අර්ථාන්විත ජීවිතයක් ගතකිරීම

හැම සචේතනික සත්ත්වයෙකුටම, විශේෂයෙන්ම මිනිසුන්ට, සැප-දුක, හොඳ-නරක, හානිදායක දේ සහ වාසිදායක දේ වෙන්කර හඳුනාගැනීමේ ශක්තියක් තියෙනවා. මේ හැඟීම් වෙන්කර හඳුනාගැනීමට ඇති හැකියාව නිසා, සැපසතුට අවශ්‍යයි, දුක්පීඩා එපා කියන කාරණයෙන් අපි හැමෝම සමානයි.

මෙහෙම වෙනස් ආකාරයේ හැඟීම් ඇති වුණේ කොහොමද කියා එහි පටන්ගැන්ම සොයා බැලීමේ සංකීර්ණ කාර්යයට මට මෙහිදී යන්න බැහැ. ඒ වුණත්, සතුටින්පිරි බව අගය කිරීම, දුක්වේදනා විඳීමට නොකැමති වීම යන කරුණු අපට තියෙනවා නේද යන්න ඉතා පැහැදිලියි, ප්‍රකටයි. මේ නිසා, සාමය සහ සමගිය ගෙන එන, කරදර සහ ආරවුල් ගෙන එන්නේ නැති ජීවිතයක් වෙත යොමු වීම අතිශයින්ම වැදගත්.

සැනසීම සහ සතුට ළඟා කරගැනීම කියන ප්‍රශ්නයේදී, අපේ සියලු ආකාර සැනසීම සහ සතුට බාහිර ද්‍රව්‍යමය සමෘද්ධියෙන්ම එන බව සිතීම වැරදියි.  ද්‍රව්‍යමය සැපපහසුකම් මත යැපුණාම, අපේ කායික සතුට සහ වින්දනය වැඩි කරගන්නත් අපගේ ඇතැම් කායික අපහසුතා මඟහරවා ගන්නත් අපට පුළුවන් විය හැකියි. ඒත් අප ද්‍රව්‍යමය සැපපහසුකම්වලින් උකහා ගන්න දේ අපේ ශාරීරික අත්දැකීමට පමණක් සීමා වෙනවා.

අනෙක් සතුන් වගේ නෙවෙයි, මිනිසුන්ට අතිවිශාල හැකියාවක් තියෙනවා හිතන්න, ගණනය කරන්න, තීරණ ගන්න සහ දීර්ඝකාලීන සැලසුම් හදන්න. මේ නිසා, අප මිනිසුන් විදිහට අත්විඳින වේදනාව සහ වින්දනය ගොඩක් බලවත්, ගොඩක් ශක්තිමත්. මේ තත්ත්වය මත, මිනිස් චින්තන හැකියාව සමග බොහොම තදින් බද්ධ වුණු අමතර පීඩාවක් මිනිසුන්ට අත්විඳින්න සිද්ධ වෙන්න පුළුවන්.

උදාහරණයක් විදිහට ගත්තොත්, සතුන් වගේ නෙවේ, මිනිසුන් ගැන හිතුවොත්, කිසියම් ආකාරයක තාවකාලික පීඩාවක් මඟහරවා ගැනීම මඟින් යම් ආකාරයක තාවකාලික සතුටකින් අප සෑහීමකට පත්වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ, මිනිසුන් වන අප දීර්ඝකාලීන සැලසුම් සකස් කිරීම, ගණනය කිරීම යන හැකියාවෙන් යුක්ත වන නිසා සහ එමඟින් අප සහ අනෙක් අය අතර බෙදීම් හදාගන්න නිසා. මේ බෙදීම් මත පදනම්වෙලා අප විවිධ ජාතිකයන් ගැන, විවිධ ජාතීන් ගැන සහ විවිධ ආගම් ගැන කතා කරනවා. අප ගණන්කරන්න බැරිතරම් බෙදීම් හදාගෙන, ඒවා මත පදනම් වී, නානාප්‍රකාර විතර්ක සිතුවිලි සහ වැරදි සිතුවිලි වැඩිදියුණු කර ගන්නවා.  ඒවා නිසා, ඇතැම් වෙලාවට, අප හුඟාක් බලාපොරොත්තු තියාගන්නවා, නැතිනම් ඇතැම් වෙලාවට, අප හුඟාක් සැකසංකා ඇති කර ගන්නවා.

මේ විදිහට, හුදෙක්ම මානව බුද්ධිය සහ සංකල්ප මත පදනම් වී, අප නොයෙක් ආකාරයේ නොසතුටු දේ අත්විඳිනවා. “පොදු මහජනයාට කායික පීඩාවක් ඇති වෙද්දි ඉහළතලයක ඉන්න අයට මානසික පීඩාවක් එයි” (II.8) කියා ආර්යදේව හාමුදුරුවන්ගේ චතුශ්ශතකශාස්ත්‍රය කියන ප්‍රසිද්ධ කෘතියේදී මේ බව ඉතාම පැහැදිලිවම පෙන්වා දී තියෙනවා. මේකෙ තේරුම මේකයි. හුඟාක් බලය තියෙන, හුඟාක් ධනය තියෙන අයට ලොකු කායික පීඩාවක් නැති වෙන්න පුළුවන්, ඒත්, ඒ අය හුඟාක් මානසික පීඩාවක් අත්විඳිනවා. දැන්, සාමාන්‍ය මිනිසුන් ගැන හිතුවාම, ප්‍රමාණවත් තරම් ඇඳුම්, කෑමබීම වගේ දේවල් ලබා ගන්න නොහැකිකම නිසා ඒ අයට බලවත් කායික පීඩාවක් තියෙනවා. මේ විදිහට, මිනිසුන් හැටියට අප හිතන ආකාරය නිසා, බොහෝ අමතර පීඩාවක් අත්විඳිනවා.

මා මුලදීත් කී ආකාරයට, කායික පීඩාව භෞතික ප්‍රගතියක් ලබා ගැනීම මඟින් අවම කරගන්න පුළුවන්. කොහොම වුණත්, ඔබේ භෞතික සුවපහසුව වැඩිදියුණු කරගැනීම මඟින්, ඔබේ මානසික ආකල්ප නිසා මුහුණ දෙන්න වෙන පීඩාව අවම කරගන්න බැහැ. අපට දැකගන්න පුළුවන් පැහැදිලිම උදාහරණය තමයි, තමුන්ට රිසි පරිදි භාවිත කළ හැකි සියලු භෞතික සැපපහසුකම් තියෙන හුඟාක් ධනවත් මිනිසුන් වුවත් නානාප්‍රකාර මානසික පීඩා දිගටම අත්විඳින බව. මේක අප කාටත් නිරීක්ෂණය කරන්න පුළුවන් දෙයක්. මේ නිසා, බාහිර ද්‍රව්‍යමය සුවපහසුකම් මඟින් නෙවේ, ඔබේ මානසික දැක්ම වෙනස් කරගැනීම මඟින්, ඔබේ මානසික ආකල්පවල ප්‍රතිඵලයක් විදිහට ඇති වෙන අපහසුතාව, ගැටලු, සහ පීඩා අවම කරගන්නත්, මුළුමනින්ම නැති කරගන්නත් පුළුවන් බව පැහැදිලියි.

මේ කාරණය සාරාංශ කළෝතින්, සතුට සහ දුක අත්විඳීම ගැන අප කතා කරන දේවල් අත්විඳින්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් බොහෝ සෙයින්ම ඉන්ද්‍රීය අත්දැකීමට අයත් - ඒ කියන්නේ, අප පංචේන්ද්‍රියයන් මඟින් අත්විඳින වින්දනය සහ වේදනාව. සතුට සහ දුක අත්විඳින අනෙක් මට්ටම පදනම් වෙලා තියෙන්නේ අපේ මනස සහ මානසික ආකල්ප මත. මේ දෙකින්, ඔබ මනසින් අත්විඳින සතුට සහ දුක, ඔබ ඉඳුරන් මඟින් අත්විඳින දේට වඩා බලවත් සහ ශක්තිමත්.

පැහැදිලි උදාහරණයක් ගත්තොතින්, ඔබට රිසි පරිදි භාවිත කළ හැකි සියලු භෞතික සුවපහසුකම් තිබුණත්, ඔබට කිසිම ආකාරයක කායික ගැටලුවක් හෝ පීඩාවක් හෝ නැතත්, ඔබේ මනස සැහැල්ලුවෙන් නෙවේ නම්, ඔබ මානසිකව පීඩාවිඳිමින් නම් ඉන්නේ, ඒ වෙලාවට, ඔබ මානසික මට්ටමින් මුහුණ දෙන මේ පීඩා සමනය කර ගන්න මේ භෞතික සුවපහසුකම්වලට පුළුවන් වෙන්නේ නැහැ. අනෙක් අතට, ඔබ කිසියම් කායික අපහසුතාවකට සහ පීඩාවකට මුහුණදෙමින් සිටියත් ඒ තත්ත්වය ඔබ මානසිකව පිළිගන්නවා නම්, ඒ වෙලාවට ඔබට පුළුවන් ඒ කායික පීඩාවට ඔරෝත්තු දෙන්න.

උදාහරණයක් විදිහට යම් යම් ආගමික වතාවත්වලට සම්පූර්ණයෙන් බැඳී සිටින පුද්ගලයෙකු ගන්න. ඒ ආගමික වතාවත් පුරන අතරතුරදීත් ඒ කෙනා කායික අපහසුතාවලට මුහුණදෙන්න ඉඩ තියෙනවා. ඒ වුණත්, ලද දෙයින් සතුටුවීම සහ සංතෘප්තිය නිසාත් තමා හඹා යායුතු අරමුණ ඉතා පැහැදිලි නිසාත් ඒ පුද්ගලයා ඒ අපහසුතාවන් දුෂ්කරතාවක් ලෙස දකිනවාට වඩා ආභරණයක් ලෙස තමා දකින්නේ.  ඉතිං, ශ්‍රේෂ්ඨ අරමුණු දැකීමෙන් ඒ මතුවී ඇති තත්ත්වය බාර ගැනීමට සූදානම් වූ මනසක් තිබීමෙන් කෙනෙකුට පුළුවන් ඒ කායික පීඩා මැඩපවත්වා ගන්න.  අප වඩා වැදගත් අරමුණක්, ඉලක්කයක් වෙනුවෙන් ක්‍රියා කරන විට කොහොමද අපේ කායික පීඩා මැඩපවත්වා ගන්නේ කියන කාරණය ගැන ගොඩාක් උදාහරණ තියෙනවා. ඒ වගේ අවස්ථාවලදී, අප හුඟාක් කායික ගැටලුවලට මුහුණ දුන්නත්, හුඟාක් සතුටින්, හුඟාක් ප්‍රීතියෙන් තමා ඒ කායික ගැටලුවලට සලකන්නේ, හරියට ආභරණකට වගේ.

සාරාංශයක් විදිහට, ඔබ ඔබේ ඉන්ද්‍රියයන් ඇසුරින් සහ මනසින් ලබා ගන්නා මේ අත්දැකීමේ දෙක අතුරින් ඔබ මනසින් ලබා ගන්නා අත්දැකීම වඩා වැදගත්.

මානසික ගැටලු සමග, මා කීවා වගේ, තනිකරම ඔබේ මානසික ආකල්පවල සහ මානසික දැක්මේ ප්‍රතිඵලයක් විදිහට ඇති වුණ ගැටලු සමග ගනුදෙනු කරද්දි, ඔබේ ආකල්ප වෙනස් කරගැනීම තුළින් ඒවා අවම කරගන්නත් නැති කරදාන්නත් පුළුවන්. මේ විදිහට මානසික ගැටලු අහක්කරගන්න ක්‍රමයක් තියෙනවා, විදිහක් තියෙනවා, ක්‍රමෝපායක් තියෙනවා. මේ නිසා, මේ මානසික ගැටලුවලින් බොහෝමයක් අහක්කරගන්න සහ අවම කරගන්න ක්‍රමෝපාය, විදි ගැන දැන ගැනීම වැදගත්. ඒ විතරක් නෙවේ, මේ මානසික ගැටලු අහක්කරගන්න විදි සහ ක්‍රමෝපාය ගැන අප කතා කරන විට, අපේ සහජ මානව ගතිගුණ ගැනත් දැනගැනීම සහ හඳුනාගැනීම වැදගත්.

උදාහරණයක් විදිහට මා මෙය දකින්නේ මෙහෙමයි. ඔබ මේ මිනිස් සමාජය දෙස විමසීමෙන් බලනවා නම්, අප සමාජීය සත්ත්වයන් බව ඔබ දැනගනීවි. ඒ කියන්නේ, අප ජීවත් වෙන්නේ සමාජයක් තුළ, අප මුළුමනින්ම එකිනෙකා මත යැපෙනවා. උපන්දා පටන් වැඩිහිටියන් වන තුරුමත් අපට අප ගැනම බලාගන්න පුළුවන් වන තුරුමත් අප අන් අයගේ කරුණාව මත යැපෙනවා, අපේ කායික යහපැවැත්ම උදෙසා පවා. මෙහෙම වෙන්නේ අපේ ජෛවීය ආකෘතිය නිසා, අපේ ශරීරයේ ආකෘතිය නිසා. අප සමීප බව පෙන්වන්න, පෙන්වන්න, අප අන් අය කෙරෙහි කරුණාව සහ රැකවරණය වැඩිදියුණු කරන්න, කරන්න, අපට වඩ වඩාත් සැනසීම සහ සතුට ළඟා කරගන්න පුළුවන් වෙනවා.  මේ මූලික මිනිස් වටිනාකම්වල ඇති වාසිදායක බව නිසා, අපට කියන්න පුළුවන් මේ මූලික මිනිස් වටිනාකම් වැදගත්, ඒවා අත්‍යවශ්‍යයි, ඒ නිසා, ඒවා අවශ්‍ය කරන ගතිගුණ කියා.

සමනල පැටව්, කැස්බෑ පැටව් වගේ වෙනත් සමහර උදාහරණ ගත්තාම, අම්මයි සමනල පැටියා හෝ කැස්බෑ පැටියා අතර ඒ හැටි යැපීමක් තියෙන බව පේන්නේ නැහැ. උදාහරණයක් විදිහට, සමනලුන් ගැන හිතද්දි, බිත්තර දැම්මාට පස්සේ පැටියට උගේ අම්මයි තාත්තයි මුණ ගැහෙන්න බැහැ. කැස්බෑවන් ගැන හිතද්දි වුණත්, උන් බිත්තර දානවා ඊට පස්සේ අතුරුදන් වෙනවා. ඔබ උන්ගේ අම්මව පැටියා ළඟට ළං කළත්, මේ පැටව් තමුන්ගේ මව්පියන්ට ආදරයක්, සෙනෙහසක් පෙන්වන්න හෝ ප්‍රතිචාර දක්වන්න හෝ සමත් වෙයි කියා නම් මට සැකයි. මොකද, ඉපදුණු මොහොතෙන් පසුව උන් ස්වධීන ජීවිතයකට තමා යොමු වෙන්නේ. මෙහෙම වෙන්නේ ඇතැම්විට උන්ගේ අතීත ජීවිත පුරුදු නිසා හෝ උන්ගේ කායික ආකෘතිය නිසා හෝ වෙන්න පුළුවන්. කැස්බෑ පැටව් සම්බන්ධයෙන් නම්, උන්ගේ අතීත ජීවිත පුරුදු නිසා හෝ කායික ආකෘතිය නිසා, උන්ට උන් ගැනම බලා කියාගන්න පුළුවන් වෙනවා. මුහුදු රළවල ශබ්දය ඇසුණ ගමන් උන් හෙමි හෙමීට මුහුද පැත්තට ඇදෙනවා, උන්ට උන් ගැන බලාගන්න පුළුවන් වෙනවා. පැහැදිලිවම මව්වරු එන්නේ නැහැ පැටවුන්ව කැඳවාගෙන ගිහිං පීනන හැටි වගේ දේවල් උගන්වන්න. එහෙම දේවල් එතැන නැහැ. ඉතිං මේ නිසා, උන් ස්වධීන ජීවිතයක් ගත කරනවා. පැටියා සහ මව්පියන් අතර වැඩිමනත් සෙනෙහසක් අපට එතැන පේන්නේ නැහැ.

දැන් මිනිසුන් ගැන හිතා බලද්දි, අපේ කායික ආකෘතිය නිසා, ඉපදුණු මොහොතේ සිටම අපේ දෙමාපියන්ට, විශේෂයෙන්ම අම්මට, දැඩි ආදරයක් සෙනෙහසක් පෙන්වන්න අපට පුළුවන්. මා මේ කරුණු හුවා දක්වන්නේ පෙර භවයක්, අනාගත භවයක් එහෙම නැතිනම් ආගමික මතවාදයක් පිළිගන්න කියන දැක්මෙන් නෙවේ. ඒත් ඔබ උවමනාවෙන් බලනවා නම් කොහොමද මිනිසුන් ජීවිතය පවත්වාගෙන යන්නේ, කොහොමද මිනිසුන් වැඩෙන්නේ කියා, මානව වටිනාකම්, මානව මෛත්‍රිය සහ කරුණාව මත අප සම්පූර්ණයෙන්ම යැපෙන්නේ අපේම ජීවන පැවැත්මට බව ඔබට වැටහේවි. ඒ වගේම, මිනිස් දරුවන් ගැන හිතද්දි, ඉපදුණු දා සිට ඔවුන් යැපෙන්නේ මව්කිරි මත. ඊට පසුව ටික ටික තමුන්ට තමුන් ගැනම බලාගන්න පුළුවන් වන තුරුම ඔවුන් යැපෙන්නේ මව්පියන්ගේ කරුණාව මත. ඒ අය වැඩුණට පසුවත්, තාමත්, අනෙකුත් හිතවන්ත මිනිසුන්ගේ කරුණාව මත යැපෙනවා.

ඔබට මිනිස් සහකරුවෙකු සිටින තාක්කල්, ඔබ ගැන සොයා බලන්න කවුරුන් හෝ සිටින තාක්කල්, ඔබට වඩාත් සැනසීමක්, වඩාත් සැහැල්ලුවක්, වඩාත් නිවසට වී සිටීමක් වැනි හැඟීමක් දැනෙනවා. මේ නිසා, ඔබ කාටවත් හිංසා නොකරන සහ හැකිතාක් දුරට හැම කෙනෙකුට උදවු කරන ජීවිතයක් ගත කිරීම වැදගත්. අනෙකුත් සචේතනික සත්ත්වයන් වෙත ඔබට මේ අදරණීය හැඟීම, මේ සෙනෙහස් හැඟීම තියෙනවා නම්, ඔබටත් පෙරළා හැමෝම කැමති වෙනවා, ආදරය කරනවා. ඒ විතරකුත් නෙවේ, මිය යන මොහොතේ දී පවා, ඔබට කිසිම කණස්සල්ලක්, බියක් හෝ මානසික අවහිරයක් නැති වෙනවා.

කොහොම වුණත්, අප වැඩිහිටියන් වෙන කොට, මානව බුද්ධියේ එකතරා කොටසක් ප්‍රබල විදිහට මතුවෙලා එනවා. සමහර වෙලාවට, ඒ මානව බුද්ධිය අපට නිෂ්ඵල බලාපොරත්තු තමා දෙන්නේ. අප අලුත් විෂයයන් ඉගෙන ගන්නවා, මානව බුද්ධිය හරහා අලුත් දැනුම රැස් කරනවා. මේ විදිහෙ දැනුමක් සමග අප හිතනවා, සමහර වෙලාවට, විශේෂයෙන්ම ඔබ ඉතා සාර්ථක වුණු වෙලාවට ඔබටම හිතෙන්න ඉඩ තියෙනවා “මට පුළුවන් අනෙක් අයට චණ්ඩිකම් පෙන්වන්න, මට පුළුවන් අනෙක් අයගෙන් අයුතු ප්‍රයෝජන ගන්න. මොකද, මට මේ අපූරු බුද්ධියයි, දැනුමයි තියෙනවා. ඒ නිසා මට මූලික මිනිස් වටිනාකම් වැදගත් නැහැ” කියා.  මෙහෙම ඔබට මේ විදිහෙ නිෂ්ඵල බලාපොරොත්තුවක් ගැන හැඟීමක් ඇවිත්, ඔබ නානාප්‍රකාර ආකල්ප සහ දැකීම් හදාගෙන, හරියට ඒ ක්‍රමයෙන් ඔබට යම් වාසියක් අත් කරගන්න පුළුවන් වගේ, අනෙකුත් මිනිසුන්ගෙන් අයුතු ප්‍රයෝජන ගන්න, ඒ අයට චණ්ඩිකම් පාන්න පසුබට වෙන්නේ නැහැ.

ඇත්ත වශයෙන්ම, අනෙක් මිනිසුන්ගේ සතුට ගැන තැකීමක් නැති ජීවිතයක් ඔබ ගත කරනවා නම්, ටිකෙන් ටික හැමෝම ඔබේ සතුරන් වෙනවා කියා ඔබට දැනගන්න ලැබේවි. ඔබ දකුණ බැලුවත්, වම බැලුවත්, ඉස්සරහ හෝ පිටිපස්ස බැලුවත්, ඔබට කැමති කෙනෙකු ඉතා කලාතුරකින් තමා හමුවෙන්නේ. මේ විදිහේ ඍණාත්මක ජීවිතයක් ගත කළාම, ඔබ මැරෙන වෙලාවට, ඔබ දැන් මැරෙන්න නේද යන්නේ කියා හැමෝම සතුටු වෙන්න ඉඩ තියෙනවා. ආපස්සට හැරී බලලා, මොන වගේ ජීවිතයක්ද ඔබ ගත කළේ කියා ආවර්ජනය කිරීමෙන් ඔබම පසුතැවෙන්න පටන් ගන්නත් ඉඩ තියෙනවා. ඔබ ජීවත් වෙන විදිහ නිසා, කවුරුවත් තවදුරටත් ඔබ ගැන සොයා බලන්නේ නැහැ කියා ඔබ තව වතාවක් කළකිරෙන්න ඉඩ තියෙනවා. මේ නිසා, ඔබ මේ මූලික මිනිස් වටිනාකම් නොසලකා හැරියොත් අව්‍යාජ සතුටක් හෝ දිගුකල් රඳනා සැනසීමක් හෝ අපේක්ෂා කිරීම බලාපොරොත්තු විරහිත දෙයක් බව පැහැදිලියි. මේ විදිහට, අන්තිමට ඔබ මිය යද්දි, ඔබ ගැන හොයා බලන්න කවුරුවත් නැහැ, කවුරුත් ඔබට ආදරය නැහැ. හිස් බව පිළිබඳ තදබල හැඟීමකින්, බලාපොරොත්තු සුන්වීම ගැන තදබල හැඟීමකින් ඔබ හිස් අතින්ම මේ ලෝකය අතහැර යනවා.  ඉතිං, අනෙකුත් සචේතනික සත්ත්වයන් ගැන සොයා බලන්නේ නැති ජීවිත ක්‍රමයක් කියන්නේ ඇත්තටම ජීවිතයක් ගත කරන්න පුළුවන් මෝඩම විදිහක්.

අනෙක් අතට, අපේ විශිෂ්ට බුද්ධිය සහ ප්‍රඥාව උදවු කරගෙන, ඔබට පුළුවන් නම් මේ මූලික මිනිස් වටිනාකම් පෝෂණය කරගන්න, වඩවා ගන්න, එතකොට මේ මානව කරුණාව අසීමාන්තිකව වඩන්න ඔබට පුළුවන්. ඒ මාර්ගයට ඔබේ ජීවිතය යොමු කරනවා කියන්නේ බුද්ධිමත් ක්‍රමයක්. ඒ තමා ඔබේ ජීවිතය අර්ථාන්විත කරන ක්‍රමය.

Top