අපගේ එදිනෙදා ජීවිතය තුළ කර්මයෙහි අදාලත්වය

කර්මය වටහා ගැනීම

අද මම අපගේ එදිනෙදා ජීවිතයට කර්මය අදාල වන ආකාරය පිළිබඳව කථා කරන්නට කැමතියි. මේ සඳහා ආරම්භයේදීම කර්මය යනුවෙන් අදහස් කෙරෙන්නේ කවරක්ද යන්න වටහා ගැනීම අවශ්‍යයි. මේ සඳහා පොදු විග්‍රහයන් දෙකක් පවතී. ඉන් එකක් වනුයේ කයින් ක්‍රියාවක් සිදුකිරීම හෝ වචනයෙන් යමක් පැවසීම හෝ සිතින් යමක් සිතීම වශයෙන් වූ විවිධාකාර ක්‍රියාවන් කෙරෙහි අප ඇදගන්නාවූ බලහත්කාරී මානසික පෙළඹීම් කර්මය යනුවෙන් හැඳින්වෙන බවයි. දෙවන විග්‍රහය තුළ කයින් හා  වචනයෙන් සිදුකරන ක්‍රියාවන් සම්බන්ධ වෙනස් වූ ප්‍රකාශනයක් වේ. එවන් ක්‍රියාවන් සඳහා කර්මය වූකලි අපගේ කයින් සිදුකරන ක්‍රියාවන්හි බලහත්කාරී හැඩයද, අපගේ වචනයින් ප්‍රකාශ කරන දේහි පවත්නා බලහත්කාරී හඬද, මෙම ක්‍රියා වර්ග දෙකම සමගින් පවත්නා බලහත්කාරී සියුම් ශක්තියද වන අතර එය ක්‍රියාවෙන් පසුද අපගේ චිත්ත සන්තතිය සමගින් අඛන්ඩව ක්‍රියාත්මක වේ. කර්මය යන්නට යෙදෙන තිබ්බතීය වදන එම භාෂාවේ 'ක්‍රියාව' හැඳින්වෙන වචනයම වුවද, ඉහත සඳහන් විග්‍රහයන් දෙකෙහිම කර්මය වූකලි සැබෑ ක්‍රියාවම නොවන්නේය යන කරුණ සැලකිල්ලට ගැනීම වැදගත්ය.

මෙකී බලහත්කාරී කර්ම ස්වභාවයන්ගෙන් යම් ක්‍රියාවක් සිදුකළ පසු, එමගින් අපගේ චිත්ත සන්තතිය තුළ යම් කර්ම ප්‍රතිවිපාකයක් රඳවනු ලබයි. කුසල හෝ අකුසල කර්ම විභවයන් හා කර්ම ප්‍රවණතාවයන් ලෙස එන මේවා අතරින් වඩාත් පුළුල් ලෙස සාකච්ඡා කෙරෙන කරුණ පිළිබඳ කථා කරමු. මෙම දෙක අතර සුළු වෙනසක් පැවතියද, මේ අවස්ථාවේ එම තාක්ෂණික විග්‍රහයනට යාම අවශ්‍ය නොවේ. මෙම කර්ම විභවයන්ගේ හා ප්‍රවණතාවයන්ගේ එක් පැතිකඩයක් වනුයේ ප්‍රමාණවත් පසුබිමක් පවත්නා කල්හි යම් ප්‍රතිවිපාකයක් හෝ ප්‍රතිඵලයක් ඇති කිරීමේ හැකියාවයි. තාක්ෂණික යෙදුම් ඇසුරින් ප්‍රකාශ කරන්නේ නම්, එ්වා පළතුරක් මෙන් 'මේරීම' හෙවත් 'ඉදීම' සිදුවේ.

කර්ම විභවයන් හා ප්‍රවණතාවයන් තුළින් මෝරනුයේ කවරක්ද?

මෙම කර්ම විභවයන් හා ප්‍රවණතාවයන් වෙතින් ඉස්මතුවන බොහෝ විවිධ වර්ගයේ ප්‍රතිඵල පවතී. වඩාත් පොදු ප්‍රතිඵලය වනුයේ අපගේ අත්දැකීම ආශ්‍රිත එ් එ් මොහොත හා බැඳුණු යම් මට්ටමක සතුටක් හෝ අසතුටක් පැවතීමයි. එය අසතුට නම්, පාප චර්යාවන්හි ප්‍රතිඵලයද, සතුට නම් පුණ්‍ය චර්යාවන්හි ප්‍රතිඵලයද වේ.

මෙම ජීවිත කාලය තුළ මෝරන කර්මය බො‌හෝ විට පෙර ජීවිත කාලයන්හි සිදු කරන ලද ක්‍රියාවන්ගේ ඵලය වේ

අපගේ එදිනෙදා ජීවිතයේ අත්දැකීම් සලකා බලන විටදී, අප අත්දකින කවර හෝ සතුටු හෝ අසතුටු හැඟීමක් හා යමක් සිදු කිරීම හෝ පැවසීම පිණිස අප තුළ පවත්නා හැඟීම් මේ ජීවිත කාලයේ අතීතයට අයත් ක්‍රියාවන්හි කර්ම විභවයන් හෝ ප්‍රවණතාවයන් මෝරා වැඩීමක් ලෙස නිරතුරු සිතන්නෙමු. යම් ආකාරයේ කර්ම චර්යාවන් සම්බන්ධයෙන් පමණි මේ ජීවිත කාලය තුළම විභවයන් හා නැඹුරුතාවයන් මෝරා යාම සිදුවන්නේ. අපට අතිශයින්ම කාරුණික වූ අපගේ ගුරුවරුන් හෝ මව්පියන් වැනි අය වෙත යොමුවූ එ්වා මෙන් ඉතා තදබල පෙළඹීමක් හේතුකොට සිදු කෙරෙන පාපකාරී හා පුණ්‍යවන්ත චර්යාවන් මේ අතරට ඇතුළත් වේ. එසේ නමුදු, මෙම ජීවිත කාලය තුළ මෝරා ප්‍රතිඵල දක්වන අප අත්දකින අති බහුතරයක් අත්දැකීම් පෙර ජීවිත කාලයන්හි සිදුකළ ක්‍රියාවන් මගින් ගොඩනගා ගත් කර්ම විභවයන්හි හා නැඹුරුතාවයන්හි ප්‍රතිඵල වේ.

මෙම කාරණය අප බොහෝ දෙනෙකු හට අවබෝධ කරගැනීම ඉතා දුෂ්කර විය හැක. බටහිර ජාතීන් වන අප බො‌හෝ දෙනෙකු පෙර හා මතු භවයන් පිළිබඳ කිසිසේත් එ්ත්තු ගෙන නොමැත. එය වෙනමම සාකච්ඡා කළ යුතු කරුණක් වන අතර, අවාසනාවකට, අපට මේ අවස්ථාවේ පෙර හා මතු භවයන් පිළිබඳවද එ්වා එ්ත්තු ගත් ආකාරය පිළිබඳවද විමර්ශනයක නියැලීමට අවකාශ නොමැත. කෙසේ වුවද, පුනරුත්පත්තිය විශ්වාස කිරීමකින් තොරව වුවද, කර්මය පිළිබඳ සමස්ත සාකච්ඡාව අපගේ ජීවිතයට හා අපට සිදුවන සිදුවීම් සම්බන්ධයෙන් අප කටයුතු කරන ආකාරය හා දැඩි අදාලත්වයක් පවත්නේය යන්න මාගේ අදහසයි.

අපගේ බලහත්කාරී චර්යාවන් පිළිබඳ අවධානය, සතිය හා වෙන්කොට දැක්මේ දැනුවත්භාවය ගොඩනගා ගැනීම

ජීවිතයේ අප අත්දකින දේ සම්බන්ධයෙන් කටයුතු කිරීම ආරම්භ කරනු පිණිස අවධානය වැඩිදියුණු කරගත යුතුවේ. අවධානය වූකලි අපගේ චිත්ත ක්‍රියාකාරිත්වය යම් නිශ්චිත අරමුණක් මත රඳවා තබන්නාවූ මනෝ සාධකය වේ. අවධානය යොමුකරන අරමුණ අප සෑම මොහොතකම අත්දකින අත්දැකීම් වන විටදී, බටහිර අර්ථ නිරූපණයට අනුව එය "සිහිය" වේ. කෙසේ වුවද, සැබැවින්ම බුදු දහමේ එන අර්ථ නිරූපණයට අනුව "සතිය" හෙවත් "සිහිය" නමැති මනෝ සාධකයේ අරුත එය නොවේ. අප අපගේ චිත්ත හා භාවමය ජීවිතයන්හි සිදුවන දෙය සම්බන්ධයෙන් අවධානයෙන් සිටින විටදී, සිහිය හෙවත් සතිය යනු එම අවධානය නොනැසී පවත්වා ගැනීමට ආධාරක වන මානසික මැලියම වූ මනෝ සාධකයයි. වඩ වඩාත් අවධානය යොමුකරන විටදී, යමක් සිදු කිරීමට හෝ යමක් පැවසීමට අදහසක් ඉස්මතුවන අවස්ථාවන් වඩා හොඳින් හඳුනා ගැනීමට හැකිවේ. එය ඉස්මතුවන විටදී එය හඳුනා ගනිමින් යමක් සිදු කිරීමේ හැඟීමක් ඇතිවන අවස්ථාව හා එයට අදාල චර්යාවට අප යොමුකරන බලහත්කාරී පෙළඹීම අත්දකින අවස්ථාව අතර යම් අවකාශයක් පවත්නා බව හඳුනා ගන්නෙමු.

බලහත්කාරී චර්යාවන් පිළිබඳ අපගේ රටාවන් අත්හැර දැමීම

මෙතැනදීය බලහත්කාරී චර්යාවන්හි ඇබ්බැහිවූ රටාවන් මැඩ පැවැත්වීම සඳහා අත්හැර දැමීම වැදගත් වනුයේ. අත්හැර දැමීම යනු යමකින් මිදීමේ අදිටන හා එය අත්හැර දැමීමේ කැමැත්තයි. එ් හා බැඳුණු භාවයම හැඟීම වනුයේ පූර්ණ පිළිකුල හා වෙහෙසයි: ආත්ම හානී පාපකාරී ඇබ්බැහි හෝ නියුරෝසික පුණ්‍ය ඇබ්බැහීන් හෝ වේවා අපි අපගේ එම චර්යාමය ඇබ්බැහීන් පිළිබඳ වෙහෙසට පත්ව සිටිමු. නිදසුනක් ලෙස, නිරතුරු කෝපයට පත්වීම හා බැණ අඬගැසීමට සිදුවීම පිළිබඳව හෝ සිතට වදයක් වන තරමට අපගේ අත් සේදීමට සිදුවීම පිළිබඳව වෙහෙසට පත්ව සිටින්නෙමු. එබැවින්, අපට බැණ අඬගැසීමට හෝ මේ දැන් සේදූ අත් නැවතත් සේදීමට සිත් දෙන විටදී, එවැනි හැඟීම් පවා ඇතිකර ගැනීමෙන් වැළකී සිටීමේ අදිටන නැවතද අවධාරණය කරගන්නෙමු. පළමු පියවරක් වශයෙන් එවන් හැඟීම ක්‍රියාවට නොනැගීමේ අපගේ අදිටන නැවත අවධාරණය කරගනිමින් ඉන්පසු ස්වයං පාලනයක් පවත්වා ගනිමින් එය සිදු කිරීමෙන් වළකින්නෙමු. එනමුදු, ස්වයං පාලනය හුදෙක් පළමු පියවර පමණි. අපගේ බලහත්කාරී චර්යාවන්ගේ ගැඹුරුම හේතු සාධකය ඉවත් කරලීම පිණිස වඩාත් ගැඹුරට යා යුතුව පවතී.

කර්මය වරදවා වටහා ගැනීම

එදිනෙදා ජීවිතවලට කර්මය පිළිබඳ දේශනා යොදා ගැනීමට උත්සාහ කරන අතර, කර්මය ඵල දැරීම හේතුකොට අප අත්දකින දේ මගින් ඇතිවන අනවබෝධයන්ගෙන් ප්‍රවේශම් විය යුතුය. මෙම පරාජිත ආකල්පය සහිතව අපි අතීතයේදී අයහපත් දරුවෙකුව සිටි අතර දැන් අපට සිදුවන දෙය දඬුවම ලෙස ලැබිය යුතුව පවත්නක්ය යන අදහසක් අප තුළ පවතී. අප විසින් ඉලක්කයක් පිහිටුවා නොමැත්තේ නම්, කිසිවෙකු විසින් හෝ එ් වෙත හීයක් නොවිදිනු ඇත්තේය යන ශාන්තිදේවයන්ගේ දේශනාව අපට මෙහිදී හමුවේ. පෙරදී පාප ක්‍රියාවන්හි නො නියැළිණි නම් වර්තමානයේ ඇතැමුන් අප හා කෝපව අයහපත් අයුරින් අපට සැලකීම් ආදිය අත් විඳීමට සිදු නොවනු ඇත. ශාන්තිදේවයන්ගේ අදහස නම් මෙහිදී අනෙකා වෙත දොස් නොපවරා අපම එම දෝෂය භාර ගත යුතු බවයි. කෙසේ වුවද කරබාගෙන, මැසිවිලි නොනඟා අපගේ දඬුවම උදාසීන ලෙස පිළිගන්නා මට්ටමකට ඇද වැටෙමින් තමා බොහෝ සෙයින් අයහපත් පුද්ගලයෙකු වන අතර විඳින්නට සිදුව ඇති සියලු දුක් තමාට ලැබිය යුතුම දේ ලෙස සැලකීමේ හා සිතීමේ අන්තයට යා යුතු බවක් ඉන් නොඇඟවේ. කර්මය පිළිබඳ ඉගැන්වීම් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ වඩාත් සෞඛ්‍ය සම්පන්න විධිය එයය යන්න හෝ එය ක්‍රියාවට නැංවිය යුතු යැයි අදහස් කෙරෙන ආකාරය එයය යන්න මාගේ අදහස නොවේ.

මෙම දෛවයෝගී දෘෂ්ටි කෝණය වෙනුවට එදිනෙදා ජීවිතයේදී එ්වායින් යම් ඵලයක් ලැබිය හැකි ආකාරය විමසා බලනු පිණිස කර්ම ඉගැන්වීම්හි සෙසු පැතිකඩයන්ද පරීක්ෂා කළ යුතුය. අපට මේ මොහොතේ සිදුවන දෙයක් අත් විඳින විටදී, කර්ම දේශනාවනට අනුව එයට හේතුව අපගේ පෙර චර්යාවන්ය යන්න තේරුම් ගත හැක. බොහෝ දේශනාවන් තුළ අප අත්දකින දෙය හා අපගේ පූර්ව චර්යාවන් අතර සම්බන්ධතාවය විස්තර කෙරේ. නිදසුනක් ලෙස, නිරතුරුවම ඇතිවන සම්බන්ධතා කල් නොපවත්නේ නම්, ආදරණීයයන් සමගින් එක්ව කල් ගතකළ නොහැකි නම්, හෝ අන් අය නිරතුරුවම අප හා භේද වන්නේ නම්, එය අන්‍යයන් පිළිබඳව කේලාම් කීමේ ප්‍රතිඵලයයි. අප විසින් පුද්ගලයන් හට ඔවුන්ගේ මිතුරන් පිළිබඳ නීරස හා අමිහිරි දේ පවසා ඔවුන් අතර බෙදීම් ඇතිකර ඇත. අපගේම මිතුරන් අප හැරයන අත්දැකීම් ලබන විටදී, එය වූකලි පෙරකී පරිදි වූ අපගේ කර්මයේ ඵල දැරීමක් වන අතර එ් අනුව අන්‍යයන්ද අපට එ් හා සමාන ප්‍රතිචාරයක් දක්වන තත්ත්වයක් අත් විඳින්නෙමු.

කේලාම් කීමෙන් ඵල දරන හෙවත් පරිණත වන, මෝරන තවත් අතිරේක දෙයක් වනුයේ මෙයාකාරයේ චර්යාවන්හි නැවත නැවතද යෙදීමේ බලහත්කාරී හැඟීමයි. මේ අනුව, කර්මය පිළිබඳ අපගේ වැටහීම ධනාත්මක මෙවලමක් බවට පත්කර ගනු පිණිස අප පිළිබඳ අවංක විමර්ශනයක නියැළිය යුතුය. වෙනත් අය පිළිබඳව වූ විවේචන හෝ අමිහිරි දේ ඔවුන්ගේ ප්‍රේමණීයයන්ට, ඔවුන් හා කටයුතු කරන අයට, අධ්‍යාපන කටයුතුවල නිරත වූවන්ට හෝ මිතුරන්ට පැවසීමේ නැඹුරුවක් අප තුළ පවත්නේද? ඇතැම් විට අප පමණ ඉක්මවා අනුන් පිළිබඳ විවේචනාත්මකය යන කරුණ අපට වැටහෙනු ඇත. අපි කිසිවෙකු හෝ පිළිබඳ යහපත් දෙය පවසනවාට වඩා ඔවුන්ගේ අයහපත් පැත්ත දැකීමට හා පැවසීමට වැඩි නැඹුරුතාවයක් දක්වන්නෙමු. එය ඉතා සාමාන්‍ය තත්ත්වයක් නොවේද? අපි අන්‍යයන්ගේ දුර්වලතා ගෙනහැර පාමින් ඔවුන් පිළිබඳ සෙසු අයටද පවසමින් එ් පිළිබඳ මැසිවිලි නැගීමට නොඉවසිලිමත් වෙමු. එසේ වුවද, අන්‍යයන්ගේ යහපත් පැතිකඩ පිළිබඳ අවධානය යොමුකොට සෙස්සන් වෙත ඔවුන් පිළිබඳ ප්‍රශංසා මුඛයෙන් කථා කිරීමට පෙළඹෙන වාර ගණන කොපමණද? අප බොහෝ දෙනෙකු සම්බන්ධයෙන් මෙම ගුණය දුර්ලභ වූවකි. 

මෙය වූකලි මෙම දේශනාවන්ගෙන් උගත හැකි හා අපගේ එදිනෙදා ජීවිතයේදී ප්‍රායෝගිකව භාවිත කළ හැකි වඩාත් ප්‍රයෝජනවත් කරුණකි. අපට සිදුවන හා අත්විඳින වර්ගයේ දේවල් සමගින් අනුගතවන අපගේ ස්වභාවික චර්යා රටාවන් අපට හඳුනාගත හැක. එවිට, "මට මෙහෙම වෙන්නම ඕන. මොකද අනිත් අයව විවේචනය කරමින් මම ගිය ආත්මෙදි හරිම අයහපත් ජීවිතයක් ගත කරන්න ඇති" යන පරාජිත ආකල්පයක් දක්වා පසුබසිනවා වෙනුවට, මේ මොහොතේ සිට අපගේ චර්යාව වර්ධනය කරගැනීම කෙරෙහි අවධානය යොමුකළ හැක. වෙනයම් පුද්ගලයෙකු පිළිබඳව අමිහිරි වූ දෙයක් පැවසීමට අදහසක් පහළ වන විටම, එ් වෙනුවට, වඩ වඩාත් ඔවුන්ගේ යහපත් ගුණාංග පිළිබඳ සිතමින් ඔවුනට ප්‍රශංසා කළ හැක.

අපට හඳුනාගත හැකි කර්ම රෝග ලක්ෂණ සම්බන්ධ බොහෝ උදාහරණ වේ. නිදසුනක් ලෙස අප දුප්පතුන් විය හැක. කරුණු පරීක්ෂා කර බැලුවහොත්, අප නිරතුරුවම වෙනත් අයගෙන් ප්‍රයෝජන ගෙන ඔවුන් සතු දේපළ පරිහරණය කරමින් ඔවුන් සූරාකන අතර කිසිවෙකුට හෝ ප්‍රති උපකාරයක් නොකරන හා නිරතුරු ඔවුන්ගේ උපකාර අපේක්ෂා කරන ආකාරයේ තත්ත්වයක් පවත්නා බව පෙනී යා හැක. මෙහිදී විමසීමකින් තොරව වෙනත් අයකුගේ ආහාරයක් ඔහුගේ ශීතකරණය විවෘත කොට ලබාගැනීම වැනි අවසරයකින් තොරව අන් අය සතු දේ ගෙන භාවිත කිරීම ආදී ක්‍රියාවන් පිළිබඳව විශේෂයෙන් අදහස් කෙරේ. එ් හා සමාන ආකාරයෙන්ම කටයුතු කිරීම සඳහා වූ හැඟීම් හා නැඹුරුතාවයන් සමගින් වර්තමානයේ අප අත් විඳින දේහි මෙම සහ සම්බන්ධය හඳුනාගත හැක. තියුණු අවි චක්‍රය යන අදහස දෙන Wheel of Sharp Weapons නම් චිත්ත පුහුණු පාඨ ග්‍රන්ථයේ ඉන්දියානු ගුරු ධර්මරක්ෂිතයන් විසින් මෙම සහ සම්බන්ධතා බොහොමයක් පෙන්වා දී ඇත.

මෙයට අමතරව ප්‍රතිඵලයන්හි ඇත්තේ හුදෙක් එක් හේතුවක්ම නොවන්නේය යන කරුණද අවබෝධ කරගත යුතුය. බුදුන් වහන්සේ දේශනා කළ පරිදි බඳුන පිරී යනුයේ හුදෙක් පළමු ජල බිඳුව හේතුවෙන් හෝ හුදෙක්ම අවසන් ජල බිඳුව හේතුවෙන්ද නොව සියලු බිඳුවල එ්කාබද්ධ ඵලය වශයෙනි. අප අත් විඳින කවර වූ හෝ දුකක් අතීතයේ කළ එක් අශෝභන ක්‍රියාවක හෝ පෙරදී සිදු කරන ලද අශෝභන ක්‍රියාවන් ගණනාවක එ්කාබද්ධ ප්‍රතිඵලයක් පමණක් නොවේ.  අප විසින් යමක් අත් විඳීමට බලපානා ලෙස එ්කාබද්ධ වූ හේතු ප්‍රත්‍ය අසංඛ්‍ය ගණනාවක් පවතී.

අප මෝටර් රියක හැපී අනතුරට පත් වන්නේ යැයි සිතමු. ඉන් අදහස් වනුයේ පෙරදී අප විසින් මෝටර් රථයක් උපයෝගයෙන් හෝ එසේ නොමැතිව යමෙකු අනතුරට පත් කළ බව පමණක් නොවේ. එහිදී හේතුව එය පමණක් නොවේ. සැබෑ ලෙසම අප අනතුරට පත් කළ අනෙක් පුද්ගලයාගේ සියලු කර්ම විභවයන්ද එතුළ අන්තර්ගත වේ. එයිනුත් ඔබ්බට, කාලගුණය, රථ වාහන තත්ත්වය, එම අවස්ථාවේදීම අපට බැහැරට යාමට සිදුවූ හේතු ආදියද අදාල වේ. අප සත්‍ය වශයෙන්ම මෝටර් රථ අනතුරකට මුහුණ පාන්නට හේතු පාදක ලෙස එ්කරාශි වූ හේතු ප්‍රත්‍ය අති විශාල සංඛ්‍යාවක් පවතී.

හේතු ඵල න්‍යාය සම්බන්ධ අපගේ දැක්ම පුළුල් කරගනිමින් යම් නිශ්චිත ප්‍රතිඵලයක් අතිවීම සඳහා එ්කරාශි විය යුතුවන බොහෝ සංඛ්‍යාවක් වූ හේතු ප්‍රත්‍ය ප්‍රකාර එය වටහා ගන්නා විටදී, අපට සිදුවූ මෙම සිදුවීම භුක්ති විඳිය යුතු වරදකරු ලෙස "මා" ලෙස හඳුනාගන්නා රූපයෙහි ගණත්වය දියාරු කිරීමට පටන් ගන්නෙමු. එය මුළුමනින්ම මාගේ වරදින් සිදුවූවක්ය යන අදහසද මෘදු බවට පත් කරන්නෙමු. සැබැවින්ම එයට මා වගකිව යුතු නමුදු, අතකින් අපගේ චර්යාවට අදාළ වගකීම භාරගැනීම හා අනෙක් අතින් දැඩි ලෙස පවත්නා "මමෙකු" හා අනන්‍ය වෙමින් ඔහු වරදකරු වන අතර ඔහුගේ වරද හේතුවෙන්ම මේ සියල්ල සිදුවන බව සිතීම අතර සුවිශාල වෙනසක් පවතී.

කර්මයට සාපේක්ෂව ශූන්‍යත්වය වටහා ගැනීම

හේතු ඵලවාදය පිළිබඳ අපගේ දැක්ම පුළුල් කරගන්නා අතරම, එ් හා සම්බන්ධ "ත්‍රි චක්‍රය" නමින් හඳුන්වන කරුණ කැබලිවලට වෙන්කොටගත යුතුය. මෙම චක්‍ර තුන සකස් කිරීමේ බොහෝ විධික්‍රමයන් පවත්නා නමුදු කර්මය ඵල දැරීමේ සන්දර්භය තුළ අපට එ්වා එම කර්මය ඵල දැරීම අත් විඳින්නාවූ "මා", අප මේ මොහොතේ අත් විඳින කර්මයෙන් ඵල දැරූ දෙය, හා ඵල දරා ඇති දෙයට අදාල කර්ම හේතුව ලෙස අප විසින් අතීතයේදී කරන ලද ක්‍රියාව ලෙස නිශ්චිතව පෙළ ගැස්විය හැක. මෙම චක්‍රත්‍රය එකිනෙක මත රඳා පවතිමින් ඉස්මතු වන බව හා එ්වා රඳා පවතිමින් ඉස්මතු වූ අන් සියල්ලෙන් ස්වාධීනව ස්වයං ස්ථාපනයක් ඇතිකර ගැනීමේ හැකියාවකින් තොර බව වටහා නොගන්නා කල්හි,  අතීතයේ බොහෝ සෙයින් අයහපත් වූද මේ අවස්ථාවේ සිදුවන දේ එ් අනුව සිදු විය යුතුවම පවත්නා දැඩි "මමෙක්" මනසින් ගොඩනඟා ගනිමින් එය ග්‍රහණය කොට ගන්නෙමු. එක් අතකින් මෙහිදී අපි එක්කෝ වින්දිතයා බවටද නොඑසේ නම් දණ්ඩනයට යටත් කරනු ලබන අපරාධකරු බවට පත්වන අතර එ‌සේ දැඩිව පවත්නා සේ පෙනෙන අනන්‍යතාවය ග්‍රහණය කොටගෙන සිටින්නෙමු. මෙය ඉතා අසතුටුදායක චිත්ත ස්වභාවයක් නොවන්නේද? බොහෝ අවාසනාවන්ත දෙයක් ලෙස මේ මොහොතේදී අත්විඳින දෙය පිළිබඳව බොහෝ සෙයින් කලබල වෙමින් අතීතයේදී අප කළ දේවල්ද ඉතා බරපතල දේ ලෙස සලකමින් එ්වාද බො‌හෝ බරපතල කොට ගන්නෙමු. සමස්ත සංසිද්ධියම වරදකාරී හැඟීම හා අප පිළිබඳවම කණගාටු වීම යන හැඟීම් හා මුහු වේ. මේ සියල්ල තුළින් සිදුවනුයේ අපගේ දෛනික ජීවිතය වඩ වඩාත් අයහපත් එකක් බවට පත් වීමයි.

එබැවින්, ශූන්‍යතාවය පිළිබඳ යම් වටහා ගැනීමක් පවත්වා ගැනීම ඉතා වැදගත්ය. එසේ නොවන්නේ නම්, දේවල් පමණට වඩා දෘඪ ස්වභාවයක් ගන්නා අතර, අප විසින් විස්තර කරන ලද පරිදි වඩ වඩාත් ගැටළු හා දුක් ඇති කරන්නට යන අන්තයනට යාම පහසුවෙන් සිදුවිය හැක. අපට ශූන්‍යතාවය පිළිබඳ යම් වැටහීමක් පැවතියද, අප විසින් සිදුකරන, ප්‍රකාශ කරන හෝ සිතන කවරක් තුළ වුවද කර්ම ප්‍රතිවිපාකයන් පවත්නේය යන කරුණ සිහි තබා ගනිමින්ම කටයුතු කළ යුතුය. මෙකරුණ සිහි තබා ගනිමින්, පාපකාරී ක්‍රියාවන්ගෙන් වැළකී පුණ්‍ය ක්‍රියාවල නිරත විය යුතුය.

පාපකාරී ක්‍රියාවන්ගෙන් වැළකී සිටීම

බෞද්ධ ධර්ම ග්‍රන්ථයන්හි ඉගැන්වෙන පරිදි යම් ආකාරයක පාපකාරී චර්යාවකින් වැළකී සිටීමේ හේතු සාධකය වනුයේ එම ක්‍රියාව සිදු කිරීමෙන් ඇතිවන අවාසි පිළිබඳ සිතා බැලීමයි. එම චර්යාවෙහි දුක්ඛදායක ප්‍රතිඵල අත් විඳීමට අපට අවශ්‍ය නොවන බැවින් යමක් සිදු කිරීමට, පැවසීමට හෝ සිතීමට හැඟීමක් ඇතිවන විටදීම ඉන් වළකින්නෙමු. එනමුදු බොහෝ අවස්ථාවන්හිදී, අපි සැබැවින්ම එ් ආකාරයෙන් නොසිතන්නෙමු. පාපකාරී ක්‍රියාවක් සිදු නොකිරීම නිවැරදි දෙය වන්නේය යන හැඟීම ඇතිවන බැවින්ම අපි එසේ වළකින්නෙමු. රැවටීම, ම්ලේච්ඡත්වය වැනි යම් වර්ගවල පාපකාරී චර්යාවන් හුදෙක් නිවැරදි නොවන බව හැඟෙන බැවින්ම හා එම වර්ගයේ චර්යාවන් පවත්නා බැවින්ම මෙය සිත් ගන්නා සුළු කරුණක් වේ. මෙහිදී ඇතැම් විට අපි සක්‍රීය ලෙසම පාප කර්ම ප්‍රතිවිපාක පිළිබඳ සිතා නොබැලුවද එම ක්‍රියාවන්හි නොයෙදෙන්නෙමු.

කෙසේ වුවද, මදුරුවන් මැරීම සම්බන්ධ තත්ත්වය කවරක්ද? මම ඔබ පිළිබඳව නොදනිමි. එසේ නමුදු, මාගේ අත්දැකීමට අනුව නම් මදුරුවා තලා දැමීම නිවැරදිය යන හැඟීමක් මම අත් දැක ඇත්තෙමි. නොඑසේ නම් අප්‍රිකාවේ සවාරියක නිරතව සිටින්නාක් මෙන් එහේ මෙහේ දුවමින් රැය පහන්වන තුරු මා නින්දෙන් අවදිව තබන මදුරුවා දඩයම් කර අවසානයේ මරා දැමීම යහපත්ය යන හැඟීම මා අත්දැක ඇත. එය නිවැරදි බව පෙනේ. මේ මදුරුවා මරා දැමීමේ සවාරියක නිරත වීම පිළිකුල් සහගත කටයුත්තක්ය යන්න අවබෝධ කරගත්තද තවදුරටත් එම කාර්යයෙහිම නියැලෙන්නෙමු. න්‍යාය විරෝධී නිදසුන් පිළිබඳව සිතා බැලීම මෙහිදී  ප්‍රයෝජනවත් විය හැක.

ඉවසිලිවන්ත නොවෙමින් මදුරුවා මරා දැමීමෙන් ඇතිවිය හැකි අවාසි සහගත තත්ත්වය පිළිබඳ සිතා බැලීම මෙයාකාරයේ පාපකාරී චර්යාවක් සම්බන්ධව අත්‍යවශ්‍ය කරුණකි. ඉන් අදහස් වන්නේ අපගේ රුධිර පූජාවෙන් මදුරුවා පෝෂණය කළ යුතු බව නොව මදුරුවා සම්බන්ධයෙන්කටයුතු කිරීමේ සාමකාමී විධික්‍රමයක් යොදා ගැනීමට උත්සාහ කළ යුතු බවයි. බිත්තියේ මදුරුවා වසන විට ඌ මතින් ජෝගුවක් හරවා තබා ඉන්පසු ජෝගුවට යටින් කඩදාසියක් රූටා යවමින් ඌ කාමරයෙන් ඉවතට ගෙනයා හැක. එය ඉතා ප්‍රායෝගික ක්‍රමයක් වුවද පෙරකී සවාරියෙහි නැවතද නියුක්ත නොවීමට ප්‍රවේශම් විය යුතුය. ජෝගුව හා කඩදාසිය භාවිත කරන අතරතුර මනසින් සවාරියක නිරත විය හැක.

සැබැවින්ම මෙම තත්ත්වය විග්‍රහ කර බැලීම වටී. මදුරුවා පළවා හරින්නේ ඌ සපා කෑමෙන් ඇතිවන කැසීමේ ස්වභාවය අත් විඳීමට ඇති අකමැත්ත හේතුවෙන්ද, නැතහොත් මදුරුවාගේ පාර්ශ්වයෙන් සිතා ඌ පිළිබඳ අනුකම්පාවෙන්ද? පැහැදිලිවම මෙහිදී මදුරුවා හට උගේ ආහාරය අහිමි කිරීමක් සිදුවේ. මදුරුවන් හෝ මැස්සන් හෝ ඕනෑම සතුන් වර්ගයක් නොකඩවා මරා දමන්නට වුවහොත්, ගොඩනගා ගන්නේ කවරාකාර පුරුද්දක්ද? මෙහිදී ගොඩනගා ගන්නා පුරුද්ද වනුයේ අප කෝප ගන්වන සුළු ඕනෑම සතෙකු මරා දැමීමේ පළමු ප්‍රතිචාරයක් ඉස්මතු වීමයි. මෙහිදී ඇති වනුයේ සාමකාමී විධික්‍රමයක් යොදාගනු වෙනුවට හිරිහැරයෙන් මිදීමේ හිංසාකාරී විධික්‍රමයක් යොදා ගැනීමේ නැඹුරුතාවයකි. එ් අනුව, ජෝගුවක් හා කඩදාසියක් යොදා ගනිමින් පෙරකී පරිදි මදුරුවා දඩයම් කිරීමේදී, අවම වශයෙන් එම ක්‍රියාව මදුරුවා පිළිබඳ වෛරී හැඟීමකින් තොරව සිදු කරන්න. ඌ පිළිගත නොහැකි ජීවන ආකෘතියක් වන අතර, අපගේ අවකාශය ආක්‍රමණය කළ බැවින් උගෙන් මිදිය යුතුය යන සිතිවිල්ලක් ඇතිකර නොගත යුතුය.

එයින් ඔබ්බට ගමන් කරන්නේ නම්, මෙම මදුරුවා පෙර භවයන්හි අපගේ මව වශයෙන් සිට ඇති බව දැකීම ආදී වූ යොදාගත හැකි වඩාත් උසස් මට්ටමේ පිළිවෙත්ද පවතී. එනමුදු, නිර්ව්‍යාජව ප්‍රකාශ කරන්නේ නම් එය අප බොහෝ දෙනෙකුට ප්‍රායෝගිකව සිදු කිරීම දුෂ්කර වූවකි. මෙහිදී ඉදිරිපත් කෙරෙන අදහස නම්, ඇතැම් දේ සම්බන්ධයෙන් පාපකාරී ක්‍රියාවක නිරත නොවීම නිවැරදි බව හුදෙක් හැ‌ඟෙන අතර සෙසු දේවල් සම්බන්ධයෙන් අපගේ පෙළඹීම සිහි බුද්ධියෙන් නැවත තහවුරු කළ යුතු වේ.

කර්ම නැඹුරුතාවයන් හා විභවයන් සක්‍රීය කරන්නාවූ සාධක

මා සඳහන් කිරීමට අදහස් කරන තවත් කරුණක් වනුයේ කර්ම නැඹුරුතාවයන් හා විභවයන් මෙන්ම එ්වා ඵල දැරීමට හේතු වන්නාවූ සාධකයි. එ්වා මරණාවස්ථාවේදී කර්ම විභවයන් සක්‍රීය කරන්නාවූ සාධක ලෙස පටිච්ච සමුප්පන්නව එකිනෙක බැඳෙන්නාවූ සම්බන්ධකයන් දොලහ පිළිබඳ දේශනාවන්හි සාකච්ඡා කෙරේ. මෙම සාධක විසින් අප‌ගේ චිත්ත සන්තතිය මතු පුනර්භවයක් තුළට "වීසි කරනු" ලබයි.

මෙම සාධකයන් අතර පළමුවැන්න තණ්හා බන්ධනය හෙවත් පුරුකයි. "තණ්හාව" යනු මෙම පුරුක හැඳින්වීම සඳහා යොදන තිබ්බතීය වදන වන නමුදු සැබැවින්ම එහි මුල් සංස්කෘත වදන "පිපාසාව" යන්නයි. අනෙක් සාධකය සාමාන්‍යයෙන් "ග්‍රහණය කොට ගැනීම" ලෙස පරිවර්තනය කෙරේ. 'සත්‍ය වූ පැවැතුම් සඳහා වූ ග්‍රහණය' ඈ ලෙස "ග්‍රහණය" යන වදනින් පොදුවේ පරිවර්තනය කෙරෙන සෙසු වදන්ද පවත්නා බැවින් එය වඩාත් පැහැදිලි පරිවර්තනය නොවේ. එසේ වුවද, මෙහිදී අදහස් විය යුතු වචනය "යමක් ලබාගැනීම" හෝ "යමක් ගැනීම" යන අරුත දෙන්නක් විය යුතු බැවින් "ලබාගන්නා" යන වදන භාවිත කිරමට මම වඩාත් කැමති වෙමි. එය වූකලි වැඩි වර්ධනය කරගත හොත් මතු පුනරුත්පත්තීන් අප වෙනුවෙන් ගන්නාවූ හෝ ලබාගන්නාවූ ගැනීමේ භාවයක් හෙවත් ආකල්පයකි. පටිච්ච සමුප්පාදයේ පුරුක් දොළහ සම්බන්ධ සන්දර්භය තුළ මතු භවයක් සඳහා කර්මය විසි කර දැමීමේ බලවේග වශයෙන් මේවා විස්තර කෙරුණද, එ්වා මගින් සෑම මොහොතකම අපගේ කර්ම විභවයන් හා නැඹුරුතාවයන් සක්‍රීය කරන්නේය යන විකල්ප ඉදිරිපත් කිරීම්ද ඇත. මෙය වූකලි අපගේ එදනෙදා ජීවිතවලට කර්මය පිළිබඳ දේශනාවන් අදාල වනුයේ කෙසේද යන මාතෘකාවට බොහෝ සෙයින් අදාල වේ. සියල්ලටම පළමුව, තණ්හාව යනු කුමක්ද? මෙම පිපාසාව යනු කුමක්ද? එය වූකලි අපට දැනෙන්නාවූ යම් මට්ටමක සතුටක් හෝ අසතුටක් ඉලක්ක කරන්නාවූ හා එම සතුට හෝ අසතුට අතිශයෝක්තියට නංවන්නාවූ මානසික සාධකයකි. සතුට පිළිබඳ අවධානය යොමුකරන කල්හි එය අවසන් නොවිය යුතුය යන පිපාසාවක් අප තුළ වේ. අසතුට හෝ දුක සම්බන්ධයෙන් සලකන කල, එය අවසන් විය යුතුය යන පිපාසාවකින් පෙළෙන්නෙමු. උදාසීන හෙවත් මධ්‍යස්ථ හැඟීමක් ගත්කල, හෙවත් පූර්ණ සමාධියෙහි ඉහළ මට්ටම්හි ධ්‍යාන ගතව සිටින විටදී අප අත්විඳින දෙයට මෙය සම්බන්ධ වේ. එම මට්ටම්හිදී, එකී මධ්‍යස්ථ හැඟීම පහත නොවැටිය යුතුය යන පිපාසාවෙන් අපි පෙළෙන්නෙමු. පැහැදිලිවම අප සතු පිපාසාවට සම්බන්ධ විවිධ ශ්‍රේණිගත වීම් හා ඇලීම් පවතී.

'ලබාගන්නා' යන්නෙන් කැළඹිලිකාරී භාවයන් හා කැළඹිලිකාරී ආකල්ප ලැයිස්තුවක් හැඳින්වේ. පිපාසාව හා සම්බන්ධව මේවායින් එකක් හෝ වැඩි ගණනක් විසින් අපගේ කර්ම විභවයන් හා නැඹුරුතාවයන් ක්‍රියාත්මක කරවයි. ලැයිස්තුවේ වඩාත් වැදගත් එ්කකය වනුයේ සත්‍ය වශයෙන්ම පවත්නා "මමෙකු" සම්බන්ධ විශ්වාසයයි. සිත, සිරුර, හැඟීම් ආදී වශයෙන් වූ අපගේ පංචස්කන්ධය තුළ අත්දකින යමක් හා එම "මා"  හෝ එසේ අත් දකින දෙය "මාගේ" ලෙස ගැනීම එකිනෙක අනන්‍ය වන බව සිතීමයි.

කෙටියෙන් පවසන්නේ නම්, පිපාසාව තුළින් යම් හැඟීමක් හෝ යම් මට්ටමක සතුටක් හෝ අසතුටක් පිළිබඳ අවධානය යොමු කෙරෙන අතර, ඉන්පසු ලබාගන්නා පිළිබඳ ආකල්පය විසින් එය අත් විඳින "මා" පිළිබඳ අවධානය යොමු කෙරේ. හැඟීම්වල හා "මා" යන්නෙහි පවත්නා ශූන්‍යතාවය පිළිබඳ වැටහීමක් නොමැත්තේ වුවද, අපගේ කර්ම විභවයන් ක්‍රියාත්මක කරනුයේ කවරක් විසින්ද යන්න පිළිබඳ මෙකී විග්‍රහය අපගේ එදිනෙදා ජීවිතයට අදාළ කරගත හැක. සෑම මොහොතකම අපි යම් මට්ටමක සතුටක් හෝ අසතුටක් අත් විඳින්නෙමු. නිදසුනක් ලෙස අපට "අෂ්ට ලෝක ධර්ම" පිළිබඳ දේශනාවන් තවදුරටත් යොදාගත හැක.

ජිග් ටන් යනුවෙන් තිබ්බතීය භාෂාවේ එන වදන "ලෞකික" ලෙස පරිවර්තනය කළ හැකි අතර එය වචන දෙකක් තුළින් "ලෞකික ධර්ම" යන්න අරුත් ගන්වයි. ටන් යනු පදනමයි. ජිග් යන්නෙන් ගිලිහී දිරාපත්වන දෙයක් අර්ථවත් වේ. අෂ්ට ලෝක ධර්මය යන්නෙන් ඇඟවෙනුයේ අපගේ ජීවිත තුළ සිදුවන දිරාපත්වීම පදනම් කොටගත් දේ කෙරෙහි පවත්නා ආකල්පයන් වේ. ස්ථිර පදනමක් රහිත බැවින් වහා වෙනස් වන්නාවූ, අපගේ ජීවිතයේ සිදුවන දේවල් සම්බන්ධයෙන් අපි එක්කෝ ප්‍රීතියෙන් පිනා යන්නෙමු, නැත්නම් පූර්ණ වශයෙන් ශෝකයට පත් වන්නෙමු.

කර්ම විභවයන් ක්‍රියාත්මක කරවන්නාවූ මෙකී බලවේග සම්බන්ධයෙන් ගත්කල, අදාල ලෞකික ධර්ම වනුයේ සතුටේදී ප්‍රීතියෙන් පිනා යාම හා අසතුටේදී මුළුමනින්ම කඩා වැටීමයි. මේ අවස්ථාවන්හිදී, අස්ථාවර පදනමක් සහිත දේ කවරක්ද? එ් වූකලි අපට දැනෙන්නාවූ සතුට ‌හෝ අසතුටයි. ස්ථාවර පදනමක් නොමැති බැවින් එ්වා වහා වෙනස්වන සුළු වේ. එනමුත් අපි එ්වා ස්ථිර පැවැත්මක් සහිත දේ හෝ සදාකල් පවතිනු ඇතැයි හෝ සිතා බොහෝ වැදගත් කොට සලකන බැවින්, එ්වා සිදුවන කල ප්‍රීතියෙන් පිනා යමින් හෝ මුළුමනින්ම ශෝකයෙන් කඩා වැටෙමින් අධි ප්‍රතිචාර දක්වන්නෙමු. පිපාසාවෙන් පෙළෙන්නෙකු දිය උගුරක් බොන්නාක් මෙන්, යම් සතුටක් දැනීමෙන් පමණ ඉක්මවා සතුටුවන අප එය කිසිදින අපට අහිමි නොවේවායි පතන්නෙමු. කිසිදු දිය බිඳක් හෝ නොලබන්නාවූ පිපාසිත අයෙකු සේ අසතුටක් දැනෙන කල්හි අපි මුළුමනින්ම කඩා වැටෙන අතර එම අසතුට ඉවත් විය යුතු බවට වූ තණ්හාවෙන්ද පෙළෙන්නෙමු.

සතුට හා අසතුට දැනීම සම්බන්ධයෙන් උපේක්ෂාව පවත්වාගෙන යාම

භාරතීය ගුරු ශාන්තිදේවයන්ට අනුව මේ ආකල්ප ළදරු ආකල්ප වේ. අපට දැනෙන සතුට හෝ අසතුට කෙරෙහි මෙයාකාරයෙන් ළදරු අධි ප්‍රතිචාර දැක්වීමේ තත්ත්වය මැඩ පවත්වාගත යුතුය. මෙය සිදුකිරීම සඳහා උපේක්ෂාව වර්ධනය කරගත යුතුය. සංසාරයේ ස්වභාවය වනුයේ අපට දැනෙන හැඟීම් ඉහළ පහළ යාම නොකඩවා සිදුවීම වන බැවින් අත්දකින කවර වූ හෝ සතුටක් හෝ අසතුටක් සම්බන්ධ කවර හැඟීමක් කෙරෙහි වුව අධි ප්‍රතිචාර දැක්වීමෙන් වැළකී සිටීම "උපේක්ෂාව" යන්නෙන් අදහස් කෙරේ. අපට ඇතැම් විට සතුටද තවත් විටෙක අසතුටද දැනේ. එය ස්වභාවයයි. කවර අවස්ථාවක සතුටක් දැනෙනු ඇත්තේද හා කවර අවස්ථාවක අසතුටක් දැනෙනු ඇත්තේද යන්න පුරෝකථනය කිරීමේ හැකියාවක් නොමැත. කිසිදු පැහැදිලි හේතුවක් නොමැතිවද අපගේ ගති ස්වභාවය වෙනස් විය හැක. අප අත් විඳින සතුටේ හෝ අසතුටේ මට්ටම බරපතල එකක් විය යුතු නොවේ. එය ඉතා පහළ මට්ටමකද පැවතිය හැක. මෙහිදී අදාල වන ප්‍රධාන දෙය නම් අපට දේවල් කවරාකාරයෙන් දැනුනද "විශේෂයක් නැත" යන්නයි.

සැබැවින්ම, එය ඉතා ගැඹුරු අදහසකි. "විශේෂයක් නෑ" යන්නෙන් අදහස් කෙරෙන්නේ එහි කිසිදු විශ්මයජනක හෝ අසාමාන්‍ය දෙයක් නොමැති බවයි. අපි කුමක් අපේක්ෂා කරන්නෙමුද? සත්‍ය වශයෙන්ම දේවල් ඉහළ පහළ ගමන් කරන බැවින් එය එතරම් බරපතල සේ නොගත යුතුය. ජීවිතයේ කවර අත්දැකීමක් ලැබුණද, වරෙක සතුටද වරෙක අසතුටද දැනේ. පාපකාරී ක්‍රියාවන් හේතුකොට අසතුටද, පුණ්‍ය ක්‍රියාවන් හේතුකොට සතුටද උපදින බව අපි දනිමු. එසේ වුවද, අපට දැනෙන දෙය මහත් ආශ්චර්යමත් හෝ භයානක දෙයක් සේ ගෙන එයට ඇලිය යුතු නොවේ. "මට හරිම සතුටුයි" හෝ "අනේ අසරණ මා හරිම දුක්ඛිතයි" ලෙස තදබල "මමෙකු" කෙරෙහි ඇලී නොසිටිය යුතුය.

සම්මුතික වශයෙන් ගත්කල අපි සතුටු වීමට කැමති අතර අසතුටින් සිටීමට අකමැත්තෙමු. මෙයට අමතරව, සම්මුතිකව ගත්කල, අපි අපගේ බෞද්ධ පිළිවෙත් පූරණය තුළ අසතුටින් හා දුකින් මිදිය හැකිවන්නාවූ ලෙස විමුක්තිය හා බුද්ධත්වය ඉලක්ක කරගනිමින් පිළිවෙත් පුරන්නෙමු. එනමුදු, එයද චිත්ත පීඩාවක් හෙවත් වදයක් කරගත යුතු නැත. මෙයයි වැදගත් කරුණ. එමගින් එදිනෙදා ජීවිතයෙහි කර්මය විෂයයෙහි මෙම දේශනාවන්හි අදාලත්වය හා වඩ වඩාත් චිත්ත සාමය ගෙන එනුයේ කවරක් මගින්ද යන කරුණ පෙන්වා දෙනු ලබයි. ස්වභාවිකවම අපට ඇතැම් විටෙක සතුටද ඇතැම් විටෙක අසතුටද දැනෙන බැවින් දවසින් දවස ගතවත්ම අත්විඳින වෙනස්වන ගති ස්වභාවයන් සම්බන්ධව උපේක්ෂා සහගත වීමෙන් චිත්ත සාමය ඇතිවේ. එය සංසාරයේ කොටසකි; එයයි අපේක්ෂා කළ යුත්ත. අපි දැනට සිදුකරන කවර හෝ ධර්ම පිළිවෙත් පූරණයක් නොකඩවා සිදු කරන්නෙමු. යම්කිසි මොහොතක දැඩි සතුටක් නොදැනෙන්නේ නම්, එයට කම් නැත.

ජීවිතයේ ඉහළ නැගීම් හා පහළ වැටීම් 

අප කිසිදු හැඟීමක් රහිත, සතුට හා අසතුට දැනීම නවතාලූ මුළුමනින්ම හැඟීම් විරහිත පුද්ගලයන් විය යුතුය යන්නක් ඉන් අදහස් නොකෙරේ. අදහස් කෙරෙනුයේ කිසිසේත් එය නොවේ. සතුටු හෝ අසතුටු වීමේ වරදක් නැත. යහපත් දෙයක් සිදුවන විට අපට සතුටක් දැනේ. එතරම් යහපත් නොවූ දෙයක් සිදුවන විට අපි සතුටු නොවන්නෙමු. නිදසුනක් ලෙස, අවන් හලකට ගොස් ප්‍රියතම ආහාරය ඇණවුම් කරන්නට අදහස් කළ අතර, එහි එම ආහාර වට්ටෝරුව අවසන් වී ඇති අවස්ථාවක් පිළිබඳ සිතා බලමු. එය සතුටුදායක අවස්ථාවක් නොවේ. එනමුදු, එහිදී එය මහා බරපතල දෙයක් ලෙස ගෙන අවුලක් ඇති කරගත යුතු නැත. අසතුටක් දැනීමේ වරදක් නොමැති වුවද එහි ඇලී ගැලෙමින් එය ශෝකජනක හා අඳුරු අවස්ථාවක් කරගත යුතු නැත.

එයටද වඩා අදාල වන උදාහරණයක් දක්වන්නේ නම්, අපගේ ආදරණීයයෙකුගේ මරණ අවස්ථාවක් ගත හැක. අපට ශෝකයක් හා අසතුටක් එ් මොහොතේ දැනීම ස්වභාවික වන අතර එහි වරදක්ද නොමැත. සත්‍ය වශයෙන්ම එහිදී නොවැළපී සිටීමද සෞඛ්‍ය සම්පන්න නොවන බවයි. එසේ නමුදු, එයට ඇලී එම දුක තමාගේ කරගනිමින් එහි මහා අවාසනාවන්ත අත්දැකීමක් ලබන දැඩි "මමෙකු" පිළිබඳ සත්‍ය අනන්‍යතාවයක් ගොඩනගා නොගන්න. වෙනත් දෘෂ්ටි කෝණයකින් සලකා බැලුවහොත්, යමෙකුගේ ඇසුරේ ගත කරමින් නිරතුරුවම "මට හරිම සතුටුයි. අපි පුදුම ලස්සන කාලයක් ගත කරන්නෙ"යි පවසන්නේ නම්, අනිත්‍ය ස්වභාවයත් සමගින් එහිදීද සම්පූර්ණ ගති ස්වභාවය විනාශ වේ. හුදෙක් ජීවිතයේ නැගීම් හා බැසීම් අත් විඳින්න. අපි වරෙක සතුටුද, වරෙක අසතුටුද වන අතර එය මහා බරපතලව ගත යුතු හෝ විශේෂ දෙයක් හෝ නොවේ.

මෙම උපේක්ෂාවත් සමගින්, අප අසතුටින් සිටින හා දේවල් අයහපත් ලෙස සිදුවන අවස්ථාවන්හි වගා දිගා කරගත හැකි අනෙක් ආකල්පය හා අදහස වනුයේ එහි කර්ම හේතුව කවරක් වන්නට ඇත්තේදැයි විමසා බැලීමයි. පෙරදී සාකච්ඡා කළ පරිදි, පරීක්ෂාකර බලා මෙම රටාව හඳුනා ගැනීමට උත්සාහ කොට එයටම සමාන දෙයක් අප විසින්ද නැවත නැවත සිදුකරන ආකාරය දැකීමටද හැකි අතර, එම තත්ත්වය යහපත් අතට හරවා ගැනීමටද උත්සාහ කළ හැක.

ලම්-රිම් ශ්‍රේණිගත අදියරයන්හි පෙළඹීමට අදාල මට්ටම් තුන

මා හට සඳහන් කිරීමට අවශ්‍ය තවත් දෙයක් වනුයේ ලම්-රිම් හෙවත් මාර්ගයේ ශ්‍රේණිගත අදියරයන්හි ඉදිරිපත් කර ඇති පෙළඹීම් මට්ටම් තුනයි. පොදුවේ ගත්කල, කර්මය පිළිබඳ දේශනා පෙළඹීමේ හෙවත් අභිප්‍රේරණයේ මූලික විෂය පථය ඇතුළත ඉදිරිපත් කෙරේ. පාපකාරී ක්‍රියාවන්ගෙන් වැළකී නොසිටියහොත් අත් විඳීමට සිදුවන ප්‍රතිවිපාකයන් පිළිබඳ බියවන බැවින් එසේ කටයුතු කිරීමෙන් වළකින්නෙමු. අපගේ ක්‍රියාවන්හි ප්‍රතිඵල වශයෙන් අන් අය අත්විඳින දේ පිළිබඳ නොදනිමු. ඔවුන් මත එ්වාහි බලපෑම කවරක්ද යන්න අපට සහතික විය නොහැක. එනමුදු, අපගේ පාර්ශ්වයෙන්, අපගේ පාපකාරී චර්යාවන් හේතුකොට ඇතිවිය හැකි දුක හා අසතුට අත් විඳීමට අපට අවශ්‍ය නැත. අපි එහිදී බිය වන්නෙමු, තැති ගන්නෙමු, එනමුදු එය සෞඛ්‍ය සම්පන්න දෙයකි. මෙහිදී අප සාකච්ඡා කරනුයේ දඬුවමට ඇති බිය පිළිබඳව නොව, සැබැවින්ම දුක හා අසතුට වළකාලීමට අපට ඇති අවශ්‍යතාවය පිළිබඳවයි. වඩාත් නිෂ්චිතව සඳහන් කරන්නේ නම්, අපට මතු ජීවිත කාලයන්හි දුක හා අසතුට වළකා ලීමට අවශ්‍ය වේ. මෙයයි මූලික මට්ටමේ පෙළඹීම.

අන්තර්මධ්‍ය මට්ටමේදී, විමුක්තිය අත්පත් කරගැනීමට අවශ්‍ය බැවින් සියලු ආකාර බලහත්කාරී කර්ම චර්යාවන්ගෙන් වැළකී සිටීමට අවශ්‍ය වේ. විමුක්තිය හෙවත් අර්හත්වය සාක්ෂාත් කරගත නොගතහොත් සාංසාරික සතුට හා දුකට අදාල ඉහළ පහළ යාම් නොකඩවා සිදුවනු ඇත. එය කෙතරම් අමිහිරිද?

උසස් මට්ටමේ පෙළඹුම් විෂය පථයක් ගත්කල, එහිදී සියලු ආකාර බලහත්කාරී කර්ම චර්යාවන් තුළින් අන් අයට උපකාර කිරීමේ හැකියාව අඩාල කරන්නාවූ බැවින් එ්වායින් වැළකී සිටීමට අවශ්‍ය වේ. නිරන්තරයෙන් මෙකී ඉහළ පහළ යාම් සිදුවන අතර බොහෝ සෙයින් අසතුටුදායක, අමිහිරි, නීරස දෙයක් අපට නිරන්තරයෙන් සිදුවන්නට වුවහොත්, අනුන්ට උපකාර කරන්නේ කෙසේද? අපගේ ප්‍රධාන සිතිවිල්ල වනුයේ මෙමගින් අන්‍යයන් වෙත උපකාර කිරීමේ හැකියාවට අහිතකර බලපෑමක් එල්ලවනු ඇත්තේය යන්නයි. එමගින් අන්‍යයන් වෙත වේදනා ඇතිවීම පිළිබඳ මානුෂික කෝණයකින් සිතා බැලීමක් සිදු නොවේ. සිතිවිල්ල වඩාත් යොමුවන්නේ ඔවුනට උපකාර කිරීමේ අපගේ හැකියාව අඩාල වීම පිළිබඳවයි.

ආචාර ධාර්මික චර්යාව සම්බන්ධ බෞද්ධ ආකල්පය හා "මාගේ ක්‍රියාවන් මගින් අන්‍යයන්ට නොරිදවන තාක් මා කරන දේ කවරක් වුවද කම් නැත" යන බටහිර මානවවාදී ප්‍රවේශය අතර ඉමහත් වෙනසක් පවතී. එම ප්‍රවේශයෙහි කිසිදු වරදක් නොතිබියද, අපගේ ක්‍රියාවන් තුළින් අන්‍යයන් මත ඇතිකරන බලපෑම කවරක්ද යන්න පිළිබඳ අපට සහතිකයක් ලබාදිය නොහැක. නිදසුනක් ලෙස, අප විසින් යමෙකු සතු දෙයක් සොරකම් කරනවා යයි සිතමු. එම භාණ්ඩය ප්‍රයෝජනයට ගත නොහැකි තරම් වූ මට්ටමක පැවති හෙයින් දැන් සිය රක්ෂණ ප්‍රතිලාභ ඉල්ලුම් කිරීමේ හැකියාව පිළිබඳ සිතා එහි හිමිකරු ඉන් ඉමහත් සතුටට පත්වනවා විය හැක. අනෙක් අතින්, අප විසින් යමෙකු හට විශාල මුදලක් ලබාදෙන අතර එ් හේතුවෙන්ම ඔහුගේ මුදල් සොරකම් කිරීමකට හා ඔහු ඝාතනයට ලක්වේ.

බුදු දහම තුළ අප විසින් ප්‍රේමය හා කරුණාව ගොඩනගන අතර අන්‍යයන් හට හානි සිදු කිරීමට අපට අවශ්‍යතාවයක් නොමැත. එසේ නමුදු, උසස් තලයක පෙළඹීමක් මගින් ඇති කෙරෙන ප්‍රධාන අවධාරණය වනුයේ අන්‍යයන් වෙත උපකාර කිරීම සඳහා වූ අපගේ හැකියාව සීමා කරනු ඇත්තාවූ කවරක් හෝ සිදු කිරීමට අපට අවශ්‍ය නොවන බවයි. බුද්ධත්වය සාක්ෂාත් කරගනු පිණිස කටයුතු කිරීම හා හැකිතාක් පූර්ණ වශයෙන් අන්‍යයන් හට උපකාර කිරීම සඳහා අප උත්සාහ ගන්නේය යන බෞද්ධ ආධ්‍යාත්මික මාර්ගයට මෙයාකාරයේ පෙළඹීමක් ඉතා හොඳින් ගැලපේ. මෙයයි බුදු දහමේ කර්මය පිළිබඳ සාකච්ඡාවේ ප්‍රධාන වශයෙන් අවධාරණය කෙරෙන දෙය.

අපගේ එදිනෙදා චර්යාව සලකා බලන කල, මෙම මහායාන පෙළඹීමේ අදාලත්වය වනුයේ එමගින් අපගේ ආචාර ධාර්මික ස්වයං විනය වඩාත් ශක්තිමත් කිරීමයි. පාපකාරී ක්‍රියාවන්හි නිරත වන්නේ නම් අන්‍යයන් හට උපකාර කරන්නේ කෙසේද? නිදසුනක් ලෙස, අප නිරන්තරයෙන් පුරසාරම් දෙඩීම හා අනුන් රැවටීම සිදු කරන්නේ නම්, කිසිවෙකුට හෝ අප කෙරෙහි විශ්වාසයක් තැබිය නොහැකි වනු ඇත. එවිට කිසිවෙකුට හෝ උපකාර කරනුයේ කෙසේද? වඩාත් නිශ්චිතව පවසන්නේ නම්, ගුරුවරුන් වශයෙන් අපගේ මින් පෙර නිදසුනට අනුව අපගේ සිසුන් අප හැරයන තත්ත්වයෙන් අපගේ කර්මය පල දැරීමක් අත් විඳින්නට වුවහොත්, ඔවුනට සැබෑ ලෙසම උපකාර කරන්නේ කෙසේද? සිසුන් කිසිදින අප සමග නොරැඳෙනු ඇත. සැම කල්හි අප හැරයනු ඇත. පැහැදිලිවම එමගින් අන්‍යයන් විවේචනය කිරීම ආදිය නවතා එ් වෙනුවට අන්‍යයන්ගේ යහගුණ පිළිබඳ කථා කිරීමට දැඩි පෙළඹීමක් ඇතිවනු ඇත.

පුණ්‍යවන්ත චර්යාවෙහි දක්නට ලැබෙන මානසික සාධක දෙකක්

අවසන් වශයෙන් පැවසිය යුතු කරුණක්ද වේ. අභිධර්මකෝෂ හෙවත් විශේෂ දැනුම් මාතෘකා භාණ්ඩාගාරය නමැති කෘතියෙහි මහා භාරතීය ගුරු වසුබන්ධු විසින් සඳහන් කරන පරිදි ඕනෑම පුණ්‍ය ක්‍රියාවක් සමගින් නිරතුරු පවත්නා මානසික සාධක දෙකක් පවතී. සිය කෘතියෙහි අසංග පාදයන් විසින් මෙම මානසික සාධක වෙනත් ආකාරයකින් අරුත් ගන්වන නමුදු, වසුබන්ධු තුමාගේ අර්ථ නිරූපණයද වටහාගත යුතුය. මෙම සාධකයන් අතරින් පළමුවැන්න නම් යහගුණයනට හා එ්වා දරා සිටින්නන් හට ගරු කිරීමයි. දෙවැන්න නම්, අමු අමුවේ පාපකාරියෙකු වීමෙන් වැළකී සිටීමයි. අමු අමුවේ යන්නෙන් අදහස් වනුයේ හුදෙක් ප්‍රතිඵල පිළිබඳ තැකීමක් නොකරන බවයි. එහිදී අපගේ ස්වං විනය ක්‍රියාවේ යෙදවීමක් සිදු නොවේ. අප එ් පිළිබඳ තැකීමක් නොකරන අතර එ් අනුව පාප ක්‍රියාවන්හි නිරත වීමෙන් කිසිසේත් වැළකී නොසිටී. හුදෙක් අපට සිතෙන දෙය සිදු කරයි.

පුණ්‍ය ක්‍රියාවන් සම්බන්ධයෙන් ගත්කල පවත්නේ මෙහි ප්‍රතිවිරුද්ධ ආකල්පයයි: පුණ්‍ය ගුණයන් හා එ්වා සහිත අයවළුන් කෙරෙහි අපි ගරු කරන අතර ස්වයං විනය ක්‍රියාවෙහි යොදවන්නෙමු. අපගේ ක්‍රියා කිසිදින අමු අමුවේ පාපකාරී එ්වා නොවේ; කරන හා කියන දෙය පිළිබඳ සැලකිලිමත් වෙමු. "එ්ක හරි වගෙයි දැනෙන්නෙ" යන සිතිවිල්ල මෙහිදී සිහිපත් වේ.

මෙමගින් අපගේ එදිනෙදා ජීවිතයේදී අප විසින් අවධාරණය කළ යුතු හා නිරතුරු අපටම සිහිපත් කරගත යුතු දේ කවරක්ද යන්න පෙන්වා දෙනු ලබයි. ඉවසීම හා කරුණාව වැනි යහ ගුණයන් හා එ්වා දරා සිටින පුද්ගලයන් කෙරෙහි වූ ඉමහත් ගෞරවය නැවතද අපතුළ තහවුරු කරගත යුතුය. එ්වා තුළින් ඉමහත් ආභාසයක් ලද හැකිවේ. මෙයට අමතරව, ස්වයං විනය පවත්වා ගන්නා බවට, අප කරන හා කියන දෙය පිළිබඳ සැලකිලිමත් වන බවට හා හුදෙක් සිතෙන නිසා පාපකාරී හා විනාශකාරී ක්‍රියාවන් සිදු නොකරන බවටද නැවත අවධාරණය කරගත යුතුය.

සමාප්තිය

කර්මය හා මෙම දේශනාවන් අපගේ එදිනෙදා ජීවිතවලට අදාල කරගන්නා ආකාරය පිළිබඳ විශාල කරුණු රාශියක් ආවරණය කළෙමු. මෙම සාධක දෙකද සිත්හි දරා ගැනීමට මොහොතක් ගනිමු. කෙටියෙන් පවසන්නේ නම්, පුණ්‍ය ක්‍රියාවන්හි නිරත වීමේදී හුදෙක් යහපත් පුද්ගලයෙකු විය යුතු බැවින්ම එ්වා නොකරන්නෙමු. මක් නිසාද එ්වාහි පදනම එය නොවන බැවිනි. එ් වෙනුවට, යහ ගුණ හා එ්වා දරා සිටින්නාවූ පුද්ගලයන් කෙරෙහි අප තුළ පවත්නා ගෞරවය හේතුවෙන්ම, එම පදනමින්ම පුණ්‍ය ක්‍රියාවන්හි නිරත වන අතර, කිසිදු ස්වයං පාලනයකින් තොරව විවෘතවම පාපකාරී ක්‍රියාවන් සිදු කිරීමෙන් වැළකී සිටීම යහපත් බව දැනේ. එම දැනීමට අනුවම කටයුතු කළ යුතු වේ.

Top