තමා අන්‍යයන් හා සම කිරීම හා හුවමාරු කිරීම

මියයාමට මාස දෙකකට පෙර ෂෙන්ෂැබ් සර්කොං රින්පොෂේ විසින් දර්ශනසූරී බර්සින් වෙත මෙම දේශනාව කියවන ලද අතර, එය වචනයෙන් වචනය ඔහු ලවා ලියවා තබා ඔහුගේ වඩාත් වැදගත් දේශනාව වශයෙන් රැකගන්නා ලෙස පවසන ලදී. අපගේ ආත්මාර්ථකාමී ආකල්පය ලෙස එන අසතුටේ හා ගැටළුවල ප්‍රබලතම මූලය මැඩ පැවැත්වීම හා එ් වෙනුවට සියලු සතුටේ මූලය වන අවංක පරහිතකාමිත්ව ආකල්පයක් ගොඩනගා ගැනීම සඳහා වූ භාවනාවන් එතුළ විස්තරාත්මකව විග්‍රහ කෙරේ.

බෝධිචිත්තය හෙවත් සෙස්සන් වෙනුවෙන් මුළුමනින්ම කැපවූ හදවතක් ගොඩනගා ගන්නා ආකාරය හා ඔවුනට හැකිතාක් ප්‍රයෝජන සලසනු පිණිස බුද්ධත්වය සාක්ෂාත් කරගැනීම සිදුකරන ආකාරය විග්‍රහ කරන සම්ප්‍රදායන් දෙකක් පවතී - සත් පාර්ශ්වික හේතු ඵල සම්ප්‍රදාය හා අප හා අන්‍යයන් කෙරෙහි වූ අපගේ ආකල්ප සමාන කිරීමේ - හුවමාරු කිරීමේ - සම්ප්‍රදාය වශයෙනි. එ් එක එකක් තුළ මූලික කටයුත්තක් ලෙස කල්තබා සමචිත්තතාව හෙවත් උපේක්ෂාව ගොඩනැගීමේ නිශ්චිත හෝ වෙන්වූ විධික්‍රමයක් පවතී. එ් එක එකක සමචිත්තතාවය හෝ උපේක්ෂාව නමැති එකම නාමය භාවිත වුවද එසේ ගොඩනගනු ලබන සමචිත්තතා වර්ගය එකිනෙකට වෙනස් වේ. 

  1. කොටස් සතකින් යුත් හේතු ඵල භාවනාවේ සියලු දෙනා අපගේ මව්වරුන් වශයෙන් සිට ඇති බව හඳුනා ගැනීමට පෙර එන සමචිත්තතාව තුළ මිතුරෙකු, සතුරෙකු හා අමුත්තෙකු සිතින් මවාගෙන ඔවුන් පිළිබඳ සමචිත්තතාව පැවැත්වීම මගින් ඇල්ම හෝ ගැටීම ආශ්‍රිත හැඟීම් පවත්වාගැනීම නවතාලනු ලබයි. එ් අතරින් එකක නාමය "මිතුරන්, සතුරන් හා අමුත්තන් කෙරෙහි ඇල්ම හා ගැටීම ඇතිවීම වළකාලන්නාවූ හුදු සමචිත්තතාව" නම් වේ. මෙහි එන හුදු යන වදන මගින් පෙන්වනු ලබන්නේ තවදුරටත් යමක් අන්තර්ගත දෙවන ක්‍රමයක්ද පවත්නා බවයි.

    මෙම පළමු සමචිත්තතා වර්ගය සඳහා වූ තවත් නාමයක් වනුයේ "ශ්‍රාවකයන් වහන්සේලා හා පසේ බුදුවරුන් සමග පොදුවේ සමචිත්තතාව ගොඩනගා ගැනීමේ ක්‍රමය වන හුදු සමචිත්තතාව" යන්නයි. මෙහි පසේ බුදුවරුන් හෙවත් ස්වයං උත්සාහයෙන් බුද්ධත්වයට පත්වන්නන් බුද්ධ දේශනාවන්හි හීනයාන සම්ප්‍රදායට අයත් පිළිවෙත් පුරන්නන් වර්ග දෙකක් වේ. මෙහි හුදු යන්නෙන් මෙයාකාරයේ සමචිත්තතාවයකදී කැපවූ බෝධිචිත්ත හදවතක් අප සතු නොවන අතර එ් හා සම්බන්ධයක්ද නොමැති බව දක්වයි.
  1. තමා අන්‍යයන් හා සම තත්ත්වයකට පත් වෙමින් අපගේ ආකල්ප අප වෙතම හා අන්‍යයන් වෙත හුවමාරු කිරීම සඳහා වූ මූලික කටයුත්තක් සේ ගොඩනගා ගන්නාවූ සමචිත්තතාව හුදෙක් ඉහත වර්ගයේ සමචිත්තතාවයක් නොවේ. එය වූකලි සියලු සීමිත සත්ත්වයන් වෙත ප්‍රයෝජනවත් වන සේ කටයුතු කරමින් ඔවුනට උපකාර කිරීමේ හා ඔවුන්ගේ ගැටළු මුළිනුපුටා දැමීමේ සිතිවිලි හෝ ක්‍රියාවන් ආශ්‍රිතව සමීපත්වයේ හෝ දුරස්ථභාවයේ හැඟීම් අප තුළ නොමැති සමචිත්තතාවය වේ. මෙයයි සමචිත්තතාවය ගොඩනගා ගැනීමේ සුවිශේෂී වූ, අසාමාන්‍ය මහායාන විධික්‍රමය.

හුදු සමචිත්තතාව

කොටස් සතකින් යුත් හේතු ඵල ක්‍රමය තුළ සියලු දෙනා අපගේ මව්වරුන් වශයෙන් සිට ඇති බව හඳුනාගැනීමට පෙර ඇතිවන සමචිත්තතාවය ගොඩනගා ගැනීමේ විධික්‍රමය කුමක්දැයි විමසන්නේ නම්, එතුළ පහත සඳහන් පියවරයන් අන්තර්ගත වේ.

පුද්ගලයන් තිදෙනෙකු සිතින් මවාගැනීම

පළමුව පුද්ගලයන් තිදෙනෙකු සිතින් මවා ගන්නෙමු: අප අකමැති වන්නාවූ හා අපගේ සතුරා ලෙස සලකන්නාවූ මුළුමනින්ම පිළිකුල් සහගත හා අප්‍රසන්න පුද්ගලයෙකු, බොහෝ සේ ප්‍රියමනාප ආදරණීයයෙකු හෝ මිතුරෙකු හා අමුත්තෙකු හෝ මෙකී හැඟීම් කිසිවක් අපට නොදැනෙන්නාවූ ඉහත අන්ත දෙක අතර වූ පුද්ගලයෙකු වශයෙනි. මෙම තිදෙනාම එක්වර සිතින් මවා ගන්නෙමු.

මේ එක එකක් පිළිබඳව පිළිවෙලින් අවධානය යොමු කිරීමේදී සාමාන්‍යයෙන් ඉස්මතු වනුයේ කවරාකාර ආකල්පයක්ද? අප අකමැති පුද්ගලයා සම්බන්ධයෙන් අප්‍රසන්නතාවය, අපහසුතාවය හා පිළිකුල මිශ්‍රිත හැඟීමක් ඉස්මතු වේ. ඉතාමත් ප්‍රියජනක වු මිතුරා කෙරෙහි ආකර්ශනය හා ඇල්ම මුසු හැඟීමක් ඉස්මතු වේ. අමුත්තා ආකර්ශනීය හෝ පිළිකුල් සහගත හෝ නොවන බැවින් ඔහු කෙරෙහි උපේක්ෂාව මුසු, උපකාර කිරීමට හෝ හානි කිරීමට අවශ්‍යතාවයක් නොමැති වූ හැඟීමක් ඉස්මතු වේ.

අප අකමැති අයෙකු වෙතින් ඉස්මතුවන පිළිකුල නවතාලීම 

සාකච්ඡාවේ පහසුව පිණිස, අප සිතින් මවාගන්නා පුද්ගලයන් තිදෙනාම කාන්තාවන් යයි සිතමු. පළමුව, අපි අපගේ සතුරෙකු ලෙස වුව සැලකිය හැකි, අප අකමැති පුද්ගලයා සම්බන්ධයෙන් කටයුතු කරමු.

  1. ඇය අප්‍රසන්න හා පිළිකුල් සහගත ලෙස සලකන්නාවූ හැඟීම ඉස්මතු වන්නට ඉඩ හරින්නෙමු. එය පැහැදිලි ලෙස ඉස්මතුව ඇති විටදී,
  2. ඇයට යම් කරදරයක් සිදුවූයේ නම් යහපත්ය හෝ ඇය අකමැති දෙයක් ඇයට අත් විඳින්නට සිදුවූයේ නම් යහපත්ය වශයෙන් වූ වැඩිදුර හැඟීම්ද ඉස්මතුවන බව අපට පෙනී යයි.
  3. ඉන්පසු මෙම අයහපත් හැඟීම් හා පැතුම් ඉස්මතුවීමේ හේතු විමසන්නෙමු. ඇය අපට වේදනා ගෙනදුන් හෙයින්, යම් වරදක් කළ බැවින් හෝ අපට හෝ අපගේ මිතුරනට යම් අප්‍රසන්න දෙයක් කී හෝ කළ බැවින් එසේ වූ බවක් සාමාන්‍යයෙන් සොයාගන්නට ලැබේ. එබැවිනි ඇයට යම් අයහපතක් සිදුවීම හෝ ඇයට අවශ්‍ය දේ නොලැබී යාම සිදුවිය යුතු බව පතන්නේ.
  4. දැන් අප එතරම්ම අකමැති වූ මෙම ගැහැණියට යම් අයහපතක් විය යුතු බවට සිතීමේ හේතුව පිළිබඳව කල්පනා කොට එය සැබැවින්ම යහපත් හේතුවක්ද යන්න විමසා බලන්නෙමු. එ් අනුව පහත පරිදි කරුණු සලකා බලන්නෙමු:
  • පෙර භවයන්හිදී මෙසේ සතුරා සේ සලකන්නාවූ අය මාගේ මව හා පියා වශයෙන් මෙන්ම මාගේ ඥාතියා හා මිතුරා වශයෙන්ද බොහෝ වාර ගණනක් සිට ඇත. ඇය මා හට අපමණ වාර ගණනක් බොහෝ සෙයින් උපකාර කොට ඇත.
  • මෙම ජීවිත කාලය තුළ කුමක් සිදුවේදැයි ස්ථිර නැත. මේ ජීවිත කාලයේ පසු කාලීනව ඇය මා හට ඉමහත් උපකාරී වූ යහපත් මිතුරියක් විය හැක. එවන් දේ බොහෝ සෙයින් සාමාන්‍යය.
  • කෙසේ වුවද, ඇයට හා මා හට මතු අනන්ත භවයන්හි ජීවිත ලැබෙනු ඇති අතර ඇය මාගේ මව හෝ පියා ලෙස යම් අවස්ථාවක පෙනී සිටිනු ඇත යන්න මුළුමනින්ම නිශ්චිතය. එබැවින්, ඇය මා හට ඉමහත් සේ උපකාර කරනු ඇති අතර මා හට ඇය කෙරෙහි බලාපොරොත්තු තැබීමට සිදුවනු ඇත. එබැවින්, අතීතයේදී, වර්තමානයේදී හා අනාගතයේදීද ඇය මා හට අප්‍රමාණ ආකාරයන්ගෙන් උපකාර කොට ඇති, කරන හා කරනු ඇත්තාවූ බැවින්, ඇය අවසන් විග්‍රහයේදී යහපත් මිතුරියකි. මෙය නිශ්චිතව තීරණය කරන ලද්දකි. එ් හේතුවෙන්, මෙම ජීවිත කාලය තුළ ඇය මා හට සුළු රිදවීමක් කළේය වැනි සුළු හේතුවක් මත සතුරෙකු සේ සලකා ඇයට අයහපතක් වේවායි පැතීම කිසිසේත් යුතු නොවේ.
  1. අපි යම් උදාහරණ පිළිබඳ සිතා බලන්නෙමු. නිදසුනක් ලෙස, මා හට බො‌හෝ මුදල් දීමේ හැකියාව ඇති, එසේ කිරීමේ කැමැත්තෙන් පසුවූ, අතීතයේදී සුළු වශයෙන් එසේ කොට ඇති යම් බැංකු නිලධාරියෙකු හෝ ධනවත් පුද්ගලයෙකු සිය මනෝ වේගය පාලනය කරගත නොහැකිව, කෝප වී දිනෙක මාගේ මුහුණ හරහා පහරක් එල්ල කළේ යැයි සිතමු. මා කෝපව එම කෝපය ග්‍රහණය කොටගෙන සිටියහොත් එමගින් ඔහුට මා වෙත තවදුරටත් මුදල් දීමේ අදහස අහිමි කරවයි. ඔහු සිය සිත වෙනස් කොටගෙන එම මුදල් අන් කිසිවෙකුට ලබාදීමේ අවදානමක්ද ඇත. අනෙක් අතින්, මා එම පහර ඉවසා සිට දෙනෙත් පහතට හෙළමින් මුවද වසාගතහොත් මා ඉන් සිත් අවුලට පත් නොවීම හේතුකොට පසුව ඔහු මා පිළිබඳ තවදුරටත් සතුටට පත්වනු ඇත. ඔහු මුළින් අදහස් කළ දෙයට වඩා වැඩි දෙයක් ලබා දීමට පවා අදහස් කළ හැක. කෙසේ වුවද, මා කෝපයට පත්ව මහත් කලබලයක් ඇති කළේ නම්, එය "ඔබගේ මුව තුළ මෝඩයෙකු ඇති අතර, දිව මගින් ඌ එළියට පළවා හරිනු ලබයි" යන තිබ්බතීය කියමන මෙන් වනු ඇත.
  2. එ් අනුව මා අකමැති මෙම පුද්ගලයා සම්බන්ධයෙන් දීර්ඝ කාලීන තත්ත්වය සලකා බැලිය යුතුවන අතර සියලු සීමිත සත්ත්වයන් සම්බන්ධවද එය සත්‍ය වේ. දීර්ඝ කාලීනව මා වෙත ඔවුන්ගෙන් ලැබෙන උපකාරය 100%ක සහතිකයක් සහිත වූවකි. එබැවින්, කිසිවෙකු විසින් හෝ සිදුකළ හැකි සුළු, ගණන් නොගත යුතුවන හානියක් සම්බන්ධ කෝපයක් ග්‍රහණය කොටගෙන පවත්වාගෙන යාම මා හට තරම් නොවේ.
  3. ඊළඟට, ගෝනුස්සෙකු, වන සතෙකු, අවතාරයක් ඉතා සුළු කූරු ගැසීමකදී හෝ කෝප ගැන්වීමකදී පවා වහා ආපසු හැරී පහර දෙන ආකාරය සලකා බලමු. ඉන් පසු, අප පිළිබඳවම සලකා බලමින් එවන් සත්ත්වයන් සේ කටයුතු කිරීම අපට කෙතරම් නම් නුසුදුසු වූවක්ද යන්න විමසා බලනු ලබයි. මෙයාකාරයෙන් අපි අපගේ කෝපය විසුරුවා හරින්නෙමු. එ් අනුව, මෙම පුද්ගලයා කවර හානියක් මට සිදු කළද මා සිත පාලනය කරගෙන කෝප නොවී සිටින අතර, නොඑසේ නම් මා හා වන සත්ත්වයෙකු හෝ ගෝනුස්සෙකු අතර වෙනසක් නොපවතිනු ඇත.
  4. අවසානයේදී, මේ සියල්ල තර්ක ශාස්ත්‍ර න්‍යායකට අනුව ආකෘතිගත කරන්නෙමු. අන්‍යයන් විසින් මා හට යම් හානියක් සිදුකර ඇත්තේය යන හේතුව මත ඔවුන් කෙරෙහි කෝප වීම නවතාලමි. මක් නිසාද:
  • අතීත භවයන්හි ඔවුහූ මාගේ දෙමව්පියන්ව සිට ඇත.
  • මේ ජීවිතයේද අනාගතයේදී ඔවුන් මාගේ ප්‍රියතම මිතුරන් නොවනු ඇතැයි සහතිකයක් නොමැත.
  • අනාගතයේදීද, යම් සමයක ඔවුන් මාගේ දෙමව්පියන් සේ පුනරුත්පත්තියක් ලැබ මා හට බොහෝ කොට උපකාර කළ හැක. එ් අනුව තෙකල්හිම ඔවුහූ මා හට උපකාරී වී ඇත.
  • ප්‍රතිචාර වශයෙන් මාද කෝප වුවහොත්, මාද වන සත්ත්වයෙකුට වඩා වෙනස් නොවේ. එබැවින්, මේ ජීවිත කාලය තුළ ඔවුන් අතින් මා හට සිදුවිය හැකි සුළු හානිය කෙරෙහි කෝප වීම නතර කරමි.

අප කැමති අයෙකු කෙරෙහි පවත්නා ඇල්ම නවතාලීම

  1. මුලදී සිතින් මවාගත් සතුරා, මිතුරා හා අමුත්තා යන කණ්ඩායමේ සිටින අපගේ මිතුරා හෝ ප්‍රේමණීයයා මත අවධානය යොමු කරමු.
  2. ඇය කෙරෙහි අපගේ ආකර්ශනය හෝ ඇල්ම නමැති හැඟීම ඉස්මතුවීමට ඉඩ හරින්නෙමු.
  3. මෙම පුද්ගලයා සමග සිටීමට අපට කෙතරම් අවශ්‍ය වන්නේදැයි වඩාත් ප්‍රබලව දැනීමට ඉඩ හරිමින්, ඉනික්බිති
  4. එවන් බැඳීමක් හා ඇල්මක් පවත්වාගෙන යාමේ හේතු විමසා බලමු. හේතුව මෙම ජීවිත කාලය තුළ ඇය මා හට යම් සුළු උපකාරයක් කිරීම, මා වෙනුවෙන් යම් ප්‍රියජනක දෙයක් සිදුකිරීම, මා හොඳින් සිටින බව දැනීමට සැලසීම, හෝ වෙනයම් එවැනි දෙයක් වන අතර එ් අනුව ඇය වෙත ඇදී ගොස් ඇල්මක් ඇතිවී ඇත.
  5. දැන් මෙය එවන් හැඟීමක් ඇතිවීම සඳහා නිවැරදි හේතුවක්ද යන්න විමසා බලමු. එයද යහපත් හේතුවක් නොවේ. මක් නිසාද:
  • නිසැකවම පෙර භවයන්හිදී ඇය මාගේ සතුරෙකුව සිට, මා හට රිදවා මාගේ මස් අනුභව කොට රුධිර පානය පවා සිදුකර ඇත.
  • මෙම ජීවිතයේදී පසු කාලීනව ඇය මාගේ පරම සතුරා නොවීමේ සහතිකයක් නොමැත.
  • මතු භවයන්හිදීද, යම් අවස්ථාවකදී අනිවාර්යයෙන් ඇය මා රිදවනු ඇති අතර ඉතා අප්‍රසන්න දෙයක් මා හට එරෙහිව සිදු කිරීම නියතයකි.
  1. මෙම ජීවිත කාලය තුළ යම් ප්‍රියජනක නමුදු සුළු දෙයක් ඇය විසින් මා වෙනුවෙන් සිදු කළේය යන කුඩා හේතුව මත මා ඇය කෙරෙහි ඇලී වෙලී සිටින්නේ නම්, මිනී කන සයිරන් නලා හඬවන කාන්තාවන්ගේ ගී හඬට මුලාවන මිනිසුනට වඩා මා යහපත් නොවේ. මෙම සයිරන් නලා අලංකාර පෙනුමෙන් යුත් එ්වා වන අතර මිනිසුන් එ්වාටම ආවේණික අයුරින් ආකර්ශනය කොටගෙන පසුව ඔවුන් ගිල දමති.
  1. මෙයාකාරයෙන් මෙම ජීවිත කාලයේ යමෙකු විසින් අප උදෙසා සිදුකරන සුළු යහපත් දෙයක් හේතුවෙන් කිසි විටෙකුදු ඔවුනට ඇලුම් කරන තත්ත්වයකට පත් නොවීමට තීරණය කරන්නෙමු.

මධ්‍යස්ථ අයෙකු කෙරෙහි වු උපේක්ෂාව නවතාලීම

තෙවනුව, මාගේ මිතුරෙකු හෝ සතුරෙකු නොවන අමුත්තා ලෙස එන අතරමැදි පුද්ගලයා සම්බන්ධයෙන්ද එම ක්‍රියා පරිපාටියම අනුගමනය කරන්නෙමු.

  1. අපගේ චිත්ත රූපය මගින් එවන් පුද්ගලයෙකු කෙරෙහි අවධානය යොමු කරගෙන සිටින්නෙමු.
  2. අපට හානි කිරීමේ හෝ උපකාර කිරීමේද, එම පුද්ගලයාගෙන් මිදීමේ හෝ ඔහු සමග සිටීමේ කිසිදු හැඟීමක් නොදැනීමට අවකාශ සලසන්නෙමු.
  3. තවදුරටත් ඇය නොසලකා හැරීමේ අදහස දැනේ.
  4. මෙයාකාරයෙන් දැනීමේ හේතුව විමසා බලන්නෙමු. හේතුව ඇය විසින් මා හට උපකාරී ලෙස හෝ හානිකර ලෙස කිසිවක් සිදුකර නොමැති අතර එ් අනුව ඇය සමග මාගේ සම්බන්ධතාවයක් නොමැති වීමයි.
  5. මෙය මෙයාකාරයෙන් දැනීමට තරම් වලංගු හේතුවක්ද යන කරුණ තවදුරටත් පරීක්ෂාකර බැලීමේදී, නොගිනිය හැකි තරම් සංඛ්‍යාවක් පෙර භවයන්හි, මෙම ජීවිතයේ මතු කාලයෙහි හා මතු භවයන්හිදීද ඇය මා හට සමීපව, මිතුරියකව ආදී ලෙස සිටිනු ඇති බැවින් ඇය අවසන් විග්‍රහයේදී අමුත්තෙකුද නොවන බව වැටහේ.

මෙයාකාරයෙන් සතුරන්, මිතුරන් හා අමුත්තන් කෙරෙහිද වූ සියලු ආකාර කෝපය, ඇල්ම හෝ උපේක්ෂාව සම්බන්ධ හැඟීම් නවතාලීමට අපට හැකිවනු ඇත. ශ්‍රාවකයන් වහන්සේලා හා පසේ බුදුරජාණන් වහන්සේලාටද පොදුවූ හා කැපවූ බෝධිචිත්ත හදවතක් ගොඩනගා ගැනීම සඳහා වූ කොටස් සතකින් යුත් හේතු ඵල ක්‍රමය තුළ සියලු දෙනා අපගේ මව්වරුන්ව සිට ඇති බව හඳුනාගැනීම සඳහා මූලික කටයුත්තක් වශයෙන් හුදු සමචිත්තතාව ගොඩනගා ගැනීමේ ක්‍රමය මෙයයි.

අපගේ ආකල්ප සම තත්ත්වයකට ගෙන එමින් හුවමාර කරගැනීමේ මූලික කටයුත්තක් ලෙස අ-සාමාන්‍ය මහායාන සමචිත්තතාව

අප කෙරෙහිම හා අන්‍යයන් කෙරෙහිද අපගේ ආකල්ප සම තත්ත්වයකට ගෙන එමින් හුවමාරු කිරීම සඳහා වූ මූලික කාර්යයක් වශයෙන් අසාමාන්‍ය මහායාන සමචිත්තතාවය ගොඩනගා ගැනීමේ ක්‍රමය පහත පරිදි කොටස්වලට බෙදේ:

  • සාපේක්ෂ දෘෂ්ටි කෝණය මත රඳා පවත්නාවූ සමචිත්තතාව සැබෑවක් බවට පත් කිරීමේ මාර්ගය
  • ගැඹුරුම දෘෂ්ටි කෝණය මත රඳා පවත්නාවූ සමචිත්තතාව සැබෑවක් බවට පත් කිරීමේ මාර්ගය 

වශයෙනි.

සාපේක්ෂ දෘෂ්ටි කෝණය මත රඳා පවත්නාවූ මාර්ගය කොටස් දෙකකට බෙදේ:

  • අපගේම දෘෂ්ටි කෝණ මත රඳා පවත්නා සමචිත්තතාව සැබෑවක් බවට පත් කරගැනීමේ මාර්ගය
  • අන්‍යයන්ගේ දෘෂ්ටි කෝණ මත රඳා පවත්නා සමචිත්තතාව සැබෑවක් බවට පත් කරගැනීමේ මාර්ගය

වශයෙනි.

අපගේම දෘෂ්ටි කෝණ මත රඳා පවත්නා සමචිත්තතාව සැබෑවක් බවට පත් කරගැනීමේ මාර්ගය

මෙතුළ දෘෂ්ටි කෝණ තුනක් අන්තර්ගත වේ:

  1. නොගිනිය හැකි තරම් වූ භව ගණනාවක් පුරා සියලු සීමිත සත්ත්වයන් අපගේ මව්පියන්, ඥාතීන් හා මිතුරන්ව සිට ඇති බැවින්, ඇතැමුන් අපට සමීප හා ඇතැමුන් දුරස්ථ බවට, මොහු අපගේ මිතුරෙකි හා ඔහු අපගේ සතුරෙකි වශයෙන්ද ගනිමින්, ඇතැමුන් පිළිගනිමින් අන් අය ප්‍රතික්ෂේප කිරීමද සුදුසු නොවේ. එකත් එකටම මවිසින් මාගේ මව විනාඩි දහයක කාලයක්, වසර දහයක කාලයක් හෝ ජීවිත කාල දහයක් නොදැක සිටියේ නම්, එසේ වුවද ඇය මාගේ මවමය.
  2. මෙම සත්ත්වයන් මා හට උපකාර කොට ඇත්තාක් මෙන්ම ඔවුන් ඇතැම් විට මා හට හානිද සිදකොට ඇත්තා විය හැක. ඔවුන් මා හට උපකාර කොට ඇති වාර ගණන හා ප්‍රමාණය හා සාපේක්ෂව ඔවුන් විසින් සිදුකරන ලද හානිය සුළු කොට තැකිය හැක. එබැවින්, එකෙකු සමීපස්ථයෙකු ලෙස පිළිගැනීම හා අනෙකෙකු දුරස්ථයෙකු වශයෙන් ප්‍රතික්ෂේප කිරීම යුතු නොවේ.
  3. අපි අනිවාර්යයෙන්ම මිය යන්නෝ වන නමුදු මරණය සිදුවන අවස්ථාව කවරක්ද යන්න මුළුමනින්ම අවිනිශ්චිත එකකි. නිදසුනක් ලෙස, අප හෙට දින මරා දැමීම සඳහා වූ මරණ දණ්ඩනයක් පනවා ඇතැයි සිතන්න. අපගේ ජීවිතයේ අවසන් දිනය යමෙකු කෙරෙහි කෝපයෙන් සිට ඔහුට හානි සිදු කිරීම සඳහා යොදා ගැනීම හාස්‍යජනක එකක් වනු ඇත. යම් සුළු දෙයක් තෝරා ගැනීම තුළ අපගේ ජීවිතයේ අවසන් දිනය තුළ යම් ධනාත්මක හා අර්ථාන්විත දෙයක් සිදු කිරීමේ අවකාශය මඟ හැරෙනු ඇත. නිදසුනක් ලෙස, එක් කලෙක යමෙකු පිළිබඳ කෝපයෙන් වියරුව ඊළඟ දින ඔහුට දැඩි දඬුවමක් පැනවීමට අදහස් කළ උසස් නිලධාරියා පිළිබඳව සිතා බලන්න. එ් පිළිබඳ සැලසුම් සකස් කරමින් ඔහු එදින දවස පුරා ගතකල අතර, කිසිවක් හෝ සිදු කිරීමට පෙර ඔහු හදිසියේම මරණයට පත්විය. ඔහුගේ තරහව හෙවත් කෝපය මුළුමනින්ම හාස්‍යජනක වූවකි. අනෙක් පුද්ගලයා හට ඊළඟ දිනයේදී මරණ දණ්ඩනය පැනවීමට තීරණය කළේ නම් එවිටද එම තත්ත්වය එසේම සත්‍ය වනු ඇත. ඔහුට අද දින වේදනා ගෙනදීම අර්ථ විරහිත වනු ඇත.

සෙසු අයගේ දෘෂ්ටි කෝණ මත රඳා පවත්නා සමචිත්තතාව යථාර්ථයක් බවට පත්කර ගැනීමේ මඟ


මෙයද කරුණු තුනකට බෙදේ.

  1. මෙම කරුණු සැලකිල්ලට ගත යුතුය: මා සම්බන්ධයෙන් සලකා බලන කල, මා හට සිහිනෙන් හෝ දුක් විඳීමට අවශ්‍ය නැති අතර කොතරම් සතුටක් මා සතුව පැවතියද එය ප්‍රමාණවත් බවක් නොහැ‌ඟේ. අන් සියල්ලන් සම්බන්ධයෙන්ම පාහේ එම කරුණ සත්‍ය වේ. කුඩා මකුණාගේ සිට ඉහළට සියලු සීමිත සත්ත්වයෝ සතුටින් සිටීමට පතන අතර කිසි දින කිසිදු ගැටළුවක් නොපැවතිය යුතු බවට පතති. එබැවින්, ඇතැමුන් ප්‍රතික්ෂේප කරමින් සෙසු අය පිළිගැනීම නිවැරදි නොවේ.
  2. මාගේ දොරකඩට යාචකයන් දස දෙනෙකු පැමිණියේ යැයි සිතමු. සියලු දෙනා සිටියදී හුදෙක් එක් අයෙකුට පමණක් ආහාර ලබාදීම යුතු නොවේ. කුසගින්න හා ආහාර අවශ්‍යතාවය යන කරුණුවලදී එ් සියල්ලෝ සමානයෝ වෙති. එමෙන්ම, ව්‍යාකූලත්වයෙන් දූෂ්‍ය නොවූ සතුට සම්බන්ධව සලකා බලන කල, සියලු සීමිත සත්ත්වයන් හට එය ප්‍රමාණවත් තරම් නොලැබේ. එ් තබා ව්‍යාකූලත්වයෙන් දූෂ්‍ය වූ සතුටක් පවා ඇත්තේ කීයෙන් කී දෙනෙකුටද? එ් වූකලි සියලු දෙනා සොයා ගැනීම සඳහා බොහෝ සෙයින් ඇල්මක් දක්වන්නකි. එබැවින්, ඇතැමෙකු දුරස්ථයෙකු ලෙස සලකා ප්‍රතික්ෂේප කරන අතර තවත් අය සමීපතමයන් සේ සලකා පිළිගැනීම යුතු නොවේ.
  3. තවත් නිදසුනක් ලෙස, රෝගීන් දස දෙනෙකු ඇතැයි සිතමු. දුක්ඛිත හා සානුකම්පිත තත්ත්වයක සිටින්නේය යන කරුණින් එ් සියලු දෙනා සමානයෝ වෙති. එබැවින්, ඇතැමුන් වෙත හිතවත්ව වැඩි සැලකිලි දක්වමින් අන්‍යයන් පිළිබඳ අමතක කිරීම සාධාරණ නැත. එමෙන්ම, සිය නිශ්චිත පෞද්ගලික ගැටළු හා සංසාරයේ පාලනයකින් තෙරව නැවත නැවතද සිදුවන පැවැත්ම ආශ්‍රිත පොදු ගැටළු විෂයයෙහි සියලු සීමිත සත්ත්වයෝ එකසේ දුක්ඛිත තත්ත්වයක සිටිති. එ් හේතුවෙන්, ඇතැමෙකු දුරස්ථ සේ සලකා ප්‍රතික්ෂේප කරන අතර, ඇතැමෙකු සමීපස්ථයෙකු සේ සලකා පිළිගැනීම අසාධාරණය.

ගැඹුරුම දෘෂ්ටි කෝණය මත රඳා පවත්නා සමචිත්තතාව යථාර්ථයක් බවට පත්කර ගැනීමේ මාර්ගය

මෙතුළද සිතිවිලි වට තුනක් අන්තර්ගතය.

  1. අපගේ චිත්ත ව්‍යාකූලත්වය හේතුකොට අපට උපකාර කරන හෝ අපට ප්‍රියමනාප අයෙකු අපගේ සැබෑ මිතුරෙකු ලෙස හා අපට වේදනා ගෙන දෙන්නාවූ අයෙකු අපගේ සැබෑ සතුරෙකු ලෙස ලේබල්ගත කරන ආකාරය පිළිබඳ සිතා බලමු. කෙසේ වුවද, අප විසින් ඔවුන් යම් ආකාරයක පුද්ගලයන් වශයෙන් ලේබල්ගත කරන්නේද ඔවුන්ගේ සැබෑ පැවැත්මද එසේම බව තහවුරු වූයේ නම් බුදුරජාණන් වහන්සේ විසින්ද ඔවුන් එයාකාරයෙන් දැක තිබිය යුතුය. එනමුදු, උන් වහන්සේ කිසිදින පුද්ගලයන් පිළිබඳ එවැනි දැක්මක පසු නොවූ සේක. ධර්මකීර්ති තුමා විසින් එතුමාගේ සිත් වලංගු ලෙස හඳුනා ගැනීම පිළිබඳ විචාරය (දීගනගගේ සම්පාදනය) (සංස්කෘත භාෂාවෙන් ප්‍රමාණවර්ත්තික) නමැති කෘතියේ ප්‍රකාශ කරන පරිදි "සිය සිරුරේ එක් පසෙක සුවඳවත් ජලයෙන් දෝවනය කරන්නාටද, අනෙක් පසින් සිරුර කඩුවකින් පතුරු ගසන්නාටද බුදුන් වහන්සේගේ ආකල්පය සමාන වේ".

    ඊර්ෂ්‍යාව හේතුකොට නිරන්තරයෙන් බුදුන් වහන්සේට හානි පැමිණවීමට උත්සාහ කළ උන් වහන්සේගේ ඥාති සොයුරු දේවදත්තයන් හට සැලකූ ආකාරය නිදසුන් කොට අපට මෙම අපක්ෂපාතිත්වය දැකිය හැක. එබැවින් අපිද පුද්ගලයන් අප ඔවුනට සම්බන්ධ කරන ලේබල්වලට අදාලව සැබෑ ලෙස කාණ්ඩගතව සිටින්නේය යන ව්‍යාකූල චින්තනයෙන් ඔවුන් හා පක්ෂපාතී ‌හෝ විරුද්ධ වීමේ පක්ෂග්‍රාහී වීමේ තත්ත්වයෙන් වැළකිය යුතුය. කිසිවෙකු හෝ මෙලෙස නොපවතී. සත්‍ය ලෙස ස්ථාපිත පැවැත්මක් ග්‍රහණය කරගෙන සිටීමේ තත්ත්වය නවතාලීම සඳහා අවශ්‍ය කටයුතු කළ යුතුය. මෙම ග්‍රහණය කරගෙන සිටීම ඇතිවනුයේ සැබෑ ලෙස නොපවත්නා ආකාරයන්ගෙන් දේවල් පෙනීමට සලස්වන්නාවූ අපගේ ව්‍යාකූල සිත් තුළිනි.
  1. තවද, අප විසින් ග්‍රහණය කොටගෙන සිටින ආකාරයෙන්ම මිතුරු හා සතුරු කාණ්ඩවලට සැබෑ ලෙසම වැටෙන සේ සීමිත සත්ත්වයන් ස්ථාපනය වී ඇත්තේ නම්, ඔවුන් නිරන්තරයෙන්ම එසේ නොවෙනස්ව පැවතිය යුතුය. නිදසුනක් ලෙස සෑම විටකම නිවැරදි වේලාව දක්වන බවට අපට හැඟෙන ඔරලෝසුවක් පිළිබඳව සලකා බලමු. එහි තත්ත්වය ඇතැම් විට වෙනස් වී මන්දගාමීව වේලාව කරකැවෙන්නට හැක්කාක් මෙන්, අන්‍යයන්ගේ තත්ත්වයද ස්ථාවරව නොපවතින අතර එයද වෙනස් විය හැක.

    සංසාරයේ පාලනයකින් තොරව නැවත නැවතද සිදුවන තත්ත්වයන් තුළ නිශ්චිතභාවයක් නොපවත්නේය යන කරුණ ආශ්‍රිත දේශනාවන් පිළිබඳ සිතා බලන්නේ නම්, සිය පියා කා දමමින්, මවට පහර දෙමින් සිය සතුරා ඔන්චිල්ලාවේ පදවන්නාවූ පුත්‍රයා පිළිබඳ නිදසුනේදී මෙන් මෙහිදී එය ප්‍රයෝජනවත් වේ. මෙම උදාහරණය බුද්ධත්වය කරා වූ ශ්‍රේණිගත මාර්ගය (ලම්-රිම්) තුළ අන්තර්මධ්‍ය මට්ටමේ අභිප්‍රායක් ගොඩනගා ගැනීම සඳහා වූ උපදෙස් තුළ එන්නකි. වරෙක කච්චායන රහතන් වහන්සේ එක් නිවසකට වැඩි අතර එහි පියා මියගොස් එම නිවසේ තටාකයේ මාළුවෙකුව ඉපිද ඔහුගේ පුතු විසින් එම මාළුවා මරා අනුභව කරමින් සිටියේය. පුතු සිය පෙර භවයේ පියා වූ මාළුවාගේ ඇට කටුවලින් බල්ලෙකු ලෙස පුනරුත්පත්තියක් ලද සිය මවට පහර දුන් අතර, පෙරදී සිය සතුරාව සිටි මේ භවයේ පුතු තොටිල්ලක හොවා නළවමින් සිටියේය. සංසාර කතර තුළ අයාලේ යන ගමනේදී චරිත මාරු මගින් ඇතිවන එවන් තත්ත්වයන්හි හාස්‍යජනක බව දුටු කච්චායන රහතන් වහන්සේ සිනා පහළ කළහ. මෙලෙස, මිතුරන් හෝ සතුරන් ලෙස ස්ථාවර හා ස්ථිර කාණ්ඩයන් තුළ පවත්නේ යැයි විශ්වාස කරන පුද්ගලයන් ග්‍රහණය කරගැනීමෙන් හෝ අල්ලාගෙන සිටීමෙන් හා එක් කොටසක් පිළිගනිමින් අනෙක් කොටස ප්‍රතික්ෂේප කිරීමේ තත්ත්වය නවතාලිය යුතුය.
  1. පුහුණු සම්පාදනයක් (සංස්කෘත භාෂාවෙන් ශිඛාසමුච්චය) නම් කෘතියේ ශාන්තිදේවයන් විසින් තමා හා අන්‍යයන් එකිනෙකා මත රඳා පවත්නා ආකාරය විස්තර කර ඇත. ඈත හා මෑත පවත්නා කඳු පිළිබඳ උදාහරණය මෙන්, එ්වා එකිනෙක මත රඳා පැවැත්ම හෝ එකිනෙකට සාපේක්ෂ පැවතුම් ඇති එ්වා වේ. අප අපට ආසන්න කන්ද මත සිටින විටදී, අනෙක් කන්ද දුර පවතින අතර මේ කන්ද ආසන්නයේ පවත්නා බවක් පෙනේ. අනෙක් පසට ගිය විටදී, මෙම කන්ද දුරින් පිහිටි කන්ද වන අතර අනෙක ළඟින් පිහිටි කන්ද වේ. එයාකාරයෙන්, අප අපගේ පාර්ශ්වයෙන් පමණක් "තමා" ලෙස වූ පැවැත්මක් ඇති අය නොවනුයේ අනෙකෙකුගේ දෘෂ්ටි කෝණයෙන් අප දෙස බැලුවහොත් අප "අනෙකා" බවට පත්වන බැවිනි. එ් සමානවම, මිතුරා හා සතුරා යනු හුදෙක් පුද්ගලයෙකු දෙස බැලීමේ හෝ සලකා බැලීමේ වෙනස් විධික්‍රම පමණි. එකම අය එක් පුද්ගලයෙකුගේ මිතුරාද තවෙකෙකුගේ සතුරාද විය හැක. ආසන්න හා දුරස්ථ කඳු මෙන්, එ් සියල්ල අපගේම දෘෂ්ටි කෝණයනට සාපේක්ෂ වේ.

තීරණ පහ

ඉහත කරුණු පිළිබඳව මෙයාකාරයෙන් සිතා බැලීමෙන් අනතුරුව අප විසින් තීරණ පහක් ගත යුතුය.

මම පක්ෂපාතී වීම නවතාලමි

සාපේක්ෂ හෝ ගැඹුරුම දෘෂ්ටි කෝණයෙන් සලකා බැලුවද, යම් පුද්ගලයන් සමීප හා සෙසු අය දුරස්ථ සේ සැලකීමට හේතුවක් නොමැත. එබැවින්, අප විසින් දැඩි තීරණයක් ගත යුතුය: මම පක්ෂපාතී වීම නවතාලමි යනුවෙනි. ඇතැමෙකු ප්‍රතික්ෂේප කරමින් තවෙකෙකු පිළිගන්නාවූ පක්ෂපාතිත්ව හැඟීම්වලින් මිදෙමි. මක් නිසාද, එදිරිවාදීකම හා ඇල්ම මා හට මෙම ජීවිතයේදී මෙන්ම මතු ජීවිතවලදීද, තාවකාලිකව මෙන්ම අවසානාත්මකවද, කෙටි කාලීනව මෙන්ම දිගු කාලීනවද හානිකර වන අතර එ්වායින් කිසිදු ප්‍රයෝජනයක් නොමැත. වර්ග සිය ගණනක දුකට මූල හේතු එ්වා වේ. එ්වා වූකලි සංසාරයේ පාලනයකින් තොරව නැවත නැවතද සිදුවන ගැටළු නමැති මාගේ සිර මැදිරිය වටා මා කරකවමින් රඳවාගන්නා රැකවළුන් මෙනි.

1959 කැරලි කෝලාහලයන්ගෙන් අනතුරුව තිබ්බතයේ නතර වූ අය සම්බන්ධ උදාහරණය සලකා බලන්න. සිය ආරාම, ධනය, සන්තකයන්, නිවෙස්, ඥාතීන්, මිතුරන් ආදියට ඇලී සිටි අයට එ්වා හැර යා නොහැකි විය. එහි ප්‍රතිවිපාකයක් ලෙස, ඔවුන්ගේ ඇල්ම හේතුකොට ගෙනම ඔවුහූ බන්ධනාගාරයන්හි හෝ වද කඳවුරුවල රඳවන ලදහ. අප සතුටින් තොර අපාය තලවල ගින්දර වෙත යොමු කරනු ලබන ඝාතකයන් වනුයේ එවන් පක්ෂපාතී හැඟීම්ය. රාත්‍රියේ අපගේ නින්ද වළක්වමින් අප තුළ පැසවන්නාවූ යක්ෂාත්මයෝ එ්වාය. හැකි වැර යොදා එ්වා මුලිනුපුටා දැමිය යුතුය.

අනෙක් අතින්, සියලු සීමිත සත්ත්වයෝ නිදුක් වෙත්වා හා ඔවුන්ගේ ගැටළුවලින් හා දුකින් මිදෙත්වා යන පැතුම පතන්නාවූ සියල්ලන් කෙරෙහි සම ආකල්පයක් පවත්වාගැනීම තාවකාලික හා අවසානාත්මක යන දෙඅංශයෙන්ම කවර දෘෂ්ටි කෝණයකින් සලකා බැලුවද වැදගත් වේ. එය වූකලි සියලු බුදුවරයන් වහන්සේලා හා බෝධිසත්ත්වයන් වහන්සේලා විසින් සිය අභිමතාර්ථය සාධනය කරගනු පිණිස ගමන් කරන ලද ප්‍රධාන මාර්ගයයි. එබැවින්, ඕනෑම සීමිත සත්ත්වයෙකු ඔවුන්ගේ පාර්ශ්වයන්ගෙන් කවර වරදක් හෝ උපකාරයක් සිදු කළද මාගේ පාර්ශ්වයෙන් මා හට විකල්පයක් නොපවත්නා බව අප විසින් සිතිය යුතුය. මම කෝප වීමෙන් හෝ ඇලුම් ඇතිකර ගැනීමෙන් වළකිමි. ඇතැමෙකු දුරස්ථ ලෙසද තවෙකෙකු සමීප ලෙසද නොසලකමි. එ් හැර තත්ත්වයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ අන් ක්‍රමයක් හෝ විධියක් නොමැත. මම අනිවාර්යයෙන්ම තීරණයකට පැමිණ සිටිමි. සියලු දෙනා හට සතුටින් සිටීමටද, කිසිදින දුක් නොවිඳීමටද අවශ්‍ය බැවින්, සියලු දෙනා කෙරෙහි මා කටයුතු කරන හා සිතන ආකාරය සම්බන්ධ සම ආකල්පයක් පවත්වාගනිමි. මෙය සිදු කිරීමටයි මා හැකි තරම් උත්සාහ දරන්නේ. ආධ්‍යාත්මික මැදිහත්කරුවාණනි, මා හට මෙය හැකිතාක් යහපත් ලෙස ඉටු කිරීමට අවශ්‍ය අනුප්‍රාණය ලබා දෙන්න. පහත සඳහන් පිළිවෙත් පූරණය ආශ්‍රිත ගුරු පූජා (ලාමා චෝපා) තුළ එන ගාථා තුනේ පළමුවැන්න ගායනා කරන විටදී අප විසින් පවත්වාගත යුතුවන සිතිවිලි මේවාය:

සෙස්සන් හා අප අතර වෙනසක් නොපවත්නා බව සිතමින් සෙස්සන්ගේ සුව පහසුව හා සතුට වර්ධන කිරීමට අපට අනුප්‍රාණය ලබා දෙන්න: කිසිවෙකු අවම මට්ටමේ දුකක් හෝ නොපතන අතර ඔහු හෝ ඇය දැනට භුක්ති විඳින සතුට තුළින් කිසිදින තෘප්තිමත් නොවේ.

සියලු දෙනා වෙත සතුට ගෙන එමින් එ් හා සමානවම ඔවුන්ගේ දුක මුලිනුපුටා දැමීම සම්බන්ධයෙන් අපගේ සිතිවිලි හෝ ක්‍රියාවන් තුළ සමීපත්වය හෝ දුරස්ථභාවය පිළිබඳ හැඟීමක් නොපවත්නා බවට එ් හා සමානම ආකල්පයක් ගොඩනගා ගැනීමට මෙම පළමු පැදියෙන් අපි යදින්නෙමු. සමානාත්මතාවය පිළිබඳ එවන් ආකල්පයක් මගින් මෙහිදී අපි අප පිළිබඳවම සලකා බලන්නාවූ සමානත්මතා ආකල්පය හෝ සමචිත්තතාව පිළිබඳ අර්ථ නිරූපණය සම්පූර්ණ කරනු ලබයි. වෙළඳපලෙහි යම් අපූර්ව භාණ්ඩයක් දකින විට එය මිලදී ගන්නට අදහස් කරන අවස්ථාවේදී මෙන් එම ආකල්පය ගොඩනගා සාක්ෂාත් කරගැනීමේ දැඩි තීරණයකට එළැඹෙන්නෙමු.

ස්වයං ඇගයුම් තත්ත්වයෙන් මිදෙමි

ඉනික්බිති ස්වයං ඇගයුම් ආකල්පයක් පවත්වාගෙන යාමේ දෝෂ පිළිබඳ සිතන්නෙමු. ස්වයං ඇගයුම් ආකල්පයක් තුළ පවත්නා තමා පිළිබඳ සැලකීම හේතුකොට අපි පාපකාරී ක්‍රියාවල නිරත වෙමින් දස පාප ක්‍රියාවන් සිදුකොට අවසන අපවම අපාගත පුනර්භවයනට යොමු කරවනු ලබයි. එතැන් සිට රහතන් වහන්සේ කෙනෙකු බුද්ධත්වයට පත් නොවීම දක්වාම වූ සියලු  ආත්මාර්ථකාමී සිතිවිලි මගින් සතුට අහිමි කරමින් සිතේ සාමය අහිමි කරවයි. බෝධිසත්ත්වයන් වහන්සේලා බුද්ධත්වයට සමීපව සිටින නමුදු, එ් අතරිනුදු ඇතැම්හූ සෙස්සනට වඩා එම ඉලක්කයට ළංව සිටිති. ඔවුන් අතර පවත්නා වෙනස්කම් ඇති වනුයේ ඔවුන් තුළ තවදුරටත් කෙතරම් ස්වයං ඇගයුමක් පවත්නේද යන කරුණට අනුවය. රටවල් තුළ පවත්නා ආරවුල්වල සිට ආධ්‍යාත්මික ගුරුවරුන් හා ඔවුන්ගේ ශ්‍රාවකයන්, පවුල් තුළ හා මිතුරන් අතරද පවත්නා මත ගැටුම් ආදී සියල්ල ස්වයං ඇගයුම හේතුකොට ඇතිවේ. එබැවින්, මා තුළ පවත්නා මෙකී පැසවන සුළු ස්වාර්ථකාමීත්වයේ හා ස්වයං ඇගයුමේ වියවුලින් නොමිදුණහොත් මා හට කිසිදින කිසිදු සතුටක් අත් විඳීමේ හැකියාවක් නොමැති බවද සිතිය යුතුය. මෙලෙසින් මා ස්වයං ඇගයුමේ බලයට යටත් වීමට කිසිදින අවකාශ නොසලසමි. ආධ්‍යාත්මික මැදිහත්කරුවාණනි, සියලු ආත්මාර්ථකාමී සිතිවිලිවලින් මිදීමට කරුණාකර මා හට අනුප්‍රාණය ලබා දෙන්න. දෙවන පැදියේ සිතිවිලි මෙපරිදිය:

අප කිසිසේත් අපේක්ෂා නොකරන්නාවූ දුකට හේතුව මෙම නිධන්ගත රෝගය බවත් එ් අනුව දොස් පැවරිය යුතු දේ එය ලෙස ගෙන එය දැක ආත්මාර්ථය නමැති යක්ෂයා විනාශ කර දමන්නට අවශ්‍ය අනුප්‍රාණය අප වෙත ලබා දෙන්න. 

මෙලෙසින්, දෙවන පැදියේදී තමා පිළිබඳවම සැලකිලිමත් වීම නමැති ආත්මාර්ථකාමී ආකල්පයෙන් මිදෙන්නට දැඩි සේ තීරණය කරන්නෙමු.

අන් අය පිළිබඳ සැළිකිලිමත් වීම මාගේ ප්‍රධාන පිළිවෙත බවට පත් කරගන්නෙමි

ඊළඟට, අන්‍යයන් ඇගයීමෙන් ඇතිවන ප්‍රයෝජන හා යහ ගුණයන් පිළිබඳ සිතන්නෙමු. මෙම ජීවිත කාලය තුළ, සියලු සතුට ඇති අතර සියල්ල හොඳින් සිදුවේ; මතු භවයන්හිදීද මනුෂ්‍ය හෝ දේව තලයන්හි  උපත ලබනු ඇත; පොදුවේ, බුද්ධත්වය සාක්ෂාත් කරගැනීම දක්වා ඇති සියලු සතුට අන්‍යයන් ඇගයීම තුළින් ඉස්මතු වේ. මේ පිළිබඳ බොහෝ උදාහරණ මගින් සෑහෙන පමණ සිතා බැලිය යුතුවේ. නිදසුනක් ලෙස, බොහෝ දෙනා කැමති වන්නාවූ නිලධාරියෙකු පිළිබඳ සලකා බලමු. ඔහුගේ ජනප්‍රියත්වය ඇතිවනුයේ අන්‍යයන් පිළිබඳ ඔහු විසින් දක්වන සැලකිල්ල හේතුවෙනි. පර පණ නැසීමෙන් හෝ සොරකම් කිරීමෙන් වැළකී සිටීමේ අපගේ ආචාර ධාර්මික ස්වයං විනය ඇතිවනුයේ අන්‍යයන් ඇගයීමේ ප්‍රතිපත්තිය තුළින් වන අතර, මෙමගිනි මතු මනුෂ්‍යාත්මභාවයන්හි පුනරුත්පත්තිය ඇති කරනු ලබන්නේ.

නිදසුනක් ලෙස පරම පූජනීය දලයි ලාමා වහන්සේ නිරතුරු සියලු තන්හි සියලු දෙනාගේ සුවසෙත පිළිබඳ සිතන අතර උන් වහන්සේගේ සියලු යහපත් ගුණාංගයන් ඉස්මතු වනුයේ අන්‍යයන් පිළිබඳ සැළකිලිමත් වීමේ ගුණය තුළිනි. රාගයේ දෙව්පුත් වූ කාම විසින් බලපෑම් කිරීමට උත්සාහ කළද ටොග්මේ-ෂැන්පෝ බෝධිසත්ත්වයන් වහන්සේ හට කිසිදු හානියක් සිදු කිරීමට ඔහුට නොහැකි විය. මෙම තිබ්බතීය පිළිවෙත් පුරන්නා වූකලි යම් කෘමියෙක් ගිනි දැල්ලකට පැන්නහොත් ඇඬුම් යන තරම් සංවේදී පුද්ගලයෙකු විය. උන් වහන්සේ අන් සියල්ලන් කෙරෙහි අවංකවම සැලකිලිමත් වූ අතර, එ් අනුව ප්‍රේතාත්මයනට හා එවන් සෙසු බාධා පමුණුවන්නන් හටද උන් වහන්සේ වෙත හානි පැමිණවීමට පැමිණීය නොහැකි විය. එම ආත්මයන් විසින්ම ප්‍රකාශ කරන ලද පරිදි එසේ වූයේ උන් වහන්සේ තුළ හුදෙක් අපට ප්‍රයෝජන සැලසීමේ හා අපගේ යහපත පැතීමේ සිතිවිලි පමණක් පැවති බැවිනි.

බුදුන් වහන්සේගේ එක් පෙර භවයක උන් වහන්සේ ඉන්ද්‍ර හෙවත් දෙවිවරුන්ගේ රජු වශයෙන් ඉපිද සිටි අතර සුර - අසුර හෙවත් දෙවිවරුන් හා අර්ධ දේව කාණ්ඩයක් අතර යුදයක් පැන නැගිණි. අසුරයෝ ජය ලබමින් සිටි අතර එ් අනුව ඉන්ද්‍ර සිය රථාචාර්යයා වෙත පලා ගියේය. ඔහු පලා යන මාර්ගයේ එක් තැනෙක පරෙවි රෑනක් රැස්වී සිටි අතර, උන් රථයට හසුවේය යන බියෙන් රථය නතර කළේය. මේ දුටු අසුරයෝ ඉන්ද්‍ර සිය රථය නවතා නැවත හැරී තමාට පහර දෙතියි යන බියෙන් පලා ගියහ. මෙම සිදුවීම විග්‍රහ කොට බැලුවහොත් සෙස්සන් පිළිබඳ සැලකිලිමත් වීමේ ගුණය ඉන්ද්‍ර තුළ පැවති බැවින් සතුරන් පලා ගිය බව පෙනේ. මෙයාකාරයේ බොහෝ දෘෂ්ටි කෝණයන්ගෙන් අන්‍යයන් පිළිබඳ සැලකිලිමත් වීමේ වාසි පිළිබඳ සිතා බැලිය යුතුවේ.

මහේස්ත්‍රාත්වරයෙකු හෝ වෙනත් නිලධාරියෙකු බොහෝ තේජාන්විතව හා අලංකාරවත්ව සිය ධුරය හොබවන විටදී, ඔහුගේ තත්ත්වය හා එ් ආශ්‍රිත සියලු දේ අන්‍යයන්ගේ පැවැත්ම හේතුකොට ලද දේවල් වේ. මේ උදාහරණය තුළ, අන්‍යයන්ගේ හුදු පැවැත්ම තුළම ඔවුන්ගේ කරුණාව අන්තර්ගත වේ. ඔහු හැර අන් කිසිදු පුද්ගලයෙකු නොපැවතියේ නම් ඔහු තව දුරටත් මහේස්ත්‍රාත්වරයෙකු නොවනු ඇත. ඔහුට කළ හැකි කිසිවක්ද නොපවතිනු ඇත. තවද, මිනිසුන් සිටියද, කිසිවෙකු හෝ කිසිදින ඔහු වෙත නොපැමිණියේ නම්, මෙම මහේස්ත්‍රාත්වරයා හට හුදෙක් කිසිදු කාර්යයකින් තොරව ආසනයේ හිඳගෙන සිටීමට සිදුවනු ඇත. අනෙක් අතින්, සිය කටයුතු නිරාකරණය කරගනු පිණිස බො‌හෝ අය ඔහු ඉදිරියට පැමිණෙන්නේ නම්, එවිට, එම පුද්ගලයන් මත රඳා පවතිමින් ඔහු ඉතා ගම්භීරව සිටිමින් උපදෙස් දීම සිදුකරනු ඇත. ඔහුගේ සමස්ත තත්ත්වය උපකාර පතා එන අන්‍යයන් හේතුකොට නිර්මාණය වූවකි. ඔහු ඔවුනට උපකාර පිණිස ධර්මය දේශනා කරන අතර අන්‍යයන්ගේ කරුණාව සිහි තබාගැනීම වැනි අන්‍යයන් මත රඳා පවතිමින් ඔහුගේ උපකාරය ක්‍රියාත්මක වේ.

එයාකාරව, ආදරය හා කරුණාව හෙවත් අන් අය පිළිබඳ සැලකිලිමත් වීම මගින් අපට වහා බුද්ධත්වයට පත් විය හැක. නිදසුනක් ලෙස, යම් සතුරෙකු අපට වේදනා දුනහොත් අප විසින් ඉවසීම ප්‍රගුණ කොට එමගින් බුද්ධත්වයට වඩාත් ළං වන අතර, මෙම තත්ත්වය සාක්ෂාත් වූයේ අන්‍යයන් පිළිබඳ සැලකිලිමත් වීමේ ගුණය තුළිනි. එබැවින්, කිසිවෙකු හෝ අත් නොහැරෙන පරිදි සියලු සීමිත සත්ත්වයෝ සියලු සතුටේ හා සුභ සාධනයේ මූල හේතුව වන බැවින්, ඔවුන් කවර දෙයක් සිදු කළද, මා හට කවරාකාරයෙන් හානි කළද, මම නිරතුරු අන්‍යයන් පිළිබඳ සැලකිළිමත් වන්නෙමි. සෙසු සත්ත්වයෝ මාගේ ආධ්‍යාත්මික මැදහත්කරුවන්, බුදුවරුන් හෝ අගනා මැණික් මෙන් වන බැවින් මම ඔවුන් පිළිබඳ සැලකිලිමත් වන අතරම, ඔවුනට යම්කිසි හෝ වරදක් සිදුවුවහොත් මා හට සිදුවූ හානියක් සේ එය සලකන අතරම කවර තත්ත්වයක් යටතේ වුවද කිසිදින ඔවුන් ප්‍රතික්ෂේප නොකරන්නෙමි. නිරතුරු ඔවුන් වෙත කාරුණික හා ආදරණීය හදවතක් පවත්වාගෙන යමි. මාගේ ආධ්‍යාත්මික මැදිහත්කරුවාණනි, අන්‍යයන් කෙරෙහි එවැනි හදවතක් හා හැඟීමක් පවත්වාගෙන යන තත්ත්වයෙන් කිසිදින මා නොමිදෙන පරිදි කරුණාකර මා වෙත අනුප්‍රාණය ලබා දෙන්න. මෙයයි තෙවන පැදියේ අරුත:

අපගේ මව්වරුන් රැකබලා ගන්නා හා ඔවුන් සතුට තුළ ආරක්ෂා කරන්නාවූ සිත වූකලි අනන්ත ශීලයන් කරා අප ගෙන යන්නාවූ දොරටුවය යන කරුණ දකිමින් එ් අනුව අප වෙත සතුරන් සේ පෙනෙන අවස්ථාවන්හිදී පවා අපගේ ජීවිතවලටද වැඩියෙන් මෙම ඉබාගාතේ යන සත්ත්වයන් රැකබලා ගැනීම සඳහා අප වෙත අනුප්‍රාණය ලබා දෙන්න.

මෙයාකාරයෙන්, අන්‍යයන් රැකබලා ගැනීමේ පිළිවෙත අපගේ ප්‍රධාන අරමුණ ලෙස ගැනීමට තීරණය කරන්නෙමු.

මා හා සෙස්සන් පිළිබඳ මාගේ ආකල්පය හුවමාරු කරගැනීමේ හැකියාව අනිවාර්යයෙන් මා වෙත ඇත

අප පිළිබඳව පමණක් සැලකිලිමත් වීමේ බොහෝ දෝෂ හා අන්‍යයන් පිළිබඳ සැලකිලිමත් වීමේ බොහෝ වූ ගුණයන්ද පිළිබඳ සිතීමේ දොරටුව කෙරෙහි විශ්වාසය තබමින්, අප විසින් සැලකිල්ල දැක්විය යුතුවන අය පිළිබඳ අපගේ වටිනාකම් වෙනස් කළ යුතු බව දැනෙන විට හා අපට සැබැවින්ම එ්වා වෙනස් කළ හැක්කේදැයි සිතා බලන විට, අපට නිසැක වශයෙන්ම එය කළ හැකි බව සිතන්න. බුදුන් වහන්සේද සර්වඥතාවය ලබාගැනීමට පෙර හුදෙක් අප මෙන් අයෙකු වූ බැවින් අපට අපගේ ආකල්ප වෙනස් කරගත හැක. උන් වහන්සේද සංසාරයේ පාලනයකින් තොරව නැවත නැවතද සිදුවන තත්ත්වයන් හා ගැටළු අතර අප මෙන්ම ඉබාගාතේ යමින් සිටියෙකි. එසේ වුවද, බුදුන් වහන්සේ තමා සැලකිලිමත් වන අය පිළිබඳ සිය ආකල්ප හුවමාරු කරගැනීමට තරම් දක්ෂ වූ සේක. අන්‍යයන් පිළිබඳ සැලකිලිමත් වීමේ ගුණය දැඩිසේ ග්‍රහණය කරගැනීමෙන්, උන් වහන්සේ සිය ඉලක්කය හා අන්‍යයන්ගේ ඉලක්කයන්ද සාක්ෂාත් කරගැනීමට හැකිවීමේ උච්චස්ථානයට ප්‍රවේශ වූ සේක.

මෙයට ප්‍රතිවිරුද්ධව, අප විසින් සැළකිල්ල යොමුකොට ඇත්තේ අප පිළිබඳව පමණක් වන අතර අන් සියල්ලන් නොසලකා හැර ඇත. අන්‍යයන් වෙත උපකාරී වන කිසිදු දෙයක් සාක්ෂාත් කරගැනීම පසෙක ලුවද, අප විසින් අවම වශයෙන් අප කෙරෙහිම හෝ සුළුම සුළු ප්‍රයෝජනයක් හෝ අත්පත් කරගෙන නැත. අප පිළිබඳවම සැලකිලිමත් වෙමින් අන්‍යයන් නොසලක හැරීම මගින් අප මුළුමනින්ම අසරණ, හා සැබෑ වැදගත් කිසිවක් හෝ සාක්ෂාත් කරගත නොහැකි දුර්වලයන් බවට පත්කොට ඇත. අපට අපගේ ගැටළුවලින් නිදහස් වීමේ සැබෑ අත්හැරීමක් හෝ අධිෂ්ඨානයක් ඇතිකරගත නොහැක. අයහපත්ම මට්ටමේ පුනරුත්පත්ති තලයන් අතරින් එකකට වැටීමෙන් වැළකීමට හෝ අපට නොහැක. මෙයාකාරයෙන්, අපි අප පිළිබඳවම පමණක් සැලකිලිමත් වීමේ දෝෂයන් හා අන්‍යයන් පිළිබඳ සැලකිලිමත් වීමේ ප්‍රයෝජන පිලිබඳ සිතා බලන්නෙමු. බුදුන් වහන්සේටද අප මෙන් ආරම්භයක් ගෙන උන් වහන්සේගේ ආකල්ප වෙනස් කිරීමට හැකි වූයේ නම්, අපටද අපගේ ආකල්පය වෙනස් කළ හැක.

එපමණක් නොව, ප්‍රමාණවත් සේ හුරු පුරුදු වුවහොත්, අපගේ සිරුර රැකබලා ගන්නාක් මෙන්ම අන්‍යයන්ගේ සිරුරුද රැකබලාගත හැක. කෙසේ වුවද, අපි අපගේ මව්පියන් වෙසින් ආ සෙසු පුද්ගලයන්ගේ සිරුරුවලින් ශුක්‍රාණු හා ඩිම්බ බිඳු ලබාගත් අතර දැන් එ්වා අපගේ සිරුරු සේ සලකා රැකබලා ගන්නෙමු. මුලදී එ්වා අපේ නොවීය. එබැවින්, තම ආකල්පය වෙනස් කිරීම කළ නොහැකි දෙයක් නොවේය යනුවෙන් සිතිය යුතුය. මා හට මා හා සෙස්සන් සම්බන්ධයෙන් පවත්නා ආකල්ප හුවමාරු කරගත හැක. එබැවින්, එ් පිළිබඳ මාගේ සිතිවිල්ල කවරාකාර වුවද, මා හා අන්‍යයන් කෙරෙහි වු ආකල්ප හුවමාරු කරගන්නේ නම් විනා ප්‍රයෝජනයක් සිදු නොවනු ඇත. එය වූකලි මා හට කළ නොහැකි දෙයක් නොව කළ හැකි දෙයකි. එබැවින්, මාගේ ආධ්‍යාත්මික මැදිහත් කරුවාණනි, එය සිදු කිරීමට මා වෙත අනුප්‍රාණය ලබා දෙන්න. මෙයයි සතරවැනි පැදියෙන් ලබාදෙන තල්ලුව හෙත් පෙළඹීම.

කෙටියෙන් ප්‍රකාශ කරන්නේ නම්, සිය ආත්මාර්ථකාමී අරමුණු වෙනුවෙන්ම වහල් සේවයක නිරතවන ළදරු මානසිකත්ව සත්ත්වයන්ගේ දෝෂයන් හා අන්‍යයන් වෙනුවෙන්ම කටයුතු කරන්නාවූ ප්‍රඥාවේ රජවරුන්ගේ ශීල ගුණයන්ද අතර පවත්නා වෙනස්කම් වටහා ගන්නාවූ සිත් ගොඩනඟා ගනිමින් සෙස්සන් හා අප පිළිබඳවමද පවත්නා අපගේ ආකල්ප සමාන තත්ත්වයකට ගෙන එමින් හුවමාරු කරගැනීමට හැකියාව ලැබෙනු පිණිස අවශ්‍ය අනුප්‍රාණය ලබා දෙන්න.

මෙලෙසින්, මෙහිදී  ගනු ලබන තීරණය වනුයේ අපට අප පිළිබඳවම හා සෙස්සන් පිළිබඳව සැලකිලිමත් වීමට අදාල ආකල්ප හුවමාරු කරගැනීමට නිසැක වශයෙන්ම හැකිය යන්නයි.

මා හා සෙස්සන් සම්බන්ධ මාගේ ආකල්ප අනිවාර්යයෙන්ම හුවමාරු කරන්නෙමි

නැවතද, තමා පිළිබඳවම සැලකිලිමත් වීමේ දෝෂයන් හා සෙස්සන් පිළිබඳ සැලකිලිමත් වීමේ ප්‍රයෝජන සම්බන්ධයෙන් සිතන නමුදු, මෙවර මෙම දෙක එකට මිශ්‍ර කරමින් පරිභ්‍රමණීය ආකාරයකට කාර්යය සිදු කරන්නෙමු. වෙනත් වචනවලින් පවසන්නේ නම්, මාරුවෙන් මාරුවට එකින් එක දස පාප ක්‍රියාවන් හා දස පුණ්‍ය ක්‍රියාවන් පිළිබඳව සලකා බලමින් තමා පිළිබඳ සැලකිලිමත් වීමෙන් හා අන්‍යයන් පිළිබඳ සැලකිලිමත් වීමෙන් එ් හරහා ලබන ප්‍රතිඵල එ් අනුව විමසා බලන්නෙමු. නිදසුනක් ලෙස, මා මා පිළිබඳවම සැලකිලිමත් වන්නේ නම්, මා අන්‍යයන්ගේ ජීවිත බිලි ගැනීමට වුව ප්‍රමාද නොවනු ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස, මා දුකින් පිරි අපාය තලයක පුනරුත්පත්තිය ලබනු ඇති අතර පසුකාලීනව මනුෂ්‍යාත්මභාවයක උපත ලැබුවද, එය ලෙඩින් පිරි කෙටි ජීවිත කාලයක් වනු ඇත. අනෙක් අතින්, අන්‍යයන් කෙරෙහි සැලකිලිමත් වීනම්, පර පණ නැසීමෙන් වළකිනු ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මා වඩා යහපත් තලයක ඉපිද දීර්ඝායුෂ භුක්ති විඳීම ඈ ආනිසංස ලබනු ඇත. එසේනම්, සොරකමෙහි යෙදීමෙන් හා ඉන් වැළකීමෙන්ද, කාමයෙහි වරදවා හැසිරීමෙන් හා ඉන් වැළකීමෙන්ද ඈ වශයෙන් එම ක්‍රියාවලියම ඉදිරියට ගෙන යන්නෙමි. කෙටියෙන්, පස්වන පැදියෙන් ප්‍රකාශ වන පරිදි:

සියලු යහපත් ප්‍රතිඵලයනට දොරටුව අපගේ මව්වරුන් රැකබලා ගැනීම වන අතරම අප පිළිබඳවම වූ සැළකිලිමත් වීම සියලු හිංසනයන්ට දොරටුව වන බැවින්, අන්‍යයන් හා අප අතර වු හුවමාරුව නමැති යෝග පිළිවෙත අපගේ මූලික පිළිවෙත බවට පත්කර ගැනිම සඳහා අවශ්‍ය අනුප්‍රාණය ලබා දෙන්න.

පස්වන තීරණය වනුයේ මම නිශ්චිත ලෙසම මා හා සෙසු අය කෙරෙහි වූ මාගේ ආකල්ප හුවමාරු කරන්නෙමි යන්නයි. මෙමගින් සැබැවින්ම ඔබ මා වන අතර, මා ඔබ වන බවට තීරණය කරන බවක් අදහස් නොවේ. එ් වෙනුවට එමගින් අදහස් කෙරෙනුයේ අප සැළකිලිමත් වන්නේ යමෙකු කෙරෙහිද ඔවුන් සම්බන්ධ දෘෂ්ටි කෝණයන් හුවමාරු කිරීමකි. අප පිළිබඳවම සැලකිලිමත් වී සෙසු අය පිළිබඳ නොසලකා හැරීම වෙනුවට දැන් අපි අපගේ ආත්මාර්ථකාමී අදහස් නොසලකා හරිමින් අන් සියල්ලන් පිළිබඳවද සැලකිලිමත් වන්නෙමු. මෙම කාර්යය සිදු කිරීමට අපොහොසත් වන්නේ නම්, අපට කිසිවක් හෝ කිසි ලෙසකිනුදු සාක්ෂාත් කරගත නොහැකි වේ.  එ‌සේ වුවද, අපගේ ආකල්පයන් තුළ මෙම හුවමාරුව සිදු කරන්නේ නම්, එවිට එම පදනම මත අවංකව අන්‍යයන් පිළිබඳ සැලකිලිමත් වීමේ ආදරය හා සානුකම්පිත කරුණාව ගොඩනගා ගැනීමේ ක්‍රමයක් වශයෙන් අපගේ සතුට අන්‍යයන් වෙත ලබා දෙමින් ඔවුන්ගේ දුක අප වෙත ලබාගැනීම සිතින් මවා ගැනීමේ ක්‍රමය පුහුණු වීමේ කටයුතු සිදුකළ හැක. එම පදනම මත, සියලු දෙනාගේ ගැටළු හා දුක් සමනය කොට ඔවුන් වෙත සතුට උදාකිරීමේ සුවිශේෂී අධිෂ්ඨානය හා හැකිතාක් දුරට එම කාර්යය සිදුකිරීමට හැකිවනු පිණිස බුද්ධත්වය සාක්ෂාත් කරගැනීමට උපයෝගී කරගන්නා කැපවූ බෝධිචිත්ත හදවත ගොඩනගා ගැනීමට අපට හැකිවනු ඇත.

සාරාංශය

මෙම දේශනාවන් සඳහා වූ මූලාශ්‍ර වනුයේ බෝධිසත්ත්ව චර්යාවෙහි නියැළීම සම්බන්ධයෙන් (සංස්කෘත භාෂාවෙන් බෝධිසත්ත්වචර්යාවතාර) ශාන්තිදේවයන් විසින් ලියන ලද කෘතියද, කඩම්පා ගුරුන්ගේ දේශනාද, සිවුවන පන්චන් ලාමාතුමාගේ ගුරු පූජා  -ලාමා චෝපා කෘතියද වේ. එ්වා පරම පූජනීය දලයි ලාමා වහන්සේගේ අභාවප්‍රාප්ත ගුරු කියාබ්ජේ ට්‍රිජෑං ඩෝර්ජෙචෑං ගේ කෘති එකතුවෙහි අංකගත කොටස් සහිතව මෙයාකාරයෙන් දැකිය හැක. කෙසේ වුවද, එහි එන සැකැස්ම හා ඉලක්කම් පිළිබඳව පමණ ඉක්මවා සැලකිලිමත් වීම වූකලි අප ඉදිරියේ අප‌ වෙනුවෙන් බෙදා දී ඇති ආහාර බඳුනේ එන අග්ගලා රස බලනු වෙනුවට එහි අග්ගලා කීයක් තිබේද හා එ්වා පැමිණියේ කවර දිශාවකින්ද ඈ කරුණු සොයා බැලීමට යාම වැනි නිශ්ඵල කාර්යයක් වනු ඇත. හුදෙක් අසුන් ගෙන එ්වා රස විඳින්න!

Top