අගනා මනුෂ්‍යාත්මයක ලද උත්පත්තිය
අගනා මනුෂ්‍යාත්මභාවයක පුනරුත්පත්තිය ලැබීම සිතූ පැතූ සම්පත් ලබාදෙන චින්තා මාණික්‍යයක් සේ වනුයේ මන්ද?
අප ලද මෙම වටිනා මිනිස් සිරුර සිතූ පැතූ සම්පත් ලබාදෙන චින්තා මාණික්‍යයකටද වඩා අගනා එකකි. එය වූකලි විවේක ගැනීම සඳහා හොඳ පදනමකි: එසේ වුවද අපගේ සිරුර මගින් අප වෙත ලබාදෙන විවේකය හා අවස්ථාව යොදාගත යුතු වනුයේ මත්පැන් හෝ මත් ද්‍රව්‍ය ගෙන සිහි විකල් කරගැනීමට නොව ධර්ම පිළිවෙත් පිරීම සඳහාය. මෙම අගනා මිනිස් සිරුර චින්තා මාණික්‍යයකටද වඩා වටින්නේ මන්ද? මක් නිසාද, චින්තා මාණික්‍යයක් මගින් අපට ලබාගත හැක්කේ මෙම ජීවිත කාලයට අවශ්‍ය ආහාර පාන ආදිය පමණක් වන අතර එමගින් මතු ජීවිතවල සුභ සාධනය සැලසිය නොහැකි වීම හේතුවෙනි. එ් අනුව, ධර්ම පිළිවෙත් පිරීමේ අවස්ථාව අප වෙත ලබා දෙන්නාවූ මෙම සිරුර වූකලි එවැනි මාණික්‍යයකටද වඩා අගනා වස්තුවකි.
අප සියලු දෙනා හට සියලු කල්හි සතුට අවශ්‍ය වේ. මෙම ජීවිත කාලය තුළ කවර සතුටක් ලබා ගත්තද එය පවතිනු ඇත්තේ මෙම කෙටි ජීවිත කාලය තුළ පමණි. සතුට බොහෝ කලක් නොකඩවා පවත්වාගෙන යාමට අවශ්‍ය වන්‌නේ නම්, මතු ජීවිත පිළිබඳවද සිතා බැලිය යුතු වේ. චින්තා මාණික්‍යයකට අප ඉතා අයහපත් පුනරුත්පත්ති තල තුනෙහි පුනරුත්පත්තිය ලැබීමෙන් වළකාලිය නොහැකි අතර අමරණීයත්වයද ලබාදිය නොහැක. එනමුදු කාර්ය පදනම වශයෙන් මෙම අගනා මනුෂ්‍ය සිරුර භාවිත කිරීමෙන් වඩා පහත් මට්ටම්වල පුනරුත්පත්තිය ලැබීමෙන් අපට ආරක්ෂා විය නොහැක; ජෙට්සන් මිලරේපා මෙන් එය ධර්ම පිළිවෙත් පිරීමේ පදනමක් වශයෙන් යොදා ගනිමින්, අපට මෙම ජීවිත කාලය තුළම බුද්ධත්වය සාක්ෂාත් කරගත හැක. චින්තා මාණික්‍යයකට අපගේ අගනා මනුෂ්‍ය ශරීරය විසින් ලබාදිය හැකි මෙකී දේ ලබාදිය නොහැකි බැවින්, අපගේ සිරුර චින්තා මාණික්‍යයකට වඩා අගනේය.
එ් අනුව මෙම අගනා මිනිස් සිරුර උපයෝගයෙන් ධර්ම පිළිවෙත් පිරිය යුතුවේ. එනමුත් අප දැරීමට වඩාත් යොමුවන්නේ මෙයට ප්‍රතිවිරුද්ධ අදහසයි. සිරුර චින්තා මාණික්‍යයකට වඩා වටිනා දෙයක් වුවද, වඩ වඩාත් සම්පත් ඉපැයීම සඳහාම අපගේ සිරුර යොදාගන්නා අතර මෙම කෙටි කාලීන අරමුණ උදෙසා දිවිය කැප කිරීමට වුව සූදානම් වේ. අපටද වඩා ධනවත් හා බුද්ධිමත් බොහෝ අය මෙලොව වසති. එනමුදු, ධර්මය පුහුණු වනු පිණිස අපගේ අගනා මිනිස් සිරුර යොදාගැනීම මගින් අපි ඔවුනට වඩා බොහෝ වූ ධනාත්මක බලයක් (කුසල්) රැස් කරගන්නෙමු. එ් අනුව මෙම අගනා මනුෂ්‍යාත්මභාවය අපතේ නොයවා එය මතු භවයන්හි වඩා ඉහළ තලයක පුනරුත්පත්තියක් ලැබීම, විමුක්තිය හා බුද්ධත්වය යන අරමුණු තුන ඉටුකරගනු පිණිස යොදාගත යුතුය.
අප සතුව කෙතරම් භෞතික භාණ්ඩ පැවතියද, එමගින් තෘප්තියක් අත් නොවේ. තනි පුද්ගලයෙකු හට ලොව පවත්නා සියලු භෞතික වස්තූන් අයත් වුවද, ඔහු තෘප්තිමත් නොවේ. එ් අනුව, සියලු චින්තා මාණික්‍යයනටද සෑහීම හෙවත් තෘප්තිය ලබාදිය නොහැක්කේය යන කරුණ පැහැදිලි වේ. යමෙක් වඩ වඩාත් ධනය අත්කර ගතහොත් එමගින් වඩ වඩාත් දුක් ගෙන එ්ම පමණි සිදුවන්නේ. මෙය අපට පෞද්ගලිකවම අත් විඳිය හැක - විශාල භාණ්ඩ මලු සමගින් දුම්රියක හෝ බසයක ගමන් කරන්නේ නම්, ගමන දුෂ්කර වේ. එනමුදු මෙම සන්තකයන් අප සතුව නොපැවතියේ නම්, ගමන ඉතා පහසු වනු ඇත.
එ් අනුව මෙයාකාරයෙන් ධර්මය පුහුණු කිරීමට උත්සාහ කළ යුතුය. නිදසුනක් ලෙස, සිය ලෙන තුළ ජීවත්වන සමයේ ජෙට්සන් මිලරේපා තුමා හට භෞතික වස්තු නොවීය. ශාක්‍යමුනි බුදුරජාණන් වහන්සේ හා ජෙට්සන් මිලරේපා තුමා භෞතික දේ කෙතරම් නම් නොවැදගත් හා අත්‍යවශ්‍ය නොවන එ්වාද යන්න අවබෝධ කොටගෙන පිළිවෙත් පූරණය පිණිස එ්වා අත් හළහ. ලොව බොහෝ ධනවත් රටවල ජීවත්වූ ඔබද එ් අනුව භෞතික දේ එතරම් වැදගත් නොවන බව අවබෝධ කරගනිමින් එ්වා අත්හැර මෙහි පැමිණ ධර්ම පිළිවෙත් පුරනු ලබයි.
අගනා මිනිස් දිවියක් ලැබීමට හේතු හා ලැබීමේ දුෂ්කරතා
මෙම අගනා මිනිස් සිරුර ලබාගැනීම කෙතරම් දුෂ්කර වූවක්ද යන්න සලකා බැලිය යුතුය. එය ලබාගැනීම දුෂ්කර වනුයේ එයට අදාල හේතු ගොඩනංවා ගැනීම බොහෝ සෙයින් දුෂ්කර වන බැවිනි. ප්‍රධාන හේතු තුනකි:
- දැඩි ආචාර ධාර්මික ස්වයං විනයක් පවත්වා ගැනීම
- පුළුල් ආකල්ප හය (පාරමිතා හය) පිරීම
- ශුද්ධාපේක්ෂා යැදුම් සිදු කිරීම
දැඩි ආචාර ධාර්මික ස්වයං විනයක් පවත්වා ගැනීම
දැඩි ආචාර ධාර්මික ස්වයං විනයක් පවත්වා ගැනීම හා එය අන් අය තුළ පවත්නේද යන්න හඳුනා ගැනීම හා තක්සේරු කිරීමද ඉතා දුෂ්කර කාර්යයකි. තවද, ආචාර ධාර්මික ස්වයං විනය සම්බන්ධයෙන් ගත් කල, දස පාප ක්‍රියා කවරේද යන්න පවා ලොව බොහෝ දෙනා නොදන්නා තත්ත්වය සැලකිල්ලට ගත යුතුවේ. එ්වා දන්නා අය අතර පවා බොහෝ දෙනෙකු ඉන් වැළකී සිටීමේ පිලිවෙත් නොපුරති.
සිරුරින් සිදු කරන පාප ක්‍රියා තුනකි:
- පර පණ නැසීම - නිදසුනක් ලෙස, සත්ත්ව ඝාතනය සිදු නොකළ යුතු බව දන්නේ වුවද, කෘමියෙකු අප සපා කෑ කල්හි නොදැනුවත්වම පහර දී ඌ මරා දමන්නෙමු.
- නොදුන් දේ ගැනීම - එ් වෙනුවෙන්ම ගොස් අමු අමුවේ සොරකමක් සිදු නොකළද, අන් අය සතු දේ ලබාගැනීමේ උපාය මාර්ගික ක්‍රම යොදාගත හැකි අතර, එසේ කළද සොරකම සොරකමමය.
- කාමයෙහි වරදවා හැසිරීම - අන් අයගේ සැමියන්/බිරින්දෑවරුන් සමග එක්ව සිටීමේ බොහෝ ආශාවන් අප තුළ පවතී.
වර්ෂා සහිත මොහොතක එළි පහළියට ගමන් කළහොත් අප මත වැසි බිඳු පතිත වන්නාක් මෙන් සිරුරින් සිදු කරන මෙම පාප ක්‍රියාවන් රැස්කර ගන්නෙමු.
වචනයෙන් සිදු කරන පාප ක්‍රියා සතර:
- බොරු කීම - මෙය සැම කල්හිම රැස් කරගන්නෙමු. නිදසුනක් ලෙස, අපි කන්දෙන් පහළට බැසීමට අදහස් කරන අතරතුර අප කොහේ යන්නේදැයි යමෙකු විමසයි. කන්ද නගින බව අපි පවසන්නෙමු.
- කේලාම් කීම - මිතුරන් භේද කිරීම හා දැනටමත් මිත්‍ර සන්ථවයක් නොපවත්නා අය තව තවත් එකිනෙකා හා සතුරු කිරීම. මේ සියල්ල සියලු කල්හි අන්‍යයන් පිළිබඳ අයහපත් දේ ප්‍රකාශ කිරීම තුළින්ම සිදුවේ.
- පරුෂ වචන කථා කිරීම - මෙය අවශ්‍යයෙන්ම මනුෂ්‍යයන් වෙත කරන කථාවට පමණක් අදාල නොවේ. නිදසුනක් ලෙස, බල්ලා කාමරයට පැමිණියහොත් "දුප් බල්ලා! පල එළියට" වැනි රළු භාෂාවකින් අමතන්නෙමු. අපට යමෙකු විසින් පරුෂ වචනයෙන් කථා කළහොත් බොහෝ සෙයින් සිත් රිදෙන පරිදිම සතුන්ද ඇතුළත් අන්‍යයන් කෙරෙහිද තත්ත්වය එසේම වන වන බැවින් රළු හෝ පරුෂ වචන පැවසීම මහා අත් වැරැද්දකි.
- හිස් වචන පැවසීම - ප්‍රායෝගිකව සැලකුවහොත් අපගේ මුවින් පිටවන සෑම වදනක්ම හිස් ඕපාදූපයකි: "මං එ් රටට ගිහින් තියෙනවා," "මං මේක කරල තියෙනවා, අරක කරල තියෙනවා" ඈ වශයෙන් බොහෝ කථා කරන්නේ නම්, මෙම වචනයෙන් සිදුවන පාප ක්‍රියාව ඔබ අතින් සිදුවීමේ බොහෝ ඉඩකඩ පවතී. මා ඉංග්‍රීසි නොදන්නා බැවින් ඉංග්‍රීසියෙන් ඕපාදූප කථා කිරීමේ අවස්ථාවක් නොමැති නිසාවෙන් මා හට කළ හැක්කේ තිබ්බත භාෂාවෙන් ඕපාදූප රැස් කිරීම පමණි.
සිතින් සිදුකරන පාප ක්‍රියා තුන:
- ලෝභ සිතිවිලි - යමෙකු සතුව මනා නිවසක් ආදිය ඇත. එය ඔබ සතුනම් කෙතරම් යහපත් දැයි ආශාවක් ඔබට උපදී. එ් පිළිබඳ නිති සිතිවිලි ඇති කරගනිමින් එය ලබාගැනීමට කුමන්ත්‍රණය කරයි. මෙය යහපත් දෙයක් නොවුවද අප තුළ බොහෝ සෙයින් පවත්නා නුගුණයකි.
- ද්වේෂ සිතිවිලි - අනෙකාට දුක් ඇතිවේවා හෝ ඔහුගේ ගෙල සිඳ දැමිය යුතුය ආදී වශයෙන් සිතීමයි. මෙය සතුරන් උදෙසා පමණක් නොව මිතුරන් අප කෝප ගන්වන අවස්ථාවන්හිදීද අප තුළ ඇතිවන පැතුමකි.
- විරෝධාකල්ප සහිතව විකෘති සිතිවිලි ඇතිකර ගැනීම - නිදසුනක් ලෙස, මතු පුනර්භවයක් නොමැති බව, තිසරණයෙන් කිසිවෙකුට හෝ උපකාරයක් නොලැබෙන බව හෝ පූජාවක් සිදු කිරීම හුදෙක් කාලය නාස්තියක් ලෙස හෝ බටර් පහන් පූජාව හුදෙක් බටර් නාස්තියක් ලෙස සිතීම හෝ බාර්ලි පූජාව හුදෙක් එම ද්‍රව්‍ය අපතේ යැවීමක් පමණක් ලෙස සිතීම ආදිය ගත හැක.
මේවා සිදු කිරීමෙන් වැළකී සිටීම දුෂ්කර කාර්යයකි. එනමුදු, මේවායින් නොවළකින්නේ නම්, ඔබට අගනා මිනිස් දිවියක මතු ඉපදීමක් නොමැත. මේ පිළිබඳ විස්තර කිරීමට මෙය අවස්ථාව නොවන නමුත් තවදුරටත් කරුණු දැන ගැනීමට අවශ්‍ය නම් ලම්-රිම් දේශනා අධ්‍යයනය කළ යුතුවේ.
පුළුල් ආකල්ප හය (පාරමිතා හය) පිරීම
වටිනා මනුෂ්‍යාත්මයක පුනරුත්පත්තියක් ලැබීම සඳහා බලපාන්නාවූ දෙවන හේතුව පුළුල් ආකල්ප හය (පාරමිතා හය) පිරීමයි:
- ත්‍යාගශීලිත්වය
- ආචාර ධාර්මික ස්වයං-විනය
- ඉවසීම
- නොපසුබස්නා උත්සාහය
- මානසික ස්ථාවරත්වය (සමාධිය)
- වෙන්කොට සැලකීමේ දැනුවත්භාවය (ප්‍රඥාව).
ත්‍යාගශීලිත්වය පුහුණු වීම වෙනුවට අපි මසුරුබව පුහුණු වෙමින් අනුන් වෙතද අපගේ මසුරු බවම දිගු කරන්නෙමු. ඉවසීම පවත්වාගනු වෙනුවට, තරහ, කෝපය පවත්වා ගන්නෙමු. නොපසුබස්නා උත්සාහයෙන් හා ඉමහත් දිරියෙන් ධර්ම පිළිවෙත් පිරීමෙන් සතුටු වනු වෙනුවට මනස ඉබාගාතේ යන්නට ඉඩ හරිමින් (නිදසුනක් ලෙස, යැදුමක් යදින විටදී සිත සෑම අතම විසිර යයි) එයම නැවත නැවතද සිදු වන්නට අවස්ථාවන් වගා කරන්නෙමු.
පිළිවෙත් පූරණයක් අතරතුර සිය ශිෂ්‍යයා හට යම් කාර්යයක් පැවරිය යුතුව පවත්නා බව සිහිපත් වූ නමුත් ඉන් පසුව එය සිසුවාට පැවසීමට අමතක වූ ගුරුවරයෙකු විය. එය සිහිපත් වූ විගස, භාවනාව නවතා නැගී සිට සිසුවාට එම කාර්යය පැවරීය. මෙය සිත ඉබාගාතේ යාමයි. යැදුම් පිළිවෙත් පුරණ සෑම අවස්ථාවකදීම සිත ඉබාගාතේ යාමට සැරසෙයි.
පුළුල් ලෙස වෙන්කොට සැලකීමේ දැනුවත්භාවය සඳහා ශූන්‍යත්වය (හිස්බව) වටහා ගන්නා වෙන්කොට සැලකීමේ දැනුවත්භාවය වගා කරගත යුතුය. එ් වෙනුවට අපි සිතුවම්කරණය වැනි ලෞකික දේ උගන්නා අතර නියම දැනුම ගොඩනගා නොගන්නෙමු.
කෙටියෙන් සඳහන් කරන්නේ නම් වටිනා මනුෂ්‍ය ආත්මයක පුනරුත්පත්තිය ලැබීම සඳහා වූ හේතු ගොඩනඟා ගැනීම ඉතා දුෂ්කර වේ. එවන් සිරුරක් ලබාගැනීම කෙතරම් දුර්ලභ අවස්ථාවක්ද යන්න දකිමින්, එය මෙම අවස්ථාවේ පමණක් ලද භාග්‍යයක් වන අතරම එම අවස්ථාව ඉතා පහසුවෙන් අහිමි විය හැක්කක්ය යන්නද සිහිපත් කරගත යුතුය. ලබාගත් මෙම වටිනා මනුෂ්‍ය ශරීරයෙන් ප්‍රයෝජන නොගතහොත්, අනාගතයේ එවැන්නක් ලබාගැනීම ඉතා දුෂ්කර වනු ඇත.
ශුද්ධාපේක්ෂා යැදුම් සිදු කිරීම
අගනා මනුෂ්‍යාත්මභාවයක පුනරුත්පත්තිය ලැබීම සඳහා අවංකව යැදුම් සිදු කිරීමෙන් ශුද්ධ ආචාර ධාර්මික ස්වයං විනයක් පවත්වාගෙන යාම හා පුළුල් ආකල්ප හය පිළිබඳ පිළිවෙත් පිරීමට සහායක් ලබාදිය යුතුය. මෙය "බුදුනි, මා යහපත් දැරියක හෝ දරුවෙකු නම් මට එය ලබාදෙන්න, මම ඔබට නිරතුරු ප්‍රශංසා කරමි" වැනි යැදුමක් නොවේ. එ් වෙනුවට එය වටිනා මනුෂ්‍යාත්මභාවයක පුනරුත්පත්තිය ලැබීම සඳහා වූ නිශ්චිත කැපවීමකින් අපගේ අදහස හා ධනාත්මක ශක්තිය ඉතා බලවත් සේ යොමු කිරීමකි.
කැපවීම නිශ්චිත එකක් වීම වැදගත්ය. ගැන්ඩන් ආරාමයේ ගෙලුග්පා පෙළපතේ ප්‍රධානියාට අයත් ඉතා උස් අසුනක් වූ සිංහාසනයක්, එනම් ගැන්ඩන් සිංහාසනය තිබුණා. තිබ්බතයේ ආරාමයේ නිරතුරුවම සතුන් සිටි අතර දිනක් වැස්සියක් ආරාමය තුළට විත් සිංහාසනයේ දිගා වී වැතිරුණා. භික්ෂූන් වහන්සේ ඉතාමත් විශ්මයට පත් වී එහි සිටි මහා ගුරුවරයෙකුගෙන් මෙයට හේතුව විමසුවා. ගුරුවරයාගේ පිළිතුර වුණේ "පෙර භවයක මේ සතා ගැන්ඩන් සිංහාසනයේ හිඳ ගන්නට යැදුමක් කළ නමුත් යැදුම තුළ එසේ හිඳ ගන්නේ කවර ස්වරූපයකින්ද යන්න ඇතුළත් වුණේ නැහැ" යන්නයි.
විවේකයක් නොමැති අවස්ථා අටෙන් අස්වැසිල්ලක් ලැබීම
වටිනා මනුෂ්‍යාත්මභාවයක පුනරුත්පත්තිය ලැබීමේ ස්වභාවය වනුයේ එතුළ අස්වැසිලි අටක් අන්තර්ගත වීමයි. එය විවේක රහිත තාවකාලික අවස්ථාවන් අටකින් නිදහස් බව ඉන් අදහස් වේ. විවේකයක් රහිත තත්ත්වය යනු ධර්ම පිළිවෙත් පිරීමේ අවස්ථාවක් නොමැති වීමයි.
විවේකයක් නොමැති අ-මනුෂ්‍ය ස්වභාවයන් අටකි:
- සතුටක් නොමැති තලයක සිරවූ සත්ත්වයෙකු (අපාගත සත්ත්වයෙකු)- සතුටක් නොමැති අපායක පුනරුත්පත්තිය ලැබුවහොත්, සිරුර නිරතුරු ගිනි ගන්නා තත්ත්වයක පවත්නා බැවින් පිළිවෙත් පිරීමේ අවස්ථාවක් නොමැත.
- තදින් අල්ලාගෙන සිටින ප්‍රේතයා (කුසගින්නේ තැවෙන ප්‍රේතාත්මය) - ප්‍රේතාත්මයක උපත ලදහොත් නිරතුරු කුසගින්නේ සිටීමට හා ආහාර පිළිබඳ සිතිවිල්ලෙහි ගිලී සිටීමට සිදුවේ.
උදෑසන අවදිවී උදේ ආහාරය නොගන්නේ නම් ධර්මය පුහුණු වීමේ කැමැත්තක් ඇති නොවේ. අවදි වන විට හිසේ ඇම්මක් පවතින්නේ නම් එවිටද ධර්මය පුහුණු වීමට කැමැත්තක් ඇති නොවේ. අපගේ අත්දැකීමට අනුව ප්‍රකාශ කරන්නේ නම්, ප්‍රේතාත්මයක ඉපිද ආහාරයක් නොමැතිව වසර 60ක් පුරා ඇවිදීමට සිදුවුවහොත්, ධර්මය පුහුණු කිරීමේ කැමැත්තක් ඇති නොවනු ඇත. එ් අනුව සතුටින් තොර අපාය තලයක සිරවී හිංසාවන් විඳින තත්ත්වයක හෝ නිරන්තරයෙන් ආහාර සොයා ඇවිදින ප්‍රේතාත්මයක නොඉපදීම කෙතරම් නම් වාසනාවන්ත තත්ත්වයක්ද යන කරුණ ඇගයීමට ලක්කළ යුතුය.
- තිරිසන් සතුන් - පරම පූජනීය දලයි ලාමා වහන්සේගේ බල්ලා ලෙස පුනරුත්පත්තිය ලැබුවද අපට තිසරණ යැදුම පවා යැදීමට නොහැකි වනු ඇත. එවන් තත්ත්වයක නොඉපදීම වාසනාවකි.
- දේවාත්මය - දිව්‍ය තලයන්හි උපත ලද දීර්ඝායුෂ සහිත දෙවිවරුන් හට ලෞකික සැප සම්පතින් ආඪ්‍ය වීම හේතුවෙන්ම ධර්මය පුහුණු වීමේ කැමැත්තක් ඇති නොවේ.
සාරිපුත්තයන් වහන්සේ හට ගුරු භක්තියෙන් කැපවී සිටි ශ්‍රාවකයෙකු විය. ශ්‍රාවකයා මිය ගිය පසු දේව තලයක පුනරුත්පත්තිය ලැබීය. සිය අතීන්ද්‍රිය බලය උපයෝගයෙන් සාරිපුත්තයන් වහන්සේ හට සිය විශ්වාසවන්ත ශ්‍රාවකයා එම දේව ආත්මයේ ඉපිද ඇති බව දැකීමට හැකිවිය. එ් අනුව ඔහු බැහැ දැකීමට යා යුතු බවට අදහස් කොට සාරිපුත්තයන් වහන්සේ දෙව් ලොවට වැඩි අතර, උන් වහන්සේගේ පෙර ශ්‍රාවක බැතිමතා වූ දේවතාවා විසින් සිදු කරන ලද්දේ හුදෙක් උන් වහන්සේට ආචාර කිරීම පමණි. සියලු දේ යහපත් ලෙස පැවති එම තලයේදී ඔහු සිය ගුරුවරයා හෝ ධර්ම පිළිවෙත් පිරීම පිළිබඳ උනන්දුවක් නොදැක්වීය.
අපට මෙය අපගේ අත්දැකීමෙන්ම දැකිය හැක. යමෙකු ඉතා දුප්පත් තත්ත්වයක සිටින විටදී ධර්ම පිළිවෙත් පිරීමට සූදානම්ව සිටියද, ධනවත් හා සුව පහසු දිවියක් ලදහොත් එම ඇල්ම ඔහුගෙන් ඉවත් වේ. එ් අනුව දීර්ඝායුෂ සහිත දේව තලයක නොඉපදීමද අපගේ වාසනාවකි.
පුනරුත්පත්තිය ලබන, විවේකයක් නොමැති මනුෂ්‍ය මට්ටම් සතරක්ද වේ:
- බුද්ධ වචනය ශ්‍රවණය නොවන ප්‍රදේශ - නිදසුනක් ලෙස, දහම් පදයක් හෝ නොඇසෙන රටවල හෝ කාලයන්හි උපදින පුද්ගලයෝ ඇත. අප එම තත්ත්වයට පත්ව නොමැත.
- වනචාරී සමාජයන්හි - පුද්ගලයන්ගේ එකම ඇල්ම හා කැමැත්ත ආහාර හා ඇඳුම් පැළඳුම් ලබාගැනීම කෙරෙහි පමණක් සීමා වන්නාවූ ස්ථානයන්.
තිබ්බතයේ සාරි නම් කන්දක් ඇත. ටිබෙට් ජාතිකයෝ සෑම වසර 12කටම වරක් එහි යති. එහි ජීවත් වන ලෝබා පෙළපත බොහෝ වනචාරී සමාජයක් වන අතර එම රට හරහා ගමන් කිරීමට බද්දක් ගෙවිය යුතු වේ. බදු වශයෙන් ලබාදිය යුත්තේ හරකෙකි. එම හරකා ලබාගත් විගස ලෝබාවරු ඌ මරා උගේ මස් අනුභව කරමින් රුධිරය උරා බොති. එවන් ස්ථානයක මනුෂ්‍යයෙකු වශයෙන් පවා නූපදීමට තරම් අපි වාසනාවන්තව සිටිමු.
- ප්‍රධාන ආබාධ තත්ත්වයන් සහිතව - අන්ධ, බිහිරි හා ගොළු හෝ ශාරීරිකව, මානසිකව හෝ සමාජමය දෝෂ සහිතව උපන්නේ නම්, ඉගෙනීමේ හා පිළිවෙත් පිරීමේ බරපතල බාධාවන් ඇති වේ.
- ආධ්‍යාත්ම විරෝධී ආකල්ප සහිත ප්‍රදේශයන්හි - බුදු දහම විශේෂ කොටගෙන ඕනැම ආධ්‍යාත්මික පිළිවෙත් පිරීමක් හුදෙක් අමනෝඥ කාල නාස්තියක් වන අතර කළ යුතු එකම දෙය නම් මුදල් හරි හම්බ කරගැනීමය යන අදහස දරන පුද්ගලයන් සිටින ස්ථාන.
විවේක රහිත මෙකී සියලු තත්ත්වයන්ගෙන් නිදහස් වූ මනුෂ්‍ය පුනරුත්පත්තියක් ලබා, එයටද අමතරව, එය සාක්ෂාත් කරගැනීමේ හේතු සාධකද වටහා ගන්නේ නම්, අපි දෙගුණයකින් වාසනාවන්ත වෙමු. එතරම් අගනා මනුෂ්‍ය දිවියක් සහිත බොහෝ පුද්ගලයෝ තවදුරටත් එවන් පුනරුත්පත්තීන් ලැබීම සඳහා වූ හේතු සාධක අවබෝධ කර නොගනිති.
උපහැරණ
අගනා මිනිස් සිරුරක් ලබාගැනීමේ දුෂ්කරතාවය වටහාගැනීමට උපකාර වනු පිණිස උපහැරණ යොදාගත හැක. නිදසුනක් ලෙස, වැලි අහුරක් කණ්නාඩියක් වෙත විසි කළ විටදී එහි ඇලී සිටින වැලි කැට ප්‍රමාණය තරමට එය දුර්ලභ වේ.
මේවා පිළිබඳව සිතා බලන්නේ නම්, අපගේ අගනා මිනිස් පුනරුත්පත්තිය කෙතරම් වටිනා ජයග්‍රහණයක්ද යන්න අවබෝධ වනු ඇති අතර මෙවර පමණක් එම පුනරුත්පත්ති තත්ත්වය ලබාගැනීමට තරම් අප වාසනාවන්ත වී ඇති බව සිතිය යුතුය. ඉන්දියාවේ වාසය කරන මිලියන සිය ගණන් වූ ජනතාව අතරින් ධර්ම පිළිවෙත් පුරනුයේ කෙතරම් නම් අල්ප සංඛ්‍යාවක්ද යන කරුණ සිතා බලන්න. එ් අනුව එම තත්ත්වය කෙතරම් දුර්ලභ වූවක්ද යන්න අවබෝධ කරගත හැක.
වටිනා මිනිස් දිවියක පුනරුත්පත්තිය ලැබීම කෙතරම් දුෂ්කර කාර්යයක්ද යන්න පිළිබඳ දේශන පවත්වන ලාමාවරයෙකු විය. ශ්‍රාවක පිරිස අතර සිටි මොංගෝලියානුවෙකු මෙසේ පැවසීය "මනුෂ්‍යයෙකු ලෙස පුනරුත්පත්තිය ලැබීම එතරම් දුෂ්කර නම් චීනයට ගිහින් බලන්න කොච්චර මිනිස්සු එහෙ ඉන්නවද කියන එක". එය මට සෝවියට් දේශයට යන්නැයි කියන්නාක් වැනි ප්‍රකාශයකි.
මේවා භාවනා අවස්ථාවක සිතා බැලීම සඳහා වන හොඳ විෂය කරුණු වේ.
අපගේ අගනා මිනිස් සිරුරින් ප්‍රයෝජන ගැනීම හා අර්ථාන්විත ජීවිතයක් ගත කිරීම
මෙම අගනා මිනිස් සිරුර ලබාගැනීමට පෙර ජීවිතවලදී කෙතරම් දුෂ්කර ක්‍රියා කරන්නට ඇත්තේද යන්න සිතා බලන්නේ නම්, මෙම ජීවිතය අර්ථාන්විතව ගත කිරීම සඳහා වූ අපගේ අපේක්ෂාව ක්‍රියාත්මක කිරීමට වඩ වඩාත් උනන්දු වනු ඇත. යම් බරක් ඔසවාගෙන කන්දක් නගින අතර කන්ද අඩ ප්‍රමාණයක් නැග්ග කල්හි උත්සාහය අත හැරියහොත් එම බර ආපසු පෙරලී කන්ද මුලටම පැමිණෙනු ඇත. අගනා මිනිස් පුනරුත්පත්තියක් ලැබීම සඳහා අප විසින් සිදු කරන ලද කාර්ය භාරය වූකලි කන්ද මැද දක්වා මහා බර ඔසවාගෙන පැමිණි ගමන මෙනි. උත්සාහය අත් හළහොත්, එ් දක්වා දැරූ සියළු ප්‍රයත්නයන්ද අපතේ හැරියා වේ.
එ් අනුව, දැන් අගනා මිනිස් සිරුරක් ලබා උපත ලද නමුදු, ඉදිරියේදී නැවත එවැන්නක් පතමින් පමණක් සිටීමේ ඵලයක් නොමැත. දැන් ලබා ඇති මිනිස් සිරුරින් මේ මොහොතේ ප්‍රයෝජන ගෙන බුදුවරයෙකුගේ සර්වඥතා මට්ටම සපුරා ගැනීමට උත්සාහ කළ යුතුය. එසේ නොකළහොත්, එය බත් පාර්සලයක් ලද අයෙකු එය ආහාරයට නොගෙන ඊළඟ භවයේදී නැවත එවැන්නක් ලැබේවායි පතමින් සිටීම වැනි තත්ත්වයක් වනු ඇත. අප ලද මනුෂ්‍ය පුනරුත්පත්තියෙන් සම්පූර්ණ ප්‍රයෝජනය මේ අවස්ථාවේදී ගත යුතුය.
මරණ සතිය
මරණය නියතයකි
අප ලද අගනා මිනිස් දිවිය කවරාකාර වූවක්ද යන්න සලකා බලන්නේ නම්, එය පාෂාණයෙන් හෝ ලෝහයෙන් නිම වූවක් නොවේ. සත්‍ය වශයෙන්ම සිරුර ඇතුළත ඇති දේ පරීක්ෂා කරනු පිණිස එය කපා බලන්නේ නම්, වෙළඳපලින් මස් මිලදී ගත් පසු මිනිසුන් සිය නිවෙස්වල එ්වාහි බඩවැල් එල්ලා තබන්නාක් වැනි ලේ හා බඩවැල් සමූහයකි ඇතුළත ඇත්තේ. අපගේ අභ්‍යන්තරයද ඔරලෝසුවක ඇතුළත මෙන් මටසිළුටු එකකි.
මරණය පිළිබඳව හා කෙතරම් මනුෂ්‍යයන් සංඛ්‍යාවක් මියගොස් ඇත්තේද යන කරුණ පිළිබඳව සිතා බලන්නේ නම්, නොනිමි ගණන් තැබීමක නිරත විය හැක. මා ධර්ම ශාලාවට පැමිණි දින සිට මේ දක්වා මිය ගොස් ඇති ටිබෙට් ජාතිකයන් සංඛ්‍යාව ගණන් කරන්නට ගියහොත් එය අති විශාල සංඛ්‍යාවක් වනු ඇත.
මිනිස් සිරුරක් සහිතව ඉපිද මිය නොගිය කිසිවෙකු හෝ නොමැත. පැල හා ගස් මිය යන ආකාරය පිළිබඳ සිතා බැලුවහොත්, මරණය හුදෙක් කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් බව ඔබට දැනෙනු ඇත. උපතේ ස්වභාවික අවසානය මරණයයි. එ් හැර කළ හැකි අන් කිසිවක් නොමැත. අපගේ මෙහි රැස්වීමේ අවසානය විසිර යෑමයි; ඉහළ නැගීමේ අවසානය පහළට බැසීමයි. මිය යාම හැර අපට කළ හැකි අන් කිසිවක් නොමැත්තේය යන කරුණ අවබෝධ කරගනිමින්, මරණයට පෙර හැකිතාක් දුරට ධර්ම පිළිවෙත් පිරීමට උත්සාහ කළ යුතුය.
එ් අනුව, අප විසින් අප මියයනු ඇත්තාවූ ආකාරය පිළිබඳ සිතා බැලිය යුතුය. ඔබ බොහෝ සේ රෝගී තත්ත්වයට පත්වන අතර ඔබගේ සිරුරේ මස් විරූපව ගොස් ඔබ ඉතා දුර්වල තත්ත්වයකට පත්වේ. ඔබගේ සියලු ඥාතීන් හඬා වැළපෙමින් එය කෙතරම් භයානක තත්ත්වයක්දැයි විමසනු ඇත. වෙද මහතා පැමිණ ඔබට ඖෂධ ලබාදෙන අතර ඉන්පසු රෝගියාගේ තත්ත්වය එතරම් යහපත් නොවන බව පවසයි.
ඕනෑම අවස්ථාවක මියයා හැක
මරණය සිදුවන අවස්ථාව පිළිබඳවද නිශ්චිත ස්වභාවයක් නොමැත. කෙස් පැසුණු ඉතා වයෝවෘද්ධ මව්පියන් විසින් සිය දරුවන්ගේ මෘත දේහයන් භූමදානය කරනු දැකගත හැකිවේ. බොහෝ පුද්ගලයෝ සාමාන්‍ය ආහාරයක් ගැනීමෙන්ම හුස්ම හිරවී මියයති.
නිදසුනක් ලෙස තිබ්බතයෙන් මෙම උදාහරණය ගෙන එ් පිළිබඳ සිතා බැලිය හැක. එක් මිනිසෙකු විසින් සෑහෙන ප්‍රමාණයේ මස් කුට්ටියක් රැගෙන එය පසෙක තබා එය තමාගේ උදෑසන ආහාරය ලෙස ගන්නා බව පැවසීය. එසේ වුවද, එම මස් කුට්ටිය ඔහුට වඩා කල් පැවතිණි. තවත් උදාහරණයක් ගතහොත්, දිවා ආහාරය සඳහා පාන් රෝස්ට් කිරීමට අදහස් කරගෙන සිටි සිම්ලා නගරයේ අර්තාපල් ගොවියෙකු මම දැන සිටියෙමි. ඔහු එම පාන් පිසෙන අතරතුරම මිය ගියේය.
අනිත්‍යය පිළිබඳ ඇගයීම සඳහා වූ යහපත්ම මාර්ගය වනුයේ එ් පිළිබඳ පොතපතින් කියවා බැලීම නොව අප දන්නා මියගිය අයවලුන් පිළිබඳ සිතා බැලීමයි.
මරණය අවස්ථාවේදී උපකාර විය හැක්කේ ධර්මයට පමණි
මරණ සතිය පවත්වාගෙන යාමේ වැදගත්කම කුමක්ද? කළ යුතු යම් වටිනා දෙයක් වේනම් එය වූකලි දහම් පිළිවත් පූරණය පමණි යන අදහස එමගින් දක්වන බැවිනි.
භෞතික දේවල්වලට අනුව කථා කරන්නේ නම්, එ් කිසිවක් හෝ අපට රැගෙන යා නොහැකි බව ඔබට අවබෝධ වනු ඇත. නිදසුනක් ලෙස ඔබ බොහෝ මුදල් රැස්කර ඇති ධනවත් වෙළඳ ව්‍යාපාරිකයෙකු නම්, දැන් ඔබට රැගෙන යා හැකි එකම දෙය දේහය ආදාහනය කිරීම සඳහා ඔතන රෙදි කැබැල්ල පමණි. රටින් රටට සංචාරය කරන අතර ධනය රැස් කිරීම සඳහා මෙම වෙළඳ ව්‍යාපාරිකයා විසින් සිදු කරන ලද පාප ක්‍රියාවන් සංඛ්‍යාව සලකා බැලුවහොත් එය සුවිශාල එකක් විය හැක.
ඔබ බොහෝ සේවකයන් හෝ මෙහෙකරුවන් සහිත අයෙකු හෝ සොල්දාදුවන් 100,000කට අණ දෙන්නාවූ හමුදා ජෙනරල්වරයෙකු හෝ විය හැකි නමුත් ඔබගේ මරණ අවස්ථාවේදී එ් කිසිවෙකුට හෝ ඔබ සමග ආ නොහැක. ඥාතීන්ගෙන් පිරි රටකට හෝ පිහිටට ආ නොහැක: ඔවුනට කළ හැකි එකම දෙය වනුයේ ඔබගේ මරණ මඤ්චකයේදී ඔබ වටා රැස්වී ඔබගේ සාමකාමී මරණයට හා පුනරුත්පත්තියට බාධා අවහිර කිරීම පමණි.
පුණ්‍ය ක්‍රියාවන් මගින් ප්‍රමාණවත් ධනාත්මක කර්ම බලවේගයක් ගොඩනගාගෙන ඇත්තේ නම්, එය ඔබගේ පුනරුත්පත්තීන්ට බොහෝ සෙයින් ප්‍රයෝජනවත් විය හැකි බැවින් මරණ අවස්ථාවේදී ඔබට උපකාර කළ හැකි එකම දෙය ධර්ම පිළිවෙත් පූරණය පමණක් බව පැවසිය යුතුය. එසේ වුවද, පාපකාරී කර්ම බලවේග මගින් එම පුනරුත්පත්තීන්හි තත්ත්වය වඩාත් අයහපත් කළ හැක. මෙය වූකලි මරණය පිළිබඳ සිතා බැලීමෙන් තොරව ඔබට වටහාගත හැකි දෙයකි. තිබ්බතයේද බොහෝ ධනවත් තිබ්බතීයයෝ සිටි අතර ඔවුනට සිය දැනුම හා අභ්‍යන්තර ගුණාංග පමණක් රැගෙන සියල්ල හැර යන්නට සිදුවිය. එ් අනුව පිරිසිදු ලෙසම මේ ජීවිත කාලය තුළ ධර්ම පිළිවෙත් සුරැකිය යුතු අතර ලෞකික ක්‍රියාකාරිත්වයන් උදෙසා අපගේ කාලය නාස්ති නොකළ යුතුය.
මෙම ජීවිතයේ ලෞකික ක්‍රියාකාරකම් තිරිඟු දහයියා මෙන් නොවැදගත් සේ සැලකිය යුතුය. ලෞකික කටයුතුවල සාරයක් නොමැත. ලෞකික කටයුතු හුදෙක් දරුවන් විසින් තනන වැලි මාලිගා මෙන් සැලකිය යුතුය. එ්වා සමග සෙල්ලම් කිරීම අවසන් වූ විට ඔවුහූ එ්වා හැර පිටව යති. මෙලෙසය ලෞකික කටයුතු පිළිබඳවද සිතිය යුත්තේ.
මේ සියල්ල පිළිබඳ සිතා බැලුවහොත්, එය ඔබගේ ධර්ම පිළිවෙත් පූරණයට ඉමහත් උපකාරයක් වනු ඇත.
පහළ මට්ටමේ පෙළඹීම් වර්ග දෙක
ආරම්භක මට්ටම
සියලු ලෞකික කටයුතු අනවශ්‍ය හා එතරම් වැදගත් නොවන දේ වශයෙන් සලකන්නේ නම්, එවිට වැදගත් එකම දෙය ධර්ම පිළිවෙත් පූරණය වන බව අවබෝධ වේ. ධර්ම පිළිවෙත් පූරණය වූකලි ඔබගේ මතු භවයන්ගේ ඵල ප්‍රයෝජනය පිණිස සිදුකරන කාර්යයකි. නිදසුනක් ලෙස, "මට දැන් වටිනා මනුෂ්‍ය භවයක් ලැබී තිබෙනවා;මතු භවයන්හි පහළ තලයනට ඇද වැටීම වළක්වාලීමට එය ප්‍රයෝජනයට ගත යුතුයි" යන ආකල්පය පවත්වාගෙන යාම වූකලි අපගේ අගනා මනුෂ්‍ය ජීවිතයෙන් ප්‍රයෝජන ගැනීමේ පහළම මට්ටමයි.
දැඩි ආචාර ධාර්මික ස්වයං විනයක් පවත්වාගෙන යාම මගිනි මෙම වඩා පහත් තලයනට ඇද වැටීමෙන් අප වළකාලිය හැක්කේ. ආචාර ධාර්මික ස්වයං විනයක් පවත්වාගෙන යාම පිණිස වූ දැඩි ඇල්මක් පිහිටුවා ගත්තද, එය ක්‍රමයෙන් ක්ෂය වේ. එබැවින්, වඩා අයහපත් පුනරුත්පත්තියකට ඇද වැටීමෙන් වැළකී සිටිනු සඳහා අපගේ කැළඹිලිකාරී භාවයන්ගෙන් මිදිය යුතු වේ. මෙය අතිශයින්ම තදින් දූවිලි බැඳුණු රෙදි කැබැල්ලක් සේදීම වැනි කාර්යයකි - පළමුව අඩු බලයක්, ශක්තියක් යොදන අතර ඉන් පසු ක්‍රමයෙන් බලය හෙවත් ශක්තිය වැඩි කරයි. කැළඹිලිකාරී භාවයන්ගෙන් මිදෙනු පිණිසද කාර්යය ආරම්භ කළ යුත්තේ සෙමින් හා මෘදු ලෙස වන අතර ක්‍රමයෙන් පූර්ණ ශක්තිය යොදා දරන ප්‍රයත්නයක් බවට එය හරවනු ලබයි. එ් අනුව, ආචාර ධාර්මික ස්වයං විනය පවත්වාගෙන යනු පිණිස, එය ක්‍රමයෙන් හා මන්දගාමීව යොදා ඉන්පසු ක්‍රමිකව යෙදීම හා භාවිතය මගින් කැළඹිලිකාරී භාවයන්ගෙන් මිදිය හැක; නොඑසේ නම් ඔබගේ උත්සාහයන් පහසුවෙන් හීන විය හැක.
මෙම පහත් තලයන්හි පුනරුත්පත්තියක් සිදුවීම වළකනු පිණිස ආචාර ධාර්මික ස්වයං විනයක් අනුගමනය කරන්නේ නම්, ධර්ම පිළිවෙත් පිරීමේ අවම මට්ටම මෙයයි.
අන්තර්මධ්‍ය මට්ටම
පහත්ම තලයන් තුනෙහි ඉපදීමෙන් මිදී ඊළඟ ජීවිතය දේව තලයන්හි පවත්නා සතුට හා ප්‍රීතිය මැද හෝ මනුෂ්‍යයෙක් වශයෙන් වුව උපත ලදහොත්, සියලු සාංසාරික පුනරුත්පත්තීන්හි පවතිනුයේ දුකම බව අවබෝධ කරගැනීමට උත්සාහ කළ යුතුය. මෙය ලම්-රිම් දේශනාවන්හි දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරී ඇති නමුත් මෙහි මෙම නිදසුනින් විස්තර කළ හැක: ඔබ හිරු රශ්මියෙහි සිටින අතර ඉතා උණුසුම් තත්ත්වයක් සිරුරට දැනෙන විටදී නිවස තුළට යයි. එවිට තද හිරු රශ්මියෙහි රස්නයෙන් හා දුකින් මිදෙන නමුත් ඉන්පසු සීතල දැනීමෙන් ඇතිවන දුක විඳීමට සිදුවේ. දුකින් නිදහස් වූ සාංසාරික තත්ත්වයක් නොමැත.
කැළඹිලිකාරී භාවයන් විසින් සංසාරය හෙවත් පාලනයකින් තොරව නැවත නැවතද සිදුවන පුනරුත්පත්තිය තුළ අප රවුම් ගස්සවනු ලබයි. ගසක මුල මෙන් එහි මුලද සැබෑ ලෙස ස්වාධීන අනන්‍යතාවයක් ග්‍රහණය කරගැනීමට උත්සාහ දරමින් සිටී. සංසාරය වටා වූ අපගේ මෙම වට රවුම් භ්‍රමණය මෙරි ගෝ රවුන්ඩ් ක්‍රීඩාවක මෙන් වටා කැරකැවීමක් විනා කිසිදු දිශානතියකට ගමන් කිරීමක් නොවේ. මින් මිදීමේ එකම මාර්ගය වනුයේ එයට ඉහළින් අපවම ඔසවා තැබීමයි. මෙය සිදු කිරීම සඳහා ආර්යයෙකු හෙවත් ඉහළ අවබෝධයක් සහිත උත්තමයෙකු හෙවත් අනන්‍යතාවයක් රහිත තත්ත්වය හෙවත් නොපැවතිය හැකි "ආත්මයක්" නොපවත්නේය යන කරුණ අවබෝධ කරගන්නාවූ උත්තමයෙකු බවට පත්විය යුතුය. මෙයයි ශූන්‍යතාවය (හිස්බව) පිළිබඳ වෙන්කොට සැලකීමේ දැනුවත්භාවය.
අපගේ චිත්ත සන්තතිය මත වූ මෙකී ශූන්‍යතා අවබෝධය වගා කරගනු පිණිස, ශමථය හෙවත් නිශ්චල හා තැන්පත් චිත්ත ස්වභාවයක් ඇතිකර ගැනීම අවශ්‍ය වේ. මෙය ඇතිකරගනු පිණිස, ආචාර ධාර්මික ස්වයං ශික්ෂණය පැවතිය යුතුවේ. එ් අනුව, උසස් මට්ටමේ පුහුණු තුන - ආචාර ධාර්මික ස්වයං විනය, ධ්‍යාන සමාධිය හා වෙන්කොට දැකීමේ දැනුවත්භාවය යන ඉහළ පුහුණු- මගින් පාලනයකින් තොරව නැවත නැවතද සිදුවන සාංසාරික පුනරුත්පත්තියට ඉහළින් පැවතීමේ හැකියාව අප වෙත ලබාදෙනු ලබයි. මේවා පුහුණු කරන්නේ නම්, සංසාරයේ වට රවුම් ගැසීමේ මෙම චාරිකාව නිමකළ හැක.
ආර්ය මට්ටමට උසස් වූ සත්ත්ව වර්ග තුනක් කාණ්ඩගත කොට ඇත:
- මාර්ග චිත්තය දැක ගැනීමේ තත්ත්වය සාක්ෂාත් කරගත්තවුන් (මාර්ග දැක්ම)
- පුරුදු වූ මාර්ග චිත්තයක් සාක්ෂාත් කරගත්තවුන් (භාවනා මාර්ගය)
- තවදුරටත් පුහුණු වීම් අවශ්‍ය නොවන පරිදි මාර්ග චිත්තයක් සාක්ෂාත් කරගත්තවුන්.
මාර්ග චිත්තය පිළිබඳ අළුතින් ඇතිවූ දැක්මක් සහිත අය තුළ ශූන්‍යතාවය පිළිබඳ අසංකල්පීය සෘජු වැටහීමක් පවතී. පුරුදු වූ මාර්ග චිත්තයක් සහිත අය තවදුරටත් භාවනා කරමින් මෙකී අසංකල්පීය ශූන්‍යතා වැටහීම පුරුදු කරගනිති. නොකඩවා භාවනා පුහුණු කිරීම තුළ මෙම ශූන්‍යතා වැටහීමට ඔබගේ මනස පූර්ණ වශයෙන් පුරුදු කර ඇත්තේ නම් හා විමුක්තිය වළකාලන්නාවූ භාවමය වැළකුම් ඔබගේ සිතින් සදාකාලිකවම ඉවත් කොට ඇත්තේ නම්, ඔබ අර්හත් ඵල ලාභියෙකු හෙවත් විමුක්ති ලාභියෙකි.
පෙළඹීමේ උසස් මට්ටම
ආදරය හා කරුණාව
එනමුදු, ඔබ පමණක් විමුක්තිය ලබාගැනීම ප්‍රමාණවත් නොවේ. මක් නිසාද, සියලු සීමිත සත්ත්වයෝ (හැඟීම් දැනීම් සහිත සත්ත්වයෝ) මෙම දුක් රැස අනුභව කරමින් වාසය කරන බැවිනි. දුක් විඳින අතර සියලු දෙනා ඉන් මිදීමට කැමති වන්නේය යන කරුණ තුළ සියලු සීමිත සත්ත්වයෝ සමාන වෙති. සියලු සීමිත සත්ත්වයෝ දුකින් මිදෙත්වාය යන පැතුම සහිත චිත්ත ස්වභාවය ගොඩනගා ගතහොත්, එය "කරුණාව" වශයෙන් හැඳින්වේ. එනමුදු, සියලු සීමිත සත්ත්වයෝ දුකින් මිදේවාය යන මේ පැතුම වගා කරගනු පිණිස, ඔබ ඔබගේ දුක සම්බන්ධයෙන් බොහෝ කලක් සිතා බලා භාවනා කොට එය කෙතරම් නම් අමිහිරි තත්ත්වයක්ද යන්න වටහා ගෙන අත් හැරීමේ පුරුද්ද ගොඩනගාගත හැකි මට්ටමක හෙවත් නිදහස් වීමේ අධිෂ්ඨානයක් සහිත තත්ත්වයක සිටිය යුතුය. දුක යනු කෙතරම් අමිහිරි දෙයක්ද යන අදහස ඇතිකරගෙන ඉන් මිදීමේ පැතුමක් ගොඩනගා ගත් කල්හි, එම සිතිවිල්ල සියලු සත්ත්වයන් උදෙසා යොමුකළ හැක. එය කරුණාවයි.
එ් අනුව, අත්හැරීම යනු මා දුකින් මිදේවාය යන පැතුම වන අතර කරුණාව යනු සියලු සත්ත්වයෝ දුකින් මිදෙත්වාය යන පැතුමයි. කරුණාව හා ආදරය අතර පවත්නා වෙනස නම්, කරුණාවේදී "සියලු සීමිත සත්ත්වයෝ දුකින් හා එයට හේතුවන කරුණුවලින්ද මිදෙන්නේ නම් කෙතරම් යහපත්ද" යන සිතිවිල්ල ඇතිවීම වන අතර, ආදරයේදී ඇතිවනුයේ සියලු සත්ත්වයන් හට සතුට හා සතුටට හේතු වූ කරුණු ඇතිවේවාය යන පැතුමයි.
උපේක්ෂාව හා බෝධිචිත්තය ගොඩනගා ගන්නා ආකාරය
අප තුළ ආදරය හා කරුණාව නොමැති වීමට හේතු කවරේද? සියලු දෙනා දුකින් මිදී සතුටු වෙත්වායි අපි නොපතන්නේ මන්ද? හේතුව නම් අපගේ සිත් මටසිලුටු නොවූ රළු එ්වා වීමයි. එ්වාහි ඉහළ හා පහළ ලක්ෂ්‍ය පවතී. අපගේ සිත්හි පවත්නා මෙම සමතල නොවන ස්වරූපය කවරක්ද? එය නම් අපගේ ඥාතීන් හා මිතුරන් කෙරෙහි බොහෝ කොට ඇලී සිටින අතර අපගේ සතුරන් හෝ අප අකමැති පුද්ගලයන් දකින විටදී, ඉමහත් ද්වේෂයක් ඇති වීමයි.
එ් අනුව, මෙම රළු මාර්ගය සමතල කරනුයේ කෙසේද? අපට එය මෙම කරුණ පිළිබඳ සිතා බැලීමෙන් වටහාගත හැක: ඔබට එක් පුද්ගලයෙකු විසින් ඊයේ රු. 100ක මුදලක්ද තවත් පුද්ගලයෙකු විසින් අද රු. 100ක මුදලක්ද ලබා දෙයි. ඊයේ රු. 100ක් දුන් පුද්ගලයා අද ඔබගේ මුහුණට පහරක් දුන් අතර, අද රු. 100ක් දුන් අය ඊයේ එසේම ඔබගේ මුහුණ හරහා පහරක් ගැසීය. ඔබ කැමති වන්නේ කාටද, අකමැති වන්නේ කාටද?
මෙයාකාරයෙන් අපගේ අතීත සතුරන් අපට මහත් සේ ප්‍රයෝජන සලසා ඇති අතර අනාගතයේදීද මහත් උපකාර කරනු ඇති බව සිතිය යුතුය. එමෙන්ම, අපගේ මිතුරන් විසින් අතීතයේදී ඉමහත් හානි අප වෙත පමුණුවා ඇති අතර, අනාගතයේදීද එසේ කරනු ඇත. එය කාලය පිළිබඳ ගැටළුවක් පමණි.
තවත් නිදසුනක් ගනිමු: මිනී කන්නන්, වෘක මිනිසුන් හෝ මාංශ භක්ෂකයන් ස්වරූපයේ විවිධ පුද්ගලයෝ වෙති. ඔවුන් ඉතා ආකර්ශනීය සේ දිස්විය හැකි අතර අප එ් අතරින් අයෙකු විවාහ කරගත හැක. එසේ වුවද, යම් අවස්ථාවක ඔහුගේ දලයක් නෙරා විත් අප කා දමනු ඇත.
බල්ලෙකුට පහර දුනහොත් ඌ බුරමින් පැමිණ ඔබ සපාකනු ඇත. අපිද සතුරෙකු කෙරෙහි කෝප වුවහොත්, එම සුනඛයාට සමානම ප්‍රතිචාරයක් දක්වනු ඇත. සිතේ පවත්නා මෙකී ඇල්ම හා පිළිකුල යන දෙ අන්තයට අදාල අසමතාවය ඉවත් කොට සිතේ සම චිත්තතාවය හෙවත් උපේක්ෂාව වර්ධනය කරගත යුතුය. මෝටර් රියකට පහසුවෙන් ධාවනය වීමට අවශ්‍ය පරිදි මාර්ගයේ උස් පහත් තැන් මට්ටම් කොට සකසන්නාක් මෙන් එම සම චිත්තතා මට්ටම මතින් අපට ආදරය හා කරුණාව ගොඩනගාගත හැක.
පුපුරා යාමෙන් මාර්ගය සමතලා කරන්නාවූ ඩයිනමයිටයක් මෙන් බලගතු සිතිවිලි අප තුළ පැවතිය යුතුය. කවරාකාර සිතිවිලිද? සෙසු සීමිත සත්ත්වයන්ගේ කාරුණිකත්වය පිළිබඳ සිතීමයි. නිදසුනක් ලෙස, අපි කිරි බොන්නෙමු. එ්වා ලැබෙනුයේ එළ හා මී දෙනුන්ගෙනි. උන් ඇවිදිමින් තණකොළ කමින් ජලය පානය කරන අතර අප කරනුයේ උන්ගෙන් කිරි දොවාගැනීම පමණි. හාවුන් හා මීයන් වෛද්‍ය අත්හදා බැලීම්වලට පාවිච්චි කෙරෙති. එ් අනුව, අප සතු ඖෂධ යනු අප වෙනුවෙන් දිවි පිදූ මීයන්ගේ හා හාවුන්ගේ පිහිටෙන් ලත් දේවල් වේ.
අප විසින් අපගේ සතුරන් ලෙස සලකන්නාවූ හා අපට හානි සිදු කරන්නාවූ ඇතැම් සීමිත සත්ත්වයෝද වෙති. එසේ වුවද, ඔවුන් අපට කරන හානිය ඔවුන්ගේ කාරුණිකත්වය හා සන්සන්දනය කළහොත්, දෙවනු කී කාරුණිකත්වය පළමු කී හානිය ඉක්මවයි. තවද, ඔවුන් විසින් සිදුකරන හානියද සැබැවින්ම බොහෝ සෙයින් ප්‍රයෝජනවත් විය හැක. බුද්ධත්වයට පත්වනු පිණිස අපට ඉවසීමේ ගුණය ප්‍රගුණ කිරීමට සිදුවන අතර එ් සඳහා මෙයාකාරයේ අමනෝඥ පුද්ගලයන් අවශ්‍ය වේ. සියලු දෙනා ඉතා යහපත් අය වීනම්, ඉවසීම ප්‍රගුණ කළ නොහැකි වනු ඇත. අප හා කෝප ගන්නාවූ, තරහ වන්නාවූ අය සීමිත සත්ත්වයන් විනා බුදුවරු නොවේ; එ් අනුව ඔවුහූ අපට ඉවසීම උගන්වන්නෝ වෙති. නිදසුනක් ලෙස, අතීෂයන් තිබ්බතයට ආ විටදී ඔහු සමග ඉතා රස්තියාදුකාර ඉන්දියානුවෙකුද සිය ඉවසීම පරීක්ෂා කරවාගැනීම පිණිස රැගෙන ආවේය. ඔහු කැටුව ආවේ මන්ද යන පැනයට පිළිතුර වූයේ සිය ඉවසීම පුහුණු කළ යුතුවූ හෙයින් එසේ කළ බවයි. එ් අනුව, සීමිත සත්ත්වයෝ හා බුදුවරුන් අප වෙත දක්වන කරුණාවට අනුව සමානයෝ වෙති. මෙම කරුණ ශාන්තිදේවයන්ගේ කෘතියක් වන "බෝධිසත්ත්ව චර්යාවෙහි නියැළීම" නම්වූ ග්‍රන්ථයෙහි තහවුරු කොට ඇත.
බුදුවරයෙකුට තරහා නොයෑමට හේතුවක් ඇත. හේතුව නම් උන් වහන්සේ තුළ සියලු කැළඹිලිකාරී භාවයන්ගෙන් නිදහස් වූ එ්ක චිත්ත, ධ්‍යානගත සතියක් පැවතීමයි. බුදුවරයෙකු තුළ මෙම එ්ක චිත්ත සිහිය පවත්නා බැවින්, උන් වහන්සේ කෝප නොවේ. එ් අනුව, අප විසින්ද මෙම ගුණය ප්‍රගුණ කළ යුතුය. අප උදෑසන අවදි විය යුත්තේ මෙම සිතිවිලි සමගිනි:
- අද දින මම අන් අය තරහා නොගස්වමි, කෝප නොකරවමි.
- අන් අයටද මා කෝප ගැන්වීමට අවකාශ නොසලසමි.
අප මෙම පිළිවෙතට පුරුදු වුවහොත්, අපගේ කැළඹිලිකාරී භාවයන් අවම කරගනිමින් අවසන කැළඹිලිකාරී භාවයන්ගෙන් සදාකාලිකවම නිදහස් තත්ත්වය සාක්ෂාත් කරගනිමින් බුද්ධත්වයට පත්විය හැක.
බුදුවරුන් සතුටු කරනු පිණිස කළ හැක්කේ කවරක්දැයි යමෙකු විමසන්නේ නම් දිය හැකි පිළිතුර වනුයේ සීමිත සත්ත්වයන් වෙත උපකාර කරමින් ඔවුනට කරුණාව දැක්වීම බවයි. නිදසුනක් ලෙස, දරුවන් සහිත දෙමාපියන් සිටින්නේ නම්, එම දෙමවුපියන් වෙත පමණක් කාරුණික වනු වෙනුවට ඔවුන්ගේ දරුවන් හට කාරුණික වීමෙන් එම දෙමව්පියන් වඩාත් සතුටට පත්කළ හැක. එ් අයුරින්ම, බුදුවරුන්ට මෙන්ම සීමිත සත්ත්වයන්ටද අප කාරුණික නම් බුදුවරු වඩාත් සතුටට පත්වනු ඇත. මේ සියලු කරුණු පදනම් කරගනිමින්, අප විසින් බෝධිචිත්ත ඉලක්කයක් ගොඩනගා ගැනීමට උත්සාහ කළ යුතුය: "සියලු සීමිත සත්ත්වයන් හට ප්‍රතිලාභ සලසනු පිණිස බුදුවරයෙකුගේ තත්ත්වය සාක්ෂාත් කරගැනීමට උත්සාහ කරමි" යනුවෙනි.
මෙම ජීවිතයේදීම බුද්ධත්වය සාක්ෂාත් කරගැනීම
මෙයටද වැඩියෙන්, මෙම ජීවිත කාලය තුළම, මේ මොහොතේදීම, සියලු සීමිත සත්ත්වයන් වෙනුවෙන් බුදුවරයෙකුගේ තත්ත්වය සාක්ෂාත් කරගැනීම සඳහා වූ දැඩි අදහසක් අප තුළ පැවතිය යුතුය. මෙම ජීවිත කාලය තුළම බුද්ධත්වයට පත්විය හැකි විධියක් පවත්නා බව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ සේක. එම විධිය කවරක්ද? තන්ත්‍ර මාර්ගය මගිනි. මෙම මාර්ගය අනුගමනය කළහොත්, මෙම ජීවිත කාලය තුළම බුද්ධත්වය සාක්ෂාත් කරගත හැක.
මෙම ජීවිත කාලය තුළම බුද්ධත්වයට පත්වීමේ ඉතා තදබල අපේක්ෂාවක් පැවතියද, ආරම්භයක් නොපෙනෙන සංසාර ගමන තුළ ඉමහත් පාපකර්ම සම්භාරයක් අප විසින් රැස්කරගෙන ඇති බැවින් එය පහසු කටයුත්තක් සේ නොසැලකිය යුතුය. තන්ත්‍ර ක්‍රමය වේගවත් වුවද ඉතා දුෂ්කර මාර්ගයකි. තන්ත්‍ර මාර්ග පිළිවෙත් පිරීම ගුවන් යානයක ගමන් කිරීම මෙන් වේගවත් බවක්ද නොසිතිය යුතුය. එය එතරම් පහසු වූවක් නොවේ. නිදසුනක් ලෙස, ජෙට්සන් මිලරේපා සිය ගුරුවරයා සමගින් කටයුතු කිරීමේදී බොහෝ දුෂ්කරතාවනට මුහුණ දුන් අයෙකි - එම දුෂ්කරතා නම් කුලුනු ඉදි කිරීම, පහර කෑම, හා බොහෝ දුක් විඳීම ආදියයි. මේ හේතුවෙන්, ඔහුට එම ජීවිත කාලය තුළම බුද්ධත්වයට පත්විය හැකිවිය. එසේ වුවද, අපි මිලරේපා විඳි දුෂ්කරතාවයන්ගෙන් කොටසක් හෝ විඳීමට අකමැත්තෙමු.
අප තුළ මෙම ජීවිත කාලය තුළම බුද්ධත්වයට පත්වීමේ තදබල අපේක්ෂාවක් පවත්නේ නම් හා ඉමහත් දුෂ්කරතාවයන්ද එ් වෙනුවෙන් විඳීමට සූදානම් නම්, එවිට, නොකඩවා පිළිවෙත් පූරණය තුළ බුද්ධත්වයට පත්වීමේ හැකියාවක් අපටද පවතී.
සාරාංශය
අගනා මිනිස් සිරුරක් සහිතව ඉපිද ඇති අපට වඩා යහපත් පුනරුත්පත්තීන්, විමුක්තිය හා බුදධත්වයද සාක්ෂාත් කරගැනීම සඳහා එය භාවිත කළ හැක. මේ සඳහා, අප විසින් ශ්‍රේණිගත මාර්ගයක් අනුගමනය කළ යුතුවේ. මේ තුළට දස පාප ක්‍රියාවන්ගෙන් වැළකී සිටීම, කැළඹිලිකාරී භාවයන්ගෙන් මිදීම හා, සංසාරයෙන් මිදී බෝධිචිත්ත ඉලක්කයක් සහිතව, ධ්‍යාන සමාධි උපදවා ශූන්‍යතාවය (හිස්බව) පිළිබඳ අසංකල්පීය අවබෝධයක් ලැබීම ඇතුළත් වේ.