ධර්ම දේශනාවන්ට සවන් දීම

භාවනාවෙන් සිදු කෙරෙන කාර්යය

භාවනාව යනු අපගේ ජීවිත වෙනස් කිරීමේ හා වැඩිදියුණු කරගැනීමේ ක්‍රමයකි. එය සිදුවන්නේ කෙසේද? අපගේ ජීවන හා ආර්ථික තත්ත්වය, අප ඇසුරු කරන පුද්ගලයන් ආදී කරුණුවලින් බලපෑමට ලක්වන අපගේ පෞරුෂය හා මනෝභාවයන්හි බලපෑමට අපගේ ජීවිත ලක්වේ. අපට ‍යම් ජීවන අත්දැකීමක් ඇත්තේ නම් ඉටුකළ යුතුවන කාර්යයන්, අපගේ ධනය හා මිතුරන් වැනි බාහිර දේවල සිදුවන වෙනස්වීම් අතරද අපගේ මානසික තත්ත්වය එකසේ පවත්නේ නම්, නිරතුරු එම ගැටලුවලටම මුහුණ දීමට සිදුවන බව පෙනේ. කෙතරම් මිතුරන් සිටියද අනාරක්ෂිත හැඟීම සිත් තුළ පැවතිය හැක. කෙතරම් පොහොසත් වුවද, තවදුරටත් කෝපවීම හා ඉච්ඡා භංගත්වයට පත්වීම සිදුවිය හැක. මෙයාකාරයේ දේවල් හුදෙක් බාහිර තත්ත්වයන් වෙනස් කිරීම මගින් වෙනස් නොවේ. 

අපගේ ජීවිතවල ගුණාත්මකභාවයෙහි සැබෑ වෙනසක් ඇතිකරගත යුතු වන්නේ නම් අපගේ සිත වැඩිදියුණු කරගැනීම සඳහා කටයුතු කළ යුතුවන බැවින් මෙහිදී භාවනාව උපකාරී වේ. මෙමගින් හුදෙක් බුද්ධිමය ගුණාංග හෝ සිහිය වර්ධනය කරගැනීම හා කුසීත බව මැඩ පැවැත්වීම යන කරුණු අදහස් නොවේ. මේවාද වැඩි දියුණු කරගත යුතු වැදගත් දේ වන නමුත් අපගේ භාවමය තත්ත්වය සම්බන්ධයෙන් වැඩිදුර ගැඹුරට යාමට සිදුවේ: එනම් ජීවිතය පිළිබඳවම පවත්නා අපගේ මූලික අනාරක්ෂිත හා වියවුල් සහගත භාවයයි.

බෞද්ධ සන්දර්භයක භාවනාව

බුදු දහම තුළ පමණක් නොව බොහෝ විවිධ ක්‍රම තුළද භාවනාව හමුවේ. බෞද්ධ සන්දර්භය තුළ, නැවත නැවතද සිදු කිරීමේ ක්‍රමයක් මගින් ධනාත්මක චිත්ත ස්වභාවයක් සාක්ෂාත් කරගැනීමේ අර්ථයක් භාවනාව තුළ පවතී. එය දේවල් නැවත නැවතද සිදු කිරීමට සිදුවන මලල ක්‍රීඩා පුහුණුවක් හෝ සංගීත භාණ්ඩයක් පුහුණු වීම මෙනි. එසේ නමුදු, භාවනාව තළදී සිදු කෙරෙනුයේ ධනාත්මක චිත්ත ස්වභාවයකට අපවම හඳුන්වා දෙනු ලැබීමයි. ආරම්භයේදී එය බලහත්කාරී හා කෘත්‍රිම එකක් බව හැ‍‍ඟෙනු ඇති අතර, කල් ගතවන්නට වන්නට එම චිත්ත ස්වභාවය සමගින් වඩ වඩාත් සමීප හා හුරු පුරුදු වන අතර ඒ අනුව එය අපගේම ස්වභාවික කොටසක් බවට පත් වේ.

යම් කිසිවක් මෙයාකාරයෙන් උත්පාදනය වන්නේය යන කරුණ තුළ එහි නුසුදුසු යමක් පවත්නේය යන්නක් අදහස් නොකෙරේ. නව චිත්ත ස්වභාවයක් වැඩි වර්ධනය කරගැනීමට උත්සාහ කරන්නේ නම්, එය ස්වභාවික නොවන්නේ යැයි නොසිතිය යුතුය. වෙනස් වීමේ කිසිදු උත්සාහයක් නොදරමින් අපගේ ස්වභාවික ස්වරූපයෙන්ම සිටීම වඩාත් යහපත්ය යන්න බොහෝ දෙනෙකුගේ සිතිවිල්ලයි. එනමුදු, ස්වභාවික තත්ත්වයෙන් පවතින්නේ නම්, තවමත් ළදරු වියේ මෙන් කුඩා ජංගි කොටයක් හැඳ වැසිකිලියට යාමද කළ යුතුය. අපි එසේ නොවී ජීවිත වැඩිදියුණු කරගැනීම සඳහා විවිධ විධික්‍රමයන්ගෙන් පුහුණුව ලද්දෙමු. අපගේ සිත් සම්බන්ධයෙන්ද කළ හැක්කේ හා යුත්තේ එයයි.

සියල්ල යහපත් වනු පිණිස ස්වභාවික ආකාරයෙන් සිටිය යුතුය යන තර්කය මෙහිදී භාවිත කළ නොහැක. මක් නිසාද, ස්වභාවික ආකාරයෙන් පැවතීම තුළ නිරතුරුවම වඩාත් යහපත් ප්‍රතිඵලය අත් නොවන බැවිනි. එය ළදරුවෙකුගේ හැඬුම ඉදිරියේ කෝපව ඔහු නිහඬ කිරීම සඳහා ඔහුට පහරක් ගැසීම ස්වභාවික දෙයක් ලෙස ගැනීම හා සමානය; එය හොඳම විකල්පය නොවේ. රෑ මැදියමේ හඬා වැටෙන්නට ගන්නා අවස්ථාවේදී ළදරුවාට පහරක් ගැසීම ස්වභාවිකව ඇතිවන පළමු සිතිවිල්ල විය හැකි නමුදු, එය ක්‍රියාවට නැංවිය යුතු සුදුසු පියවරක් නොවන බව අපි දනිමු. 

ඒ අනුව, ‍බුදු දහම අධ්‍යයනය කොට පිළිවෙත් පිරීමෙහි ලා විශ්වාස කළ නොහැකි තරම් වැදගත් කාර්ය භාරයක් ඉටු කරන්නාවූ භාවනාව අප සතුවේ. අධ්‍යයනය හා භාවනාව යනු වෙන්වූ කරුණු දෙකක් ලෙස ගැනීමේ වරද නිරතුරුවම ඇතැමුන් අතින් සිදුවේ. එසේ වුවද, බෞද්ධ දේශනාවන්හිදී තත්ත්වය ‍කිසිසේත් එසේ නොවේ.


ප්‍රයෝජනවත් පුරුදු වැඩි වර්ධනය කරගැනීම

ප්‍රයෝජනවත් පුරුදු වැඩි වර්ධනය කරගනු පිණිස, අපට ඒවා කවරේද යන්න අධ්‍යයනය කිරීමට සිදුවන නමුදු, මෙම ඉගෙනීම අවසානය නොවේ. එය අප තුළට ඒකාබද්ධ කරගනිමින් අපගේම කොටසක් බවට පත්කරගත යුතුවන අතර, භාවනාව තුළ සිදු කෙරෙනුයේද එයයි. යම් ආහාරයක් මුව තුළට බහා විකන්නේ නම් විනා එය දිරවීමේ හැකියාවක් නොපවතින්නාක් මෙන්, දේශනාවන් සිත් තුළට ගෙන ඒවා පිළිබඳව සිතා නොබලන්නේ නම්, භාවනාව තුළ ඒවා ජීරණය කරගැනීමේ හැකියාවක්ද නොමැත. ආහාර සම්බන්ධයෙන් මෙන්ම, මෙහිදීද හුදෙක් විකා ඉවතට කෙළ ගසා දැමීමද ප්‍රයෝජනවත් ක්‍රියාවක් නොවේ. ආහාරයෙන් ප්‍රයෝජනයක් ලබනු පිණිස එය ගිල දමා ජීරණය කරගැනීමට සිදු වේ.

භාවනාව ආරම්භ කරන්නේ කෙසේද? පෙරදී දුටු පරිදි භාවනාව යනු කොටස් තුනකින් යුත් ක්‍රියාවලියක තෙවැනි පියවරයි. හින්දු සම්ප්‍රදා‍යේ උපනිෂද්හි මෙන් සියලු ඉන්දියානු ක්‍රමයන්හි මෙයාකාරයේ ව්‍යුහයක් දැකිය හැක. බුදු දහම තුළ භාවිත කෙරෙන විධික්‍රමයන්ගෙන් බහුතරයක් සෙසු භාරතීය ක්‍රමයන්හිද පොදුවේ දක්නට ලැබෙන්නේය යන කරුණ අගය කිරීමට බොහෝ අය අකමැති වේ. මෙම විධික්‍රම පොදු විය හැකි නමුදු, බුදු දහම තුළ අද්විතීය වනුයේ සන්දර්භයයි: එනම් අපගේ අරමුණ කවරක්ද, යථාර්ථය පිළිබඳ අපගේ අවබෝධය කවරක්ද හා අපගේ පෙළැඹුම කවරක්ද යන්නයි.

අදාළ කොටස් තුන වනුයේ ඇහුම්කන් දීම, සිතීම හෝ මෙනෙහි කිරීම හා භාවනා කිරීමයි. බෞද්ධ සන්දර්භයක් තුළ භාවනා පිළිවෙත් පුරන්නේ නම්, බෞද්ධ දේශනා පුරුදු කරගනු පිණිස එය භාවිත කරන්නෙමු.

දේශනාවන්ට සවන් දීම

පළමු කොටස “ඇහුම්කන් දීම” ලෙස හඳුන්වන්නේ ඇයි? පළමුව, බුදු රජාණන් වහන්සේගේ සමයේදී කිසිදු දේශනාවක් ලේඛනගතව නොතිබූ බැවින් ඒවා උගත හැකි එකම ක්‍රමය වූයේ පාඩම් කරගත් දේ නැවත ප්‍රකාශ කරමින් යමෙකු විසින් ඒ පිළිබඳ සිදු කරන විස්තරයනට සවන් දීමයි. වර්තමානයේ අපට සියලු දේශනා පොත පතින් කියවිය හැකි බැවින් ඒවාට සවන් දීමෙන් ලද හැකි කිසිදු ප්‍රයෝජනයක් වේද? ඇහුම්කන් දීමේ ප්‍රයෝජනය නම් සිසුන් විසින් අවබෝධ කරගැනීමේ අභිප්‍රායෙන් දේශනා පවත්වන සජීවී ගුරුවරයෙකු සමගින් සෘජු සම්බන්ධතාවයක් එහි පැවතීමයි. ඔවුනට දේවල් විවිධාකාරයෙන් විස්තර කළ හැකි අතර ප්‍රශ්න ඇත්තේ නම්, පොතක් කියවන විටදී මෙන් නොව ඔබට එම ප්‍රශ්න විමසිය හැක.

ඇහුම්කන් දීමේ පවත්නා අවාසිය නම් අවධානය ගිලිහුණහොත් එහිදී පිටු ආපසු පෙරළා බැලීමක් හෝ ප්‍රතිධාවනය කිරීමක් සිදු කළ නොහැකි වීමයි. හුදෙක් අසා ගැනීමට නොහැකි වූ බැවින්ම නැවත පසුගිය කරුණක් විස්තර කරන ලෙස විශාල ශ්‍රාවක පිරිසක් සිටින තැනක ඉල්ලා සිටීමද අපහසුතාවයට පත්වන කරුණකි. ඔබ ශාලාවේ පසුපස කොටසේ හිඳ සිටින අතර එම ස්ථානයට එතරම් පැහැදිලිව නොඇසෙනවාද විය හැක. කාමරයද ඉතා උණුසුම් තත්ත්වයක පවත්නා බැවින් ඔබට නින්ද යයි. මෙයාකාරයේ අවාසිද පවතී. එසේ නමුදු, එහි අදහස ඔබ විසින් වඩ වඩාත් උත්සාහ කළ යුතු බවයි. උත්සාහය යනු බෞද්ධ දේශනාවන් තුළ වගා දිගා කරගත යුතුවන ගුණාංගයකි. බුදු දහම ඉගෙනීම හා පිළිවෙත් පිරීම කිසිසේත් උදාසීන විධික්‍රමයක් නොවේ.

දේශකයෙකු හට ලබාදිය හැකි උපදේශය වනුයේ දේශනාව සිසුවාට පමණට වඩා පහසු එකක් බවට පත් නොකළ යුත්තේය යන්න හා පළමු අවස්ථාවේදී දේවල් ඉතා පැහැදිලිව විස්තර නොකළ යුත්තේය යන්නයි.  මා වැනි දේවල් ඉතා පැහැදිලිව දේශනා කරනු අසා සිටීමට කැමැති ඇතැමුනට ඉන් අසීරුතාවයක් ඇතිවිය හැක. මා මාගේ දේශකවරයා වූ සර්කොං රින්පෝෂේගේ භාෂා පරිවර්තකවරයා වශයෙන් කටයුතු කළ අවධියේදී එතුමා මා හට දේශනා කරන ආකාරය සිහි කල්පනාවෙන් යුක්තව ඉගැන්වූ අතර එතුමාගේ උපදෙස වූයේ “මුළදී පැහැදිලිව විස්තර කරන්න එපා. හේතුව ඔයාට මෙතනදී අවශ්‍ය වෙන්නෙ ඇල්මක් ඇතිව ආ අය අතරින් වෙනත් හේතුවලට පැමිණි අය වෙන්කර ගැනීමයි. ඇල්මක් තියෙන අය වැඩි විස්තර අහාවි. වඩ වඩාත් ඉගෙන ගන්න දැඩි උවමනාවක් තියෙන අය ඒ උවමනාව වැඩි වර්ධනය කරගැනීමයි අවශ්‍ය” යන්නයි.

සිසුවෙකු වශයෙන් තම ගුරුවරයා එතරම් පැහැදිලිව නොඉගැන්වූ බැවින් නැවත එහි නොයන බවට ඔබ මැසිවිලි නගන්නේ නම්, ගුරුවරයාගේ ගුණය විමසා බැලිය යුතු වේ. ගුරුවරයා සැබැවින්ම නුසුදුසු හා පැහැදිලිව විස්තර කරන ආකාරය නොදන්නෙක්ද? මෙවැන්නෝද බොහෝ වෙති. නොපසුබස්නා උත්සාහය හා ඉවසීම වර්ධනය කරගැනීමට ඔබ දිරිමත් කිරීමේ අදහසින් ගුරුවරයා සිතා මතාම ඔබ වෙත සියලු තොරතුරු නොදෙන්නේද? ඇහුම්කන් දීමේ සම්පූර්ණ අරමුණ දෙවැන්නයි. එනම් දේශනාවන් පිළිබඳ සිතා බැලීමයි. දේශනාවන් ස්ව උත්සාහයෙන් විමසා බැලීමේ ගුණය තමා තුළ වැඩි දියුණු කෙරෙන ලෙස ඔබ සිතීමට පොළඹවාලන පරිදි ගුරුවරයා විසින් වහා පිළිතුරු ලබා නොදෙන්නේ නම් එය වඩා ප්‍රයෝජනවත් වේ.

දේශනා විභාගකර බැලීම

දේශනා විභාගකර බලා ඉන් ඔබට යමක් අර්ථවත් වන්නේද යන්න සොයා බැලීම අතිශයින් වැදගත් දෙයකි. ඔබ ඒ පිළිබඳ සිතන දෙය දකිමින් ඉන්පසු ඔබගේ සිතිවිලි සඳහා ප්‍රතිපෝෂක ලබාගන්න. මෙය විශාල කණ්ඩායමක් සිටින තැනෙකදී දුෂ්කර කාර්යයක් වන අතර ඔබ ගුරුවරයා දකින්නේ වසරකට වරක් නම් කාර්යය වඩාත් දුෂ්කර වේ. මෙහිදී මා කථා කරනුයේ උත්කෘෂ්ට තත්ත්වය කවරක්ද යන්න පිළිබඳවය. දේශකවරයා නිරතුරු එම ස්ථානයේ නොරඳන බොහෝ බෞද්ධ මධ්‍යස්ථානයන්හි ඔබට කියවීම හා ශ්‍රව්‍යමය දේ මත රඳා පැවතීමට සිදුවන අතර ඒවායින්ද අපට බොහෝ දේ උගත හැකිවේ. එම ද්‍රව්‍ය හුදෙක් නවකථාවක් හෝ නාන කාමරයේදී කියවන දෙයක් ලෙස නොසලකන අතර අපි ඒවා ගෞරව සම්ප්‍රයුක්ත චිත්ත ස්වභාවයක් සහිතව කියවන්නෙමු. සෙමින් කියවා බලා ඒවාහි අන්තර්ගත කරුණු පිළිබඳ සිතා බලන්නෙමු. ඔබ ගුරුවරයෙකු රහිතව යම් මධ්‍යස්ථානයක සිටින්නේ නම්, එවිටද ඔබට වැදගත් කරුණු කියවීම හා එක්ව සාකච්ඡා කිරීම සිදුකළ හැක. ඇතැම් පුද්ගලයන් කරුණු පිළිබඳ වැඩි වැටහීමක් සහිත අය විය හැකි බැවින් ඔවුනට අන් අය වෙත කරුණු පැහැදිලි කළ හැක. කිසිදු බෞද්ධ මධ්‍යස්ථානයකට නොයන හා අප සමග ගැවසෙන්නන් සමග වාසය කිරීමට අකමැති “නිවාස අහිමි පිළිවෙත් පුරන්නන්” ලෙස හැඳින්වෙන අය අතරට අපද අයත් වන්නේ නම්, අපට යෝග්‍ය අන්තර්ජාල බෞද්ධ සාකච්ඡා කණ්ඩායමකට සම්බන්ධ වීමෙන් යම් ප්‍රයෝජනයක් ලැබිය හැක.

අන්‍යයන් සමග සිදුකරන මෙවන් අන්තර් සම්බන්ධතා බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වේ. නොඑසේ නම් දේශනා යනු සැබෑ දිවියට සම්බන්ධයක් නොමැති ඉතා ප්‍රබුද්ධ ඒවා පමණක් විය හැක. අපට මේ කරුණ බරපතල ලෙස ගැනීමට සිදු වේ. මෙමගින් අප එහි ගල්ගැසී, සිනහ නොවී සිටින බවක් නොඇඟවේ. ඉන් අදහස් කෙරෙනුයේ ධර්මය පිළිබඳ සාකච්ඡා කිරීමේ ගැඹුරට අප සැබෑ ලෙස පිවිසිය යුතු බවයි. යමෙකු විහිළුවක් කළ විට හෝ යමෙකුට අත් වැරදීමක් සිදුවූ විට අපට සිනාසිය හැක.

ඇතැම් බටහිර ජාතීනට මෙය, එනම් එකම අවස්ථාවේ ඉහිල්ව මෙන්ම ගම්භීරවද සිටීම, සිදුකිරීමට බොහෝ දුෂ්කර කාර්යයකි. ඒ වූකලි දේශනා ඔබගේ ජීවිතය හා බද්ධ කරගන්නා ආකාරය පිළිබඳ දර්ශකයකි. එහි එක් මූලික අවශ්‍යතාවයක් වනුයේ ඔබ වඩාත් ප්‍රීතිමත් අයෙකු බවට පත් කිරීමයි. යුද හමුදාවේ සේවය කරන කලදී මෙන් බොහෝ විධිමත් පරිදි සියල්ල සිදු කරන්නට උත්සාහ කරන්නේ නම්, එහි ප්‍රීතිමත් චිත්ත ස්වභාවයක් පැවතිය නොහැක. අප සර්ව සම්පූර්ණ නොවන අතර අත් වැරැද්දක් සිදුවී එයට දඬුවම් ලැබෙනු ඇතැයි ආදී වශයෙන් වූ බියක් අප තුළ පවතී. එය බුදු දහම නොවේ.

මුණින් අතට හැරවූ මල් බඳුන, කිලිටි මල් බඳුන, ඉරි තැලුණ මල් බඳුන

නැවතද ඇහුම්කන් දීම පිළිබඳව සලකා බලමු. මල් බඳුනක් සේ වීමෙන් වැළකී සිටීමේ පදනමින් දේශනාවලට ඇහුම්කන් දෙන ආකාරය පිළිබඳ අපි උපදෙස් ලබා ගන්නෙමු. පළමුව, අප මුණින් අතට හැරවූ මල් බඳුනක් සේ නොවිය යුතුය. මක් නිසාද, එවිට කිසිවක් සිදු නොවන බැවිනි. එබැවින් විවෘත මනසක් පවත්වාගත යුතුය. ඇතුළට වක්කරනු ලබන සියල්ල එසැණින් පිටතට කාන්දු වී යන ඉරි තැළුණු මල් බඳුනක් මෙන්ද නොවිය යුතුය. අවසන, දේශනා මුළුමනින්ම අවුල් කිරීමට සමත්වන බොහෝ වූ පූර්ව සංකල්පනා සහිත කිලිටි මල් බඳුනක් බවටද අප පත් නොවිය යුතුය.

බෞද්ධ දේශනාවනට සවන් දෙන විටදී, ඔබ ඒවා වෙනත් ක්‍රමයන් සමග සන්සන්දනය කිරීමෙන් වැළකිය යුතුය. හින්දු ආගමේ මෙසේ පැවසෙන බව හෝ තා‍ඕ දහමේ එසේ පැවසෙන බව ඔබ නොසිතිය යුතුය. ම‍ාගේ එක් ගුරුවරයෙකු නිතර පැවසූ දෙයක් නම් “ඔබ කිසිසේත් අවබෝධ කරගෙන නොමැති යම්කිසි දේවල් දෙකක් සන්සන්දනය කරන්නට උත්සාහ කරන්නේ නම් එහි කිසිදු අර්ථයක් නොමැත. ඉන් සිදුවන්නේ ඔබගේ සිත ව්‍යාකූලත්වයට පත්වීම පමණි.” යන්නයි. ක්‍රම දෙකක් පිළිබඳ පූර්ණ අවබෝධයක් පවත්නේ නම්, එවිට ඔබට යම් වටිනාකමක් සහිත සන්සන්දනයක් සිදුකළ හැක. කෙ‍සේ වුවද,  බෞද්ධ දේශනා අවබෝධ කරගෙන නොමැත්තේ නම්, ඔබ විසින් පළමුව “ඒක අර විදිහද, නැත්නම් අනිත් විදිහද” ආදී ලෙස වූ සිතිවිලි බැහැර ක‍ොට හුදෙක් දේශනාවලට සවන්දීම පමණක් සිදු කරන්න. නොඑසේ නම්, වැරදි පමණක් නොව අදාළද නොවිය හැකි පූර්ව සංකල්පනාවන් තුළට ඔබ මුහුවනු ඇත.

ඉරිතැලීම් සහිත මල් බඳුනක් ‍මෙන් නොවන ලෙස උපදේශය තුළ ප්‍රකාශ වන විටදී, එමගින් අදහස් කෙරෙනුයේ උගත් දේ මතකයේ නොපවතින තත්ත්වයකි. බොහෝ අය සටහන් ලියා ගැනීම ප්‍රයෝජනවත් දෙයක් සේ සලකන නමුත් එසේ සටහන් ලියා ගන්නේ නම් පසුව මෙම සටහන් කියවා බැලීම යහපත් වේ. කෙසේ වුවද, අපට සැබෑ ලෙසම යහපත් මතකයක් පවතින්නේ නම් විනා, අත්‍යවශ්‍ය කරුණු සටහන් කර තබාගැනීම යහපත්ය.

විභාගයකට පෙනී සිටීමට සූදානම්ව සිටින්නේ නම් විනා යමක් ඉගෙනීමට උත්සාහයක් නොගන්නා බටහිර රටවල මනෝ විද්‍යාත්මක තත්ත්වය පිළිබඳ සලකා බැලීමද සිත් ගන්නා සුළු එකකි. අප විභාගය සමත්වනු පිණිස ඉගෙන ගන්නා අතර වංචාවක් වුව කළ හැක්කේ නම් නොකරන්නේ මන්ද? එවන් තත්ත්වයක් මෙහිදී සාර්ථක නොවේ. මෙහි විභාගයක් හෝ ඉහළ ශ්‍රේණි ලබාදීමක් හෝ ගුරුවරයාගේ අනුමැතියක් හෝ නොමැත. වැදගත් එකම දෙය නම් අපි අපගේම දියුණුව උදෙසා වූ ප්‍රයත්නයක යෙදෙන බවයි. බුදුන් වහන්සේ කෙරෙහි සැබෑ විශ්වාසයක් අප තුළ පවත්නේ නම්, උන් වහන්සේ විසින් දේශනා කරන ලද කවරක් හෝ දේශනා කරන ලද්දේ අනුන්ගේ යහපත උදෙසාය. අනුන් හා තරගයක් නොපවතින අතර අප හා ගලපා ගනිමින් දේශනාවන් පිළිබඳ සලකා බැලීම පමණි කළ යුත්තේ. “අරයට තරහ යනවා. මං නම් එහෙම නෑ.”යි නොසිතන්නෙමු. ධර්ම කණ්නාඩියෙන් පිළිබිඹු විය යුත්තේ ඔබ විනා බාහිර දේ නොවේ.

ඖෂධ සමගින් සන්සන්දනය

තමා රෝගියෙකු ලෙසද, බුදුන් වහන්සේ ගුරුවරයා හා වෛද්‍යවරයා ලෙසද බුදුන්ගේ දේශනා ඖෂධ ලෙසද සැලකීම දේශනාවනට සවන් දිය යුතු ආකාරය පිළිබඳ තවත් උපදේශයකි. උසස් අවබෝධයක් සහිත පුද්ගලයන් උපකාර කරන සාත්තු සේවකයන් ලෙසද අපට සැලකිය හැක. වඩාත් සරල වදනින් ප්‍රකාශ කරන්නේ නම් බුදු දහමට අදාළ පිළිවෙත් පිරීම ආරම්භ කරනුයේ “මා හට ගැටළු ඇත” යන හඳුනා ගැනීමක්ද සහිතවය. අපට අපගේ ආත්මාර්ථය හෝ කෝපය හෝ එවැනි යම් ස්වරූපයකින් එන රෝගී බවක් පැවතිය හැකි අතර ඉන් මිදිය යුතුව පවතී. බුදුන් වහන්සේ අසහාය වෛද්‍යවරයා වන අතර මම මේ ආශ්චර්යමත් ඔසු පිළිගනිමි. එපමණක් නොව උපදෙස් ප්‍රකාර ඒවා පානය කරමි. එක් දවසක් හෝ අපතේ නොයවන නමුත් මුළු බෝතලයම මොහොතින් පානය කොට අවසන් කළ නොහැකි බවද දනිමි. බුදු දහමට අනුව පිළිවෙත් පිරීම යනු විෂබීජ නාශක ගැනීම වැනිය. ඒවා පාවිච්චි කළ යුත්තේ යම් වේලාවකට යම් ප්‍රමාණයකින් පමණි. අතරමග නතර කරලන්නේ නම් හෝ අතරමැද දින මඟ හරින්නේ නම් ඉන් ප්‍රයෝජනයක් නොලැබෙනු ඇත. බුදු දහම වෛද්‍ය තත්ත්වයක් සේ දැකී‍ම පිළිබඳ එක් උදාහරණයක් පමණි මෙය.

තවත් උපදේශයක් වන්නේ දේශනා ශ්‍රවණය කරන විටදී අප ශුද්ධ භූමියක සිටින බවත් බුදුන් වහන්සේ අපගේ ගුරුවරයා බවත් අප වෙත ලැබෙන ගුරු ඔවදන් ශුද්ධ වූ ඒවා බවත් සිතින් සිතාගැනීමයි. ගුරුවරයා සැබැවින්ම බුදුන් වහන්සේ වන බවක් සිතිය යුතුයැයි මින් අදහස් නොවේ. එහි අදහස නම් අප තුළ උන් වහන්සේ හා උන් වහන්සේගේ දේශනාවන් මෙන්ම අප කෙරෙහිමද ගෞරවාන්විත හැඟීමක් පවත්නා බවයි. යම් බරපතල කාර්යයක් සිදු කරන්නේ නමුදු දුක්මුසු හැඟීමකින් එහි හිඳගෙන සිටිය යුතු බවක් ඉන් අදහස් නොවේ. ඒ වෙනුවට උණුසුම් හා බඩු බාහිරාදියෙන් පිරි කාමරය අමතක කොට හුදෙක් විවෘත මනසකින් අපට ඉගැන්වූ දේ පිළිබඳ අවධානය යොමුකළ හැක.

විවෘත මනසක් පවත්වාගෙන යාම

රන් මිලදී ගන්නා සේ සලකා දේශනා විමසා බැලිය යුතු බව බුදුන් වහන්සේ විසින් තරයේ ප්‍රකාශ කරන ලදී. යමෙකු පිළිබඳ පවත්නා විශ්වාසය හේතුකොට ඔහු විසින් ප්‍රකාශ කරන කිසිවක් නොපිළිගත යුතුය. මෙසේ සිදුකිරීම සඳහා අපගේ මනස විවෘතව පැවතිය යුතු අතර, හුදෙක් විනෝදය පිණිස අමනෝඥ කරුණු බුදුන් වහන්සේ විසින් දේශනා නොකරනු ඇති බවට වූ පූර්ව නිගමනයක්ද පැවතිය යුතුය. එවන් චිත්ත ස්වභාවයක් සමගින්, ඉනික්බිති දේශනාවන්හි අන්තර්ගතය අපට විමසා බැලිය හැක. ඉන්පසු සත්‍ය හා ප්‍රයෝජනවත් සේ පෙනෙන දේ යොදාගත හැක. පෙර හා මතු භවයන් සම්බන්ධ පූර්ව නිගමනයනට අදාළ නිදසුනක් දක්වමි.

මා බටහිර පන්නයට හැදී වැඩුණු අයෙකු වන අතර බුදු දහම ඉගෙනීම ආරම්භ කළ සමයේ සැබැවින්ම පෙර හා මතු භවයන් පිළිබඳ විශ්වාසයක් නොතිබිණි. බටහිර රටවල බොහෝ අයගේ චින්තන විලාසයට එය ආගන්තුක සංකල්පයකි: ඔවුන් යම් මතු භවයක් පිළිබඳ කල්පනා කරන්නේ නම් එය බොහෝ දුරට ක්‍රිස්තියානි දෙව්ලොව හෝ අපාය වර්ගයේ ස්ථානයක් පිළිබඳ සංකල්පයකට එහා නොගිය එකක් විය. එසේ නමුදු දේශනාවන්හි සියලු දෙනා පෙර භවයන්හි මාගේ මව සේ මා හට සම්බන්ධ අය වී ඇති බව සිතිය යුතු බව ප්‍රකාශ කෙරෙන අතර ඒ අනුව ඔබට එය හුදෙක් ජනේලයෙන් ඉවතට විසි කොට දැමිය නොහැක.

ආරම්භයේදී මා මෙම සංකල්පයට ප්‍රවේශ වූයේ මෙවන් සිතිවිල්ලකිනි: “හොඳයි. දැනට මට නොතේරුණත් පුනර්භවය ගැන මේ අදහස නිවැරදි බවට දැනට උපකල්පනය කරනවා. ඒ ගැන නිදහසට කරුණු කියන්න හෝ එය පාපිස්නාව යට සඟවා තබන්නට යනවාට වඩා ඒක තේරුම් ගන්න උත්සාහ කරන්නම්”. කල් ගතවත්ම, පුනර්භවය පදනම් කොට ගොඩ නැගුණු සියල්ල සැබෑ ලෙස ප්‍රයෝජනවත් හා නිවැරදි වන බැවින් පුනර්භවය පිළිබඳ අදහසත් සත්‍ය විය හැකි බව දැකීමට මා හට හැකිවිය.

පුනර්භවයක් ඇතිවනුයේ කවරක් සම්බන්ධයෙන්ද යන්න පිළිබඳ බුදුන් වහන්සේගේ දේශනාවන් පවා නොදන්නා පසුබිමක පුනර්භවය අවබෝධ කරගත නොහැකි බව පසු කාලීනව සැබෑ ලෙස අවබෝධ වේ. එම ගැඹුරු මට්ටමට ගොස් එහි සිට බැලූ කල්හි අපාය, ප්‍රේත ලෝක ආදියෙහි අර්ථය අවබොධ වේ. සිතෙහි ස්වභාවය අපට අවබෝධ නොවන්නේ නම්, එවිට ඒ කිසිවක කිසිදු අර්ථයක් දැකිය හැකි නොවේ. එබැවින් අවබෝධ නොවීම හෝ බොහෝ ආගන්තුක බව පෙනෙන බැවින්ම වහා දේශනාවන්හි කොටසක් ප්‍රතික්ෂේප කිරීමට උත්සුක නොවීම වැදගත් වේ. විවෘත මනසක් පවත්වාගෙන යමින් එකිනෙක වෙන්කොට දැකීමේ අවබෝධය පවත්වාගෙන යාම යනු මෙයයි: “ඔව් මේක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. උන් වහන්සේ පුනර්භවය ගැන දේශනා කළා. කණගාටුයි, මං ඒකට කැමති නොවෙන්න පුළුවන්, ඒත් ඒක එහෙමයි, බුදු දහම ගැන ගැඹුරින් හදාරන්නට අවශ්‍ය නම් අවබෝධ කරගන්නට අවශ්‍ය නම් මේ තත්ත්වයත් එක්ක කටයුතු කරන්න මං සූදානම්”.

සාරාංශය

බෞද්ධ පෙළ පොත්හි අපට හමුවන උපදේශ බුදු දහම ඉගෙන ගන්නා අවස්ථාවන්හි පමණක් නොව එදිනෙදා ජීවිතය සඳහාද ප්‍රයෝජනවත් වේ. කිළිටි වූ හෝ ඉරි තැළුණු මල් බඳුනක් සේ වීමෙන් කිසිදා කිසිදු ප්‍රයෝජනයක් අත් නොවේ. අපගේ ජීවිත තුළ බුදු දහම ප්‍රායෝගිකව භාවිත කිරීම ශ්‍රවණයෙන් ආරම්භ කෙරෙන සක්‍රීය වැඩ පිළිවෙලකි. මෙම කාර්යය සිදු කළ කල්හි, දියමන්ති මාලයක් මිලදී ගැනීමට අවශ්‍ය අවස්ථාවකදී ක්‍රියා කරන්නාක් මෙන් මේ දක්වාද සම්පූර්ණයෙන් අවබෝධ නොවන්නාවූ මාතෘකා පිළිබඳ විවෘත මනසක් පවත්වාගෙන යමින් අපට සැබෑ ලෙසම දේශනා විභාග කොට බැලිය හැක.

Top