මෛත්‍රිය යනු සතුට එසේත් නැතිනම් සතුට ගෙන එන කාරණා අන් අය වෙත ළඟාවේවා’යි කරන පැතුමය. හැම අයෙකුටම එක හා සමානව සතුට අවශ්‍යයි යන අවබෝධය මත පදනම්ව සිදුකරන එය විශ්වීය මෙන්ම කොන්දේසි විරහිතද වේ. ඔවුන්ගේ සතුට උදෙසා දායක වීම පිණිස ඔවුන්ගේ අවශ්‍යතා සහ රුචි-අරුචිකම් ගැන සංවේදී වීමද මෙයටම ඇතුළත්ය. ඔවුන්ට අප සමග ඇති සම්බන්ධතාවද ඔවුන් කළ දෑද නොසලකා සෑම අයෙකු වෙතම සමානව මෙය පතුරුවා හළ හැකි අතර එසේ කිරීමෙන් කිසිදු ප්‍රතිලාභයක්ද බලාපොරොත්තු නොවේ. බුදුදහම තුළ මෛත්‍රිය යනු සතුට බිහිකිරීමේ විශිෂ්ටතම මූලාශ්‍රයය.
ඇලීම පරයන මෛත්‍රිය
ආදරය යන්න නිතරම මනෝභාව සමග එකමුතුව සිටී. ඇලීමෙන් ආතුර වූ අපි යමෙකුගේ සත්‍ය වශයෙන් ඇති හෝ මවාගත්තා වූ හෝ හොඳ ගතිගුණ අතිශයෝක්තියෙන් පැවසීමද ඔවුන්ගේ අඩුපාඩුකම් ප්‍රතික්ෂේප කිරීමද සිදුකරමු. “මම ඔබට ආදරෙයි, කවදාකවත් ඔබව හැරදමා යන්නේ නැහැ, මට ඔබ නැතිව ජීවත් විය නොහැකියි” යනුවෙන් සිතමින් අපි ඔවුන් වෙත ඇලෙමු. ඔවුන් අප ගැන අවධානය යොමු නොකරන විට අවුලට පත් වෙමු.
සැබෑ ආදරය යනු, ඔවුන්ට අප කැමතිද නැතිද යන්න පවා නොසලකා, පක්ෂපාතී වීමකින් තොරව සෑම සත්ත්වයෙකුගේම සතුට රඳා පවතීවා යන කැමැත්තය. - යොංඩ්සින් ලිං රින්පොචේ
බුදුදහම තුළ ආදරය (යන්න මෛත්‍රිය යනුවෙන් හැඳින්වෙන අතර) එය අනෙකා සමග සමීප වීම යන හැඟීමෙන් යුක්ත වේ. එහෙත් ඔවුන් අපට ආදරය කරත්ද අප ගැන සොයා බලත්ද යන කරුණ මත එය පදනම්ව නැත. මේ නිසා, එය කිසියම් පුද්ගලයෙකු මත රඳාපවතින්නේ නැත. ඇලීම සහ කිසියම් පුද්ගලයෙකු මත රැඳුණු ආදරය අස්ථාවරය. අප ආදරය කරන තැනැත්තා අපට වේදනාවක් දැනෙන දෙයක් සිදුකළ හොත් අප තවදුරටත් ඔවුනට ආදරය නොකර සිටීමට ඉඩ ඇත. බලන්න, කොපමණ විවාහයන් ප්‍රමාණයක් ආදරයෙන් ආරම්භ වී දික්කසාදයෙන් අවසන් වේද යන්න! අප කිසිදු අපේක්ෂාවකින් තොර වූ විට අපව චංචල කළ හැකි කිසිවක් නැත. තමුන්ගේ දඟකාර ළමයා වෙනුවෙන් නිරන්තරයෙන් ආදරය කරන, එම ළමයා වෙනුවෙන් හොඳම දේ අවශ්‍ය කරන දෙමාපියන් (ක්‍රියා කරන්නේ යම් සේද) එබඳු ස්ථිරසාර මෛත්‍රිය, ඉතාම අභියෝගාත්මක පුද්ගලයන් සමග පවා ගනුදෙනු කිරීමට අපට ශක්තිය ලබා දේ. ඒ සඳහා පුහුණුවීම අවශ්‍ය නමුත් අප හැමටම ඒ හැකියාව ඇත.
අපටම මෛත්‍රී කිරීම
නිතර නෙත නොගැටෙන පැතිකඩක් විශ්වීය ආදරයක නැතහොත් මෛත්‍රියක ඇතුළත් වේ: එනම්, අප අපටම මෛත්‍රී කිරීම අවශ්‍යය යන්නයි. එය, තමාව කේන්ද්‍ර කොට ගත්, තමා පමණක් වැදගත් බව සිතන ක්‍රමයකට අනුව නොව, අවංකවම අපේ කෙටි කාලීන සහ දිගු කාලීන ශුභසිද්ධිය ගැන සිතා බලන අයුරිනි. අපේ පෞරුෂයේ ඇති ඇතැම් ස්වයං-විනාශකාරී ගුණාංග අපි ප්‍රිය නොකරමු. එහෙත් එබඳු ප්‍රිය නොකිරීමක් මඟින්, අප වෙත නොසතුට පැමිණේවා යන මෛත්‍රියට ප්‍රතිවිරුද්ධ අංශය අදහස් නොකෙරේ. ස්වභාවයෙන්ම, සතුට අප වෙත ළඟා වීම අපට අවශ්‍යය.
අප අපටම මෛත්‍රී කිරීම යනු හුදෙක්ම වින්දනය සහ විනෝදාස්වාදය උදෙසා ඇති අපගේ අනවරත ආශාව තර කරගත හැකි දේවල් ප්‍රාර්ථනා කිරීම නොවේ. එවැනි දේ තුළින් අප ලබන පුංචි සතුට දිගුකල් නොපවතින අතර සැම විටම තවත් ඕනෑ යන හැඟීමකින් එය අවසන් වේ. අප අවංකවම අපට ආදරය කරත් නම්, එනම් මෛත්‍රී කරත් නම්, හුදෙක් කෙටි කාලීන වින්දනයක් වෙනුවට දිගුකල් පවත්නා සැබෑ සතුටක් සොයා ගැනීමට අපි උත්සාහ කළ යුත්තෙමු. අන් අය වෙත සැබෑවටම මෛත්‍රී කළ හැකි වන්නේ අප අපටම සැබෑවටම මෛත්‍රී කරන විටය.