ආගම ඉක්මවූ සදාචාරය

ද්විතීයක මට්ටමේ වෙනස්කම්වලට වැඩි වැදගත්කමක් දීමේ දොස්පරොස්

පිංවත් සොයුරු, සොයුරියනි, ඔබ හමුවේ කතා කරන්නට මට අවස්ථාවක් හිමිවීම ගැන මා අතිශයින් සතුටු වෙනවා. පළමුවෙන්ම, මා මිනිසුන් ඉදිරියේ කතාවක් පවත්වන හැමවිටම පැහැදිලි කරන දෙයක් තියෙනවා. කරුණාකර තමුන් ගැන ‘මිනිසෙකු’ විදිහට හිතන්න. ඒ කියන්නේ, උදාහරණයක් විදිහට, “මම ස්විස් ජාතිකයෙක්,” “මම ඉතාලියානු ජාතිකයෙක්,” හෝ “මම ප්‍රංශ ජාතිකයෙක්” කියා හිතන්න එපා. මගේ භාෂාපරිවර්තක වුණත් හිතන්න හොඳ නැහැ එයා ප්‍රංශ ජාතිකයෙකු කියා. මාත් හිතන්න හොඳ නැහැ මා ටිබෙට් ජාතිකයෙකු කියා. ඒ විතරක් නෙවේ, මා බෞද්ධයෙකු කියා මා ගැනම හිතන්නත් හොඳ නැහැ. මොකද, සාමාන්‍යයෙන් මගේ කතාවල, මනුෂ්‍යත්වය මත තමා සතුටින්පිරි ජීවිතයක් ගත කරන විදිහ, කරදර අඩු ජීවිතයක් ගත කරන විදිහ දක්වා තියෙන්නේ.

බිලියන හතක් මිනිසුන් අතර සිටින හැම කෙනෙකුටම සතුටින්පිරි ජීවිතයක් අවශ්‍යයි. සෑම මිනිසෙකුටම අයිතියක් තියෙනවා ඒ අරමුණ ළඟා කරගන්න. “මම ටිබෙට් ජාතිකයෙක්” වගේ ද්වීතියක මට්ටමේ වෙනස්කම්වලට වැඩි වැදගත්කමක් දුන්නොතින්, එමඟින් මා ටිබෙට් ජාතිය ගැන වැඩියෙන් සැලකිලිමත් වෙනවා. ඒ විතරක් නෙවේ, “මම බෞද්ධයෙක්” කියන හැඟීම මට අනෙක් බෞද්ධයන් සමග සමීප හැඟීමක් ගෙන දෙනවා. ඒත් එයින් ඉබේම අනෙකුත් විශ්වාසවලින් යම් දූරස්ථ බවක් නිර්මාණය කරනවා.

ඇත්තටම මේ විදිහට හිතීම, ගැටලුවලට උල්පතක්. අතීතයේ මිනිස්වර්ගයා මුහුණ දුන් සහ මේ විසිඑක්වන සියවසේදී තවමත් මුහුණ දෙන බොහෝ ප්‍රශ්න සහ දරුණු ප්‍රචණ්ඩත්වයද එයටම ඇතුළත්. අනෙක් අයත් ඔබ වගේම මිනිසුන් නේද කියා හිතනවා නම් ප්‍රචණ්ඩත්වය කවදාකවත් ඇති වෙන්නේ නැහැ. තව කෙනෙකුව මරන්න කිසිම හේතුවක් නැහැ. ඒත්, මිනිසුන් සේරම එකයි කියන දේ අප අමතක කර දාලා, “මගේ රට” සහ “ඒ අයගේ රට,” “මගේ ආගම” සහ “ඒ අයගේ ආගම” කියා ද්විතීයක මට්ටමේ වෙනස්කම් ගැන හිත යොදවනවා නම්, අප වෙනස්කම් නිර්මාණය කරගන්නවා, අපේ මිනිසුන් ගැනයි අපේ ආගමික අනුගාමිකයන් ගැනයි වැඩියෙන් සොයා බලනවා. එතකොට අප අනෙකාගේ අයිතීන් නොසලකා හරිනවා, අන් අයගේ ජීවිතවලට ගරු කරන්නේත් නැති වෙනවා. අද පවා අප මුහුණ දෙන බොහෝ ප්‍රශ්නවල පදනම මේ ද්විතීයක මට්ටමේ වෙනස්කම්වලට වැඩි බරක්, වැඩි වැදගත්කමක් දීම.

දැන්, මේකට තියෙන එකම ප්‍රතිකර්මය තමා සීමාමායිම්, බාධක නැතිව මිනිසුන් කියන මට්ටමේ සිට අප ගැනම තාර්කිකව සිතීම. උදාහරණයක් විදිහට, මෙහෙම කතාවක් පවත්වන විට මා, මා ගැනම හිතනවා නම් ටිබෙට් බෞද්ධයෙකු කියා, සමහර විට ඊටත් එහා ගිහිං මා ගැන හිතනවා නම් “පරම පූජනීය දලයිලාමා වහන්සේ” කියා, ඒකෙන් වෙන්නේ මාත් ශ්‍රාවකයනුත් අතර පරතරයක් නිර්මාණය වීමයි. ඒක පිස්සුවක්.  මා අවංකව ඔබේ යහපැවැත්ම ගැන සිතා බලනවා නම්, මා ඔබට කතා කළ යුත්තේ මේ ඉන්නේ මා වගේ මිනිසුන්, මිනිස් සහෝදර සහෝදරියන් කියන මට්ටමෙන්. ඇත්තම කාරණයත් අපි සමානයි. මානසිකව, හැඟීම්වලින් සහ කායිකවත්. වැදගත්ම දේ මේකයි. හැම කෙනෙකුටම අවශ්‍යයි කිසිම දුක්පීඩාවක් නැති සතුටින්පිරි ජීවිතයක්. මාත් එහෙමයි. ඉතිං අපි ඒ මට්ටමේ ඉදන් කතා කරමු.

වීතාගමික සදාචාරය

වීතාගමික සදාචාරය කියන්නේ බොහෝ කොටම ජෛවීය සාධක මත බැඳුණ දෙයක්. ඒත් ආගමික විශ්වාස කියන්නේ මිනිසුන්ට විතරක් තියෙන දෙයක්. මිනිසුන් අතර විශ්වාස වැඩෙනවා. ඒත් ඒක ජෛවීය සාධකයක් නොවේ. වීතාගමික සදාචාරයෙන් බිලියන හතක් පමණ වන සමස්ත ජනගහනයම ආවරණය වෙනවා. මා ඊයෙත් මතක් කළා වගේ, බිලියන හතක් මිනිසුන් අතුරින්, බිලියනයක පමණ මිනිසුන් නිලවශයෙන් ප්‍රකාශකර තියෙනවා ඒ අය කිසිදු ඇදහීමක් නැති අය කියා. මේ නිසා අප සිතුවොත් බිලියන හයක් මිනිසුන් ආගමික ඇදහීමක් තියෙන අය කියා, ගොඩක් දූෂිත මිනිසුන් (ඒ අතර) ඉන්නවා නේ. අයථා සම්බන්ධතා, සූරාකෑම, දූෂණය, වංචාව, බොරුකීම, සහ හිරිහැරකිරීම් තියෙනවා නේ. මා විශ්වාස කරනවා මෙහෙම වෙන්නේ, සදාචාර මූලධර්ම ගැන අවංක විශ්වාසයක් නැතිකම නිසා කියා. ආගම පවා වැරදි අරමුණු උදෙසා භාවිත කරනවා. මා මේක ඊයේ සඳහන් කළාද නැද්ද මන්දා. කුහක විදිහට ක්‍රියා කරන්නේ කොහොමද කියා ආගම අපට උගන්වනවා කියා මට වෙලාවකට හැඟෙනවා. අප “මෛත්‍රිය,” “කරුණාව” වගේ හොඳ දේවල් කියනවා, ඒත් යාථාර්ථ වශයෙන් අප එහෙම ක්‍රියා කරන්නේ නැහැ, සෑහෙන නොකටයුතුකම් තමා තියෙන්නේ.

එක්තරා සාම්ප්‍රදායික ක්‍රමයක් හැටියට තමා මේ හොඳ දේවල් ගැන ආගම කතා කරන්නේ, එහෙම නැතිව ඔබේ හදවතට ඇත්තටම බද්ධ වුණු ක්‍රමයකට නෙවේ. මෙහෙම වෙන්නේ මිනිසුන්ට සදාචාර මූලධර්ම නැති නිසා, එහෙම නැතිනම් සදාචාර මූලධර්මවල වටිනාකම ගැන හොඳ විශ්වාසයක් නැති නිසා. යම් පුද්ගලයෙකු ආගමක් අදහන්නෙකුද නැද්ද යන්න නොසලකා මේ සදාචාර මූලධර්ම ගැන මිනිසුන්ට උගන්වන්නේ කොහොමද කියා අප ඉතා බැරූරුම්ව හිතන්න අවශ්‍යයි. ඊට පස්සේ මේ දේවලට උඩින් ඔබට ආගම තියන්න පුළුවන්. ඒක සැබෑ අව්‍යාජ ආගමක් වෙනවා. මා ඊයේ මතක්කළා වගේ සියලු ආගම් මේ වටිනාකම් ගැන කතා කරනවා.

තමුන්ගේ ක්ෂේත්‍රයට ඇලීමක් ඇති කර නොගැනීම

පසුගිය සියවසේ, මිනිසුන් එකිනෙකා මරා ගන්න විට දෙගොල්ලම දෙවියන්ට යාච්ඤා කළා. අමාරු වැඩක්! අදත් ඇතැම්විට ඔබ දකිනවා ආගමේ නාමයෙන් ඇති වන ගැටුම්. මා හිතන්නේ දෙගොල්ලම දෙවියන්ට යාච්ඤා කරනවා. දෙවියන්ට අවුල ගිහිං ඇති කියා මා සමහරවිට විහිළු කරනවා. දෙගොල්ලම උන්වහන්සේට යාච්ඤා කරන විට උන්වහන්සේ යම් ආකාරයක ආශිර්වාදයක් කරන්නේ කොහොමද? ඒක අමාරු වැඩක්. වතාවක් ආජන්ටිනාවේ පැවති විද්‍යාඥයන් සහ ආගමික නායකයන් අතර සාකච්ඡාවකදී, ඒක අන්තර්-ආගමික සමුළුවක් නම් නෙවේ, මතුරනා (Maturana) කියා එක් භෞතිකවිද්‍යාඥයෙකු මට මුණගැහුණා. ඔහු අභාවප්‍රාප්ත වරේලාගේ (Varela) ගුරුවරයා. කලින්වතාවක ස්විට්සර්ලන්තයේදී මට ඔහුව මුණගැහිල තිබුණා, ඊට පස්සේ ආජන්ටිනාවේදී. ඊට පස්සේ නැහැ. ඔහුත් සමග කතා කරද්දි ඔහු කීවා භෞතික විද්‍යාඥයෙකු හැටියට තමා තමාගේම විද්‍යා ක්ෂේත්‍රයට ඇලෙන්න හොඳ නැහැ කියා. මෙය මා ඉගෙන ගත්තු පුදුමාකාර, ඒ වගේම බුද්ධිමත් ප්‍රකාශයක්.

මම බෞද්ධයෙක්. ඒත් මා බුදුදහම කෙරෙහි ඇලීමක් ඇති කර ගන්න හොඳ නැහැ. මොකද, ඇලීම කියන්නේ ඍණාත්මක මනෝභාවයක්. ඇලීම වර්ධනය වෙන කොට ඔබේ දැක්ම පක්ෂග්‍රාහී වෙනවා. වරක් ඔබේ මනස පක්ෂග්‍රාහී වුණොත් ඔබට කිසිවක් වාස්තවිකව දකින්න බැහැ.

මේ නිසා තමයි, ඔය ආගමේ නාමයෙන් ගැටුම්වලට සම්බන්ධ වෙන හුඟක් අය, මා හිතන්නේ, හුඟක් අවස්ථාවලදී එහෙම කරන්න හේතුව ආගමික විශ්වාසය නෙවේ, ආර්ථික හෝ දේශපාලන ඵලප්‍රයෝජන.

ඒත් සමහර අවස්ථාවලදී, ඒ කියන්නේ මූලධර්මවාදීන් වගේ, ඒ අය තමුන්ගේ ආගමට අතිශයින් ඇලෙනවා. ඒ නිසාම, අනෙක් සම්ප්‍රදායවල තියෙන වටිනාකම පේන්නේ නැති වෙනවා.

මතුරානාගේ ප්‍රකාශය මට විශාල අවවාදයක් වුණා. බොහෝ මිනිසුන් මුණ ගැසීමේ ප්‍රතිඵලයක් විදිහට මා අනෙක් බොහෝ දෙනෙකුගේ සම්ප්‍රදායයන් අගය කරනවා. ඇත්තෙන්ම මා මූලධර්මවාදියෙකුවත් උන්මත්තකයෙකුවත් නෙවේ. ඇතැම් වෙලාවට මා සඳහන් කරනවා මා දකුණු ප්‍රංශයේ ලූර්දුවලට (Lourdes) වරක් ගිහිං තියේ කියා. මා ගියේ වන්දනාකරුවෙකු වගේ. යේසුස් වහන්සේගේ ප්‍රතිමාවක් ඉදිරියේ මා වතුර ටිකක් බීවා. පිළිමය ඉදිරියේ සිටගෙන මගේ මනසින් ආවර්ජනය කර බැලුවා, මා අහල තියෙන විදිහට, මිලියන ගාණක් මිනිසුන් ශතවර්ෂ ගාණක් තිස්සේ රෝගීනුත් කැඳවාගෙන මෙතැනට එනවා, පිහිටක් බලාගෙන, ඒ අයගේ විශ්වාසයට අනුව එක්තරා ආකාරයක සුවවීමේ ආශිර්වාදයක් බලාගෙන.  මේ දේවල් ගැන මා ආවර්ජනය කළාම ක්‍රිස්තියානිය ගැන මට ගැඹුරු සංවේදී බවක් දැණුනා, කඳුළුත් වැටෙන්න වගේ. තවත් දවසක, පෘතුගාලයේ ෆාතිමාවල (Fátima) පුදුම දෙයක් වුණා. කතෝලිකයන් සහ ක්‍රිස්තියානි බැතිමතුන් වට කරගෙන මරියතුමියගේ පුංචි පිළිමයක් ඉදිරියේ පොඩි වෙලාවක් අප නිහඬ භාවනාවක් කළා. මායි අනෙක් අයයි පිටත් වෙන්න සූදානම් වන වෙලාවේ මා හැරිල බැලුවා, මරියතුමියගේ පිළිමය මා දිහා බලා ඇත්තටම හිනා වුණා. මා ආයෙ, ආයෙමත් බැලුවා. ඔව්, ඇය හිනා වෙනවා. මරියතුමිය මගේ සම්ප්‍රදාය-විරහිත ආගමික නැඹුරුව ගැන යම් ආකාරයක හඳුනා ගැනීමක් කරන්න ඇති කියා මට හැඟුණා. කොහොම වෙතත්, මා වැඩි කාලයක් ගත කළා නම් මරියතුමිය සමග දර්ශනය ගැන සාකච්ඡා කරන්න, මා හිතන්නේ මීට වඩා සංකීර්ණ දෙයක් මතු වෙන්න ඉඩ තිබුණා!

එක්තරා විදිහකට, තමුන්ගේම විශ්වාසයට වුණත් ඇලීම හොඳ නැහැ. සමහර වෙලාවට ආගම, ගැටීම් සහ බෙදීම් ඇති කරනවා, මේක සෑහෙන බරපතල කාරණයක්. ආගම්වලින් කරන්න ඕනේ  කෝපයට සහ වෛරයට ප්‍රතිකාර කරන කරුණාව සහ සමාවදීම වැඩි කරවීම. ඒත් ආගමක් අනෙක් ආගමික විශ්වාස කෙරෙහි වෛරය තව තවත් නිර්මාණය කරනවා නම්, ඒක හරියට අසනීපයක් සුව කරන්න තියෙන ඖෂධයක් අසනීපය වැඩි කරන්න හේතු වෙනවා වගේ වැඩක්. මොකද කරන්නේ? ඇත්ත වශයෙන්ම මේ හැම නරක දෙයක්ම වෙන්නේ, සදාචාර මූලධර්ම ගැන හොඳ විශ්වාසයක් නැතිකම නිසා. මේ නිසා, වීතාගමික සදාචාරයක් ප්‍රවර්ධනය කිරීම පිණිස අව්‍යාජ පරිශ්‍රමයක් දරන්න අපට විවිධ පුහුණු කිරීම් සහ විවිධ සාධක අවශ්‍යයි කියා මා විශ්වාස කරනවා.

වීතාගමිකවාදය සහ අනෙකාට ගරු කිරීම

දැන් වීතාගමික සදාචාරය. හිටපු ඉන්දීය නියෝජ්‍ය අගමැති අද්වානි මහතාව මා හොඳින් දැන හැටියා. කැනේඩියානු රූපවාහිනි කණ්ඩායමක් ඔහු සමග සම්මුඛ සාකච්ඡාවක් සිදුකර ඉන්දියාව තුළ සාර්ථකව ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීම උදෙසා ඇති පදනම කුමක්ද කියා ඔහුගෙන් ඇසූ බව එක්තරා අවස්ථාවකදී ඔහු සඳහන් කළා. වාදවිවාද සහ විරුද්ධමතවාද තිබුණත් වසර දහස් ගණනක් තිස්සේ අනෙකාට ගරු කිරිමේ සම්ප්‍රදායයක් ඉන්දියාවේ තිබුණ කියා ඔහු එයට පිළිතුරු දුන්නා. ඔහු මට කීවා, වසර තුන්දහසකට පමණ පෙර, චාර්වාචක, නැතිනම් නාස්තිකවාදී දාර්ශනික මත ඉන්දියාවේ වැඩුණා කියා. අනෙකුත් ඉන්දීය දාර්ශනික මතධාරීන් ඔවුන්ව විවේචනය කළා, ඔවුන්ගේ මත හෙළා දැක්කා. ඒත් තාමත් චාර්වාක මතධාරීන් හඳුන්වන්නේ ‘ඍෂි’ කියන නමින්. මෙයින් හැඟවෙන්නේ එදිරිවාදීකම්, උණුසුම් සාකච්ඡා තිබුණත් ගෞරවයත් එතැන තිබුණා. එ් කියන්නේ, අප ඇදහීමක් නැති අයටත් ගරු කළ යුතුයි.

ඊයේ මා කීවා, මගේ ඇතැම් මිතුරන්ට, ඇතැම් ක්‍රිස්තියානි සහ මුස්ලිම් මිතුරන්ට, මේ “වීතාගමිකවාදය” යන වචනය සමග පුංචි සැකසංකාවක් තියෙනවා කියා. මා හිතන්නේ එහෙම වෙන්නේ, ප්‍රංශ විප්ලවය කාලේ සහ බෝල්ශේවික් විප්ලවය කාලේ ආගමට විරුද්ධ වූ නැඹුරුවක් තිබුණ නිසා. ඒත් මට පැහැදිලිවම ආගම සහ ආගමික සංස්ථා අතර වෙනසක් සිදුකරන්න අවශ්‍යයි. ඒ දෙක දෙකක්. සිහිකල්පනාවක් ඇති මනුෂ්‍යයෙකු කොහොමද ආගමට එරෙහි වෙන්නේ? ආගම කියන්නේ මෛත්‍රිය සහ කරුණාව, කාටවත් ඕනේ නැහැ මේ දේවල් විවේචනය කරන්න. ඒ වුණාට ආගමික සංස්ථා කියන්නේ වෙන දෙයක්. ප්‍රංශ සහ බෝල්ශේවික් විප්ලව කාලේ, ඒ අවස්ථා දෙකේදීම සිටි පාලක පංතිවල අය මහජනතාව ඇත්තටම අපයෝජනයට ලක් කළා. ඒ විතරක් නෙවේ, පාලක පංතියට ආගමික සංස්ථාවල පූර්ණ සහයෝගයත් ලැබුණා. මේ නිසා, පාලක පංතියට එරෙහිව තීරණාත්මක බලවේගයක් ගොඩනැඟීමේදී තාර්කිකව ආගමික සංස්ථාවලට එරෙහිවීමත් එයට ඇතුළත් වුණා. මේ නිසා තමා, ආගමට හෝ දෙවියන්ට හෝ එරෙහිවීමේ යම් ආකාරයක නැඹුරුවක් ඇති වුණේ.

අද පවා, ආගමික සංස්ථාවන් ඇතුළේ, ටිබෙට් බෞද්ධ සමාජයේ පවා, යම් ආකාරයක සූරාකෑමක් සිදුවෙනවා නම් අපට ඒකට විරුද්ධ වෙන්න වෙනවා. මගේ වුණත් ක්‍රියාප්‍රතිපදාව වුණේ මෙහෙමයි. අවුරුදු දෙකකට උඩදී, ටිබෙට් ජනතාවගේ ලෞකික මෙන්ම ආධ්‍යාත්මික නායකයා බවට ඉබේම දලයිලාමාව පත් කරවීමේ වසර හාරසීයක් පමණ පැරණි සම්ප්‍රදායයක් මා අවසන් කළා. මා ඒක අවසන් කළේ ස්වකැමැත්තෙන්ම, සතුටින් සහ ආඩම්බරයෙන්. ඒ වගේ දේවල් ඇත්තටම ධර්මයේ වටිනාකමට හානියක් කරනවා. ඉතිං, මේ නිසා අප ආගමික සංස්ථා සහ සැබෑ ආගමික ප්‍රතිපදාවත් පනිවිඩයත් අතර වෙනසක් ඇති කළ යුතුයි.

වීතාගමිකවාදයේ ඉන්දීය වටහාගැනීමට අනුව, සියලු ආගම්වලට ගරුකිරීම මෙන්ම සියලු ඇදහීම් නැත්තන්ටත් ගරුකිරීම මිස එතැන ආගම කෙරෙහි ඍණාත්මක වැටහීමක් නැහැ.  මා හිතන්නේ මේක හරිම බුද්ධිමත්. කොහොමද අප මෙය ප්‍රවර්ධනය කරන්නේ. බණ කීමෙන්? බැහැ. එහෙම නම් යාච්ඤා කිරීමෙන්? බැහැ. එහෙම නැතිනම් අධ්‍යාපනයෙන්. ඔව්. අප කායික සෞඛ්‍යසම්පන්න බව පිළිබඳ අධ්‍යාපනය ලබනවා. ඉතිං ඇයි බැරි මනෝභාවික හෝ මානසික සෞඛ්‍යසම්පන්න බව ගැන, නීරෝගි මනසක් රැක ගන්නේ කෙසේද යන්න ගැන සරල දැනුමක් අධ්‍යාපනයෙන් ලබන්න? දෙවියන් වහන්සේ ගැන හරි, ඊළඟ භවය ගැන හරි, බුදුහාමුදුරුවන් ගැන හරි, නිර්වාණය ගැන හරි කතා කරන්න ඕනේම නැහැ. ඒත් හිතක් තියෙන, සතුටින්පිරි පුද්ගලයෙකු ගොඩනඟන්නේ කෙසේද යන්න ගැන සරලව කතා කළ හැකියි. සතුටින්පිරි පුද්ගලයෙකු සතුටින්පිරි පවුලක් හදනවා, එමඟින් සතුටින්පිරි සමාජයක් හදනවා. මේ නිසා, මා හිතනවා, අපට මනෝභාවික සෞඛ්‍යසම්පන්න බව ගැන පාඩම් කීපයක් අවශ්‍යයි කියා.

මනෝභාවික සෞඛ්‍යසම්පන්න බව

මනෝභාවික සෞඛ්‍යසම්පන්න බව කියන්නේ මොකද්ද? මේකෙන් කියැවෙන්නේ අපේ සංසුන් මනස, එහෙම නැත්නම් මනසේ සැනසීම විනාශ කරන සාධක ගැන සොයා බැලීමයි. මේ සාධක හරියට මානසික රෝගයක් වගේ. මොකද මේ ඍණාත්මක මනෝභාවයන් විනාශ කරන්නේ ඔබේ සැනසීමෙන් යුත්, නීරෝගි මනස විතරක් නෙවේ, යථාර්ථය තෝරාබේරා ගැනීමට ඇති ඔබේ මානසික හැකියාවත් විනාශ කරනවා. මේකෙන් විශාල හානියක් වෙනවා. මොකද, ඔබ කේන්තියෙන් ඉන්න විට ඔබට යථාර්ථය දකින්න බැරිව ඔබේ මනස පක්ෂග්‍රාහී වෙනවා. ඇලීම තියෙද්දිත්, ඔබට යථාර්ථය නිවැරදිව දකින්නත් බැරිව යනවා. මේක මානසික රෝගයක්. අපේ මනසේ සාමාන්‍ය ස්වභාවය තමා අවධානයෙන් සිටීම. අවධානයෙන් සිටීමට ඇති මේ හැකියාව අඩුකරවන ඕනෑම විදිහක මානසික සාධකයක් ඍණාත්මත දෙයක් තමා.

මේ අනුව, මනෝභාවික සෞඛ්‍යසම්පන්න බව කියන්නේ මේ විදිහෙ ඍණාත්මක මනෝභාවයන් ලිහිල් කර, නීරෝගි මනසක්, ඒ කියන්නේ, පැහැදිලි සහ සංසුන් බව උදෙසා මනසේ ඇති හැකියාව පවත්වා ගෙන යාමයි. මේක කරන්න නම්, මුළින්ම අප එය කිරීමට උනන්දුවක් වගා කරවිය යුතුයි, වැඩිදියුණු කරවිය යුතුයි. එහෙම උනන්දුවක් නැතිනම්, ඔබට බැහැ මිනිසුන්ට බලපෑම් කරන්න. කිසිම නීතියකින් අණපනතකින් මිනිසුන් ලවා එය කරවන්න බැහැ. ඒ ඒ පුද්ගලයන්ගේ උද්‍යෝගය තුළින් තමා එය එළියට එන්න ඕනේ. එහෙම වෙන්නේ, ඔබ එය ක්‍රියාත්මක කිරීමේ වටිනාකම දකිනවා නම් විතරයි. මෙන්න මේ වටිනාකම් ගැන අපට උගන්වන්න පුළුවන්.

මනස සහ මනෝභාවයන් ගැන විද්‍යාත්මක සොයා ගැනීම්

අපට දැන් විද්‍යාව දිහා බලන්න පුළුවන්. කිරුම්මිනුම් භාවිත කළ හැකි ද්‍රව්‍ය ගැන තමා නූතන විද්‍යාව ඒ දවස්වල අවධානයෙන් බැලුවේ. මා හිතන්නේ, විසිවන සියවසේ අගභාගයේදී සහ දැනුත්, ඒ කියන්නේ, විසි-එක්වන සියවසේ ආරම්භයේදී, විද්‍යාඥයන් වැඩි වැඩියෙන් සැබෑ උනන්දුවක් දක්වනවා මනස සහ එහි මනෝභාවයන් ගැන. මොකද, සෞඛ්‍ය ගැන හිතද්දි, මනස සහ මනෝභාවයන් අතර ඉතා කිට්ටු සම්බන්ධයක් තියෙනවා. “නීරෝගි මනසක්, නීරෝගි සිරුරක්” කියා සමහර විද්‍යාඥයන් කියනවා. නිරන්තර බිය, කෝපය සහ වෛරය, අපේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ඇත්තටම කා දමනවා, මූලිකවම වඩා කාරුණික මනසක් ඔරොත්තු දෙනවා, ඒ වගේම කායික නීරෝගි බවත් වැඩි කරනවා කියා වෛද්‍ය විද්‍යාඥයන් පවා කියනවා. පැහැදිලිවම අපි දන්නවා මානසිකව සතුටින් ඉන්න මිනිසුන්ගේ ශරීරවලට යහපත් බලපෑම හුඟාක් වැඩියි කියා.

ඍණාත්මක අවස්ථාවල ධනාත්මක බව හඳුනාගැනීම

මගේ ජීවිතයෙදී, අවුරුදු දහසය වන විට මා හුඟාක් වගකීම් දැරුවා. ඒක හරිම අමාරු තත්ත්වයක් වුණා. අවුරුදු විසිහතරේදී, මට මගේ රට නැති වුණා. අද වනතුරු ජීවිතයේ බොහෝ කාලයක් සරණාගතයෙකු වගේ තමයි ජීවත් වුණේ. ඒ අතර තුර කාලයේ, ටිබෙටය ඇතුළේ බොහෝ දුක්පීඩා සහ ගැටලු ඇති වී තිබුණා. මිනිසුන් මා කෙරෙහි හුඟාක් බලාපොරොත්තු තියා ගත්තා, විශ්වාස කළා. එත් මා අසරණයි. කෙසේ වෙතත්, මගේ මනසේ සැනසුණු බව නිසා මේ හැම දේම දිහා යථාර්ථවාදී ලෙස බලන්න මට අවස්ථාව ලැබුණා. ශාන්තිදේව හාමුදුරුවන් කී පරිදි, දුෂ්කරතා මඟහරවා ගන්න පුළුවන් නම් එතැන සිත්තැවුල් ගන්න අවශ්‍ය නැහැ. ඒ වගේම, දුෂ්කර අවස්ථාවක් තිබුණත් එය මඟහරවා ගන්න විදිහක් ඇත්තේම නැත්නම්, එතකොට ඒ ගැන හුඟාක් සිත්තැවුල් ඇති කරගත්තා කියා පලක් නැහැ. මේක හරිම යථාර්ථවාදියි. ඉතිං මා ඒවා පුහුණු කළා.

දේවල් දිහා යථාර්ථවාදී ක්‍රමයටක බැලීමත්, හැම දේම සාපේක්ෂ බව දැකීමත් වැදගත්. මොනදේ වුණත් යම් හොඳ පැත්තක් තියෙන්න පුළුවන්. මගේ සිදුවීමේදී, මට සරණාගතයෙකු වෙන්න වුණා, ඒත් ඒ නිසාම මට අවස්ථාව ලැබුණා බොහෝ මිනිසුන්ව මුණ ගැහෙන්න, බොහෝ වෙනස් දෘෂ්ටීන් ඉගෙන ගන්න. මට විවිධ ක්ෂේත්‍රවලට අයත් යාචකයන්, නායකයන්, උගතුන්, ඒ වගේම ආගම්-විරෝධී පුද්ගලයන් මුණගැසුණා. මේක ලොකු උදව්වක්. මොකද, මා ටිබෙටයට සීමා වෙලා හිටියා නම්, මා හිතනවා මගේ දැනුම දැන් තියෙනවට වඩා භාගයක් වෙන්න තිබුණා. ඉතිං එක විදිහකට, මේක එක්තරා ශෝකාකූල දෙයක්. ඒත් තවත් විදිහකින් ඒ නිසා මට හොඳ අවස්ථා ගොඩක් ලැබුණා. අප විවිධ දෘෂ්ටිකෝණවලින් බලනවා නම් එතකොට අපට ඒක කමක්නෑ කියා දැනෙනවා. අශුභ දේවල් සිදුවෙන්න ඉඩ තියෙනවා, ඒත් ඒ දේවල් අතර සමහර හොඳ දේවලුත් තියෙන්න පුළුවන්.

ඉස්සර ටිබෙට් මිනිසුන් තරමක් හුදකලා වෙලා හිටියේ. ඒත් දැන් ඒ අයගේ චින්තනය සෑහෙන්න පුළුල් වෙලා. සියවස් ගාණක් තිස්සේ ටිබෙට් මිනිසුන් හිටියේ හරියට නිදාගෙන වගේ, ඒත් දැන් ඒ අය අවදිවෙලා. ඒක හොඳයි නේ! ඉතිං ඔබම බලන්න, ඔබ විවිධ දෘෂ්ටිකෝණවලින් බලනවා නම්, ඔබට පුළුවන් ශුභවාදී දේවල් හොයාගන්න. මානසික සැනසීම පවත්වාගෙන යන්න මේක අතිවිශාල උපකාරයක්. මේ දවස්වල, හුඟාක් මගේ මිතුරන් මාව මුණගැහුණාම මගෙන් අහනවා කොහොමද මගේ මූණ තවමත් තරුණ පෙනුමෙන් තියෙන්නේ කියා. ඒ අතර සමහරු මගේ රහස මොකද්ද කියලත් අහල තියෙනවා. මා සාමාන්‍යයෙන් කියන්නේ, පැය අටක් නවයක් නිදාගැනීම මානසික සැනසීමට උදවු වෙනවා කියා. ඇත්තටම ඒක එක සාධකයක් විතරයි. සැබෑ ප්‍රතිඵලදායක දේ නම් මනසත් මානසික තත්ත්වයනුත් සාපේක්ෂව නිහඬව සහ සංසුන්ව තිබීමයි.

සංසුන් මනසක් තිබීම වෛද්‍ය ශල්‍යකර්ම වගේ දේවලින් පවා ඉක්මන් සුවය ලබන්න උදවු වෙනවා. මගේ පිත්තාශයේ ශල්‍යකර්මයක් කරන්න සිදුවුණ වෙලාවේ ඒක ඇත්තටම හරිම බරපතල වුණා. ශල්‍යවෛද්‍යවරයා පසු දවසක මට කීවා සාමාන්‍යයෙන් ඒ ශල්‍යකර්මයට යන්නේ විනාඩි පහළොවක් විස්සක් විතර, ඒත් මගේ සිද්ධිය බරපතල තත්ත්වයක් නිසා පැය තුනක් අවශ්‍ය වුණා කියා. මොකද මගේ පිත්තාශය දෙගුණයක් තරම් ලොකු වෙලා ගොඩක් සැරව පිරිලා තිබුණලු. ඒත් මා දවස් පහකින් සුව වුණා. අන්න ඒ වගේ. ඉතිං, සංසුන් මනසක් සහ ශුභවාදි ආකල්ප නීරෝගි සිරුරක් පවත්වාගන්න සැබෑවටම උදවු වෙනවා. එහෙම වුණාම, යමක් නරක අතට හැරුණත් ඔබ ඉක්මනට සනීප වෙනවා. මානසික සැනසීම සැබෑවටම මනා සෞඛ්‍යයකට හරිම වැදගත් සාධකයක්.

බාහිර ලස්සන අභිභවන අභ්‍යන්තර ලස්සන

මා මෙතැනදි පොඩි විහිළුවක් එහෙම නැත්නම් පොඩි ඔච්චමක් කියන්නම්. ඒ තමයි, සමහර තරුණ කාන්තාවන් කැමතියි රූපලාවන්‍ය ද්‍රව්‍යවලට ගොඩක් සල්ලි වියපැහැදම් කරන්න. ඇතැම් කාන්තාවන් තමුන්ගේ මූණේ විවිධ වර්ණ ආලේප කරනවා - නිල්පාට, කොළපාට සහ තවත් ඒවා. එච්චර ලස්සන නැහැ, ඒත් ඒ අය හිතනවා ඒක ලස්සනයි කියා! මිනිසුන් බාහිර ලස්සන ගැන වැඩි අවධානයක් දෙන බව පේනවා. දවසක් විවෘත දේශනයකදී, එක්තරා කාන්තාවක් කොණ්ඩෙ නිල්පාට කරගෙන. ඒක ටිකක් අසාමාන්‍යයි. ඉතිං ඇත්තටම, මා ඇයට ඔච්චම් කර කීවා නිල් කොණ්ඩයක් අනිවාර්යයෙන් ලස්සන වෙන්නේ නැහැ කියා. ඇත්ත, බාහිර ලස්සන වැදගත්. ඒත් වඩා වැදගත් වන්නේ අභ්‍යන්තර ලස්සන. තමුන්ගේ බාහිර ලස්සන ගැන වැඩි අවධානයක් දෙන කාන්තාවන්, කරුණාකර තමුන්ගේ අභ්‍යන්තර ලස්සන ගැනත් යම් අවධානයක් දෙන්න. ඒක තමයි වඩා හොඳ!

මනස සහ මනෝභාවයන් ශාස්ත්‍රීය විෂයයක් ලෙස

අප විද්‍යාත්මක සොයා ගැනීම් ගැන කතා කරනවා. සැබෑ මානසික සැනසීම කියන දේ තීරණාත්මකයි. මානසික සැනසීමේ පදනම වෙන්නේ, අන් අයට ගරුකරන සහ අන් අයගේ යහපැවැත්ම පිළිබඳ සොයා බලන මෛත්‍රිය සහ කරුණාව පුරුදු පුහුණු කිරීමෙන් හටගන්න ආත්ම-විශ්වාසය සහ මානසික ශක්තියයි. වීතාගමික සදාචාරය කියන්නේ මෙයයි.

ළදරුපාසලේ සිට විශ්වවිද්‍යාලයය දක්වා මනස ගැනත්, මනෝභාවයන් පිළිබඳ සොයා බලන්නේ කොහොමද කියන දේ ගැනත් අපට උගන්වන්න පුළුවන්. විෂයපථය පෘථුලයි. මනස ගැනයි මනෝභාවයන් ගැනයි ඒ දෙක අතර සම්බන්ධය ගැනයි පැහැදිලි කිරීම් ගොඩක් තියෙනවා. අපට එක්තරා විදිහක හේතුඵල සම්බන්ධයක් දකින්න පුළුවන්. මනසේ එක කොටසක යම් දෙයක් වෙනවා නම් තවත් කොටසක තව දෙයක් වෙනවා. මේක හරියට තේරුම් ගන්න, අපට අවශ්‍යයි මනසයි සමස්ත මොළයයි එකිනෙකා සමග බද්ධ වෙන ආකාරය ගැන සලකා බලන්න.

මේ පෘථුල විෂයය ශාස්ත්‍රීය වශයෙන් ඇත්තටම හරිම වටිනවා. ඇමරිකාවේ, පසුගිය වසර කීපයක් තිස්සේ, මේ කාරණය පාදක කරගෙන පර්යේෂ සිදුකළා. සමහර දැනෙන ප්‍රතිඵල ඒකෙන් මතුවුණා. එක් ප්‍රතිඵලයක් විදිහට, වීතාගමික සදාචාරය ගැන උගන්වන අධ්‍යාපන වැඩසටහන් දැන් තියෙනවා. වීතාගමික අධ්‍යාපන ක්ෂේත්‍රයකට ගැළපෙන විදිහට වීතාගමිකවාදය මත පදනම් ව, සදාචාරය ගැන කතා කරන විෂය නිර්දේශ නිර්මාණය කරන්න අපත් දැන් බැඳී සිටිනවා.

මෙහි සිටින ශ්‍රාවකයන්, විශේෂයෙන්ම අධ්‍යාපනවේදීන් සහ චින්තකයන්, මේ ගැන වැඩියෙන් හිතන්න ඕනැ. අවස්ථාවක් ලැබුණ ගමන් මේ විෂයය ගැන යම් යම් සාකච්ඡා පවත්වන්න ඕනැ. අද වෙනකොට, සදාචාර සංවර්ධනය පිළිබඳ පාඩම් අධ්‍යාපන පද්ධතියේ අඩුයි. ඉතිං ගොඩාක් මිනිසුන් ඒ වෙනුවෙන් ආගමික ඉගැන්වීම් මත විශ්වාසය තියනවා. ඇත්ත, ඒක හොඳයි. ඒත් ආගම් ගැන උනන්දුවක් නැති ආගමික සංකල්ප පිළිගන්න අසීරු අයත් ඉන්නවානේ. මෙහෙම කළාම (ආගම් ගාව ගත්තාම) එය අමාරු වෙනවා. ඒ නිසා, කාට කාටත් පිළිගන්න පුළුවන් වීතාගමික ක්‍රමයක් අපට සොයාගන්න වෙනවා.

සමාප්තයි. දැන් ප්‍රශ්න කීපයක්.

ප්‍රශ්න

ගෞරවණීය ස්වාමින් වහන්ස, ඔබ වහන්සේගේ අන්තිම අදහස් දැක්වීමේදී මං මේ අහන්න යන දේ ගැන යම්තං හැඟවුවා. ඒත් ඔබ වහන්සේ අමනාප නැතිනං, සම්පූර්ණ පිළිතුරුක් උදෙසා තමා මේ අහන්නේ. පාසල්වල සහ විශ්වවිද්‍යාලයවල වීතාගමික සදාචාරය ඉගැන්වීමේදී ඔබ වහන්සේ කාත් සමග හරි යෝග්‍ය අධ්‍යාපන වැඩසටහනක් සකස් කරමින්ද ඉන්නේ? එහෙම නම්, ඔබ වහන්සේ සහාය දෙන කිසියම් අධ්‍යාපන හෝ මූල්‍යමය හෝ ආයතන තියෙනවාද?

ඉන්දියාවේ, දිල්හිවල තියෙන විශ්වවිද්‍යාලය කීපයක උපකාර ඇතිව, මා අර මුලින් සඳහන් කළා වගේ විෂය නිර්දේශයක පිටපත නිර්මාණය කරන්න දැනටමත් අප කටයුතු ආරම්භ කර තියෙන්නේ. අපට තව තියෙනවා ‘මනස සහ ජීවිතය ආයතනය’ (Mind and Life Institute). ඊට අමතරව ඇමරිකාවේ, තනි තනි පුද්ගලයන් තමුන්ගේ ක්ෂේත්‍ර ස්ථානවල, ඒ කියන්නේ විස්කොන්සින් විශ්විද්‍යාලයය, ඉමෝරි විශ්වවිද්‍යාලයය, ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයය වගේ ස්ථානවල, දැනටමත් වීතාගමික සදාචාරය සහිත අධ්‍යාපනයක් ක්‍රියාත්මක කරනවා. දැනටමත් මේ වැඩපිළිවෙළ අප යුරෝපය දක්වා ව්‍යාප්ත කරලයි තියෙන්නේ. නොබෝ කලකින් අපට දිල්හියේ හෝ ඒ අවට හෝ යම් ආයතනයක් පිහිටුවන්න අවශ්‍යයි. මෙපමණයි අප මේ දක්වා ක්‍රියා කර තියෙන්නේ. විෂය නිර්දේශය සූදානම් වුණාම, අපට ගුරුවරු කීපදෙනෙකු පුහුණු කරන්න පුළුවන් වේවි, එතකොට යම් දෙයක් වෙයි. ඒක වැදගත් එකක් වේවි. අපි බලමු.

ගෞරවණීය ස්වාමින් වහන්ස, මං මේ පෘථිවියත් ගස්වැල්, සත්තු සහ මනෝඥ මිනිසුන් වන අප ඇතුළුව එයට අයත් සියලු දෙයටත් ආදරෙයි. ඒත් මේ මිනිසුන් කොයි වෙලේත් මේ ග්‍රහලෝකය විනාශ කරනවා. සමහර වෙලාවට ප්ලාස්ටික් බෝතල් මිලදී ගැනීම වගේ පුංචි සරල දේවලින්, තවත් වෙලාවට කැලෑ හෙළි කිරීම වැනි ලොකු බරපතල දේවලින්.  මං දන්නවා මං ඉවසීමෙන් කටයුතු කරන්න ඕනැ. ඒත් මට මෙය පේන කොට, ජීවය මැරෙනවා, පීඩා විඳිනවා කියා දකින කොට, මගේ ඇඟ ඇතුළේ ඉඳල ලොකු කේන්තියක් එනවා, මට සටන් කරන්න ඕනේ වෙනවා. ඉතිං මගේ ප්‍රශ්නය මේකයි, සෞඛ්‍යයට හිතකර කෝපය කියා දෙයක් තියෙනවාද? මට ආදරයෙන් සටන් කරන්න පුළුවන්ද?

මා මුලදීත් සඳහන් කළා වගේ කෝපය සම්බන්ධ වෙන්නේ මනෝභාවයන් සමග. ඉතිං, යම් දෙයක් ගැන හෝ අනෙක් පුද්ගලයන් ගැන හෝ සොයා බැලීම නිසා හටගන්න කෝපය එකක්, වෛරයෙන් පෙළඹුණු කෝපය කියන්නේ වෙනස් දෙයක්.

ගෞරවණීය ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ කීවා විශ්වාසයකින් ඉන්න අය බිලියන හයක් විතර සහ ඇතැම්විට බිලියනයක් පමණ අදේවවාදීන් මේ පෘථිවියේ ඉන්න බව. මට අදහසක් තියෙනවා මේ මිනිසුන්ගේ තුන්වන පාර්ශ්වයකුත් ඉන්නවා කියා. ඒ තමා, නිවසේදීම තවදුරටත් සාම්ප්‍රදායික ආයතනගත ආගම පිළිගැන්නේ නැති ඒත් අදේවවාදීනුත් නොවන, එමෙන්ම ආයතනික ආගමෙන් එහාට ගිය ආධ්‍යාත්මිකත්වය ගැන සොයන අය. ඒ අයට ඔබේ අවවාදය කුමක්ද?

අවුරුදු ගාණකට ඉස්සර, ස්ටොක්හොල්ම්වලදී පොඩි ජනකණ්ඩායමක් මට මුණ ගැහුණා. ඒ අය දැනට පවතින සම්ප්‍රදායවලට හෝ ආගම්වලට හෝ ප්‍රියමනාපයක් නැහැ. ඒත් යම් ආකාරයක ආධ්‍යාත්මිකත්වයක් සොයා යමින් සිටි අය. ඔව්, ඇත්තටම එහෙම පිරිසක් ඉන්නවා. කෙසේ වෙතත්, මට තේරිල තියෙනවා ඔබ “නව යුගය” කියන දේ එහෙන් මෙහෙන් චුට්ට චුට්ට අරගෙන ලොකු සම්බෝලයක් හදනවා. ඒක ඒතරම් පලක් ඇති දෙයක් නෙවේ.

යම් පුද්ගලයෙකු ද්‍රව්‍යමය අවශ්‍යතාවලින් සෑහීමකට පත් නොවන එක හොඳයි, වඩා ගැඹුරු වටිනාකම් වෙනුවෙන් උත්සාහ ගැනීම, සෙවීම හුඟාක් හොඳයි. ඒ අතර අපේ ජීවිත විශ්ලේෂණය කරමින්, සතුට කියන දේ යම් ආකාරයක ඉන්ද්‍රීයබද්ධ සංතෘප්තියකින් එන්නේ නැති බව දැකීම විටිනවා. හරියට, සංගීතය වාදනය වෙන කොට ඔබ සැනසෙනවා, ඒත් ඒක නතර වුණාම තවදුරටත් ඒ සැනසුම නැහැ. මානසික මට්ටමේදී, විශ්වාසය හෝ කරුණාව ගැන අතිශය ප්‍රබල හැඟීමක් ඇති වීම - එයින් එන සංතෘප්තිය සෑහෙන කල් පවතිනවා.

ඔබ වහන්සේට අනුව, මනුෂ්‍යයෙකුගේ ජීවිතයේ තියෙන වඩා වැදගත්ම දේ මොකද්ද?

මා කොයි වෙලේත් මිනිසුන්ට කියන්නේ අපේ ජීවිතයේ තියෙන හොඳම අරමුණ සතුටින්පිරි ජීවිතයක් ගත කිරීම. සතුට නැතිනම් ප්‍රීතිය ළඟා කරගැනීමට ඉඳුරන් මත සහ ඒ අත්දැකීම් මත යැපෙන්න හොඳ නැහැ. ඒ වෙනුවට, අපේ මානසික මට්ටම මත තමයි යැපෙන්න ඕනේ. ඒ නිසා, මා හැමවිටම කියන්නේ, අප අපේ ආධ්‍යාත්මික වටිනාකම්වලට වැඩි අවධානයක් දෙන්න අවශ්‍යයි. ඔබට බොහොම ස්තුතියි.

Top