කාලගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව වෙත පරම පූජනීය දලයි ලාමා වහන්සේ විසින් යොමු කරන ලද පණිවිඩය

Uv hhdl cop message

අද අප මුහුණ දී සිටින කාලගුණික හදිසි අවස්ථා ආමන්ත්‍රණය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ කාලගුණික විපර්යාස සමුළුව - COP26 - ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ හි පැවැත්වෙන බව දැන ගැනීමට ලැබීම පිළිබඳ සතුටු වෙමි.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හදිසි අවධානය යොමුවිය යුතුවන යථාර්ථයකි. අප කිසිවෙකුට හෝ අතීතය වෙනස් කළ නොහැක. නමුත් අප සියලු දෙනා වඩා යහපත් අනාගතයකට දායක විය හැකි තත්ත්වයක සිටිමු. ඇත්ත වශයෙන්ම, අප සැමට සාමයෙන් හා සුරක්ෂිතව ජීවත් විය හැකි බව සහතික කිරීම සඳහා අපට සහ අද ජීවතුන් අතර සිටින බිලියන හතකට වඩා වැඩි මිනිසුන්ට වගකීමක් ඇත. බලාපොරොත්තුවෙන් සහ අධිෂ්ඨානයෙන් යුතුව, අප අපගේ මෙන්ම අපගේ අසල්වාසීන්ගේ ජීවිත ද රැකගත යුතුය.

අපගේ මුතුන් මිත්තන් විසින් පෘථිවිය පොහොසත් හා සම්පත් බහුල ස්ථානයක් ලෙස සැලකූ අතර, එය යථාර්ථවාදී විය. එනමුත් එයටද වඩා එය අපගේ එකම නිවසයි. අප විසින් එය අප වෙනුවෙන් පමණක් නොව අනාගත පරම්පරාවන් සඳහාද, අප සමගින් පෘථිවිය බෙදා ගන්නා අසංඛ්‍ය ජීවී විශේෂ සඳහාද ආරක්ෂා කළ යුතුය.

උත්තර හා දක්ෂිණ ධ්‍රැවයන්ගෙන් පරිබාහිරව පවත්නා විශාලතව හිම හා අයිස් සංචිතය වන තිබ්බත සානුව නිරතුරු ‘තුන්වන ධ්‍රැවය’ ලෙස හැඳින්විණි. තිබ්බතය යනු ලෝකයේ ප්‍රධාන ගංගා සමහරක මූලාශ්‍රය වේ: ඒවා අතර බ්‍රහ්මපුත්‍ර, ගංගා, ඉන්දුස්, මේකොං, සැල්වීන්, කහ ගඟ හා යැංග්ට්ස් යන ගංගාවන්ද වේ. මෙම ගංගාවන් ජීවන මූලාශ්‍රයන් වනුයේ ඒවා මගින් පානීය ජලය, කෘෂිකර්මයට අවශ්‍ය වාරි ජලය හා ජල විදුලියද ආසියාව පුරා බිලියන දෙකකට ආසන්න ජනතාවක් වෙත සපයන බැවිනි. තිබ්බතයේ බොහෝ ගණනක් වූ ග්ලැසියර දියවී යාම, ගංගාවන් වේලි බැඳ වෙනතක හැරවීම, හා පුළුල්ව පැතිර පවත්නා වන විනාශයද මගින් එක් ප්‍රදේශයක සිදුවන නොසැලකිලිමත් ක්‍රියාවන් සියලු ප්‍රදේශයන් තුළම පාහේ ප්‍රතිවිපාක ඉස්මතු කරවන ආකාරය පිළිබඳ නිදසුන් දක්වනු ලබයි.

වර්තමානයේ අප විසින් බියෙන් ඇලලී නොව විද්‍යාත්මක වැටහීම මත පදනම් වූ යථාර්ථවාදී ක්‍රියාමාර්ග ගැනීම මගින් අනාගතය ආමන්ත්‍රණය කළ යුතුව පවතී. අපගේ ග්‍රහලෝකවාසීන් පෙර අන් කිසිදින නුවූ විරූ තරමින් එකිනෙකා මත රඳා පවතිති. අප විසින් සිදුකරන සියලු ආකාරයේ ක්‍රියා අපගේ මනුෂ්‍ය සගයනට මෙන්ම අසංඛ්‍ය ගණනින් වූ සත්ත්ව හා ශාක විශේෂයන් කෙරෙහිද බලපෑම් ඇති කරනු ලබයි.

මනුෂ්‍යයන් වන අපි පෘථිවිය විනාශ කිරීමේ බලය සහිත එකම සත්ත්ව වර්ගය වන නමුදු, එය ආරක්ෂා කිරීමේ ප්‍රබලතම හැකියාවෙන්ද යුත් සත්ත්ව විශේෂයද වෙමු. අප විසින් දේශගුණික විපර්යාස පිළිබඳ ගැටලුවට සියලු දෙනා වෙත සුවසෙත සැලසෙනු පිණිස සහයෝගිතාමය ගෝලීම මට්ටමකින් මුහුණ දිය යුතුව පවතී. එනමුදු, පෞද්ගලික මට්ටමින්ද කළ හැකි දේ කළ යුතුව පවතී. අප විසින් ජලය පරිහරණය කරන ආකාරය හා අපට අවශ්‍ය නොවන ප්‍රමාණයන් බැහැර කරන ආකාරය වැනි කුඩා දෛනික කටයුතු තුළ පවා ප්‍රතිවිපාකයන් පවතී. අප විසින් අපගේ ස්වභාවික පරිසරය රැකබලා ගැනීම අපගේ දෛනික ජීවිතයේ කොටසක් බවට පත්කර ගනිමින් විද්‍යාව මගින් අපට උගන්වන දේ උගත යුතුය.

අපගේ තරුණ පරම්පරාවන් විසින් දේශගුණික විපර්යාස පිළිබඳ දැනෙන සුළු ක්‍රියාමාර්ග ඉල්ලා සිටින්නේය යන කරුණ දැකීම මා දිරිමත් කරයි. මෙමගින් අනාගතය සඳහා යම් බලාපොරොත්තු දල්වනු ලබයි. විද්‍යාවට සවන් දී ඒ අනුව කටයුතු කිරීමේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ග්‍රේටා තුන්බර්ග් වැනි තරුණ ක්‍රියාකාරිකයන් විසින් ගනු ලබන ප්‍රයත්නයන් තීරණාත්මක වැදගත්කමකින් යුක්ත වේ. ඔවුන්ගේ ස්ථාවරය යථාර්ථවාදී එකක් වන බැවින්, අප විසින් ඔවුන් දිරිපත් කළ යුතුව පවතී.

සෑම මනුෂ්‍යයෙකුම අපගේ කොටසක් වන්නේය යන අදහස සහිතව මනුෂ්‍යත්වයේ සමානත්වය පිළිබඳ හැඟීමක් පවත්වාගෙන යාමේ වැදගත්කම නිතිපතා අවධාරණය කරමි. ගෝලීය උණුසුම් වීම හා දේශගුණික විපර්යාස පිළිබඳ අවදානම ජාතික සීමා මායිම්වලට සීමා නොවන අතර එය අප සියලු දෙනා හට බලපාන්නක් වේ.

මෙම අර්බුදයට එක්ව මුහුණ දෙන විටදී, එහි ප්‍රතිවිපාක සීමා කරනු පිණිස අප විසින් සහයෝගී හැඟීමෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ. මෙම හදිසි අවස්ථාව ආමන්ත්‍රණය කොට වෙනස සඳහා වූ කාල සටහනක් නිර්මාණය කරනු සඳහා සාමුහිකව කටයුතු කිරීමට අවශ්‍ය ශක්තිය අපගේ නායකයන් විසින් ලබාගනු ඇතැයි යන්න මාගේ අපේක්ෂාව හා යැදුම වේ. මේ ලෝකය වඩා ආරක්ෂිත, හරිතමය හා වඩා සතුටුදායක ලෝකයක් බවට පත් කිරීමට අප විසින් කටයුතු කළ යුතුය.

යැදුම් හා සුභ පැතුම් සමගින්, 

දලයි ලාමා

2021 ඔක්තෝබර් මස 31වන දින.

Top