මිහිකත දිනයේ 50වන සංවත්සරය නිමිත්තෙන් දලයි ලාමාපාදයෝ

Sb nasa earth

මිහිකත දිනයේ 50වන සංවත්සරය සමරන අද, අපේ ග්‍රහලෝකය එහි ජීවත්වන මිනිසුන්ගේ සෞඛ්‍ය සහ යහපැවැත්ම පිළිබඳ ඉමහත්ම අභියෝගවලින් එකකට මුහුණ දී සිටියි. එහෙත් එය මේ ආරවුල මධ්‍යයේ  වුවද අපට කරුණාවේ සහ අන්‍යෝන්‍ය සහයෝගයේ වටිනාකම් මතක් කර දී තිබේ. අද වන විට ඇති මෙම ගෝලීය වසංගතය, ජාතිය, සංස්කෘතිය හෝ ස්ත්‍රීපුරුෂභාවය වැනි කිසිදු වෙනසක් නොතකා අප සැමට තර්ජනයක් එල්ල කරයි. සියල්ලන්ගේම අනිවාර්ය අවශ්‍යතා සම්පාදනය කරමින් එකම මානව වර්ගයක් ලෙස මේ සඳහා අප ප්‍රතිචාර දැක්විය යුතුය.

අප කැමති වුවත් නැතත්, අපි මේ පෘථිවිය මත එක විශාල පවුලක කොටසක් සේ ඉපදී සිටිමු. දුප්පත් වුණත් පෝසත් වුණත්, උගත් වුණත් නූගත් වුණත්, කිසියම් එක් ජාතියකට හෝ වෙනත් ජාතියකට අයත් වුණත්, අන්තිමේදී අප හැම කෙනෙකුම අන් අය වගේම මනුෂ්‍යයෙකි. එපමණක් නොවේ, සතුට හඹා යන්නත් දුක ඉවත් කරන්නත් අප සැමට එක සමාන අයිතියක් ඇත. අප හැම කෙනෙකුම මේ ආකාරයෙන් සමාන බව වටහා ගත් විට, අනෙකාගේ දුකේදී කරුණාබර වීමද අන් අය කෙරෙහි සමීප බවද ඉබේම අපට දැනේ. මෙමඟින් විශ්වීය වගකීම පිළිබඳ අවංක හැඟීමක් පැන නඟී. එනම් අනෙකාට ඔවුන්ගේ ගැටලු මැඩලීමට සක්‍රීයව දායක වීමේ පැතුමය.

විශ්වීය වගකීම ගැන අපගේ මිහිකත අපට පාඩමක් කියා දෙමින් සිටියි. මේ නිල්ග්‍රහ ලෝකය සතුටින්පිරි නවාතැනකි. එහි ජීවිතය, අපේද ජීවිතයයි. එහි අනාගතය, අපේද අනාගතයයි. ඇත්තෙන්ම, පෘථිවිය මවක් සේ අප සැම උදෙසා ක්‍රියා කරයි. ඇගේ දරුවන් සේ අපි ඇය මත යැපෙමු. අප අසීරුතාවට පත් කරන ගෝලීය ගැටලුවලට මුහුණ දීමේදී අප සවොම එකමුතුව වැඩ කිරීම ඉතාම වැදගත්ය.

මා පාරිසරික කාරණා වැදගත් ලෙස අගයකිරීම සිදුකළේ 1959දී ටිබෙටයෙන් පලා ආවාට පසුවය. ටිබෙටයේදී අපි නිතරම පරිසරය පවිත්‍ර බව සැලකුවෙමු. උදාහරණයක් ලෙස, යම් ජලප්‍රවාහයක් දුටු විට, එහි වතුර බීමට සුදුසුද’යි අපට කුකුසක් නොවීය. කණාගාටුවකට මෙන් අද වන විට, බීමට ගත හැකි පිරිසිදු ජලය ලබා ගැනීම ලොවපුරා ප්‍රධාන ගැටලුවක් වී ඇත.

පාලනයකින් තොරව සිදුවන රෝග ව්‍යාප්තිය වැළක්වීම පිණිස, ලොවපුරා සිටින රෝගී පුද්ගලයන්ටද විරුවන් සේ සෞඛ්‍ය රැකවරණ සපයන්නන්ටද පිරිසිදු වතුර සහ යෝග්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය යන මූලික අවශ්‍යතා ලබාගැනීමට හැකි බවට අපි සහතික විය යුත්තෙමු. සනීපාරක්ෂාව ඵලදායී සෞඛ්‍ය රැකවරණයකට අවශ්‍ය මූලිකාංගවලින් එකකි.

නිසි යන්ත්‍රෝපකරණ සහ කාර්යමණ්ඩලයෙන් සමන්විත වූ සෞඛ්‍යාරක්ෂණ පහසුකම් නිරන්තරයෙන් ලබා ගැනීමට හැකි වීම වර්තමානයේ අප ග්‍රහලෝකය විනාශකර දමන වසංගතයේ අභියෝග ජයගැනීමට අපට උපකාර වනු ඇත. අනාගතයේ ඇති විය හැකි මහජන සෞඛ්‍ය අර්බුදවලට එරෙහිව ක්‍රියාත්මක කළ හැකි ශක්තිමත්ම ආරක්ෂණවලින් එකක්ද එය අපට තිළිණ කරයි. මේවා, ගෝලීය සෞඛ්‍ය අභියෝගයන්ට මුහුණ දීම පිණිස එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්කවලට පැහැදිලිවම ඇතුළත් කර ඇති අරමුණු බව මම වටහා ගනිමි.

අප මෙම අර්බුදයට එකතු වී මුහුණ දෙන විට, හදිසි අවශ්‍යතා සම්පාදනය කිරීමට, විශේෂයෙන්ම ලොවපුරා සිටින අඩු වාසනාවක් සහිත අපේ සහෝදර සහෝදරියන්ට ඒවා සම්පාදනය කිරීමට, සහයෝගිතාව සහ සමූපකාරය පිළිබඳ ජවසම්පන්න හැඟීමකින් ක්‍රියා කිරීම අනිවාර්ය වේ. වඩාත් සතුටින්පිරි සහ නීරෝගිමත් ලෝකයක් නිර්මාණය කිරීමට අපට හැකි සෑමදේම අප සැවොම ඉදිරි දිනවලදී සිදුකරනු ඇත’යි  මම බලාපොරොත්තු වෙමි, ප්‍රාර්ථනාද කරමි.

දලයි ලාමා
2020 අප්‍රේල් 22

Top