ගේෂේ නැවෑං ධාර්ජේ පිළිබඳ මාගේ මතක සටහන්

මා හට පළමු වරට ගේෂේ නැවෑං ධාර්ජේ මුණ ගැසුණේ හා ඔහු සමගින් අධ්‍යයන කටයුතුවල නිරතවන්නට වූයේ 1970 වසරේදී ඉන්දියාවේ ඩැල්හූසීහිදීය. ෆුල්බ්‍රයිස්ට් සාමාජිකත්වයක් ලැබ ඉන් පෙර වසරේදී මම මාගේ ආචාර්ය උපාධි නිබන්ධන කටයුතු සඳහා ඉන්දියාවට පැමිණ සිටියෙමි. හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ තිබ්බතීය භාෂාව ඉගෙන ගන්නා අතර නිව් ජර්සි හි ගේසේ වැංයාල් සමගින් ඒවන විටත් සම්බන්ධතා ගොඩනගාගෙන තිබුණු අතර, ඉන්දියාවට පැමිණි පසු ගේෂේ වැංයාල්ගේ මාර්ගෝපදේශකත්වය යටතේ ඇමරිකාවේ ඉංග්‍රීසි අධ්‍යයන කටයුතු සිදුකොට තිබූ තරුණ පුනරුත්පත්ති ලාමාවරුන් දෙදෙනෙකු වූ ශාපා හා ඛම්ලුං රින්පෝෂේවරුන් වෙත උපකාර කරන්නට යොමුවී සිටියෙමි.

මාගේ උපාධි නිබන්ධනය සඳහා ගුහ්යාසමාජ තන්ත්‍ර පිළිබඳ ලිවීම මාගේ හිසට දරාගැනීමට නොහැකි තරම් වූ විෂයයක්ය යන කරුණ අවබෝධ කරගැනීමෙන් අනතුරුව, පරම පූජනීය දලයි ලාමා වහන්සේගේ කණිෂ්ට දේශක ක්‍යාබ්ජේ ට්‍රිජෑං රින්පෝෂේ විසින් ඒ වෙනුවට ලම්-රිම් හෙවත් බුද්ධත්වය කරා විහිදෙන්නාවූ ශ්‍රේණිගත අදියරයන් අධ්‍යයනය කරන ලෙස මා හට උපදෙස් දෙන ලදී. ගේෂේ නැවෑං ධාර්ජේ යනු ශාකපා හා ඛම්ලුං රින්පෝෂේවරුන්ගේ ගුරුවරයා වූ අතර ඔවුන් විසින් ඔහුට මා වෙත ලම්-රිම් දේශනා කරන්නට එකඟ විය හැක්කේදැහි විමසන ලද අතර, ඔහු කාරුණිකව එයට එකඟ විය. මම ඔහුගේ පළමු බටහිර සිසුවා වීමි.

ගේෂේ ධාර්ජේ අත්හැර දැමූ ගොම මැටියෙන් කළ ගවහලක හුදෙක් එතුමාගේ සයනය සඳහා සහ බිම ඔහුගේ සිසුන් හට එහි පසෙකින් හිඳ ගැනීම සඳහා වූ කුඩා ඉඩකඩකින් පමණක් සමන්විත ඉඩකඩක වාසය කළේය. ඔහුගේ දත් හැළුණු, නිතර සිනහ මුසු මුහුණින් වාසය කළ කෝකියා වූ කෙඩෙප් ටාර්චින් එයටද වඩා කුඩා මුළුතැන්ගෙයක වාසය කළේය. "අගනා වැඩිහිටියා" නමින් අප විසින් හඳුන්වන්නට යෙදුණු ගේෂේ ධාර්ජේ තරුණ ටුල්කුවරුන්ගේ ගුරුවරයෙකු වශයෙන් ජනප්‍රියව සිටි අතර ඔහු භාරයේ සිසුන් නව දෙනෙකු උගත් අතර ඔහු උගත් වාදකරවෙකු හා පිළිවෙත් පුරන්නෙකු වශයෙන්ද ප්‍රසිද්ධව සිටියේය. ඔහු පමණටද වඩා සුදුසුකම් ලත් අයෙකුය යන විශ්වාසය ඒ අනුව අප අතර විය.

මාගේ පාඩම් සතියකට දින හයක් පුරා දිවෙන ඒවා විය. එකල මා හට කිසිසේත් තේරුම් ගත නුහුණු බරසාර ඛම්පා උප භාෂාවෙන් ගෙන් රින්පෝෂේ කථාකළ බැවින් ශකාපා හා ඛම්ලුං මා වෙනුවෙන් භාෂා පරිවර්තන කටයුතු සිදු කළහ. ජාඩෝ රින්පෝෂේ නමින් වූ තවත් තරුණ ටුල්කුවරයෙකුද මාගේ පාඩම් කටයුතුවලට සහභාගි විය. ඔහු පසු කලෙක දලයි ලාමා වහන්සේගේ නම්යාල් ආරාමයේ ප්‍රධාන භික්ෂුව බවට පත්වූ අතර, වර්තමානයේ ගියුටෝ තන්ත්‍ර ආරාමයේ ප්‍රධාන භික්ෂුව වශයෙන් කටයුතු කරයි. අපි සියලු දෙනා ගෙන් රින්පෝෂේගේ ඇඳ පසෙකින් වූ එම කුඩා අවකාශය තුළට ගොනු වූයෙමු.

එම කුටිය නිරතුරු මැස්සන්ගෙන් පිරී පවතින බව පෙනිණි. එය මා හැර කාමරයේ සිටි අන් කවරෙකුට හෝ එතරම් කරදරයක් සේ නොපෙනිණි. ඛම්ලුං රින්පෝෂේ සිය අතින් මැස්සන් අල්ලා ගැනීමෙහි දක්ෂයෙකු වූ අතර, මැස්සන් අල්ලා සොලවා මුදා හැරීමේ ක්‍රීඩාවෙහි නිරත විය. එවිට එම මැස්සෝ කරකැවෙමින් ඉවතට පියඹා යන අතර සියලු දෙනා සිනහ සෙන්නට වෙයි. එය මාගේ විශේෂ සතුටකට හේතු නොවීය. මා සිටි අපහසු තත්ත්වය දුටු ගෙන් රින්පෝෂේ දිනක් සිය ඇඳ මත නැගීසිට මැස්සන් පළවා හරිනු පිණිස සිය සිවුර ගසන්නට විය. ඉන්පසු මා දෙස බලා සිනහසෙන්නටද විය.කෙසේ වුවද, මම මාගේ පාඩම් කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් මැස්සන් පිළිබඳ කරුණ නොසලකා හරින්නට වීමි.

මඳ වේලාවකට පසු, ජීවත්වීම සඳහා වඩා යහපත් ස්ථානයක් සොයා යන ලෙස පවසා ගෙන් රින්පෝෂේ වෙත යම් මුදලක් පිරිනැමීමි. ඔහු කාරුණිකව එය පිළිගත් නමුත්, ගුප්ත ලෙස හැසිරීමේ හා අන්‍යයන් සිනහ ගන්වන සුළු කටයුතු කිරීමේ කැමැත්තකින් පසුවූ ඔහු තමා යන ස්ථානය කිසිවෙකුට හෝ නොපැවසීය. හුදෙක් ස්ථානයෙන් අතුරුදන් වූ ඔහු අප විසින් ඔහු සොයාගන්නා තෙක් සැඟවුණු ස්ථානයේ සිටින්නට විය. අප විසින් ඔහු සොයාගත් පසු, ඔහු කොක් හඬලා සිනහ සෙන්නට විය. ඔහු ගියුමේ තන්ත්‍ර ආරාමයට යාබද තහඩුවෙන් කළ කුටියකට මාරුවී සිටි අතර, එය ඉමහත් ප්‍රගතියක් විය. අපි එහි අපගේ පාඩම් කටයුතු නොකඩවා සිදු කළ අතර, කලින් කලට, තරුණ ටුල්කුවරුන්ද සමගින්, දර්ශනීය කඳුකර තෘණභූමිවල දිගු පාගමන්හි හා විනෝද ගමන්වල නියැලෙන්නට වීමු. ගෙන් රින්පෝෂේ නිරතුරු විනෝද ගමන්වලට කැමැත්තක් දැක්වීය.

පරම පූජනීය දලයි ලාමා වහන්සේ අපගේ පාඩම් පිළිබඳ දැන සිටි අතර, පළ කිරීම සඳහා ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීම පිණිස කුඩා තිබ්බතීය පාඨයන් අප වෙත ලබා දෙන්නට විය. ඉන්පසු 1971 වසරේදී, දලයි ලාමා වහන්සේ විසින් ධර්මශාලාහි තිබ්බතීය කෘති හා ලේඛනාරක්ෂක පුස්තකාලය ගොඩනංවන ලදී. දලයි ලාමා වහන්සේ විසින් කරන ලද ගුහ්යාසමාජ දේශනාවනට සහභාගි වෙමින් එම සරත් සෘතුවේදී අපි සියලු දෙනා ධර්මශාලාහි සිටි අතර එහිදී ගෙන් රින්පෝෂේ හට බටහිර ජාතීන්ගේ දේශකයා වන ලෙසද, ශාපා හා ඛම්ලුං රින්පෝෂේවරුන් හට භාෂා පරිවර්තකවරුන් වන ලෙසද දලයි ලාමා වහන්සේ විසින් දැනුම් දෙන ලදී. මා හටද ඔවුන් වෙනුවෙන් යම් උපකාරයක් කළ හැක්කේදැයි කළ විමසුමට දලයි ලාමා වහන්සේගේ එකඟතාවය පළවූ නමුත්, පළමුව හාවර්ඩ් විශ්වවිද්‍යාලය වෙත ගොස් මාගේ නිබන්ධනය භාරදී ආචාර්ය උපාධිය ලැබ ආපසු ‍එන ලෙස නිර්දේශ කරන ලදී.

ඊළඟ වසර දොළහක කාලය පුරා දීර්ඝ ජාත්‍යන්තර දේශනා චාරිකාවක් හැරුණු කොට, ගෙන් රින්පෝෂේ විසින් පුස්තකාලයේ සතියට දින හයක් දේශනා කරන්නට විය. මම ඔහුගේ සියලුම පන්තිවලට පාහේ සහභාගි වූ අතර, ඔහු ඉගැන්වූ සියලු දේ සවිස්තරාත්මකව සටහන් කරගත්තෙමි. එකල වීසා සහතිකයක් නොමැතිව පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල පුරවැසියන් හට ඉන්දියාවේ නැවතී සිටිය හැකිවූ බැවින්, නොකඩවා වසර ගණනාවක් පුරා බොහෝ සිසුන් හට ධර්මශාලාහි ජීවත් වීමට හැකිවිය. මෙම තත්ත්වය හේතුකොට බොහෝ ප්‍රධාන පෙළේ බෞද්ධ නිබන්ධනයන් සම්බන්ධ වසර ගණන් දීර්ඝ පාඨමාලාවල ඉගැන්වීමට හා නොකඩවා සිදුවූ භාවනා උපදෙස් විෂයයෙහි මාර්ගෝපදේශ ලබාදීමට හැකිවිය. සෑම වසර කිහිපයකටම වරක්, අපිද ගුරු පූජාව සිදු කරනු පිණිස ඔහු සමගින් එක්රැස්වූ අතර එය සිදුකරන ආකාරය එහිදී ඔහු විසින් අපට උගන්වන ලදී. මෙය ආශ්චර්යමත් කාල පරිච්ඡේදයක් විය: මෙම සුවිශේෂී අවස්ථාව ලබාගැනීමට තරම් අපි වාසනාවන්ත වීමු.

විශේෂයෙන්ම සිහිවටනීය දෙය වූයේ ගෙන් රින්පෝෂේ දේශනා පැවැත්වූ ඕනෑම අවස්ථාවක ඔහු කෙතරම් නම් උද්‍යෝගිමත් වූයේද යන්න හා ඔහු නිරන්තරයෙන්ම ගැඹුරු විශ්ලේෂණයන් බිම්ගත හාස්‍ය රසය සමගින් මුහු කළ ආකාරයයි. ඉගැන්වූ දෙය අපට සිහි තබාගත නොහැකි වූ අවස්ථාවන්හි එකම කරණ නැවත නැවතද විස්තර කිරීමෙහි කිසි විටෙකුදු වෙහෙසක් නොපෙන්වූ ඔහු,ඒ අනුව කාරුණිකත්වයේ හා ඉවසීමේ ආභාසය ලබාදෙනසුළු ආදර්ශයක් විය. විනය හා සිය භික්ෂූන්ගේ ශික්ෂාපදයන් සම්බන්ධයෙන්ද ඔහු අතිශය සුපරීක්ෂාකාරී විය. වැසිකිලි යාම සඳහා රෑ මැදියමෙහි අවදි වුවද, ඔහු සිය ආරාමික සාටකය පැළඳගෙන යන්නට විය. 

ගෙන් රින්පෝෂේ මා හට බොහෝ දුෂ්කර කාල පරිච්ඡේදවලදී උපකාරී විය.ෂෙන්ෂැබ් සර්කොං රින්පෝෂේ ස්පිටිහිදී හදිසි‍යේ මිය ගිය අවස්ථාවේදී, එය කන වැකුණු විගස ගෙන් රින්පෝෂේගේ කාමරවලට ගියෙමි. සර්කොං රින්පෝෂේ ගෙන් රින්පෝෂේගේද ගුරුවරයෙකු විය. එහි ඇතුළු වූ මා හට දකින්නට ලැබුණේ ගෙන් රින්පෝෂේ ඔහුගේ තිබ්බතීය මිතුරන් කිහිප දෙනෙකු සමගින් තේ බොමින් හා සතුටින් සල්ලාපයෙහි යෙදෙමින් සිටින දර්ශනයකි. මා හට ඉඳ ගන්නට හා ඔවුන් පිටව යන ලෙස සිටින ලෙස ඔහු විසින් පවසන ලදී. ඔවුන් පිටව ගිය පසු සර්කොං රින්පෝෂේගේ මරණය මා හට මේදැන් ආරංචි වූ බව පැවසූ අතර, ඔහුටද එය අසන්නට ලැබුණු බව ඔහු පැවසීය. ඉන්පසු, මේවන විට මියගොස් ඇති ඔහුගේ ගුරුවරුන් සංඛ්‍යාව ඔහුගේ ජප මාලයේ ඇට ගණන් කරමින් ගණින්නට විය. ඔහු පැවසූයේ සියලු දෙනා මරණයට පත්වන බවයි: එය අරුමයක් නොවේ. එනමුත් අප විසින් අපගේ ගුරුවරුන් හා ඔවුන්ගේ උපදෙස් අපගේ හදවත තුළ දරාගෙන සිටියේ නම්, ඔවුන් ශාරීරිකව මිය ගියද, ඔවුන් නිරතුරු අප සමගින් ජීවත්වන බවද පැවසීය. ජීවිතය ගලා යන්නකි. මෙය මා හට බොහෝ සෙයින් ප්‍රයෝජනවත් උපදෙසක් විය.

නවසීලන්තයේ ඩියුන්ඩින්හි පදිංචි වී දේශනා පවත්වන ලෙස ලද ආරාධනයක් පිළිගනිමින් 1984 වසරේදී ගෙන් රින්පෝෂේ මෙම පුස්තකාලය හැර ගියේය. යුරෝපයෙන් හා උතුරු ඇමරිකාවෙන් බොහෝ දුර බැහැර පිහිටි එවන් දුරස්ථ ප්‍රදේශයකට ඔහුගේ පිටත්ව යාම බොහෝ සෙයින් යෝග්‍ය වූවක් බව පෙනිණි. ඔහු නිරතුරුවම තරමක් ගුප්ත චරිතයක් සේ සිටීමට කැමැත්තක් දැක්වූ අතර, ඔහු සොයාගෙන ඔහුගේ දේශනාවන් ශ්‍රවණය කිරීම සඳහා සිසුන් මගින් යම් ප්‍රයත්නයක් දැරවීමට කැමති විය.

1995 වසරේදී මියයන තෙක්ම ගෙන් රින්පෝෂේ නවසීලන්තයේ ජීවත් විය. දියවැඩියාව හේතුවෙන් ඔහුගේ දෙනෙත් අන්ධව තිබි නමුදු, ජීවිතාවසානය දක්වාම දේශනා පැවැත්වීම හා සියලු දෛනික පිළිවෙත් පිරීමද නොකඩවා සිදු කරන්නට විය.

ගෙන් රින්පෝෂේ නවසීලන්තයට පිටත්වූ පසු ඔහු මා හට හමුවූයේ තවත් දෙවරකදී පමණි. සියලු මූලික බෞද්ධ දේශනා හා පිළිවෙත් මා වෙත ලබාදී මහා ඉන්දියානු හා තිබ්බතීය නිබන්ධන මා වෙත ඉගැන්වීම පිළිබඳව සදාකල් ඔහුට කෘතවේදී වෙමි. යැංග්සි රින්පෝෂේ 1996 වසරේදී උපත ලැබූ අතර, මේවන විට  දකුණු ඉන්දියාවේ සෙරා ජේ ආරාමයේ ඔහුගේ අධ්‍යාපන කටයුතුවල නිරත වේ.

Top