සමාජ, භාවමය හා ආචාර ධාර්මික ඉගෙනුම: ලෝක පුරවැසියෙකු බවට පත්වීම

සමාජ, භාවමය හා ආචාර ධාර්මික ඉගෙනුම, එමරි විශ්වවිද්‍යාලය, සංක්ෂිප්ත රාමුව

සමාජ, භාවමය හා ආචාර ධාර්මික (SEE) ඉගෙනුම වූකලි එමරි විශ්වවිද්‍යාලයේ චින්තාපර විද්‍යා සහ කරුණා පදනම්ගත ආචාර ධර්ම මධ්‍යස්ථානය විසින් ගොඩනගන ලද වැඩසටහනකි. එහි අරමුණ වනුයේ භාවමය වශයෙන් සෞඛ්‍ය සම්පන්න සහ ආචාර ධාර්මිකව වගකීමෙන් බැඳී සිටින පුද්ගලයන්, සමාජ කණ්ඩායම් හා වඩාත් පුළුල් ජන ප්‍රජාවන් පෝෂණය කිරීමයි. සමාජ, භාවමය හා ආචාර ධාර්මික ඉගෙනුම: ලෝක පුරවැසියෙකු බවට පත්වීම නමැති මෙම තුන්වැනි හා අවසන් කොටස තුළ ලෝකය එකිනෙකා මත රඳා පවත්නා ආකාරය, සියලු මනුෂ්‍යයන් හට සතුටින් සිටීමේ පොදු පැතුමක් පවත්නා ආකාරය සහ ගෝලීය මට්ටමින් විපර්යාසයක් කරා දායකත්වයක් ලබාදීමට අපට හැකි ආකාරය පිළිබඳවද වැටහීමක් ලබා ගන්නෙමු.

අප ජීවත්වල ලෝකය වඩ වඩාත් සංකීර්ණ, ගෝලීය හා එකිනෙකා මත රඳා පවතින ස්වභාවයට පත් වෙමින් පවතී. වර්තමාන හා අනාගත පරම්පරාවනට මුහුණ දීමට සිදුවන අභියෝග ස්වභාවයෙන්ම පුළුල් හා ප්‍රබල එ්වා වේ. එ්වා සඳහා ලබාදිය යුතුවන විසඳුම් සඳහා සහයෝගී, විෂයාන්තර හා ලෝකය කෙරෙහි නැඹුරු වූ නව චින්තන හා ගැටලු විසඳුම් විධියක් අවශ්‍ය වේ. ලෝකය සමගින් කටයුතු කරනු පිණිස කරුණාව පමණක් ප්‍රමාණවත් නොවේ. අප ජීවත්වන වඩාත් පුළුල් කුමයන් වටහා ගැනීම මත පදනම් වූ වගකීමෙන් බැඳී සිටින තීරණ ගැනීමේ ක්‍රමයක් මගින් කරුණාව පරිපූරණය කළ යුතුවේ.

ලෝක පරාසය පළමුව සුවිශාල එකක් බව පෙනීයා හැකි නමුත්, එයද පුද්ගලික හා සමාජ පරාසයන් තුළ එන දැනුම හා කුසලතාවයන්ම යොදා ගනිමින් එ්වාම අපගේ ජන ප්‍රජාවන්, සමාජයන් හා ලෝක සමාජයද කෙරෙහි හුදෙක් ව්‍යාප්ත කරලීම පමණි මෙහිදී සිදුවනුයේ. මෙහි දර්ශකයන් වනුයේ අපට අපගේම චර්යාවන් හා සෙස්සන්ගේද චර්යාවන් වටහා ගැනීමට හැකි ආකාරයටම ක්‍රමයන් ක්‍රියාත්මකවන ආකාරය වටහා ගැනීමේ ධාරිතාවයද සහජ එකක් වේ. මෙම දැනුවත්භාවය වඩාත් ගැඹුරට විහිදුවමින් හා සංකීර්ණ අවස්ථාවනට තාර්කික චින්තනය යොදා ගනිමින්, ආචාර ධාර්මික කාර්ය නියුක්තිය ඉස්මතු කළ හැක. ගැටළු නිරාකරණය යන්න ගැටලු කුඩා, එකිනෙක සම්බන්ධ නොවන කැබලිවලට කැඩීමේ නැඹුරුව වළකාලමින් වඩාත් සියල්ලන් අන්තර්ගත ක්‍රියාවලියක් බවට පත්වේ.

ලෝක සන්දර්භය පහත මාතෘකා මගින් ගවේෂණය කරනු ලැබේ:

  • එකිනෙකා මත රඳා පැවැත්ම ඇගයීම
  • පොදු මානුෂිකත්වය හඳුනා ගැනීම
  • සමාජමය හා ලෝක මට්ටමේ කාර්ය නියුක්තිය, වශයෙනි.

එකිනෙකා මත රඳා පැවැත්ම ඇගයීම

එකිනෙකා මත රඳා පැවැත්ම යනු දේවල් හා සිදුවීම් සන්දර්භයක් රහිතව ඉස්මතු නොවන අතර එ්වාහි පැවැත්ම සඳහා අවශ්‍යවන සෙසු සිදුවීම් ගණනාවක් මත රඳා පවත්නේය යන සංකල්පයයි. අප ආහාරයට ගන්නා සරල ආහාර වේලක් නිදසුනට ගතහොත්, එහි අන්තර්ගත ද්‍රව්‍ය කාලයට හා ප්‍රදේශයට අනුව සලකා බැලුවහොත් පුළුල් පරාසයක විහිදෙන මූලාශ්‍ර හා පුද්ගලයන් තුළින් එ්වා පැමිණෙන බව පෙනේ. එක් ක්ෂේත්‍රයක සිදුවන වෙනස්කම් වෙනත් ප්‍රදේශයකද වෙනස්කම් සිදු කරන්නේය යන්නක්ද එකිනෙකා මත රඳා පැවැත්ම යන්න තුළ අදහස් කෙරේ. ඵලයනට හේතූන් ඇති අතර, සැබැවින්ම එ්වා විවිධාකාර වූ හේතු ප්‍රත්‍ය ගණනාවක් මගින් ඉස්මතු විය හැක.

එකිනෙකා මත රඳා පැවැත්ම පිළිබඳ සිතා බැලීමේ අරමුණ වනුයේ අපගේ ලෝක පද්ධතිය ක්‍රියාත්මකවන ආකාරය පිළිබඳ නීරස අවබෝධයක් ලැබීම පමණක් නොව එම දැනුම අප, සෙසු අය හා සමස්ත ලෝකයම සඳහා වූ අපගේ සැලකිලිමත්භාවයට යොදා ගැනීමයි. එකිනෙකා මත රඳා පැවැත්ම දෘෂ්ටි කෝණ දෙකකින් විමසා බැලිය හැක:

  • එකිනෙකා මත රඳා පවත්නාවූ පද්ධතීන් වටහා ගැනීම.
  • ක්‍රම තුළ සිටින පුද්ගල සන්දර්භය

එකිනෙකා මත රඳා පවත්නා පද්ධතීන් වටහා ගැනීම යන්නෙන් වඩාත් පුළුල් ක්‍රම සම්බන්ධ "අභ්‍යන්තර" හා "සෙසු" පාර්ශ්වයන්ගෙන් "බාහිර" පාර්ශ්වයන් වෙත චලනය අදහස් කෙරේ. හේතුඵල වැනි එකිනෙකා මත රඳා පැවැත්ම හා ලෝක පද්ධති පිළිබඳ මූලධර්ම වටහා ගැනීම සඳහා අපගේ දැනුවත්භාවය යොමු කරන්නෙමු. ක්‍රම තුළ සිටින පුද්ගල සන්දර්භය තුළ, අප විසින් අප වටා සිටින සෙස්සන්ගේ මෙන්ම අපගේද පැවැත්ම සුවිශාල සිදුවීම්, හේතු හා ලොව වටා සිටින පුද්ගලයන් සමූහයක් හා සංකීර්ණ ලෙස බද්ධවන බව හඳුනා ගන්නෙමු.

එකිනෙක මත රඳා පවත්නා ක්‍රම වටහා ගැනීම

එකිනෙකා මත රඳා පැවැත්ම ස්වභාව ධර්මයේ නීතියක් මෙන්ම මනුෂ්‍ය ජීවිතයේ මූලික යථාර්ථයක්ද වේ. අධ්‍යාපනය, නීතිය ක්‍රියාත්මක කිරීම, රාජ්‍ය පාලනය,  කෘෂිකර්මය, ප්‍රවාහනය, සෞඛ්‍යාරක්ෂාව වැනි කාර්යයනට වගකීමෙන් බැඳී සිටින අප්‍රමාණ ආයතන සංඛ්‍යාවක සහායක යටිතල පහසුකම්ද සමගින් ආහාර, ජලය සහ නිවාස වැනි මූලික අවශ්‍යතා සපයා දීම සඳහා කටයුතු කරන අප්‍රමාණ සංඛ්‍යාවක් වූ සෙසු අයගේද සහායෙන් තොරව ජීවිතයේ සාර්ථකත්වයක් ලබාගැනීම තබා දිවි රැකගැනීම පවා කිසිවෙකුට හෝ සිදුකළ නොහැක. 2007-2009 ජාත්‍යන්තර ආර්ථික අවපාතය හා කාලගුණික විපර්යාස හා දරුණු ලෝක ගැටුම් පිළිබඳව වර්ධනය වෙමින් පවත්නා සැලකිල්ල වැනි ප්‍රධාන පෙළේ හා බොහෝ සෙයින් ජනගතව ඇති අර්බුද මගින් පෙන්නුම් කරනුයේ ලෝක මට්ටමින් පවත්නා මෙයාකාරයේ ආර්ථික හා පාරිසරික අන්තර් රඳා පැවැත්මකි.

ගතානුගතික සමාජයන් තුළ අන්‍යයන් සමගින් වූ සම්බන්ධතා පිළිබඳ හැඟීම එදිනෙදා ජීවිතය තුළට වඩාත් ගැඹුරින් කාවැදී තිබිණි. නිරන්තරයෙන්ම දිවි රැකගැනීම යන්න සම්පත් හුවමාරු කරගැනීම හා හවුලේ පරිහරණය සහ භෝග වගාවේ සිට ගොඩනැගිලි ඉදිකිරීම සහ කොල්ලකාරී සතුන් පළවා හැරීම දක්වාද වූ සෙසු සමාජ සම්බන්ධතා වර්ගයන් මත රඳා පැවතිණි. කාර්මික විප්ලවයේ පටන්, ආර්ථික තත්ත්වය ප්‍රවර්ධනය කරගැනීමේ අභිලාෂයෙන් අපි වඩ වඩාත් ජංගම සත්ත්වයන් බවටද, සමාජයෙන් අසම්බන්ධිත වූවන් බවටද පත්ව සිටිමු. වැඩිහිටි වියට පත්වීමෙන් අනතුරුව අපට තවදුරටත් අන්‍යයන් අවශ්‍ය නොවන්නේය යන කරුණ විශ්වාස කිරීම වඩාත් පහසු කරමින් ස්වාධීනත්ව මායාවක් මෙමගින් ඉස්මතු කර ඇත. ස්වයංපෝෂිත තත්ත්වය පිළිබඳ වූ මෙම සාවද්‍ය හැඟීම වඩාත් වර්ධනය වන්නාවූ මානසික හා සමාජ හුදෙකලා හැඟීමක් ඇතිකිරීමට දායක වේ. අපි සිය දිවි පැවැත්ම මෙන්ම මානසික සුවසෙතද අන්‍යයන් සමගින් පවත්නා සම්බන්ධතාවය මත රඳා පවත්නාවූ තියුණු ලෙසම සමාජ සත්ත්වයන් වර්ගයක් වෙමු.

ක්‍රම සන්දර්භය තුළ පුද්ගලයෝ

එකිනෙක මත රඳා පවත්නා ක්‍රම පිළිබඳ අපගේ අවබෝධය වඩාත් අර්ථවත් එකක් බවට පත්කරනු පිණිස, අප සියලු දෙනා වඩාත් පුළුල් දෘෂ්ටි කෝණයට ගැලපෙන ආකාරය විමසා බැලීමෙන් එය පරිපූරණය කළ යුතු වේ. සාවද්‍ය ලෙස අප අන්‍යයන් හා සම්බන්ධ නොවන හෝ යම්කිසි ආකාරයකින් වඩා විශාල පද්ධතියෙන් ස්වාධීන වූ පිරිසක් වශයෙන් දැකීමේ නැඹුරුව ප්‍රතිරෝධනයට මෙය උපකාරී වේ. මෙහිදී අපි සෙසු මනුෂ්‍යයන් සමගින් අප තුළ පවත්නා සම්බන්ධතාවයද, මෙම සම්බන්ධතාවයන්ගේ සංකීර්ණත්වයද විමසා බලන්නෙමු. මෙහි ප්‍රතිඵල ත්‍රිවිධාකාර වේ:

  • ක්‍රමික මට්ටමකින් සෙසු අය කෙරෙහි වූ කෘතඥතා පූර්වක නිර්ව්‍යාජ හැඟීමක්
  • අන්‍යයන්ගේ ජීවිත හැඩගැස්වීම සඳහා අපතුළ පවත්නා විභවය පිළිබඳ වඩා ගැඹුරු දැනුවත්භාවයක්
  • වඩාත් පුළුල් යහපතක් සහතික කරන්නාවූ ක්‍රියාවන් සිදු කිරීම සඳහා වැඩෙන අපේක්ෂාවක්, වශයෙනි.

අපගේ ජීවිත අන්‍යයන්ට බලපාන ආකාරය හා එහි ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයද විමසමින් කාර්යය ආරම්භ කරන්නෙමු. ඉන්පසු අපගේ යහපත උදෙසා අන්‍යයන් දායකවන විවිධ ආකාරයන් විමසා බලන්නෙමු. ලැයිස්තුවක් සාදා ගනිමින් නැවත නැවතද එය කියවා බැලීමෙන් මෙම කාර්යය සිදුකළ හැක. හුදෙක් සමාජ පරාසය තුළ සිටින බව අප දන්නා පුද්ගලයන් කෙරෙහි අවධානය යොමුකිරීමට වඩා මෙහිදී වඩාත් පුළුල් පරාසයක් ඇතුළු කරන්නෙමු: අප පෞද්ගලිකව නොදන්නවා විය හැකි පුද්ගලයන්, ජන ප්‍රජාවන්, හා පද්ධතීන් වශයෙනි. නොගිණිය හැකි සංඛ්‍යාවක් වූ පුද්ගලයන්ගේ සහායෙන් තොරව දිවි රැකගැනීම තබා පෝෂණය ලබාගැනීම පවා කළ නොහැකි බව වටහා ගැනීම මේ අනුව අන්‍යයන් පිළිබඳ නිර්ව්‍යාජ ඇගයීමක් ගොඩනගා ගැනීම පිණිස අත්‍යවශ්‍ය වේ.

අපගේ ජීවිතවලට ආධාරකව සිටින සුවිශාල ජන ජාලය තුළ සියලු දෙනා විසින් යම් කාර්ය භාරයක් ඉටු කරනු ලබයි. මෙකරුණ අවබෝධ කරගන්නා විටදී, ප්‍රතිචාර දැක්වීමේ හැඟීමක් ගොඩනගා ගන්නෙමු. බොහෝ විට යම් ආකාරයක ප්‍රයෝජනයක් අප වෙත සැලසෙන්නේය යන කරුණ පිළිගැනීමට පෙර මෙහිදී අන්‍යයන් අපට ප්‍රයෝජන සලසන ආකාරය නිවැරදිවම දැකීමේ අවශ්‍යතාවයක් අපට තවදුරටත් නොමැත. මෙම දැනුවත්භාවය වර්ධනය වන්නට වන්නට, පටු ලෙස තමා කෙරෙහි අවධානය යොමුවූ හෝ තරගකාරී අදහස ඉක්මවා එකිනෙකාට ප්‍රතිචාරී, අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජන සලසන්නාවූ සම්බන්ධතා ස්වභාවය ක්‍රමිකව ප්‍රමුඛතාගත වේ. අන්‍යයන් සමගින් සම්බන්ධව සිටින්නේය යන මෙකී වර්ධිත හැඟීම මෙත් සිත ඇතිකර ගැනීමේ අපගේ හැකියාව වර්ධනය කරමින් හුදෙකලාබවට එරෙහිව සෘජුවම ක්‍රියාත්මක වේ. එමගින් සෙස්සන්ගේ සාර්ථකත්වය දැක වක්‍ර සතුටක් විඳීමේ හැකියාවක් ඇති කරන අතර මාත්සර්යය හා ඊර්ෂ්‍යාවට මෙන්ම රළු ස්වයං විවේචන හෝ අතාත්වික ලෙස අන්‍යයන් සමගින් තමා සන්සන්දනය කිරීමේ ස්වභාවයටද එරෙහි විෂබීජ නාශක ඔසුවක් ලබාදෙනු ලබයි.

පොදු මානුෂිකත්වය හඳුනා ගැනීම

විශේෂයෙන් සහානුකම්පීය සැලකිලිමත්භාවය තුළ වගා කෙරෙන කුසලතාවයන් සමගින් සම්බන්ධවන කල්හි එකිනෙකා මත රඳා පැවැත්ම පිළිබඳ වඩාත් පොහොසත් වැටහීමක් මගින් අන්‍යයන් කෙරෙහි සැලකිලිමත් විය යුතු බවට වඩාත් විශාල හැඟීමක්ද අප සියලු දෙනා එකිනෙකා සමගින් බැඳී සිටින ආකාරයන් පිළිබඳ හඳුනා ගැනීමක්ද ඇතිකරනු ලබයි. පැහැදිලිව පොදු මානුෂිකත්වය පිළිබඳ හඳුනා ගැනීමක් වගා කරගැනීම මගින් මෙකරුණ ඉනික්බිති තවදුරටත් ශක්තිමත් කරමින්, ව්‍යාප්ත කරවමින් බල ගැන්විය හැක. මෙහිදී මූලික මට්ටමකදී සියලු මනුෂ්‍යයෝ ඔවුන්ගේ අභ්‍යන්තර ජීවිත හා ජීවිත තත්ත්වයනට සම්බන්ධව යම් පොදු ලක්ෂණ සහිත වූවන් වන ආකාරය හඳුනා ගැනීම සඳහා වූ විවේචනාත්මක චින්තනයක යෙදෙමු. මෙයාකාරයෙන් අප හට අපට බොහෝ දුරින් සිටින හා අපට වඩා බොහෝ සෙයින් වෙනස් බවටද පෙනෙන අය දක්වාද විහිදෙන පරිදි ඕනෑම ප්‍රදේශයක සිටින ඕනෑම පුද්ගලයෙකු කෙරෙහි යම් මට්ටමක ඇගයීමක්, සහකම්පනයක් හා කරුණාවක් අපට වගාකරගත හැක. මාතෘකා දෙකක් මගින් අපගේ පොදු මානුෂිකත්වය විමසා බලමු:

  • සියලු දෙනාගේ මූලික සමානත්වය ඇගයීම
  • සුවසෙතතට පද්ධතීන් මගින් සිදුකරන බලපෑම ඇගයීම

සියලු දෙනාගේ මූලික සමානාත්මතාවය ඇගයීම යනු අපගේ මිතුරන් හා පවුලේ සාමාජිකයන්ගේ සිට පෘථිවියේ අනෙක් පස වාසය කරන්නාවූ අමුත්තන් දක්වා විහිදෙන සියලු දෙනා සතුට හා සුවසෙත පතන්නේය යන කරුණ තුළ හා දුකින් මිදීම සඳහා වූ පැතුම තුළ මූලික වශයෙන් සමානයන්ය යන්න අවබෝධ කරගැනීමයි. සුවසෙතට පද්ධතීන් මගින් සිදුකරන බලපෑම ඇගයීම යනු ධනාත්මක වටිනාකම් පෝෂණය හෝ ගැටලුකාරී විශ්වාසයන් ව්‍යාප්ත කරලීම මගින් ලෝක පද්ධතීන් හට මානව සුවසෙත ප්‍රවර්ධනය හෝ බිඳ හෙළීම සිදුකළ හැක්කේය යන කරුණ හඳුනා ගැනීමයි.

සියලු දෙනාගේ පවත්නා මූලික සමානත්වය ඇගයීම

මනුෂ්‍යත්වයේ මූලික සමානත්වය පිළිබඳ අවබෝධය අපගේ ආසන්න ජන ප්‍රජාවෙන් බාහිරව වාසය කරන අය කෙරෙහිද ව්‍යාප්ත කරන්නෙමු. අවසන, සමස්ත ලෝකය පුරා ව්‍යාප්ත කරලීම පිණිස මෙම අවබෝධය ඉදිරියට ගන්නෙමු. සාර්ථකත්වයට පත්වීමේ පැතුම හා පීඩාව සහ අතෘප්තිය වළකාලීමේ කැමැත්ත ඈ ලෙස මනුෂ්‍යයන් වශයෙන් පොදුවේ අපතුළ පවත්නා හැඟීම් කෙරෙහි අවධානය යොමු කරමින් මෙය සිදු කරමු. පක්ෂපාතිත්වයන් හා සෙස්සන්ගේ අවශ්‍යතාවයන් ලඝු කොට සැළකීමේ අපගේ නැඹුරුතාවයන්ද අවම කිරීමට මෙය උපකාරී වේ.

මෙයාකාරයෙන් අන්‍යයන්ද අපට සමානයන් බව හඳුනා ගැනීම තුළ අපගේ "ඇතුළත කණ්ඩායම" විවිධ ජාතීන්ට, ජන වර්ගයන්ට, ආගම්වලට ආදී වශයෙන් විවිධත්වයනට අයත් පුද්ගලයන් ඇතුළත් වන පරිදි ව්‍යාප්ත කළ හැක. රුධිරය දන්දෙන පුද්ගලයෙකුගේ, ස්වභාවික විපතකින් අනතුරුව පුණ්‍යාධාර ලබාදෙන පුද්ගලයන්ගේ, තමා අයත් නොවන කණ්ඩායමකට සිදුවන අසාධාරණයන්ට එරෙහිව විරෝධය පෑමේ අවස්ථාවන් දක්වා සමාජය පුරා විවිධාකාරයෙන් මෙම හැකියාව ප්‍රකට වේ. එකිනෙකා මත රඳා පැවැත්ම අගය කිරීමේ හා සෙස්සන් කෙරෙහි සහකම්පනීය සැලකිල්ලක් පවත්වාගෙන යාම යන කුසලතාවයන් පක්ෂපාතිත්වය, දුරස්ථභාවය නමැති හැඟීම, අපගේ ආසන්නතම පිරිසට බාහිරින් සිටින අයගේ ගැටලුවලට එතරම් සැලකිල්ලක් නොදැක්වීම වැනි අන්‍යයන් හා සම්බන්ධ වීමට අපට පැවතිය හැකි බොහෝ බාධාවනට විෂබීජ නාශක ලෙස ක්‍රියා කරයි.

අපි අප පිළිබඳවම අවධානය යොමු කරගෙන සිටින විටදී ලෝකය කුඩා එකක් බවත් අපගේ ගැටලු හා අප ගැලී සිටින කල්පනාවන් විශාල එ්වා බව පෙනේ. එනමුත් අන්‍යයන් පිළිබඳ අවධානය යොමු කරන විටදී, ලෝකය පුළුල් වේ. අපගේ ගැටලු සිතේ කොණකට ගමන් කරන අතර සුළු එ්වා සේ පෙනේ. අන්‍යයන් සමග සම්බන්ධ වීම හා කාරුණික ක්‍රියාවන් සිදුකිරීම සඳහා අප තුළ පවත්නා හැකියාව වර්ධනය කරමු.

පද්ධතීන් අපගේ සුවසෙතට බලපාන්නාවූ ආකාරය ඇගයීම

ධනාත්මක වටිනාකම් ප්‍රවර්ධනය කරමින් හෝ ගැටලුකාරී ඇදහිලි හෝ අසමානතාවයන් පවත්වාගෙන යාමෙන් සංස්කෘතික හා ව්‍යුහාත්මක මට්ටමිවලින් පද්ධතීන්වලට හෙවත් සමාජ ක්‍රමයනට සුවසෙත යන්න ප්‍රවර්ධනය හෝ බිඳ හෙළීම හෝ සිදුකළ හැක. අප අසමානතාවය, අගතිය, පක්ෂපාතිත්වය හෝ ඥාති සංග්‍රහය යන කරුණුවලට යටත්ව සිටී නම් එවන් අවස්ථාවල අපට එය දැනෙන ආකාරය පිළිබඳ යම් කාලයක් ගෙන සිතා බැලිය හැක. එවන් ගැටලුකාරී සමාජ ක්‍රමයන් මගින් ඇතිකරන ප්‍රතිඵල නිරූපණය පිණිස ඉතිහාසයෙන් හා වර්තමාන කටයුතුවලින් උදාහරණද යොදාගත හැක. අවසන, අගතිය හා පක්ෂපාතිත්වය යන කරුණු කිසිදා සැබෑ ලෙස සාධාරණීකරණය කොට ඇත්තේද හෝ සියලු මනුෂ්‍යයන් හට සතුට සොයා යාමේ සමාන හිමිකමක් පවත්නේද යන කරුණු විමසා බැලිය හැක.

මනුෂ්‍යයන් වශයෙන් සහකම්පනීය වීම සඳහා අපතුළ පවත්නා සහජ හැකියාව තුළ ස්වයංක්‍රීයවම මහා පරිමාණ දුකක් හෝ ලෝක මට්ටමේ ගැටලු අන්තර්ගතවන බවක් නොපෙනෙන බැවින් පුළුල් පරාසයක විහිදෙන සහකම්පනයක් වගා දිගාකර ගැනීම තීරණාත්මක වැදගත්කමකින් යුක්ත කරුණකි. නිදසුනක් ලෙස, විශාල වින්දිතයන් සංඛ්‍යාවක් අතරින් එක් වින්දිතයෙකු ගෙන ඔහු කෙරෙහි සහකම්පනීය වීමේ දැඩි නැඹුරුවක් අප බොහෝ දෙනෙකු තුළ ඇත. කෙසේ වුවද, ව්‍යුහාත්මක හා සංස්කෘතික ගැටලු පිළිබඳ ඉගෙනීම මගින්, දුක පිළිබඳ අපගේ ඇගයීම හා අන්තර් ඥානය මෙන්ම දුක කෙරෙහි වූ අපගේ ප්‍රතිචාරයෙහි සංකීර්ණත්වයද වර්ධනය වනු ඇත.

පොදු මනුෂ්‍ය වර්ගයා හඳුනා ගැනීම තුළින්, අන්‍යයන් කෙරෙහි වඩාත් යථාර්ථවාදී වැටහීමක් හා අපේක්ෂාවන්ද පවත්වා ගනිමින් ජන වාර්ගික හා සමාජ කණ්ඩායම් හරහා සන්නිවේදනය හා සහයෝගිතාවය පවත්වාගෙන යාමට උගත හැක. අන්‍යයන් සමගින් අප තුළ පවත්නා පොදු ලක්ෂණ පිළිබඳ වඩාත් හොඳින් දැනුවත් වෙමින්, පැහැදිලි වෙනස්කම් අවිශ්වාස කරනු වෙනුවට එ්වා ඇගයීමට අපට හැකිවේ. මෙමගින් අගතිය හා හුදෙකලාව අවම කෙරේ. සමාජ ක්‍රමයන් මගින් පුද්ගලයන්ගේ සුවසෙත හැඩ කෙරෙන ආකාරය වටහා ගැනීම මගින් , මනුෂ්‍යයාගේ දුක සම්බන්ධයෙන් අප තුළ පැවතිය හැකි විසඳුම් පිළිබඳ විවේචනාත්මකව සිතීමේ හැකියාව මෙන්ම අපගේ සහකම්පනයද වඩාත් ගැඹුරු හා වැඩි පිරිසක් අන්තර්ගත එකක් බවට පත්වනු ඇත.

සමාජ හා ලෝක මට්ටමේ කාර්ය නියුක්තිය

එකිනෙකා මත රඳා පැවැත්ම අගය කිරීම, අප අන්‍යයන් වෙතින් ප්‍රයෝජන ලබන ආකාරය හා අනුගත වීම හා අපගේ පොදු මානුෂිකත්වය හඳුනා ගැනීම මගින් යම් වගකීම් සහගත හැඟීමක් හා ක්‍රියාත්මක වීමේ කැමැත්තක්ද ඇතිකළ හැක. එ් අනුව, සමාජයෙන් ලබන බොහෝ කාරුණිකත්වයනට කෘතගුණ සැලකීමට කැමති වෙමින් ජීවන අරගලයන්හි නිරතවන හා අවශ්‍යතා සහිත අය වෙනුවෙන් ක්‍රියාත්මක වීමේ ස්වභාවික කැමැත්තක් ඇතිවනු ඇත. එනමුත්, සංකීර්ණ සමාජ ක්‍රමයන් තුළ හෝ ජන වාර්ගික හෝ ලෝක මට්ටමකින් ඵලදායී ලෙස කාර්ය නියුක්ත විය හැක්කේ කෙසේද?

සමාජ, භාවමය හා ආචාර ධාර්මික ඉගෙනුමෙහි සම්පූර්ණ අරමුණ වනුයේ කාරුණික ලෝක පුරවැසියන් වශයෙන් අපගේ විභවය හඳුනාගෙන අවබෝධ කරගැනීම සඳහා අපව බලගන්වා ගැනීමයි. මෙය සාක්ෂාත් කරගනු පිණිස ගවේෂණය කළයුතු පියවර දෙකකි:

  • සමාජය හා ලෝකය තුළ ධනාත්මක වෙනසක් සිදුකිරීම සඳහා අප තුළ පවත්නා විභවය
  • සමාජ හා ගෝලීය විසඳුම් ක්‍රියාවල නිරත වීම

මෙම කරුණු දෙක සමාන වුවද, පළමුවැන්න මගින් අපගේ හැකියාවන් සහ අවස්ථාවන් මත පදනම්ව ධනාත්මක වෙනසක් සිදු කිරීම සඳහා අපට පෞද්ගලිකව සිදුකළ හැකි දේ හඳුනා ගැනීමට අපට උපකාර කරනු ලබයි. දෙවැන්න විසින් අපගේ සමාජයට හා ලෝකයට බලපාන්නාවූ ගැටලුවලට නිර්මාණාත්මක විසඳුම් සොයා බැලීම සඳහා අපට උපකාර කරනු ලබයි.

සමාජය හා ලෝකය තුළ ධනාත්මක වෙනසක් සිදුකිරීම සඳහා අප තුළ පවත්නා විභවය

සමාජ හෝ ලෝක මට්ටමින් කටයුතු කරමින් අපට හා අන්‍යයන්ටද ප්‍රයෝජන සැලසෙන අයුරින් එයට අදාළ අවශ්‍යතාවයන් සපුරාලන්නට යන්නේ නම්, හා එය කළකිරීමට යටත්ව පසු නොබසින හා යථාර්ථවාදී හා ඵලදායී ලෙසද සිදු කරන්නට යන්නේ නම්, අප විසින් අපගේ සීමා සහිතකම් හා අපගේ හැකියාවන් යන දෙඅංශයම හඳුනාගත යුතුය. සියලු කරුණු අපට වහා විසඳිය නොහැකි බවත් ගැඹුරින් මුල් බැසගත් ගැටලුකාරී තත්ත්වයන් වෙනස් කිරීමට කාලයක් ගතවන බවත් විමසා බැලීම වැදගත්ය. එමගින් අපට ඵලදායී කාර්යයක නියුක්ත විය නොහැකි බවක් අදහස් නොවේ. සැබැවින්ම, දුෂ්කර ගැටලුවලට මුහුණ දෙන විටදී තමා බල රහිත බවක් හැඟේ නම්, එවිට අන්‍යයන් කෙරෙහි කරුණාව මෙන්ම තමා කෙරෙහිද කරුණාව ගොඩනගා ගැනීම වඩාත් දුෂ්කර වනු ඇත. මක් නිසාද,  දුකින් නිදහස් කිරීමේ පැතුම හෝ අපේක්ෂාව නම් වූ කරුණාව දුක සමනය කළ හැක්කක්ය යන විශ්වාසය නම් වූ බලාපොරොත්තුව මත රඳා පවත්නා බැවිනි.

අපට සම්පූර්ණ සමාජ ක්‍රමයක වෙනසක් සිදු කිරීමට නොහැකි විය හැකි නමුදු, යම් සමාජ ක්‍රමයක් තුළ පවත්නා ප්‍රධාන මූලිකාංග කෙරෙහි අවධානය යොමු කරමින් වෙනස උපරිම කෙරෙන ආකාරයට කටයුතු කළ හැක. මෙමගින් ලෝක මට්ටමේ හෝ සමාජ ක්‍රම මට්ටමේ ගැටලුවල පරිමාණයට බිය වීමකින් හෝ ඉන් යටවීමකින් තොරව තමා බලගැන්වී ඇතැයි යන හැඟීමක් ලබාදිය හැක. සමාජ ක්‍රමයක පවත්නා බොහෝ ඵලයන් ඇතිකරන ප්‍රධාන සාධක කිහිපයක් හඳුනා ගන්නේ නම්, එම සාධක ආමන්ත්‍රණය කරමින් වැදගත් හා සැලකිය යුතු ප්‍රතිඵල සාක්ෂාත් කරගත හැක. මහා පරිමාණ වෙනස්කම් වහා ඇතිකළ හැකි නොවුණද, අපට සිදුකළ හැකි කුඩා පරිමාණ වෙනස්කම් පවා බොහෝ සෙයින් වටිනා වෙනස්කම්ය යන කරුණ පිළිබඳ සිතීමද වැදගත්ය. මේ මොහොතේ සිදුවන සුළු පරිමාණ වෙනස්කම් පසු කාලීනව මහා පරිමාණ වෙනස්කම් දක්වා වර්ධනය විය හැක. බිම් පුරවන බඳුනකින් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය වෙන්කර ගැනීම වැනි එක් එක් කුඩා ක්‍රියාවක් සිදු කිරීම මගින් සමුච්චිත සුවිශාල වෙනස්කම් සිදුකළ හැකිය. එකිනෙක මත රඳා පවත්නා සමාජ ක්‍රමයන් පිළිබඳ ප්‍රමාණවත් වැටහීමක් මගින්, අපට සෘජුවම ප්‍රතිඵලය දැකගත නොහැකි වුවද, වඩා කුඩා පරිමාණයේ ක්‍රියාවන් හා චර්යාවන් මතු අනාගතයේ මහා පරිමාණ බලපෑම් ඇති කරවීමේ පදනම සකස් කරන බවට වූ විශ්වාසය ඇතිකර ගන්නෙමු.

විශ්ලේෂණය කරමින් කාර්ය නියුක්ත වීමට හැකිවන පරිදි සංකීර්ණ සමාජ හා ලෝක මට්ටමේ ගැටලු වඩා කුඩා කැබලිවලට කඩාගත යුතුවේ. ගැටලුවල වඩා කුඩා සංගටකවලට අපගේ ක්‍රියාවන් තුළින් පිළිතුරු ලැබෙන ආකාරය හා මෙම සංගටක එකිනෙක රඳා පවත්නා ආකාරයට වඩාත් පුළුල් සමාජ පද්ධතීන්වලට සම්බන්ධවන ආකාරය දකින කල අප තුළ විශ්වාසයක්ද, තමා සමාජ පරිවර්තනයේ නියෝජිතයෙකුය හා බලවත් පුද්ගලයෙකුය යන හැඟීමක්ද ඇතිවේ. මේ සඳහා විවේචනාත්මක චින්තන කුසලතාවයන් පැවතිය යුතුවේ. මෙහිලා විවේචනාත්මක චින්තනය තුළට මූලික මානුෂික වටිනාකම් මගින් තොරතුරු සැපයෙන ආකාරයකින් සංකීර්ණ ගැටලු හරහා සිතීමේ පුහුණුව අන්තර්ගත වේ. කරනු ලබන කාර්යයන් අවශ්‍යයෙන්ම අන් අය විසින් ප්‍රයෝජනවත් එ්වා ලෙස සලකන බවට සහතිකයක් මෙමගින් නොසැපයුණද, ධනාත්මක ප්‍රතිඵලයක් ලබාගත හැක්කේය යන හැකියාව විවේචනාත්මක චින්තනය මගින් වර්ධනය කරනු ලබයි.

සමාජ හා ලෝක මට්ටමේ විසඳුම් ලබාදීමේ කාර්යයෙහ නියැළීම

විසඳුම් සාක්ෂාත් කරගැනීම අපගේ බල සීමාව තුළ නොමැති විය හැකි වුවද, ගැටලු හා එ්වාට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ සිතිය හැක. අප විසින් මුහුණ දෙන ගැටලු විමසා බලනු පිණිස පහත සඳහන් රාමුව යොදාගත හැක:

  • සමාජ ක්‍රම හා එ්වාහි සංකීර්ණත්වය හඳුනා ගැනීම
  • ක්‍රියාවන්හි කෙටි හා දිගු කාලීන ප්‍රතිවිපාක තක්සේරු කිරීම
  • මූලික මනුෂ්‍ය වටිනාකම් සන්දර්භය තුළ අවස්ථාවන් තක්සේරු කිරීම
  • සෘණාත්මක භාවයන්ගේ හා පක්ෂපාතිවයේ බලපෑම අවම කිරීම
  • විවෘත මනසකින් යුත්, සමායෝජිත හා බුද්ධිමය වශයෙන් නිහතමානී ආකල්පයක් වගාකර ගැනීම
  • නිශ්චිත ක්‍රියා මාර්ගයක පවත්නා යහපත් හා අයහපත් ගුණ සලකා බැලීම.

නිරන්තරයෙන්ම පාහේ කෙටි හා දිගු කාලීන ප්‍රතිවිපාක පිළිබඳ තක්සේරුවකින් තොරව ක්‍රියාවන් සිදු කරනු ලැබේ. යම් ගැටලුවක් විමසා බැලීමේදී, යම් ක්‍රියා මාර්ගයක් මගින් බලපෑමට ලක්වනු ඇත්තාවූ විවිධ ජන කොටස් පිළිබඳවද සිතීමට සිදුවේ. මෙම ක්‍රියාවලිය අනුගමනය කරමින් එයට හුරු වුවහොත්, ක්‍රියාවල පුළුල් ප්‍රතිවිපාකයන් පිළිබඳව හා ගැටලුවෙන් බොහෝ දුරස්ථව සිටින බවක් බැලූ බැල්මට පෙනෙන පුද්ගලයනටද එහි බලපෑම ඇතිවන ආකාරයද සිතා බැලීමට අප ස්වභාවිකවම යොමුවනු ඇත. ගැටලු මූලික මනුෂ්‍ය වටිනාකම්වලට අදාළවන ආකාරය හා විසඳුම් තුළින් පුද්ගල, සමාජ හා ලෝක මට්ටමේ ප්‍රගමණයක් ප්‍රවර්ධනය කරන ආකාරයද විමසා බැලිය යුතුවේ.

අන්‍යයන් සමගින් සහයෝගයෙන් කටයුතු කිරීමට හා අන්‍යයන්ගේ දෘෂ්ටි කෝණ, අදහස්, දැනුම හා අත්දැකීම් තුළින් ඉගෙනීමට කැමැත්තක් දක්වන විවෘත මනසකින් යුත් ආකල්පයක් පවත්නේ නම් ජන සමාජ හා ලෝක මට්ටමේ කාර්ය නියුක්තියට එමගින් සුවිශාල සහායක් ලැබේ. අන්‍යයන් විසින් ගනු ලබන ස්ථාවරයන් අපගේ ස්ථාවරයනට වෙනස් වුවද, ඔවුන් විසින් සිය විචාරයන් හා අත්දැකීම් තමා දරන ස්ථාවරය ශක්තිමත් කරනු පිණිස යොදාගන්නේය යන කරුණ සලකා බලන විටදී පමණි සෞඛ්‍ය සම්පන්න විවාදයක් සිදුකළ හැක්කේ. බුද්ධිමය නිහතමානිත්වයකින් හා විවෘත මනසකින් තොරව විවාද කිරීම හා අන්‍යෝන්‍ය සම්මුතියකට එළැඹීම සිදුකළ නොහැක්කක් වන අතර එවන් සංවාද ඵල රහිත ගැටුම් හා බල අරගල දක්වා පසුබැසිය හැක.

අන්‍යයන් සමගින් එක්ව කටයුතු කිරීමකින් තොරව අපට විසඳිය හැකි බරපතල ගැටලු පවත්නේ කිහිපයක් පමණක් වන අතර, එම කාර්යය සඳහා අපගේ අදහස් හා වටිනාකම් පැහැදිලිව සන්නිවේදනය කිරීමේ හැකියාවක් අවශ්‍ය වේ. එබැවින් අපගේ ස්ථාවරය ප්‍රකාශ කිරීමේ, ප්‍රශ්න ඇසීමේ, අන්‍යයන් වෙතින් ඉගෙනීමේ හා ධනාත්මක අයුරින් විවාදයන්හි නියැළීමේ හැකියාව මගින් සමාජ හා ලෝක මට්ටමේ කාර්ය නියුක්තියට ඉමහත් පිටිවහලක් ලැබේ. අපගේ විවේචනාත්මක චින්තනය හා ගැඹුරින් ස්ථාපිත වටිනාකම් පදනම්කොට පැහැදිලිව සන්නිවේදනය කිරීමේ හැකියාව සහ හඬක් නොමැති අය වෙනුවෙන් පවා බල ගන්වන සුළු හා ආභාසය ලබාදෙන සුළු ආකාරයකින් කථා කිරීමට හැකිවීම වූකලි ලෝක පුරවැසියන් හා පරිවර්තනීය කාර්යයක නියැළි නායකයන් වශයෙන් අප සියලු දෙනා වෙත පැවතිය යුතුවන ප්‍රබල කුසලතාවයකි.

සාරාංශය

පළමු කොටස් දෙක තුළ අපගේ භාවයන් මෙහෙයවමින් අපගේ පවුල, මිතුරන් හා සගයන් සමගින් සහජීවනයෙන් කටයුතු කිරීමට උගත්තෙමු. මෙම තෙවන හා අවසන් කොටස තුළ, ලෝකය එකිනෙකා මත රඳා පවත්නා ආකාරය, සතුටින් සිටීමේ පොදු පැතුමක් හා දුකින් මිදීමේ පැතුමක්ද සියලු මනුෂ්‍යයන් අතර පවත්නා ආකාරය හා අපගේ ක්‍රියාවන් තුළින් පුළුල් ලෝක මට්ටමේ වෙනසක් සිදු කිරීමට දායකත්වයක් ලබාදිය හැකි ආකාරයද වටහා ගන්නෙමු.

අප ජීවත්වන මෙම ලෝකය සංකීර්ණ වූවකි. වැඩිහිටියන් වශයෙන් අන් කිසිවෙකුගේ හෝ ආධාරයකින් තොරව ස්වාධීනව අපට දිවි රැකගත හැකි බවක්ද ඇතැම් විට පෙනී යා හැක. ලොව පුරා සිටින අපගේ සහෘද මනුෂ්‍ය වර්ගයා ගණන් ගත යුතු නොවන බවක්ද හැඟී යා හැක. ඔවුහූ සැබැවින්ම අපට වඩා බොහෝ සෙයින් වෙනස් පිරිසක් වෙති. ලෝකය තුළ කිසිදු සැබෑ වෙනසක් සිදු කිරීමද කළ නොහැකි හෝ අති දුෂ්කර හෝ කාර්යයක් බවටද පෙනී යා හැක. අප විසින් ආහාරයට ගන්නා ආහාර, අඳින ඇඳුම් හා පදවන වාහන අන්‍යයන්ගේ ක්‍රියාවන්හි ප්‍රතිඵල ලෙස ලැබෙන ආකාරය හෙවත් අපගේ තත්ත්වයට අදාළ යථාර්ථය වටහාගත් කල්හි, ස්වභාවිකවම ඔවුන් අගය කිරීමේ හැඟීමක් අප තුළ ඇතිවනු ඇත. අප මෙන්ම මෙම සහෝදර මනුෂ්‍යයෝද සතුටින් සිටීම අපේක්ෂා කරන බව වටහා ගත් කල්හි, ඔවුන්ද සතුටින් සිටින්නේ නම් යහපත්ය යන හැඟීමක් අප තුළ වර්ධනය වනු ඇත. අවසන, සුළු ක්‍රියාවන් මගින් සුවිශාල ප්‍රතිඵල ඇතිකරන්නේය යන දැනුමද සමගින්, කෙතරම් සුළු එකක් වුවද, අප විසින් සිදු කරන කවර හෝ ධනාත්මක කාර්යයක් මගින් ලෝකයට ප්‍රයෝජනයක් සැලසෙන බවට වූ විශ්වාසයක් අප තුළ ඇතිවනු ඇත.

මෙම පුහුණු වැඩසටහන හුදෙක් කියවා බලා අමතක කිරීම සඳහා සැකසුණක් නොවේ; එය කරුණින් කරුණ පුහුණු කළ යුතුවේ. මනුෂ්‍යයන් වන අප එකිනෙකාගෙන් වෙනස් වන නමුදු, තනි තනි වශයෙන් එන අප්‍රමාණව මුහුණ දෙන ගැටලු හා සමාජ අවස්ථාවන් හරහා ගමන් කිරීමේදී සියලු දෙනා අභියෝග රැසකට මුහුණ දෙන්නෙමු. ජීවිතයේ ඉහළ පහළ යාම් කළමනාකරණය කිරීම යන කරුණ සලකා බැලීමේදී, තමාගේ සුවසෙත පමණක් සලසා ගැනීමේ අභිලාශයෙන් සිදුකරන ක්‍රියාවන් සහ අන් අයගේ යහපත සලකා බලා සිදුකරන කටයුතු අතර පැහැදිලි වෙනසක් පවතී. අපගේ ප්‍රතිචාරයන් කළමනාකරණය කරමින් අවස්ථාවන් තාර්කික ලෙස විමසා බැලීමේ හැකියාවද සමගින් අපගේ ආවේගයන් හා පක්ෂපාතිත්වයන් පිළිබඳ පෘථුල අවබෝධයක් සහිතව, අප‌ට ජීවිතයේ හමුවන ඕනෑම අවස්ථාවක් නිසි පරිදි කළමනාකරණය කරගත හැක. අපගේ ගමන ඉදිරියට ගෙන යමින් අපගේමද, අන්‍යයන්ගේද, සමස්ත ලෝකයේමද යහපත සඳහා යොමුවූ බලවේගයක් වීම සඳහා අප තුළ පවත්නා විභවය අවබෝධ කරගත හැක.


වඩාත් ගැඹුරට කරුණු විමසා බැලීමට කැමැත්තේ නම් සමාජ, භාවමය හා ආචාර ධාර්මික ඉගෙනුම් රාමුවේ සම්පූර්ණ සංස්කරණය කියවා චින්තාපර විද්‍යා හා කරුණා පදනනම්ගත ආචාර ධර්ම මධ්‍යස්ථානයේ සෙසු වැඩසහන් පිළිබඳවද ඉගෙන ගන්න.

Top