගැනීමට කරන උත්සාහයක්ද ඇතුළත් වේ. නිදසුනක් ලෙස, “මෙම පුද්ගලයා ආත්මාර්ථකාමියෙකි”යි පැවසීමට වඩා, අපට “ඔවුන්ගේ චර්යාව ආත්මාර්ථකාමී එකක් සේ සැලකිය හැක” ලෙස පැවසිය හැක. මෙමගින් එම පුද්ගලයා සදාකාලිකවම ආත්මාර්ථකාමියෙකු ලෙස නොදකිමින් ඔවුන් ස්වාර්ථකාමී වන අවස්ථාවන්ද හඳුනා ගැනීම කෙරෙහි විවෘත වීමේ අවකාශ විවර කරනු ලබයි.

අප තුළ අන්‍යයන් සමගින් පවත්නා සමානකම් විමසා බලමින් කෘතවේදිත්වයක් හා සහකම්පනයක් ගොඩනගා ගන්නා විටදී, ස්වභාවිකවම සමාව දීමේ ගුණයද ගොඩනගා ගැනීම ආරම්භ කරන්නෙමු. අප විසින් අපගේ යථාර්ථවාදී නොවන අපේක්ෂාවන් මුදාහැර ස්වයං පිළිගැනීම වගාකර ගත් විටදී, අන්‍යයන් කෙරෙහි ග්‍රහණය කරගෙන සිටින කෝපය හා නුරුස්නා ස්වරූපය මුදා හැරීම පහසු වනු ඇත. මේ අනුව සමාව දීම යන්න අප විසින් අපටම ලබාදෙන ත්‍යාගයක් වේ.

සබඳතා කුසලතාවයන්

මිත්‍රත්වයන්ගේ හා පවුලේ නාට්‍යවල සිට කාර්යාල ගතිකයන් දක්වාද ලෙස අපට නිතිපතා සංකීර්ණ සමාජ අන්තර් ක්‍රියාවන්හි නිරත වීමට සිදුවේ. සතුටු හා සාර්ථක වනු පිණිස පුළුල් සමාජ පසුතල පරාසයකට අනුගත වීමේ හැකියාව පැවතිය යුතුවේ. දිගු කාලීන සුභ සාධනය යන්න බොහෝ කොටම හානිකර සම්බන්ධතා හඳුනා ගනිමින් අවසන් කරගන්නා අතරම අර්ථාන්විත හා ධනාත්මක සම්බන්ධතාවයන් පිහිටුවා ගනිමින් පවත්වාගෙන යාමේ හැකියාව සමගින් සම්බන්ධ වේ.

අපගේ සමාජ ස්වභාවය පිළිබඳ දැනුවත්භාවය සමගින් බැඳි අන්‍යයන්ගේ භාවයන් එම අවස්ථාවට අදාළව වටහා ගැනීමේ හැකියාවද ලෙස වූ මෙම පාඨමාලාවේ පෙරකී සංඝටක දෙක මගින් අපගේ හා සෙස්සන්ගේ යහපතට වඩාත් හේතුවන සැබෑ කුසලතාවයන්, චර්යාවන් හා පරිචයන් ගොඩනගාගත හැකි පදනම නිර්මාණය කරනු ලබයි. අපගේ චර්යාව සහකම්පනය හා කරුණාව මත පදනම්ව ඇත්තේ වුවද, ඇතැම් විට අපගේ ක්‍රියාවන් සැබැවින්ම අපේක්ෂිත ප්‍රතිඵලයට වඩා විරුද්ධාර්ථ ප්‍රතිඵලය ගෙනදෙන බව සනාථ වේ. අප තුළ යහපත් අපේක්ෂාවන් පැවතිය හැකි නමුදු, එය නොදැනුවත්වම අපටම හා අන්‍යයන්ටද දුෂ්කරතාවයන් ඇති කරවමින් අවසන් විය හැක. අපට වඩ වඩාත් අත්දැකීම් ලබා ගනිමින් මෙය අවම කරගත හැක. උගත් යම් කුසලතාවයක් පවත්නේ නම් ඒවා ප්‍රායෝගික හා ස්වභාවික බවට පත්වන තෙක් ඒවා සක්‍රීය ලෙස පුහුණු කළ හැක. අපට පුහුණු විය හැකි පැතිකඩයන් සතරක් වේ:

  • සහකම්පනීය ලෙස ඇහුම්කන් දීම
  • කුසලතා පූර්ණ සන්නිවේදනය
  • අන්‍යයන්ට උපකාර කිරීම
  • ගැටුම් පරිවර්තනය

සහකම්කපනීය ලෙස ඇහුම්කන් දීම

සහකම්පනීය ඇහුම්කන් දීම යනු විවෘත මනසකින් අන්‍යයන්ට ඇහුම්කන්දීම හා භාවමය ප්‍රතිචාරීත්වය හේතුවෙන් සිත ආවරණය කර නොගැනීමයි. එය වූකලි අනෙක් පුද්ගලයාගේ අදහස් අපගේ අදහස්වලින් වෙනස් වන්නේ වුවද, ඔහු කෙරෙහි පවත්නා ගෞරවය හා අගය කිරීම තුළ පදනම් වූවකි. වරෙකට විනාඩි කිහිපයක් බැගින් අදහස් දැක්වීමකින් හෝ විනිශ්චයකින් තොරව අන්‍යයන් වෙත සවන් දීමට උත්සාහ කරන “ගැඹුරු ඇහුම්කන්දීමේ” අභ්‍යාසයන් තුළ සිදු කෙරෙන සහකම්පනීය ඇහුම්කන් දීම අපට පුහුණු කළ හැක. නොඑසේ නම්, අප එකඟ නොවිය හැකි දේ පවසන පුද්ගලයන් දෙස බලාසිටීම හෝ ඔවුනට සවන්දීම සිදුකොට ඉන්පසු එයට අප භාවමය වශයෙන් ප්‍රතිචාර දැක්වීමට පෙර ඔවුන්ගේ ප්‍රකාශයම නැවත ප්‍රකාශ කිරීම හෝ එම අදහස නැවත පැවසීම සිදුකළ හැක.

සහකම්පනීය සවන්දීම යනු මතුපිට මට්ටමේ අන්තර්ගතයට පමණක් නොව පුද්ගලයන් විසින් ප්‍රකාශ කරන දේහි අන්තර්ගතය වටහා ගැනීමේ සන්දර්භය සම්පාදනය කළ හැකි එහි පදනමෙහි පවත්නා අවශ්‍යතාවයන් හා අපේක්ෂාවන් කෙරෙහිද සවන් දෙන ඇහුම්කන් දීම විය යුතුය.

කුසලතා පූර්ණ සන්නිවේදනය

ඇහුම්කන් දීම යන්න ඉතා වැදගත් දෙයක් වුවද, අපටම හා අන්‍යයන්ටද කාරුණික, නිර්මාණශීලී හා බලගන්වන සුළු ආකාරයකින් අපට ප්‍රකාශ කිරීමට අවශ්‍ය දේ සන්නිවේදනය කිරීමටද අපට හැකිවිය යුතුය. “බලගන්වන සුළු සන්නිවේදනය” නමැති සංකල්පයෙන් හැඳින්වෙනුයේ අප උදෙසා පමණක් නොව හඬක් නොමැති අය වෙනුවෙන්ද ගෞරවාන්විතව හා හඬක් සහිතව කථා කිරීමේ හැකියාවයි. විවාදය යන්න බොහෝ බලසම්පන්න දෙයක්ද විය හැක. නිදසුනක් ලෙස, අපට අපගේ මිතුරන් සමගින් විවාද කරමින් අප සාමාන්‍යයෙන් එකඟ නොවන පැත්ත ගත හැක. මනුෂ්‍යයන් වශයෙන් අපගේ අදහස්වලට විරුද්ධව අදහස් දක්වන අයගේ අදහස් නීත්‍යනුකූල නොවන බව හෝ අමානුෂික බව හෝ පැවසීමේ නැඹුරුතාවයක් අප තුළ පවත්නා බැවින්, නිහතමානිත්වය, බුද්ධිමය කුතුහලය හා පොදු මානුෂිකත්වය පිළිබඳ හැඟීමක්ද වගා කිරීමට එවන් අභ්‍යාස උපකාරී විය හැක.

අන්‍යයන් වෙත උපකාර කිරීම

ඇහුම්කන් දීම හා සන්නිවේදනය මූලික වැදගත්කමකින් යුත් කරුණු වන නමුදු, අන්‍යයන් වෙත උපකාර කිරීමේ වෙනත් අප්‍රමාණ විධීන්ද පවතී. අන්‍යයන් වෙත උපකාර කිරීම නිරතුරුවම සෙසු අයගේ අවශ්‍යතාවනට සුදුසු විය යුතු අතර අපගේ හැකියාවට අනුපාතීද විය යුතුය. සමාජ සේවයේ සිට “අහඹු කාරුණික ක්‍රියා” සඳහා ස්වේච්ඡාවෙන් යොමුවීම දක්වා සිදුකරන කාර්යයට අදාළ පර්යේෂණ මගින් පෙන්වා දෙන පරිදි, උපකාර ලබාදීම හා උපකාර ලබාගැනීමද අපගේ යහපත සඳහා දායකත්වයක් සපයන බව පෙන්වා දෙනු ලබයි.

අන්‍යයන් වෙත උපකාර කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ සිතා බැලීමට කාලය ගත හැක: එය සිදුකළ යුත්තේ අපට එය දැනෙන ආකාරය, අප ඉන් ඉගෙන ගන්නා දේ, අපට එය ප්‍රවර්ධනය කළ හැකි ආකාරය හා අප විසින් උපකාර කිරීමට උත්සාහ කරන අය මත එමගින් ඇතිකරන බලපෑම කවරක්ද ආදී වශයෙනි. අවසානයේදී, මතුපිටින් පෙනෙන තත්ත්වයට වඩා සිය දිගු කාලීන යහපත සඳහා අන්‍යයන් හට සැබැවින්ම අවශ්‍ය විය හැක්කේ කවරාකාර උපකාරයක්ද යන්න විමසා බැලිය හැක.

ගැටුම් පරිවර්තනය

අපි අපගේ ජීවිත කාලය පුරාම අනිවාර්යයෙන් ගැටුම්වලට මුහුණ දෙන්නෙමු. ගැටුම යන්න අවශ්‍යයෙන්ම අයහපත් දෙයක් නොවේ; එනමුදු, අප හා අන්‍යයන් කෙරෙහිද ගැටුම් මෙහෙයවීමට ඉගෙනීම අත්‍යවශ්‍ය කුසලතාවයකි. ගැටුම් නිරාකරණය යනු දෙපාර්ශ්වයේම යහපත ප්‍රවර්ධනය කළ හැකි අවස්ථාවන් හා සම්බන්ධතාවයන් පරිවර්තනය කිරීමේ මාර්ගයෙහි එක් කොටසක් පමණි. මේ ස‍ඳහා, ගැටුම්වලට ධනාත්මක ලෙස ප්‍රතිචාර දක්වමින් සහයෝගය, සංහිඳියාව හා සාමකාමී සම්බන්ධතාවයන් සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමටද හැකිවිය යුතුය.

අභ්‍යන්තර සාමකාමිත්වය බාහිර සාමකාමිත්වයේ පදනම වශයෙන් ක්‍රියා කරයි. එමෙන්ම, අභ්‍යන්තර සංහිඳියාව මගින් බාහිර සංහිඳියාව ඇතිකළ හැක. අපගේ අභ්‍යන්තර ලෝකය සමගින් කටයුතු කිරීම මගින් සාර්ථක ගැටුම් පරිවර්තන හැකියාවන් උපරිම කරවයි. නිහතමානිත්වය, සහකම්පනය, කරුණාව, සමාව ලබාදීම, අපක්ෂපාතිත්වය හා අපගේ පොදු මානුෂිකත්වය හඳුනාගැනීම යන ගුණාංග වගාකර ගැනීමකින් තොරව, ගැටුම් පරිවර්තනය හා නිරාකරණය සිදුකළ නොහැකි හෝ අවම වශයෙන් දුෂ්කර කාර්යයක් වේ. මෙම කුසලතාවයන් පවත්නා තැන්හි, ගැටුම් නිරාකරණ කාර්යය අදාළ සියලු පාර්ශ්වයන් හට ගැඹුරු හා සත්‍ය වශයෙන්ම පරිවර්තනීය අත්දැකීමක් විය හැක.

සාරාංශය

මෙම ක්‍රියාවලියේ පළමු කොටස තුළ, අපවම වඩාත් හොඳින් අවබෝධ කරගනු පිණිස භාවමය සාක්ෂරතාවය ගොඩනගා ගන්නෙමු. මෙම දෙවන කොටසේදී, අපගේ පවුල, මිතුරන්, සගයන් හා හමුවන අමුත්තන්ද වශයෙන් වූ සෙසු අය සමගින් කටයුතු කිරීම සඳහා මෙම වැටහීම යොදාගන්නෙමු. සබඳතා කුසලතාවය වගාකර ගැනීම කාරුණිකත්ව හා කරුණා සහගත බව නමැති මූලධර්මයන් හා බැඳී පවතී. ඒවා ප්‍රමාණවත් ලෙස පුහුණු කළ කල්හි, සමාජ කුසලතා හුදෙක් ශිල්පක්‍රම සමූහයක් ලෙස පමණක් නොපවතී; ඒවා අන්‍යයන් ඇගයීමේ හා ඔවුන් පිළිබ‍ඳ සැලකිලිමත් වීමේ හැඟීමෙහි ස්වභාවික ප්‍රතිඵලයක් බවට පෙරළේ. අත්දකින සමාජ සන්දර්භයන් පුරා ධනාත්මක ක්‍රමෝපායන් යොදාගැනීම හා පුහුණු කිරීම සිදුකරන විටදී, අපගේ සම්බන්ධතා වඩාත් සහජීවනීය වනවා පමණක් නොව, අපි වඩාත් සතුටින් ජීවත්වන හා තෘප්තිමත් පුද්ගලයන් බවටද පත් වන්නෙමු.


වඩාත් ගැඹුරට කරුණු විමසා බැලීමට කැමැත්තේ නම් සමාජ, භාවමය හා ආචාර ධාර්මික ඉගෙනුම් රාමුවේ සම්පූර්ණ සංස්කරණය කියවා චින්තාපර විද්‍යා හා කරුණා පදනනම්ගත ආචාර ධර්ම මධ්‍යස්ථානයේ සෙසු වැඩසහන් පිළිබඳවද ඉගෙන ගන්න.

Top