සතිය හෙවත් සිහිය: අදාළ මානසික සාධක

සතිය පිළිබඳ පිළිවෙත් පූරණය සම්ප්‍රදායික බෞද්ධ මූලාශ්‍ර තුළින් පැන නගින්නකි. එ්වා තුළින් සතිය පිළිබඳ පුහුණුව සම්පූර්ණ වනු පිණිස එ් හා සමග සම්බන්ධ විය යුතු විවිධ මානසික සාධක පිළිබඳ අපි ඉගෙන ගන්නෙමු. මානසික සාධක යනු යම් වස්තුවක් හඳුනා ගැනීමේ ක්‍රමයන් වන අතර එ්වා මගින් එම වස්තුව හඳුනා ගැනීමට උපකාර කරනු ලබයි. එ්වා තුළට හඳුනා ගැනීම තහවුරු කරන්නාවූ ඇල්ම වැනි සාධක ඇතුළත් වේ. එනම් චිත්ත එකඟතාවය වැනි දේ පවත්වාගෙන යාම සඳහා උපකාරී වන සාධක හා ප්‍රේමය හෝ කෝපය වැනි එය වර්ණ ගන්වන්නාවූ භාවයන් වේ. අපගේ සතිය පුහුණු කිරීම තුළ අදාළ සාධක පිළිබඳ ඉගෙන ගනිමින් එ්වා ඇතුළත් කිරීම මගින් එමගින් උපරිම ප්‍රයෝජන ලබන්නෙමු.

වේදනාව කළමනාකරණය කිරීමේ හා සිදු කරන කාර්ය කටයුතු හෝ පොදුවේ ජීවිතය සම්බන්ධ කටයුතු කිරීමේදී ආතතිය අවම කරගැනීමේ විධි ක්‍රමයක් වශයෙන් "සතිය" පිළිබඳ පුහුණුව වර්තමාන බටහිර සමාජය තුළ පුළුල් ලෙස යොදාගනු ලබයි. විවිධාකාර වූ බෞද්ධ භාවනා පිළිවෙත් තුළින් උත්පාදනය වන සතිය පිළිබඳ පුහුණුව තුළ අපගේ සිත් නිශ්චල කිරීම හා අපගේ හුස්ම, සිතිවිලි, භාවයන් සතුට හෝ දුක පිළිබඳ හැඟීම්, ශාරීරික සංවේදනාවන් ආදිය පිළිබඳ අවධානය යොමු කිරීම අන්තර්ගතය. මෙම පුහුණුව අපගේ සිත්වල නිරන්තරයෙන් වෙනස්වන වස්තූන්හි නිරන්තරයෙන් වෙනස්වන වර්තමාන මොහොත දැකීම ලෙස වඩාත් පොදුවේ ඉදිරිපත් කරනු ලැබේ.

ඉන්දියානු බෞද්ධ මූලාශ්‍ර

සතිය පිළිබඳ ථේරවාද ඉදිරිපත් කිරීම උපතිස්සයන්ගේ විමුක්ති මාර්ගය (හෙවත් පාලියෙන් විමුත්තිමග්ග) සහ බුද්ධඝෝෂයන්ගේ විශුද්ධි මාර්ගය (හෙවත් පාලියෙන් විසුද්ධිමග්ග) මත පදනම් වේ. එහි සිහිය හෙවත් සතිය යන්න වර්ග කරන ලද බොහෝ භාවනාවන්හි ආවශ්‍යක පැතිකඩක් ලෙස විස්තර කෙරේ. භාවනාව තුළ එන සතියෙහි හුස්ම හෝ මරණය සිහි කිරීම ආදී වශයෙන් නිරතුරු සිහි කිරීම නමැති ලක්ෂණය පවතී. එහි කාර්යය වනුයේ අමතක නොකිරීම වන අතර, සිත එහි අරමුණ අහිමි කරගැනීමකින් තොරව පවත්වාගෙන යාම ලෙස ඉදිරිපත් කෙරේ. එක් අතකින් සතිය යනු අත හැරීමකින් තොරව සිය අරමුණ ග්‍රහණය කොටගෙන පවත්වා ගන්නා "චිත්ත මැලියම්" වර්ගයකි. අරමුණක් මත තහවුරු වූ පසු, සතිය එම අරමුණට අදාළ අනිත්‍ය ස්වභාවය වැනි යම් ලක්ෂණයක් පිළිබඳ වෙන්කොට සැලකීමේ දැනුවත්භාවයක් හා සමග එක්ව පැවතිය යුතුය.

සංස්කෘත භාෂාවෙන් අභිධර්මකෝෂ ලෙස නම් කෙරෙන සිය විශේෂ දැනුම් මාතෘකා නිධානය නමැති කෘතියේදී හීනයාන වෛභාෂික ගුරු කුලය නියෝජනය කරන වසුබන්ධු විසින් ස්මෘතිය හෙවත් සතිය වැටහීමේ සෑම අවස්ථාවක්ම සමගින් සම්බන්ධව පවත්නා චිත්ත සාධක දහයෙන් එකක් ලෙස ලැයිස්තුගත කරයි. එම හඳුනා ගැනීම් සමගින් සෙසු පුණ්‍ය, පාප හෝ නිශ්චිතව නම් නොකෙරෙන (ආචාර ධාර්මිකව උදාසීන) චිත්ත සාධකද පවතී. එ් අනුව සතිය සියලු අවස්ථාවන්හි පවත්නා අතර භාවනාව නමැති සන්දර්භය තුළ පමණක් පවතින්නක් නොවේ.

අභිධර්මකෝෂ - භාෂ්‍ය නමින් සංස්කෘත භාෂාවෙන් හැඳින්වෙන කෘතියේ සිය අටුවාව තුළ වසුබන්ධු විසින් සතිය යනු සිය අරමුණ අත නොහරින්නාවූ හා අමතක නොකරන්නාවූ චිත්ත සාධකය ලෙස අර්ථ නිරූපණය කරයි. එ් අනුව එයට එහි අරමුණට ලොල්වීම හෝ අරමුණ හඳුනා ගැනීමක් ඇතුළත් වේ. අරමුණට ලොල් වීම හෝ එය හඳුනා ගැනීම හේතුකොට, සතිය විසින් පසුව එම අරමුණ සිහි කිරීමේ අවකාශය අප වෙත ලබාදෙනු ලබයි.

සිය මහායාන චිත්තමාත්‍රා කෘතියක් වන පංචස්කන්ධ ප්‍රකරණය තුළ වසුබන්ධු විසින් නිශ්චිතවම යම් අරමුණක් සිහි කිරීමේ සන්දර්භය තුළ සතිය යන්න ඉදිරිපත් කරනු ලබයි. මෙලෙස සතිය යනු හඳුනන්නාවූ අරමුණක් අත් නොහරිමින් එය නැවත අවධානයට ලක් කිරීමට අදාළ මානසික ස්වභාවය ලෙස එහිදී ඔහු විසින් ප්‍රකාශ කරනු ලබයි. මෙම කෘතියේ විවරණය තුළ ස්තිරාමති විසින් විස්තර කරන පරිදි "හඳුනන අරමුණ" යනු අප විසින් පෙරදී අත් විඳින ලද දෙයකි. මෙලෙසින්, යම් අරමුණක් සිහි කිරීම එම අරමුණ මත භාවනා කිරීමේ සන්දර්භය තුළ හෝ හුදෙක් යමක් සිහි කිරීමේ එදිනෙදා සිදුවීම් තුළ සිදුවිය හැක.

සංස්කෘත භාෂාවෙන් අභිධර්මසමුච්චය ලෙස හැඳින්වෙන විශේෂ දැනුම් මාතෘකා සංග්‍රහය නම් අරුතැති සිය චිත්තමාත්‍රා කෘතියේදී අසංග පාදයන් විසින් විමසා බැලීමේ මානසික සාධක පහෙන් එකක් ලෙස සතිය ඉදිරිපත් කරනු ලබයි. මෙම පහෙන් එකක් වන සතිය යනු කුසල් සහගත හැඳිනීම් තුළ පමණක් හා සිය අරමුණු වටහා ගන්නා එම කුසල් සහගත හැඳිනීම් තුළ පමණක් ඇතිවන මානසික සාධකයක් වේ. වෙනත් අයුරකින් ප්‍රකාශ කරන්නේ නම්, එය සිය අරමුණු නිවැරදිව හා තීරණාත්මකව හඳුනා ගන්නා හැඳිනීම් වේ. එහි අරමුණ අපට හුරු පුරුදු කුසල් අරමුණක් විය යුතුය; එහි පැතිකඩ විය යුත්තේ එය මෙම අරමුණ මත අවධානය යොමු කරගෙන සිටින අතර එය අමතක කිරීම හෝ මඟහැරීමට අවකාශ සැලසීම සිදු නොවීමයි; තවද එහි කාර්යය වනුයේ සිත අයාලේ යාම වළකාලීමයි.

ෂොංඛපාගේ ඉදිරිපත් කිරීම

මාර්ගයේ ශ්‍රේණිගත අදියරයන් පිළිබඳ මහා ඉදිරිපත් කිරීම (ලම් රිම් චෙන් මෝ) නමැති සිය කෘතියෙහි ධ්‍යාන සමාධි හා නිශ්චල හා තැන්පත් චිත්ත ස්වභාවයක් ගොඩනගා ගැනීම පිළිබඳ  සාකච්ඡා කෙරෙන කොටස තුළ තිබ්බතීය ගුරු ෂොංඛපා විසින් සතිය පිළිබඳ අසංග පාදයන්ගේ අර්ථ නිරූපණය තවදුරටත් විග්‍රහ කරනු ලබයි. සමථ භාවනාවේදී සතිය (ටිබෙට් - ඩ්‍රන්-පා) තුළ ලක්ෂණ තුනක් අන්තර්ගත බව ඔහු විසින් විස්තර කරනු ලබයි.

  • එය නොහඳුනන්නක් නොව, පෙර සිට හඳුනන අරමුණක් මත සිය අවධානය යොමු කරයි. එ් අනුව එහි අරමුණ සිතින් මවාගත් බුදුවරයෙකු, හෝ සිරුර වැනි (ආචාර ධාර්මිකව උදාසීන) නිශ්චිතව නොදක්වන, අප විසින් සහතිකවම දන්නා හා කුසලමය අරමුණක් වේ.
  • අරමුණ මත වූ එහි මානසික ග්‍රහණය එම අරමුණ පිළිබඳ අපට අමතක නොවන ආකාරයේ එකක් වේ. "අමතක නොවීම" යන්නෙන්, යමෙකු විමසූ විට පිළිවෙත් පූරණය පිළිබඳ උපදෙස් කවරේද යන්න හෝ අපගේ අවධානය යොමු කරගෙන සිටින අරමුණ මෙයාකාර එකක්ය හෝ එයාකාර එකක්ය ලෙස අපට සිහි කළ හැක්කේය යන්නක් අදහස් නොවේ. ඉන් අදහස් කෙරෙනුයේ අවධානය යොමු කෙරෙන අරමුණ වෙත අපගේ සිත ගැටගැසූ විගස මනස සුළු වශයෙන් හෝ අයාලේ යාමකින් තොරව වහා එය මනසින් ග්‍රහණය කරගන්නේය යන්නයි. අපගේ අවධානය අවම මට්ටමින් හෝ ඉබාගාතේ යන්නට වුවහොත්, අපට අපගේ සතිමත් බව අහිමි වේ. එ් අනුව, යම් නාභිගත අරමුණක් මත අවධානය යොමු කොට, ඉන්පසු මෙම අරමුණට මෙසේ මවිසින් මාගේ සිත ගැටගසන ලද බවට වූ සිතිවිල්ල උපදවා ගත් පසු, කිසිවක් අළුතින් නොසිතන සිතකින් මෙහි අඛන්ඩ ශක්තියේ නොනැසී පැවැත්ම ගොඩනැගීම යනු සතිය අප වෙත භාර දීමේ ක්‍රමයයි. සතිමත් බව අප වෙත භාර දීම යනු අප අපගේ වෛද්‍යවරයා හෝ ආධ්‍යාත්මික ගුරුවරයා වෙත භාරදීමකට සමානය. වෛද්‍යවරයෙකු හෝ ආධ්‍යාත්මික ගුරුවරයෙකු වෙත අප භාර වනුයේ එම පුද්ගලයා පූර්ණ වශයෙන් සුදුසුකම් ලත් අයෙකු බවට විශ්වාසය ගොඩනැගුණු පසුවය. එමෙන්ම, අප සතිය වෙත අපගේ පැවැත්ම භාර දෙනුයේ සතිමත් ස්වභාවයකින් පැවතීමේ සුදුසුකම් අපගේ චිත්ත ස්වභාවය විසින් සපුරා ලූ පසුවය.
  • එහි කාර්යය වනුයේ වෙනයම් අරමුණක් කරා අපගේ සිත ඇදී යාමෙන් වළකාලීමයි. වඩාත් පූර්ණ විග්‍රහයක් කරන්නේ නම්, අවධානය යොමු කරගෙන සිටින අරමුණ අමතක කිරීමෙන් හෝ ගිලිහී යාමෙන් වළකාලීමක් සතිය මගින් සිදු කරනු ලබයි. එය විසින් නොකඩවා මෙම අරමුණ මත අපගේ අවධානය පවත්වනු ලබයි. එතුළින් මෙම අරමුණ සමග පවත්නා සමීපත්වයේ අඛන්ඩතාවය නඩත්තු කරනු ලබයි.

සිහිය පිළිබඳ භාවනාව

නිදසුනක් ලෙස සිතින් මවාගත් බුදුවරයෙකු මත අවධානය යොමු කරගෙන සිටීම වැනි සමථය හෙවත් යම් නිශ්චල හා තැන්පත් චිත්ත ස්වභාවයක් සාක්ෂාත් කරගනු පිණිස පිළිවෙත් පිරීමේදී,  භාවනාවේ අවධානය යොමු කරනු ලබන අරමුණ ස්ථාවරව පිහිටයි. සතිය සඳහා වූ පිළිවෙත් පිරීමේදී, කෙසේ වුවද, වර්තමානයේ බටහිර සමාජයන්හි දේශනා කෙරෙන පරිදි, අරමුණ වනුයේ අපගේ මානසික හෝ ශාරීරික හඳුනා ගැනීමෙහි නිරන්තරයෙන්ම වෙනස් වන්නාවූ අරමුණුවල එසේ නිරන්තරයෙන් වෙනස් වන වර්තමාන මොහොතයි. මෙය වූකලි අරමුණ සම්බන්ධව ගත්කල සතිය පිළිබඳ ථේරවාදයේ එන කරුණු ඉදිරිපත් කිරීමටද, සතිය යනු හඳුනාගනු ලබන සියලු අවස්ථාවන් සමගින් ගමන් කරන්නක්ය යන වසුබන්ධුගේ වෛභාෂික ඉදිරිපත් කිරීමටද අනුගත වන්නකි. කෙසේ වුවද වසුබන්ධු හා අසංගයන් විසින් සිය චිත්තමන්ත්‍ර කෘතීන්හි නිශ්චිතව දක්වන පරිදි අරමුණ යනු බුදුවරයෙකු ශාරීරිකව පෙනී සිටීම වැනි අප පෙරදී හුරු කරගත් කරුණක් නොවේ. එ් වෙනුවට, ශාරීරික සංවේදනය, සිතිවිල්ල, භාවය හෝ හැඟීම වශයෙන් සෑම අවස්ථාවකම අත් විඳින දෙය මත අපගේ අවධානය යොමු කරවන්නට උත්සාහ කරන්නෙමු. එසේ නමුදු, අසංගයන් විසින් දක්වන පරිදි, අපි නිරවද්‍යව හා තීරණාත්මකව එ්වා මත අපගේ අවධානය යොමු කරවන්නෙමු.

අප විසින් ගොඩනගා ගැනීමට උත්සාහ කරන්නාවූ මේ මොහොත පිළිබඳ සතිමත් භාවය යනු සිත පිළිබඳ බෞද්ධ විග්‍රහය තුළ පනවන ලද මානසික සාධක ගණනාවක සම්මිශ්‍රණයකි. මෙහිදී යෙදෙන ප්‍රධාන එ්වා වනුයේ සතිය, සුපරීක්ෂාකාරිත්වය හා සැළකිලිමත් බවේ ආකල්පයයි. වඩාත් ඵලදායී ලෙස සතිමත්බව පිළිබඳ පිළිවෙත් පුරනු පිනිස මෙම සාධක කිසිවක් හෝ ඌන තත්ත්වයක පවතී නම් අපට එ්වා ගලපා ලීමට හැකිවන පරිදි එ්වා එකිනෙක හඳුනා ගැනීම ප්‍රයෝජනවත් වේ.

සතිමත් බව

සතිමත් බව හෙවත් "මානසික මැලියම" නමින් හඳුන්වන දෙය සමගින් තවත් මානසික සාධක දෙකක් පැවතිය යුතුවේ: වෙන්කොට දැකීම (හඳුනා ගැනීම) හා සැලකිලිමත් වීම (සිතට ගැනීම) වශයෙනි.

වෙන්කොට දැකීම තුළදී අපගේ අත්දැකීමේ එ් එ් මොහොත සැදි විවිධ සංඝටකයන්හි නිශ්චිත ලක්ෂණ මත අවධානය යොමු කරවනු ලබයි. එහිදී මේවා අන් සියල්ලෙන් වෙන්කොට ගනු ලබයි. නිදසුනක් ලෙස, වෙන්කෙට දැකීම මගින් වේදනාවේ ශාරීරික සංවේදනය අප ඉන්නා කාමරයේ උෂ්ණත්වය වැනි එ් හා සමගම අත් විඳින සෙසු ශාරීරික සංවේදනාවන්ගෙන් වෙන්කොට දක්වනු ලබයි. නිවැරදි සැලකීම තුළදී එම අරමුණ එසේම භාරගනු ලබයි - වේදනාව යනු හුදෙක් ශාරීරික සංවේදනයක් විනා එයට වැඩි හෝ අඩු දෙයක් නොවේ.

වෙන්කොට දැකීම හා නිවැරදි ලෙස සැලකීම හා සමගින් එන සතිමත් බව සහිතව, නිරන්තරයෙන්ම වෙනස් වන්නාවූ වර්තමාන මොහොතට අදාළ  අන්තර්ගතයන් මත අපගේ අවධානය යොමු කරගෙන සිටින්නට උත්සාහ කරමු. අවධානය විසිර යා නොදී අපගේ අවධානයට යොමුවන අරමුණ පවත්නා මොහොතට අදාළ  අන්තර්ගතය ගිලිහී යා නොදී එම කාර්යය සිදු කරන්නට උත්සාහ කරන්නෙමු. සිත විසිර යාම සිදු වනුයේ පෙර අවස්ථාවල අත්දුටු දෙය හෝ මතු අත් දකින්නට අපේක්ෂිත දේ පිළිබඳ සිතන්නට වූ විටදීය. එවිට මෙම අතීතය හෝ අනාගතය පිළිබඳ සිතිවිලි යනු හුදෙක් මේ අවස්ථාවේ සිදුවන දේය යන කරුණ දැන ගැනීමේ හැකියාව අපට අහිමි වේ. එ්වා හුදෙක් අපගේ වර්තමාන අත්දැකීම්හි අන්තර්ගතයන් වශයෙන් වෙන්කොට දැකීම නවතාලමින් එ් වෙනුවට එ්වාහි "කථාන්තර මාර්ගය" තුළ ගිලී යන්නෙමු. මෙම සිතිවිලි මගින් ඇති කරන මනස විසිර යාමේ ප්‍රතිඵලයක් ලෙස අපට අපගේ අවධානය පවත්වාගෙන යනු ලබන අරමුණ ගිලිහේ. කෙසේ වුවද, විසිර නොයන්නාවූ චිත්ත ස්වභාවයක් පවත්වාගෙන යාමට සමත් වුවහොත්, සිය අවධානයට යොමුවන අරමුණ අමතක නොවන ස්ථාවර සතිමත් බවක් ඇතිවේ. මෙයාකාරයෙන්, සතිමත් බව අපගේ අත්දැකීමේ නිරන්තරයෙන් වෙනස් වන මේ මොහොත මත අවධානය රඳවා තබා ගැනීමේ මානසික මැලියම ලෙස ක්‍රියාත්මක වේ.

අසංගයන්ගේ අන්තයන්ගෙන් මැදි පිළිවෙත වෙන්කොට දැකීම (සංස්කෘත- මධ්‍යතා විභංග) නමැති කෘතියට ඉදිරිපත් කරන විග්‍රහයේදී හෙවත් අටුවාවේදී ස්තිරමතී විසින් විස්තර කරනු ලබන ආකාරයට සතිමත් බව පවත්වාගෙන යාමේ ආධාරකයක් ලෙස වරින් වර අප විසින් අපටම අපගේ අවධානයට ලක්වන අරමුණ සිහිපත් කළ යුතුවේ. මින් අදහස් වනුයේ මනසින් මූලික අදහස සිහිපත් කරමින් අපගේ සතිමත් බව පිළිබඳ ග්‍රහණය වඩාත් බලවත්ව පවත්වාගෙන යාමයි. මෙය වූකලි සතිමත්බව යන්නට එහි අරමුණ පිළිබඳ සැලකිලිමත් වීමද ඇතුළත් වන්නේය යන වසුබන්ධුගේ අවධාරණාත්මක කරුණ හා අනුගත වන්නකි. මෙම කරුණ ෂොංඛපා විසින් වැඩි දුරටත් විග්‍රහ කරනු ලබයි: "මෙය සිතිවිලි පිට පැනීමක් වන අතර එ් අනුව මෙසේ සිහිපත් කරවීම සිදු නොකරන්නැයි පවසමින් මෙම කරුණ ප්‍රතික්ෂේප කළහොත්, ප්‍රබල සතිමත් බවක් හා සුපරීක්ෂාකාරිත්වයක් ගොඩනගා ගැනීම අතිශය දුෂ්කර වනු ඇත".

සුපරීක්ෂාකාරිත්වය

තිබ්බත භාෂාවෙන් ෂෙස්-ෂින් හා සංස්කෘත භාෂාවෙන් සම්පජඤ්ඤ වශයෙන් නම් කෙරෙන සුපරීක්ෂාකාරිත්වය යනු අවධානයට ලක් කෙරෙන අරමුණ මත සතිමත් බව විසින් පවත්වාගෙන යන ග්‍රහණයේ තත්ත්වය අධීක්ෂණය කරමින් පරීක්ෂාවට ලක් කරන්නාවූ මානසික සාධකයයි. එය අපගේ වර්තමාන අත්දැකීමට අදාළ  අවස්ථාවන්හි අන්තර්ගතය නම් වූ අවධානයට ලක්වන අරමුණ මත වූ සතිමත් බව පවත්වාගෙන යාමේ පසුබිමෙහි ක්‍රියාත්මක වේ. එ් අනුව, එක්තරා අයුරකින් සුපරීක්ෂාකාරිත්ය යනු දැඩි සතිමත් බවේ කොටසකි. ෂොංඛපා විසින් පෙන්වා දෙන පරිදි, අපගේ සතිමත් බව වඩ වඩාත් ශක්තිමත් වන්නට වන්නට, සිත විසිර යාමකින් තොරව සතිමත්ව සිටීමට වඩ වඩාත් අපි හුරු වෙමු. එහි ප්‍රතිඵලයක් වශයෙන්, සැබැවින්ම සිත විසිර යන විටදී එය හඳුනා ගැනීමට වඩ වඩාත් සංවේදී වෙමු. මෙයාකාරයෙන් අපගේ සතිමත් බව බලවත් වන්නට වන්නට, සුපරීක්ෂාකාරිත්වය වඩ වඩාත් බලවත් වනු ඇත.

පරීක්ෂකයෙකුගේ සිතක් විසින් එයට සම්පූර්ණයෙන් වෙන්ව පවත්නා පුහුණු ලාභියෙකුගේ සිතක් දෙස බලන්නාක් මෙන් එකිනෙක ස්වාධීන පැවැත්මක් සම්බන්ධ ද්විත්වවාදී කෝණයකින් සුපරීක්ෂාකාරිත්වය පිළිබඳ කල්පනා නොකළ යුතුය. අනෙක් අතින් ෂොංඛපා විසින් පෙන්වා දෙන පරිදි, සතිමත් බව හා සුපරීක්ෂාකාරිත්වය යන සංකල්ප දෙක ප්‍රවේශමෙන් වෙන්කොට ගත යුතුය. "වර්තමානයේ බොහෝ තිබ්බතීය භාවනා යෝගීන් විසින් සිදු කරන්නාක් මෙන් මෙකී සියලු චිත්ත ස්වභාවයන් එකිනෙක මිශ්‍ර කොටගෙන වියවුලක් සදාගනිමින් මෙම වෙන්කොට දැකීම් රහිත තත්ත්වයකට පත් වුවහොත්,සියල්ල අවුලක් බවට පත්වනු ඇති අතර, ඔවුන් ධ්‍යාන සමාධි තත්ත්වයකට පත්වීම මා හට නම් සැක සහිතය"යි ඔහු පවසයි.

සුපරීක්ෂාකාරිත්වය මගින් අපගේ සතිමත් බව තුළ පවත්නා විසිර යාම් පමණක් හඳුනා ගන්නේ නොවේ. නැවත පිහිටුවීමේ අවධානයක් සහිතව,එමගින් එක්තරා ආකාරයකට අපගේ අවධානය නිවැරදි කරමින් සතිමත් බව නැවත පිහිටුවනු ලබන්නාවූ අභ්‍යන්තර "අනතුරු ඇඟවීමේ පද්ධතියක්" ක්‍රියාත්මක කරනු ලබයි. කෙසේ වුවද, සූදානම්කාරිත්වය හා නැවත පිහිටුවීමේ අවධානය විසින් සිය කාර්යයන් සිදු කරනු පිණිස සැලකිලිමත් බවේ ආකල්පය නම් වූ සතිමත් බවේ තෙවන ප්‍රධාන සංඝටකයක්ද ක්‍රියාවේ යෙදවිය යුතුවේ.

සැලකිලිමත් බවේ ආකල්පයක්

සැලකිලිමත් බවේ ආකල්පය (තිබ්බත භාෂාවෙන් බැග්-යොඩ්, සංස්කෘත අප්‍රමාද; ප්‍රවේශම්කාරිත්වය, සිහිය) වූකලි අපගේ චිත්ත ස්වභාවය පිළිබඳ බලා කියා ගන්නාවූ හා ප්‍රවේශම්කාරී වන්නාවූ මානසික සාධකයයි. එමගින් අපගේ සිත පාපකාරී දෙසකට නැඹුරු වීමෙන් ආරක්ෂා කරමින් එය ධනාත්මක, පුණ්‍යවන්ත පාර්ශ්වයෙහි රඳවනු ලබයි. එ් අනුව, සැලකිලිමත් ආකල්පයක් සහිතව, අපි අපගේ චිත්ත ස්වභාවය බරපතල ලෙස ගනිමු: එනම් එ් පිළිබඳ "සැලකිලිමත්" වෙමු. මෙහිදී සැලකිලිමත් බවේ ආකල්පයක් යන්න වසුබන්ධු විසින් සතිමත් බවේ කොටසක් වශයෙන් විස්තර කරන්නාවූ, අවධානයට යොමුවන අරමුණට ඇලුම් කරන්නාවූ මානසික සාධකයට තරමක් සමාන වේ.

වසුබන්ධු විසින් ඉදිරිපත් කරනු ලබන කරුණට අනුව, යම් නිශ්චිත අවස්ථාවක අපගේ අවධානයට ලක්වන අරමුණට නොඇලෙන්නේ නම්, හෙවත් සිහි තබාගත යුතු තරම් වටිනා දෙයක් සේ එය සමීපස්ථව ග්‍රහණය කොටගෙන නොසිටියේ නම්, අපට එය නැවත සිහි ගැන්වීමට නොහැකි වනු ඇත. සැලකිලිමත් ආකල්පයක් යන්නට ඇලීමට වඩා යමක් අන්තර්ගත වේ. එ් වූකලි අපට සිහි කැඳවිය හැකි ආකාරයෙන් අවධානයට ලක් කරන අරමුණ කෙරෙහි ප්‍රමාණවත් සැලකිල්ලක් දැක්වීම පමණක් නොවේ. එයට වඩා, අපගේ සැලකිලිමත් ආකල්පය හේතුකොට, සුපරීක්ෂාකාරිත්වය විසින් අපගේ සතිමත් බව පිළිබඳ ග්‍රහණය දෝෂ තත්ත්වයකට පත්ව ඇති බව හඳුනා ගන්නා විටදී සතිමත් බව පිළිබඳ මානසික ග්‍රහණය නිවැරදි කරනු පිණිස නැවත පිහිටුවීමේ අවධානය යොදා ගැනීමට පටන් ගන්නෙමු. අපගේ සිත විසිර ගොස් ඇති බව තේරුම් ගියද මේ මොහොත නම් වූ අපගේ අවධානයට ලක්වන අරමුණ අමතකව ගොස් ඇත්තේය යන කරුණ නොසලකා හරින්නෙමු. සැලකිලිමත් බවේ ආකල්පයක් යනු ආචාර ධාර්මික ස්වයං ශික්ෂණය සඳහා වූ පදනමක් වන අතර එය භාවිතයෙන් අපි හානිකර චර්යාවන්ගෙන් වැළකී සිටින්නෙමු.

බැග්-යොද් යන වදනින් අරුත් ගැන්වෙන සැලකිලිමත් බව නමැති තිබ්බතීය වදන තුළින් "ප්‍රවේශම් සහගත බවක් පැවතීම" නමැති අදහසක් ඇඟවේ. එහි ප්‍රතිවිරුද්ධ අරුත දෙන බැග්-මෙද් නමැති වදන තුළ ප්‍රවේශම් සහගත බවක් නොමැති වීම, අපරිස්සම්කාරී වීම යන්නක් අරුත් ගැන්වේ. තිබ්බතීය භාෂාවට බැග්-යොද් ලෙස පරිවර්තනය කෙරෙන මුල් සංස්කෘතික වචනය අප්‍රමාද නම් වන අතර එහි අදහස ප්‍රමාද නොවන්නේය යන්නයි. ප්‍රමාද යන්නෙන් අරුත් ගැන්වෙනුයේ අප ප්‍රකාශ කරන හෝ කරන දෙය පිළිබඳව සැලකිලිමත් නොවන අතර එ් එකක් කෙරෙහි හෝ ප්‍රවේශම් නොවන තරමට බීමතින් හෝ මානසික අස්ථාවරත්වයකින් පසුවන බවයි. සැලකිලිමත් ආකල්පයක් සහිත විටදී, අපි බීමත් අයෙකු සේ නොවන්නෙමු. වඩාත් තැන්පත්, නිහඬ හා වගකීම් සහිත අය වන අතර අපගේ චිත්ත ස්වභාවය පිළිබඳව එහිදී සැලකිලිමත් වන්නෙමු.

සාරාංශය

එ් අනුව, සතිමත් බව පුහුණු කිරීම තුළදී සංකීර්ණ මානසික සාධක ජාලයක් ක්‍රියාත්මක කෙරේ. එම සියලු සාධක මගින් අප අත්දකින මේ මොහොතට අදාළ ව නිරන්තරයෙන් වෙනස්වන අන්තර්ගතයන් මත අවධානය යොමු කෙරේ. ප්‍රධාන සාධක වන සතිමත්බව, සුපරීක්ෂාකාරිත්වය හා සැලකිලිමත් ආකල්පයට අමතරව, එයට වෙන්කොට දැකීම, නිවැරදි සැලකිලිමත් බව, ආචාර ධාර්මික ස්වයං විනය හා අවශ්‍ය තැන්හි නැවත සකස් කිරීමේ අවධානයද ඇතුළත් වේ. එ් අනුව මෙම සාධක එක එකක් සහතික වශයෙන් වෙන්කොට දකිනු පිණිස අපට වෙන්කොට දැකීමේ දැනුවත්භාවයක් අවශ්‍ය වේ. සතිමත් බව පිළිබඳ භාවනා සන්දර්භය තුළ වෙන්කොට දැකීමේ දැනුවත්භාවය අපගේ අත්දැකීමේ එක් එක් අවස්ථාවේ අනිත්‍ය ස්වභාවය බඳු හුදෙක් අවධානයට ලක්වන අරමුණේ යම් පැතිකඩක් මත පමණක් පවත්වා ගන්නා අවධානයකට සීමා නොවේ. එමගින් අප භාවනාවෙහි නිරතව සිටින අතර අපගේ චිත්ත ස්වභාවයේ විවිධ පැතිකඩයන් කෙරෙහිද අවධානය යොමු කරනු ලබයි.

එ් අනුව, නිශ්චල හා තැන්පත් සමථයක් ගොඩනගා ගැනීම පිළිබඳ සිය සාකච්ඡාව තුළ ෂොංඛපා විසින් මහා භාරතීය බෞද්ධ ගුරුවරුන්ගේ බලසම්පන්න කෘතීන් මත විශ්වාසය තැබීමේ අවශ්‍යතාවය අවධාරණය කරනු ලබයි. ඔහුගේ උපදේශය වනුයේ:

හුදෙක් අන්ධ උද්‍යෝගයක් මගින් පමණක් ඉදිරියට තල්ලු වීමක් අපේක්ෂා නොකරන්න. බලවත් ආකල්ප සංග්‍රහය (සංස්කෘත-පාරමිතාසමාස) නමැති කෘතියෙහි ආර්යාෂුරයන් විසින් ලේඛනගත කරන ලද පරිදි "උද්‍යෝගය පමණක් යොදා ගන්නේ නම් ඔබගේ අවසානය වෙහෙසට පත්ව ඇද වැටීම පමණක් වනු ඇත. නොඑසේව, වෙන්කොට දැකීමේ දැනුවත්භාවය උපකාර කොටගෙන ඔබගේ දියුණුව වගා කරගතහොත්, උතුම් අරමුණු සාක්ෂාත් කරගැනීමට ඔබට හැකිවනු ඇත".
Top