කොරෝනා වෛරසය පිළිබඳ දලයි ලාමා වහන්සේ: පුදපූජා පැවැත්වීම ප්‍රමාණවත් නොවේ

කරුණා පෙරදැරිව කොරෝනා වෛරසයත් සමග අප සටන් කිරීමට අවශ්‍ය ඇයි

Studybuddhism dalai lama oaa

“ඍද්ධි බලය” භාවිත කරමින් ලෝකයේ ඇතැම් ප්‍රශ්නවලට උපකාර කරන්න ය’යි ඇතැම් විට මිතුරෝ මගෙන් ඉල්ලති. දලයි ලාමාට ඍද්ධි බලයක් නැති බව මම සෑම විටම ඔවුනට කියමි. මට එසේ තිබුණි නම්, මගේ කකුල්වල වේදනාව හෝ, උගුරේ දැවිල්ල හෝ මට දැනෙන්නේ නැතිය. මිනිසුන් වශයෙන් අපි සැවොම එකය, එක වගේම බිය, එක වගේම බලාපොරොත්තු, එක වගේම අවිනිශ්චිතතාවන් අපි අත්විඳිමු.

බෞද්ධ දෘෂ්ටියට අනුව, සෑම සචේතනික සත්ත්වයෙකුම දුක්පීඩා සහ ලෙඩ වීම, වයසට යාම, මරණය යන සත්‍යයන්ගෙන් සමන්විත වේ. ඒත් මිනිසුන් වශයෙන්, අපේ සිත් යොදවා, කෝපය, සංත්‍රාසය, සහ ගිජුකම යටපත් කරගන්නට අපට හැකියාව ඇත. පසුගිය අවුරුදු කීපයේදී “මනෝභාවික අවිහරණ” ආතතියෙන් මම සිටියෙමි: එනම් බියෙන් හෝ වියරුවෙන් අවුල්සහගත නොවී, දේවල් දිහා යථාර්ථවාදීව සහ පැහැදිලිව දකින්නට උත්සාහ කරමිනි. ගැටලුවකට විසඳුමක් ඇත්නම්, අප එය සොයා ගැනීමට කටයුතු කළ යුතුය. එබඳු දෙයක් නැතිනම්, ඒ ගැන හිතමින් අප කාලය නාස්ති කිරීම අවශ්‍ය නොවේ.

බෞද්ධයන් වන අපි සමස්ත ලෝකයම ස්වාධීන බව විශ්වාස කරමු. එම නිසා නිතරම විශ්වීය වගකීම ගැන මම කතා කරමි. එක් පුද්ගලයෙකුට සිදුවන දෙයක් ඉතා ඉක්මනින් තවත් අයෙකුට බලපාන බව මේ භයානක කොරෝනා වෛරස් ව්‍යාප්තිය පෙන්වා දී ඇත. එනමුදු, කරුණාබර හෝ සාධනීය හෝ ක්‍රියාවකට - රෝහල්වල වැඩ කිරීම නැතහොත් හුදෙක් සමාජ දූරස්ථභාවය නිරීක්ෂණය කිරීම වැනි - බොහෝ දෙනෙකුට උපකාර කිරීමේ හැකියාව ඇති බවද එය අපට මතක් කරදී ඇත.

වූහාන්වල කොරෝනා වෛරසය පිළිබඳ ප්‍රවෘත්තිය සැල වූ මොහොතේ සිට, චීනයේ සහ අනෙක් සෑම තැනම සිටින මගේ සහෝදර සහෝදරියන් සමග එක්ව මම පුදපූජා පවත්වමින් සිටියෙමි. කිසිවෙකු මේ වෛරසයෙන් ගැලවී නැති බව දැන් අපට පෙනී යයි. අපි සැවොම අපේ ආදරණීයයන් ගැන, අනාගතය ගැන, ගෝලීය ආර්ථිකය සහ අපේම ගෙවල්දොරවල් ගැන වද වෙමු. එහෙත් ඒ සඳහා යාච්ඤා කිරීම/පුදපූජා පැවැත්වීම ප්‍රමාණවත් වන්නේ නැත.

අපට හැකි සෑම තැනකම අප සැවොම වගකීම් සහගත විය යුතු බව මේ අර්බුදය පෙන්වා දෙයි. මේ පවතින තත්ත්වය අනෙක් අතට හරවා, අපේ අනාගතය මෙබඳු තර්ජනවලින් ආරක්ෂා කරගැනීම ආරම්භ කිරීමට නම්, වෛද්‍යවරුන් සහ හෙදවරුන් පෙන්වන ධෛර්ය අපි ආනුභූතික විද්‍යාව සමග බද්ධ කළ යුතු වෙමු.

මේ භයානක කාලයේදී, අප සමස්ත ලෝකයේම දීර්ඝකාලීන අභියෝගයන් -  සහ සම්භාවිතාවන් - ගැන සිතීම වැදගත්ය. අපේ නිල් ග්‍රහලෝකයේ සැබෑ සීමාමායිම් නැති බව අවකාශයේ සිට ලබා ගත් අපේ ලෝකයේ ඡායාරූපවලින් පැහැදිලිව පෙනෙයි. මේ නිසා, අප සැවොම එය රැක ගත යුතුය, ඒ වගේම කාලගුණ විපර්යාස සහ විනාශකාරී බලවේග වැළක්වීමටත් වැඩ කළ යුතුය. අප මුහුණදෙන පෙර නොවූ විරූ අභියෝග රැසක් උදෙසා ගෝලීය පිළිතුරක් අපට හමුවන්නේ සහයෝගයෙන් යුතුව එක්ව කටයුතු කිරීමෙන් පමණක් බව බරපතල ලෙස හැඟවීමට මේ ගෝලීය වසංගතය මෙහෙයක් ඉටු කරයි. 

කිසිකෙනෙකු දුක්විඳීම කියන කාරණයෙන් නිදහස් වී නැති බවත්, නිවාස අහිමි අය, තමුන් ගැන රැකබලා ගැනීමට පවුලක් හෝ දේපළ හෝ නැති අය වෙත අපේ දෑත් දිගු කළ යුතු බවත් අප මතක තබා ගත යුතුය. අප වෙන් වෙන්ව ජීවත් වුණත්, අප එකිනෙකාගෙන් වෙන් නොවන බව මේ අර්බුදය අපට පෙන්වා දී ඇත. මේ නිසා, කරුණාව සහ උදවුකිරීම පුරුදු පුහුණු කිරීමේ වගකීම අප සැමටම ඇත.

බෞද්ධයෙකු වශයෙන්, අනිත්‍යතා මූලධර්මය ගැන මම විශ්වාස කරමි. යුද්ධ සහ වෙනත් බිහිසුණු තර්ජන පහව ගිය අයුරු මා මගේ ජීවිත කාලයේදී දැක ඇති අයුරින්ම, අවසානයේදී මේ වෛරසයත් පහව යනු ඇත. ඒ වගේම, අතීතයේදී බොහෝ වාරගණනක් අප කළ මෙන්, ලෝක ප්‍රජාව නැවත ගොඩ නැඟීමේ අවස්ථාවත් අපට හිමි වනු ඇත. සෑම අයෙකුටම ආරක්ෂිතව සිටීමටත්, සංසුන්ව සිටීමත් හැකි වේවා කියා මම අවංකවම ප්‍රාර්ථනා කරමි. මේ අවිනිශ්චිත මොහොතේදී, බොහෝ දෙනෙකු ගොඩනඟන සාධනීය පරිශ්‍රමය පිළිබඳ අප බලාපොරොත්තුව හෝ විශ්වාසය හෝ නැති කර නොගැනීම වැදගත්ය.

Top