මරණය හා අනිත්‍ය පිළිබඳ සිතා බැලීම සඳහා සිද්ධාන්ත හතරක්

භාවනාව යනු දේශනාවනට සවන් දීම, ඒ පිළිබඳ සිතා බැලීම හා ඉන් පසු ඒවා භාවනා කිරීම ඇතුළත් ත්‍රිවිධාකාර ක්‍රියාවලියක කොටසක් බව අපි දුටුවෙමු. මෙම තුන්වන පියවර ලෙස එන සිතා බැලීම හෙවත් භාවනාව නැවත නැවතද සිදු කිරීම මගින් අපගේ ජීවිතවලට දේශනා බද්ධ කරගන්නා ආකාරය හා සම්බන්ධ වේ. මූලික වශයෙන් නැවත නැවතද සිදු කිරීම මගින් එය පුරුද්දක් බවට පත්වන අයුරින් අපට සාක්ෂාත් කරගැනීමට අවශ්‍ය කෙරෙන ධනාත්මක චිත්ත ස්වභාවය ගොඩනගා ගනු ලබයි. 

දේශනාවනට සවන්දී එමගින් ලබන වෙන්කොට දැකීමේ අවබෝධය තුළ අපට කරුණු වෙන්කොට දැකීමේ හැකියාව ලැබේ. එනම් මෙය බුදුන් වහන්සේගේ දේශනාවක් බවට තහවුරුවක් ඇති වේ. දේශනාවන් පූර්වානුමානයන් තුළ අගයන අවස්ථාවන්ද අප අත්දැක ඇත. එහිදී සිදුවනුයේ දේශනාවන්හි අන්තර්ගතය මුළුමනින්ම අවබෝධ නොවුවද අවම වශයෙන් අපගේ පෙළඹීම හා ඇල්ම හේතුකොට, එය එසේ නොවන බව තහවුරු කෙරෙන තෙක් හෝ ඒවා සත්‍ය බවට පූර්වානුමානය කරන්නෙමු. යමක් අසත්‍ය බව හඳුනා ගතහොත්, අපට එය අමතක ගළ හැක. එසේ වුවද, යම් කරුණක් සත්‍ය යැයි පූර්වානුමානය කොට අවම වශයෙන් එය සැබෑ වශයෙන්ම එසේදැයි විමසා බැලීමට තීරණය කිරීමේ විවෘත මනසක් පැවතීම වැදගත්ය. තවද, විටමින් මෙන් ඒවා ප්‍රයෝජනවත් බවටද අපට පූර්වානුමානය කිරීමට සිදුවේ. ඇත්තෙන්ම මිය යාවිදැයි විමසා බලනු පිණිස ඔබ වස පානය කොට නොබලන නමුත් විටමින් වැනි පෝෂක සම්බන්ධයෙන් එම කාර්යය සිදුකළ හැක. ඒ අනුව බොහෝ අය පවසන බැවින් උත්සාහ කොට ප්‍රත්‍යක්ෂ කරගැනීම සඳහා එහි යම් ප්‍රයෝජනයක් ඇති බවට පූර්වානුමාන කරනු ලැබේ.

දේශනා පිළිබඳ සිතා බලන කල්හි, “සිතා බැලීමෙන් ඇතිවන වෙන්කොට සැලකීමේ අවබෝධය” ලෙස හැඳින්වෙන ක්‍රියාවලියේ අවසානය කරා ළඟාවනු පිණිස ඒවා පරීක්ෂාකර බලන්නෙමු. මෙහිදීය දේශනා අවබෝධ කරගත් බවත්, බුදුන් වහන්සේගේ දේශනාවන් සත්‍ය බවත්, ඉන් සැබැවින්ම ප්‍රයෝජනයක් අත්වන බවත් සාක්ෂාත් කරගැනීමට උත්සාහ කරනු ලබන දෙය සැබෑ ලෙසම සාක්ෂාත් කරගත හැකි බවත් අපට මුළුමනින්ම ඒත්තු යනුයේ. බොහෝ අය විසින් සිදු කරන පරිදි ඉහත පියවරයන් මඟ හරින විටදී කල් යත්ම අතීරණාත්මක හා වැනෙන සුළු තත්ත්වයකට හෙවත් සැක සංකා සහිත තත්ත්වයකට පත්වන අතර එහිදී එම තත්ත්වය කිසිසේත් සැබෑ ලෙස සාක්ෂාත් කරගත හැක්කේද යන අවිශ්වාසය පැන නැගේ. එවිට ඔවුහූ උත්සාහය අත් හරිති.

විමුක්තිය යනු කුමක්ද?

විමුක්තිය හෝ බුද්ධත්වය සහ ඒවා සාක්ෂාත් කරගැනීමේ විධික්‍රම පිළිබඳව කියවා බලන විටදී, විමුක්තිය ලැබීම යන්නෙන් සැබෑ ලෙසම අර්ථවත් වනුයේ කවරක්ද යන්න අවබෝධ කරගත යුතු වේ. බුද්ධත්වය ලැබීම යන්නෙන් සැබෑ ලෙසම අර්ථවත් වනුයේ කවරක්ද? ඉන්පසු කුමක් සිදුවේද? දේශනාවන්හි ප්‍රකාශිත පරිදි බුදුවරයෙකු යනු සියල්ල දත්, හෙවත් නිවැරදි ලෙස හා එකවරම සියල්ල පිළිබඳ නිරපේක්ෂ දැනුමක් සහිත අයෙකු ලෙස දක්වනු ලබයි.  බුදුවරයෙකු හට සෑම අයෙකු සම්බන්ධයෙන්ම සමාන සැලකිල්ලක් ඇති අතර, ඒ සෑම අයෙකු හා සමගින්ම පරිපූර්ණ සන්නිවේදනයක නිරත විය හැක. ඒ අනුව, යහපත්ම අයුරින් බුදුවරයෙකු විසින් සියල්ලන් හට උපකාර කරනු ලබයි.

මෙය කළ හැක්කක්ද? නොඑසේ නම් හුදෙක් සුරංගනා කථාවක් පමණක්ද? එය හාස්‍යජනක කරුණක් සේ සලකන්නේ නම්, එය සාක්ෂාත් කිරීමට උත්සාහ කරන අයුරින් අප සිදු කරන්නේ කවරක්ද? එය සුරංගනා කථාවක් ලෙස සිතන්නේ නම්, එය සාක්ෂාත් කරගත හැක්කක් ලෙස පැහැදිලිවම අපි නොසිතන්නෙමු. බුදු දහම තුළ සාකච්ඡා කෙරෙන අරමුණු කෙරෙහි විවේචනාත්මක දෘෂ්ටියකින් බලමින් අපගේ පෙළැඹීම විමසා බැලීමට සිදු වේ.

අපගේ අරමුණ කුමක්ද?

පෙළැඹීම හෙවත් අභිප්‍රේරණය යන වදන සඳහා බුදු දහම තුළ ඉතා නිශ්චිත අර්ථයක් පවතී. නිරතුරුවම “ඔබගේ පෙළැඹීම නැවත තහවුරු කරන්න හෝ උත්පාදනය කරන්න” යැයි පැවසීමේදී කොටස් දෙකක් එතුළ ගැබ්වේ. පළමුවැන්න නම් අප සතු අරමුණ හෙවත් ඉලක්කයයි. අනෙක නම්, එම අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා අප යොමු කරවන්නාවූ ඒ පිටුපස පවත්නා හැඟීම හෝ භාවයයි. සාමාන්‍යයෙන් ඉංග්‍රීසියේදී  පෙළැඹීම යන අරුත සහිත motivation යන වචනය තුළ පවත්නේ දෙවන කොටස අර්ථවත් වන අදහසයි. එනම් යමක් කිරීම සඳහා අප යොමු කරවන්නාවූ භාවයයි.

බෞද්ධ දේශනා හෙවත් ධර්මය පුහුණු කරන්නාවූ බොහෝ පුද්ගලයන් සම්බන්ධයෙන් සලකා බලන කල මාගේ හැඟීම නම් ඔවුනගේ අරමුණ වනුුයේ මෙම ජීවිතය යම්තාක් දුරට සතුටුදායක කරගැනීම වන බවයි. මෙයද වැදගත්ය. එය පළමු පියවරකි. සැබෑ දෙය විය යුත්තේ වඩා යහපත් පුනර්භවයන් ලබමින් මුලික වශයෙන් ජීවිතයෙන් ජීවිතයට වටිනා මනුෂ්‍යාත්ම භාවයන් ලැබීමයි. නමුත් ඔබ පුනර්භවය විශ්වාස නොකරන්නෙක් නම්, යහපත් පුනර්භවයක් ලබා ගැනීම අරමුණු කරන්නේ කෙසේද? පුනර්භවය අවබෝධ කරගනු පිණිස නැවත උත්පත්තිය ලබන්නේ කවරක්ද, සිතේ අඛන්ඩතාවයේ ස්වභාවය, ආත්ම ස්වභාවය ආදී කරුණු අවබෝධ කරගැනීමට සිදු වේ. සැබෑ ලෙසම පවසන්නේ නම්, යහපත් පුනර්භවයක් ඉලක්ක කිරීම යනු නිශ්චිතවම බෞද්ධ අදහසක් නොවේ. ක්‍රිස්තියානිය හා සෙසු ආගම්ද මේ සඳහා අරමුණු කරනු ලබයි. ක්‍රිස්තියානි දහම සම්බන්ධයෙන් සලකා බලන කල, එහි ඇත්තේ ස්වර්ග රාජ්‍යයේ පුනරුත්පත්තියකි.

ඊළඟ අරමුණ වනු ඇත්තේ පාලනයකින් තොරව නැවත නැවතද සිදුවන පුනර්භවයෙන් විමුක්තියක් ලැබීමයි. හින්දු ආගම් තුළද මේ සඳහා අරමුණු කරනු ලබයි. ඒ අනුව බුදු දහම තුළ මෙම විමුක්තිය යන්නෙන් අදහස් කෙරෙනුයේ කවරක්ද යන්න හා එය සාක්ෂාත් කරගැනීමේ ක්‍රම කවරේද යන්න අප විසින් අවබෝධ කරගත යුතුවේ. එවිට, සැබැවින්ම, අවසාන අරමුණ වනුයේ බුදුවරයෙකුගේ පූර්ණ අවබෝධය සහිත තත්ත්වය ඉලක්ක කිරීමයි. මෙය බුදු දහමටම සුවිශේෂී වූ තත්ත්වයකි.

පියවරින් පියවර

බෞද්ධ ඉගැන්වීම් විමසා බැලීමේදී, ඒවා පියවරින් පියවර පදනමට සැකසෙන අයුරු දැකිය හැකි වේ. එක් විදර්ශනාවක් තවෙකකට පසුව ඇතිවන අතර, මෙය වැදගත් තත්ත්වයකි. මක් නිසාද, කිසිදු පදනමකින් තොරව, “සියලු සත්ත්වයන්ට උදවු කරන්න මට බුදු වෙන්න ඕන” යැයි හුදෙක් ප්‍රකාශ කරන්නේ නම් එම ප්‍රකාශය අර්ථ විරහිත වන්නක් වන බැවිනි.  අපි විශ්වයේ සියලු කෘමීන් වෙත විමුක්තිය උදා කරමින් ඔවුන් වෙත පූර්ණ අවබෝධය ලබා දීම ඉලක්ක කරමුද? බොහෝ විට එය ‍එසේ නොවේ. එවැන්නක් සැබෑ ලෙසම අදහස් කොට අර්ථවත් කරනු පිණිස ඇදහිය නොහැකි තරම් වූ චිත්ත අවකාශයක් පැවතිය යුතු අතර, එම තත්ත්වය ක්‍රමානුකූලව ගොඩනගා ගත යුත්තකි. යමක් විමසා බැලීමේ දැක්මට අයත් ලක්ෂ්‍ය සතර හෙවත් “සිද්ධාන්ත සතර” ලෙස මා දක්වන දෙය යොදාගනිමින් දේශනා එක එකක් විමසා බැලීම මගින් එය සිදු කරන අතර, ධර්මයේ අති මූලික කරුණුවලින් ආරම්භය ගනිමු.

චතුර් සිද්ධාන්ත භාවිත කිරීම පිළිබඳ නිදසුනක් ලෙස, මරණය හා අනිත්‍යය පිළිබඳ සිතා බලා භාවනා කරමු. මාගේ සමීපතම මිතුරා පසුගිය සතියේ මියගිය බැවින් තරමක ආත්මාර්ථකාමී හේතුවක් මත ඇතැම් විට මා මෙය තෝරා ගත්තා විය හැක. කෙසේ වුවද සිද්ධාන්ත සතර නම්:

  • රඳා පැවැත්ම පිළිබඳ සිද්ධාන්තය – අපට උත්පාදනය කරගැනීමට අවශ්‍ය වන චිත්ත ස්වභාවය හෙවත් මරණානුස්මෘතිය රඳා පවත්නේ කවරක් මතද?
  • ක්‍රියාකාරිත්වය පිළිබඳ සිද්ධාන්තය– මෙම චිත්ත ස්වභාවය සාක්ෂාත් කරගන්නේ නම්, ඉන් කවරක් සිදු වන්නේද හා එහි ප්‍රතිලාභ හෝ අවාසි කවරේද?
  • තර්කානුකූලත්වය පිළිබඳ සිද්ධාන්තය – එය සත්‍යදැයි තීරණය කරනු පිණිස දේශනා විමසා බලන්නේ නම්, එය බුදුන් වහන්සේගේ සෙසු දේශනා සමග ගැලපෙන්නේද? එය තර්කානුකූලද? උත්සාහ කර බලන කල්හි එමගින් ප්‍රකාශිත ඵලය නිපදවනු ලබන්නේද?
  • ස්වභාවය පිළිබඳ සිද්ධාන්තය – මරණය යනු දේවල ස්වභාවය පිළිබඳ නිදසුනක්ද? සෑම අයෙකුම මරණයට පත් වන්නේද?

අප විසින් සිදු කරනු ලබන්නේ මරණය ආදිය පිළිබඳ යම් දේශනාවක් ගෙන අවශ්‍ය තරම් කාලය ගෙන මෙකී සිද්ධාන්ත සතරෙහි දෘෂ්ටි කෝණයෙන් එය විග්‍රහ කිරීමයි. මේ කාර්යය සඳහා විනාඩි දහයක්ද, ඒ කාර්යය සඳහා විනාඩි විස්සක්ද වැය කළ යුතුය ආදී ලෙස මේ සම්බන්ධව යම් සූත්‍රයක් නොපවතී. බොහෝ විට ඔබ අවධානයට යොමු කරනු ලබන කාර්යයෙහි අර්ථයක් නොමැති අවස්ථා පවත්නා බැවින් මෙම කාර්යය වේගවත්ව සිදු නොකිරීම යහපත්ය. යමකින් එය යටපත් වීමට ඉඩ ලබාදී සැබෑ ලෙසම ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම යහපත් වේ.

පූර්ණ අවබෝධයක් ලබාගැනීම

දේවල් කවරාකාර වන්නේද යන්න පිළිබඳව සිතමින් ඉදිරියට හා පසුපසට සිතා බැලීමේ අවශ්‍යතාවයක් ඇති නොවන පරිදි අපට සාකච්ඡා කෙරෙන මාතෘකාව අවබෝධ වන බවට ඒත්තු යාම මූලිකව අවශ්‍ය වේ. එබැවිනි තිබ්බතීයයන් විසින් අපගේ අවබෝධය ප්‍රශ්න කිරීමට බල කෙරෙන අයුරු විවාද කිරීමේ අධ්‍යාපන ක්‍රමය භාවිත කරනුයේ. සියල්ලන් විසින් එය සිදු කළ යුතුය - ඔබට හුදෙක් නිහඬව පන්තියේ පසුපසට වී සිටිය නොහැක. එක් අයෙකු විසින් යම් කිසිවක් ප්‍රකාශ කරන අතර, ප්‍රතිවාදියා හට එය පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට සිදුවේ. මේ සියල්ලේ අරමුණ වනුයේ නිවැරදි පිළිතුර සොයා ගැනීම නොව යම් මාතෘකාවක් පිළිබඳ අපගේ අවබෝධය පිළිබඳ යම් නිශ්චිත භාවයක් අත්පත් කරගැනීමයි. අපට අපගේම සිතිවිලිවලට අභියෝග කළ හැකි ප්‍රමාණයට වඩා බොහෝ සෙයින් අන් අය අපගේ සිතිවිලිවලට අභියෝග කරනු ඇති බැවින් එය අති විශිෂ්ට විධික්‍රමයකි. අනෙකා තමාට විරුද්ධ අදහසක් දැක්වීමට පොළඹවන මෙම කාර්යය බොහෝ විනෝදකාමී හා හාස්‍යෝත්පාදක කාර්යයක් වන බැවින් විවාදය තුළදී සුවිශාල ශක්තියක්ද උත්පාදනය කෙරේ. එය විනෝදකාරී ලෙස සිදුවන කාර්යයක් බැවින් සියලු දෙනා ඉන් විනෝද වේ.

මෙම ඉගෙනුම් විලාසිතාවේ තවද ප්‍රයෝජනයක් වනුයේ ඔබ කවරෙක් වුවද, යම් තැනෙකදී ඔබ ඔබගේම අදහසට ප්‍රතිවිරුද්ධව කථා කරනු ඇති අතර ඉන් මතුවන අමනෝඥ ස්වභාවය තුළ ආත්ම අභිමානය හා ආඩම්බරය යන හැඟීම් යම් තරමකට හකුලුවාලනු ලබයි. මෙය යහපත් දෙයකි. එමගින් ලජ්ජාශීලිත්වයද මැඩ පවත්වනු ලබයි. රැස්ව සිටින පිරිසක් ඉදිරියේ තර්කානුකූලව සිය මතය ප්‍රකාශ කිරීමට අවශ්‍ය නම් ඔබට අනිවාර්යයෙන්ම ලජ්ජාශීලී නොවීමට සිදුවේ.

“මේවා හරිම බුද්ධි ගෝචර කරුණු. මට ස්වයං ඥානයෙන් අවබෝධ කරගනිමින් භාවනාවේ යෙදෙන්නයි ඕන”යි සිතමින් විවාදාවස්ථාවන් ඉවත නොලිය යුතුය. විවාදය ඔබගේ භාවනාවට උපකාරී වේ. එයයි විවාද කිරීමේ පූර්ණ අරමුණ. විවාදයෙහි නියැලීමෙන් අනතුරුව ඔබගේ සැක සංකා පහව යන අතර,  අවබෝධය පිළිබඳ තහවුරුවක් ඇතිවේ. ඉන්පසු පූර්ණ විශ්වාසයෙන් මෙම තීක්ෂණ අවබෝධය ඔබ තුළට ඒකාබද්ධ කරගනු පිණිස භාවනා කළ හැකිවේ. නොඑසේ නම්, ඔබගේ භාවනාව එතරම් ශක්තිමත් එකක් නොවේ. සත්‍ය වශයෙන්ම, ඔබ එකිනෙකා සමග මෙහිදී විධිමත් විවාදයක නිරත නොවන නමුත් අනෙකා මාගේ මතයට පුද්ගලිකව පහර දෙන්නේය යන සිතිවිල්ල සහිතව ආඩම්බරයෙන් හෝ අහංකාරයෙන්ද, ස්වයං ආරක්ෂාවකින් හෙවත් සිය මතයම තහවුරු කිරීමට උත්සාහ කිරීමකින්ද තොරව දේශනා සාකච්ඡා කිරීම අතිශයින් යහපත්ය.

“යම් කරුණක් සත්‍ය සේ විශ්වාස කිරීම” හා “දැඩි ස්ථිර විශ්වාසය” යනු තවත් බෞද්ධ තාක්ෂණික යෙදුම් දෙකක්‍ වේ. නිවැරදි නොවන යම් කිසිවක් සත්‍ය සේ විශ්වාස කිරීමේ හැකියාවක් පවත්නා බැවින්, අප තුළ නිවැරදි අවබෝධයක් රහිත අවස්ථාවන්හි එවැන්නක් පවත්නේය යන නිගමනයට නොඑළඹීම පිණිස දේශනා විමසා බැලීමේදී ප්‍රවේශම් විය යුතුවේ. ස්ථිර හා දැඩි විශ්වාසය යනු අපගේ විශ්වාසය කිසිවකින් හෝ හෙළිය නොහැක්කක්ය යන්න අපටම ඒත්තු යන අවස්ථාව වන අතර, එයයි අප තුළ සැබෑ ලෙසම වර්ධනය කරගත යුත්තේ.

නොකඩවා කාර්යය සිදු කරන්න

මේ සියල්ල මුරණ්ඩුකම හා සංවෘත මානසිකත්වය යන ස්වභාවයන් මගින් විකෘති ලෙස නියෝජනය විය හැක. අපගේ අවබෝධය සාවද්‍ය වන අතර කිසිවෙකුට හෝ අප නිවැරදි කළ නොහැක්කේය යන මුරණ්ඩු ගති ස්වභාවයක්ද පවතී නම් මෙයයි ඇතැම් අවස්ථාවන්හි “මිච්ඡා දිට්ඨි”  හෙවත් “වැරදි දැක්ම” ලෙස දැක්වෙනුයේ. යමක් නිවැරදි නොවන බව අපගේ විශ්වාසය වන්නේ නම්, අපගේ මුරණ්ඩු ගති ස්වභාවය තුළ එයට වෙනස් යම් කිසිවක් පැවසීමට උත්සාහ කරන යමෙකු වේනම් ඔහු එදිරිවාදියෙකු ලෙස දකිමින් පහර දීමට පවා පෙළඹේ.

බුද්ධත්වයට පත්වන තුරුම, අපට දේවල් වඩ වඩාත් ගැඹුරට අවබෝධ කරගැනීමේ උත්සාහයක යෙදීමට සිදුවේ. ඒ අනුව අපට නිරතුරුවම දැනුම් දෙනු ලබන්නේ “බුද්ධත්වයට පත්වන තුරුම ඔබගේ අවබෝධ මට්ටම, ඔබගේ සාර්ථකත්වයේ මට්ටම පිළිබඳ තෘප්තිමත් නොවන්න, මක් නිසාද, සැම කල්හිම ඔබට වඩාත් ගැඹුරු අවබෝධයකට හා වඩාත් ඉහළ සාර්ථකත්වයකට ළඟා විය හැකි බැවිනි.” යන්නයි. ඒ අනුව, නිවැරදි අවබෝධය පවත්නා අවස්ථාවන්හිදීද, එය ගැඹුරුම අවබෝධය නොවිය හැක. පරම පූජනීය දලයි ලාමා වහන්සේගේ එක් ගුරුවරයෙකු වූ ට්‍රිජෑං රිපොංෂේ නිතර කළ ප්‍රකාශයක් වූයේ “මං (ෂොංඛපා විසින් සිදු කරන ලද මාර්ගයේ ශ්‍රේණිගත අදියරයන් පිළිබඳ ශ්‍රේෂ්ඨ ඉදිරිපත් කිරීමක් වූ) ලම්-රිම් චෙං මෝ සිය වතාවක් කියවලා තියෙනවා. ඒක කියවන සැම අවස්ථාවකදීම මට වෙනස් වූ හා වඩා ගැඹුරු අවබෝධයක් ලැබුණා” යන්නයි. ආරම්භයේදී නිවැරදි අවබෝධයක් ලැබුණද ඒ නොසලකා වඩ වඩාත් ගැඹුරට අධ්‍යයනය කළ යුතුය යන්න පිළිබඳ මනා නිදසුනකි මෙය.

මරණානුස්මෘතිය

දැන් අපට මරණානුස්මෘතිය හා සම්බන්ධව පෙරකී කරුණු සතර සලකා බැලිය හැක. ඒ අනුව අපට ඒවායින් අදහස් කෙරෙනුයේ කවරක්ද හා ඒවා යොදාගත යුත්තේ කෙසේද යන්න පිළිබඳ නිදසුනක් සපයාගත හැක. සත්‍ය වශයෙන්ම, අපට මෙය කළ හැක්කේ මරණය හා මරණානුස්මෘතිය පිළිබඳ දේශනාවන් ශ්‍රවණය කිරීමෙන් පසු පමණි. මරණය පිළිබඳ විමසා බැලීමේදී, අප කටයුතු කරන මුලික කරුණු තුනක් පවතී. ඒවානම්:

  • මරණය නොවැළැක්විය හැක්කක්ය
  • මරණය සිදුවන අවස්ථාව අවිනිශ්චිතය හා
  • මරණය සිදුවන අවස්ථාවේදී ධර්මය හැර අන් කිසිවකින් පිළිසරණක් නොලැබෙනු ඇත

යන්නයි.

අප සියලු දෙනා යම් දිනක මිය යනු ඇත. එය නොවැළැක්විය හැක්කකි. මෙය ඔබද, මමද, අන් සියල්ලන්ද පෞද්ගලිකව දන්නා කරුණකි. මරණය කවර අවස්ථාවකදී සිදුවනු ඇත්තේද යන අදහසක්ද අප තුළ නොමැත. අප විසින් ගොඩ නංවාගෙන අපගේ චිත්ත සන්තතියේ කොටසක් බවට පත්කරගෙන ඇති යහපත් පුරුදු හැර අන් කිසිවක් මෙහිදී උපකාරී නොවේ.

මරණය නොවැළැක්විය හැක්කක් වන නමුදු, මෙය රඳා පවතිනුයේ කවරක් මතද (රඳා පැවැත්ම පිළිබඳ සිද්ධාන්තය)? අපට මෙය මට්ටම් කිහිපයකින් විග්‍රහ කළ හැක. පළමුව, මරණය ජීවිතය මත රඳා පවතී. ජීවත් වීමකින් තොරව මිය යා නොහැක. සෑම දිනකම අපි වයසට යන අතර, තරුණ වියේදී සවි බලවත්ව පැවැති සිරුරු දුර්වල වේ. ඒ අනුව, රෝගී වන, රිය අනතුරුවලට ලක්වන ඈ මෙකී නොකී අනතුරුවලට මුහුණ දෙන්නාවූ ශරීරය මතද මරණය රඳා පවතී.

මරණය පිළිබඳ සිතන්නේ මන්ද?

මෙම අන්තර් රඳා පැවැත්ම පිළිබඳ සිද්ධාන්තය හා සම්බන්ධ වඩාත් ගැඹුරු මට්ටමකදී, මරණානුස්මෘති භාවනාවට පෙර අප විසින් අවබෝධ කරගත යුත්තේ, අප සතු ආශ්චර්යමත් හා අගනා මනුෂ්‍ය ජීවිතය පිළිබඳවයි. මරණය පිළිබඳ දැනුම තුළ අපේක්ෂා කෙරෙනුයේ මේ අවස්ථාවේ අප සතුව පවත්නා මේ අගනා මනුෂ්‍ය දිවියෙන් ප්‍රයෝජන ගැනීමයි. අපි අපගේ ජීවිත හා ජීවිත වැඩිදියුණු කරගැනීම සඳහා කටයුතු කිරිම නිසි ඇගයීමට ලක් නොකරන්නේ නම්, අපගේ ජීවිත අහිිමි වීම පිළිබඳව එතරම් වද නොවන්නෙමු. මක් නිසාද, “මා ජීවත්වන අතර, යම් ධනාත්මක දෙයක් සාක්ෂාත් කරගනු පිණිස මට මාගේ සිරුර හා සිත භාවිත කළ හැක” යන කරුණ බහුතර ජනතාවක් විසින් නිසි ඇගයීමට ලක් නොකරන බැවිනි. ඔවුහූ සිය ‍ජීවිත නිකරුණේ අපතේ යවති. ඒ අනුව, මරණානුස්මෘතිය සැබෑ ලෙසම ජීවිතානුස්මෘතිය හෙවත් ජීවිතය පිළිබඳ දැනුවත්භාවය මත පදනම් වන්නකි.

අපට මෙම අගනා මනුෂ්‍ය ජීවිතය ලැබී ඇති අතර ජීවත්ව සිටීමේ වාසිය අප කෙරෙන් උදුරාගත හැකි වඩාත් අසුභ තත්ත්වයන්ගේන මිදී අපි ජීවත් වන බවද හඳුනා ගන්නෙමු. දකිනා කවර අයෙකු හට හෝ පාගා දැමීමට සිතෙන කැරපොත්තෙකු වැනි ජීවිතයක් අප ලබා නොමැත. වඩාත් විශාල මාළුවෙකුගේ ගොදුරක් වන කුඩා මාළුවෙකු ලෙසද අප උපත ලබා නොමැත. මැස්සෙකු ලෙසද උපත ලබා නොමැත. මැස්සෙකු ලෙස උපත ලද්දේ නම්, අපට කළ හැක්කේ හෝ සාක්ෂාත් කළ හැක්කේ කුමක්දැයි මදක් සිතන්න. වැඩි දෙයක් කළ නොහැකි අතර, මුළු ජීවිතයම මළ හා කසල ගොඩකට වී ජීවත්විය හැක.

මෙපරිදි, මරණානුස්මෘතියේ අරමුණ වනුයේ හුදෙක් “අනේ කොච්චර භයානකද! මං අනිවාර්යයෙන්ම මැරෙණවනෙ” යි සිතමින් සන්තාපයට පත්වීම නොවේ. මෙහි කාර්යය විය යුත්තේ අපට ලැබී ඇති මේ අගනා අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමයි. මක් නිසාද, එය අවසන් වන අවස්ථාව කවරක්ද යන්න සැබෑ ලෙසම නොදන්නා බැවිනි. එය ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවූ හා එතරම් වයස්ගතවද නොසිටි, පසුගිය සතියේ මියගිය මා‍ගේ මිතුරාගේ තත්ත්වය මෙනි. ඔහු දුම් පානය ‍හෝ මත්පැන් පානය නොකළ අතර, අධික රුධිර පීඩනයෙන්ද නොපෙළිණි. බොහෝ සෙයින් ශරීරාභ්‍යාසයන්හි නියැළුණු ඔහු දැඩි භාවනානුයෝගියෙකු හා පිළිවෙත් පුරන්නෙකුද විය. එසේ වුවද, පසුගිය සතියේ එක් උදෑසනක, ස්නානය කළ ඔහුට හෘදයාබාධයක් වැළඳී මියගොස් ඇද වැටිණි. සැබෑ තත්ත්වය මෙවැන්නකි.

අපගේ මෙම අගනා ජීවිතය හිමි වනු ඇත්තේ කවර අවස්ථාවේදීද යන කිසිදු නිශ්චිත තත්ත්වයක් හෝ සහතිකයක් නොමැති අතර, සාමාන්‍යයෙන් මරණය පැමිණෙන්නේ අනපේක්ෂිත අවස්ථාවන්හිදීය. එබැවින්, මරණය පිළිබඳ සතිමත්ව සිටීමේ ප්‍රධාන අවශ්‍යතාවය වනුයේ කම්මැලිකම හා නිරතුරු හෙට දින දක්වා කටයුතු කල් තබන්නාවූ කල් තැබීමේ පුරුද්ද මැඩ පැවැත්වීමයි. මියගිය මාගේ මිතුරු ඇලන් විසින් යහපත් ආදර්ශයක් ලබාදී ඇත. ඔහුගේ මව ඉතා වයෝවෘද්ධ වූ අතර මනා ශරීර සෞඛ්‍යයකින්ද පසු නොවූවාය. ඔහුට භෞතිකව මෙන්ම මූල්‍යමය වශයෙන්ද ඇයට උපකාර කිරීමට අවශ්‍ය විය. එබැවින් සෑම සති අන්තකයක ඇය බැහැ දකින ඔහු ඇය වෙනුවෙන් සාප්පු සවාරි යාම ආදිය සිදු කරයි. ඔහු නිතරම පැවසූ දෙයක් නම්, මව මියගිය වහාම, සිය කටයුතුවලින් විශ්‍රාම ලබා පළමු කොටම වසරක වජ්‍රාසන වස් සමයකට සහභාගි වී ශුද්ධ වී ඉන්පසු වඩා දීර්ඝ කාලීන වස් සමයන් ගත කිරීමට අදහස් කර ඇති බවයි. මෙයයි ඔහු තුළ පැවැති අපේක්ෂාව.

මා ප්‍රකාශ කළ පරිදිම, ඔහු ඉතා දැඩි ලෙස පිළිවෙත් පිරූ නමුදු, සිය මවට උපකාර කරමින් ඇයගේ අවශ්‍යතා පිරිමැසිය යුතුව පැවති බැවින් කිසිදින භාවනා වස් සමයට සහභාගි නොවීය. එබැවින් ඔහුට එම කටයුතු ඉටු කිරීමට සිදුවිය. ඔහු සිය මවට උපකාර කිරීමේ කාර්යය නොකඩවා සිදු කළේ නම්, හෝ අවස්ථාව පැවති කාලයේදී අන් අයට සිය මව රැකබලා ගැනීමට පවරා වස් විවේකයට සහභාගි වූයේ නම් තත්ත්වය කවරක් වේද? ධර්මය තුළ අපට සිදු කරන ලෙස උපදෙස් දෙනුයේ කවරක්ද? මරණය සම්බන්ධ දේශනා තුළ සිදු කරන ලෙස අප කුමක් කෙරෙහි පොළඹවනු ලබන්නේද? මා එවන් අවස්ථාවක කළ යුත්තේ කවරක්ද යන්න සිතා බැලීම යහපත්ය.

එක් විකල්පයක් වනුයේ කෙටි වස් සමයකට සහභාගි වී ඒ හා සමාන්තරවම මව රැකබලා ගැනීමයි. වස් සමයන් යනු පූර්ණ කාලීන ක්‍රියාවලියක්ම විය යුතු නොවේ. අපට උදෑසන සැසි ‍හෝ සන්ධ්‍යා සැසිවලට සහභාගි වී අපගේ සෙසු කාර්යයන් දිවා කාලයේදී ඉටුකළ හැක.

වස් විසීම හෙවත් විවේක සමයන් ගත කිරීම යහපත් වුවද, අපට ජීවිතය ලබාදුන් අප‍ගේ මව විශේෂ කොට සියලු සත්ත්වයන් වෙතින් ලද කාරුණිකත්වයට ප්‍රති උපකාර හෙවත් කළ ගුණ දැක්වීම වැදගත් බව දේශනාවන්හි නිතර සඳහන් වේ. විශේෂයෙන් “මේක හරි කරදරයක්. මේගොල්ලො ඉක්මනට මැරෙණව නම් ඉවරයිනෙ” යන නුරුස්නා ස්වභාවය ඇතිකර ගැනීමෙන් තොරව මව්පියන් රැකබලා ගන්නා විටදී, ඔබ විසින් සුවිශාල ධනාත්මක විභවයක් ගොඩනගනු ලබයි. අපට අපගේ මව්පියන් පිළිබඳ වද වීමට අව‍ශ්‍ය නොවේ නම්, එවිට හැකිතාක් දුරට මෙසේ ලද දිවියෙන් ප්‍රයෝජන ගත යුතු වේ.

අප අතරින් බොහෝ දෙනෙකු තුළ තිබ්බතීයයන් තරම් ධර්මය කෙරෙහි කැපවීමක් හෝ බැඳීමක් නොපවත්නා අතරම එහි අගය පිළිබඳ සැබෑ ඇගයීමක්ද නොපවත්නා බැවින් බොහෝ විට තිබ්බතීය ලාමාවරු බටහිර දහම් සිසුන් එතරම් බරපතල ලෙස නොගනිති. බටහිර ජාතීහූ නිරතුරුවම “මට අද මහන්සියි. ඊළඟ සැරේ දේශනාවට යනවා” යන සිතිවිල්ල සහිත ඉහිල් ආකල්පයකින් පසුවෙති. එසේ නමුදු, සැබෑ බරපතලකමින් ගෙන මරණය හා ජීවිතය පිළිබඳ දැනුවත්භාවය පවත්වාගෙන යන්නේ නම්, අපගේ තත්ත්වය කවරක් වුවද, ධර්ම දේශනා පැවැත්වෙන සෑම දිනෙකම ඒ සඳහා සහභාගි වීමේ අවශ්‍යතාවය අපට හැ‍‍ඟෙනු ඇත.

මරණය අප කරා එමින් පවතී: සැහැල්ලු වන්න!

අපගේ වටිනා ජීවිතය අවසන් වෙමින් යයි. එය කවරදා අවසන් වනු ඇත්දැයි අපි නොදන්නෙමු. නාන කාමරයේදී හෘදයාබාධයක් සැදී මැරී වැටිය හැක. බස් රථයකට යටවී මියයා හැක. එබැවින් ජීවිතය අපතේ නොයැවිය යුතුය. මරණය පිළිබඳ දැනුවත්භාවය තුළින් කුසීත බව මැඩ පැවැත්වීමට උපකාරයක් ලැබෙන අතර, අප සතු සියලු අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට අවකාශ සලසනු ලබයි. එසේ වුවද එය සිදු කළ යුත්තේ ආතතියකින් හෝ මහා කරදරකාරී හැඟීමකින් තොරවය. අපි බොහෝ විට නොවැදගත්, සුළු දේ පිළිබඳ වද වෙමින් ආතතියට පත් වන්නෙමු. ධර්මයද දැඩිව, බරපතලව ගන්නෙමු. පිළිවෙත් පිරීමේදී අවංක විය යුතු නමුදු, එය සිදුකළ යුත්තේ සැහැල්ලු සිතිනි. මෙමගින් කුසීත වීමක් අදහස් නොකෙරේ. ධනාත්මක පුරුදු ගොඩනංවාගෙන ඇති විටදී, මරණය පැමිණි කල්හි එම පුරුදු උපකාරී වනු ඇති බව දන්නා බැවින් ගැටලුවක් ඉස්මතු නොවනු ඇත.

මරණය වූකලි ජීවිතයේ තාර්කික අවසානයයි

ඉනික්බිති, ඉගැන්වීම් බුදුන් වහන්සේගේ දේශනා හා අනුගත වන්නේදැයි තර්කානුකූලව සිතා බලන්නෙමු (තර්කානුකූලත්වය පිළිබඳ සිද්ධාන්තය). මෙසේ සිදුකරනු පිණිස අවශ්‍ය දැනුම ලබාගැනීම සඳහා අප විසින් බොහෝ දේශනාවනට සවන්දී හෝ බෞද්ධ පොත්පත් බොහෝ සෙයින් කියවා තිබිය යුතුය. බොහෝ බෞද්ධ දේශනාවන්හි අනිත්‍යය පිළිබඳ කථා කෙරෙන බැවින් එය බුදුන් වහන්සේගේ දේශනා හා අනුගත වේ.

එය තර්කානුකූලද? එසේය. සෑම දිනකම අපි මරණය කරා ළඟා වන්නෙමු. යම් අවස්ථාවක දර්ශනය අවසන් වනු ඇත. අනිවාර්යයෙන් මරණය පැමිණෙනු ඇත. මක්නිසාද, පැමිණෙන කල මරණය හරවා යැවිය හැකි හේතු සාධකයක් නොපවත්නා බැවිනි. අපගේ ජීවිත කාලය දිගු කළ නොහැකි අතර අපගේ ඉතිරි ජීවිත කාලය දිනෙන් දින, විනාඩියෙන් විනාඩිය, තත්පරයෙන් තත්පරය ගෙවී යමින් පවතී. මෙහිදී  භාවමය වශයෙන් තැවුලට පත් නොවී සැහැල්ලුවෙන් වුවද, බරපතල සේ මෙම යථාර්ථය අවබෝධ කරගත යුතුය. ධර්ම පිළිවෙත් සුරැකීම සඳහා ජීවත්ව සිටින කාලයේදී ප්‍රමාණවත් අවස්ථාවක් නොලැබුණද අපට මිය යාමට සිදුවේ. මෙලොව ජීවත්වූ යමෙකු වේද ඒ සියලු දෙනා මිය ගියහ.

ප්‍රයෝජනවත් ප්‍රතිඵල

ප්‍රතිඵලය කවරාකාරද? මරණය පැමිණෙමින් පවත්නා අතර අපට මෙම අගනා ජීවිතය ලැබී ඇති බවට සැබෑ ලෙස ඒත්තු ගන්නේ නම්, එහි ප්‍රතිඵලයක් ලෙස අපගේ කුසීත බව අඩු වී අප සතු සියලු අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගැනීමට අප යොමු කරනු ඇත. අපගේම අත්දැකීම හරහා මෙය ප්‍රයෝජනවත් දෙයක්ය යන්න අපට අවබෝධ කරගත හැක.

දේවල ස්වභාවය පිළිබඳව වූ සිවුවන සිද්ධාන්තයට අනුව, ජීවත්වන සියලු සත්ත්වයන්ගේ ස්වභාවය නම් ඔවුන් මරණයටද පත්වන බවයි. මෙයයි දේවල්හි ස්වභාවය. මෙයයි යථාර්ථය. මෙම සත්‍යය පිළිගැනීම හැර කළ හැකි අන් කිසිවක් නොමැත.

මෙම නිදසුන් මගින් දේශනා විග්‍රහ කර බැලීම සඳහා අපගේ ජීවිතය හා සම්බන්ධ කොට මෙකී සිද්ධාන්ත සතර යොදාගත හැකි ආකාරය පැහැදිලි වේ. මෙය අඛන්ඩ ක්‍රියාවලියකි. මක් නිසාද, ඒ පිළිබඳ 100%ක් ඒත්තු ගෙන එය අපගේ ජීවිතවලට ඒකාද්ධ කරගැනීම සඳහා බොහෝ කටයුතු සිදුකළ යුතුව පවත්නා බැවිනි. බුද්ධිමය වශයෙන් ‍ඒත්තු ගැනීම පහසු කරුණක් වුවද, භාවමය වශයෙන් ඒත්තු ගැනීම ඉතා දුෂ්කර කාර්යයක් වේ. සිත හා කයද එකිනෙකින් වෙනස් වේ - නිදසුනක් ලෙස, මාගේ මිතුරාගේ මරණය තුළින් ගෙනහැර දක්වන්නේ නම්, මා හට මානසිකව හා භාවමය වශයෙන් චිත්ත සාමයක් දැනෙන නමුදු මාගේ සිරුර ශක්තියෙන් හීන වී ඇති බව ‍හැ‍‍ඟේ.

එසේ වුවද, “සියල්ලෝ මිය යති” යන හැඟීම ශාරීරිකව ගැනීම දුෂ්කර කර්තව්‍යයක් වන බැවින් භෞතික මට්ටමින් ශෝකයක් පවතී. ස්වභාවිකවම වරින් වර මානසික මට්ටමින්ද ශෝකයක් ඉස්මතු වේ. අපි බුදුවරුන් නොවෙමු. විමුක්තිය ලද්දන්ද නොවෙමු. තවමත් අපි දුක පිළිබඳ කැළඹිලිකාරී භාවයන්ගෙන් නිදහස්වද නොසිටින්නෙමු. එනමුදු,  අපගේ ඉලක්කයද එයයි.

සාරාංශය

විමුක්තිය හා බුද්ධත්වය යනු කවරක්ද යන්න පිළිබඳ සැබෑ දැනුමක් ඇතිවූ විට, අපට අපගේ අරමුණ පිහිටුවිය හැක. අපට සැබෑ ලෙසම අවශ්‍ය කෙරෙන දෙය තෝරා බේරාගත් විටදී, අපට එය ළඟාකර ගැනීමේ පියවර ස්ථාපනය කරගත හැක. අප කරන දෙය පිළිබඳ නිශ්චිත භාවයක් ලබාගැනීමට උපකාරයක් ලෙස මෙම සිද්ධාන්ත සතර ප්‍රයෝජනවත් වේ. 

මරණානුස්මෘති භාවනාවෙහි නිරත වෙමින් කවර විටෙකද නොදන්නා නමුත් සැබෑ ලෙසම අප මියයන බවට වූ  අවබෝධය ලබන විටදී, සැබෑ ලෙසම වැදගත්වූ කාර්යයන් ඉටු කිරීමේ පෙළඹීමක් එමගින් ලැබේ. මරණය පිළිබඳ දැනුවත්භාවය මගින් අප තුළ නොඇදහිය හැකි තරම් වූ වෙනසක් ඇති කරන අතර, එමගින් කුසීත බවට හෝ මානසික අව පීඩනයට කිසිදු විටෙක යටත් නොවීමේ ශක්‍යතාවයද ඔබතුළ ඇති කරනු ලබයි.

Top