අන්‍යයන්ට උදවු කරන ක්‍රම 11

සෑම දිනකම බොහෝ මිනිස්සුද සත්තුද දුක් විඳිති. ඔවුන්ට උපකාර කළ හැකි ක්‍රම බොහෝ ගණනක් ඇති නමුත් එය තීරණය වන්නේ ඔවුන්ගේ තත්ත්වය අවබෝධ කරගැනීම මත සහ උදවු කළ හැකි හොඳම ක්‍රමය වටහා ගැනීම මතය. කරුණාවන්ත වීම සහ දක්ෂ වීම ප්‍රමාණවත් නොවේ - අපේ කාලය ලබාදීමෙන් පරිත්‍යාගශීලි වීම, ස්වයං-ශික්ෂණයකින් යුක්ත වීම, ඉවසීම, යමක් දිගටම පවත්වාගෙන යාම, සිතේ ඒකාග්‍රතාව සහ ප්‍රඥාව තිබීම යන කරුණුත් අපට තිබීම අවශ්‍යය.  අන් අයට උපකාර කරන ක්‍රම එකළොසක් මෙහි දැක්වේ. ඒවා අවශ්‍යතා ඇති අයට ඵලදායී වනවා පමණක් නොව අපේ හුදෙකලා බව නමැති කටුව බිඳ දමා අපේ ජීවිත අර්ථාන්විත කර ගැනීමටද උපකාරී වේ.

1. දුක් විඳින අය ගැන සොයා බැලීම

රෝගීන්, ආබාධිත අය සහ වේදනාවෙන් පීඩා විඳින අය ගැන අප සොයා බැලීම අවශ්‍යය. යම් අයෙකු විශාල බරක් සමග හෝ අසීරු කාර්යයක් සමග හෝ පොරබදන බව අප දුටුව හොත් ඉදිරියට අවුත් ඔවුන්ගේ බර අපි බෙදාහදා ගනිමු.

2. තමුන්ටම පිහිටක් වන්නේ කෙසේද’යි අවුලෙන් සිටින අයට මඟ පෙන්වීම

අසීරු අවස්ථාවලදී කුමක් කරන්නේද’යි අවුලෙන් සිටින අයට, ඔවුන් විමසන්නේ නම් අපි උපදෙස් ලබා දෙමු, නැතහොත් අඩුම තරමේ ඇහුම්කන් දෙමු. අපේ බල්ලා හෝ පූසා හෝ කාමරයේ සිරවී සිටී නම් අපි දොර හැර ඌට එළියට යන්නට ඉඩ දෙමු. මැස්සෙකු ජනේලය අවට කැරෙකෙන විටද අපි මේ ක්‍රමයම අනුගමනය කරමු. ඒ මැස්සාට අපේ කාමරයේ ඉන්න උවමනාවක් නැත. ඌට එළියට යන්නට අවශ්‍යය. ඉතිං අපි ජනේලය හැර ඌට එළියට යන්නට ඉඩ දෙමු.

3. උදවු කළ අයට කෘතගුණ සලකන්න

මේ ලෝකය දුවවන්න කටයුතු කරන අයගේ සෑම කාර්යයක්ම අප අගය කිරීම වැදගත් දෙයකි. අප වෙනුවෙන් බොහෝ දේ කර ඇති ඔවුන්ට - අපේ දෙමාපියන් වැනි - උදවු කිරීමට උත්සාහ කරන්න. මෙය අවංක කෘතඥතා පූර්වක හැඟීමෙන් කළ යුතුය. ඒ හැර, වරදකාර හැඟීමකින් හෝ යුතුකම පිළිබඳ හැඟීමකින් නොවේ.

4. බියෙන් තැතිගත් අයට සුවපහසුව සහ රැකවරණය දෙන්න

බියපත් වී සිටින මිනිසුන්ට සහ සතුන්ට සුවපහසුව සැපයීමට අපේ උපරිමයෙන් අපි උත්සාහ කළ යුත්තෙමු. යමෙකුට තමුන්ට ආපදාවක් විය හැකි විපත්තිදායක තැනකට යාමට අවශ්‍ය කෙරේ නම් ඔවුන් සමග එම ගමන යාමටත් ඔවුන් ආරක්ෂා කිරීමටත් අපි ඉදිරිපත් වෙමු. ප්‍රචණ්ඩ අතීත අත්දැකීම්වලින් පලායන සරණාගතයන් උදෙසා අපි රැකවරණය සලසා දී ස්ථාවර වීමට උපකාර කරමු. යුද්ධයෙන් මානසික පීඩාවට පත් වූ හෝ යම් ආකාරයක අපයෝජනයට ලක්වූ හෝ අයට, තමුන්ගේ මානසික තුවාල සුව කරගැනීමට විශේෂයෙන්ම අපේ අවබෝධය සහ පිහිට අවශ්‍ය වේ.

5. විෂාදයෙන් පෙළෙන්නන්ව සනසාලන්න

මිනිසුන් දික්කසාදයෙන් හෝ තම ප්‍රියතමයා මිය යාමෙන් හෝ විෂාදයට පත්ව සිටින විට කරුණාවන්ත ආකාරයෙන් ඔවුන්ව සනසාලන්න අපි උත්සාහ කරමු. “අනේ ඔයා පව්නේ” යනුවෙන් සිතමින් අපි කිසිදාක ඔවුන්ට අනුකම්පාව ප්‍රදානය නොකරමු. එහෙත් ඔවුන් ඉන්නා තත්ත්වයට පිවිස ඔවුන්ගේ වේදනාව බෙදාහදා ගමු.

6. දුප්පතුන්ට ද්‍රව්‍යමය ආධාර ලබා දෙන්න

දයාවන්තකමින් පුණ්‍යාධාර දීම හොඳ ය. එහෙත් මහමඟදී අප දකිනා යාචකයන්ට දන්දීමද ඉතා වැදගත්ය. අප තුළ තිබිය හැකි, අනෙකාව නොසලකා හරිනසුලු යම් නිහඬ බවක් වේ නම් එය මැඬලීම අවශ්‍යය. විශේෂයෙන්ම ඉන්න හිටින්න තැනක් නැති කිළිටි සහ අශෝභන යාචකයෙකු දිස්වේ නම්, අපට ඒ දෙස බලන්නට උවමනාවක් නැතත්, සිනාසී ඔවුන්ට ගෞරවයෙන් සංග්‍රහ කරමු. මහමඟ ජීවත් වන ඒ පුද්ගලයා අපේ අම්මා හෝ අපේ පුතා හෝ වේය’යි සිතන්න. ඔවුන්ව ගඳගහන කුණු කැබැල්ලක් සේ සලකා අප කොහොමද හිතක් පපුවක් නැතිව එතැනින් ඉවත්ව යන්නේ?

7. සමීපතමයන්ට ධර්මය හඳුන්වා දෙන්න

හැමදාම අප අවටම රැඳී සිටීමට කැමති අයට පිහිට වීමට කටයුතු කිරීමද අවශ්‍යය. ඔවුන් අප මත යැපෙන්නන් බවට පත් කරවන්නට අපට අවශ්‍ය නැත. එහෙත් ඔවුන් අප සමග තදින්ම සම්බන්ධ නම්, සතුට ළඟා කරගැනීමේ සහ අන්‍යයන්ට උපකාර කිරීමේ මූලික බෞද්ධ ක්‍රමෝපායන් කියා දෙමින් ඔවුන්ට උපකාර කිරීමට උත්සාහ කළ හැකිය. එසේ කරන්නේ ඔවුන් ඒ සඳහා උනන්දුවක් දක්වන්නේ නම් පමණි. එය ඔවුන්ව ආගමික වශයෙන් හරවා ගැනීමක් නොව, පොදු උපදෙස් සහ උපකාර සැපයීමක් පමණි. මෙම ක්‍රමයට, අපට හිතවත්කම් නිර්මාණය කරගත හැකිය.

8. අන්‍යයන්ට ඔවුන්ගේ ප්‍රාර්ථනාවන්ට අනුව උපකාර කරන්න

අප අන් අයට උදවු කිරීමට උත්සාහ කළ යුත්තේ ඔවුන්ට ගැළපෙන ක්‍රමයකට අනුවය. යමෙකු අපෙන් ඉල්ලා සිටී නම් ඔවුන්ට යමක් උගන්වන්න’යි එය අප කරන්නට කැමති දෙයක් නොවුණත්, ඔවුන්ට එය යෝග්‍ය වේ නම්, අපට එසේ කළ හැකිය, අපේ උපරිමයෙන් එසේ කිරීමට උත්සාහ කළ යුතුය. අප මිතුරන් සමග කෑමකට අවන්හලකට ගියේ නම්, හැමවිටම අප ප්‍රිය කරන කෑම වර්ග ගෙන ඒමට ඇණවුම් කිරීම අනුන්ගේ හැඟීම් නොතකන ආත්මාර්ථකාමී ක්‍රියාවක් වන්නේ යම් සේද අපට අවශ්‍ය ලෙස අනුන්ට උපකාර කිරීමද එවැනිම ක්‍රියාවකි. ඇතැම් විට, අපට අනෙක් අය කැමති අයුරින්ද ක්‍රියා කළ හැකිය. හිතවත්කමක් පැවැත්වීමේදී මෙන්, අපට අවශ්‍ය දේ සහ අනෙක් තැනැත්තාට අවශ්‍ය දේ ගැන යම් සමථයකට පැමිණීමට අවශ්‍යය. එය හැමවිටම අපට අදාළ දේ හෝ අප කැමති දේ හෝ විය යුතු නැත.

9. ධාර්මික ජීවිත ගත කරන අයව දිරිගන්වන්න

ධාර්මික ජීවිත ගත කරන අයව - එනම් යහපත් මාර්ගයක් අනුගමනය කරමින් හොඳ වැඩ කරන අය - උඩඟු බවට පත් කරන්නේ නැතිව වර්ණනා කිරීම මඟින් ඔවුන්ට උදවු කළ හැකිය. නිහතමානී අය සම්බන්ධයෙන් මෙය විශේෂයෙන් අදාළ වේ. අතිමානයක් ඇති නමුත් යහපත් ගුණධර්ම ඇති අය සම්බන්ධයෙන් ගත් විට, අප අන් අය ඉදිරියේ ඔවුන්ව වර්ණනා කරන්නේ නමුත් ඔවුන්ගේ මුහුණට එය නොකරමු. එසේ තිබියදී අන් අයගේ යහපත උදෙසා ඔවුන්ගේ හැකියාව යොදා ගැනීම අපි දිරිමත් කරමු. එසේම, ඔවුන් විසින් සිදුකිරීමට ඉඩ ඇති යම් යම් අත්වැරැදි පෙන්වා දෙමින් ඔවුන්ගේ මානය අඩු කරගැනීමටද උදවු කරමු.

10. විනාශකාරී ජීවිත ගත කරන්නන්ට සාධනීය චර්යාවන් උගන්වන්න

අපට ඉතා විනාශකාරී, ඍණාත්මක ජීවිත ගත කරන මිනිසුන් මුණ ගැසේ නම් අපි ඔවුන්ව මඟහැරීම, ප්‍රතික්ෂේප කිරීම හෝ හෙළාදැකීම නොකළ යුත්තෙමු.  ඔවුන් ගැන විනිශ්චයකට පැමිණීම වෙනුවට, ඔවුන් වෙනස් වීමට සූදානම් නම්, ඍණාත්මක චර්යාවන් මැඬපවත්වන ක්‍රම පෙන්වා දීමට අපි උත්සාහ කළ යුතු වෙමු.

11. සියලු ක්‍රම අසාර්ථක වන විට යම් යම් අසාමාන්‍ය හැකියාවන් යොදා ගන්න

අපේ සමහරුන්ට සාමාන්‍ය තත්ත්වය ඉක්මවූ හැකියාවන් ඇත. අපි ආත්මාරක්ෂක සටන් ප්‍රවීණයෝ වෙමු, එහෙත් ඒ බව කාටවත් නොපෙන්වමු. ඒ නමුත්, යම් අයෙකුට පහර දෙන බව දුටුව හොත්, අපට ඔවුන්ව නවත්වන්නට වෙනත් ක්‍රමයක් ඇත්තේ නැති නම්, පහර දෙන්නාව යටපත් කරගන්නට අපි අපේ හැකියාවන් යොදා ගනිමු.

අන් අයට යහපත ගෙන දීමට බොහෝ ක්‍රම ඇත. හැකියාව යනු හුදෙක් උදවු කරන්නේ කෙසේද, උදවු කරන්නේ කාටද, කුමන අයුරින්ද යන්න දැන ගැනීම පමණක් නොව, එම උදව්ව ලබා දිය යුත්තේ කුමන විටකදීද, ඒ අයටම උපකාර කරගන්නා අයුරු ඉගෙන ගන්නට හැකි වන පරිදි පැත්තකට වී සිටිය යුත්තේ කුමන විටකදීද යන්න දැන ගැනීමත් හැකියාවමය. කායික හෝ මානසික හෝ ලෙස පැහැදිලිවම දුක් විඳින අයට අපේ ක්ෂණික සොයා බැලීම අවශ්‍යය. එහෙත් උපකාර කිරීම කළ යුත්තේ නියමිත මාත්‍රාවට අනුවය - හුඟාක් වැඩි වෙන්නත් බැරිය, අඩු වෙන්නත් බැරිය. අවාසනාවන්ත තත්ත්වයේ සිටින අයට නැවත ඔවුන්ගේ දෙපයින් සිටීමට අප උදවු කිරීම අවශ්‍යය. එහෙත් ඇතැම්විට, හොඳම දිගු කාලීන උපකාරය වන්නේ ඔවුන්ටම ඇවිද ගන්නට හැකි වන පරිදි, ඔවුන්ටම ඔවුන් ගැන සොයා බලාගන්නට හැකි වන පරිදි අවශ්‍ය ප්‍රත්‍යය පහසුකම් සහ උපකරණ සපයා දීමය.

Top