මනසේ ඇති ඵලදායී තත්ත්වයන් වර්ධනය කරගැනීමේ ක්‍රමය භාවනාවයි. යම් යම් මානසික තත්ත්වයන් පුරුද්දක් බවට පත්වන තුරුම නිරන්තරයෙන් ජනිත කරවීම මඟින් අපි මෙය සිදුකරමු. කායිකව, නවතම ස්නායුක මංපෙත් සැබෑවටම ගොඩනැංවීමක් ලෙස භාවනාව පෙන්වා දෙනු ලැබේ.
භාවනාවේ වාසි
භාවනාව මඟින් සංවර්ධනය කරගත හැකි විවිධ ඵලදායී මානසික තත්ත්ව බොහෝ ඇත:
- වඩාත් සැහැල්ලුවක් ඇති වීම සහ ආතතිය අඩුවීම
- වඩාත් අවධානය දීම සහ මඟහැරීම් අවම වීම
- වඩාත් සංසුන් වීම සහ නිරන්තර මනස්තාපයෙන් නිදහස් වීම
- අප ගැනත් අපේ ජීවිත ගැනත් මනා අවබෝධයක් ඇති කරගැනීම සහ අන් අය ගැනත් එබඳුම අවබෝධයක් ඇති කරගැනීම
- මෛත්‍රිය, කරුණාව වැනි බොහෝ ධනාත්මක මනෝභාවයන් ඇති කරගැනීම
අප බොහෝ දෙනෙකුට වඩාත් සංසුන්, වඩාත් පැහැදිලි සහ වඩාත් සතුටින්පිරි මනසක් අවශ්‍යයි. අප ආතතියෙන් හෝ ඍණාත්මක තත්ත්වයක සිටින්නේ නම් එමඟින් අප නොසතුටට පත්වෙයි. එය අපේ සෞඛ්‍යයට නරක විදිහට බලපාන අතර අපේ ජීවන වෘත්තීන්, පවුල් ජීවිත සහ මිත්‍රතාවයන් විනාශ කරදැමීමට එයට හැකිය.
ආතතියෙන් සහ ක්ෂණික කෝපයෙන් අප හෙම්බත් වී සිටී නම්, එවිට අපට උපකාර කළ හැකි ක්‍රම - භාවනාව වැනි - ගැන අප සොයා බලන්නට ඉඩ ඇත. කිසිදු අතුරු ආබාධයකින් තොරව මනෝභාවාත්මක අඩුලුහුඩුකම් මැඬලන්න භාවනාව අපට හැකියාව ලබා දෙයි.
අපට භාවනාව පිළිබඳ යථාර්ථවාදී එළඹුමක් අවශ්‍යය. එය ධනාත්මක ප්‍රතිඵල ළඟා කරගැනීමේ උපකරණයක් මිස ඕනෑම දෙයකට යොදා ගත හැකි ක්ෂණික විසඳුමක් නොවේ. එක හේතුවකින් කිසිදු ඵලයක් ළඟා කරගත නොහැකිය. එහෙත් හේතු සහ ප්‍රත්‍යය රාශියකින් හැකිය. උදාහරණයක් වශයෙන්, අපට අධි-රුධිර පීඩනය ඇත්නම් භාවනාවෙන් අපට උපකාරයක් ලබා ගත හැකිය. එහෙත් ආහාර රටාවේ හෝ ව්‍යායාමවල වෙනසක් සිදු නොවේ නම් භාවනාවෙන් ඒ සඳහා ගත හැකි කිසිවක් නැත.
බෞද්ධ භාවනා වර්ග
භාවනා කළ හැකි ක්‍රම බොහෝ ගණනක් ඇත. ඒ සියල්ල අපේ මනස සංසුන් කරගැනීමට උපකාර කරන නමුත් එය භාවනාවේ අවසාන ඵලය නොවේය. කෙසේ වෙතත්, වඩාත් ධනාත්මක තත්ත්වයන් ගොඩනඟමින් සැබෑ ප්‍රගතියක් අත් කරගැනීමට පෙර ඇත්තෙන්ම අපේ මානසික ආතතිය අවම කරගැනීම අත්‍යවශ්‍ය වේ. එබැවින්, සමථ සහ විපස්සනා යන බෞද්ධ භාවනා ක්‍රම දෙකෙන් යම් එකකට යාමට පෙර, හුස්ම ගැනීම පිළිබඳ අවධානය යොමු කරමින් අපි අපේ මනස සැහැල්ලු සහ නිහඬ කරගමු.
බොහෝවිට “විශ්ලේෂණාත්මක” භාවනාවය’යි කියනු ලබන විපස්සනා භාවනාවේදී මෛත්‍රිය වැනි ධනාත්මක මානසික තත්ත්වයක් පියවරෙන් පියවර ඔප්නංවා ගැනීම පිණිස අපි තර්කණය භාවිත කරමු. එසේ නැතිනම්, යම් අවස්ථාවක් පිළිබඳ නිවැරදි අවබෝධයකට, එනම් එහි අනිත්‍යතාව වැනි අවබෝධයකට, පැමිණීම පිණිස එම අවස්ථාව විශ්ලේෂණය කිරීමට තර්කණය යොදා ගනිමු. එසේත් නැතිනම්, අපි සරලවම ධනාත්මක ගුණධර්ම ඇති යම් දෙයක ප්‍රතිරූපයක්, එනම් බුදුන්වහන්සේගේ රූපය වැනි යමක්, මානසිකව ගොඩනඟාගෙන එය පැහැදිලිව දැකීමට උත්සාහ කරමු.
අනතුරුව, සමථ භාවනාවේදී අපි ජනිත කරගත් ධනාත්මක තත්ත්වය පිළිබඳව හැකි උපරිම කාලයක් මනාසිහිය, අවධානය සහ එකඟතාව පිහිටුවා ගනිමු. එසේත් නැතිනම්, අප විසින් ගොඩනඟා ගත් මානසික ප්‍රතිරූපයක් මත නොවිසුරුණු ඒකාග්‍ර බවක් පවත්වා ගැනීමට ඒ උපකරණ උපයෝගී කරගමු.
මේ භාවනා වර්ග දෙකින් එකක් අපට යොදාගත හැකිය. ධනාත්මක මානසික තත්ත්වයන් ගොඩනඟා ගෙන එය නිරීක්ෂණය කළ හැකි විට, එම තත්ත්වය ස්ථතිකව පවත්වා ගැනීමට අපි කැමති වෙමු. එම තත්ත්වය පිළිබඳ අපගේ එකඟතාව දුර්වල වේ නම් හෝ නැති වේ නම් හෝ, එය ආපසු වතාවක් ගොඩනංවා ගැනීමට සහ නිරීක්ෂණය කිරීමට අපි වැඩකටයුතු කරමු.
දෛනික ජීවිතයේදී භාවනාව
භාවනාවේ සමස්ත කාරණය, නිවසේ අපගේ කුෂන් පුටුව මත හිඳගෙන සංසුන් වීම, ඒකාග්‍රතාව සහ මෛත්‍රී කිරීම නොව, එය අපගේ දෛනික ජීවිතයට ඇත්තටම බලපෑමක් ඇති කරවීමයි. අප සාමාන්‍ය ජීවන රටාව තුළ භාවනාව වඩත් නම්, අපට අවශ්‍ය ඕනෑම මොහොතක, දහවල් හෝ රෑ හෝ වුවද, අපගේ ධනාත්මක මනෝභාවයන් උපයෝගී කොට ගත හැකි ආකාරයේ පුරුද්දක් බවට එමඟින් පත්වේ. අවසානයේදී එය අපගේ කොටසක් බවට පත්වේ. එනම්, ඉතාම ස්වභාවික ලෙස ආයාසයකින් තොරව නිතරම මෛත්‍රියෙන්, අවධානයෙන් සහ සංසුන්ව අපි සිටිමු.
අප ඇත්තටම කෝපාවිෂ්ට වන සහ බලාපොරොත්තු සුන් කරගන්නා අවස්ථාවන් ඇත. එහෙත් එහිදී අපට අවශ්‍ය වන්නේ “වඩාත් මෛත්‍රී සහගත වන්න” යනුවෙන් සිහිපත් කරගැනීම පමණි. නිරන්තර භාවනා පුහුණුව මඟින් අපි මෙම මානසික තත්ත්වය සමග ඉතාම හුරුපුරුදු වී සිටින නිසා අපට එය ක්ෂණිකව ජනිත කරගත හැකිය.
කිසිවෙකුත් සර්ව සම්පූර්ණ නැත. අප සැවොම තුළම අත්හැර දැමිය යුතු කිසියම් නරක පුරුද්දක් සොයා ගත හැකිය. වාසනාවකට මේ පුරුදු ගල්වල කෙටූ ඉරි මෙන් නොවේය. ඒවා වෙනස් කළ හැකිය.
මේ වෙනසට අපේ මහන්සිය මිස වෙන කිසිවක් අවශ්‍ය නොවේ. අපේ බොහෝ අය කායවර්ධන මධ්‍යාස්ථානවල පැය ගණන් ගත කරති. එහෙත් අපට ඇති වටිනාම සම්පත, එනම් අපේ මනස, පුරුදු පුහුණු කිරීමට අමතක වෙති. එය ආරම්භයේදී අසීරුය. එහෙත් භාවනාව අපේ ජීවිතයට එක් කරන ඵලප්‍රයෝජන දුටු විට ඒ සඳහා අපේ මනස යොදවමින් කාලය ආයෝජනය කිරීමට අපි සතුටු වෙමු.