What are four noble truths

අපගේ ගැටලු නිරාකරණය කරගැනීමට අවශ්‍ය මඟ කෙටියෙන් දක්වන මූලිකම කරුණු චතුරාර්යසත්‍ය වේ. සියලු බෞද්ධ ඉගැන්වීම්වලට ආකෘතියක් සපයා දෙන බුදුන්වහන්සේගේ ප්‍රථම දේශනය මෙය වේ.

පළමු ආර්යසත්‍යය: දුක පිළිබඳ සත්‍යය

ජීවිතය අසංතෘප්තිමත් වීම, සාමාන්‍යයෙන්, පළමු සත්‍යය වේ. උපතේ සිට මරණය දක්වා ප්‍රීතිමත් අවස්ථා බොහෝ ඇති නමුත් ඒවා බොහෝ කල් රඳන්නේ නැති අතර වේදනාකාරී කාලවකාවාණුද බොහෝ ඇත:

  • නොසතුට –රෝගී බව, ඉච්ඡාභංගත්වය, හුදකලාව, සාංකාව, සහ අතෘප්තිය යන මේ සියල්ල හඳුනා ගැනීමටත් වටහා ගැනීමටත් පහසුය. බොහෝ විට නොවෙතත් එය අපේ වටපිටාව සමගද සම්බන්ධ වේ - අපේ හොඳම මිතුරාත් සමග කැමතිම කෑම කමින් අප සිටිනවා විය හැකිය. ඒත් අපි නොසතුටින් සිටිමු.
  • කෙටිකලක් රැඳෙන සතුට –අප සතුටුවන දේ කුමක් වුවත් එය වැඩි කල් රැඳෙන්නේවත් අපව තෘප්තිමත් කරන්නේවත් නැත. ටික කලකින්ම එය නොසතුට බවට පත්වේ. අපට ගල්ගැසෙන තරමට සීතලක් දැනෙන විට අපි උණුසුම් කාමරයකට යමු. අන්තිමේදී දරාගන්නට නොහැකි තරම් රස්නයක් දැනෙන විට නැවතත් අපට නැවුම් වාතය අවශ්‍ය වේ. සතුට හැමදාටම රැඳෙනවා නම් එය ඉතා හොඳය. එහෙත් ගැටලුව නම් එය එසේ නොවීමය.
  • සැමදා මතුවන ගැටලු –නරකම දේ නම් අප ජීවිතයේ හැලහැප්පීම් සමග ගනුදෙනු කිරීමට යොදා ගන්නා ක්‍රම නිසා තව තවත් ප්‍රශ්න මතුවීමය. උදාහරණයක් ලෙස, අප නොගැලපෙන සම්බන්ධතාවක් පවත්වාගෙන යන විට අප ක්‍රියා කරන ආකාරය නිසා තත්ත්වය තවත් නරක අතට හැරෙන්න පුළුවනි. අපි වෙන්වෙමු. එහෙත් අපගේ වැරදි පුරුදු එමඟින් ශක්තිමත් වීම නිසා ඊළඟ සම්බන්ධතාවේදීත් අපි ඒ හැසිරීම් රටාවම අනුගමනය කරමු. එයද නරක අතට හැරෙනු ඇත.

දෙවන ආර්යසත්‍යය: දුක ඇතිවීමේ සැබෑ හේතුව

අපේ නොසතුට සහ කෙටි කාලීන සතුට ගහෙන් ගෙඩි හෙන්නා සේ ඇති නොවේ. ඒ සඳහා පුළුල් පරාසයක දිවෙන හේතු සහ ප්‍රත්‍යය බලපායි. අප ජීවත් වන සමාජය වැනි බාහිර සාධක අපේ ගැටලු බිහිකරන්න ප්‍රත්‍යය ලෙස ක්‍රියා කරන නමුත් සැබෑ හේතුව සෙවීම සඳහා බුදුන්වහන්සේ අපට අපේ මනස දෙස බලන්න උපදෙස් දෙති. වෛරය, ඊර්ෂ්‍යාව, ආශාව වැනි අපේම කරදරකාරී මනෝභාව අවසානයේදී තමාවම විනාශ කරගැනීමේ මාර්ග වෙත යොමු වන පරිදි හැඟීම්වලට යටත්ව සිතීමට, කතා කිරීමට, සහ ක්‍රියා කිරීමට අපව මෙහෙයවයි.

මේ මනෝභාවමය තත්ත්වයන්ටත් යටින් දිවෙන ගැඹුරු සහ සැඟවුණු සැබෑ හේතුව බුදුන්වහන්සේ අපට පෙන්වූහ, එනම් අප යථාර්ථය දකින ආකාරයය. අපගේ හැසිරීමේ දීර්ඝකාලීන ප්‍රතිඵල පිළිබඳව සිහි එලවා නොසිටීම සහ මුළා වී සිටීමත් අප, අන් අය සහ ලෝකය පවතින්නේ කෙසේද යන්න පිළිබඳව ඇති බරපතල මිථ්‍යාසංකල්පත් මෙයටම ඇතුළත් වේ. හැමදේම එකිනෙකට සම්බන්ධ බව දකිනු වෙනුවට ඒවා බාහිර සාධකවලින් ස්වාධීනව තමුන්ටම පැවැත්මක් ඇතිව සිටින බව සිතන්නට අපි පෙළඹෙමු.

තෙවන ආර්යසත්‍යය: දුක නැති කිරීමේ සත්‍යය

අප මේ නොසතුට කරගහගෙන යාම අවශ්‍ය නැති බව බුදුන්වහන්සේ පෙන්වා දුන්හ. කුමක් නිසාද යත්, හේතුව මුලින් උපුටා දැමීමෙන් ප්‍රතිඵලය උදා නොවන බැවිනි. යථාර්ථය පිළිබඳව අපේ මුළා වීමෙන් ගැලවෙන්නට අපට හැකි නම් ගැටලුවලට නැවත කෙදිනකවත් පැමිණීමට නොහැකි වන ඇත. උන්වහන්සේ හුදෙක් එක් ගැටලුවක්, දෙකක් ගැන පමණක් දේශනා නොකළහ. නව ගැටලු නිර්මාණය කිරීම මුළුමනින්ම නවතා දැමීම ගැන උන්වහන්සේ දේශනා කළහ.

සිව්වන ආර්යසත්‍යය: මනස පිළිබඳ සැබෑ මාර්ගය

අපගේ බොළඳකමින් සහ අසිහියෙන් අතමිදීමට නම් ඒවාට ඍජුවම ප්‍රතිපක්ෂ වන කරුණු දෙස අප බැලීමට අවශ්‍යය:

  • දීර්ඝකාලීන සැලසුම, ඉක්මනින් සිත සතුටු කරගැනීම පිණිස ළඟ බලා පියමැනීම වෙනුවට
  • වඩා විශාල චිත්‍රයක් දෙස බැලීම, ජීවිතයේ කුඩා පැතිකඩක් දෙස අවධානය යොමු කිරීම වෙනුවට
  • අපේ ඉදිරි ජීවිතයටත් මතු පරපුරටත් අත්වන අපගේ ක්‍රියාවල ප්‍රතිඵල ගැන සලකා බලන්න, දැන් සිදුකළ හැකි පහසුදේ සිදුකරනවා වෙනුවට

ජීවිතයේ නොයෙකුත් බලාපොරොත්තු කඩවීම්වලට මුහුණ දී සිටින ඇතැම්විටෙක, ඒ මනස්තාපයෙන් අපේ අවධානය ඉවතට ඇද දැමිය හැකි එකම ක්‍රමය ලෙස, දිගුකල් ඇතිවන දුර්විපාක ගැන නොසිතමින් බීමත් වීම හෝ කැලරි අධික කෑම ගිල දැමීම හෝ අපට හැඟී යයි. අප එය පුරුද්දක් කර ගත්තෝතින්, අපේ ජීවිත විපතට ඇද දමන බරපතල සෞඛ්‍ය අවධානමක් ඇති වීම පමණක් නොව, අපේ පවුල්වලට විනාශකාරී ඵලවිපාක ගෙන දීමද එමඟින් සිදුවෙයි. අපේම ක්‍රියාවල ප්‍රතිඵලවලින් අප සම්පූර්ණයෙන්ම වෙන්වීම පිටුපස ඇති අදහස නම් මෙයය. අපගේ මෝහයේ දරුණුතම ප්‍රතිවාදියා මෙසේය:

  • අවබෝධ කරගන්න, සෙසු මනුෂ්‍ය වර්ගයා සහ මේ පෘථිවිය සමග අප ඉතා සමීපව එකිනෙකට බද්ධ වී ඇති බව. එමෙන්ම වටහාගන්න අප පවතින්නේ කෙසේද යන්න ගැන අපට ඇති මනඃකල්පිතයන් යථාර්ථය සමග නොපෑහෙන බව.

නැවත නැවත භාවනා කිරීම මඟින් මෙම විදර්ශනාවට අපට හුරුවිය හැකි නම්, අපගේ හිස් ප්‍රතිනිර්මාණයන්ට සහාය දෙන සියලු ආකාරයේ මෝහය අවසානයේදී අපි දුරුකොට දමන්නෙමු.

අප සැමට සතුට අවශ්‍යය. එහෙත් කෙසේ හෝ එය දිගින් දිගටම අපෙන් ඉවත් වී යයි. ඉහත චතුරාර්යසත්‍ය තුළ සාරාංශගත කළ, සතුට ළඟා කරගැනීමට බුදුන්වහන්සේගේ එළඹුම විශ්ව සාධාරණ වන අතර උන්වහන්සේ එය දේශනා කොට වසර 2500ක් ඉක්ම ගියද තවමත් අදාළය.

චතුරාර්යසත්‍යය උපයෝගී කොට ගෙන අපේ එදිනෙදා ගැටලු සමග ගනුදෙනු කිරීමට බෞද්ධයෙකු වීම අවශ්‍ය නැත. අපට අවශ්‍ය විදිහටම හැමවිටම මේ අපේ දේවල් සිදුවීම නොවිය හැක්කකි. එහෙත් එය මානසික අවපීඩනයට පත්වීමට හෝ බලාපොරොත්තු නැති කර ගැනීමට හෝ හේතුවක් නොවේ. චතුරාර්යසත්‍යය අතර අපට අවංකව සතුට සොයා ගැනීමට අවශ්‍ය කරන සෑමදේමත් අපේ ජීවිත සැබැවින්ම අර්ථාන්විත කර ගැනීමට අවශ්‍ය සෑමදේමත් ඇතුළත්ව ඇත.

කොටින්ම, සැබෑ දුක දැන ගැනීම පිණිසයි; දුක් ඇතිවීමට සැබෑ හේතුව නැති කර දැමීම පිණිසයි. දුකෙහි සැබෑ නැති කිරීම ළඟා කර ගැනීමට අවශ්‍යයි. එසේම, සැබෑ මානසික මාර්ගය වඩන’යුරු අවබෝධ කරගැනීමට අවශ්‍යයි.

Top