අන් අය මත ධනාත්මක බලපෑමක් ඇති කරන ආකාරය

අන් අය අප වෙත විවෘත හා අපගේ අදහස් ලබාගන්නා තත්ත්වයක සිටින්නේ නම් පමණක් අපට වඩාත් ධනාත්මක දිවියක් ගත කිරීමට අන් අයට උපකාර කළ හැක. අපට හමුවන ඇතැම් පුද්ගලයන් ස්වභාවිකවම විවෘත අය වන අතර තවත් ඇතැමුන් ස්වභාවිකවම ජනකාන්ත අය විය හැක. එනමුදු, මෙම තත්ත්වයන් හැරුණු කොට, අපි ත්‍යාගශීලී අය වන්නේ නම්, සුමිහිරි ආකාරයෙන් උපදෙස් ලබා දෙන්නේ නම්, එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන ආකාරය පැහැදිලිව පෙන්වා දෙන්නේ නම් හා අප දෙන උපදෙස් ආදර්ශයෙන්ම පෙන්වා දෙන්නේ නම්, ජනතාව අප වටා රොක්වනු ඇති අතර අපගේ ධනාත්මක බලපෑම භාරගනු ඇත.

අපි බුද්ධත්වය ලබාගැනීම පිණිස යත්න දරන කල්හි අන් සියල්ලන් වෙත උපකාර කරනු පිණිස අවශ්‍ය වනු ඇත්තාවූ සියලු යහ ගුණයන් පරිණත කරනු පිණිස අවශ්‍ය ප්‍රබල ආකල්ප සය වගා කර ගන්නෙමු. එසේ නමුදු, අන් සියල්ලන් හටද ඔවුන්ගේ යහපත් ගුණ පරිණත කරවීම සඳහා පළමුව අප විසින් ඔවුන් අපගේ ධනාත්මක බලපෑම යටතට ඒකරාශි කළ යුතුය. මෙම කරුණ පියවර සතරකින් සාර්ථක කරගන්නා ආකාරය බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලදී:

1. ත්‍යාගශීලි වීම

හැකි තැන්හිදී අන් අය සම්බන්ධයෙන් ත්‍යාගශීලී විය යුතුය. යමෙකු අප බැහැ දැකීමට පැමිණෙන විටදී, අපි ඔවුනට තේපැන් සංග්‍රහ කරමු; ආහාර ගැනීම සඳහා පිටතට යන්නේ නම්, ඔවුනටද තේපැන් ලබාදී ඔවුන් වෙනුවෙන්ද ගාස්තු ගෙවීමට අපට අවශ්‍ය විය හැක. ත්‍යාගශීලිත්වය යන්නෙන් අවශ්‍යයෙන්ම යමෙකු වෙත යම් භෞතික දෙයක් ලබාදීම පමණක් අදහස් නොවේ. සැබෑ ලෙසම වැදගත් කරුණ වනුයේ අපගේ කාලය ඔවුන් වෙනුවෙන් යෙදවීමේ ත්‍යාගශීලිත්වයයි. යමෙකු වෙත සවන් දීමේ, නිර්ව්‍යාජ ඇල්මක් හා සැලකිල්ලක් සහිතව ඔවුන්ගේ ගැටළුවලට සවන්දීමේ, හා ඔවුන්ගේ ජීවිත බරපතල සේ ගැනීමේ කැමැත්ත වූකලි කිසිදින අව තක්සේරු නොකළ යුතු උත්තම ත්‍යාගයකි. එමගින් පුද්ගලයන් හට තමා පිළිගත් බව හැඟෙන අතර ඉස්පාසුවක් හෙවත් ඉහිල් වීමක් ඔවුන් තුළ ඇති වේ. එහි ප්‍රතිඵලයක් ලෙස, ඔවුන් සතුටින් ජීවත් වනු ඇති අතර අප සමගින් සුව පහසු ලෙස ගනුදෙනු කරනු ඇත. අපගේ ධනාත්මක බලපෑම කෙරෙහි විවෘත වීමේ පළමු පියවර මෙයයි.

2. අන්‍යයන් සතුටු කරවන ආකාරයෙන් කථා කිරීම

ජනතාව වඩාත් අප වෙත විවත අය බවට පත්කරනු පිණිස, ඔවුන් සමග කාරුණික හා ප්‍රියමනාප අයුරින් කථා කළ යුතුය. ඉන් අදහස් කෙරෙනුයේ ඔවුනට වටහාගත හැකි ආකාරයෙන්, ඔවුනට හුරු පුරුදු භාෂාවෙන්, ඔවුනගේ අභිලාෂයනට අනුව කථා කිරීමයි. මූලිකවම අන් අයට අප සමග සිටීමේදී සුව පහසුවක් දැනෙන තත්ත්වය ඇතිකළ යුතුය. අපි ඔවුන්ගේ සුවදුක් විමසමින් ඔවුන්ගේ ජීවිතවල සිදුවන දේ පිළිබඳ ඇල්මක් ප්‍රකට කරවමු. යමෙකු පාපන්දු ක්‍රීඩාවට කැමැත්තක් දක්වන්නේ නම්, හුදෙක් “ඒක පිස්සු වැඩක්. නිකං කාලය නාස්ති කිරීමක්” යැයි නොපැවසිය යුතුය. එසේ ප්‍රකාශ කළහොත් ඔවුන් අපගේ ප්‍රකාශයන් භාර නොගන්නා තත්ත්වයකට පත්වන බැවින් මේ වූකලි වැදගත් කරුණකි. ඒ වෙනුවට අපි ඔවුන් පහත් කොට සලකන බවක් ඔවුනට හැඟෙනු ඇත. අද දින තරගය ජයග්‍රහණය කළේ කවුරුන්ද යන කරුණ පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයකට යා යුතු නොවන නමුත් ඔවුන් එය පිළිගන්නා ආකාරයට ඒ පිළිබඳ යම් තරමක් කථා කළ හැක. අපි අන්‍යයන් වෙත උපකාර කිරීමට කැමැත්තෙන් පසුවන්නේ නම්, සියලු දෙනා කෙරෙහි හා ඔවුන් කැමැත්තක් දක්වන දේ පිළිබඳ උනන්දුවක් පවත්වා ගැනීම වැදගත් වේ. මෙය නොකරන්නෙමු නම්, අපට කවර ලෙසකින් හෝ අන්‍යයන් හා ආශ්‍රය කළ හැකිද?

යමෙකු විවෘතව සිය අදහස් පළ කරන අතර අප විසින් ඔහු පිළිගත් බවක් ඔහුට හැඟේ නම්, අපගේ මිහිරි කථා විලාසය විසින් වඩාත් අර්ථවත් දේ සිදුකළ හැක. සුදුසු කල්හි, සුදුසු වටපිටාවක, එම පුද්ගලයාට අදාල හා ප්‍රයෝජනවත් වනු ඇත්තාවූ බෞද්ධ දේශනාවන්හි යම් යම් පැතිකඩයන් සම්බන්ධයෙන්ද අපට කථාකළ හැක. එසේ කිරීමෙන් පැන නගින්නාවූ ඇතැම් ප්‍රයෝජනයන්ද පෙන්වා දෙන බවට වග බලාගත යුතුය.

උපදෙස් ලබාදීමේදී අපගේ භාෂා විලාසය ඉතා තීරණාත්මක එකක් වේ. බලහත්කාරී, අහංකාර හෝ අන්‍යයන් පහතට හෙළන්නාවූ ස්වරූපයේ භාෂා විලාසයන්ගෙන් වැළකිය යුතුය.මිහිරි ලෙස කථා කිරීම යන්නෙන් ඇඟවෙනුයේ මෙයයි. අනවශ්‍ය උපදෙස් මගින් බිය ගන්වන බවක් හෝ බලහත්කාරය පානා බවක් නොදැනී පිළිගැනීමට පහසු බවක් සවන් දෙන්නාට දැනෙන ස්වභාවයකින් කථාකළ යුතුය. උපදෙස් ලබා දීමේ නිසි මොහොත හා නිසි ආකාරය දැන ගැනීම සඳහා වූ සුවිශාල සංවේදිත්වයක් හා කුසලතාවයක් මේ සඳහා අවශ්‍ය වේ. අපි පමණ ඉක්මවා තීව්‍ර ස්වරයෙන් නිරතුරු ගැඹුරු හා අර්ථාන්විත සංවාදයන් කෙරෙහි පමණක් අවධානය යොමු කරන්නේ නම්, අන් අයට අප සමග ආශ්‍රය කිරීම වෙහෙසකාරී එකක් බවට පත්වනු ඇති අතර, අප ප්‍රකාශ කරන දේ ඔවුන් නොපිළිගනු ඇත. එබැවිනි විශේෂයෙන් අපගේ උපදෙස් ඉදිරියේ අදාල පුද්ගලයා ස්වයං ආරක්ෂක පිළිවෙතක් අනුගමනය කරන කල්හි සංවාදයේ භාෂා විලාසය සැහැල්ලු කරනු පිණිස හාස්‍ය රසයද ඇතැම් විට භාවිත කළයුතු වන්නේ.

යමෙකු වෙත යම් දේශනාවක් විස්තර කිරීමේදී ප්‍රියමනාප හා අර්ථාන්විත ස්වභාවයකින් කාරුණිකව කථා කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් අපගේ උපදෙස්වල අන්තර්ගත ඉලක්ක සාක්ෂාත් කරගැනීම පිණිස ඔවුහූ උනන්දු වෙති. මක් නිසාද, උපදේශය පිළිබඳ ඔවුන්ගේ විශ්වාසය ඇතිවී, එහි ප්‍රතිඵල අවබෝධ කරගනිමින් ඔවුන් එය ඇගයීමට ලක්කරනු ඇති බැවිනි.

3. අන්‍යයන් ඔවුන්ගේ ඉලක්ක සාක්ෂාත් කරගැනීම සඳහා යොමු කිරීම

අප විසින් ලබාදෙන කිසිදු උපදෙසක් හුදෙක් බෞද්ධ න්‍යාය මට්ටමෙහි පමණක් නොරඳවමු: අනෙක් පුද්ගලයාගේ පෞද්ගලික තත්ත්වයට එම දේශනාව අදාල කරගන්නා  ආකාරය පැහැදිලිව විස්තර කළ යුතුය. මෙයාකාරයෙන් අන් අය විසින් දේශනාවන්හි ඉලක්ක සාක්ෂාත් කරගත හැකි ආකාරයට අපගේ උපදෙස් ක්‍රියාත්මක කිරීම සඳහා ඔවුන් යොමු කරවන්නෙමු. පියවරින් පියවර නිශ්චිතවම සිදුකළ යුතු දේ ඇතුළත් දේශනාවක් ප්‍රායෝගිකව ක්‍රියාවෙහි යොදවන ආකාරය ඔවුන් දැනගත් විටදී පමණි එය ක්‍රියාවෙහි යෙදවීම සඳහා උත්සාහයක නිරත වීමට ඔවුන් තුළ උද්‍යෝගයක් ඇති වන්නේ.

සිය ජීවිත තුළ දේශනාවන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරනු පිණිස අන් අය යොමු කිරීමේදී එම කාර්යය ඔවුන් සඳහා වඩාත් පහසු කරවන්නාවූ හේතු සාධක ඇති කිරීමට උත්සාහ කරන්නෙමු. මින් අදහස් වනුයේ විශේෂයෙන් බුදු දහම සම්බන්ධ පළපුරුද්දක් නොමැති පුද්ගලයන් විශේෂ කොටගෙන පුද්ගලයන් සඳහා පළමුව දේවල් සරල කිරීමයි. වඩාත් සංකීර්ණ , උසස් ශිල්ප ක්‍රම කෙරෙහි ඔවුන් යොමු කරවනු ලබන්නේ ක්‍රමානුකූලවය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, කාර්යය නොකඩවා සිදුකරගෙන යමින් එම විධික්‍රම තවදුරටත් ක්‍රියාවෙහි යෙදවීම කෙරෙහි ඔවුන් යොමු කරවනු ලබනුයේ ක්‍රමිකවය. ඒ අනුව ඔවුන් තුළ කාර්යය නොකඩවා සිදු කරගෙන යාමේ  හා එම විධික්‍රම තවදුරටත් අනුගමනය කිරීමේ ආත්ම විශ්වාසයක්ද තුළ ඇතිවේ. තමාගේ වර්තමාන තත්ත්වයට බොහෝ දුර බැහැරින් පවත්නා යම් දේශනාවක් ක්‍රියාවෙහි යෙදවීමට උත්සාහ කිරීමෙන් ඔවුන් අධෛර්යයට පත් නොවනු ඇත.

4. මෙම අරමුණු නොකඩවා පවත්වාගෙන යාම

අප විසින් උපදෙස් ලබාදෙන පුද්ගලයා අප කෛරාටිකයන් ලෙස දකින්නේ නම්, එය ඉතාමත් අධෛර්යයට පත් කරවන සුළු දෙයකි. ඔවුන් දේශනාවන් වෙතින් ඉවත් වීමෙන් වළකනු පිණිස,  අප ලබාදුන් උපදෙස් ප්‍රකාර කටයුතු කිරීමේ යහ ආදර්ශය අප විසින් සැපයිය යුතුය. නිදසුනක් ලෙස කෝපය මැඩ පැවැත්වීම සඳහා වූ බෞද්ධ විධික්‍රම පිළිබඳව අප විසින් යම් කිසිවෙකු වෙත උගන්වන්නේ නම්, හා ඉන්පසු ඔවුන් සමග ආපන ශාලාවකට ආහාර ගැනීම සඳහා ගිය අවස්ථාවක ඇණවුම් කළ ආහාරය පැය භාගයක් ප්‍රමාද වීම හේතුවෙන් අප විසින් එහි ඉමහත් කලබලයක් ඇති කරන්නේ නම්, කෝපය කළමනාකරණය පිළිබඳව බෞද්ධ දේශනාවන් පිළිබඳ ඔවුන් කුමක් නොසිතනු ඇත්ද? එම ක්‍රම ඵලදායී නොවන්නේ යැයි සිතා ඔවුන් විසින් ඒවා අත්හැර දමනු ඇත. ඔවුන් විසින් අප ලබාදෙන වැඩිදුර උපදෙස් පිළිගැනීමද නවතාලනු ඇත. එබැවිනි අපගේ චර්යාව අපගේ දේශනාවන් හා අනුගත විය යුත්තේ. එම පදනම මත පමණි අප පවසන දෙය පිළිබඳ අන්‍යයන්ගේ විශ්වාසය ගොඩනැගෙනු ඇත්තේ.

සැබැවින්ම අපි තවමත් බුදුවරුන් නොවන අතර, ඒ අනුව කිසිවෙකු කෙරෙහි හෝ සර්ව සම්පූර්ණ ආදර්ශයක් බවට පත්වීමේ හැකියාවක් අප තුළ නොමැත. එසේ වුවද, අපි අපට හැකි පමණ වූ උත්සාහයක නිරත වෙමු. කෛරාටිකයෙකු නොවන්නේය යන්නෙන් අදහස් කෙරෙනුයේ අපි උපකාර කරන්නට උත්සාහ කරන පුද්ගලයෙකු ඉදිරිපිටදී පමණක් දේශනාවනට අනුව කටයුතු කරන බව පෙන්වමින් ඉන්පසු අපගේ පවුලේ සාමාජිකයන් සමගින් සිටින විටදී නින්දා සහගත ලෙස කටයුතු කිරීම නොවේ. ධර්ම අරමුණු සමගින් නොසැලී ක්‍රියා කිරීම පූර්ණ කාලීන හා අවංක කටයුත්තක් විය යුතුය.

සාරාංශය

බෞද්ධ දේශනාවන් මගින් පරිණතභාවය ලබාගැනීම සඳහා අන් අයට උපකාර කිරීමේ පියවර සතර අපගේ පෞද්ගලික සම්බන්ධතාවනට පමණක් නොව ලෝකය තුළ ධර්මයෙහි පැවැත්ම සඳහාද වඩාත් විශාල පරිමාණයකින් අදාල වේ.

  • ත්‍යාගශීලී වීම  – නොමිලයේ දේශනාවන් පැවැත්වීම
  • මිහිරි ලෙස කථා කිරීම – පහසුවෙන් වටහාගත හැකි භාෂාවකින් හා පොත්පත්, වෙබ් අඩවි, පොඩ්කාස්ට්, වීඩියෝ, සමාජ මාධ්‍ය ආදිය මගින් දේශනාවනට ප්‍රවේශ වීමේ අවකාශ සැලසීම.
  • අන්‍යයන් ඔවුන්ගේ ඉලක්කය කරා ළඟා වීම සඳහා යොමු කිරීම - පියවරින් පියවර අදාල අන්තර්ගතයන් අධ්‍යයනය කොට හිසට කාවද්දවා ගන්නා ආකාරය හා එදිනෙදා ජීවිතයේදී දේශනාවන් ප්‍රායෝගිකව යොදාගන්නා ආකාරය පැහැදිලිව දැක්වීම.
  • මෙම අරමුණු විෂයයෙහි  නොසැලී කටයුතු කිරීම - පුද්ගලයෙකු නම් ඔබ ජීවත්වන ආකාරයෙන්ද, සංවිධානයක් නම් එම සංවිධානය ක්‍රියාත්මක කරවන ආකාරයෙන්ද බෞද්ධ මූලධර්ම පිළිබඳ ආදර්ශ සපයන්න.

බුද්ධත්වය සාක්ෂාත් කරගැනීමේ බෝධිචිත්ත අරමුණක් නොපවතී නම්, අවංක ජන හිතකාමී අභිප්‍රායක ආධාරයෙන් මෙම පියවර සතර අපගේ බලපෑම පිළිගැනීම සඳහා අන්‍යයන් යොමු කරන වඩාත් යහපත් විධික්‍රම වේ.

Top