භාවනාවේදී අවශ්‍ය වන මානසික සාධක

විමසුම්කාරී භාවනාව

පොදු‍වේ භාවනාව තුළ අදියර දෙකක් අන්තර්ගත වේ: විමසුම්කාරී භාවනාව හා ස්ථායිකරණ භාවනාව වශයෙනි. විමසුම්කාරී භාවනාව තුළ අප හඳුනාගැනීමට උත්සාහ කරන චිත්ත ස්වභාවයක් ගොඩනගා ගැනීම සදහා චින්තන ක්‍රියාවලියේදී සිදුකළ පරිදි ක්‍රමිකව ඉදිරියට ඇදෙන පියවරයන් හෝ හේතු තර්කානුකූලව විමසා බැලී‍මේ විධි ක්‍රමයක් මගින් කටයුතු කරන්නෙමු. කරුණාව සම්බන්ධයෙන් සලකා බලන කල, අපි අපගේම දුක පිළිබඳ සිතීම තුළින් ආරම්භය ගන්නා අතර ඉන් මිදී‍මේ අධිෂ්ඨානය උපදවා ගන්නෙමු. ඉන්පසු, මෙය පදනම් කරගනිමින් අප වටා සුවිශාල සත්ත්ව සංඛ්‍යාවක් සිටින තත්ත්වයක් සිතින් මවාගනිමින් පළමුව සියල්ලන් වෙත ඇල්මකින්, පිළිකුළකින් හෝ උපේක්ෂාවකින්ද තොරව අපගේ සිත් හා හදවත් විවර කරන්නෙමු. ඉන්පසු, මෙකී සියලු සත්ත්වයන් පිළිබඳ තවදුරටත් අවධානය පවත්වා ගනිමින්, ඒ සියල්ලන් මත අපගේ අන්තර් සම්බන්ධතාවය හා අන්තර් රඳා පැවැත්ම සිහි කිරීමෙන් ඇරැඹෙන වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යන්නෙමු.

ඉනික්බිති, මෙම සත්ත්වයන් මත වූ අවධානය නොකඩවා පවත්වාගෙන යමින්ම, ඔවුන් අත්දකින සියලු දුක් සිහි ගන්වමු. එබැවින්, ඔවුන් නිරතුරුවම අසතුටින් හා ඉච්ඡා භංගත්වයෙන් පසුවන අතර, ඔවුන් සතුව පවත්නා යම් සතුටක් පවත්නේ නම් එය කිසි විටෙක හෝ නොවෙනස්ව නොපවතින අතර, තෘප්තියටද පත් නොවේ. ඔවුන් සතුටු වීමට උත්සාහ කරන නමුදු, සිය පෙනුම පිළිබඳව වද වෙමින් වඩ වඩාත් භෞතික දේ රැස් කිරීම ආදී වශයෙන් සතුටු වීම උදෙසා සිදු කරන කවර දෙයක් හෝ සාර්ථක නොවේ; එමගින් සිදුවනුයේ වඩ වඩාත් ගැටලු ඉස්මතුවීම පමණි. සෑම අයෙකුම ආත්මාර්ථකාමී වුව‍හොත් සියල්ලන් දුකට පත්වන බැවින් සියල්ලන් එකම තත්ත්වයක පසුවන අතර එකිනෙකාගේ උපකාර අවශ්‍ය වන බව අපටම සිහි කැඳවා ගන්නෙමු.

මෙයාකාරයෙන් කරුණාව දැනීමේ මට්ටමට අපගේ මානසිකත්වය ගොඩනගා ගන්නා අතර ඒ තුළින් සියල්ලන් සමසේ දුකින් මිදේවාය යන පැතුම හා ඊට අමතරව ඔවුන්ගේ ගැටළු සමනය කිරීමට උපකාරී වනු පිණිස යමක් සිදු කිරීමට පුද්ගලිකව කටයුතු කරන්නෙමුය යන අපේක්ෂාවද සහිතව මේ සුවිශාල සත්ත්ව සමූහයා වෙත අපගේ අවධානය යොමු කරන්නෙමු.

විමසුම්කාරී භාවනාව තුළ ඉනික්බිති මෙම සත්ත්ව සමූහයා පිළිබඳ කරුණා පෙරදැරිව අවධානය යොමු කිරීමේ කාර්යය නොකඩවා සිදුකරන නමුදු, ඒ හා සමාන්තරවම, අපගේ කරුණාව දැනීමේ මට්ටම දක්වා වූ වර්ධනය ලබාගනු පිණිස පසුකළ සියලු කරුණු හා විස්තරද දකිමින් හඳුනාගන්නා හැඟීමෙන්ම ඥාණනය කරන්නෙමු. මෙම කාර්යය සඳහා අපගේ කාරුණික චිත්ත ස්වභාවය තුළ දළ විමසුම් හා තියුණු විමසුම් සාධක අන්තර්ගත වේ. පළමු සාධකය තුළ හු‍‍දෙක් හඳුනාගැනීමේ මට්ටමින් අප‍ි අරමුණු කරන වස්තුව, මෙහිදී ඒ සියලු දෙනා දුක් විඳින බවට වූ කරුණ, පරීක්ෂා කරන්නෙමු.  දෙවනු කී සාධකය තුළ ඔවුන් අත් විඳින්නාවූ විවිධාකාර දුක් සියල්ල සවිස්තරාත්මකව වෙන්කොට හඳුනා ගන්නෙමු. මෙම සාධක දෙකේ සම්බන්ධයෙන් එක් එක් කරුණ පිළිබඳව වෙන් වෙන් වශයෙන් දැකීමක් හෝ අපගේ සිත් තුළ වචනවලට හැරවීමක් හෝ නොමැතිව නමුදු, සවිස්තරාත්මක, ගැඹුරු අවබෝධයක් වැනි වූ එක් චිත්ත ස්වභාවයකට ඒකාබද්ධ වූ මෙම වස්තුව පිළිබඳ සියලු කරුණු දකිමින් හඳුනා ගන්නෙමු. මෙම විස්තර සම්බන්ධ අපගේ පරීක්ෂාව හා දැක්ම දුර්වල වුව‍හොත්, ඒ සියලු කරුණු එකින් එක නැවත සිදුකරමින් දළ පරීක්ෂාව හා තියුණු දැක්ම සහ සමාධිය යන අංගයන්ගෙන් සපිරි කරුණාව නැවතද වරක් උත්පාදනය කරන්නෙමු.

ස්ථායිකරණ භාවනාව

විමසුම්කාරී භාවනාව ස්ථායිකරණ භාවනාව සමගින් සිදු කරන්නෙමු. දැන් එම කරුණාවම පෙරදැරිවම හා ඔවුන් දුක් විඳින්නේය යන වැටහීම හා සිහියද සහිතව නමුදු, මෙවර දළ පරීක්ෂාව හෝ තියුණු දැක්ම රහිතව මෙම සත්ත්ව සමූහයා පිළිබඳ තවදුරටත් අවධානය ‍යොමු කරගෙන සිටින්නෙමු.

එයයි භාවනා ක්‍රියාවලිය; එනම් ඔබ යම් කිසිවක් හා ඒකාබද්ධ වී එයට පුරුදුවන ආකාරයයි. යම් වස්තුවක් මත අවධානය යොමු කරන්නාවූ හෝ යම් චිත්ත ස්වභාවයක සිහිය රඳවා පවත්වාගන්නා භාවනා වර්ගයක් හෝ මෙම දෙවර්ගයම සම්බන්ධ කරන්නාවූ භාවනා වර්ගයක් පිළිබඳව කථා කරන්නේ වුවද, මෙම සියලු ක්‍රියාවලි හා සියලු විස්තර එපරිදිම නොවෙනස්ව පවතී.

විමසුම්කාරී හා ස්ථායිකරණ භාවනා එකිනෙකින් වොන‍්කොට හඳුනා ගැනීම

පරම පූජනීය දලයි ලාමා වහන්සේ විසින් ඔබගේ චිත්ත ක්‍රියාකාරිත්වයේ පවත්නා ශක්තියට අනුව විමසුම්කාරී හා ස්ථායිකරණ භාවනා අතර පවත්නා වෙනස විස්තර කරයි. මේ වූකලි මෙම දෙවර්ගය අතර වෙනස දැක්වීමේ ඉතා සුමට හා පිරිපහදු ක්‍රමයකි. විමසුම්කාරී භාවනාවේදී යමක් පිළිබඳ සවිස්තරාත්මකව හෙවත් සියලු විස්තර සහිතව විමසනු ලබන්නේය යන අරුතින් ඔබගේ අවධාන‍යේ ශක්තිය පිටතට ගමන් කරයි. ස්ථායිකරණ භාවනාවේදී, විමසුම්කාරී භාවනාව තුළින් යොමු කරනු ලබන ප්‍රධාන කරුණු මත වූ සිහිය පදනම් කරගනිමින්, අවධානය යොමු කෙරෙනුයේ භාවමය හැඟීම හෝ වැටහීම ඇතුළතට ගිලී යාමය යන අදහස සහිතව ඔබගේ අවධානයට යොමුවන කරුණ සම්බන්ධ ශක්තිය ඇතුළතට විහිදේ. මෙහිදී විමසුම්කාරී භාවනාවේදී මෙන් සවිස්තරාත්මකව ශක්තිය විහිදීමක් සිදු නොවන අතර, එය පටු හා ප්‍රධාන කරුණ මත නාභිගතවූ තත්ත්වයක් පවතී.

ශක්තිය යම්කිසි ආකාරයකට සවිස්තරාත්මකව පිටතට විහිදෙන පරිදි යමෙකු පිළිබඳ විමසුම්කාරී වීම හා ශක්තිය වඩාත් නාභිගත කෙරෙන පරිදි එම කරුණාව ස්ථායිකරණය කිරීම අතර වෙනස දැකීමට හැකිවීම ඉතා සංකීර්ණ කාර්යයක් වේ.  මේ වූකලි සිත නිශ්චල කිරීම තුළින් පැන නැගෙන එක්තරා ප්‍රයෝජනයකි. ඔබගේ හිස තුළ ක්‍රියාත්මකව පවත්නා සියලු ශබ්දයන් (අනවරත කථාබහ, අනවරත අදහස් දැක්වීම්, ඔබගේ අයි පෑඩය භාවිතයෙන් නිරන්තරයෙන් සංගීත නඳ පැවැත්වීම ආදිය) නිහඬ කිරීමේ කාර්යයෙහි ලා යම් කිසි මට්ටමක හෝ සාර්ථකත්වයක් අත්පත් කරගන්නේ නම්, එවිට ඔබට ඔබගේ ශක්තිය කෙරෙහි සංවේදී වීම ආරම්භ කළ හැකි අතර, ඔබගේ මානසික ශක්තිය පවත්නේ කවර ස්වභාවයකද යන්න පැවසිය හැක.

ඔබගේ ශක්තිය කෙරෙහි සංවේදී වීම ආරම්භ කළ හැකි ‍යහපත්ම විධික්‍රමය වනු‍යේ ශක්තිය ව්‍යාකූලද තැන්පත්ද යන කරුණ මත අවධානය යොමු කරගෙන සිටීමයි. නිදසුනක් ලෙස, තරහව, බිය, සාංකාව, ලෝභය හෝ අහංකාරය වැනි කැළඹිලිකාරී හැඟීමක බලපෑමට යටත්ව ක්‍රියා කරන්නේද, එසේ නොවන්නේද යන්න පරීක්ෂා කිරීමේ ක්‍රමය වනුයේ ඔබගේ ශක්තිය සාමකාමී එකක් නොවීමයි. යමෙකු සමගින් කථා කරන විටදී, ඔබගේ ශක්තිය යම් සුළු මට්ටමකින් කැළඹී ඇති බව දක්වන පරිදි උදරයේ තද ස්වභාවයක් දැනේ නම් යම්කිසි කැළඹිලිකාරී හැඟීමක් පවත්නේය යන්න පිළිබඳ එය මනා හෝඩුවාවකි. ඔබ යම්කිසි පුද්ගලයෙකු ආකර්ශනය කරගැනීමට හෝ යමක් ඔවුන් වෙත ඒත්තු ගැන්වීමට උත්සාහ කරනවා විය හැක. නොඑසේ නම් යම් විරෝධාකල්පයක් පවතිනවා විය හැක - ඒ අතරින් කවරක් විසින් හෝ දක්වනුයේ ඔබගේ සිත තුළ යම් කැළඹිලිකාරී දෙයක් ක්‍රියාත්මකව පවත්නා බවයි. යම්කිසි වරදක් පවත්නා බව හඳුනාගැනීමට හැකිවන විටදී, ඔබට ඔබගේ සිතිවිලි ක්‍රියාදාමය නැවත ආරම්භ කිරීමට හෙවත් අන් අයුරකින් ප්‍රකාශ කරන්නේ නම් ඔබගේ සිත නැවත ශත්කිමත් කරගැනීමට හා ඔබගේ අන්තර් ක්‍රියාව පිටුපස පවත්නා හැඟීම වෙනස් කරගනිමින් වඩාත් සුවදායී හැඟීම් ඒ වෙනුවට ආදේශ කිරීමට අවස්ථාවක් අත්පත් වේ. විශේෂයෙන් යමෙකු සමගින් සිදුකරන අන්තර් ක්‍රියාවකදීය සැබෑ ලෙසම ඔබට කැළඹිලිකාරී හැඟීම් පරීක්ෂාවට ලක්කළ හැකිවිය යුත්තේ. කල් ගතවීමේදී පුහුණුවද සමගින් විමසුම්කාරී භාවනාවේ පිටතට හැරුණු පැතිරුණු ශක්තිය හා ස්ථායිකරණ භාවනාවේ පවත්නා ඇතුළතට යොමුවූ වඩාත් පටු ශක්තිය අතර වෙනස හඳුනාගැනීමට තරම් අවසානයේ ඔබ සංවේදී වනු ඇත.

සමාධිය අත්කර ගැනීම සඳහා අවශ්‍යවන සාධක

සමාධිය ලබාගැනීම සඳහා අවශ්‍යවන සාධක විමසුම්කාරී හා ස්ථායිකරණ භාවනා වර්ග දෙකටම පොදු වේ. බෝධිසත්ත්ව චර්යාවෙහි නියැළීම නම්වූ සිය ග්‍රන්ථයෙහි ශාන්තිදේවයන් විසින් ඒවා ආචාර ධාර්මික විනය ගොඩනගා ගැනීමේ සන්දර්භය තුළ සාකච්ඡා කරනු ලබයි. ඒ අනුව, පළමුව අප ක්‍රියාකරන හා කථාකරණ ආකාරය පිළිබඳ අපගේ දළ චර්යාව තුළ මෙම විධික්‍රම ගොඩනගාගෙන ඉනික්බිති ඒවා අපගේ සිත් තුළට අදාළ කරගත යුතුය.

මෙම අවස්ථා දෙකෙහිදීම අපට අවශ්‍ය කරන හා අප විසින් භාවිත කරන ප්‍රධාන මානසික සාධකය සතිය වන අතර එය යම් චිත්ත ස්වභාවයකට හෝ චර්යා රටාවකට ඇලී පවත්නා මානසික මැලියමක් මෙන් වේ. ඒ වූකලි “මතක තබාගැනීම”ට සමාන වචනයක් වුවද, අපගේ මතක ලිපිගොනු තුළින් යමක් ඉවතට ගෙන නැවත එය සිහි කිරීමේ ආකාරයෙන් වූ මතක තබාගැනීමක් මෙහිදී අදහස් නොකෙරේ. ඒ වූකලි යමකට ඇලී පැවතීමයි; මතක තබාගැනීමයි. අපගේ අවධානය පවත්වාගෙන යනු ලබන වස්තුව හෙවත් අරමුණ හා මනස එය හා සම්බන්ධවන ආකාරය සඳහා යම් මානසික මැලියමක් පැවතිය යුතුය.

සතිමත්බව සහිතව භාවනා කිරීමේදී අපගේ මනස රඳවාගන්නා දෙය පිරික්සන්නෙමු. ෂොංඛපා විසින් විස්තර කරන පරිදි, මෙහිදී පොදුවේ අපගේ චිත්ත ස්වභාවය කැළඹිලිකාරී හැඟීම්, මනස අයාලේ ගමන් කිරීම හෝ මානසික උදාසීනබව යන කාරණාවන්හි බලපෑමට යටත්ව පවත්නේද යන්න විමසා බලනු පිණිස දළ පරීක්ෂාව නමැති මානසික සාධකය ක්‍රියාවෙහි යොදවනු ලබයි. ඔහු විසින් තියුණු ලෙස විමසා බැලීම වෙනුවට දළ පරීක්ෂාව නිශ්චිතව දක්වීම වැදගත් කරුණකි. තියුණු විමසීමකදී අවධානය යොමුකරනු ලබන වස්තුව මත මූලිකව නොපිහිටන පරිදි වඩාත් සූක්ෂම විස්තර පරීක්ෂා කිරීමෙහි පමණට වඩා නියැලිය හැක. අරමුණ ගිලිහී යනු ඇතැයිද අවධානය අයාලේ විසිරී යනු ඇතැයිද සිතමින් දරදඬු හා කෝපවූ ස්වභාවයකට පත්වන පරිදි පමණ ඉක්මවා සිහිය විසිරී යාමේ විශාල අවදානමක්ද භාවනාව තුළ පවතී. මෙමගින් සුවිශාල ගැටළුවක් ඇති කරනු ලබයි. අනෙක් අතින්, ඔබට පමණ ඉක්මවා ඉහිල් වීමට හෝ වියවුල් සහගත වීමටද අවශ්‍ය නොවේ. ඉන්ද කිසිදු පලක් නොමැත.

ඉන්පසු අවශ්‍ය වනුයේ වේලාව ඇඟවී‍මේ පද්ධතියක් සේ වන සුපරීක්ෂාකාරිත්වයයි. භාවනා අරමුණින් ගිලිහෙමින් පවත්නා බව පෙනීයන විටදී, සුපරීක්ෂාකාරිත්වය විසින් අනතුරු ඇඟවීම සිදු කරනු ලබයි -එනම් යම් තැනෙක නිවැරදි කළ යුතු වරදක් පවත්නා බවට වූ අනතුරු ඇඟවීමයි. ඉන්පසු අපි අවධානය යොමු කරමින් අපගේ නාභිගත ලක්ෂ්‍යයට නැවත යොමු වන්නෙමු.

නිවැරදි කළ යුතුව පවත්නා දෝෂ

අප මිදීමට උත්සාහ කරනා දෝෂ දෙක ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතට ගැනේ: “සිතේ වැනෙන සුළු ස්වභාවය” හා “මානසික ඒකාකාරිත්වය” වශයෙනි. සිතේ වැනෙන සුළු ස්වභාවය පවත්නේ ඇලීම හෝ ආශාව හේතුකොට මනස අයාලේ යන තත්ත්වයයි. එය වාචසික සිතිවිලි හෙවත් චින්තන සංවාදයක හෝ මානසික රූපණයන්ගේ ආකාරයෙන් සිදුවිය හැක. එකල ලිංගික ආකර්ශනයෙන් මිදීම කේන්ද්‍රීය ගැටලුවක්ව පැවති බ්‍රහ්මචාරී භික්ෂු, භික්ෂුණීන් ප්‍රධාන ශ්‍රාවක පිරිස වශයෙන් කටයුතු කළ බැවින්දෝ ලිංගික ආකර්ශනය ප්‍රකාර බොහෝ සම්ප්‍රදායික පාඨ ග්‍රන්ථයන්හි මෙම සිතේ වැනෙන සුළු ස්වභාවය සාකච්ඡා කෙරේ. එසේ නමුදු, එය ආහාර හෝ සංගීතය වැනි කරුණක් විෂයගත ඇලීමද විය හැක. මෙයට ප්‍රතිවිරුද්ධව මනස අයාලේ යාම යම් කැළඹිලිකාරී භාවයක්, සිතිවිල්ලක් හෝ හඬක් හෝ වෙනත් ඉන්ද්‍රිය මැදිහත්කරණයක් මගින්ද සිදුවිය හැක. වඩාත් පොදු යෙදුමක් වශයෙන්, මනස අයාලේ යාම “සිත විසිර යාම” හෙවත් “සිත එකඟ නොවීම” වශයෙන්ද හැඳින්විය හැක.

අපගේ අවධානය අරමුණ හෝ හැඟීම මත පවත්වාගෙන යන්නේද යන කරුණ මත පදනම්ව සිතේ වැනෙන සුළු භාවය හා සම්බන්ධ අදියර කිහිපයකි.

  • දළ වශයෙන් වැනෙන සුළු බව – අරමුණ පිළිබඳව පවත්වාගෙන යන ග්‍රහණය මුළුමනින්ම ගිලිහී සියලු ආකාරයේ දේවල් පිළිබඳවම සිතීමට පටන් ගනු ලබයි. සතිමත්බව, හෙවත් මානසික මැලියම, කෙතරම් දුර්වලව ඇත්තේද යත් ඔබට අරමුණ මුළුමනින්ම අමතකව යයි.
  • සියුම් ලෙස වැනෙන සුළු බව - අරමුණ මුළුමනින්ම අත් නොහරින නමුදු, අරමුණ ග්‍රහණය කරගෙන සිටින අතරතුරම, වෙනත් දෙයක් පිළිබඳ සිතීමේ යටි සිතිවිලි ධාරාවක්ද ක්‍රියාත්මක වේ.
  • වඩාත්ම සියුම් වැනෙන සුළු බව – මෙම යටි ධාරාවද නොපවත්නා නමුදු අරමුණ මඟහැර ගොස් වෙනයම් දෙයක් පිළිබඳව සිතීමේ බලවත් ආශාවක් පවතී. මානසික ග්‍රහණය ප්‍රමාණය ඉක්මවා පවත්වාගෙන යන විටදී මෙය සැබෑ ලෙසම සිදුවිය හැක.

සිතේ උදාසීනබව අරමුණෙහි පැහැදිලි බව හා සම්බන්ධ වන අතර, එය සිතින් මවාගැනීමක් නම් එම රූපයද, කරුණාව වැනි චිත්ත ස්වභාවයක් නම් හැඟීමක්ද විය හැක.

  • දළ උදාසීන බව – මනසේ “චිත්ත රූප මැවීමේ” කාර්යය කෙතරම් දුර්වලද යත් එමගින් කිසිදු චිත්ත රූපයක් හෝ හැඟීමක් ඉස්මතු කළ නොහැක. සිරුරේ හෝ සිතේ ක්‍රියාත්මක බර ස්වභාවයේ හැඟීමක්, නිදිමත බව සහ නින්ද යාමද ලෙස ක්‍රියාත්මකවන “මනසේ අපැහැදිලි බව” ලෙස හැඳින්වෙන අනෙකුත් සාධක දෙකක්ද මේ සමග ක්‍රියාත්මක වේ.
  • තියුණු උදාසීනබව – චිත්ත රූපයක් පවත්නා නමුදු ඒ මත පවත්වාගනු ලබන ග්‍රහණය එතරම් දැඩි නොවන බැවින් එය තියුණු බවින් අඩු වේ. මෙහිදී චිත්ත රූපයක විස්තර මත තියුණු අවධානයක් පවත්වාගෙන යාමක් පිළිබඳ කථා න‍ොකරන නමුදු කරුණාව වැනි හැඟීමක්ද මෙකී අවධානයෙන් ගිලිහී යා හැක. එය “ආදරය, සාමය, මම සියල්ලන්ට ප්‍රේම කරමි” ආදී වශයෙන් වූ ඉතා අපැහැදිලි හැඟීමක්ද විය හැක - මෙහිදී ඔබ හැඟීමක් උත්පාදනය කරන නමුදු එහි සියලු දෙනා දුකින් හා දුකට හේතුවලින් මිදේවාය යන ප්‍රාර්ථනය ලෙස එන නිශ්චිත නාභිගත කිරීමක් නොමැත. අපට උත්පාදනය කිරීමට අවශ්‍ය වන චිත්ත ස්වභාවයේ සෑම විස්තරයක්ම, පැතිකඩයක්ම ඉතා නිශ්චිත ස්වරූපයක් ගන්නා බව සිහි තබාගත යුතුය - එය අවිනිශ්චිත දෙයක් නොවිය යුතුය.
  • තියුණුම උදාසීනබව – සිතින් අරමුණ උත්පාදනය කරන විටදී තියුණු අවධානයක් පැවතියද එය පවත්වාගැනීම එතරම් තදින් සිදු නොවන බැවින් එය නව්‍ය, පැහැදිලි හෝ සජීවී ස්වරූපයක් නොගනී. ඉතා පැරණි වූ, රළු වූ හා එතරම් මිහිරි රසයද නොදෙන නරක් වූ පාන් මෙන් නොවී එය සෑම මොහොතකම අළුත් එකක් විය යුුතුය.

“සිහියෙන් තොරව” සිටින්නාවූ තත්ත්වයක් පිළිබඳව කථා කරන විටදී එමගින් ඉහත සඳහන් ඕනෑම දෝෂයක් ඇඟවිය හැකි බැවින් මේවායින් කවරක් හෝ ඉස්මතුවන අවස්ථාව නිරීක්ෂණය කිරීමට අපට හැකිවිය යුතුය. පළමුව, අරමුණ හෝ චිත්ත ස්වභාවය මත සිය මානසික ග්‍රහණය පිහිටුවන අතර, ඉන්පසු මානසික මැලියම වන සතිමත්බව විසින් එය අත් නොහැර පවත්වාගනු ලබයි.

සාර්ථක භාවනාවක් සඳහා වැදගත්ම සාධකය වනුයේ මෙයයි. පවත්වාගනු ලබන ග්‍රහණය පමණ ඉක්මවා තදින් හෝ ලිහිල්ව පවත්වාගනු නොලබයි.  නිදසුනක් ලෙස, ආහාර ගැනීම සඳහා යන අතර බේකරියක් පසුකර ගමන් කරන අවස්ථාවේදී වීදුරුවෙන් පෙනෙන සියලු ආකාර අලංකාර කේක් දිස්වන නමුත් ඔබ ගැනීමට පැමිණි ආහාරය පිළිබඳ සිතිවිල්ලෙන් එය ග්‍රහණය කොට පවත්වාගත යුතු අතර, ඒ අනුව වෙළඳසැලට ගොස් චොකලට් කේක් කැබැල්ලක් මිලදී ගැනීම සිදු නොකරයි. නොඑසේ නම්, මේස‍යේ සියලු දෙනා හට අයිස් ක්‍රීම් බෙදන අතර “එපා. ස්තුතියි. මං දැන් කෑම කනවා”යි පවසමින් ඔබගේ ආහාරය මත වූ අවධානය ‍ගිලිහී යා නොදී පවත්වාගනු ලබයි.

ඒ අනුව, අයාලේ යන්නේද යන්න විමසා බලනු පිණිස පිරික්සීම පවත්වාගත යුතු වේ. “මනස පවත්වාගෙන යන ස්ථානය හා අරමුණ මත ග්‍රහණය සම්බන්ධ යම් දෝෂයක් පවතීද? මාගේ මනසින් අරමුණ හෝ හැඟීම ඉස්මතු කිරීමේ යම් දෝෂයක් පවත්නේද?” යම් දෝෂයක් පරීක්ෂාවට හසුවන්නේ නම්, පරීක්ෂාකාරිත්වය විසින් අභ්‍යන්තර අනතුරු ඇඟවුම් සීනුව නාද කරන අතර අවධානය මගින් අපගේ නාභිගත ලක්ෂ්‍යය නැවත ඉදිරිපත් කරනු ලබයි. ඒ සමගම, ඒ සම්බන්ධ මනස විකෘති වූ පොලිස්කාරයෙකුගේ තත්ත්වයට පත් වී එම පොලිස්කාරයා ලෙස පෙනී සිටින “මා” හා භාවනා කරන්නා වන “මා” අතර ද්විත්ව ස්වභාවයක් පවත්නා තත්ත්වයකට පත් නොවිය යුතුය. එවන් ද්විත්ව භාවනාවක් වළක්වාලනු පිණිස, තමා පිළිබඳ ශූන්‍යතාවය (හිස්බව) සම්බන්ධ යම් වැටහීමක් අප තුළ පැවතිය යුතුය - මෙකී සිදු නොවිය හැකි ද්විත්ව ස්වභාවයෙන් පැවතීමෙන් මුළුමනින්ම මිදී සිටින්නෙමු.

භාවනාව තුළ පුුහුණු කෙරෙන කුසලතා ප්‍රායෝගිකව භාවිත කිරීම

සතිය හා සමාධිය සහිතව යම් අරමුණක සිත පිහිටුවා පවත්වාගෙන යාමේ හැකියාව අපට එදිනෙදා ජීවිතයේ අවශ්‍ය වන කරුණකි. එබැවිනි ගොඩනගා ගන්නා ප්‍රයෝජනවත් පුරුදු අපගේ එදිනෙදා ජීවිතය තුළ යොදාගනු පිණිස භාවනාව පුහුණු කරනුයේ. නිදසුනක් ලෙස, යමෙකු සමගින් කථා කරන විටදී හෝ යමෙකුට ඇහුම්කන් දෙන විටදී, අපට අවධානය යොමු කිරීමට සිදුවේ. අවධානය පවත්වාගෙන සිටීමට සිදුවන අතර දිවා ආහාරය පිළිබඳව සිතීම හෝ “කට වහගෙන අහකට පළයන්” යි සිතින් වදන් බිණීම සිදු නොකිරීමට වගබලාගත යුතු වේ. එබැවින්, පුද්ගලික අන්තර් ක්‍රියාවන්, අපගේ කාර්යයන්, අපගේ අධ්‍යයනයන් වැනි දේ සමාධිය පුහුණු කිරීමෙහි ලා සර්ව සම්පූර්ණ ක්ෂේත්‍ර වේ.

ආධාරක සතර

අපගේ භාවනාව තුළ සමාධිය අත්කර ගැනීම සඳහා කටයුතු කිරීමේදී අවශ්‍ය වන කරුණු දෙකක් වනුයේ  (නිරතුරු “නොපසුබස්නා උත්සාහය” වශයෙන් හැඳින්වෙන) ප්‍රාණවත්බව හා ඉවසීමයි. ප්‍රාණවත්බව යනු යම් ධනාත්මක දෙයක් සාක්ෂාත් කරගනු පිණිස පවත්නා දැඩි, වීරෝධාර දිරිය හා උත්සාහය වන අතර, ඉවසීම යනු අධෛර්යමත් වීමකින් හෝ කෝප ගැනීමකින් තොරව සියලු දුෂ්කරතා හා අසීරුතාවයන් ඉවසා සිටීමේ හැකියාවයි. බෝධිසත්ත්ව චර්යාවෙහි නියැළීම නමින් යුත් සිය පාඨ ග්‍රන්ථයෙහි ශාන්තිදේවයන් විසින් අපට ප්‍රාණවත්බව ගොඩනගා ගැනීමට උපකාරී විය හැකි සාධක හයක් විස්තර කරයි. ඒවා ආධාරක සතර හා බල දෙක වශයෙන් හැඳින්වෙන අතර ඒවා දැන සිටීම හා ඒවා සමගින් කටයුතු කිරීම ප්‍රයෝජනවත් වේ.

පළමුවැන්න ස්ථිර විශ්වාසය හෝ දැඩි අභිලාෂය වශයෙන් හැඳින්වේ. “අභිලාෂය” යනු යම් පැතුමක් හා සම්බන්ධ ප්‍රබල අරුතක් දෙන වදනක් වන අතර එය යම් අරමුණක් සාක්ෂාත් කරගැනීමේ ප්‍රයෝජනයන් හා එය සාක්ෂාත් කර නොගැනීමෙන් ඉස්මතුවන ගැටලු පිළිබඳ තදබල ඒත්තු ගැනීමක් ලෙස අර්ථ නිරූපණය කෙරේ. ඒ අනුව එය සාක්ෂාත් කරගැනීමෙහි ලා පවත්නා අභිලාෂය එහා මෙහා පැද්දවීම හෝ ඉවත් කරලීම සිදු කළ නොහැක. අපගේ බෞද්ධ පිළිවෙත් මගින් සාක්ෂාත් කරගැනීමට අපේක්ෂා කරන්නාවූ විවිධ චිත්ත ස්වභාවයන් පිළිබඳ කථා කරන විටදී, එහි ඉදිරිපත් වීම මගින් ආසන්න වශයෙන් නිරතුරු පළමුව එය සාක්ෂාත්කරගැනීමේ ප්‍රයෝජනයන්ද එසේ නොවීමේ අවාසිද ලබාදෙනු ඇත. මේවා අධ්‍යයනය කිරීම වැදගත්ය. ශාන්තිදේවයන් විසින් සිය පාඨ ග්‍රන්ථය තුළ මෙම ආකෘතිය අනුගමනය කරන අතර එහි පළමු පරිච්ඡේදය බෝධි චිත්තය හා සම්බන්ධ වේ. මෙම චිත්තය පවත්වාගෙන යාමේ ප්‍රයෝජනයන් පිළිබඳ අපට ඒත්තු යන අතර එමගින් අපට යම් ශක්තියක් ලබාදෙන අතරම ඒ වෙනුවෙන් කටයුතු කිරීම සතුටක් බවට පත් කරයි. අධෛර්යයට පත්වන ඕනෑම අවස්ථාවකදී, සාක්ෂාත් කරගැනීමට අපේක්ෂා කරන දෙයෙහි ඵල ප්‍රයෝජන පිළිබඳ අප වෙතම සිහි කැඳවීම යහපත් වේ.

මීළඟ කරුණ අචලබව හෝ ආත්ම විශ්වාසයයි. “අචලබව” යන්නෙන් පුහුණුව තුළ නොකඩවා ස්ථිරව පිහිටා සිටීම අර්ථවත් කෙරෙන අතර, එය අපට අවශ්‍ය අරමුණට ළඟාවිය හැක්කේද යන්න විමසා බැලීම හා අපට එසේ ළඟාවිය හැකි බවට එත්තු ගැනීම තුළින් ඉස්මතු වේ. සැබෑ ලෙසම සිදුවන පරිදි ලබන්නාවූ ප්‍රගතිය ඉහළ පහළ යන්නේ වුවද, ආත්ම විශ්වාසය තුළින් ස්ථිරසාර ලෙස අපවම යොමු කිරීමක් සිදු කරනු ලබයි. ඇතැම් දිනයන් අති සාර්ථක විය හැකි අතර තවත් දිනයන් අසාර්ථක ඒවාද විය හැක. ඇතැම් දිනයන් කටයුතු කිරීම සඳහා පොළඹවාලන සුළු විය හැකි අතර තවත් දිනයන් තුළ අපට කිසිදු පුහුණුවක් සිදු කිරීමට සිත් නොදෙන තත්ත්වයන් ඇතිවිය හැක. එසේ වුවද, ප්‍රතිලාභයන් පිළිබඳ ඒත්තු ගෙන ඇත්තේ නම්, හා සන්නාහ පළඳනාවක් සේ විස්තර කෙරෙන පරිදි අප තුළ නොපසුබස්නා උත්සාහය පවත්නේ නම්, එවිට “ඒකට කමක් නෑ. ඒක ඉහළ පහළ ගියාට කමක් නෑ. මං හැමදාම නොකඩවා නොසැලී පුහුණු වෙනවා. මං දන්නවා අන්තිමට මගේ අරමුණ සාර්ථක කරගන්නට පුළුවන් බව”යි සිතෙනු ඇත. වඩාත් දිගු කාල පරිච්ඡේදයක් පුරා ප්‍රගතිය කරා ගමන් කරන විටදී, වඩාත් සමාධිමත්ව සිටීමේ ක්‍රමික නැඹුරුවක් නිරීක්ෂණය වනු ඇති අතර ඉන්පසු ප්‍රීතිය නමින් යුත් ඊළඟ ආධාරකය ගොඩනැගේ. හුදෙක් සුළු ප්‍රගතියකින් තෘප්තිමත් නොවන අපි ඒ අනුව ආත්ම තෘප්තියක්ද සහිතව වඩ වඩාත් ප්‍රගතියට පත්වීමෙන් ඉමහත් සතුටට පත් වන්නෙමු. අපගේ එකම අරමුණ දුක මුලිනුපුටා දැමීම වන බැවින් මෙහි ප්‍රතිඵලය වනුයේ පැහැදිලිවම අප වඩ වඩාත් සතුටට පත් වීමයි. මෙම තත්ත්වය අත්දකින්නාවූ අපි තවදුරටත් ප්‍රගතියක් අත්කරගැනීමේ හා වඩ වඩාත් ඉදිරි පියවර තැබීමේ උනන්දුව ඇතිකර ගන්නෙමු.

සතරවන ආධාරකය විරාමය හෙවත් විවේකයයි. ඉන් අදහස් කෙරෙනුයේ මහන්සි වූවිට විවේකයක් ලබාගැනීමයි. මෙය සිදුකරනුයේ කම්මැලිකම නිසා නොව, නව පණක් ලබාගනු පිණිසය. අපගේ ශක්තිය දැවී යන පරිදි පමණ ඉක්මවා පීඩනයක් එල්ල කිරීම තරම් අයහපත් ලෙස අපගේ උත්සාහය විනාශ කරන්නාවූ අන් කිසිවක් හෝ නොමැත. බැලූනයක් පිපිරී යන තරම් තදින් මිරිකාලීම මෙන් පමණ ඉක්මවූ පීඩනයක් යෙදීමෙන් සිරුරේ ශක්තීන් සැබෑ ලෙසම වියවුල් කරවයි. අපට අප පිළිබඳව තීන්දු ගනිමින් විරාමයක් අවශ්‍ය අවස්ථාව තීරණය කිරීමේ  හා ඒ පිළිබඳ වරදකාරී හැඟීමක් ඇතිකර නොගැනීමේ හැකියාව පැවතිය යුතුය. අපගේ වියවුල්කාරී හැඟීම් වැඩි වර්ධනය කරගනු වෙනුවට ඉහිල් වීමට උපකාරීවන යමක් තෝරාගැනීම යහපත් වේ. පැහැදිලිවම මෙම තත්ත්වය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. ප්‍රාණවත් බවෙහි ආධාරක සතර මේවාය.

බල ද්විත්වය

දැන් බල ද්විත්වය පිළිබඳ සලකා බලමු. පළමුවැන්න ස්වභාවිකවම පිළිගැනීමයි. එනම් අපගේ අරමුණ සාක්ෂාත් කරගනු පිණිස පුහුණු කළයුතු දේ හා මිදිය යුතු දේ ස්වභාවිකව පිළිගැනීමයි. අපගේ තත්ත්වයට අදාළ යථාර්ථය දකිමින්, නිදසුනක් ලෙස, කැළඹිලිකාරී හැඟීම් ආදියෙන් ගැලවීමට අදාල දුෂ්කරතා ස්වභාවිකව පිළිගන්නෙමු. එය කෙතරම් දුෂ්කර විය හැක්කේද යන්න පිළිබඳව පසුව විශ්මයට පත් නොවනු පිණිස ආරම්භයේදී යථාර්ථවාදී විය යුතුය.

පරම පූජනීය දලයි ලාමා වහන්සේ නිරතුරු ප්‍රකාශකරන පරිදි “යම් පුද්ගලයෙකු හෝ ගුරුවරයෙකු විසින් බුදු දහම ඉතා පහසු හා වේගවත් එකක් බවට ප්‍රකාශ කරන්නේ නම්, ඒ පුද්ගලයා හා ඔවුන්ගේ අභිප්‍රාය පිළිබඳ බොහෝ සෙයින් සැක කරන්න. මක් නිසාද, එය කිසි ලෙසකිනුදු පහසු හෝ වේගවත් එකක් නොවන බැවිනි. කැළඹිලිකාරී හැඟීම්වලට අපි කෙතරම් පුරුදුව සිටින්නේද යත්, යම් පෙත්තක් ගැනීම වැනි වූ ඉන් මිදී‍මේ පහසු මගක් නොමැත”. ගේෂේ න්ගාවැන්ග් ධාර්ග්යේ නම් මාගේ තවත් ගුරුවරයෙකු නිතර පැවසූ දෙයක් නම් “බුදු දහමේ පහසු හා වේගවත් මාර්ග කෙරෙහි යමෙකු ආකර්ශනය වී සිටීද, එසේ වනුයේ මූලික වශයෙන් කුසීත බව හේතුවෙනි. ඔවුනට සැබෑ ලෙසම අවශ්‍ය කරන්නාවූ අසීරු කාර්යයන් සිදු කිරීමේ උනන්දුවක් නොමැත”.

දෙවැනි බලය වනුයේ පාලනයට නතුකර ගැනීමයි. ඉන් අදහස් කෙරෙනුයේ සාක්ෂාත් කරගැනීමට අපේක්ෂා කරන දෙය පාලනයට යටත් කරගනිමින් එහි යෙදීමයි. අපගේ කුසීත බව හෝ වෙනයම් කැළඹිලිකාරී හැඟීමකට පාලනය නතුකර ගැනීමට අවකාශ සලසා දීමට වඩා යම් අරමුණක් සාක්ෂාත් කරගැනීම උදෙසා වූ අපගේ අභිිලාෂය විසින් පාලනය සියතට ගන්නා බවයි. “පුංචි දරුවෙක් වගේ වැඩ කරන එක නවත්වන්න. සූදානම් වෙලා කරන වැඩේ හරියට කරන්න” යි අපි අපටම පවසන්නෙමු.

මහන්සිද, එසේ නොමැතිනම් කම්මැලිද?

මහන්සිය හා කම්මැලිකම අතර වෙනස දැකිය හැක්කේ කෙසේද යන්න පිළිබඳව යමෙකු විසින් කල්පනා කළ හැක. පළමුව සුළු දේවලින් අවධානය වෙනතක යොමුවීම වැනි කුසීත බවෙහි වර්ග ගණනාවක් පවතී. අපගේ භාවනාව හෝ අධ්‍යයනයන් හෝ එවන් අන් කිසිවක් සිදු කිරීමට නොහැකි තරම් කුසීත බවින් පෙළෙන අතර, ඒ වෙනුවට රූපවාහිනී වැඩසටහනක් හෝ අන්තර්ජාලයෙහි සැරිසැරීම තුළින් අවධානය විසුරුවා ගන්නෙමු. ඉනික්බිති පසු අවස්ථාවන් හෝ දින දක්වා කටයුතු කල් දැමීමේ කුසීත බව සැලකිය යුත වේ. එහිදී ඔබට නිරතුරු කටයුතු කල් තැබිය හැකි බව සිතේ. ඉන්පසු “මට ඒක කරන්න බෑ” වැනි නිදහසට කරුණු පවසන්නාවූ වර්ගයේ කුසීත බවක්ද පවතී.

මහන්සි වූ විටදීද, එය සිදු කළ හැක්කේ නම් යහපත්ය යන හැඟීම අප තුළ පවතී: “මට ඇත්තටම ඒක කරන්න අවශ්‍යයි, ඒ වුණත් මට දැන් හරිම නිදිමතයි. ඒ හින්දා ටිකක් විවේක අරන් ඒක ආයිත් සම්පූර්ණයෙන්ම පටන් ගන්න ඕන.” වශයෙනි. මේ වූකලි නිදහසට කරුණු ඉදිරිපත් කිරීමක් හෝ කාර්යය නොසලකා සිටීමක් නොවේ. කුසීතබව තුළ සැබෑ ලෙසම කාර්යය නොකඩවා කරගෙන යාමේ මෙකී අපේකෂාව අන්තර්ගත නොවේ.

සාරාංශය

පොදුවේ භාවනාව පහසු කටයුත්තක් නොවන අතර ආශ්චර්යමත් අවබෝධයන් ලැබීමේ ක්ෂණික විධික්‍රම නොමැති බැවින්, එ‍සේ පවතින්නේ යයි පවසන අය පිළිබඳව ප්‍රවේශම් විය යුතුය.

ශ්‍රවණය කළ හා සිතා බලන ලද දේශනාවන් ගැඹුරින් අවබෝධ වන්නාවූ අපගේ භාවනාව සක්‍රීය ක්‍රියාවලියක් විය යුතු අතර එය නීරස හෝ කටුක දෙයක් නොවිය යුතු වේ. අපට දිනෙන් දින, වසරින් වසර මෙම කාර්යය සිදුකළ හැක්කේ නම්, දේශනා අප සිත්තුළ තැන්පත් වන අතර නිශේධනාත්මක හැඟීම් ඉස්මතු වන විටදී නිරුත්සාහයෙන්ම ඒවා සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කිරීමට අපට අවසානයේදී නිසැක වශයෙන්ම හැකිවනු ඇත.

Top